Sunday, April 5, 2009

Ubuntu අයිසිං කිරීම (1 කොටස)

අපේ ඉන්ද්‍රනාම සහෝදරයා ඇතුළු කීප දෙනෙකුගේ ඉල්ලීම උඩ Ubuntu අලංකරණය කර ගැනීම පිළිබඳව ලියන්න හිතුවා.ගොඩක් අය කියන දෙයක් තමයි Ubuntu environment එක ලස්සන නෑ. ඒ නිසා පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ කියන එක. බාහිර ලස්සන උඩ මොනම දේක වත් වටිනාකම තක්සේරු කිරීම හොඳ දෙයක් නම් නෙමෙයි. ඒත් නිතර දකින තැන ලස්සනට තියෙන්නත් එපැයි.Ubuntu defalt එන විදිහට එච්චර ලස්සන නැති වුනාට ඒකට effect එකතු කරලා ගත්තාම වින්ඩෝස් විස්ටාට තියා 7 වලට වත් අහලකට එන්න බෑ.මේක මම කොටස් කිහිපයකටයි ලියන්නේ.මේ ඒ පළවෙනි කොටස.

Ubuntu වලට අමතර මෘදුකාංග ස්ථාපනය නොකර ක්‍රියාත්මක කරගන්න පුළුවන් effect කීපයක් තියනවා. මේවා ක්‍රියාත්මක කරන්න නම් ටිකක් වැඩි වීඩියෝ මතකයක් අවශ්‍ය වෙනව.(වින්ඩෝස් වලදි වගේ 2GB RAM 512MB VGA නෙමෙයි.512MB RAM,64MB VGA තිබුනාම ඇති.) Gnome desktop එකේ right click කරල change desktop background තෝරන්න.නැත්නම් System-->Preferences-->Appearence තොරන්න. දැන් Appearance Preferences කවුළුව ලැබේවි. මේකෙ visual effect tab එකට යන්න. එතනින් Extra කියන පහලම තියන option එක තෝරන්න.

දැන් ඔබ කවුළුවක් Title bar එකෙන් click කරගෙන සොලවන කොට දොදොලයක් වගේ සෙලවීමත් කවුළුවක් minimize හා maximize කරන කොට ඒ අමතු ආකාරය සෙලවීමත් දකින්න පුළුවන් වේවි. තව රෙද්ද උස්සා බැලීමත් දැන් ඔබට කරන්න පුළුවන්. ඒක කරන්නෙ මෙහෙමයි. mouse pointer එක දකුණු හෝ වම් පස පහල(main menu එක ඉහල ඇත්නම් ඉහල කෙලවරට) කෙලවරට ගෙන යන කොට ඒකෙ හැඩය වෙනස් වෙන තැනක් එනව.එතකොට drag කරගෙන mouse එක උඩට(හෝ පහලට) ගෙනියන්න. රෙද්දක් කොනකින අල්ලල ඉස්සුවහම වගේ යට තියන දේ කොනකින් දකින්න පුළුවන් වේවි. කව්ළුවේ ඉහල හෝ පහල මැදින අල්ලා drag කිරීමෙනුක් වෙනස් විදියකට මේක කරන්න පුළුවන්. ලස්සනයි නේද?

හරි සමහරුන්ට Ubuntu වල defalt එන icon එහෙම ලස්සන මදිනේ.මේ සයිට් එකකට ගිහින් icon theme කැමති එකක් බා ගන්න.
http://www.gnome-look.org/ , TechieSouls
ඔබට ලැබෙන්නෙ .tar.gz file එකක් ඒ කියන්නෙ හකුළුවන ලද ගොනුවක්. කලින් විදිහටම Appearance Preferences කවුළුවට ගිහින් ඒකෙ theme tab එකට යන්න.දැන් එතනින් install ගිහිල්ල අර බාගත්තු file එක තෝරන්න නැත්තම් ඒ file එක theme කවුළුව ඇතුලට drag කරල දැම්මත් හරි. අළුත් theme එක ඇතුලත් කරගන්නද කියල අහවි.

