Wednesday, May 29, 2013

අහෝ බුදු තෙමගුල ......









                 නෙක වරුණ විසිතුරු ඇඳුම් ඇඳ
                 කුඩා උන් පැළඳ වෙස් මුහුණු ඇවිදින
                 නලා පිඹිමින් කරන ගෝසා
                 නෙතට ගිනිකන විදුලි එළියෙන් පිරුනු මග තොට
                 ගෙදර පාළු කර දන්සැල් පෝලිම්වල නිවැස්සන්
                 හිම කිරම කඩල කජු වෙළෙන්දන්
                
                 අස්ථිර වූ අසාර වූ ජීවිතය
                 ඇල්ම අඩුකර වඩා ගුණදම්
                 පතා අමා මහ නිවන අවසන
                 දෙසූ සදහම් අමාමෑණී බුදු හිමි
                 තෙමගුලයි මේ මිනිසුනේ
                 තවත් එක සැණකෙළියක්ද අද එය
                

Sunday, February 3, 2013

කෝච්චිය සහ මම


මරදාන ELS(Electric Locomotive Shed) තුල M10 එකකට නැග
දුම්රිය නොහොත් අපේ සරල ව්‍යවහාරයෙන් කියනවා නම් කෝච්චිය කුඩාකල පටන්ම මා කුතුහලය ඇවිස්සූ මා ආසා කල අපූරු යන්ත්‍රයකි. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වන මාත් කෝච්චියක් අතර ඇති සම්බන්ධය ගැන බොහෝ දෙනා විමසයි. මා මෙන් කෝච්චියට සමීප එයට ආදරය කරන තවත් බොහෝ අය ඇති බව මම දනිතත් සමහරෙක් දන්නේ නැත. සරසවි දිවිය හමාර කර රැකියා දිවිය ඇරඹූ හෙයින් ලද සුළු අස්වැසිල්ලක මාත් කෝච්චියත් ගැන සටහනක් තබන්නට දරන වෑයමයි මේ.

ළදරු වයසේ පටන්ම යන්ත්‍ර සූත්‍ර ගැන අන් අයට වැඩි ඇල්මක් මට තිබුනු බව මතකය. පවුලේ වැඩිමල් දරුවා වන මට ඒ නිසාම කුඩා කල මවත් පියාත් දැඩිව ආදරය කලේය. ඒ ආද‌රයේ එක් ප්‍රථිපලයක් නම් මට ලැබුනු සෙල්ලම් බඩු ගොන්නයි. එයිනුත් අති බහුතරයක් කාර් ජීප් ලොරි ආදී වූ යන්ත්‍රවල අනුරූ විය. නමුත් මට ලැබෙන මේ සෙල්ලම් බඩුවත් වැඩි කාලයක් ආයු නොලැබූ බව තාත්තා අදත් මතක් කරයි. සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කර සෑහීමට පත් නොවන මා කරන්නේ එය කැබලි කිරීමයි. නැවත සවිකිරීමයි. නවීකරණය කිරීමට උත්සාහ කිරීමයි. එ නිසාම බොහෝ දරුවන් සාඩම්බරයෙන් සෙල්ලම් බඩු ගොන්නකට අයිතිය කියද්දී මට තිබුනේ අමතර කොටස් විශාල සංඛ්‍යාවක් පමණි.

Nissan Sunny B11 Station wagon මෝටර් රථයක්
බොහෝ දේවල් කැඩුවා සේම බොහෝ දේවල් අළුත් වැඩියා කිරීමට මට පුළුවන් කම තිබුනි. ගෙදර දොරේ යන්ත්‍ර සූත්‍ර ආදිය අතපත ගා හදන්නට ගාන මට තිබුනු ආසාව ඉවහල් විය. මට වයස 14ක් පමණ වන විට තාත්තා 12 ශ්‍රී 6568 දරන Nissan Sunny station wagon රථයක් මිලට ගත්තේය(පින්තූරයේ තියන වර්ගයේ එකක. මේ ඒක නෙමෙයි).   කාලයට සාපේක්ෂව පරණ මෝටර් රථයක් වූ එය නිරන්තරයෙන් දෝශ ගෙනදුන් අළුත්වැඩියා වලට බඳුන් වූවකි. කාරයේ අළුත් වැඩියාවන් වලට එන්නේ තාත්තාගේ මිත්‍රයෙකු වූ වාහන අළුත්වැඩියා කරන්නෙකි. ඔහුගේ නියම නම මම අදටත් නොදනිතත් ගාල්ලේ බොහෝ දෙනා ඔහු දන්නේ බේබි යන නමිනි. බේබි ඇවිත් කාරය හද්දී එතනට හොස්ස ඔබාගෙන කරන දේ බලා සිටීම මගේ පුරුද්දයි. පසු කලෙක මම සංගීත නාදයක් නිකුත්වන ඉලෙක්ට්‍රොනික පරිපථයක් සාදා එය මෝටර් රථයේ reverse light වලට යන විදුලියෙන් ක්‍රියාත්මක කලෙමි. එය කෙටි කලක් සාර්ථකට වැඩ කල බව මතකය. මගේ මේ මකබාස් වැඩ නිසා තාත්තාට කරදර වුනේ නැත කියන්නට බැරිය. සමහර විටක හිටිගමන් ඩෑෂ් බෝඩය යටින් මොකක් හෝ ෂෝට් වී දුම් නගින්නට ගනී. එවැනි විටක මට නැවත ප්‍රශ්නය නිරාකරණය කරන තුරු තම ගමන කල් දැමීමට තාත්තාට සිදුවේ. ඒ අතර වයස 15 පමණ වන විටම මෝටර් රථය පැදවීමට මට පුළුවන් වූ අතර එයට තාත්තාගෙන් පවා ලොකු උපදෙසක් ලැබුනේ නැතත් තාත්තා එලවනවා බලා සිට ලැබූ දැනුමෙන් මට මෝටර් රථ පැදවීමට හැකි විය. නැතහොත් ඒ හැකියාව මගේ ඇඟේ තිබෙන්නට ඇත.

