Wednesday, June 17, 2009

බෝඩිමේ ජීවිතේ



අදත් මුලින්ම හැමදාම කියන මන්තරේම තමයි කියන්න තියෙන්නෙ. කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනේ වැඩ වැඩි හින්දා. තව මාසෙකින් විභාගෙ දැන් මේ දවස් වල දිගටම assignment. ලබන සතියෙත් 2ක් තියනවා submit කරන්න. කැම්පස් ගියාමත් එකක් කියලයැ ලොරියක වැඩනේ. බාහිර වැඩත් තොගයක් බදාගෙන කරනවනේ. අපි කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයෙන් ස්වදේශීය සේවයේ ගුවන් විදුලි වැඩසටහනක් කරනවා. ඒකෙ නම ඉන්ටනෙට් සම්පත් භාවිතය. මේකෙ අපේ පළමු වසර වෙනුවෙන් සම්බන්ධීකරණය කරන්නෙ මම. පහුගිය දවස් වල ඒකෙ පොඩි වැඩ වගයකට එහෙ මෙහෙ දිව්ව. ඒ නිසා හැමදාම බෝඩිමට එනකොට රෑ වෙලා. කතාවෙන් කතාවෙන් කියන්න ගිය දේත් අමතක උනා. අපේ බෝඩිම ගැනයි කියන්න යන්නෙ. අපි නම් කියන්නෙ අපේ ආතල් බෝඩිම.

බෝඩිමේ ඉන්නෙ 5දෙනයි. මම කල්ප(එල්ලෙ), එරංග(අත්තා),අයේෂ්(සූටියා) සහ සමීර(කිරා). අපේ බෝඩිම තියෙන්නෙ කොහුවල ඒ කියන්නෙ 120 බස් පාරෙ. කොහුවල කිව්වට කොහුවලට ටිකක් මෙහා දන්න අය ඉන්නව නම් අපි බහින හෝල්ට් එකට කියන්නෙ බ්ර්නාඩ් කියල. ඒ නම කියන්නෙ එතන තියන බර්නාඩ් කියන රෙදි සාප්පුව නිසා. 120 බස් එකනම් ඉතින් පහසුවෙන් යන්න එන්න පුළුවන් බස් එක කියල දන්නෝ දනිති. ඒ කිව්වෙ උදේට සහ හවසට ඇතිවෙන තුරු තෙරපෙන්න පුළුවනි.

අපි ඉන්නෙ ගෙදරක පැත්තෙ කොටසක. කාමර දෙකයි සාලෙයි. මාසෙකට මොනරු 12ක් අයිතිකාරයට දෙන්න ඕන. හැබැයි අපරාදෙ කියන්න බෑ නිස්කලංක තැන. සාමාන්‍ය මිදුලකුත් තියනවා. නිවාඩු වෙලාවට අපි මේ මිදුලෙ ක්‍රිකට් ගහනවා. නීති කොච්චර තදද කියනවනම් මෙතන වැඩිම ලකුණු වාර්තාව ලකුණු විසි ගණනක්. කොච්චර උනත් අපේ බෝඩිම් වල ඉන්න කොල්ලොන්ගෙන් එහෙම හරි සෙල්ලම් කරන්න පුළුවන් ඉඩක් තියෙන්නෙ අපිට විතරයි.

