Friday, February 27, 2009

Torrent බාන්න ලේසි ක්‍රමයක්



අපි ගොඩක් වෙලාවට අළුත් film එකක් බාගන්නේ software එකක් හොයා ගන්නේ Torrent හරහානේ. ඒ සෘජු බාගනීමක් කරගන්න නැති නිසා. ඒත් Torrent වලින් film එකක් එහෙම බාන්න ගියාම එපා වෙන්නෙ සෑහෙන වෙලාවක් යන නිසා. ඒ සම්පූර්ණ වෙලාවම පරිගනකය ක්‍රියාත්මකව තියෙන්නත් ඕන. සමහර Torrent files දවස් ගානක් යනව download වෙන්න.

Imageshack කියන්නෙ මේකට විසඳුමක්. මේක image hosting වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියේ නොමිලේ ලියා පදිංචි වෙන්න පුළුවනි. නොමිලේ ලබා දෙන ගිනුමකට 5GB ඉඩක් ඔවුන් ලබා දෙනව. ඒකෙ image drive කියන තැනට ගිහිල්ල අපිට අපේ torrent file එක මැෂින් එකෙන් ලබා දෙන්න හරි නැත්නම් torrent file එකේ link එක දෙන්න හරි පුළුවන්. එතකොට ඒ file එක ඔවුන්ගේ දෘඩ තැටියකට download වෙනවා. මෙතනදි ඉහල වේගයකින් download වීම වෙනව. සාමාන්‍යයෙන් 80KB(s) වගේ(අපි site එකේ බලනකොටනම් 350KB(s) වගේ වේගයනුත් දකින්න පුළුවන්). අපිට torrent එක download වෙන්න දාලා පස්සේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට imageshack එකේ ඉඳල direct download විදිහට අදාල file එක බාගන්න පුළුවන්.

ඒත් මේ වෙබ් අඩවියට torrent file එක එකතු කරන එක ටිකක් අමාරුයි. මොකද site එකෙන් host කරන්නෙ යම් කිසි සීමිත torrent ගණනකට විතරයි. බොහෝ වෙලාවට අපි torrent එක start කරන්න ගියාම කියනව ඔවුන්ගේ download pool එක full නිසා ටික වෙලාවකින් උත්සාහ කරන්න කියල. මේ නිසා torrent එක add වෙනකම් ඒ පිටුව refresh කරමින් ඉන්න වෙනව. මේකට පිළියමක් විදිහට ගිනි නරියට addon එකක් තියනව ReloadEvery කියල. මේකෙන් කරන්නෙ යම් පිටුවක් ඉබේ refresh කිරීමයි. මේ addon එක ඇතුලත් කරලා pool එකේ ඉඩ නෑ ටිකකින් උත්සාහ කරන්න කියන පිටුවෙ right click කරල ReloadEvery තෝරලා එකෙන් ReloadEvery 5s වගේ එකක් තොරලා ඊළඟට එම menu එකේම Enable තෝරන්න. එතකොට පිටුව තත් 5කට වරක් Reload වෙනව. ඕන නම් custom තෝරලා එතනින් තත්1න් Reload වෙන්න හදන්නත් පුළුවන්. ඊට පස්සේ ඕක Reload වෙවී තිබිලා pool එකේ ඉඩක් ආපු ගමන් torrent එක add වෙනවා. මේ තියෙන්නේ මගේ දැන් download වෙන එකක තිර පිටපත.


මට නම් මේ ක්‍රමයට පහසුයි. ඉහල වේගයකින් බාගත කරගන්න පුළුවන් අයට මේ ක්‍රමයට torrent බෑම ලේසියි කියලයි මම හිතන්නෙ.

Monday, February 23, 2009

සියලු දෙනා වෙත දැනුම් දෙන වගයි



සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ පළමු වසර සිසුන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මෙවර කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ 6වැනි ශිෂ්‍ය සමූහය විසින් මාර්තු 28 වන දිනදී මහාචාර්ය වී.කේ.සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම පිංකම මෙවර සංවිධානය කරෙන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ආදි කතෘ දිවංගත මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමා අනුස්මරණය කිරීම පිණිස මෙන්ම රට දැය වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වූ හා දැනට සේවයේ නියුතු සියලු රණ විරුවන්ට ආශිර්වාද කිරීම සඳහායි. මෙම මහඟු පිංකමට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු.

ස්තූතියි....