Apply new theme click කරන්න. දැන් එය ඔබේ icon,folder වල පෙනුම යන සියල්ල theme එකට අනුව වෙනස් කරාවි.මේ වෙනස් කිරීම save කර ගන්න ඕන නම් ඒ කවුළුවෙම save as තෝරල තමන් කැමති නමකින් save කරගන්න පුළුවනි.

Ubuntu වලට compiz ස්ථාපිත කරගන්නා හැටි සහ එහි effects ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Saturday, April 4, 2009

Super Ubuntu මේක Super Star වගේ නෙමෙයි.....


Ubuntu කියන්නේ ආධුනිකයෙක්ට ලිනක්ස් වලට පිවිසෙන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය කියලයි මම හිතන්නේ. පරිශීලකයාට මිත්‍රශීලී පරිසරයක් සතු වීම, බොහෝ පරිගනක සමග සාර්ථකව ක්‍රියාත්මක වීම, මෘදුකාංග විශාල ප්‍රමාණයක් මෙයට සහය දැක්වීම වගේ ගොඩක් දේවල් මෙයට හේතු වෙනව.

අපේ ගොඩක් අය අවුරුදු ගානක් වින්ඩෝස් පාවිච්චි කර කර ඉඳල ඔන්න Ubuntu වගේ දාලා ලිනක්ස් ඉගනගන්න හදනවා කියමුකෝ. දැන් ඉතින් එක කන්දොස්කිරියාවයි. සිංදු අහන්න බෑලූ, වීඩියෝ වැඩ කරන්නෙ නෑලූ, මේකට compiz දාලා දෙන්නලූ. ඔන්න ඒකට විසඳුම තමයි Super Ubuntu 8.10 කියන්නේ. මේකේ Ubuntu CD එකේ මූලිකව දාලා එවන මෘදුකාංග වලට අමතරව මේ දේවල් අඩංගු වෙනවා.

  • Ubuntu + GIMP 2.6.3 + OpenOffice.org 3 + Firefox 3.0.4 සඳහා වූ සියළු updates
  • MPlayer සහ VLC, DVD-ධාවනය , MP3 සහය හා අනෙකුත් codecs.
  • aMSN, aMule, Adobe Flash player සහ Opera
  • Java RE, Microsoft Office 2007 file format සහය දැක්වීම.
  • compizconfig-settings-manager (Compiz), Gufw (Uncomplicated firewall), ndisgtk (NDISwrapper) සහ padevchooser (PulseAudio) යන අතුරුමුහුනත් පාලන මෘදුකාංග.
  • Adobe Reader, EnvyNG, Furius ISO Mount, GParted, NDISwrapper, Ubuntu Tweak and StartUp-Manager යන utility මෘදුකාංග.
  • අමතර repositories.
දැන් ඉතින් අපේ අයට ubuntu දාලා 3G මොඩම් හොයාගෙන ඇවිදින්න ඕන නෑනේ. මේ Super Ubuntu 8.10 එක ගිගා බයිට් 1.1 බරයි. බාගෙන DVD එකකට write කර ගන්න එකයි තියෙන්නේ.

මෙතනින් බාගන්න පුළුවනි.

මේක Super Star වගේ බොරු ෂෝ එකක් නෙමෙයි. නම වගේම වැඩත් තියනවා.

ලෝකෙ වෙන තැනක් තියෙද ගෙදර වගේ?

අපිට දුකක් කරදරයක් උනාම, වේදනාවක් දැනුනාම මතක් වෙන්නේ අම්මයි ගෙදරයිනේ. ඒ මේ ලෝකෙ අපිට තියන හොඳම තැන ගෙදර නිසා නේද?

පහුගිය කාලෙ පිරිතෙ වැඩ නිසා මාසෙකට වැඩිය කොළඹටම වෙලා හිටියෙ. කැන්ටිමේ බත් කාලම එපා වෙලා තිබුනේ. ඊයේ ලෙක්චර්ස් ඉවර උන ගමන්ම දුවලා ආවා ගෙදර. මම එන බව කලින් කියල තිබිච්ච නිසා තාත්තා කිරි හට්ටියකුත් ගෙනත් තියලා. මම කිරි කෑමට පෙරේතයි කියල අපේ ගෙදරම දන්නවා.:D
අද දවල්ට අම්මා උයල තිබුනා කැකුළු බත්,කොස් මැල්ලුම්(ම්ම්......),අළු කෙසෙල් බඩ ව්‍යංජනයකු එක්ක කොහිල ව්‍යංජනයකුත්. දැන් නම් හුස්ම ගන්න බැරි වෙනකම් කාලයි ඉන්නේ.

