Saturday, May 21, 2011

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - Shell commands 2.

රායිට් ඔන්න Shell commands දෙවන කොටස ලියන්නයි යන්නෙ. පළවෙනි කොටස අවුරුද්දකට විතර කලින් නෙව ලියවුනේ. මතක නැති අය බලපු නැති අය බලල එන්න. ඔන්න ලනුව.

rmdir (remove directory) - මේ විධානය පාවිච්චි කරන්නෙ හිස් folder එකක් මකන්න. මතක තියාගන්න හිස් නොවන folder එකක් මේ විදිහට මකන්න බෑ. ඒකට යොදාගන්නෙ rm කියන විධානය ඒක ඉස්සරහට හම්බවේවි.

cp (copy) - folder එකක් හරි file එකක් හරි එක තැනක ඉඳල තව තැනකට පිටපත් කරන්න මේ විධානය යොදාගන්නවා. මේ විධානෙත් cp තනියම පාවිච්චි කරන්න පුළුවන් තනි file එකක් හරි archive කරපු(zip,tar,tar.bz වගේ) ගොනු පිටපත් කරන්න විතරයි. ඇතුලත තව file හරි folder හරි තියන folder එකක් මේ විධානෙන් copy කරන්න උත්සාහ කලොත් මේ error එක ලැබේවි.
cp: omitting directory SOMEDIRECTORY

ඉතින් අපි කොහොමද හිස් නොවන folder එකක් copy කරගන්නෙ. ඒකට -r කියන පරාමිතියත් එක්ක cp විධානය යොදන්න ඕන. මේ වගේ
ravinda@ravinda-laptop:~$ cp -r /opt/abc ~/Documents

මේ කියන්නෙ /opt වල තියන abc කියන folder එක ඒකෙ අන්තර්ගතයත් එක්ක home එකේ Documents වලට copy කරන්න කියල. ~ සලකුණ පහුගිය සටහනේ විස්තර කලා මතක ඇතිනේ. මේත් එක්කම තවත් වැදගත් වෙන අවස්ථා කීපයක් මතක් කරන්නම්. මේ විධානය බලන්න.


ravinda@ravinda-laptop:~/Documents$ cp -r /home/ravinda/Documents/abc ../Downloads

මේ විධානයේ පාවිච්චි කරල තියන .. කියන එකෙන් අදහස් කරන්නෙ වර්ථමානයේ terminal එකේ අපි ඉන්න folder එකට(අපි මෙතනම pwd ගැහුවොත් පෙන්නන තැන තමයි අපි ඉන්නෙ මතක ඇතිනේ) folder hierarchy එකේ එක පියවරක් ඉහිලින් තියන ගොනුව කියන එක. මේ උදාහරණයේ අපි ඉන්නේ /Documents තියන තැන නිසා .. කිව්වාම අදහස් වෙන්නේ ~ නැත්තම් මගේ home folder එක. ඉතින් මෙතනදි abc කියන ගොනුව copy වෙන්නෙ home/Downloads කියන තැනට. මේ විදිහට path එක දක්වනවට කියනවා relative path කියල මොකද එතනදි අපි දැනට ඉන්න තැනට සාපේක්ෂව තමා path එක ප්‍රකාශ කරන්නෙ. මෙහෙම කරාම තියන වාසිය තමයි අදාල file hierarchy එක තියනවනම් ඔනෑම තැනකද(වෙන පරිගනකයක උනත්) මේ path එක වලංගුයි. හැබැයි අනිත් විහිහ ඒ කියන්නෙ absolute path විදිහට path එක ප්‍රකාශ කරාම ඒක ඒ පරිගනකය මත විතරයි නිවැරදි වෙන්නෙ.

ravinda@ravinda-laptop:~/Documents$ cp -r /home/ravinda/Documents/abc .

මෙතනදි abc copy වෙන්නෙ current folder එකට ඒ කියන්නේ ~/Document වලට. පැහැදිලි ඇති කියල හිතනවා. ලටපගන්න නම් එපා. :)

mv (move) - මේ විධානය dual purpose. නමෙන්ම කියවෙන විදිහට මෙයා file move කරන්න යොදාගන්නව වගේම file rename කරන්නත් යොදාගන්නවා. මේකෙ නම් අර omitting directory ප්‍රශ්නෙ නෑ. හිස් නොවන ගොනු උනත් move කරන්න පුළුවන්.

ravinda@ravinda-laptop:~/Documents$ mv abc ../Downloads

ආයෙ කියන්න දෙයක් නෑනෙ පැහැදිලි ඇති මම හිතන්නෙ. දැන් මෙන්න මෙහෙමයි rename කරන්න මේ විධානය යොදාගන්නෙ. මගේ home එකේ තියන abc කියන file එක xyz කියල rename කරනවා කියල හිතමු.

