Tuesday, January 27, 2009

මෙන්න ඡන්ද ප්‍රතිළුල



තේමා වාදනය@#%&*(^()
(අර ගුවන් විදුලියෙ ඡන්දෙ දවසට ඡන්ද ප්‍රතිඵලයක් දෙන්න කලින් දාන්නෙ)
************************************************************************************
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.වෙබ් බ්‍රව්සර් කොට්ඨාසය සිංහල බ්ලොග් කරුවන්ගේ ඡන්ද බල ප්‍රදේශය.
ඡන්ද 39ක් ලබාගෙන ප්‍රථම ස්ථානය දිනාගන්නේ Mozilla Firefox නොහොත් ගිනි නරියා.ඡන්ද ප්‍රතිශතය 75%.
ඡන්ද 9ක් ලබාගෙන දෙවන ස්ථානය දිනාගන්නේ Google Crome.ඡන්ද ප්‍රතිශතය 17%.
ඡන්ද 3ක් ලබාගෙන තෙවන ස්ථානය දිනාගන්නේ Internet Explorer.ඡන්ද ප්‍රතිශතය 5%.
ඊට අමතරව Apple Safari එක් ඡන්දයක් ලබාගෙන තිබෙනවා.ඡන්ද ප්‍රතිශතය 1%.
Opera ඡන්ද ලබාගෙන නැහැ.ඡන්ද ප්‍රතිශතය 0%.
මුළු ඡන්ද සංඛ්‍යාව 52.ප්‍රතික්ෂේපිත ඡන්ද ගණන 0යි.
************************************************************************************

මම පුංචි ඡන්දයක් තිබ්බනේ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.ඡන්දය දෙන්න තිබ්බ කාලසීමාව දැන් හමාරයි. මේකෙ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දීපු නිසා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, නිළධාරීන් ඕන නෑ. ඔන්න එහෙනම් ප්‍රතිළුල කිව්වා.
මෙතන මම දකින වැදගත් දේ තමයි IEට වඩා Crome ඡන්ද ලබාගෙන තිබීම. හැබැයි ගිනි නරිය තාම එක. ලෝකයම සැලකුවාම IE 70% කට ආසන්න ප්‍රතිශතයක් උසුලනව. දැන් පේන විදිහට ගිනි නරියට අමතරව IEට තරඟකාරයෙක් ඇවිත් වගේ.
මොකද්ද ඔයාලගෙ අදහස?එහෙනම් ඡන්ද ප්‍රතිළුල විශ්ලේශනය කරමු බලන්න.

Sunday, January 25, 2009

මුලතිව් හමුදාව යටතට


අද හවස අහන්න ලැබුන සතුටුදායක ආරංචියක් තමයි මේ. ජනවාරි මාසෙ මේ වගේ ගොඩක් ජයග්‍රහණ අපිට අහන්න ලැබුනා.පහුගිය දවස්වල පූනරීන්, කිළිනොච්චි, අලිමංකඩ එක දිගට ජයග්‍රහණය කලා. බොහොම සන්තෝසයි ඉතින්. මේක ඉතින් කොටින්ට කත් අදින NGO කාරයින්ට, සමහර දේශපාලුවන්ට, කොටින්ට කඩේ යන බ්ලොග් කාරයින්ට එහෙම දිරවගන්න අමාරුවෙයි.

එහෙනම් ඉතින් අපි හැමෝම එකතු වෙලා ඉතිරි ටිකත් විජයග්‍රහණය කරන්න වීරෝදාර හමුදාවට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරමු.

ඇයි මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී

මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමීද? තමන්ට ලාභයක් නෑත්තම් වාසියක් නැත්තම් ඒ දේට සහභාගි නොවී මග අරින මිනිස්සු කොච්චර ඉන්නවද?
මේ ගීතය මං පොඩි කාලෙ අහපු එකක්. අද කාලෙ FM නාලිකා වලින් ගෝසාවල් කරච්චල් ඇරෙන්න මේ වගේ දේවල් අහන්න ලැබෙන්නෙ නෑනෙ.

ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
මුත්තා - ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද?
මුත්තා - මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකි දේ නොම තේරෙයි මට
මුත්තා - පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සියවූ අඹ ගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ළමයා - ඒ යුතුකම හොඳහැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

ගායනය - රෝහණ වීරසිංහ
අනූෂා නානායක්කාර

සංවාදයක් වගේ ගායනා වෙන මේ ගීතය අපිට අපූරු පාඩමක් කියල දෙනව නේද? ළමයා දකිනව මුත්ත පොළව හාරනව මොකටද ඒ, අඹ ඇටයක්හිටවන්න.ඔහුට නැගෙන ප්‍රශ්නය මුත්ත වයසයි අඹ ඇටේ ගහක් වෙලා ගෙඩි හටගන්න කල් මුත්තා ජීවත් වෙන එක්ක නැහැ ඇයි ඔහු තමන්ට යමක් නොලැබෙන දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්නෙ. මුත්ත ළමයට අපූරුවට කියල දෙනව කාරනය. තමන්ගෙන් සමාජයට ඉෂ්ඨ වෙන්න ඕන යුතුකමයි ඔහු ඉටු කරන්නෙ. අතීතයේ අපේ මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම් ඉෂ්ඨ කලා.ඒ නිසයි අපි අද ජීවත් වෙලා ඉන්නෙ.ඒ වගේ අපෙන්
පසුව එන පරම්පරාවකට යුතුකම් ඉෂ්ඨ කර තැබීම තමයි අපේ යුතුකම වෙන්නෙ.

අද සමාජයේ මේවගේ ගීත අහන්න නොලැබෙන් එක කනගාටුවට කාරණයක්. අනුන් ගැන හිතන හැමෝම වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන අය ගොඩක් අඩුයි. ඊටත් වඩා බයානක දේ තමයි තමන්ට වාසියක් ලාභයක් වෙනව නම් ඔනෑම ජරා වැඩක් කරන්න මිනිස්සු පුරුදු වෙලා. තව පිරිසක් වෙනුවෙන් කැපවෙන පිරිසක් විදිහට අපිට අද දකින්න පුළුවන් හොඳම උදාහරණය තමයි රණවිරුවන්.අපිට, රටේ ඊළඟ පරම්පරාවට සාමකාමී රටක් ලබා දෙන්න ඔවුන් අද දවසේ තමන්ගේ ජීවිත පූජා කරනවා.ඒ මිනිස්සු උතුම් වෙන්නේ ඒ නිසයි.

විශ්ව විද්‍යාල ජීවිතේදිත් අපිට මේ දේ පුරුදු කරනව.උඹල උඹල ගැන නෙමේ කැම්පස් එකේදි බැජ් එකක් විදිහට හිතපල්ලා.බැජ් එක ගැන හිතල වැඩ කරපල්ලා.අපිට ජ්‍යෙෂ්ඨ අයියල අපිට කියල දුන්නෙ එහෙමයි.අද ඔනම සතුටකදී , දුකකදී, කරදරයකදී තව පිරිසක් තමන් එක්ක ඉන්නව නේද කියල
විශාල ශක්තියක් අපිට තියනව.

හැමෝම තමන් ගැන විතරක් නැතුව අනිත් අය ගැන වගේම රට ජාතිය ගැනත් කල්පනා කරල වැඩ කරනවනම් මේ පුංචි ලංකාව මීට වඩා ලස්සන තැනක් වේවි. එසේ වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.

