Saturday, April 24, 2010

ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කළ ඒ පින්බර රාත්‍රිය



අප්‍රේල් 22 රෑ කියන්නෙ මම හිතින් අවුරුද්දක් ආපස්සට ගිහිපු දවසක්. 22 ඒ කියන්නේ පෙරේදා තමයි UCSC එකේ වාර්ශික පිරිත් සජ්ඡායනය පැවැත්වුනේ. ඒක සුපුරුදු පරිදි සංවිධානය කලේ පළමු වසර වෙනුවෙන් අපේ නංගිලා මල්ලිලා. මේ පාර පිරිතෙ අරමුණු වලින් ප්‍රධාන දේ උනේ ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා වන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ආදි කතෘ මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමාව අනුස්මරණය කිරීම. අද ලංකාවෙ කිසිම වැඩකට නැත් දින (වැලන්ටයින් - කොහේදෝ රටක පූජකයෙක් දිවි නහගත්තු දවස) සමරද්දී රටට සුවිශේෂී මෙහෙවරක් කරපු සමරනායක සර් වගේ අය අමතක කරලා. ඒ අය අනුස්මරණය කරන්න ඒ උතුම් චරිත වලින් ගන්න ඕන දේවල් රටේ දරුවන්ට කියල දෙන්න අපේ අය අමතක කරලා. ඒත් සමරනායක සර් ගොඩනගපු මේ UCSC පින්බිමේ අපේ ජීවිත ගොඩනගා ගත්තු අපි එහෙම කරන්න සුදානම් නෑ. හැම අවුරුද්දකම මේ වගේ අසිරිමත් පිරිත් පිංකමක් සංවිධානය වෙන්නේ ඒ උතුම් යුග පුරුෂයාට ආචාර කරන්න. මේ පාර තවත් අරමුණු වෙච්ච දෙයක් උනේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අංශයට වසර 25ක් සපිරීම. 1985 තමයි පරිගනක විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කොළඹ විශ්ව විද්‍යාලය තුල ආරම්භ වෙන්නේ. ඒ වගේම 30 වසරක කුරිරු තස්ත්‍රවාදය අවසන් කිරීමේදී ජීවිත පුජා කරපු, ආබාධිත උනු සහ ඒ වෙනුවෙන් දහඩිය හෙලපු සියලු රණ විරුවන්ට පිං අනුමෝදන් කිරීමත් අපේ අරමුණක් උනා.

මේ පිංකම කොච්චර ලස්සනද කියල බලන්න මේ පිංතූර වලින්.
චෛත්‍යයක හැඩය ගත්තු පිරිත් මණ්ඩප්පය

කැටයම් වලින් අලංකාර කල ශ්‍රවණාගාරය

ආයුබෝවන්

මකර තොරණින් පිවිසුම් මාර්ගයට

කැටයම් දහස් ගණනකින් අලංකාර කල පිවිසුම් මාර්ගය

පරිගනක විද්‍යාව කලාට චිත්‍ර අඳින්නත් පුළුවනි


ප්‍රවෘත්ති විකාශයන් වල UCSC එක ගැන සඳහන් වෙනව අහල තියනවද? "කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්" එහෙම කියල. නෑනේද? ඒත් අපේ බෞද්ධ හින්දු කතෝලික ඔක්කොම ලමයි එකතු වෙලා කරපු මේ පිංකම දෙරණ ප්‍රවෘත්ති විකාශය ප්‍රචාරය කලා මේ විදිහට.