මෝටර් රථයක තිරිංග පද්ධතිය වැඩකරන්නේ කොහොමද, එන්ජිමේ පිස්ටන් හි ignition plug වලට විදුලිය ලැබෙන ආකාරය, සිසිලන පද්ධතියේ ක්‍රියාකාරිත්වය, කාබියුරේටරය අවශ්‍ය වනේ ඇයි ආදිය ගැන ප්‍රමාණවත් දැනුමක් මට ලැබුනේ නිතර ලෙඩවූ අපේ මෝටර් රථය නිසයි. බොහෝ දෙනා මෝටර් රථයක් සතුව තිබුනත් එය පැදවුවත් එහි ක්‍රියාකාරීවය දන්නේ නැත. ලෙඩක් ආවිට ගරාජයකට ගොස් එය සාදාගැනීම ඔවුන්ට ප්‍රමාණවත් වේ. මම අයත් වූයේ ඒ කොට්ඨාශයට නොවේ.

දුම්රිය මෝටර් රථයක් මෙන් නොව ඊට සංකීර්ණ යන්ත්‍රයකි. මේ සුවිශාල එන්ජිම වැඩ කරන්නේ කොහොමද? මෙච්චර දිග දුම්රියක තිරිංග එක තැනක සිට ක්‍රියාකරවන්නේ කෙසේද? මෝටර් රථයක නම් ගියර් 4ක් සාමාන්‍යයෙන් තිබේ. දුම්රියේ ගියර් කීයක් ඇද්ද( දුම්රිය එන්ජිමක ගියර් නැති බව ඒ කාලයේ මම දැන නොසිටියෙමි) ආදී දහසකුත් ප්‍රශ්න මගේ සිතේ තිබුනි. ඒ වගේම බස් එකට වඩා කෝච්චියම මම ප්‍රිය කලෙමි. එයට මේ යයි හේතුවක් දිය නොහැක.

2007 හෝ 2008 දී මගේ කුතුහලයට පිළිතුරු ලැබෙන්නට පටන් ගන්නේ අළුත් මිතුරෙක් හමුවීමත් සමගයි. ඒ සඳරුවන් කුඩාහෙට්ටි නොහොත් සඳා. මට තරම්ම වගේම මටත් වඩා එනම් අන්තයටම කෝච්චි පිස්සුව තදවූ සෙට් එකක් ඇති බව දැනගන්නේ ඒ සෙට් එකට මා එකතු කරගන්නේත් සඳාය. කෝච්චි හදන රස්සාව නොකරත් ඇන්ජින් වල අන්තිම නට් එක බෝල්ට් එක තෙක් දන්නා සඳා, ටජා, විදුර, චරියා සහ කෝච්චි සෙට් එකේ අයගෙන මම කෝච්චි ගැන බොහෝ දේ ඉගන ගත්තෙමි. මූණු පොතේ අපේ තැන රේල් හන්දියයි. ඊට අමතරව ලොකු දැනුමක් ගෙහාන්ගේ බ්ලොගය හරහාද ලැබුනු බව නොකියා බැරිය.

කුඩා වාහනයක් තිරිංග ක්‍රියාත්මක කිරීමට ද්‍රවයක්(break oil) භාවිතා කරයි. ඒත් දුම්රියට ඒක කරන්නට බැරිය. එකක් මුළු දුම්රියේම break බට පිරවීමට oil බවුසරයක් පමණ අවශ්‍ය වීමයි. අනෙක් සුළු කාන්දුවක් වුවහොත් ටොන් ගණනක් බර යකඩ ගොඩක් නවත්වාගන්නට නොහැකිම මළ කෙලියක් වන නිසාය. එකී නොකී ප්‍රශ්න නිසා දුම්රිය තිරිංග සඳහා යොදාගන්නේ පරිසරයේ පහසුවෙන්ම සොයාගත හැකි දේය. එනම් වාතයයි. තිරිංග නල තුල වාතය සම්පීඩනය කර හෝ ඉවත් කර(vacuum) යන ක්‍රම දෙකෙන් එකක් දුම්රිය තිරිංග සඳහා යොදා ගනී.

