Showing posts with label වෙන වැඩ නැතුවට. Show all posts
Showing posts with label වෙන වැඩ නැතුවට. Show all posts

Wednesday, May 29, 2013

අහෝ බුදු තෙමගුල ......









                 නෙක වරුණ විසිතුරු ඇඳුම් ඇඳ
                 කුඩා උන් පැළඳ වෙස් මුහුණු ඇවිදින
                 නලා පිඹිමින් කරන ගෝසා
                 නෙතට ගිනිකන විදුලි එළියෙන් පිරුනු මග තොට
                 ගෙදර පාළු කර දන්සැල් පෝලිම්වල නිවැස්සන්
                 හිම කිරම කඩල කජු වෙළෙන්දන්
                
                 අස්ථිර වූ අසාර වූ ජීවිතය
                 ඇල්ම අඩුකර වඩා ගුණදම්
                 පතා අමා මහ නිවන අවසන
                 දෙසූ සදහම් අමාමෑණී බුදු හිමි
                 තෙමගුලයි මේ මිනිසුනේ
                 තවත් එක සැණකෙළියක්ද අද එය
                

Sunday, February 3, 2013

කෝච්චිය සහ මම


මරදාන ELS(Electric Locomotive Shed) තුල M10 එකකට නැග
දුම්රිය නොහොත් අපේ සරල ව්‍යවහාරයෙන් කියනවා නම් කෝච්චිය කුඩාකල පටන්ම මා කුතුහලය ඇවිස්සූ මා ආසා කල අපූරු යන්ත්‍රයකි. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වන මාත් කෝච්චියක් අතර ඇති සම්බන්ධය ගැන බොහෝ දෙනා විමසයි. මා මෙන් කෝච්චියට සමීප එයට ආදරය කරන තවත් බොහෝ අය ඇති බව මම දනිතත් සමහරෙක් දන්නේ නැත. සරසවි දිවිය හමාර කර රැකියා දිවිය ඇරඹූ හෙයින් ලද සුළු අස්වැසිල්ලක මාත් කෝච්චියත් ගැන සටහනක් තබන්නට දරන වෑයමයි මේ.

ළදරු වයසේ පටන්ම යන්ත්‍ර සූත්‍ර ගැන අන් අයට වැඩි ඇල්මක් මට තිබුනු බව මතකය. පවුලේ වැඩිමල් දරුවා වන මට ඒ නිසාම කුඩා කල මවත් පියාත් දැඩිව ආදරය කලේය. ඒ ආද‌රයේ එක් ප්‍රථිපලයක් නම් මට ලැබුනු සෙල්ලම් බඩු ගොන්නයි. එයිනුත් අති බහුතරයක් කාර් ජීප් ලොරි ආදී වූ යන්ත්‍රවල අනුරූ විය. නමුත් මට ලැබෙන මේ සෙල්ලම් බඩුවත් වැඩි කාලයක් ආයු නොලැබූ බව තාත්තා අදත් මතක් කරයි. සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කර සෑහීමට පත් නොවන මා කරන්නේ එය කැබලි කිරීමයි. නැවත සවිකිරීමයි. නවීකරණය කිරීමට උත්සාහ කිරීමයි. එ නිසාම බොහෝ දරුවන් සාඩම්බරයෙන් සෙල්ලම් බඩු ගොන්නකට අයිතිය කියද්දී මට තිබුනේ අමතර කොටස් විශාල සංඛ්‍යාවක් පමණි.

Nissan Sunny B11 Station wagon මෝටර් රථයක්
බොහෝ දේවල් කැඩුවා සේම බොහෝ දේවල් අළුත් වැඩියා කිරීමට මට පුළුවන් කම තිබුනි. ගෙදර දොරේ යන්ත්‍ර සූත්‍ර ආදිය අතපත ගා හදන්නට ගාන මට තිබුනු ආසාව ඉවහල් විය. මට වයස 14ක් පමණ වන විට තාත්තා 12 ශ්‍රී 6568 දරන Nissan Sunny station wagon රථයක් මිලට ගත්තේය(පින්තූරයේ තියන වර්ගයේ එකක. මේ ඒක නෙමෙයි).   කාලයට සාපේක්ෂව පරණ මෝටර් රථයක් වූ එය නිරන්තරයෙන් දෝශ ගෙනදුන් අළුත්වැඩියා වලට බඳුන් වූවකි. කාරයේ අළුත් වැඩියාවන් වලට එන්නේ තාත්තාගේ මිත්‍රයෙකු වූ වාහන අළුත්වැඩියා කරන්නෙකි. ඔහුගේ නියම නම මම අදටත් නොදනිතත් ගාල්ලේ බොහෝ දෙනා ඔහු දන්නේ බේබි යන නමිනි. බේබි ඇවිත් කාරය හද්දී එතනට හොස්ස ඔබාගෙන කරන දේ බලා සිටීම මගේ පුරුද්දයි. පසු කලෙක මම සංගීත නාදයක් නිකුත්වන ඉලෙක්ට්‍රොනික පරිපථයක් සාදා එය මෝටර් රථයේ reverse light වලට යන විදුලියෙන් ක්‍රියාත්මක කලෙමි. එය කෙටි කලක් සාර්ථකට වැඩ කල බව මතකය. මගේ මේ මකබාස් වැඩ නිසා තාත්තාට කරදර වුනේ නැත කියන්නට බැරිය. සමහර විටක හිටිගමන් ඩෑෂ් බෝඩය යටින් මොකක් හෝ ෂෝට් වී දුම් නගින්නට ගනී. එවැනි විටක මට නැවත ප්‍රශ්නය නිරාකරණය කරන තුරු තම ගමන කල් දැමීමට තාත්තාට සිදුවේ. ඒ අතර වයස 15 පමණ වන විටම මෝටර් රථය පැදවීමට මට පුළුවන් වූ අතර එයට තාත්තාගෙන් පවා ලොකු උපදෙසක් ලැබුනේ නැතත් තාත්තා එලවනවා බලා සිට ලැබූ දැනුමෙන් මට මෝටර් රථ පැදවීමට හැකි විය. නැතහොත් ඒ හැකියාව මගේ ඇඟේ තිබෙන්නට ඇත.

මෝටර් රථයක තිරිංග පද්ධතිය වැඩකරන්නේ කොහොමද, එන්ජිමේ පිස්ටන් හි ignition plug වලට විදුලිය ලැබෙන ආකාරය, සිසිලන පද්ධතියේ ක්‍රියාකාරිත්වය, කාබියුරේටරය අවශ්‍ය වනේ ඇයි ආදිය ගැන ප්‍රමාණවත් දැනුමක් මට ලැබුනේ නිතර ලෙඩවූ අපේ මෝටර් රථය නිසයි. බොහෝ දෙනා මෝටර් රථයක් සතුව තිබුනත් එය පැදවුවත් එහි ක්‍රියාකාරීවය දන්නේ නැත. ලෙඩක් ආවිට ගරාජයකට ගොස් එය සාදාගැනීම ඔවුන්ට ප්‍රමාණවත් වේ. මම අයත් වූයේ ඒ කොට්ඨාශයට නොවේ.

දුම්රිය මෝටර් රථයක් මෙන් නොව ඊට සංකීර්ණ යන්ත්‍රයකි. මේ සුවිශාල එන්ජිම වැඩ කරන්නේ කොහොමද? මෙච්චර දිග දුම්රියක තිරිංග එක තැනක සිට ක්‍රියාකරවන්නේ කෙසේද? මෝටර් රථයක නම් ගියර් 4ක් සාමාන්‍යයෙන් තිබේ. දුම්රියේ ගියර් කීයක් ඇද්ද( දුම්රිය එන්ජිමක ගියර් නැති බව ඒ කාලයේ මම දැන නොසිටියෙමි) ආදී දහසකුත් ප්‍රශ්න මගේ සිතේ තිබුනි. ඒ වගේම බස් එකට වඩා කෝච්චියම මම ප්‍රිය කලෙමි. එයට මේ යයි හේතුවක් දිය නොහැක.

2007 හෝ 2008 දී මගේ කුතුහලයට පිළිතුරු ලැබෙන්නට පටන් ගන්නේ අළුත් මිතුරෙක් හමුවීමත් සමගයි. ඒ සඳරුවන් කුඩාහෙට්ටි නොහොත් සඳා. මට තරම්ම වගේම මටත් වඩා එනම් අන්තයටම කෝච්චි පිස්සුව තදවූ සෙට් එකක් ඇති බව දැනගන්නේ ඒ සෙට් එකට මා එකතු කරගන්නේත් සඳාය. කෝච්චි හදන රස්සාව නොකරත් ඇන්ජින් වල අන්තිම නට් එක බෝල්ට් එක තෙක් දන්නා සඳා, ටජා, විදුර, චරියා සහ කෝච්චි සෙට් එකේ අයගෙන මම කෝච්චි ගැන බොහෝ දේ ඉගන ගත්තෙමි. මූණු පොතේ අපේ තැන රේල් හන්දියයි. ඊට අමතරව ලොකු දැනුමක් ගෙහාන්ගේ බ්ලොගය හරහාද ලැබුනු බව නොකියා බැරිය.