අම්මා තාත්තා නංගි මල්ලි එක්ක හැමදාම ගෙදර ඉන්න ලැබෙනවනම්....

Tuesday, March 31, 2009

මැදියම් රෑ බෝම්බ ප්‍රහාර

ගිය සතියෙ වෙච්ච ආතල් සිද්ධි කීපයකුයි මේ කියන්න යන්නෙ.

පහුගිය දවස් වල අපේ පිරිත පැවැත්වුනා කියල මම කලින් කිව්වනේ. ඒ දවස් වල ඉතින් යමරෙට වැඩ. හවස 8 වෙනකම් කැම්පස් එකේ වැඩ.(අපේ කැම්පස් එකේ 8න් පස්සෙ ඉන්න බෑ.අධි ආරක්ෂක කලාපය නිසා.පට්ට චාටර්)පාරෙ දෙපැත්තෙ වියනෙ එහෙම කැටයම් කැපුවෙ කැම්පස් එකේ තියාගෙන. තව පිරිත් මණ්ඩප්පෙ වැඩ කලේ කිරුළපන හොස්ටල් එකේ(පිරිමි).ඉතින් ගොඩක් දවසට කැම්පස් එකේ ඉඳන් බෝඩිමට ඇවිත් කාලා කොහුවල ඉඳන් කිරුළපනට පයින්ම යනවා. ඊට පස්සෙ එළි වෙනකම් හොස්ටල් එකේ වැඩ.

මේ හොස්ටල් එකේ ලමයි 34ක් ඉන්නවා. ඉතින් එතකොට ආතල් තැනක් තමා කොල්ලො සෙට් එකක් ඉන්න කොට.අපේ බ්ලොග් ලියන චතුරංග(බොට්ටා) , කසුන්(පල්) එහෙමත් ඉන්නේ හොස්ටල් එකේ තමයි. රෑට එළවෙන 3 , 4 වෙනකම් වැඩනේ. එච්චර වෙලා ඇහැරගෙන ඉන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. සමහරක් කට්ටිය රෑ 12 - 1 වෙනකොට හිමීට ඇඳන් වලට යනවා. වැඩ කරන අය වැඩ කරගෙන යනවා.

ඔන්න රෑ 3ට විතර පටන් ගන්නවා නින්ජා ප්‍රහාර අර නිදාගෙන ඉන්න කට්ටියට. බහුලවම පාවිච්චි කරල පහර දීමේ ක්‍රමයක් තමයි රතිඤ්ඤා. හොස්ටල් එකේ කාමරයක හය දෙනෙක් විතර නිදා ගන්නවා. ගොඩක් කට්ටිය නිදාගෙන ඉන්න කාමරයක් බලලා රතිඤ්ඤෙ පත්තු කරලා දාලා දොර වහනවා. ඉතින් රතිඤ්ඤෙ පත්තු වෙන්නෙ බෝම්බයක් වගේ සද්දෙන් නිදාගෙන ඉන්න අය අඩි දෙක තුනක් උඩට වීසි වෙලා තමයි ඇහැරෙන්නේ. මේ ඒ සිද්ධියක වීඩියෝ එකක්. මුලින කැමරාව ඉලක්ක කරලා කාමරේ තියලයි රතිඤ්ඤෙ දාන්නෙ.මුල් වීඩියෝ එකේ ඉන්නෙ අපේ තරංග(N.පලා) පොර උඩ ගිහිල්ල ඇහැරෙන්නේ. දෙවනි එකේ ඉන්නේ රොෂාන්(කැන්දු) මිනිහ නම් රතිඤ්ඤෙ පිපිරිලා ටික වෙලාවකිනුයි ඇහැරෙන්නේ.