Wednesday, January 21, 2009

කලින්ම ඡන්දෙ දාන්න



මේ පළාත් සභා ඡන්දෙ නෙමෙයි හොඳේ. පුංචි ඡන්දයක්.
මේක තියන්නෙ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.
අපේක්ෂකයො 5 දෙනයි.
පොස්ටර් නෑ කටවුට් නෑ. ප්‍රචාරක රුස්වීම් නෑ. බොරු පොරොන්දු නෑ.
වැඩ බලලයි ඡන්දය දෙන්නෙ.
අයිඩෙන්ටි කාඩ් එහෙම ඔන නෑ.ඔය බ්ලොග් එකේ දකුණු අත පැත්තෙ තියන තැනින් ඡන්දය ප්‍රකාශ කරන්නකෝ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ දවස් වල අපිට විභාගෙ. මටත් ඉන්න බෑනෙ විභාගෙ කියලවත්. බ්ලොග් එකක් නොලිය හිතට මොකද්ද වගේ.ඒකයි මේ වැඩේ කලේ.
හරි එහෙනම් කට්ටිය සාධාරණව ඡන්දය ප්‍රකාශ කරන්න කෝ.......

Friday, January 16, 2009

කාලය මැව් වෙනසක අරුමේ.............

කාලයත් එක්ක ජීවිතය වෙනස් වෙන හැටි හරි පුදුමාකාරයි. මීට මාසයකට කලින් අපි බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච ආතල් ගන්නම සෙට් වෙච්ච කොටසක්. හැමදාම බොහොම ආසාවෙන් කැම්පස් ගියේ යාළුවොත් එක්ක මොකක් හරි ජොලියකට සෙට් වෙන්න. හවසට කට්ටිය එකතුවෙලා ක්‍රිකට් වගේ සෙල්ලම් කරනවා. හවස් උනා කියල කැම්පස් එකෙන් යන්නෙ නෑ රූ 7 , 7.30 වෙනකම් බවනට(අපේ කැන්ටිම)වෙලා කදේ දානවා. අපේම එවුනට කෝල් කරලා අලගු දෙනවා. පුදුම නිදහසක් ඒ දවස් වල තිබ්බේ.

ඒත් දැන් ඒ දවස් වල වල බැහැපු,ආතල් ගනිපු එවුන් පොත් වලම එල්ලිලා. උදේම කැම්පස් යන්නේ කුප්පියක් ASSIGNMENT එකක් නම් විතරයි. ඒක ඉවර වෙච්ච ගමන් දුවනවා බෝඩිමට ආයෙ ටියුට් එකක් පෙරල ගන්නවා එක්කෝ PASSPAPER එකක් කරනවා. හැමොගෙම මූනු වල මහා බරපතල බවක් හැංගිලා.

විභාගය ලංවෙලා ඒකයි මේ. අපිට ලබන සතියෙ පළමු සමාසිකය විභාගය. හැමෝම දැන් අධ්‍යන වැඩ වලට මහන්සි වෙනවා. දවසම කුප්පි, ටියුට් , PASSPAPER මතින් ගෙවිලා යනව. ඒ වගේම විභාගය ඉවර වෙලා ආයෙ ආතල් ගන්න එන නිවාඩුවත් හිතේ කොනක තියනවා.................

මේක ලියල ඉවර වෙනකොට උදේ 2.51යි වෙලාව. SAD ASSIGNMENT එකක් කරකර ඉඳල දැන් තමයි නිදා ගන්න හදන්නෙ.හෙට උදේට නැගිටලා ආයෙ වැඩ.

Sunday, January 11, 2009

BANDLUXE C120 BROADBAND MODEM එක UBUNTU මෙහෙයුම් පද්ධතිය තුල ක්‍රියාත්මක කර ගන්නා ආකාරය

මගේ මොඩම් එක ගැන කතාවක් මම කලින් ලිව්වා. මම කැම්පස් එකේදී පහන් අයියට උඩ පැන පැන ගිහින් කිව්වා අයියේ මොඩම් එක වැඩ කියල. ඒ පාර මිනිහ කිව්ව මල්ලි ඔික කරගන්න හැටි බ්ලොග් එකේ ලියපන් කියල නොදන්න කෙනෙකුට දැනගන්න. ඔන්න එහෙනම් මම ඒක කරගන්න හැටි කියන්නයි යන්නෙ.

මුලින්ම පරීක්ෂා කරන්න
1.ඔබ ඇතුලත් කර ඇති SIM කාඩ්පතේ PIN1 ක්‍රියාවිරහිත කරලද කියල.