කුඩා වාහනයක් තිරිංග ක්‍රියාත්මක කිරීමට ද්‍රවයක්(break oil) භාවිතා කරයි. ඒත් දුම්රියට ඒක කරන්නට බැරිය. එකක් මුළු දුම්රියේම break බට පිරවීමට oil බවුසරයක් පමණ අවශ්‍ය වීමයි. අනෙක් සුළු කාන්දුවක් වුවහොත් ටොන් ගණනක් බර යකඩ ගොඩක් නවත්වාගන්නට නොහැකිම මළ කෙලියක් වන නිසාය. එකී නොකී ප්‍රශ්න නිසා දුම්රිය තිරිංග සඳහා යොදාගන්නේ පරිසරයේ පහසුවෙන්ම සොයාගත හැකි දේය. එනම් වාතයයි. තිරිංග නල තුල වාතය සම්පීඩනය කර හෝ ඉවත් කර(vacuum) යන ක්‍රම දෙකෙන් එකක් දුම්රිය තිරිංග සඳහා යොදා ගනී.

දුම්රිය එන්ජිමක එන්ජිම සහ රෝද අතර ඍජු සම්බන්ධයක් නැත. මෙයට හේතුව නම් සම්ස්ථ දුම්රිය වැඩි විශාල ස්කන්ධයක් සඳහා වාහනයක මෙන් ක්ලච් උපරණයක් හරහා බලය ලබාදිය හැකි නොවීමයි. කලච් එකක් නිර්මාණයක කලද එය කැඩී යාමේ අවදානම ඉහල අතර නැත්තම් එක ගමන් වරායකට පසු ගෙවීම නිසා ක්ලච් ප්ලේට් මාරු කිරීමට සිදුවේ. මේ නිසා වෙනත් උපක්‍රමයක් එන්ජිමේ සිට රෝද වලට ශක්තිය සංසරණය කිරීමට යොදාගනී. ඩීසල් විදුලි(diesel electric) එන්ජින් වල එන්ජිම මගින් බලවත් විදුලි උත්පාදන යන්ත්‍රයක්(generator) කරකවා උපදින විදුලය  බොගියේ(රෝද කට්ටලයක්) ඇති ජවසම්පන්න මෝටර වලට(traction motors) වලට ලබාදේ. විදුලි මෝටරයක ඇදීමේ හෝ තල්ලු කිරීමේ හැකියාව(torque එක) ඉහලය. මේ නිසා ටොන් ගණනක දුම්රියක් ගමන් කරවීමට මෙම උපක්‍රමයට හැක. ලංකාවේ බහුතරයක්ම එන්ජින්( හරි වචනය locomotive ) මෙම උපක්‍රමය යොදාගන්නා ඒවාය. අනෙක් ප්‍රධාන වර්ගය ඩීසල් ද්‍රව (diesel hydrolic) ය. එහිදී එන්ජිම හා රෝද සම්බන්ධ ඇක්සලය අතර ශක්ති පරිවර්තනය කරන්නේ torque converter නම් උපකරණයකිනි. බොහෝ අය නොදැන සිටියාට auto gear වාහන වල ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේත් torque converter එකකි. මෙම උපකරණය ඇතුලේ ශක්තිය සංසරණය කිරීමට යොදාගන්නේ ද්‍රවයකි. ලංකාවේ ඇති diesel hydrolic එන්ජින් නම් W1, W2(දැන් ධාවනයේ නැත), W3 සහ S8 බලවේග කට්ටල වැනි ඒවායි.

මෙවැනි අපූරු යාන්ත්‍රික කරුණු ගැන සොයා දැන ගැනීම මට නම් ඉතා තෘප්තිකර කටයුත්තකි. දුම්රිය ගැන පමණක් නොව ABS break system, power steering වැඩ කරන හැටි, power break( මා ඉහත කී station wagon රථයේ power break නොහොත් safety break නොතිබුනි. තිරිංග යෙදීමේදී සෑහෙන බලයක් කකුලෙන් පෙඩලයට දිය යුතු වේ, තාත්තා පසුව එය විකුණා මිලට ගත් Nissan AD wagon රථයේ safety break තිබුනෙ. පාදයෙන් දෙන බලය එන්ජිමෙන් සම්පීඩනය කල වාතය යොදාගෙන විශාල ලෙස දියුණු කරන නිසා ඇඟිලි කිහිපයකින් බ්රේක් පැඩයල පැගීම ප්‍රමාණවත්ය), hybrid මෝටර් රථයක ක්‍රියාකාරීත්වය ආදිය අන්තර්ජාලය ආශ්‍රයෙන් මම ඉගෙන ගත්තෙමි.

ඉඳන් දුම්රියත් මාත් අතර ඇති සම්බන්ධය මෙවැන්නකි. නිරන්තර කෝච්චි ගමනත් මූණු පොතේ පලවන දුම්රිය පින්තූර නිසාත් "උඹ කෝච්චියක් බැඳ ගනින්" කීයූ අය ඕනෑ තරම්ය. සමහරුන් තමන් තුප්පහි වැඩ කර ඉන් සන්තෝෂ වන ගමන් "මොකක්ද මේ උඹ කෝච්චි ගැන හොය හොය කරන විකාරෙ" මගෙන් අසයි. විවිධ අයට විවිධ විනෝදාංශ තියනවා මෙන් මෙය මගේ විනෝදාංශයයි. ඉන් කාටවත් කරදරයක්ද නැත. අදත් හෙටත් මම කෝච්චියේ යමි. එන්ජිමට එබී බලමි. එහි ඇති යම් කොටසක ක්‍රියාකාරීත්වය ඉගන ගන්නට උත්සාහ කරමි. එයින් සන්තෝෂ වෙමි. කෝච්චිය මගේ ජීවිතයට සමීප ඒ නිසයි.

Monday, December 13, 2010

ආ ගිය විත්ති...කලකට පස්සේ


කලකින් පස්සෙ උනත් ඉතින් මේ සූදානම සටහනක්ම ලියන්න නම් නෙමේ. කලකින් කිසිම දෙයක් ලියන්න බැරි උනාට කනගාටුව හෙම ප්‍රකාශ කරලා බොහොම ඉක්මනට අනම් මනම් ටිකක් ලියන්නයි හදන්නෙ.

ජීවිතයට සොඳුරු අත්දැකීමක් එකතු කරපු අපේ ආදරණීය සරසවියේ දැන් ඉතින් අපි සැඳෑ සමය තමයි ගෙවන්නෙ. තව මාසයකින් දෙකකින් අකමැත්තෙන් උනත් අපි ඒ මතකයන් විතරක් අරගෙන මෙතනින් යන්න ඕන. ඉතිරි මාස හය ගෙවෙන්නේ පුහුණු කාලය. දැනටමත් ගොඩක් අයට සම්මුඛ පරීක්ෂණ ඇවිත් පෙලක් අය තේරිලත් ඉවරයි.

3rd year එකේ නම් ඔළුව උස්සන්නවත් බෑ කියල ඉස්සර අයියල කිව්ව කතාවෙ ඇත්ත නැත්ත දැන් නම් හොඳටෝම තේරෙනවා. මේ මාසෙ ඉවර වෙනකොට ව්‍යාපෘතිය සම්පූර්ණ වෙන්න ඕන. ඉන් පස්සෙ විභාගෙ. ඊට කලින් තව ඇගයීම් කිහිපයකුත්. ම්ම්....sad

ifo++ නුත් කලා ඉතින්. ලොකු වැඩක්. අපිට තිබුනු හීනයක්. හැමෝම මහන්සි උනා. විශ්ව විද්‍යාලෙ ලොකු තැන අපිට කරන්න පුළුවන් බාධා ඔක්කොම කලා. ඒ හැම දෙයක්ම මැද අපි ප්‍රදර්ශනේ කලා. ගොඩක් අය ආවා. බ්ලොග් කරුවන්ගෙන් මට හම්බුනේ ඉන්දරේ විතරයි. තව අය ආවද දන්නෙ නෑ. ifo ගැන සවිස්තර සටහනක් ඉස්සරහල පල වේවී. ටික ටික ලියාගෙන යනවා තව ඉවර නෑ.

