Friday, February 26, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස්හි ගොනු සැකසුම(File hierarchy)


සටහන - ඉතින් කොහොමද මම නම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. ඒ අතරේ මේ සටහන් මාලාවේ තව සටහනක් ලියන්නයි කල්පනාව. කලින් සටහන නම් කට්ටියට තේරිලා මදිද කොහෙද.neutral ඒක තරමක් දිග වෙච්ච බව මම පිළිගන්නවා. ඒ වගේම paging swapping වගේ තරමක් ගැඹුරු තාක්ෂණික දේවල් ගැනත් මම යන්තමින් සඳහන් කලේ දැනගත යුතු නිසා.

Linux වල ගොනු සැකසුම(File hierarchy) ගැන මම මීට කලින් සටහනෙත් යමක් සඳහන් කලා. මේ සටහනේදි වඩා සවිස්තරව ඒ ගැන පැහැදිලි කරන්නයි මේ උත්සාහය. මේකට සම්මත නම තමයි File system Hierarchy Standard කියන්නෙ. ප්‍රධාන ගොනු සහ ඒවායේ අන්තර්ගතයන් තියන ආකාරය ගැන තමයි මේකෙන් පැහැදිලි කරන්නෙ. මේ FHS එක පවත්වාගෙන යන්නෙ Linux Foundation එක මගින්. FHS වල වර්තමාන සංස්කරණය 2.3 නිකුත් කලේ 2004 ජනවාරි 29.


Linux ගොනු සැකසුමේ උඩින්ම ඉන්නෙ root ("/" සළකුණ). ගහක පොළවට සම්බන්ධ වෙන්නෙ මුල මුලට තමයි ඔක්කොම අතු එකතු වෙන්නෙ අතුවල තව අතු තියෙන්න පුළුවන් නැත්තම් කොළ තියෙන්න පුළුවන්. Linux ගොනු සැකසුමත් මේ වගේ සරලයි. නමුත් වින්ඩෝස් වල තියෙන්නෙ මෙහෙම නෙවෙයි C: D: යනාදි ලෙස වෙනම partition තමයි දකින්න පුළුවන් වෙන්නෙ. එතකොට Linux වල partition
කොහෙද තියෙන්නෙ? ඒවත් අර ගහටම අත්තක් විදිහට සම්බන්ධ වෙලා තියනව. වින්ඩෝස් වල තියෙන්නෙ වෙන වෙනම භාජන කීපයක තියන ගස් කීපයක් ඒත් ලිනක්ස් වල තියෙන්නෙ එක භාජනයක් සහ එක ගහක්. එතකොට Linux වල මේ tree structure එකට අපිට තව partition එකක් තව hard disk එකක් විතරක් නෙමෙයි network එකේ තියන තව පරිගණකයක hard disk එකක් පවා සම්බන්ධ කරන්න පුළුවන්. මෙය Linux වල තියන නම්‍යශීලී බව පෙන්වන තැනක්. root partition එක පරිගනකයේ මොන partition එක වුනත් Linux වලට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අනෙක් partition කැමති පිළිවෙලකට root එකට සම්බන්ධ වෙන්නත් පුළුවනි. මේ නිසා system files partition කීපයක තිබෙන්නත් පුළුවනි. වින්ඩෝස් වල වගේ ඔක්කොම C එකේ තියෙන්න ඕන කියල Linux අපිට නීති දාන්නෙ නෑ. මේ නිසා boot එක වෙන partition එකකත් usr එක තව partition එකකත් home එක වෙනම partition එකකත් තියාගන්න පුළුවන්. home එක වෙනම partition එකක තියාගැනීමේ වාසිය මම කලින් සටහනින් විස්තර කලා මතක ඇති.(boot,usr මේව ගැන මේ සටහනේ ඉදිරියට පැහැදිලි වේවි.)

ඕනම දෙයක් file එකක් questioneek

Linux වල තියන තව අපූරු දෙයක් තමයි ඕනම දෙයක් file එකක් කියන එක. directory එකක් shortcut එකක් විතරක් නෙමේ hardware එකක් උනත් file එකක්. directory එකක් කියන්නෙ file එකක් වෙන්නෙ කොහොමද? directory එකක් කියන්නෙ ඒක ඇතුලෙ තියන file වල විස්තර ඇතුලත් file එකක්. මාරයි නේද? සමස්තයක් විදිහට FHS ගැන කියන්න තියෙන්නේ මේ දේවල් තමයි. දැන් බලමු root එක ඇතුලේ තියන සම්මත ගොනු මොනවද කියල.