ඒ දවස් වල ඉතින් හොස්ටල් එක පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ල වගේ කොයිවෙලේ පත්තු වෙනවද දන්නෙ නෑ. රතිඤ්ඤා නැත්නම් තව දේවල් තියනවා කරන්න. ඇඟ පුරා බයින්ඩර් ගම් ගෑම එකක්. තව දැලි ලාම්පුතෙල් කවලම් කරලා හදා ගත්තු මිශ්‍රණයක් මූනේ ගෑමත් කරනවා. නිදා ගන්න එක අන්තිම භයානකයි ඒ දවස් වල. මටත් දවසක් ඩිංගක් නින්ද ගිය වෙලාවක කොමාන්ඩෝ බටයෙක් වගේ මූනෙ ඉරි ඇඳලා පොටෝ ගහල තිබුනා.

සමහරුන්ට මේව ඇහුවහම හිතෙන්න පුළුවනි මේ මොන විකාර වැඩද කියල. ඒත් කොම්පියුටර් ටියුට් ලෙක්චර් වලටම මැදි වෙලා ගෙවෙන ජීවිතේ ඒකාකාරී බව මග ඇරලා විනෝදයක් ගන්න මේ ආතල් උපකාරී වෙනවා.

ආ අපේ හොස්ටල් එකේ කට්ටියත් මේ ගමන්ම මතක් කරන්නම්. බම්බා ,වම්බොට්ටා ,කැව්ලා ,බිටා ,මරු ,කොයියා ,ගෙම්බා ,පල් ,බෝසා ,ගලයා ,පතන් ,සීනා ,කල්ලා ,කාකා ,කයියා ,ඇලිසා ,කරිප්පු ,මාරිස් ,තටයා ,මොකා ,නකා ,පලා ,කෙවින් ,ජෙරී ,පාල , පට්ටයා, බාසා,ලුකා ,කිත්තා ,කැන්දු ,නළුවා.

Sunday, March 29, 2009

අපේ දහඩිය මහන්සියෙන් ගොඩනැගුනු ඒ සොඳුරු රාත්‍රිය


කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ එහෙම නැත්නම් UCSC එකේ අපේ පළමු වසර ශිෂ්‍යයන් සංවිධානය කරපු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඉතා සාර්ථකව පැවැත්වුනා.

අදට මාසටයට කලින් ඉඳල අපේ බැච් එකේ අය ලෙක්චර්ස් කට් කරගෙන රූ නිදි මරාගෙන දරාපු මහන්සියේ ප්‍රථිපලය තමයි ඊයේ රාත්‍රියේ එළි දැක්වුනේ. වැඩේ ලස්සන දැක්කහම විඳපු අමාරුකම් කරදර ඔක්කොම අමතක වෙලා පුදුම සංතෝසයක් හිතට දැනුනේ. වැඩේ ඉවර වෙනකම් අපිවත් හිතුවේ නෑ මෙච්චර ලස්සන නිමාවක් එයි කියල. පිරිතට වැඩම කරපු ගංගාරාම විහාරයේ ගලබඩ ඥානිස්සර පොඩි හාමුදුරුවො ඉල්ලීමක් කලා මේ පාර වෙසක් එකට අපි හදපු පිරිත් මණ්ඩපයයි අනෙක් සැරසිලි ගංගාරාම විහාරයේ ප්‍රදර්ශනය කරන්න කියලා.

ලොකුම දේ තමයි අපි එක බැච් එකක් විදිහට මේක කරපු එක කියලයි මම හිතන්නේ. අපේ ශක්තිය එකමුතුව තමයි මේ නිර්මාණ වලින් පේන්නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන්නේ පොඩ්ඩ වැරදිච්ච ගමන් බයිසිකල් චේන් පොලු මුගුරු ගන්න පෙළපාලි යන දියව් දියව් කියල ඉල්ලන පිරිසක් කියලයි සමාජය හිතාගෙන ඉන්නේ. ඒක එහෙම නෑ කියල අපි පෙන්නුවා.මේ අපේ පිරිතේ සැරසිලි වලින් ටිකක්.