යාළුවෙක් එක්ක පොඩි වැඩකට සෙට් උනා. ♫...ගී පැදුර...♫ කියන බ්ලොග් එක ලියන්න. බ්ලොග් ලියන්න වෙලාව නෑ තමයි. ඒත් සිංදුවක් ලියන්න වැඩි වෙලාවක් යන්නෙ නෑනෙ. මට නම් විනාඩි පහකට වඩා යන්නෙ නෑ. මම බොහොම ආදරේ කරන විඳින සිංහල සරල ගීත මම ගී පැදුරට ලියනවා. ගීතයක සංගීතයේ පද වැලේ මිහිර විඳින්න ආස ඇත්තන්ට ඇවිත් බලන්න කියල ආරාධනා කරනවා. ආ මේ බ්ලොගයෙ අයිති කාරයා තමයි අපේ අල්ලපු බෝඩිමේ ඉන්න රසිකයා.

ලිනක්ස් ගැන සටහන් පෙළ දකින්න ආසාවෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ ඒක නැවැත්තුවා නෙමෙයි. ලියන්න වෙලාවක් නැති වෙලයි ඉන්නෙ. අනිවාර්යෙන් ඒක ලියනවා ආයෙ වෙලාවක් ලැබුන ගමන්.

ජීවිතේ වෙන්නෙ මොනවද කියල කියන්න කාටවත් බෑ. හැබැයි මොනව උනත් හිතට එකඟව කරන දේ හරියට කරන එකයි මගේ ක්‍රමේ. ඒක කොතනට මාව අරන් යයිද කියල මම දන්නෙ නෑ. මොනව උනත් මොනව ලැබුනත් නොලැබුනත් මම ඒක පිළිගන්න ලෑස්තියි. තතු දත්තෝ තේරුම් ගත්වා. wink

ප.ලි - උඩින්ම තියන පින්තූරය ගැන කියන්න බැරි උනානේ. අපි පරිගනක විද්‍යා සංගමෙන් පහුගිය දවසෙ හොරණ ශ්‍රීපාලී විද්‍යාලයට ගියා දෘඩාංග ගැන වැඩමුළුවක් කරන්න. ඒක ඉවර වෙලා ආපහු හොරණට එන්න බස්නැවතුමේ ඉන්න ගමන් මම ඡායාරූපයක් ගත්තා අපි තුන් දෙනාවම අහුවෙන්න. වාසනාවට වගේ තුන් දෙනාම ඉන්නවා. ඒත් අපේ නරියා(සුපුන්) ඇස් දෙක පියාගෙනනනේ..මැද ඉන්නේ පාලි(කණිෂ්ක).

එහෙනම් ගිහින් එන්නම් ආයුබෝ..........smile

Thursday, May 27, 2010

ආගිය විස්තර : පශ්චාත්තාපය : Roswell සහ ජීවිතය

ආගිය විස්තර :

ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්නයි යන්නෙ. පහුගිය ටිකේ සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් තිබුනෙම නෑ. ලිනක්ස් ගැන සටහන් පෙළ නැවැත්තුව කියල හිතන්න එපා. කාර්ය බහුලකම නිසායි ලිපියක් ලියන්න බැරි උනේ. ඒ වගේව පොඩි විරාමයක් ගත්තොත් හොඳයි කියලත් හිතුනා. ඕන නම් ඊළඟ ලිපිය ගැන අදහසක් දෙන්නම් කෝ. ලිනක්ස් Shell Command ගැනයි ඊළඟ ලිපිය. ඉතින් එතනින් ගියාම පහුගිය කාලෙ භක්ති ගීත කිව්වා. භක්ති ගීත කියනව කියල අපේ assignments එහෙම cancel කරනව කියලද. පිස්සුද? Assignment 3ක් තියාගෙන තමයි වාදක මණ්ඩලෙයි සින්දු කියපු අපියි පුහුණුවීම් එහෙම කලේ. අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන එක, Assignment තුනක් ඇති මිනිහෙක් භක්ති ගීත කීය කියල සංශෝදනය කලොත් මොකද?
මේන් භක්ති ගීත කියපු දෙවන වසර අපේ කට්ටිය. නම් නොකිව්වොත් තරහ වෙයිද දන්නෙ නෑනෙ. ඔන්න වමේ ඉඳලා. ඉස්සරහම ඉන්න දෙහි ගෙඩි දෙකක් වත් උස නැති කෙල්ල කටූ ඊළඟට කිංකිණි, චිං චිං, සූදු, බට්ටී, බඩී ආයෙ කොල්ලොන්ගෙන් මුලින්ම මාට්ටු හෙවත් සයිකො, කොයියා, සාදු, පොක්සන්, මම සහ වෑන්ටි සර්.
මේ වැඩේ සංවිධානය කල අයත් අමතක කරල බෑනෙ. අපේ J.J. මකා හෙවත් නදීර තමයි මූලික වෙලා වැඩකලේ. වෙලාවට වැඩක් නොකලට(8ට වරෙන් කිව්වාම 10ට විතර ආවට) අපේ මෂියර්(තරිඳු)ත් මේකට සෑහෙන උදව් කලා.


පශ්චාත්තාපය :



මම මේ සම්මජ්ජාතියෙ දැකපු පතරංගම Assignment එක පහුගිය දවස් වල Introduction to programming Languages කියන එකට පහුගිය දවස්වල හම්බ උනා. ක්‍රමලේඛනය ගැන යම් දැනුමක් තියන අය දන්නවා ඇතිනේ code එකක් ලියලා එක් compile කරනකොට code එකේ වැරදි තියනවනම් පෙන්නව. ආන්න ඒ දේ කරන්න අවශ්‍ය වෙන Lexical analyzer, parse tree සහ symbol table කියන දේවල් C හෝ C++ වලින් implement කරන්නයි තිබුනේ. මුලින් ලේසියි කියල හිතුවට පස්සෙ කරන්න ගියාම මේක පට්ට අමාරුයි. ඇඬෙනවා. theory තේරුම් ගැනීමේ දෝශයි ඇත්තටම තිබුනේ. Lectures cut වුන ඒවගෙ පාඩුව එතකොට තමයි තේරුනේ. මට නම් symbol table එක ලියන්න උනේම නෑ. parse tree එකත් හරියට ලිව්වා කියල හිතුවට අන්තිමට segmentation fault එකක් එනවා කොහෙන්ද කියල හිතාගන්න බෑ. කොහොමින් කොහොමින් හරි මාරක රේඛාවට විනාඩි 20ක් විතර තියල මම කරපු කොටස submit කලා. මේ කැම්පස් ජීවිතේ coding කරන්න දීපු assignment එකක් බාගෙට submit කලාමයි ඔය. සෑහෙන්න පසුතැවෙනවා ඒ ගැන. තව මම හිතාගත්තු දෙයක් තියනවා. දැකල තියනවද සමහර compilation errors පෙන්නන තැන නෙමෙයි තියෙන්නෙ සමහර විට විකාර errors දෙනවා. ඒ වගේ වෙලාවට කේන්ති යනව නේද? මම නම් ආයෙ එහෙම කේන්ති ගන්නෙ නෑ ආයෙ. මොකද compiler එකකින් 1/4 ක් ලියන්න අපිට මෙච්චර අමාරු උනානම් ඔක්කොම ලියන එක කොච්චර අමාරු ඇද්ද?


Roswell :

ජාතික රූපවාහිනියේ ගිහිපු Roswell TV series එක බැලුවද? මම A/L කාලේ බලපු රූපවාහිනී වැඩසහටන් දෙකෙන් එකක් තමයි Roswell. අනික මොකද්ද දන්නවද? X files. Roswell කියන්නෙ මනුෂ්‍ය DNA මගින් නිර්මාණය කල ශරීර වල ජීවත් වන Max , Isabel සහ Michel කියන පිටසක්වල ජීවීන් වටා ගෙතෙන කතාවක්. මේ කතාවට Max ගේ පෙම්වතිය විදිහට Liz නුත්(කතාවෙ ප්‍රධාන වෙන්නෙ මේ දෙන්නා) Michel ගේ පෙම්වතිය විදිහට Maria ත් Isabel ගේ මුල් පෙම්වතා Alex සහ පසුව සැමියා Jessyත් පලාතේ sheriff වන Jim සහ ඔහුගේ පුත් Kyle ප්‍රධාන චරිත විදිහට එකතු වෙනවා. ආදරය තාස්‍රය එක්ක ජීවිත කාලයක් ගලාගෙන යන කතාවක් තමයි Roswell. මේකෙ series 2ක් රූපවාහිනියේ පෙන්නුවත් 3 වෙනි එක පෙන්නුවේ නෑ. මන්දා ඒ ඇයි කියල. මට මේ ලඟදි අපේ බට්ටි ලඟ තිබිල 3වෙනි කොටස හම්බුනා. ඉතින් subtitle නුත් වැඩි අපහසුවක් නැතුව ලැබුනා. මම ඉඩ තියන තියන වෙලාවට බොහොම ආසාවෙන් මේක බලලා ඉවර කලා. කතාවෙ අවසානය ඔවුන් ඉවර කරන්නෙ happy ending එකක් විදිහට උනාට මට නම් එහෙම දැනෙන්නෙ නෑ. කතාව ඉවර වෙන්නෙ Max එක්ක විවාහ වෙන Liz මගුල් ඇඳුමින් Roswell වලින් ඉවතට යන අනෙත් අය ඉන්න රථයට ගොඩ වෙලා කියනවා. I am Liz Parker and I am Happy කියල. මේ කට්ටිය අන්තිමට Roswell අතඇරල යනවා මොකට ඔවුන්ට දිගින් දිගටම විඳින්න වෙන කරදර නිසා. මේ යන කොට ඔවුන් ගොඩක් තමන් ආදරය කරන අය අතඇරලයි යන්නේ. Alex මිය යනවා, Max සහ Isabel ඔවුන් හදා ගත්තු දෙමව්පියන්, Kyle තමන්ගෙ තාත්තා Jim, Isabel තමන්ගේ සැමියා Jessy මේ වගේ ගොඩක් අය ඔවුන් දාලයි යන්නේ. කාලෙක් ඉඳල ඔවුන් ඔවුන්ගේ ජීවිත එක්ක ජීවත් වීම සඳහා ගැටුනත් ඔවුන්ට කවදාවත් ඒක ජයග්‍රහණය කරන්න ලැබෙන්නෙ නෑ. අපි හැමෝගෙම ජීවිතත් ඒ වගේ නේද? අපිටත් කවදාහරි දවසක අපි ආදරේ කරන අයත් ආස කරන දේවලුත් හැමදෙයක්ම දාල යන්න වෙනව නේද? ඒකයි ලෝක ස්භාවය. ඒත් අපි අනෙක් අයට, ලෝකයට යමක් කරල තිබුනොත් ඒක අපිට ඉතිරි වේවි.