ravinda@ravinda - laptop :~$ mv abc xyz

folder එකක් rename කරන්නෙත් ඒ විදිහටම තමයි. මම root එකේ ඉඳන් මගේ Document වල තියන Linux කියන folder එක GNULinux කියල rename කරනව නම්

ravinda@ravinda - laptop :/$ mv /home/ravinda/Documents/Linux /home/ravinda/Documents/GNULinux

cat - file එකක අන්තර්ගතය එක පාරම screen එකට මුදා හැරීමයි මේ විධානයෙන් කරන්නෙ. මේකෙන් file read කරන්නත් පුළුවනි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ එකවර මුදාහරින එක. ඒ කියන්නෙ file එක කොච්චර ලොකු උනත් මෙයා ඒ ඔක්කොම එක ප්‍රවාහයට තිරයට යවනවා. ඉතින් දිග file එකක් cat කරොත් අපිට බලාගන්න පුළුවන් ඒකෙ අග ටික විතරයි. මොකද තිරයේ ඉඩ ප්‍රමාණය අනුව ඉතුරු ටික උඩට යනවනේ. මේ නිසා මේ විධානය ගොඩක් පාවිච්චි කරන්නෙ file read කරන්න නෙමෙයි. pipe කියන අංගය හරහා තවත් විධානයකට file එකක අන්තර්ගතය යවන්න මේක ගොඩක් වෙලාවට යොදාගන්නවා. pipe ගැන අපි පස්සෙ කතා කරමු. මම example.cpp කියල සරල c++ file එකක් cat කලේ මෙහෙමයි.

ravinda@ravinda-laptop:~/Documents$ cat example.cpp #include using namespace std; int main (){ cout << "Hello World" << endl; } ravinda@ravinda-laptop:~/Documents$

more - cat වලින් file එකක් කියවන්න සාර්ථකව යොදාගන්න බැරි නිසා ඒ කාර්ය කරන්න පුළුවන් විධානයක් තමයි more මේකෙන් වරකට screen එකට සරිලන ප්‍රමාණය බැගින් file එකක අන්තර්ගතය මුදා හරිනවා. අපිට පුළුවන් space button එක press කරලා ඊළග screen එකට යන්න.

ravinda@ravinda-laptop:~$ more example.cpp

ls - පහුගිය සටහනෙන් මේ list ගැන කිව්වත් මේකෙ වැදගත් යෙදීම් කිහිපයක් ගැන කියන එක අතපසු උනා. ඒ ටික මේකෙ ලියන්නයි හිතුවේ.

* ls filename - යම් file එකක් අදාල directory ය තුල තියනවද කියල බලාගන්න මේ විදිහට ls විධානය යොදාගැනීමෙන් පුළුවන්. හැබැයි මෙතනදි අදාල extention එකක් එක්කම file name එක දෙන්න වෙනවා. අදාල ගොනුවේ ඒ file එක තියනවනම් ඒ නමින්ම result එකත් නැත්නම් No such file or directory යනුවෙනුත් output එක දේවි.

උදා- abc කියන file එක තිබෙන විට
ravinda@ravinda-laptop:~$ ls abc.txt abc.txt

file එක නොමැති නම්
ravinda@ravinda-laptop:~$ ls abc.txt ls: cannot access abc.txt: No such file or directory

*ls *.xxx - යම් extension එකක් සහිත file සියල්ල search කරගන්න මේ විදිහට පුවවන්.

උදා- අදාල ගොනුවේ ඇති txt file සියල්ල බලා ගැනීමට
ravinda@ravinda-laptop:~$ ls *.txt
abc.txt doc.txt

*ls -lt - සියළු file වල විස්තර දින පිළිවෙලට පෙළගස්වා පෙන්වන්න

*ls -lrt - file වල විස්තර දිනය අනුව විරුද්ධ පිළිවෙලට(කලින්ම දිනය සහිත ගොනුව මුලින්ම) පෙන්වන්න.

*ls -d directory - අදාල නම සහිත directory එක තිබේදැයි බලන්න.

*ls -p - මේකත් ටිකක් වැදගත් එකක්. මෙතනදි result වල නම් අගට meaning characters යොදල පෙන්නන්නෙ. ඒ කියන්නෙ directory යක් නම් අගට / ලකුණ යොදනවා.

උදා-
ravinda@ravinda-laptop:~$ ls -p
algo/ Documents/ Music/ Public/
algo.tar.gz Downloads/ NetBeansProjects/ sges-v3/
Desktop/ examples.desktop Pictures/ Videos/

*ls -R - මේ විදිහට sub directory වල තියන files නුත් පෙන්නන්න list කරන්න පුළුවන්.