2.මෝඩමයේ FW version එ
405070_001_052 ද කියල.

පියවර 1
BANDLUXE මෝඩමය USB කේබලය හරහා පරිගණකයට සම්බන්ධ කරන්න. 8.04 VERSION හි නම් මෝඩමය CD ROM එකක් ලෙස විවෘත කර පෙන්නාවි. එම කවුළුව වසා දමන්න. 8.10 VERSION හි නම් එය ඉබේ විවෘත කරන්නද කියල විමසනව එය CANCEL කරන්න. දැන් මොඩමය පහත ලෙස ඔබේ DESKTOP හි පෙන්නාවි.


එය මත RIGHT CLICK කර EJECT තෝරන්න. ස්වල්ප වේලාවකින් මොඩමය පෙර ලෙසම නැවත විවෘත වේවි. මෙවර කවුළුව පමණක් වසා දමන්න. MODEM එක EJECT කරන්න එපා.





පියවර 2
TERMINAL එක විවෘත කර එහි පහත විධානය දෙන්න.
dmesg | tail -50
මෙයින් කරන්නේ dmesg විධානයෙන් ලැබෙන ප්‍රතිඵල වලින් අවසාන පේලි 50 පමණක් පෙන්වීමයි.
ලැබෙන ප්‍රතිඵලයෙන් පහත දක්වන ස්ථානය සොයා ගන්න.


මෙහි ලෙස GSM modem (1-port) converter now attached to ttyUSB0 ලෙස දැක්වේ නම් UBUNTU මගින් MODEM එක අදුනා ගෙන තිබෙනවා. ඔබට ඊළඟ පියවරට යා හැකියි. එසේ නොමැතිව පහත පරිදි reset full speed USB device ලෙස දැක්වේ නම් ඔබේ MODEM එකේ FIRMWARE යාවත්කාලීන කල යුතු වෙනවා.ඒ සඳහා පියවර5 අනුගමනය කරන්න.



පියවර 3
TERMINAL හි sudo gedit /etc/wvdial.conf ලෙස විධානය දෙන්න.ඔබේ රහස් වචනය යොදන්න. දැන් gedit නම් text editer මෘදුකාංගය විවෘත වේවි. එහි ඇති දත්ත ඉවත් කර පහත දත්ත ඒ ආකාරයෙන්ම ඇතුල් කරන්න.

[[මොබිටෙල් සඳහා]]

[Dialer Defaults]
Phone = *99#
Init1 = at+cgdcont=1,"ip","mobitel3g"
Username=foo
Password=bar
Stupid Mode = 1
Dial Command = ATDT
Modem = /dev/ttyUSB0
Baud = 460800
Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
Init3 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
ISDN = 0
Modem Type = Analog Modem

[[ඩයලොග් සඳහා]]

[Dialer Defaults]
Phone = *99***1#
Init1 = at+cgdcont=1,"ip","www.dialogsl.com"
Username=foo
Password=bar
Stupid Mode = 1
Dial Command = ATDT
Modem = /dev/ttyUSB0
Baud = 460800
Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
Init3 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
ISDN = 0
Modem Type = Analog Modem

SAVE කර එයින් ඉවත් වන්න

පියවර 4
දැන් ඔබ සාර්ථක ලෙස MODEM එක INSTALL කර හමාරයි. දැන් TERMINAL එකේ පහත විධානය ලබා දෙන්න
sudo wvdial connect
දැන් MODEM එකේ බල්බය කොළ හෝ නිල් පැහැයෙන් දැල්වී තිබේවි.
ඉතින් දැන් ඔබේ BANDLUXE C120 මෝඩමය හරහා අන්තර්ජාලයේ සැරිසරන්න.
මෙම TERMINAL කවුළුව වහල දාන්න එපා. සම්බන්ධතාවය තියාගන්නෙ ඒකෙන්.
විසන්ධි කිරීමය ඉහත TERMINAL කවුළුවට ගොස් CTRL+C යතුරු ඔබන්න. එවිය සම්බන්ධතාවය විසන්ධිවී TERMINAL එක CLOSE වේවි. නැවත සම්බන්ධ වීමට කල යුත්තේ ඕනෑම අවස්ථාවක TERMINAL එක විවෘත කර sudo wvdial connect විධානය ලබා දීමයි.
පරිගණකය SHOUTDOWN කර නැවත පණගැන්වූවිට මුල් පියවරෙහි කී පරිදි මොඩමය වරක් EJECT කර දෙවන වර විවෘත වූ විට සම්බන්ධ කිරීම කල යුතුයි.