Tuesday, March 17, 2009

රාත්තල් 600ක් බර ගෝරිල්ලා



මගේ ලැප්ටොප් පරිගනකයේ උබන්ටු වින්ඩෝස් dual boot තිබුන බව මම කලින් කියල ඇතිනේ. මම වින්ඩෝස් පාවිච්චි කරන්නේ නම් නෑ. ඒ උනාට කැම්පස් එකේදි සමහර වෙලාවට අපේ එවුන් ලැප් එක ඉල්ලනවා photoshop වලින් වගේ වැඩක් කරගන්න(මේ දවස් වල විශේෂයෙන්ම). මගේ වින්ඩෝස් එකේ මොකක් හෝ අවුලක් තිබුනා. වින්ඩෝස් වලින් boot වෙනවා වැඩ කරන්නත් පුළුවනි ඒත් stuck වෙන්න බලනවා. ලොකුම අවුල තමයි shut down කරන්න බැරි වෙන එක. වින්ඩෝස් වලින් හරියට shut down නොකරහම ලිනක්ස් වලින් ඒ NTFS partition mount කරන්න බැරි වෙනවා. මේ කරදරේට මම යොදපු පිළියම හරිම සරලයි. ඒක තමයි බේතකටවත් වින්ඩෝස් boot නොකර ඉන්න එක. ඒත් අපේ එවුන්ට හදිසියකට වත් ලැප් එක දෙන්න බැරි නිසා මම හිතුවා වින්ඩෝස් ආපහු දාන්න. තව මට partition හරියට හදාගන්න උවමනාවකුත් තිබුනා.

ලිනක්ස් තියන මැෂින් එකකට වින්ඩෝස් දැම්මාම ලිනක්ස් වල grub එක(පරිගනකයේ ස්ථාපිතව ඇති OS පෙන්නලා boot කල යුතු OS එක තේරිය හැකි තැන) වින්ඩෝස් වලින් මකල දානවා. මම මේ ගැන forum වල හෙව්වාම එකක තිබුනා මෙහෙම."වින්ඩෝස් කියන්නේ තමන් ඉන්න කාමරයේ තව කාටවත් ඉන්න බෑ කියලා හිතන රාත්තල් 600ක් බර ගෝරිල්ලෙක්". අනිවාර්යෙන්ම ඒ කතාව හරි. පරිගනකයට වින්ඩෝස් දාන්න ගියාම ඌ හිතන්නේ ඒකෙ ඉන්න පුළුවන් ඌට විතරයි කියල. ඒකට ලිනක්ස්, වෙන OS නුත් ආරක්ෂා කරල තමයි ලිනක්ස් ස්ථාපනය වෙන්නෙ.

ඉතින් මාත් වින්ඩෝස් දාන්න ගියාම වින්ඩෝස් මගේ grub එක මැකුවා. මම ඒකට ලෑස්ති වෙලයි හිටියේ. grub එක නැවත යොදන්න ක්‍රම ඕන තරම් තියනවා. මමත් grub එක reinstall කර ගත්තා. ඒත් මොකක් හරි තැනක වරදක් උනා. grub එක නම් හරි නමුත් උබන්ටු boot කරන්න ගියාම කියනවා module එකක් සොයාගන්න බෑ කියලා. ඒක විසඳගන්න උත්සාහ කරත් පුළුවන් උනේ නෑ.අන්තිමේ මට ආයෙත් උබන්ටු ස්ථාපනය කරන්න උනා. ඔය නම් අන්තිම පාරටයි ගෝරිල්ලා(වින්ඩෝස්) ස්ථාපනය කරේ. ආයෙ නම් දෙයියන්නාන්සේ කිව්වත් ගෝරිල්ලෙක් නිසා මගේ උබන්ටු එක අවුල් කරගන්නෙ නෑ.

Tuesday, March 10, 2009

නිදුකාණනේ



කිත්සිරි ජයසේකර ගායනා කරන මේ ගීතටය සංගීත නිර්මාණය කරල තියෙන්නෙ නදීක ගුරුගේ. මේ ගීතයේ රූප රචනය විදිහට භාවිතා කරල තියෙන්නෙ graphic designing මෘදුකාංගයක් භාවිතා කරල චිත්‍රයක් අඳින එක. adobe photoshop හරි adobe illustrator වෙන්න ඕන මම හිතන්නෙ. බොහොම අපූරු නිර්මාණයක්. ඔයගොල්ලොත් බලන්නකෝ.