We Care Always


පහුගිය දවසක මම අපේ මොබිටෙල් පාරිභෝගික සේවාවට කතා කලා. අපරාදේ කියන්න බෑ මුල් පාරම මාව සම්බන්ධ කර ගත්තා. මම මගේ HSPDA සම්බන්ධතාවයේ බිල ගැන අහන්නයි කතා කලේ. මොබිටෙල් Account එකට අනුව මගේ අමතර දත්ත භාවිතය 232MB යි. මගේ පැකේජය zoom 512. ඒ කියන්නෙ මාසිකව 250MB නොමිලේ rental එක රු 400යි(469.54 තමයි එකතු කරලා තියෙන්නේ). නමුත් මගේ බිල රු1095.83 ක්.

මේ පෙබරවාරි බිලත් එකතුවෙලා මම කව්වෙ ජනවාරි බිල ගැන.

කොහොමද යකෝ ඒක වුනේ. මගේ ඇමතුමට උත්තර දුන්නේ දෙමළ කෙල්ලෙක් වගේ කට හඬින් තේරුනේ. ඉතින් මම ඇහුවා මගේ excess data usage එක 232 යි. එතකොට මට අමතර රු 630කට ආසන්න මුදලක් එකතු වුනේ කොහොමද? හරිනම් මම අමතර 600MBක් විතර පාවිච්චි කරලා තියෙන්න ඕන(ඉස්සර 1MBට රු1නේ දැන් නම් සත50 මම පරණ ක්‍රමේටම ගණන් හැදුවා). කොහොමද මේක උනේ. ගෑනි ටිකක් ඉන්න සර් කියල කොහේද විනාඩි 10ක් විතර ගිහින් ඉදලා ඇවිත් කියනවා. සර්ගෙ excess data ප්‍රමාණයට තමයි ඒ අය කරලා තියෙන්නේ. මාර කතාවක්නේ ඒක මම එයාට කියපු එකම එයා ආපහු මට ඇවිත් කියනවා. මම කිව්වා මම ඒක දන්නවා ඒත් 232MB ට රු 630ක් වැඩිපුර අය කලේ කොහොමද කියල. ඒ පාර ගෑනි මගේ මොඩම් එක ගැන අහනවා. මොකද මොඩම් එකේ හිලක් එහෙම තිබුනොත් data හැලෙනවද දන්නෙ නෑ එතනින්. තව විනාඩි 10ක් විතර බොරු කියලා ඒ පාර කියාපි detail bill එකක් අරන් බලන්න කියල. ඒකට රු100ක් ලු. හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා කඩන් වැටුන වගේ. තව රු 100ක් කඩා ගන්න හදනව. මෙයත් එක්ක කතා කරල තේරුමක් නැති නිසා මම කිව්වා මගේ පැකේජ් එක zoom 490 ට මාරු කරන්න කියල. තව ටික වෙලාවක් කාලා ඒක කරලා දුන්නා. ඔන්න මට තව ප්‍රශ්නයක් මතක් උනා. කොහොමද අපි අපේ data usage එක බලා ගන්නේ account එකේ පෙන්නන්නේ ගිය මාසේ බාවිතය. මේ ගෑනි කියාපි මොඩම් එකේ සිම් එක phone එකකට දාලා එයාලට කෝල් එකක් ගන්නලු.මට නිකන් අවුල් වගේ මම ආයෙ ඇහුවා ඔය කියන්නෙ මගේ HSDPA සිම් එක phone එකට දාලා customer care කතා කරන්න කියලද? ඔව් සර් එහෙම තමයි කරන්න ඕන. අනේ අම්මේ මොබිටෙල් branch එකකට ඇවිත් බලාගන්න කිව්වේ නෑ හොඳ වෙලාවට. මම කිව්වා ඒක කරන්න අමාරුයිනේ on line බලා ගන්න ක්‍රමයක් නැද්ද කියලා. නැතිලු ගත්තු කටටම. අපෝ මගේ ලේ නරක් වෙනඑක විතරයි මුන් එක්ක කතා කරලා. අදාල අංශ වලට ඒ ගැන දැනුවත් කරන්න කියලා මම phone එක තිබ්බා.
ඔන්න We Care Always කරන හැටි.