පියවර 5 (දෝෂ සමනය)

බය වන්නට හේතුවත් නැහැ. සුළු දෙයක් පමණයි කල යුත්තේ.
පහත FTP SITE එකට යන්න.
ftp://ftp.bandrich.com/ හෝ http://ftp.bandrich.com/
USERNAME, PASSWORD විමසුවහොත් ඒ දෙක සඳහාම user ලෙස යොදන්න.එහි ඇති Autoflash නම් මෘදුකාංගය බාගත කරගන්න(ZIP FILE එක).
මෙම මෘදුකාංගය භාවිතා කිරීමට WINDOWS වෙත යා යුතුයි. මෘදුකාංගය INSTALL කර විවෘත කර මෝඩමය පරිගණකයට සම්බන්ධ කරන්න. දැන් මෝඩමයේ FIRMWARE යාවත්කාලීන(UPDATE) වෙිවි.මේ සඳහා ටික වේලාවක් ගතවේ. දැන් ඔබේ දෝෂය සමනය කර ඇත. නැවත LINUX වෙත ගොස් මුල සිට පියවර අනුගමනය කරන්න.

Saturday, January 10, 2009

ගෙදර යාම

ගිය සතියෙත් ගෙදර යන්න බැරිවුනා. කැම්පස් එකේ වැඩ නිසා. විභාගෙ ළඟ නිසා වැඩ යමරෙට. මේ දවස් වල බෙල්ල ගාවට හිර වෙලා ඉන්නේ. ඒ අස්සෙ ඇගයීම්(ASSIGNMENT) දෙනවා පෝලිමට ඊයේ එනම් සිකුරාදා තිබුනා ඇගයීම් 4ක්. TAKE HOME 2ක් SUBMIT කරන්නයි IN CLAS 2ක්. ඉතින් මරණවා වගේ තමයි. පහුගිය දවස් තුනටම පැය 10 කට වඩා නිදා ගත්තෙ නෑ. ඉතින් වැඩ තිබුනත් පොඩි BREAK එකකට ගෙදර ගිහින් දවසක් හොදට නිදා ගෙන රසට කාලා එන්න හිතුවා. LINUX ASSIGNMENT එක ඉවර වුනේ 4ට විතර යන්න ලෑස්ති වෙනකොට අපේ අය රණවිරුවන් වෙනුවෙන් බැනරයක් එල්ලන්න ලෑස්ති වෙනවා. ඒකටත් සම්මාදම් උනා. ඊට පස්සෙයි එලියට බැස්සෙ. වෙලාව 4.15 විතර ඇති.