/bin -
Linux තුල පාවිච්චි වෙන බොහෝ විධාන(Commands) තියෙන්නෙ මේ directory එක ඇතුලෙ. විධාන කිව්වට ඇත්තටම තියෙන්නෙ ඒ විධාන වලට අදාල executable binary files. bin කියන නමින්ම පැහැදිලි වෙනවනේ binary කියන එකේ මුල් අකුරු 3. මේ ගොනුවට ගිහිල්ල බලන්න ls, pwd, mkdir වගේ විධාන වලට අදාලව file එක බැගින් මේක ඇතුලෙ තියනව. තව මේ bin ගොනුවෙ path එක සම්මත එකක් ඒ නිසා userට ඕන තැනක ඉඳන් bin එක ඇතුලෙ තියන විධානයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අළුත් FHS වල /usr/bin කියන තැනත් විධාන වල executable files තියාගන්නව. ඒවගේ වෙලාවකදි /bin කියන්නෙ /usr/bin වලට ලින්ක් එකක්.

/boot -
මෙම ගොනුවේ configuration files හැර boot process එකේදී අවශ්‍ය වන අනෙක් files ගබඩා කර ඇත. ඔබ දන්නා ලෙස grub එකට අදාල files ද තිබෙන්නේ මෙහි. මෙම ගොනුවේ දත්ත වලට යම් හානියක් උනොත් පරිගනකය boot නොවී යන්න පුළුවන් නිසා මෙහි files සම්බන්ධව කටයුතු කිරීම මනා දැනුමකින් යුතුව කරන්න ඕන.

/dev -
කලින් කිව්වනේ Linux වල ඕනම දෙයක් file එකක් කියල. ඒ කියන්නෙ System එකේ තියන devices නුත් සලකන්නෙ file විදිහට. අන්න ඒ devices files තියෙන්නෙ මේ /dev කියන තැන. මේ directory එකට ගිහින් බැළුවොත් දකින් පුළුවන් මේ වගේ දෙයක්. මෙතන පරිගනකයේ තියන හැම device එකක්ම list කරලා තියනවා.

මේ sda කියන්නෙ මගේ hard disk එක.sda1 ආදී විදිහට තියෙන්නෙ hard disk partitions. තව hard disk එකක් තිබුනනම් ඒක sdb කියල පෙන්නාවි.

/etc -
මේක ගොඩක් වැදගත් directory එකක්. මෙතන තමයි configuration files සහ resources ගැන විස්තර ගබඩා කරල තියන්නෙ. මේව text ආකාරයට තමයි තියෙන්නේ ඒක නිසා මේ ගොනුවේ වෙනස් කම් කිරීමට permission දීල තියෙන්නෙ root user ට විතරයි. මේ ගොනුවේ තියන වැදගත් configuration file එකක් තමයි x windows system configuration file එක. ඒක /etc/X11/xorg.cnf කියන තැන තමයි තියෙන්නේ. මේ file එක බැළුවට කමක් නෑ දන්නෙ නැතුව වෙනස් කරන්න යන්න එපා.

/home -
මේ තුල එක් එක් පරිශීලකයා වෙනුවෙන් home directory එක බැගින් තිබෙනවා. උදාහරණයක් විදිහට මගේ home directory එක /home/ravinda .මෙය බොහෝ විට වෙනම partition එකක් ලෙස නිර්මාණය කරනු ලබනවා.

/lib -
Linux ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය shared library files මේ තුල අඩංගුයි.

/lost+found -
System එක crash වන අවස්ථාවකදී ගබඩා කරන තැන සොයා ගත නොහැකි වන files මෙතැන ස්ථාපනය කරනු ලබනවා. ඒවා save වන්නේ අංක වශයෙන්. නියම නමින් නොවේ.

/media -
මෙය තවත් වැදගත් තැනක්. මන්ද යත් පරිගනකයේ වෙනත් partitions සහ devices(removable media's) default mount වන්නේ මෙම ස්ථානයටයි. තවද මේ තුලට mount කරන ඕනෑම ගොනුවකට short cut එකක් desktop වලද පෙන්වනු ලබනවා.

/opt -
Optional application software packages හෙවත් පසුව ස්ථාපනය කරගන්නා මෘදුකාංග ස්ථාපනය වන්නේ මෙහි. මාගේ පරිගනකයේ මෙහි firefox සහ lampp ස්ථාපනය වී තිබෙනවා. මෙයත් root userට පමණක් දත්ත ලිවිය හැකි තැනක්.

/root -
සුපිරි පරිශීලකයා නොහොත් root user ගේ home directory එක වන්නේ මෙයයි. මෙය තුල ඇති දෑ බලන්නට පවා හැක්කේ root ලෙස පමණයි.

/tmp -
මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමේදී තාවකාලිකව දත්ත ලියන්නේ මෙතැනයි. system එක reboot වීමෙන් පසු මෙහි දත්ත තබාගන්නේ නෑ.