එහෙනම් ගිහින් එන්නම් ආයෙ හමුවෙමු.

Tuesday, April 13, 2010

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු


බක් මාසෙ මතක නැති උනාට
කැලැන්ඩරේ අප්‍රේල් මාසෙ ඇවිත්
ගේ මිදුලෙ අඹ ගහේ කොවුලා සින්දු නොකිව්වට
ටීවී රේඩියෝ වල කොවුලො තරඟෙට කෑ ගහනව
එරබදු ගහක් පේන තෙක්මානෙක නෑ
මල් පිපිලද කියල බලන්න රතට රතේ
රබන් ගහන්න දන්නෙත් නෑ ගහන්න රබන් ඇත්තෙත් නෑ දැන්
කාරි නෑ රබන් පද mp3 එක play කරමු
වල කජ්ජ ගහන්න ඉරි පනින්න දැන් ඉන්න එවුන් දන්න එකක්යැ
facebook එක් barn buddy වත් ගහමු
මාස ගණන් පේෂල් දාල චීත්තෙ හැට්ටෙ නුහුරුවට ඇඳපු ගෑනු
අවුරුදු කුමාරි වෙන්න sms ඉල්ලනවා
බහු ජාතික සමාගම් අවුරුද්දට අනුග්‍රහය දක්වන්න පොරකනවා
හ්ම්
ගතට හිතට නොදැනුනාට රූපවාහිනියෙ අයිය කෙනෙක්
සරමක් කාරිය ඇඳගෙන ඇවිත් කියනවා

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු

බලාපොරොත්තුව....


ඈත ක්ෂිතිජයේ පුංචි තරුවක් වගේ
උඹ පේන්නෙ මට
ඒත් මහාමේරුව වගේ බරයි උඹ මට
හරි සුන්දරයි
ඇත්තම නොවුනත්
කවද හරි දවසක
කකුල් දෙක ලඟ පොලවෙ ගහපු වීදුරුවක් වගේ
උඹ සිසීකඩ වෙලායන්න පුළුවන් කියල මම දන්නවා
එදාට ගොඩක් රිදේවි මට
ඒකත් මම හොඳටම දන්නවා අත්දැකීමෙන්
කොහොම උනත් මට උඹ ඕන
මොකද
මම ජීවත් වෙනවා කියල හිතෙන්නෙ උඹ නිසා
උඹ තුල ඉන්න ඇය නිසා....

Wednesday, March 3, 2010

සීතල නුවර එළියේ වැවක් ලඟ කූඩාරමක රැයක්

අපේ බෝඩිමේ සෙට් එක පහුගිය දවසෙ පොඩි ට්‍රප් එකක් ගියානෙ. මාස හයක් මැරිලා මැරිලා කොම්පියුටර් එක්ක හැප්පිලා එපා වෙලා හිටි අපි ආතල් එකක් ගන්නයි මේක සෙට් කලේ. කට්ටියට මතකද මන්දා මම අපේ බෝඩිම ගැන කලින් පෝස්ට් එකක් ලියද්දි කිව්වේ අපේ බෝඩිමේ පහක් ඉන්නව කියලනේ. දැන් 10 ඉන්නවා. අළුතෙන් අපු පස් දෙනා තමයි ඇකා(චරිත්), කැන්දු(රොෂාන්), තලන්නා(ධනුෂ්ක), ගෙම්බා(තරිඳු) සහ සීනා(අමිත). දැන් හිතන්න එපා පහක් හිටපු තැන දහයකට ඉන්න පුළුවන්ද කියල. බෑ . අපි කලින් හිටියේ ගෙදර පැත්තෙ කාමර තුනක කෑල්ලකනේ. ලොකු ගෙදර හිටපු අය ගියා. ඉතින් අපි තව පහක් සෙට් කරගෙන අර ලොකු කෑල්ල ගත්තා. අප්පා සාගරේ වගේ සාලෙකුයි කාමර 3යි කෑම කාමරයයි විසාල කුස්සියකුයි. කියල වැඩක් නෑ. අපේ සද්දෙ අහල පහල අයට උහුලන්න පුලුවන්ද දන්නෙ නෑ. දන්නවනේ කොල්ලො 10 දෙනෙක් පිස්සු නටන්න ගියාම. හරි හරි ට්‍රිප් එක ගැනනේ කියන්න ගියේ. මේ ඉන්නෙ බෝඩිමෙන් පිටත් වෙච්ච කට්ටිය. මගදි තව අය එකතු උනා. ආ ඔතන ඉන්නවා අපේ බෝඩිමේ නෙවෙන කෙනෙක් කොයියා. පොරගෙ බෝඩිම නාරාහේන්පිට උනාට වැඩිපුර ඉන්නේ අපේ එකේ.
කට්ටිය වමේ ඉඳල අත්තා, ඇකා, මම , කැන්දු, එල්ලෙ, කොයියා වාඩි වෙලා ඉන්නේ සූටියා.

කැම්පස් එක ගාවට ගිහින් රත්නපුර බස් එකට ගොඩවෙලා අපි මුලින්ම ගියේ රත්නපුර ගෙම්බලාගෙ ගෙදර. රත්නපුර බස් නැවතුමෙත් පැයක් විතර රස්තියාදු වෙලා(ගෙම්බා වෙලාවටම වැඩ කරන නිසා) තව බස් එකකත් නැගල ගිහින් බැස්ස කියමුකෝ. දැන් මෙන්න යනවා මහ කැලේ පාරක පාරෙ අලි නාවන වලවල් ඒ මදිවට අංශක 60 විතර ආනතයි කන්ද. හප්පා ගෙම්බගෙ ගෙදරට යනකොට හොඳ පණ ගිහින්. අපි කාල ඉවර වෙනකොට මාතර ඉඳල ඇඹිලිපිටිය හරහා ආපු සීනත් අපිට සෙට් උනා. ගෙම්බගෙ අම්මට පින් සිද්ධ වෙන්න ඉස්මුරුත්තාවටම කාල අපි ගියා ඒ ළඟ තියන ඇල්ලක නාන්න. අපි යනකොටම වහින්න ලෑස්ති කරල තිවුන නිසා අපිට තේරුනා වැඩි වෙලා නම් නාන්න වෙන්නෙ නෑ කියල. ඡායාරූප එහෙම අරගෙන ඉවර වෙලා යන්තම් වතුරට බැස්සා විතරයි වහින්න ගත්තා.

ඒ එක්කම ක්ෂණිකයෙන් ඇලේ වතුර පාර වැඩි වෙනවා අපිට තේරුනා. එන පොට හරියන්නෙ නෑ. අපි දඩ බඩ ගාලා ගොඩ උනා. මොකද උඩහට කලින් වැහැලනම් විනාඩි කීපයක් ඇතුලත වතුර පාර සෑහෙන්න වැඩිවෙනව කියල ගෙම්බ කියපු නිසා. අනේ හිතේ හැටියට නාන්න හිටිය මදෑ. ගිහින් නාන කාමරෙන් නාගත්ත වෙන මොනව කරන්නද?රෑ අපි ගෙමබලගෙ ට්‍රක් එකේ ගියා මැණක් පතලක් බලන්න.