දැන් නම් මේකට ඇති වගේ. අනික මාස ගානක් තිස්සෙනේ ලියන්නෙ. cryptography ගැන ලිපියක් ලියන්න හිතිලයි තියෙන්නෙ ඒත් වෙලාව තමා අවුල. බලමුකෝ. එහෙනම් ආයෙ හමුවෙමු. ආයුබෝවන්.

Wednesday, April 6, 2011

වසන්තය...


වැටෙයි පිණි බිඳු අතු පත් අගින්
බලයි තුරුලිය පණ ගසා වටපිට
මියුරු විහඟ නද ඇසෙයි සැමතැන
තෙමුණු පොළව නගයි නැවුම් පුසුඹ
පැමිණ ඇත වසන්තය
සනසාලමින් ජීවිතය....

Saturday, March 5, 2011

හෙළ බස වනු රිසි පතල දැන ගමු ගැන සුබස...,


ආයුබෝවන් හැමෝටම.... කලකට පස්සේ ලැබුනු ඉස්පාසුවේ බොහොම වැදගත් දෙයක් ගැන සටහනක් තියන්නයි හදන්නෙ.

අන්තර්ජාලයේ සිංහල යුනිකේත භාවිතය ගොඩක් අයට ප්‍රශ්න ඇති කරන කාරණයක්. සිංහල යතුරු ලියනය කරන්න දන්නෙ නෑ අක්ෂර වින්‍යාසය විස්වාස නෑ ඉංග්‍රීසි වචන සිංහලටත් සිංහල වචන ඉංග්‍රීසිටයත් පරිවර්තනය කර ගැනීම ගැටළුවක් ඔය වගේ දේවල්. පහුගිය දවසෙ මාත් අපේ කැම්පස් එකේ පරිගනක විද්‍යාගාරෙ වැඩකරන කොට ඒ පරිගනකයෙ වෙබ් බ්‍රව්සරයෙ ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරන add on එක ඇතුලත් කරල තිබුනෙ නෑ. ඉතින් මම සාමාන්‍යයෙන් භාවිතා කරන Sinhalatips මේකට ස්ථාපනය කරන්න උත්සාහ කලා. ඒත් Mozilla add ons එකතුවෙ sinhalatips සොයාගන්න මට බැරි උනා. add on එක යාවත්කාලීන නොකිරීම නිසා ඉවත් කරලද දන්නෙ නෑ. සමහර විට මතක ඇති මුලින්ම ගොඩක් අය පාවිච්චි කරපු add on එක තමයි EnSiTip මේකත් යාවත්කාලීන නොකිරීම නිසා දැන් mozilla addon එකතුවෙ නෑ ඉන් පස්සෙයි මම නම් Sinhalatips පාවිච්චි කලේ. ඉතින් ඒකත් නැති නිසා වෙන add on එකක් මම හොයන කොට "ඉඟිය" කියන addon එක ගැන මට මතක් කලේ අපේ ලුකා(ප්‍රසාද්) සහෝදරයා. ඉඟිය හොයාගෙන යනකොට මට හම්බුනේ කලින් දැකල පුරුදු වෙබ් අඩවියක්. කලින් හැම පාරම යන්තම් බැළුව මිසක් හොඳට හොයල බලන්න වෙලාවක් උනේ නෑ. මේ වතාවෙ මම අවධානයෙන් බැළුවා. එතකොටයි දැනගත්තේ මේක බොහොමයක් දේවල් ගොඩක් වටින දේවල් අඩංගු වෙබ් අඩවියක් කියල. ඉතින් ඉඟිය බාගෙන මගේ කාර්ය කරගෙන නවතින්නෙ නැතුව ඉඟිය සහ තව බොහෝ දේවල් ඇතුලත් මේ අපූරු වෙබ් අඩවිය ගැනත් සටහනක් ලියල තියන්න හිතුවා.

ඉතින් මොකද්ද මේ වෙබ් අඩවිය. ඒ තමයි "සුබස"(http://www.subasa.lk). සුබස කියන්නේ, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ඒ කියන්නෙ UCSC එකේ භාෂා තාක්ෂණ පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් කියල කියන්නෙ බොහොම ආඩම්බරයෙන්. සුබස කියන්නෙ මොකක්ද කියන එක සුබසෙ හැඳින්වීම ඒ වෙබ් අඩවියෙන්ම මම උපුට ගත්තා.