/usr -
file system එකේ දෙවන විශාලතම කොටස වන read only දත්ත මෙහි ඇතුලත්. share කල යුතු දත්ත පමණක් මෙහි ඇතුලත් වන අතර specific ඒවා ඇතුලත් වන්නේ නෑ. /usr/src යන තැන kernel එකේ source code එක අඩංගුයි.

/var -
මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමේදී නිතර වෙනස් වන log files,spool files වැනි දත්ත(variable files) මෙහි අඩංගුයි.

හරි FHS ගැන ඔය ඇති. ඔය ටික දන්නවන් ලිනක්ස් වල ඕන අස්සක මුල්ලක රිංගුවට කමක් නෑ. දැන් ටිකක් කම්මැලියි වගේද දන්නෙ නෑ මේක. ඕනම දෙයක් එහෙම තමයි පහු පහු වෙනකොට. ඒත් ඇත්තටම ආසාවක් තියනවනම් එහෙම වෙන්නෙ නෑ. අනික නිකම්ම ලේසියෙන්ම ගන්න දේවල් වල කිසි ගතියකුත් නෑනේ නේද? biggrin

Sunday, February 14, 2010

ජෙප්පන්-විශ්වවිද්‍යාල-හපන් කං යයි සිතන ගොං කං

මම කිසිදවසක මේ බ්ලොග් එකේ මේ වගේ ලිපියක් ලියන්න හිතාගෙන හිටියේ නෑ. ඒත් අද මෙතනට මාව පොළඹවල තියනවා. ඒ පේරාදෙනිය විශ්ව විද්‍යාලේ අන්තරේ කට්ටියක්(පිරිමි වෙන්න බෑ ගෑනු වෙන්න ඕන) හන්තාන චාරිකාවක ගිහිපු අපේ පොඩි batch එකේ නංගිලා මල්ලිලා පිරිසකට පේරාදෙනිය කැම්පස් එකේදි අන්තරේ අය සලකලා තියන විදිහ නිසා. මේ ගොල්ලො තමයි විශ්වවිද්‍යාල වල නම කැත කරන්නේ. කැම්පස් ඇතුලේ ගහගෙන මරාගෙන රැග් කරල කොල්ලො මරල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කිව්වහම මිනිස්සු සැකෙන බලන තැනට ආකල්පයක් හදල තියෙන්නේ මේ වගේ මානසික අසහන කාරයෝ තමයි.

ලංකාවෙ විශ්ව විද්‍යාල ගොඩක් ඒව පළමු වසර කණ්ඩායම් චාරිකාව යන්නෙ හන්තානෙ. හන්තාන අයිති වෙන්නෙ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට නිසා ඒකෙන් අවසර අරගෙන ඒකෙ ශිෂ්‍ය සංගම් වලටත් දන්වලා තමයි මේ ගමන යන්නෙ. සාමාන්‍යයෙන් ගමන පටන් ගන්න උදේ පේරෙ කැම්පස් එකට ගියාම ඒ ශිෂ්‍ය සංගම් නායකයෙක් ආපු සහෝදර ශිෂ්‍ය පිරිසට කතා කරනව. එච්චරයි. ඒත් ඊයෙ අපේ පොඩි බැච් එකේ නංගිලා මල්ලිලා හන්තානෙ යන්න ගියාම. ඔවුනට ඒ අය කතා කරල තියනව. අපේ පොඩි අයට කතා කරන එක ගැන අපේ ගිහිපු සර්ලා දෙන්නා කැමති වෙලා නෑ. මොකද ඒ අය කතා කරන්නේ දේශපාලනේ. අන්තිමට උන්ට කතා කරන්න දීල. පස්සෙ අන්තරේ අය කියල තියනව අපේ අය යන්න නියම කරගත්තු පාරෙ යන්න බැරි බව ඒ වෙනුවට ඔවුන් නියම කරන පාරක යන්න වෙන බවත් කියල තියනවා.යන්න ඕන උනේගෙ කට්ටියක් එක්ක. අපේ පොඩි එවුන් ගමන නවත්තන්නත් හදල පස්සෙ ඔවුන් දීපු 6 දෙනෙක් එක්ක කන්ද නැගල තියනව. බොහොම කෙටි පාරකින් අපේ අයව එක්කගෙන ගිහින් මේ අය උත්සාහ කරල තියෙන්නෙ ඉක්මනටම ආයෙ කට්ටියම කැම්පස් එකටම එන පාරකින් එක්කගෙන එන්න. අපේ අයට ආයෙ කතා කරන්න ඕන කියල කියල තියනව. අපේ පොඩි එවුන් මේක ප්‍රතික්ෂේප කරල. බස් වලින් එන්න පිටත් වෙලා. අපේ බස් 3ක් ගිහන් තියනව. මේකෙන් 2ක් ආපහු ඇවිත් තියෙන්නෙ පේරෙ කැම්පස් එක ඉස්සහර පාරෙන් අනිත් බස් එක වට පාරකින් එන්න පිටත් වෙලා තියනව. ඒ බස් එක මගදි සංවිධානය වෙලා ඉඳපු පිරිසක් නවත්ගෙන ඔව්න්ට පේරෙ විශ්ව විද්‍යාලෙ "වල" කියන තැනට අරගෙන ගිහින් බොහොම කැත විදිහට සලකල තියනවා. කීප දෙනෙක්ට පහර දීලත් තියනව. කෙල්ලොන්ට කුණුහර්ප කියන එක මහ වීර කමක් කියල ජෙප්පො හිතන් ඇති. අපි එහෙම අයට කියන්නෙ පො*** කියල.අනිත් බස් දෙකත් ආපහු ගේන්න කියලයි උන් කියල තියෙන්නෙ. ඒ බස් දෙක පොලිසියට ගිහින්. පස්සෙ පොලිසිට මැදිහත් වෙලා පැය ගණනකට පස්සෙ තමයි බස් එක නිදහස් කරල තියෙන්නෙ.