සිකුරාදා නිසා මේ වෙලාවටත් බස් එකේ යාම සුබ නෑ. ඒ සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් තියනවා. ඉස්සර රැග් කාලෙ අපේ ගාල්ල මාතර යන 20ක් විතර යන්නෙ එක බස් එකේ. එතන දික්වැල්ලට යන හාදයෙකුත් ඉන්නවා. ඉතින් කට්ටිය බස් ගණන් කර කර ඉන්නවා තංගල්ල බස් එකක් එනකම්. බස් එකක් ආවා කියමුකෝ සිකුරාදට නියම සෙනග. බස් එකෙත් එක පැත්තක ආසන තුනයි අනෙක් පැත්තෙ 2යි නේ ඉතින් මැද යන්තම් එක්කෙනෙකුට හිටගෙන ඉන්න ඉඩ තියනවා. ඒ වුනාට මොරටුව හරියට යනකොට කොන්දොස්තර මහත්මයා මගීන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා මැදින් තව පේලියක් හදන්න කියලා. ඒක උනේ නැත්නම් ඔහුම මැදිහත් වෙලා දෙවැනි පේලිය හදනවා.ඊට පස්සෙ බස් එක හරියට අර මරන්න හරක් අරන් යන වාහනයක් වගේ. බහින කම්ම හිටී විදිහට ඉන්න ඕන. වැරදිලාවත් කකුල ඉස්සුවොත් ආපහු තියල හමාරයි. ඔය තත්වය උඩත් බස් එක හැම තැනම නවත්ත නවත්ත පැය 3 1/2 ක් විතර ගාල්ලට යනවා. ඒ ඇවිල්ලා බහින කොට ඇඟේ පතේ අමාරු ඔළුවේ කැක්කුම හොඳ ගානට. ආ අමතක උනානේ කැමති වුනත් නැතත් බස් රථයේ වාදනට වෙන සුමිහිරි ගීත ටිකත් අහන් යන්න එපැයි.

ඔය නිසා දැන් මම ගෙදර යනකොට වැඩිපුරම යන්නේ දුම්රියේ. ලොකු කරදරයක් මගදි නොවුනොත් පැය 2 1/2 න් කෝච්චිය ගාල්ලෙ. කන්දොස්කිරියාවල් නෑ. කූඩුවෙ දාපු චිකන් බ්‍රොයිලර්ලා වගේ හිර වෙන්න ඔන නෑ. ඉතින් ඊයෙත් මමයි චමිත්(කැම්පස් එකේ කැවුලා) කියල යාළුවෙකුයි නැග්ගා සාගරිකා දුම්රියට. ආසන නම් නෑ සිකුරාදනේ. මගදි අපි දෙන්නා කලේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය නෑ කියල දොරක් ළඟින් වාඩි උනා.ඒකත් FOOTBORD එකේ යනවා වගේම ආතල් කෝච්චිය කොළඹින්ම විනාඩි 15 ක් විතර පරක්කුයි ඒත් රාත්‍රී 7.30 ට ගාල්ල දුම්රිය ස්ථානයට සේන්දුවුනා.

ඔන්න මම ගෙදර......................

Thursday, January 8, 2009

මම දින්නා

Modem එකක් දෙන වදයක්

කියලා මම කලින් බ්ලොග් එකක් ලිව්වා ලිනක්ස් වල ක්‍රියා නොකරපු මගේ Broadband මොඩම් එක ගැන.මම බොහොම ආඩම්බරෙන් කියන්නෙ මම මේ බ්ලොග් එක ලියන්නෙ එදා ලිනක්ස් වල වැඩ නොකරපු මොඩම් එකෙන් ලිනක්ස් වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා. මම ඒ දවස් වල බයේ හිටියෙ මේකෙන් ප්‍රයෝජනයක් නැතිවෙයි කියල. හැබැයි උත්සාහය අතඇරියෙ නෑ.

මම විශ්වවිද්‍යාලයට ආවට පස්සෙයි ලිනක්ස් වල වැඩ කරන්න පටන් ගත්තේ. මුලදි එක පාරට ලේසි උනේ නෑ. අවුරුදු ගානක් වින්ඩෝස් එක්ක හැප්පිලා එක පාරට ලිනක්ස් වල වැඩ කරන්න පටන් ගත්තාම කෙනෙක් මූදෙන් ගොඩට දාපු මාළුවෙක් ගානට වැටෙනවා තමයි. නමුත් මට ලිනක්ස් ඉගන ගන්න ආසාව තිබුන නිසා මම ඒ අභියෝගය ජය ගත්තා. අද මම පූර්ණ කාලීන ලිනක්ස් පරිශීලකයෙක්. මුලින් මට ගොඩක් උදවු කලේ ශාකුන්තල කියලා අපේ ජ්‍යෙෂ්ඨ අයියා කෙනෙක්. මගේ laptop එකට UBUNTU ඇතුලත් කරලා දීලා දිරිමත් කලේ ඔහු. අපේ පරිගනක විද්‍යාව පාඨමාලාවේ අඩංගු PC Applications and Laboratory කියන විෂයත් මට තල්ලුවක් උනා.