"ආයුබෝවන්

මෙය සිංහල භාෂාව සඳහා සබැඳි සේවා සපයන වෙබ් අඩවියකි. පරිගණකයෙහි සිංහල භාෂාවෙන් කටයුතු කිරීම පහසු කිරීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙයි. මෙහි සබැඳි යතුරු පුවරුව සහ ශබ්දිම යතුරු පුවරුව සිංහල යතුරු ලියනය කිරීමට අපහසු ඔබට මහත් අස්වැසිල්ලකි. සිංහලෙන් යතුරු ලියනය කළ ලියවිලිවල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීමට මෙහි අකුරු විනිස පිරික්සුව ඔබට උපකාරී වනු ඇත. එසේ ම යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් යතුරු ලියනය කළ ලියවිලි යුනිකෝඩ් බවට පරිවර්තනය කරන මෘදුකාංගයක්, වෙබ් පිටුවල ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගයක් සහ පැරණි සාහිත්‍ය කෘති නොමිලේ ලබා දෙන සේවාවක් මෙම අඩවියෙන් ලබා දෙන අන්තර්ජාල සේවාවන්ට අයත් වේ. "

ඉතින් මෙන්න මේ සේවාවන් ගැන ටිකක් සවිස්තරව පැහැදිලි කරන්නයි මගේ බලාපොරොත්තුව.

සුබස ඉඟිය

ඉඟිය කියන්නේ Mozilla Firefox හා Mozilla Thunderbird කියන මෘදුකාංගත් එක්ක භාවිතා කරන්න පුළුවන් සිංහල <--> ඉංග්‍රීසි පරිවර්තක add on වර්ගයේ මෘදුකාංගයක්. හැබැයි ඉඟිය මෙතෙක් තිබුනු ඒ ආකාරයේ අනෙත් add on වලට වඩා දියුණු මෘදුකාංගයක්. සාමාන්‍ය විදිහටම ඉංග්‍රීසි වචනයක් උඩට mouse pointer එක ගෙනයාමෙන් ඒ වචනයේ සිංහල තේරුමත් සිංහල වචනයක් උඩට mouse pointer එක ගෙනයාමෙන් එහි ඉංග්‍රීසි වචනයක් අපට ලබා ගන්න පුළුවන්. තව අපූරු දෙය තමයි යම් ඉංග්‍රීසි හෝ සිංහල වචනයක් උඩ double click කලාම ලැබෙන අනෙක් භාශාවේ සමාන වචනයක් උඩ click කිරීමෙන් පිටුවේ ඒ වචනය අනෙක් භාෂාවේ සමාන වචනයෙන් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්.
Collision නම් වචනයෙහි තේරුම ඇති සිංහල වචන
එයින් ගැටුම නම් වචනය උඩ click කල විට

තාක්ෂණික පැත්ත ගැන යම් අවබෝධයක් තියනවනම් JavaScript කියන scripting language එක පාවිච්චි කරල තමයි මේ වගේ දේවල් කරන්නෙ. ඉතින් මේ ගැන තවත් තොරතුරු සුබස හි ඉඟිය පිටුවෙන් දැන ගන්න පුළුවන්.

ඉඟිය ස්ථාපනය කරගන්නෙ මෙහෙමයි. මේ සබැඳියෙන් add on එක බාගත කරගන්න. ඉන් පස්සේ ඒ බාගත කරපු file එක උඩ right click කරලා ලිනක්ස් වල නම් open with another application වලින් Firefox තෝරලත් වින්ඩෝස් වල open with-->Firefox තෝරලත්
ඉන්පස්සේ Firefox වලින් එන install add on window එකෙන් install තේරීමෙන් මේක ස්ථාපනය කරගන්න පුළුවන්. ස්ථාපනය වෙනකොට දකින්න පුළුවන් en-si වචන ශබ්දකෝෂයත් ස්ථාපනය වෙනවා. ඒ කියන්නෙ පරණ EnSiTip වල දියුණු කරන ලද වචන මාලාවම තමයි ඉඟියත් පාවිච්චි කරන්න. EnSiTip නිර්මාණය කලෙත් මේ UCSC භාෂා තාක්ෂණ පර්යේෂණ ආයතනයෙන්ම තමයි.

යතුරු පුවරු

සිංහල යුනිකේත යතුරු ලියනය කිරීම අපහසු අයට අපූරු උපකාරයක් තමයි මේ.මේ යටතේ දෙආකාරයක යතුරු පුවරු වෙබ් අඩවියේ තියනවා. ඒ තමයි සබැඳි යතුරු පුවරුව සහ ශබ්දිම යතුරු පුවරුව(phonetic keyboard).