මේ තියෙන්නෙ පතල. පතලෙ ඉඳල අඩි 25ක් විතර එහායින් ගඟ. සාමාන්‍යයෙන් පතලේ ඉඳලා අඩි 50ක් විතර හැම පැත්තටම දෝනාවල් යනවලු. ඒ කියන්නෙ ගඟ යටිනුත් දෝනාව යනවා. අපේ නම් ඇඟ හීතල උනා. ඒ වුනාට කසි අව්ලක් නැති වෙන්න මුක්කු ගහල ශක්තිමත්ව තමයි දෝනාව කපනව කියන්නේ. අපි ආවෙ හවස එතකොට වැඩ නවත්තලා. මෝටර් නැවැත්තුවාම පතලෙ වතුර පිරෙනවා. ඊළඟට රතනපුර මහ සමන් දේවාලෙ වැඳ පුදාගෙන අපි ආයෙ ගෙම්බගෙ ගෙදර ආවා. මේ ගෙම්බගෙ අම්මා තාත්තා එක්ක අපි කට්ටිය.

පස්සෙන්දා බදුල්ල බස් එකකට ගොඩවෙච්ච අපි කට්ටිය ගියේ බණ්ඩාරවෙලට. අපි ඒ පැත්තට යනකොට සීනා අනිත් පැත්තට යන බස් එකක නැගලා කොළඹ ගියා. වහාම ක්‍රියාත්මක වන පරිදි තමා හමුවෙන්න කියල උගේ පවුල නියෝගයක් පනවල කියලයි කට්ටිය නම් කිව්වේ. අපි බණ්ඩාරවෙලට ගිහින් එතනින් වැලිමඩට ගියා. එතනින් නුවර එළියට. අන්තිමට නුවර එළියට එනකොට හවස 3 විතර. අපි ලොකුම බලාපොරොත්තුවකින් හිටපු අත්දැකීම කූඩාරමක් ගහගෙන රෑ ඉන්න අවශ්‍ය දේවල් අරගත්තා. අපේ කට්ටිය කුකුලෙක් එහෙමත් අර ගත්තෙ බාබකිව් දාන්නනේ. රෑ කෑමට පාන් බටර් එක්ක. ලාම්පුතෙල් බෝතලයක් එහෙමත් අරගෙන අපි පට්ටිපොල බස් එකට නැග්ගා. අපි කෑම්ප් එක ගහන්න ලෑස්ති කලේ කන්දෙ ඇළ රක්ෂිතය කියන තැන. මෙතන වැවක් තියනවා.
ඔය දකුණු අත පැත්තෙන් පේන ගොඩැල්ලේ තමයි අපි කූඩාරම ගැහුවේ. ඊට කලින් පොඩි බෝට්ටු සවාරියක් යන්නත් අමතක කලේ නෑ.
අප්පට සිරි තව පොඩ්ඩෙන් අමතක වෙනවා. වැලිමඩ පුස්සත්(සමන්) අපිට සෙට් උනා මගදි. ඔය දකුණු පැත්තෙ කොනේම ඉන්නෙ ඌ. කූඩාරම ගහන තැනට අපි යනකොට කළුවර වැටෙනවා. කට්ටියක් ගිනිමැලේට දර එකතු කරන්න යවලා අපි කුලියට ගත්තු කූඩාරම් දෙක අටව ගන්න ට්‍රයි කලා. දැන් කළුවරේ මේක හරියට පේන්නෙත් නෑ. මීට කලින් කූඩරම් ගහල තියන එකක්යැ මොකෝ. මල කෙලියයි කියන්නෙ දැන් මේක ගහගන්න බෑ. eek රෑට මේ හීතලේ එළියෙ නිදාගන්න කියලද අපි ඉතින් කූඩාරම කුලියට දීපු ටෝනි අයියවම අඩ ගහගෙන කූඩාරම අටව ගත්තා. අපරාදෙ කියන්න බෑ මාරයි. පොඩි බෑග් එකක අකුලල දාල තිබුනට එක කූඩාරමක 4කට 5කට නිදාගන්න පුළුවන්.

මේ අතරෙ ගිනිමැලෙත් ගැහුවා. මේක ගහගත්තට පස්සෙ තමයි. අත පය ටිකක් රත් කරගත්තෙ. නැත්තම් ගල් වෙලා වගේ හිටියෙ. නුවර එළියෙනේ. දැන් ඔන්න කට්ටිය අර ගෙනාපු කුකුළව කොටුවක ගහගෙන ඌට දස වද දෙනවා. හෆොයි මැරිලා වත් ඌ විඳින වද ඉවර නොවෙච්ච හැටි. මම නම් ඕවට නෑ. බටර් එක්ක පාන් කෑල්ලක් කෑව මම. මට ඒ ඇති. කෑම ගැන එච්චර වද වෙන මිනිහෙක් නෙමේ මම. ඊට පස්සෙ ඉතින් රෑ 2 විතර වෙනකම් ආගිය කතා සින්දු තමයි.

ඔන්න 2 විතර වෙනකොට අපිව අයිස් වෙන තරමට හීතලයි. ඇරත් වැවක් ලඟනේ. ගිනි මැලේ එහෙම නිවල කූඩාරම් දෙකට රිංගුවා නිදාගන්න කියල. මොන නිදාගන්නවද. වෙව්ලනවා. නින්ද යාගෙන එනකොට වැරදිලාවත් කකුල කූඩාරම් රෙද්දෙ වැදුනොත් උඩ ගිහින් ඇහැරෙනවා.
යන්තම් නින්දයි නොනින්දයි අතරේ උදේ වෙනකම් ගත කරත්තා. උදෙත් මාරම හීතලයි. ආයෙ ගිනිමැලේ ගහගෙන කූඩාරම අකුලලා අස්පස් කලා. මෙතන වටපිටාවෙ කලින් කූඩාරම් ගහන් හිටපු අය කුණුටික ඔක්කොම කැලේට විසි කරලා ගිහින් තිබුනට අපි එහෙම කලේ නෑ. අපි නොහිටපු ගානට පොඩි කොළ කෑල්ල පවා අයින් කරලා පිරිසිඳු කරලයි ආවෙ. ආ කියන්න අමතක උනානේ මේ කෑම්ප් වැඩේදී අපිට ගොඩක් උදව් කලේ අත්තගෙ නෑවෙන අයියා කෙනෙක්. උදේ ඒ අයියගෙ ගෙදර ගිහින් තමයි දත කට මැදලා උදේට කරන වැඩ කටයුතු එහෙම කරගෙන උදේට කෑවේ. මේ ඒ අයියා අක්කා එක්ක අපි.

එතනින් අපි ගියේ වැලිමඩ අත්තාගෙ ගෙදරට.එහෙට යනකොට හවස් වෙලා. දවල්ට කාලා අපි ගියා දිය ඇල්ලක් බලලා නාලා එන්න. හවස් ජාමෙ කැලේ මැද්දෙ දිය ඇල්ල බලන්න යනකොට පාර වැරදුන නිසා අපිට දිය ඇල්ල කිලෝමීටරයක් විතර දුරින් බලලා ආපහු එන්න උනා. ආ නාන්නනේ හිටියේ කලින් රත්නපුරදිත් නාන්න බැරි වෙච්ච නිසා අපි හිටියේ පැය කීපයක් නාන්න. ඒ උනාට වතුර බැහැපු ගමන් කට්ටිය දුවගෙන යන්නෙ ගොඩට. මොකද දන්නවද? මේ හරිය වැලිමඩ උනාට ඇලේ වතුර එන්නෙ නුවර එළියෙ ඉඳන්. වතුර අයිස් වගේ. මොනව කරන්නද වෙව්ල වෙව්ල පැය බාගයක් විතර වතුර ගහගෙන දඟලලා එන්න පිටත් උනා. අපිට කෑම උයල දීල සංග්‍රහ කරපු අත්තගෙ අම්මා තාත්තා අක්කාවත් මතක් කරන්න ඕන. වැලිමඩ ඉඳන් කොළඹට ගමන ලේසි නෑ කියල දන්නව ඇතිනේ. රෑ 10.30 බස් එකේ නැගපු අපි අඩ නින්දේ කොළඹට එනකොට 7.30යි. ඔන්න අපේ ට්‍රිප් එක ඉවරයි.

Tuesday, October 27, 2009

අර්ධ ශතකය ලැබීම හා ආපසු හැරී බැලීමක්......