Virus මට වින්ඩෝස් අප්පිරිය වීමත් තවත් හේතුවක්. පසුගිය සතියේ මට වින්ඩෝස් තවත් වතාවක් එපා උනා. මගේ ගෙදර පරිගනකය වින්ඩෝස් ලිනක්ස් ඩුවල් බූට්. මොඩම් එක ඒ දවස් වල ලිනක්ස් වල වැඩ කලේ නෑ. මම කලකට පස්සේ වින්ඩෝස් වලින් ලොග් වෙලා අන්තර්ජාලයට යන්න උත්සාහ කලා. ජීමේල් වලට යන අතරෙ මම මගෙ pen drive එක සම්බන්ධ කරලා මොකක්ද ගොනුවක් විවෘත කරන්න උත්සාහ කලා. command prompt එක වගේ එකක් ක්ෂනිකයෙන් ඇවිත් මැකිලා ගියා. ටික වෙලාවකින් ගිනි නරියා නැතුව ගියා. command prompt,task manager වැඩ කරන්නෙත් නෑ.ගිනි නරියා විවෘත වෙලා ටිකකින් නවතිනවා. දන්න දන්න අත් බෙහෙත් කලා හරි ගියේ නෑ. මම pen එක අපේ විද්‍යාගාරයේ පරිගනක වල සම්බන්ධ කරනවනේ නවතම වයිරස් එකක් යන්න ඇති. මම දමලා ගහලා නිකන් හිටියා. තේරුමක් නැති නිසා, ෆෝමැට් කිරීමක් තමයි.

ලිනක්ස් වල ඔය කරදර නෑ. පාඩුවේ වැඩ ටික කරගතෑකි. ලිනක්ස් Shell එක එහෙම බොහොම ආස හිතෙන දෙයක්.වින්ඩෝස් වගේ නෙමෙයි නිර්මාණශීලීයි.

මොඩම් කතන්දරේ අමතක උනානේ. මම BandLuxe කොම්පැනියට ඊතල මේල් එකක් යැව්වා මොඩම් එක වැඩ නොකරන කතන්දරේ කියල. ඔවුන් මට Firmware යාවත්කාලීන කරන මෘදුකාංගය දුන්නා මොඩම් එකේ Firmware යාවත්කාලීන කරගන්න කියලා. Firmware යාවත් කාලීන කරලා Linux වල Settings හැදුවාම මොඩම් එක බබා වගේ වැඩ.මට උඩ පැනලා නටන්න තරම් සන්තෝසයි. මේ සම්බන්ධතාවය මොබ්ටෙල්නේ ඊළඟට මොබිටෙල් වල බාගත කිරීමේ වේගය පරීක්ෂා කලා. 1053kbps හුහ් ඩයලොග් කැලේ.

ඉතින් අද ඉඳලා මොබිටෙල් සමග ගමනේ යා..........

Tuesday, January 6, 2009

විරහ ගීතය

මගෙ Linux ලෝකයේ තනිවූ මෙමා
Windows හමුවේ නැත හිස නමා
යම් දිනක Windows ගන්නෙමි නමා
මට දුක හිතෙන්නේ Bill ගැන තමා

මේක මගේ තරිඳු(මෂියර් කියලයි කැම්පස් එකේ දන්නෙ) කියල යාළුවෙක් මූනු පොතේ දාල තිබුන සිංදුවක්. උගෙ අදහස මම ලියන එක හරිද මන්දා.බුද්ධිමය දේපල පනත යටතේ නඩු දායිද දන්නෑ මට. කමක් නෑ කවුද ලිව්වෙ කියල කිවුවනෙ.