මේකෙ සිංහල අකුරු ආකාරයෙන්ම යතුරු දකවල තියන එක තමයි සැබැඳි කියල කියන්නෙ. වචනයක් ලියනකොට අපිට මුලින්ම ලියන්න අවශ්‍ය වෙන අකුරු සියල්ලම අපිට මුලින් පෙන්නනව මේ විදිහට.
මෙතනින් අපි මුලින් අපිට ඕන අකුර තේරුවාම ඒ අකුරෙ පිල්ලන් සහිත අවස්ථා ඔක්කොම දකුණු පැත්තෙන් පෙන්නනවා. එතනින් අපිට අවශ්‍ය පිල්ලම් සහිත ආකාරය තෝරන්නයි තියෙන්නෙ.


ශබ්දිම යතුරු පුවරුව

මේ කියන්නෙ හැමෝටම හුරු පුරුදු UCSC Real time Unicode Converter ආකාරයේ යතුරු පුවරුවක්. සිංහල වචන ඉංග්‍රීසියෙන් ශබ්ද වෙන විදිහට ටයිප් කරල අදාල සිංහල යුනිකේත වචනය අරගන්න පුළුවන්. මේ ගැන නම් හැමෝම වගේ දන්න නිසා කියන්න දෙයක් නෑ වැඩිය.

යුනිකේත පරිවර්තක

යුනිකේත නොවන ඒ කියන්නෙ කපුටා, මානෙල් වගේ ෆොන්ට් භාවිතා කරල ලියපු දේවල් යුනිකේත වලට හරව ගන්න පරිවර්ත තුනක් සුබසේ ඔබට ලබා දීල තියනවා. පහත තියෙන්නේ ඒ පරිවර්තක ඒවාට ලනුවත් එක්ක.
DLමානෙල්-->යුනිකේත
කපුටා-->යුනිකේත
FMඅභය-->යුනිකේත

මීට අමතරව මෙහි off line මෘදුකාංගයත් මෙතනින් බාගන්න පුළුවන්.

අකුරු විනිස පිරික්සුම

සිංහල වචන වල නිවැරදි බව බලන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ. මේකෙ තියන දත්ත එකතුවකින් තමයි නිවැරදි බව බලන්නෙ. ඒත් මේක නම් එච්චර නිවැරදිව වැඩ කරන බවක් මට පෙනුනේ නැහැ. ඔයාලත් ටිකක් බලන්න.

ඉතින් තවත් පොත්ගුල, වීඩියෝ, සම්පත් වගේ තවත් දේවල් මේ වෙබ් අඩවියේ තියනවා. ඒවත් පාවිච්චි කරල බලන්න උවමනා අය.

තවත් කිය යුතු දෙයක් තමයි සුබස මේ වෙබ් අඩවිය e ස්වාභිමානී සම්මාන උළෙලේදී ත්‍යාගයක් පවා දිනාගනු ලැබුවා.

එහෙනම් හමුවෙමු ආයෙ වෙලාවක් ලැබුනාම තවත් සටහනකින් හමුවෙමු. එතකන් ආයුබෝවන්.

Friday, February 18, 2011

සරසවියේ නොමියෙන මතකය...


"2008 සැප්තැම්බර් 15 දින මුලින්ම කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නම් කෙම් බිමට පා තබා ඉන් දෑ අවුරුද්දකුත් සා මසකට පසු ඒ සොඳුරු ඉමෙන් සමුගෙන වෙන්වී යන 2007/2008 කණ්ඩායමේ මගේ දයාබර සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ සටහන තබමි"

(ඉහත නිසඳැස බවනෙ කවි පුවරුවෙන් උපුටා ගත්තක් බව සලකන්න)

දෛවයේ නියමය අනුව නුඹත් මාත් අපි සියල්ල ජීවිතයේ එක් මං සන්ධියක එකම තැනකට ආවෙමු. අපි සියල්ලන්ගේ පිනට ඒ තැන කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නැතිනම් UCSC ය නම් පින් බිම විය. එක කුස නූපන්නද අපි සහෝදරියන් සහෝදරයින් වීමු. ලබැඳියවුන් වීමු. ලංකාව පුරා සිට පැමිණ කොළඹ ගෙන්දගම් පොළවේ පය ගසා පවුලේ අය නෑදෑයින් කිසිවෙක් නැතිව ජීවත් වෙද්දී අපි එකිනෙකාගේ දුක සැප බෙදාගන්නට පුරුදු වුනෙමු. මෙතෙක් කල් අප සැම එක්ව කල කී දෑ බොහෝය මේ එයින් බිඳක් යලි මතකයට ගෙනෙන්නට දරන වෑයමයි.