බොඩිමේ සගයෝ මම කලින් කිව්වනේ. අපි කන්නේ උයාගෙන. කඩේ කෑම කාලම එපා වෙලා තමයි උයන්න ගත්තෙ. කැන්ටිමේ කෑමත් දැන් කාලම එපා වෙලා. හැමදාම එකම රහ. මොන විදිහට එහෙම උයනවද මන්දා. දැන් අපි කරන්නෙ උදේට දවල්ට යන්තන් වේල පිරිමහගෙන රෑට ඒ දෙකම අල්ලලා මැක්සා කෑමක් කනවා. අපි පස් දෙනා සාමාන්‍යයෙන් හුන්ඩු 7 1/2 ක බත් කනවා. පොඩ්ඩයි නේද? අපේ හොඳම කෝකියා තමයි කිරා. ඊළඟට අත්තා. සූටියාටත් සාමාන්‍යයේ උයන්න පුළුවන් එල්ලෙටයි මටයි තමයි පොල් සම්බලකට එහා දෙයක් බැරි. අපි ඉතින් පොල් ගෑමෙන් මිරිකීමෙන් ලූණු සුද්ධ කිරීමෙන් උයන අයට උපරිම සහය දෙනවා.

අපෙන් එල්ලෙයි මායි ඇර අනෙක් අය පවුල් වෙච්ච අය ඒ කියන්නෙ කසාද බැඳපු අය නෙමේ. බෝඩිමේ වැඩියෙන්ම මල් කඩන්න අත්තා දවසකට අවම පැය 6ක් මල් කඩනවා. ෆෝන් එක කනේ තියන් ඉන්න එකට අපි කෑ ගහලා යන්තම් දැන් හෙඩ් ෆෝන් සෙට් එකක් අරගෙන කනේ ගහගෙන ඉන්නවා. සූටියා මල් කඩන්නෙ රෑ 12 න් පස්සෙ. දන්නවනෙ හේතුව "උපහාර".

අනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දන්නවනේ "හිතේ තියන දේ කියන තැන " බ්ලොග් එක ලියන චරිත්(ඇකා). ඇකා ඉන්නෙත් අපේ බෝඩිම කිට්ටුව.ඌත් වැඩිපුර ඉන්නෙ අපේ බෝඩිමේ තමයි. උපන් දින පාටි, ගොඩ පාටි එහෙම වරද්දන්නෙ නෑ. හොඳට කාලා සින්දු කියලා නියම ආතල් එකක් එදාට ගන්නවා. වටේ පිටේ මිනිස්සු නම් එදාට කන් වහගෙන ඉන්නව ඇත්තේ.

කට්ටියම නිදා ගන්නෙ මෙට්ට 3ක් එකතු කරලා බිම. ඇඳන් 2ක් තිබුනත් ඒව ගලවලා පැත්තකින් තියලයි තියෙන්නෙ.(ආ ඇඳන් තිබිච්ච කාලෙ සූටියා ඇදක් කඩාගෙන වැටුනෙත් නෑ :D) කට්ටියටම අපරාදෙ කියන්න බෑ වැටුන ගමන් පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා. උදේට නැගිට්ට ගන්න අමාරුම කිරයි එල්ලෙයි තමයි. කිරා හැමදාම උදේ 6ට phone එකේ alarm එක තියලයි තියෙන්නෙ. හැබැයි උගේ එලාම් එකට ඌට ඇහැරෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ඒකට ඇහැරෙන්නෙ මට. ඇයි හත්ඉලව්වේ අර මගුල විනාඩි දෙකෙන් දෙකට වදිනකොට ඇහැරෙන්නෙ නැද්ද. මම ඉතින් ඒක off කරලා ආයෙ බුදිය ගන්නවා. කට්ටියටම උදේට තේ හදන්නෙ මම. සූටියත් උදේ වයිෆ් කෝල් එකක් දුන්න ගමන් දඩ බඩ ගාල නැගිටලා ලෑස්ති වෙලා දුවනවා. නැත්තම් ඉතින් ලෙඩේනෙ. අපිට ඉතින් කාගෙන් නීතිද? මායි කිරයි බොහෝ වෙලාවට බෝඩිමෙන් එලියට බහින කොට 7.30 වෙලා. 8ට ලෙක්චර්ස්. අනේ ඉතින් උදේ වාහන තදබදේ 120සේ හිරවලා 8ට විතර කැම්පස් එකට සේන්දු වෙනවා. ඔන්න අපේ බෝඩිම් ජීවිතේ.