Sunday, February 22, 2009

අර්ධ සුඛෝපබෝගී vs සාමාන්‍ය දුර ගමන් සේවා

අද උදේ මම පුරුදු විදිහට ගෙදර එන්න සූදානම් වෙලා හිටියෙ කෝච්චියේ. බස් වල තියන අපහසුතා රස්තියාදුව කොච්චියෙ නැති නිසා මම සාමාන්‍යයෙන් කොළඹ ගාල්ල යන්නෙ කෝච්චියේ. උදේ 8.35ට කොටුවෙන් තියනව සීඝ්‍රගාමී දුම්රියක් ඒක දවල් 11.18ට ගාල්ලට ළඟා වෙන්න ඕන. ඊයෙ රෑ දුම්රිය දෙපර්තමේන්තුවෙ වෙබ් අඩවියට ගිහිල්ලයි වෙලාව බලා ගත්තෙ. දැන් දුම්රිය දෙපාර්තමේනතුව අපූරු වෙබ් අඩවියක් පවත්වාගෙන යනව. අපූරු කිව්වෙ ඉස්සරට සාපේක්ෂව සෑහෙන්න හොඳ නිසා. තමන්ට අවශ්‍ය වේලා පරාසයක අවශ්‍ය තැනකට යන්න දුම්රියක් තියෙද කියල විතරක් නෙමෙයි දැනට ධාවනය වෙන දුම්රියන් ප්‍රමාද නම් ඒ බවත් මේ වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවනි. ඉතින් කෝච්චියෙ යන්න හිතාගෙන් හිටියට උදේ අපේ ගාල්ල මාතර යන සෙට් එකක් (සූටියා,කැමියා,පොත්තා,කොයිල්,කුණ්ඩුමනී) බස් එකේ යන්න සෙට් වෙලා. කට්ටියගෙ ඉල්ලීමට මාත් බස් එකේ යන්න තීරණය කලා. සාමාන්‍යයෙන් ගාල්ල,මාතර,තංගල්ල,කතරගම බස් ඔක්කොම යන්නෙ අපේ කැම්පස් එක ඉස්සරහින් ගිහින් තුම්මුල්ලෙන් බම්බලපිටියට හරවලා.අද සෑහෙන වෙලාවක් හිටියත් බස් එකක් නෑ. පස්ස තමයි දන්නෙ බස් ඩුප්ලිකේෂන් පාරෙන් එනව කියල. ඉතින් ගියා බම්බලපිටියට. කට්ටියටම බඩගිනි නිසා කඩේකින් කාලා එලියට එනකොටම තංගල්ල බස් එකක් ආවා. නවත්තගෙන නැග්ගා.ඉරිදනෙ ඉඩ ඕන තරම්. දෙහිවල හරියට ගියාට පස්සෙ මම දැක්කා ඉස්සරහ වීදුරුවෙ "අර්ධ" කියල ගහපු ස්ටිකර් එකක කොටසක්. මලා මේක අර්ධ සුඛෝපබෝගී. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. සාමාන්‍ය දුර ගමන් සේවා බස් එකක් වගේමයි. මම ඒත් ඇහුවා මේකෙ සුඛෝපබෝගී කොටස කෝ කියල. ගාස්තුව නම් පැහැදිලිවම සාමාන්‍ය ගාස්තුව වගේ 1 1/2ක්. ගාල්ලට ටිකටි එක 153යි.සාමාන්‍යයෙන් 100 ක් වෙන එක. මම සංසන්දනයක් කලා බලන්නකෝ.
බස් එක යනකොට මම දැක්ක දෙයක් තමයි ගොඩක් අය බස් එකට නගින්නෙ සාමාන්‍ය දුර ගමන් සේවා බස් එකක් කියල හිතල.ටිකට් එක කැඩුවාමයි දන්නෙ අර්ධ සුඛෝපබෝගී කියල. කොහොම හරි මිනිස්සුන්ගෙන් සල්ලි නම් කඩා ගන්නව. සල්ලි ගත්තට කමක් නෑ ඒකට හරියන සේවාවක් දෙනවනම්. ඒකත් නෑ. මේවට බලපත්‍ර දෙන ගමනාගමනයට සම්බන්ධ නිළධාරීන් හරක්ද කියල හිතෙනව. උන් යන්නෙ නෑනෙ බස් වල යන අසරන මිනිස්සු තමයි විඳවන්නෙ.

නිදහස

මාස කීපයක් පේපර්,ප්‍රශ්න පත්තර,කුප්පි වල ජීවත් වෙලා ගිය 19 වෙනිදා 11ට විතර නිදහස ලැබුවා. අම්මෝ දැනෙන සනීපෙ. හරියට කිලෝ 50ක් බර සිමෙන්ති කොට්ටයක් කර තියාගෙන ඉඳල බිම තිබ්බා වගේ.අන්තිමට තිබිච්ච STAT පේපරේ ටිකක් අවුල් උනාද මන්දා. අපට තිබිච්ච විෂයන් වලින් මම ආසම නැති විෂය. කැමතිම Linux , Java දෙකට.