එක පුටුවේ තුන් හතර දෙනා වාඩිවී පලු යනකම් බැනුම් ඇසූ කාලය අපිට තාමත් මතකය. චිත්තීගේ බලු කතාව, ලකයා "ටොමැක් එකේ කෑම රසායි" යනුවෙන් කෑගැසූ හැටි, සාදුගේ කාලීන බණ, හිරේගේ සමිතිය, රම්බෝගේ මගුල, එකී මෙකී නොකී තව බොහෝ දේ අපි අදටමත් සිනහ මුවින් මතක් කරන්නෙමු. අපේ activity day එක. ඒ අපේ කුළුඳුල් function එක. චිත්තීගේ පිළිගැනීමේ කතාව(ඒ කතාවෙන් උපුටා ගෙන ලියපු මේ කොටස ගත්තේ අපේ හූනා(කළණ)ගේ මූණු පොතෙන්)
"අයියලා අපිට බනිද්දී...
අපි හැදිලා නෑ කියල කියද්දි...
අපි සිටියා එකා වගේ එකටරැඳී...
...ඒ ගැන කොච්චර කිව්වත් මදී...
ඒ කාලෙ ගත්ත ආතල් මතක් වෙද්දී..
...පහුගිය අවුරුදු දෙකහමාර දිහා හැරිල බලද්දී...
තව ටික දවසකින් අපිට යන්න වෙනව කියල හිතෙද්දී...
කොච්චර වුනත් හිතට හරි මදී...
ඒ කාලෙ ගැන නම් කොච්චර කිව්වත් මදී..."
රම්බෝගෙ නාට්‍ය, කුමාර සන්නිය, රුවිතෙට යාම වැනි අංග බොහොමයක් නිතැතින්ම නරඹන්නන් සිනහ ගැන්වූවා. කාගෙත් අව්‍යාජ උත්සාහයක උපරිම ප්‍රතිපලය උනු moreආතල්இலவசம் අදටත් අපේ මතකයන් තුල සිටිමින් අපේ මුවට සිනහවක් එකතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම freshes meet, faculty meet දෙකේදිම දාස් ගණන් ඉන්න අනික් faculty සියල්ල පරදා පළවෙනි තැන ගන්න UCSC අපේ සුළු පිරිසට හැකි උනේ UCSC පවුලේ ශක්තිය පුද්ගලයන් ගණන ඉක්මවා ගිහිපු අපේ කම කියන හැඟීම නිසා වෙන්න ඇති.

සපත්තු දාල කමිසෙ යට කර එතෙක් කල් ආ නවක අපිට සාමාන්‍ය කැම්පස් සංස්කෘතියට එකතු වෙන්න ලැබුනෙ බකට් එකෙන් පස්සෙ. බකට් කොන්සට් එකෙන් පස්සෙ පිට්ටනියෙ වාඩිවෙලා අයිස්ක්‍රීම් කාලා නොහිතාපු විදිහට වතුර බෑග් ප්‍රහාරයකට ලක්වෙච්ච විදිහ. ඉන් පස්සෙ ඉතින් අයියලා එකා එකා උස්සන් ඇවිත් නාවලා යවන්නත් අමතක කලේ නෑ. පැය තුනක් විතර වතුරත් එක්ක දඟලලා වතුර බේරෙන ඇඳුම් පිටින් බස් එකේ ගිය හැටිත් අදටත් මතකයි.

ශ්‍රමදානය අපේ UCSC ය වෙනුවෙන් අපි කරපු පළවෙනි දේ. වෙනදට වැස්ස දවසට අඩිය තියන්න බැරි බවනෙ දකුණු පැත්තෙ අපි හදපු අළුත් පාර, ඇන උයනට එකතු කරපු අළුත් පච බංකු, බවන ඉස්සරහ ගල් ඇතුරුම 2007/2008 කණ්ඩායමේ අපි ගැන හැමදාම සාක්ෂි කියාවි.

අපිට අයියලා දීපු sports day එක තවත් සුන්දර මතකයක්. පැය ගණන් බොංගො ගහමින් සින්දු කියපු ඒ වගේ නිදහස කාලයක් ආයෙ එන්නෙ නෑ. UOC cricket team එකේ වතුර අදින අපේ ලකයට හිතේ හැටියට සෙල්ලම් කරන්න ලැබුනෙ එදාය. බැට් එකෙන් ගහල ඒ මදි වෙලා බැට් එකේ මිටෙනුත් ගහල අන්තිමට සෙරෙප්පුවෙනුත් පන්දුවට පහරදුන් අයුරු මතකය. පිටි පිඟානෙන් කාසිය හොයාගන්න ගිහිපු අයට වෙච්ච දේ කාටත් මතක ඇතිවාට සැක නැත. බම්බගේ මූණ වෙස් මූණක් වෙලා තිබුනු බව නම් මගේ මතකයේ පැහැදිලිව ඇත.