දුම්රිය එන්ජිමක එන්ජිම සහ රෝද අතර ඍජු සම්බන්ධයක් නැත. මෙයට හේතුව නම් සම්ස්ථ දුම්රිය වැඩි විශාල ස්කන්ධයක් සඳහා වාහනයක මෙන් ක්ලච් උපරණයක් හරහා බලය ලබාදිය හැකි නොවීමයි. කලච් එකක් නිර්මාණයක කලද එය කැඩී යාමේ අවදානම ඉහල අතර නැත්තම් එක ගමන් වරායකට පසු ගෙවීම නිසා ක්ලච් ප්ලේට් මාරු කිරීමට සිදුවේ. මේ නිසා වෙනත් උපක්‍රමයක් එන්ජිමේ සිට රෝද වලට ශක්තිය සංසරණය කිරීමට යොදාගනී. ඩීසල් විදුලි(diesel electric) එන්ජින් වල එන්ජිම මගින් බලවත් විදුලි උත්පාදන යන්ත්‍රයක්(generator) කරකවා උපදින විදුලය  බොගියේ(රෝද කට්ටලයක්) ඇති ජවසම්පන්න මෝටර වලට(traction motors) වලට ලබාදේ. විදුලි මෝටරයක ඇදීමේ හෝ තල්ලු කිරීමේ හැකියාව(torque එක) ඉහලය. මේ නිසා ටොන් ගණනක දුම්රියක් ගමන් කරවීමට මෙම උපක්‍රමයට හැක. ලංකාවේ බහුතරයක්ම එන්ජින්( හරි වචනය locomotive ) මෙම උපක්‍රමය යොදාගන්නා ඒවාය. අනෙක් ප්‍රධාන වර්ගය ඩීසල් ද්‍රව (diesel hydrolic) ය. එහිදී එන්ජිම හා රෝද සම්බන්ධ ඇක්සලය අතර ශක්ති පරිවර්තනය කරන්නේ torque converter නම් උපකරණයකිනි. බොහෝ අය නොදැන සිටියාට auto gear වාහන වල ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේත් torque converter එකකි. මෙම උපකරණය ඇතුලේ ශක්තිය සංසරණය කිරීමට යොදාගන්නේ ද්‍රවයකි. ලංකාවේ ඇති diesel hydrolic එන්ජින් නම් W1, W2(දැන් ධාවනයේ නැත), W3 සහ S8 බලවේග කට්ටල වැනි ඒවායි.

මෙවැනි අපූරු යාන්ත්‍රික කරුණු ගැන සොයා දැන ගැනීම මට නම් ඉතා තෘප්තිකර කටයුත්තකි. දුම්රිය ගැන පමණක් නොව ABS break system, power steering වැඩ කරන හැටි, power break( මා ඉහත කී station wagon රථයේ power break නොහොත් safety break නොතිබුනි. තිරිංග යෙදීමේදී සෑහෙන බලයක් කකුලෙන් පෙඩලයට දිය යුතු වේ, තාත්තා පසුව එය විකුණා මිලට ගත් Nissan AD wagon රථයේ safety break තිබුනෙ. පාදයෙන් දෙන බලය එන්ජිමෙන් සම්පීඩනය කල වාතය යොදාගෙන විශාල ලෙස දියුණු කරන නිසා ඇඟිලි කිහිපයකින් බ්රේක් පැඩයල පැගීම ප්‍රමාණවත්ය), hybrid මෝටර් රථයක ක්‍රියාකාරීත්වය ආදිය අන්තර්ජාලය ආශ්‍රයෙන් මම ඉගෙන ගත්තෙමි.

ඉඳන් දුම්රියත් මාත් අතර ඇති සම්බන්ධය මෙවැන්නකි. නිරන්තර කෝච්චි ගමනත් මූණු පොතේ පලවන දුම්රිය පින්තූර නිසාත් "උඹ කෝච්චියක් බැඳ ගනින්" කීයූ අය ඕනෑ තරම්ය. සමහරුන් තමන් තුප්පහි වැඩ කර ඉන් සන්තෝෂ වන ගමන් "මොකක්ද මේ උඹ කෝච්චි ගැන හොය හොය කරන විකාරෙ" මගෙන් අසයි. විවිධ අයට විවිධ විනෝදාංශ තියනවා මෙන් මෙය මගේ විනෝදාංශයයි. ඉන් කාටවත් කරදරයක්ද නැත. අදත් හෙටත් මම කෝච්චියේ යමි. එන්ජිමට එබී බලමි. එහි ඇති යම් කොටසක ක්‍රියාකාරීත්වය ඉගන ගන්නට උත්සාහ කරමි. එයින් සන්තෝෂ වෙමි. කෝච්චිය මගේ ජීවිතයට සමීප ඒ නිසයි.