අද තමයි ගෙදර ආවේ ඉස්සරහට ලොකු වැඩක් තියන නිසා ඒ වැඩ වගේකට කොළඹට වෙලා හිටියේ(ඒ ගැන පස්සේ ලියන්නම්). මම ලැප් එක ගෙදර ගෙනත් තිබුනේ ගිය අඟහරුවාදා යනකොට උස්සගෙන ගියේ නෑ. බෝඩිමේ තියනවා මගේ සගයගෙ පරිගනකය. ඒකෙ අළුතින් UBUNTU ස්ථාපනය කරලා සිංහල යුනිකේත දැම්මා මම. දැන් තියන අළුත් ක්‍රමය එක පාර වැඩකලේ නෑ. Repository එක හොයාගන්න බැරි කතාවක් කියනවා. කොහොම හරි යුනිකේත නම් දාගත්තා ඒත් Input method එක සිංහලට මාරු කරන්න බෑ SCIM එකේ අවුලක්.එක එක ඒවා කරලා බැලුව හරි ගියේ නෑ. ඒකයි එදාම බ්ලොග් එක ලියන්න බැරි උනේ. මට දැන් Real Time Converter එකෙන් ලියන්න බෑ වගේ. අපේ සූටියා(අයේෂ්) නම් උගෙ හද පොත ලීව්වා. ආයෙ යනකොට ලැප් එක අරන් යන්න ඕන. දැන් ඉතින් ආයෙ පුරුදු විදිහට ලියන්න පුළුවන්.

Friday, February 6, 2009

එක ගලෙන් කුරුල්ලො කීප දෙනෙක්

ලිනක්ස් වල වැඩ කරන කොට බොහොම අපූරු මෘදුකාංග හම්බවෙනව.මේ ඒ වගේ එකක්. නම Pidgin . මේක IM Client වර්ගයේ මෘදුකාංගයක්.
අන්තර්ජාලයේ IM(Instant Massage) සේවා සපයන්නන් බොහෝ ගණනක් ඉන්නව. Google , Yahoo, MSN ,AIM වගේ. මේ සේවාවන්ට සම්බන්ධවෙන්න ඒ සේවා සපයන්නන්ට විශේෂිත මෘදුකාංග තියනව Googletalk ,Yahoo messenger වගේ. මේ එක මෘදුකාංගයක් සහය දක්වන්නේ ඒ එක් සේවාවකට විතරයි. මේ නිසා සේවාවන් කීපයකට එකවර සම්බන්ධ වෙන්න උවමනා නම් ඒ මෘදුකාංග කීපයක් පරිගණකයේ ස්ථාපිත කරගන්න වෙනව. මේකෙන් පරිගණකයේ මතකය නිකරුනේ වැයවෙනව වගේම වැඩ කරන්නත් අපහසුයි. Pidgin වල තියන විශේෂත්වය තමයි එකම මෘදුකාංගයෙන් IM Client සේවා කීපයකට එකවර සම්බන්ධ වෙන්න හැකිවීම. මේක ඉහත සඳහන් කරපු සේවා වගේම තවත් බොහෝ ඒවා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ICQ ,IRC , GroupWise , MyspaceIM එයින් කීපයක්. මේකෙ තියන අඩුපාඩුවක් තමයි Audio හා Video Conferencing සහය නොදැක්වීම. ඒවා ළගදීම අඳුන්වා දෙන බව නිර්මාපකයින් කියල තියනව. මේ මගේ Pidgin මෘදුකාංගයේ තිර පිටපතක්. Google,Yahoo account දෙකටම එක වර සම්බන්ධ වෙලා.

ඔබත් පාවිච්චි කරල බලන්න. ලිනක්ස් පරිශිලකයන්ට නම් මේක මෙහෙයුම් පද්ධතිය එක්කම ලැබෙනව නැත්නම් Synaptic Package Manager එකේ Pidgin කියල සෙව්වාම ස්ථාපනය කරගන්න පුළුවන්.වින්ඩොස් පරිශීලකයන්ට මෙතනින් බාගන්න පුළුවන් click.බලන්න නිදහස් මෘදුකාංග ලෝකය කොච්චර අපූරුද කියල.