ආයුබෝවන් කියල පිළිගන්නවා රවින්දගේ සටහන් පොතේ 50 වැනි සටහනට :) . මම බ්ලොග් කරණයට පිවිසුනේ මීට මාස 10 කට කලින් 2008 දෙසැම්බර් 8 වෙනි සඳුදා. ඒ මගේ විස්තර ගැන කුඩා සටහනක් ලියල. එදා ඉඳල අද වෙනකම් මම දිගටම බ්ලොග් ලිව්ව. සමහර කාල වලදී(විභාගෙ කිට්ටු උනහම ලෙක්චර්ස් ගියේ නැති ඒව නිදි මරාගෙන අදින කාලෙI-) ) ටිකක් මඟ ඇරුනේ නෑම නෙමෙයි. ඒත් මම මේ මුළු කාලය තුලම බ්ලොග්කරණයේ රුඳිල හිටිය. හැමදාම වගේ සින්ඩියටයි ගිහිල්ල බ්ලොග් කියවන්න ඒ වගේම මගේ blogspot එකට feeds ආපු posts කියවන්න පුරුදු උනා. ඒක මගේ දෛනික ජීවිතයේ කොටසක් උනා. net connect උනාම මුලින්ම යැවෙන්නෙ සින්ඩියට. බ්ලොග් කියවීමෙන් ප්‍රතිචාර දැක්වීමෙන් මම තෘප්තියක් ලැබුවා. ඒ වගේම ගොඩක් දේවල් ඉගන ගත්තා.

මම බ්ලොග් එකක් ලියන්න ඕන කියල හිතුනෙ අපේ senior batch එකේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක දැකල. ඒ වගේම තමයි පහන් අයිය. මට මතකයි පහන් අයිය දවසක් අපේ UCSC ගොඩනැගිල්ලෙ පළවෙනි මහලෙ ඉඳල මට මල්ලි මල්ලි කියල කතා කරල "උඹ නේද අර බ්ලොග් එකක් ලියන්නෙ" කියල අහල ඊට පස්සෙ මගේ බ්ලොග් එකේ අඩුපාඩු කියල දීපු හැටි. ඒ අය මට දීපු සහයෝගය මේ වෙලාවෙ මතක් කරන්නම ඕන.

මම UCSC එකේ 6 වෙනි batch එකේ. අපේ කට්ටියගෙන් මුලින්ම බ්ලොග් එකක් ලියන් පටන් ගත්තේ මම. ඒකත් මට බොහොම ආඩම්බරයට කාරණයක්.ඒ වගේම මගේ batch එකේ සාමාජිකයන් comment වලින් වගේම හම්බෙච්ච වෙලාවට වචනයෙන් හරි දීපු ධෛර්ය මට මෙච්චර කාලයක් බ්ලොග් ලියන්න ශක්තියක් උනා. අනික මම බ්ලොග් ලියන්න පටන් අරගෙන නිකං හිටියේ නෑ. අපේ අනිත් එවුනටත් තෙල ගැහුවා බ්ලොග් ලියන්න. ඒ තෙල් වල ප්‍රතිපලයක් විදිහට අපේ ගොඩක් අය බ්ලොග් ලියනවා දැන් =d> . නම් එහෙම කියන්න ගියොත් ලේසි වෙන්නෙ නෑ මොකද බර ගානක් ඉන්න නිසා. පහුගිය දවසක අපේ පොඩි එවුන්ට(පොඩි එවුන් කිව්වට මුන් පොඩිම නෑ ඒ අපේ jouniorsලා :D) අපි Linux workshop එකක් කරපු වෙලාවේ උන්ටත් බ්ලොග් ගැන හොඳ තෙලක් ගැහුවා චමිල අයියයි මායි. ඒ අපේ මල්ලිලා නංගිලාත් ලඟදීම මේ බ්ලොග් කරුවන් අතරට එකතු වේවි කියල තමයි බලාපොරොත්තුව.

බ්ලොග් කරණයෙන් මට ලැබිච්ච තව දෙයක් තමයි තව යාළුවො කට්ටියක්. ඒ නිසා මගේ IM client එකට තව group එකක් එකතු උනා "මගේ බ්ලොග් මිතුරන්" කියල. ඒ අය වගේම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල ඒව කියවල ගිය ප්‍රතිචාරයක් දාල ගිය හැම දෙනෙක්මත් මේ වෙලාවෙ බොහොම ආදරෙන් මතක් කරනව.

මම හැමදාම උත්සාහ කල දෙයක් තමයි බ්ලොග් එකෙන් මම දන්න දෙයක් අනුන්ට කියල දෙන්න. මේක අපේ කැම්පස් වල නම් සංස්කෘතියෙම කොටසක්. දේශනයක් ගත්තහම හැමෝටම තේරෙන්නෙ නෑ ඒත් ඒක තේරෙන කීප දෙනා batch එකම ගොඩ දානව. එහෙම කෙනෙක්ට කියල දීල ඌව ගොඩ දාල ලබන තෘප්තිය වෙන කිසිම දේකින් ලබන්න බෑ. ඒක නිසා තමයි මම බ්ලොග් එකෙත් මම දන්න දේවල් ලිව්වෙ. Bandluxe modem එක linux වල configure කරන විදිහ ගැන මම ලියපු සටහන සෑහෙන්න ජනප්‍රිය උනා. කොච්චරද කියනවනම් "bandluxe c120 in" කියල google කලාම මම ucsclodge එකේ කඩ්ඩෙන් ලියපු post එක දෙවනියට ආව. තව පිටරට වල කීප දෙනෙක්ම මට mail කරල, IM එකේ set වෙලා ඒ ගැන වැඩි විස්තර ඇහුව. බ්‍රසීලෙ ලුසියානෝ කියන පොර තාමත් මම online හිටියහම linux ගැන එක එක දේවල් අහනව #-o . මම ඉතින් ගොඩක් FOSS පැත්තට බර නිසා ඒ ලියැවුනු ගොඩක් දේවල් Linux ගැන තමයි ලිව්වේ. ඉස්සරහටත් ඒ වගේ දේවල් ගොඩක් ලියන්න බලාපොරොත්තු වෙනවා. දැන් 2වසරෙ හින්ද වැඩ වැඩි එකයි එකම අවුල (ඉස්කොලෙ 2වසර නෙමෙයි හොඳේ). ඒ ඇරෙන්න බ්ලොග් එකේ වල් පල් නොලිව්වම නෙමෙයි. අපි කව්රුත් අපේ සුන්දර අත්දැකීම් බෙදා හදා ගන්න කැමතියිනේ. කැම්පස් ජීවිතේ කියන්නෙ බොහොම සුන්දර දෙයක්නේ ඉතින් ඒ සුන්දර දෙවල් වලින් ටිකකුත් මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගත්තා. මේ ලඟදි මම මගේ හිතේ තිබුන දේවල් කිහිපයකුත් නිසඳැස් විදිහට(මම දන්න විදිහට ඒවාට කියන්නෙ නිසඳැස් කියල. එහෙම නොවෙනවනම් සොරි වෙන්න ඕන) බ්ලොග් එකේ ලිව්ව. අන්තිමට ලියපු එක නම් ටිකක් abstract මදි උනාද මන්දා. ඒ නිසා දැන් මට කැම්පස් එකේ කනක් ඇහිලා ඉන්න නැති වෙලයි ඉන්නේ :"> .

බ්ලොග් ලියනකොට මම කවදාවත් කාටවත් මඩ ගැහුවේ නෑ. මොකද මගේ ලිවීමේ අරමුණ මම දන්න දෙයක් අනෙක් අයටත් කියල දීල මගේ අත්දැකීම් අනෙක් අයත් එක්ක බෙදා හදා ගැනීම මිසක් කාටවත් මඩ ගහල කව්රුවත් විවේචනය කිරීම නොවෙන නිසා. සමහර වෙලාවට විවිධ පුද්ගලයො මට මම ඉගන ගන්නා තැනට කැත විදිහට මඩ ගහල මාත් එක්ක පැටලෙන්න හැදුවත් මම මගේ බ්ලොග් එක ආපහු ඔව්න්ට මඩ ගහන්න පාවිච්චි කලේ නෑ. එහෙම ඉන්න පුළුවන් වීම ගැන මම අද සතුටු වෙනවා=; .

ඉතිං අන්තිමට ආයෙත් මතක් කරනවා මට උදව් කරපු ධෛර්ය දීපු හැමෝවම. ඉස්සරහටත් රවින්දගේ සටහන් පොත එක්ක රැඳිල ඉන්න කියල ආරාධනා කරනවා. ;;)

~~බොහොම ස්තූතියි~~

Wednesday, June 17, 2009

බෝඩිමේ ජීවිතේ



අදත් මුලින්ම හැමදාම කියන මන්තරේම තමයි කියන්න තියෙන්නෙ. කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනේ වැඩ වැඩි හින්දා. තව මාසෙකින් විභාගෙ දැන් මේ දවස් වල දිගටම assignment. ලබන සතියෙත් 2ක් තියනවා submit කරන්න. කැම්පස් ගියාමත් එකක් කියලයැ ලොරියක වැඩනේ. බාහිර වැඩත් තොගයක් බදාගෙන කරනවනේ. අපි කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයෙන් ස්වදේශීය සේවයේ ගුවන් විදුලි වැඩසටහනක් කරනවා. ඒකෙ නම ඉන්ටනෙට් සම්පත් භාවිතය. මේකෙ අපේ පළමු වසර වෙනුවෙන් සම්බන්ධීකරණය කරන්නෙ මම. පහුගිය දවස් වල ඒකෙ පොඩි වැඩ වගයකට එහෙ මෙහෙ දිව්ව. ඒ නිසා හැමදාම බෝඩිමට එනකොට රෑ වෙලා. කතාවෙන් කතාවෙන් කියන්න ගිය දේත් අමතක උනා. අපේ බෝඩිම ගැනයි කියන්න යන්නෙ. අපි නම් කියන්නෙ අපේ ආතල් බෝඩිම.