2008 දෙසැම්බර් 20 ඒ අපිව UCSC පවුලට නිල වශයෙන් පොඩි එවුන් නැත්තම් 1st years ලා විදියට එකතු කරගනිමින් අයියලා අක්කලා අපිට දීපු Welcome එක. බ්‍රයන් අයියා Hotel California සින්දුව කාපු හැටිත්, හර්ෂ අනුරාධ අයියා ලනුවකින් බහින්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් අපි තාමත් මතක් කරන්නෙ හිනා වෙවී. එදා සම්මාන දිනාගත්තු අපේ අය අතර කන්නා(ලහිරු) - දෙනගම සම්මානය වගේම තව ගොඩක් අය සම්මාන දිනා ගත්තා. Welcome එකේදි අපිට දීපු සිහිවටනයේ මේ අකුරු පෙළ සටහන් කර තිබුනා "අපව දෙටු කල අපේ කණිටුවන් නියත විවරණ ලද වගයි". ස්තූතියි අයියේ අක්කේ...

පිරිත. හැම අවුරුද්දකම UCSC යේ නිර්මාතෘ දිවංගත මහාචාර්ය වී.කේ. සමරනායක ගුරුතුමා සිහිකරලා පිරිත් පිංකමක් පැවැත්වෙනවා. මේකෙ බර දන්නේ පළමු වසර අය. කැටයම් පිරිච්ච තොරණක්, වියන සහ දෙපස කැටයම් දහස් ගණනකින් අලංකාර කරපු පිවිසුම් මාර්ගයක්, ගල් කැටයම් පවුරක අනුරුවක්, කොරවක් ගල් සහ සඳකඩ පහන වගේම සියුම් කැටයමින් පිරුණු නෙළුම් මලක හැඩය ගත් පිරිත් මණ්ඩපය මේ සියල්ල අලංකාරව නිම කරන්න අපේ කවුරුත් එක වගේ මහන්සි වුනා.
සති තුනකින් අපි ඉවර කරපු ඒ කාර්ය ඒ වගේ දෙතුන් ගුණයක ශ්‍රමය තිබුනත් වෙන කාටවත් කරන්න බෑ ඒ අපි ලඟ වෙන කවුරුවත් ලඟ නැති දෙයක් තිබුන නිසා. අපේ වැඩක් අපේ අය වෙනුවෙන් කැපවෙලා කරන්න කවුරුත් පහුබැස්සේ නෑ. නිදි නැති රෑ ගෙවපුවා ඕනෑතරම්. UCSC ය වෙනුවෙන් නුඹලා කරපු කැපවීම විශිෂ්ඨයි මගේ සහෝදර සහෝදරියනේ. ඒ කැපවීම නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිතක් කිව්වොත් පිරිත කව්රුත් මතක් කලේ UCSC යේ පිරිත. මාර්තු 28 වෙනිදා පැවැත්වුනු අපේ පිරිස සිරස ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පවා විකාශය කලා.



2009 සැප්තැම්බර් වෙනකොට අපි දෙවස වසරට පා තියනවත් එක්කම අපිට නංගිල මල්ලිලා කට්ටියකුත් UCSCයට ගොඩවුනා. සරසවිය නම් පොතේ අ යනු ආ යනු කියා දී අපි නුඹට පාර පෙන්වූ වග අපට විශ්වාසයි.


අපේ පොඩි එවුන් වෙනුවෙන් අපි සංවිධානය කරපු sport day එක. අපේ හැම function එකකටම වැටුනු ආශීර්වාද වැස්ස එදත් ඇද වැටෙන්න අමතක කරේ නෑ. කලින්දා හවස ඉඳන්ම එක සීරුවට වැස්ස වැටුනත්. stage ගහන්න වැටවල් බඳින්න තව දහසකුත් එකක් දේවල් වලට එක්කෝ නිකම්ම තෙමි තෙමි නැත්තම් ෂොපින් බෑගයක් ඔළුවෙ බැඳගෙන අපේ උන් එහෙ මෙහෙ දිව්වා. අන්තිමට රෑ එළි වෙනකම්ම වැහැපු වැස්ස නතර උනේ පස්සෙන්දා උදේ 5ට විතර. යන්තම් ඇති අපේ අයගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. අපේ ප. අයියාගේ ලස්සන කඳවුරු ගිනිමැලෙත් එක්ක පළමු වතාවට sport day එකේ මල්වෙඩි ඉහලට නැගුනා.