මම මුලින්ම කිව්වනේ එදා මගේ හිත අවුරුද්දක් අතීතෙට ගියා කියල. ඒ අපි පළමු වසර සිසුන් විදිහට ඉද්දී මේ වගේම කරපු පිරිත මතක් වෙලා. මාස ගණනක ශ්‍රමය, දවස් ගණනක් නිදි මරපු අමාරුව එක මොහොතකින් නැති වෙලා හිත පිරුනෙ අපේ නිර්මාණයේ ලස්සන දැක්කාම. ඒ වගේ ආත්ම තෘප්තියක් ලබන්න බොහොම අමාරුයි. ඒ දේ ලබන්න මට පුළුවන් උනා. අපේ නංගිලා මල්ලිලාට පුළුවන් උනා.
නංගි මල්ලි උඹලාගෙ අයියලා අක්කලා හැටියට අපිට උඹලා ගැන බොහෝම ආඩම්බරයි. අපි උඹලාට අපිට වඳින්න පුදන්න කිව්වෙ නෑ. උඹලව කඩේ යැව්වෙ නෑ. ඒත් අපේ වගකීමක් විදිහට උඹලට ජීවත් වෙන්න කියල දුන්නා. එකා වගේ වැඩ කරන හැටි කියල දුන්නා. අභියෝග වලට මුහුණ දෙන හැටි කියල දුන්නා. උඹල ඒ දේවල් උඹලගෙ හිතට අරගෙන තියන බව දැක්කාම අපිට බොහොම සන්තෝසයි. ඉතින් ඉස්සරහටත් මේ විදිහට අපි ඔක්කොටම අපේ උපරිමයෙන් UCSC එකටත් රටටත් අපේ යුතුකම ඉටුකරමු.

Thursday, April 22, 2010

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කරමු.

දැනුම්දීමයි


ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා යන විරුදාවලියෙන් හඳුන්වන‍
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනෙයේ ආදි කතෘ
මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමා
අනුස්මරණය කරනු වස්
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ
පළමු වසර සිසුන් සංවිධානය කරන
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම ‍දේශනය
අප්‍රේල් මස 22 වන දින
අප අධ්‍යයනායතනයේ
මහාචාර්ය වී.කේ.සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී
පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වර්තමානයේඇති තැනට
ඔසවා තබන්නට මෙතුමා කල මහඟු සේවයට
කෘත ගුණ සලකණු වස්
ඔබටත් මේ පිං කමට සහභාගි වන ලෙස ආරාධනා කරමු.
තවද
මෙම පිංකම
http://www.ucsc.cmb.ac.lk/ucsctv/
යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ අන්තර්ජාල රූපවාහිනී සේවාවක් ලෙස
රාත්‍රී 8.30 සිට විසිරුවා හරුනු ඇත.

Tuesday, April 13, 2010

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු


බක් මාසෙ මතක නැති උනාට
කැලැන්ඩරේ අප්‍රේල් මාසෙ ඇවිත්
ගේ මිදුලෙ අඹ ගහේ කොවුලා සින්දු නොකිව්වට
ටීවී රේඩියෝ වල කොවුලො තරඟෙට කෑ ගහනව
එරබදු ගහක් පේන තෙක්මානෙක නෑ
මල් පිපිලද කියල බලන්න රතට රතේ
රබන් ගහන්න දන්නෙත් නෑ ගහන්න රබන් ඇත්තෙත් නෑ දැන්
කාරි නෑ රබන් පද mp3 එක play කරමු
වල කජ්ජ ගහන්න ඉරි පනින්න දැන් ඉන්න එවුන් දන්න එකක්යැ
facebook එක් barn buddy වත් ගහමු
මාස ගණන් පේෂල් දාල චීත්තෙ හැට්ටෙ නුහුරුවට ඇඳපු ගෑනු
අවුරුදු කුමාරි වෙන්න sms ඉල්ලනවා
බහු ජාතික සමාගම් අවුරුද්දට අනුග්‍රහය දක්වන්න පොරකනවා
හ්ම්
ගතට හිතට නොදැනුනාට රූපවාහිනියෙ අයිය කෙනෙක්
සරමක් කාරිය ඇඳගෙන ඇවිත් කියනවා

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු

බලාපොරොත්තුව....


ඈත ක්ෂිතිජයේ පුංචි තරුවක් වගේ
උඹ පේන්නෙ මට
ඒත් මහාමේරුව වගේ බරයි උඹ මට
හරි සුන්දරයි
ඇත්තම නොවුනත්
කවද හරි දවසක
කකුල් දෙක ලඟ පොලවෙ ගහපු වීදුරුවක් වගේ
උඹ සිසීකඩ වෙලායන්න පුළුවන් කියල මම දන්නවා
එදාට ගොඩක් රිදේවි මට
ඒකත් මම හොඳටම දන්නවා අත්දැකීමෙන්
කොහොම උනත් මට උඹ ඕන
මොකද
මම ජීවත් වෙනවා කියල හිතෙන්නෙ උඹ නිසා
උඹ තුල ඉන්න ඇය නිසා....