බෝඩිමේ ඉන්නෙ 5දෙනයි. මම කල්ප(එල්ලෙ), එරංග(අත්තා),අයේෂ්(සූටියා) සහ සමීර(කිරා). අපේ බෝඩිම තියෙන්නෙ කොහුවල ඒ කියන්නෙ 120 බස් පාරෙ. කොහුවල කිව්වට කොහුවලට ටිකක් මෙහා දන්න අය ඉන්නව නම් අපි බහින හෝල්ට් එකට කියන්නෙ බ්ර්නාඩ් කියල. ඒ නම කියන්නෙ එතන තියන බර්නාඩ් කියන රෙදි සාප්පුව නිසා. 120 බස් එකනම් ඉතින් පහසුවෙන් යන්න එන්න පුළුවන් බස් එක කියල දන්නෝ දනිති. ඒ කිව්වෙ උදේට සහ හවසට ඇතිවෙන තුරු තෙරපෙන්න පුළුවනි.

අපි ඉන්නෙ ගෙදරක පැත්තෙ කොටසක. කාමර දෙකයි සාලෙයි. මාසෙකට මොනරු 12ක් අයිතිකාරයට දෙන්න ඕන. හැබැයි අපරාදෙ කියන්න බෑ නිස්කලංක තැන. සාමාන්‍ය මිදුලකුත් තියනවා. නිවාඩු වෙලාවට අපි මේ මිදුලෙ ක්‍රිකට් ගහනවා. නීති කොච්චර තදද කියනවනම් මෙතන වැඩිම ලකුණු වාර්තාව ලකුණු විසි ගණනක්. කොච්චර උනත් අපේ බෝඩිම් වල ඉන්න කොල්ලොන්ගෙන් එහෙම හරි සෙල්ලම් කරන්න පුළුවන් ඉඩක් තියෙන්නෙ අපිට විතරයි.

බොඩිමේ සගයෝ මම කලින් කිව්වනේ. අපි කන්නේ උයාගෙන. කඩේ කෑම කාලම එපා වෙලා තමයි උයන්න ගත්තෙ. කැන්ටිමේ කෑමත් දැන් කාලම එපා වෙලා. හැමදාම එකම රහ. මොන විදිහට එහෙම උයනවද මන්දා. දැන් අපි කරන්නෙ උදේට දවල්ට යන්තන් වේල පිරිමහගෙන රෑට ඒ දෙකම අල්ලලා මැක්සා කෑමක් කනවා. අපි පස් දෙනා සාමාන්‍යයෙන් හුන්ඩු 7 1/2 ක බත් කනවා. පොඩ්ඩයි නේද? අපේ හොඳම කෝකියා තමයි කිරා. ඊළඟට අත්තා. සූටියාටත් සාමාන්‍යයේ උයන්න පුළුවන් එල්ලෙටයි මටයි තමයි පොල් සම්බලකට එහා දෙයක් බැරි. අපි ඉතින් පොල් ගෑමෙන් මිරිකීමෙන් ලූණු සුද්ධ කිරීමෙන් උයන අයට උපරිම සහය දෙනවා.

අපෙන් එල්ලෙයි මායි ඇර අනෙක් අය පවුල් වෙච්ච අය ඒ කියන්නෙ කසාද බැඳපු අය නෙමේ. බෝඩිමේ වැඩියෙන්ම මල් කඩන්න අත්තා දවසකට අවම පැය 6ක් මල් කඩනවා. ෆෝන් එක කනේ තියන් ඉන්න එකට අපි කෑ ගහලා යන්තම් දැන් හෙඩ් ෆෝන් සෙට් එකක් අරගෙන කනේ ගහගෙන ඉන්නවා. සූටියා මල් කඩන්නෙ රෑ 12 න් පස්සෙ. දන්නවනෙ හේතුව "උපහාර".

අනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දන්නවනේ "හිතේ තියන දේ කියන තැන " බ්ලොග් එක ලියන චරිත්(ඇකා). ඇකා ඉන්නෙත් අපේ බෝඩිම කිට්ටුව.ඌත් වැඩිපුර ඉන්නෙ අපේ බෝඩිමේ තමයි. උපන් දින පාටි, ගොඩ පාටි එහෙම වරද්දන්නෙ නෑ. හොඳට කාලා සින්දු කියලා නියම ආතල් එකක් එදාට ගන්නවා. වටේ පිටේ මිනිස්සු නම් එදාට කන් වහගෙන ඉන්නව ඇත්තේ.

කට්ටියම නිදා ගන්නෙ මෙට්ට 3ක් එකතු කරලා බිම. ඇඳන් 2ක් තිබුනත් ඒව ගලවලා පැත්තකින් තියලයි තියෙන්නෙ.(ආ ඇඳන් තිබිච්ච කාලෙ සූටියා ඇදක් කඩාගෙන වැටුනෙත් නෑ :D) කට්ටියටම අපරාදෙ කියන්න බෑ වැටුන ගමන් පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා. උදේට නැගිට්ට ගන්න අමාරුම කිරයි එල්ලෙයි තමයි. කිරා හැමදාම උදේ 6ට phone එකේ alarm එක තියලයි තියෙන්නෙ. හැබැයි උගේ එලාම් එකට ඌට ඇහැරෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ඒකට ඇහැරෙන්නෙ මට. ඇයි හත්ඉලව්වේ අර මගුල විනාඩි දෙකෙන් දෙකට වදිනකොට ඇහැරෙන්නෙ නැද්ද. මම ඉතින් ඒක off කරලා ආයෙ බුදිය ගන්නවා. කට්ටියටම උදේට තේ හදන්නෙ මම. සූටියත් උදේ වයිෆ් කෝල් එකක් දුන්න ගමන් දඩ බඩ ගාල නැගිටලා ලෑස්ති වෙලා දුවනවා. නැත්තම් ඉතින් ලෙඩේනෙ. අපිට ඉතින් කාගෙන් නීතිද? මායි කිරයි බොහෝ වෙලාවට බෝඩිමෙන් එලියට බහින කොට 7.30 වෙලා. 8ට ලෙක්චර්ස්. අනේ ඉතින් උදේ වාහන තදබදේ 120සේ හිරවලා 8ට විතර කැම්පස් එකට සේන්දු වෙනවා. ඔන්න අපේ බෝඩිම් ජීවිතේ.

Tuesday, May 26, 2009

කඩ්ඩෙන් කෙටීම

මට හිතුන නිකමට වගේ කඩ්ඩෙනුත් බ්ලොග් එකක් ලියන්න. කඩ්ඩත් ටිකක් පොලිෂ් කරගන්න එපැයි. කීයක් හරි හොයාගන්නත් බලනව.ලනුව http://ravindasdiary.blogspot.com/. වෙලාවක් තියනව නම් ඇවිත් බලල යන්න. අද උදේ assignment එකක් තිබුන Maths. හිතුව තරම් අමාරු උනේ නෑ ඒ කියන්නෙ ලේසියි. ඊට පස්සෙ හවස් වෙනකම්ම කලේ කැරම් ගහපු එක හවස 3න් පස්සෙ ක්‍රිකට් ගැහුව. ආයෙ බෝඩිමට ඇවිත් පොඩි සාජ්ජයක් දැම්ම අපේ එරංගගේ(අත්තා) උපන් දිනේ ඊයෙ. දැන් සිංදු කියල කියල උගුරත් රිදෙනවා.අපොයි හොඳටම නිදිමතයි. එහෙනම් අදට ඇති.