70 දශකෙන් පටන් ගෙන වර්තමානය වෙනකම් ගලාගෙන ආපු අපූරු Welcome එක කාටත් මතක ඇති. එල්ලෙගෙයි බට්ටිගෙයි ජීවන මේ ගමන සංසාරෙන් පටන් අරන්, කිරාගෙ ගඟ අද්දර දිගේ ඇවිත් අත්තගේ මල් පිට මල් වැටෙන දිගු මාවතට ගොඩ වෙලා බොහොම ලස්සන ගීත ගමනක් අපි ගෙනාවා. ගෙම්බා, මංගො, එල්ලේ, කොයිල්, කුණ්ඩු,සූටියා, පොත්තා, සීනා, කංකුන්(මම නම් ඕකෙ හිටියෙ නෑbiggrin) පරණ විකට ගීත පෙළකට කරපු නර්තනය කවුරුත් මතක් කලාලු. හුරේල ජිකාලගේ නාට්‍යත් සිරා කියල තමයි කට්ටිය කිව්වේ. වැදෙන්න ඕන තැන් වලටත් වැදුනලුනේ. අපිට බුදු සරණයි නාට්‍යත් නැගල ගියා. තම ගොඩක් දේවල් තිබුනා. වේදිකාවේ කාලය අතීතයෙන් වර්තමානයට වෙනස් වෙනකොට පසුතලයත් වෙනස් උනා කියන්නෙ. 2007/2008 අපේ සෙට් එකේ වැඩ තමයි.

සාමාන්‍යයෙන් Welcome එකෙන් පස්සේ campus එකේ බැච් එකක කරන දේවල් ඉවරයි. ඉන් පස්සේ තියෙන්නේ බුක්ති විඳින්නයි. කව්රුත් බොහොම අමාරුයි වැඩ වැඩියි කියන තුන් වෙන් වසරේ UCSC යේ කවදාවත් නෙකෙරිච්ච ඒත් අපි ගොඩක් කාලෙක ඉඳන් කරන්න ඕන කියල හිතන් හිටපු දෙයක් කරන්න අපි බැචාලා අත ගැහුවා. අපි සංවිධානය කලත් UCSC පවුලේ හැමෝගෙම සහයෝගයෙන් සැබෑ වුනු ඒ හීනෙ තමයි ifo++. ගොඩක් අය කරන්න බෑ කියපු දේ අපි කලා බොහොම ලස්සනට කලා. අපි කකුලෙ එල්ලිලා පහලට ඇද්ද උප කුලපතිතුමියටත් අපේ ශක්තිය පෙන්නලා අපි ඒ කාර්ය කලා. මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රදර්ශන අංග විශාල ගණනක්, පරිගණක කෞතුකාගාරයක්, පාසල් සිසුන්ට ගුරුවරුන්ට දේශන, මව්පුවරුවකට ආකෘතියට සැකසූ අධ්‍යාපන කලාපය සහ තවත් බොහෝ දේ ifo++ තුල තිබුනා. පාසල් සිසුන් 3000කට ආසන්න ගණනක් සාමාන්‍ය ජනයා 25000ක් පමණ ifo++ නැරඹුවා. UCSC මවට අපෙන් දුන් අවසන් ත්‍යාගය තමයි ඒ.

2011 පෙබරවාරි 11 එදා තමයි 2007/2008 අපේ අය ලියපු අන්තිම විභාග ප්‍රශ්න පත්‍රය පැවැතුවුනේ. එනම් UCSC ය තුල අපේ අය එකතු වෙන අන්තිම දවස වුනේ එදා. අවුරුදු දෙකහමාරකදි අපි ගොඩක් දුර ආවා. UCSC යට එනකොට අපි සමාජෙට පොඩි ළමයි. සොඳුරු සරසවියෙන් අපි ගොඩක් දේවල් එකතු කර ගත්තා. ජීවිතයට අත්දැකීම් අරගත්තා. විනෝද උනා. පිස්සු නැටුවා. ඒ කාලය ඉතින් ඉවරයි. බවනෙ සිංදු කියපු කාලෙ, පච බංකු වල කයිය ගහපු කාලෙ, කොමන් එකේ කැරම් ගහපු කාලෙ ඒ කාලය දැන් අපේ පිටි පස්සෙන්. ජීවිතේ එක මන්සන්ධියකදි හමුවුනු අපේ එවුන්ට දැන් වෙන් වෙලා යන්න වෙලා. අපි ගියත් අපි කල කී දේ අපේ මතකයන් UCSC ය පුරාම හැමදාමත් ජීවත් වේවි.

"සබඳ, නුඹත් මමත් එක මවගේ දරුවන් වීමු. UCSC ය අපගේ මව විය. ඇගේ ඇකයේ නුඹත් මමත් හිනැහුනු කාලය අහවරය. වෙන්ව ගියත් නුඹත් මමත් ගොඩනගා ගත් ඒ සෙනෙහසේ බැමි නොබිඳෙන බව නම් විස්වාසය. හමුවෙමු යම් දිනක ඒ සොඳුරු මතකය යලි අවදි කරන්නට. ආයුබෝවන් UCSC මවුනි......"