Tuesday, May 5, 2009

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ


සති කීපයකින් බ්ලොග් එක ලියන්න උනේ නෑ. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි තියන වැඩ කන්දරාව නිසා වෙලාවක් නෑ. කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිල. ඒ කිව්වෙ අධ්‍යයන වැඩ. Algorithm කියල තියනව subject එකක්. අපට තියන subject වලින් මම කැමතිම එක. ජාව එහෙම සම්බන්ධ නිසා programming තියන කොට කරන්න ආසයි. පළවෙනි පාර lecture එකේදි අහන කොට නම් මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ. Assignment දීල code ලියන කොට අපූරුවට තේරෙනව. ආයෙ තියනව DBMS දන්නවනේ DataBase Management Systems ඒකත් එච්චරම අවුලක් නෑ. ER Diagram අඳින්න තව SQL එහෙම තියෙන්නෙ.අනෙක් subject දෙකේ නම් lecture ගිහිල්ල ගොඩක් වෙලාවට කරන්නෙ නිදාගන්න එක තමයි. අනේ හිතල නිදා ගන්නෙ නෑ. lecture එකට ගිහිල්ල විනාඩි 15ක් විතර යනකොට දන්නෙම නැතුව නින්ද යනව. lecture විතරක් තියනවනම් අවුලක් නෑ. විභාගෙ කට උඩට එනකම් ඉන්න පුළුවන්. කොහෙද මේ Assignment දෙනවනේ පෝලිමට. අද වෙනකොට Assignment 4ක් තියනව. Algo take home එකයි, DBMS සහ S.E group assignment 2යි. ලබන සතියෙ maths inclass එකයි. හෆෝයි එපා වෙනව.ඒ අස්සෙ මේ දවස් වල කට්ටිය වෙසක් එකට කැම්පස් එකේ කූඩු හදනව. තව භක්ති ගීත එහෙමත් තියනව. මටත් තියනව ගීතයක් කියන්න. මේකත් මේ algo assignment එක කරන ගමන් කොටල දාන්නෙ මොනව හරි ලියන්න ඕන නිසා. Ubuntu අයිසිං කිරීම 2කොටස ලියන්නත් ඕන. ඉක්මනටම ලියන්න උත්සාහ කරන්නම්. එහෙනම් නවතිනවා. හැමෝටම තෙරුවන් සරණයි.

Saturday, April 4, 2009

ලෝකෙ වෙන තැනක් තියෙද ගෙදර වගේ?

අපිට දුකක් කරදරයක් උනාම, වේදනාවක් දැනුනාම මතක් වෙන්නේ අම්මයි ගෙදරයිනේ. ඒ මේ ලෝකෙ අපිට තියන හොඳම තැන ගෙදර නිසා නේද?

පහුගිය කාලෙ පිරිතෙ වැඩ නිසා මාසෙකට වැඩිය කොළඹටම වෙලා හිටියෙ. කැන්ටිමේ බත් කාලම එපා වෙලා තිබුනේ. ඊයේ ලෙක්චර්ස් ඉවර උන ගමන්ම දුවලා ආවා ගෙදර. මම එන බව කලින් කියල තිබිච්ච නිසා තාත්තා කිරි හට්ටියකුත් ගෙනත් තියලා. මම කිරි කෑමට පෙරේතයි කියල අපේ ගෙදරම දන්නවා.:D
අද දවල්ට අම්මා උයල තිබුනා කැකුළු බත්,කොස් මැල්ලුම්(ම්ම්......),අළු කෙසෙල් බඩ ව්‍යංජනයකු එක්ක කොහිල ව්‍යංජනයකුත්. දැන් නම් හුස්ම ගන්න බැරි වෙනකම් කාලයි ඉන්නේ.

අම්මා තාත්තා නංගි මල්ලි එක්ක හැමදාම ගෙදර ඉන්න ලැබෙනවනම්....

Sunday, February 22, 2009

නිදහස

මාස කීපයක් පේපර්,ප්‍රශ්න පත්තර,කුප්පි වල ජීවත් වෙලා ගිය 19 වෙනිදා 11ට විතර නිදහස ලැබුවා. අම්මෝ දැනෙන සනීපෙ. හරියට කිලෝ 50ක් බර සිමෙන්ති කොට්ටයක් කර තියාගෙන ඉඳල බිම තිබ්බා වගේ.අන්තිමට තිබිච්ච STAT පේපරේ ටිකක් අවුල් උනාද මන්දා. අපට තිබිච්ච විෂයන් වලින් මම ආසම නැති විෂය. කැමතිම Linux , Java දෙකට.

අද තමයි ගෙදර ආවේ ඉස්සරහට ලොකු වැඩක් තියන නිසා ඒ වැඩ වගේකට කොළඹට වෙලා හිටියේ(ඒ ගැන පස්සේ ලියන්නම්). මම ලැප් එක ගෙදර ගෙනත් තිබුනේ ගිය අඟහරුවාදා යනකොට උස්සගෙන ගියේ නෑ. බෝඩිමේ තියනවා මගේ සගයගෙ පරිගනකය. ඒකෙ අළුතින් UBUNTU ස්ථාපනය කරලා සිංහල යුනිකේත දැම්මා මම. දැන් තියන අළුත් ක්‍රමය එක පාර වැඩකලේ නෑ. Repository එක හොයාගන්න බැරි කතාවක් කියනවා. කොහොම හරි යුනිකේත නම් දාගත්තා ඒත් Input method එක සිංහලට මාරු කරන්න බෑ SCIM එකේ අවුලක්.එක එක ඒවා කරලා බැලුව හරි ගියේ නෑ. ඒකයි එදාම බ්ලොග් එක ලියන්න බැරි උනේ. මට දැන් Real Time Converter එකෙන් ලියන්න බෑ වගේ. අපේ සූටියා(අයේෂ්) නම් උගෙ හද පොත ලීව්වා. ආයෙ යනකොට ලැප් එක අරන් යන්න ඕන. දැන් ඉතින් ආයෙ පුරුදු විදිහට ලියන්න පුළුවන්.

Tuesday, January 27, 2009

මෙන්න ඡන්ද ප්‍රතිළුල



තේමා වාදනය@#%&*(^()
(අර ගුවන් විදුලියෙ ඡන්දෙ දවසට ඡන්ද ප්‍රතිඵලයක් දෙන්න කලින් දාන්නෙ)
************************************************************************************
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.වෙබ් බ්‍රව්සර් කොට්ඨාසය සිංහල බ්ලොග් කරුවන්ගේ ඡන්ද බල ප්‍රදේශය.
ඡන්ද 39ක් ලබාගෙන ප්‍රථම ස්ථානය දිනාගන්නේ Mozilla Firefox නොහොත් ගිනි නරියා.ඡන්ද ප්‍රතිශතය 75%.
ඡන්ද 9ක් ලබාගෙන දෙවන ස්ථානය දිනාගන්නේ Google Crome.ඡන්ද ප්‍රතිශතය 17%.
ඡන්ද 3ක් ලබාගෙන තෙවන ස්ථානය දිනාගන්නේ Internet Explorer.ඡන්ද ප්‍රතිශතය 5%.
ඊට අමතරව Apple Safari එක් ඡන්දයක් ලබාගෙන තිබෙනවා.ඡන්ද ප්‍රතිශතය 1%.
Opera ඡන්ද ලබාගෙන නැහැ.ඡන්ද ප්‍රතිශතය 0%.
මුළු ඡන්ද සංඛ්‍යාව 52.ප්‍රතික්ෂේපිත ඡන්ද ගණන 0යි.
************************************************************************************

මම පුංචි ඡන්දයක් තිබ්බනේ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.ඡන්දය දෙන්න තිබ්බ කාලසීමාව දැන් හමාරයි. මේකෙ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දීපු නිසා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, නිළධාරීන් ඕන නෑ. ඔන්න එහෙනම් ප්‍රතිළුල කිව්වා.
මෙතන මම දකින වැදගත් දේ තමයි IEට වඩා Crome ඡන්ද ලබාගෙන තිබීම. හැබැයි ගිනි නරිය තාම එක. ලෝකයම සැලකුවාම IE 70% කට ආසන්න ප්‍රතිශතයක් උසුලනව. දැන් පේන විදිහට ගිනි නරියට අමතරව IEට තරඟකාරයෙක් ඇවිත් වගේ.
මොකද්ද ඔයාලගෙ අදහස?එහෙනම් ඡන්ද ප්‍රතිළුල විශ්ලේශනය කරමු බලන්න.

Wednesday, January 21, 2009

කලින්ම ඡන්දෙ දාන්න



මේ පළාත් සභා ඡන්දෙ නෙමෙයි හොඳේ. පුංචි ඡන්දයක්.
මේක තියන්නෙ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.
අපේක්ෂකයො 5 දෙනයි.
පොස්ටර් නෑ කටවුට් නෑ. ප්‍රචාරක රුස්වීම් නෑ. බොරු පොරොන්දු නෑ.
වැඩ බලලයි ඡන්දය දෙන්නෙ.
අයිඩෙන්ටි කාඩ් එහෙම ඔන නෑ.ඔය බ්ලොග් එකේ දකුණු අත පැත්තෙ තියන තැනින් ඡන්දය ප්‍රකාශ කරන්නකෝ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ දවස් වල අපිට විභාගෙ. මටත් ඉන්න බෑනෙ විභාගෙ කියලවත්. බ්ලොග් එකක් නොලිය හිතට මොකද්ද වගේ.ඒකයි මේ වැඩේ කලේ.
හරි එහෙනම් කට්ටිය සාධාරණව ඡන්දය ප්‍රකාශ කරන්න කෝ.......