මෙතන උන්ට අවුල වෙලා තියෙන්නෙ අපේ පොඩි එවුනට අන්තරේ තෙලක් ගහන්න බැරි වෙච්ච එකද කොහෙද. UCSC එකේ අපි කවදාවත් කැම්පස් එකේ දේශපාලනේ කරලත් නෑ. කරන්නෙත් නෑ. අපේ අයියල අපිට කිව්වෙත් අපි අපේ පොඩි එවුනට කිව්වෙත් යමක් කරනවනම් ඒක එක්කෝ UCSC එක වෙනුවෙන් නැත්තම් රට වෙනුවෙන් කරපන් කියල. අපේ ශිෂ්‍ය සංගම් නායකයො මාසෙට ගානක් හම්බෙනවට නැත්තම් මෝටර් බයිසිකලේකට ශිෂ්‍යයො පාව දෙන්නෙ නෑ. රට ගැන බඩ බැඳගෙන කෑගහන ජෙප්පන්ගේ නිරුවත මේකයි. මේවගෙන් වෙන්නෙ විශ්වවිද්‍යාල වල නම කැත වෙන එක විතරයි. තමන්ගෙ මතයට යට නොවෙන අය බලෙන් යට කරන්නයි උන් හදන්නෙ. අපිට දේශපාලන හයිය නෑ ඒත් ජාති ආගම් කුල මල බේද නැති සහෝදර කමේ හයිය UCSC එකේ අපිට තියනවා. ඒ එකමුතුකම අපිට හැමදාම විශ්වාසයි. ඒ නිසා ජෙප්පනි ප්‍රවේසමෙන්!!!.....

Saturday, February 13, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් ස්ථාපනයේදී වැදගත් වන කරුණු

බොහොම කාලෙකින් බ්ලොග් එකක් ලියන්න වෙලාව ලැබුනෙ. යන්තම් විභාගෙ ඊයෙන් ඉවරයි. දැන් ඉතින් නිදහස්. ප්‍රශ්න පත්තර ටිකට නම් කොහොම කොහොම හරි උත්තර ලියා ගත්ත. මොනව වෙයිද දන්නෙ නෑ. මේ සමාසිකයෙන් මම හරියට කලේ එක විශයයි ඒ "Operating Systems" කියන එක. මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය අභයන්තරිකව විමසීම තමයි මේ විශයෙන් කලේ. එකක් වත් වරද්දන්නෙ නැතිව lectures ගියේ මේකට විතරයි. මේ විශය උගන්නපු චමත් සර්ගේ ඉගැන්වීමේ විලාශයත් ලමයි ඒ විශයට ආස වෙන්න හේතුවක්. තව චමත් සර්නුත් ලිනකස් ලෝලියෙක්. ප්‍රායෝගික ඔක්කොම කරන්න උනේ ලිනක්ස් වල. ඒ නිසා අපේ ජනෙල් තානාපතිලත්(කැපුවත් වින්ඩෝස් අය) අකමැත්තෙන් virtual box එකේ හරි ලිනක්ස් දාගත්ත mrgreen. සර් එක පාරක් කිව්ව "More than 90% of worlds most fastest super computers run Linux, then why not your machine" කියල. ඒකයි ලිනක්ස් වල බලය. හරි දැන් මාතෘකාවට එන්නම්. මම කිලින් ලිනක්ස් ගැන පූර්ව විස්තරයක් ලිපි දෙකකින් ලිව්ව. ලිනක්ස් ඉගන ගන්න කලින් පරිගනකයේ ලිනක්ස් ස්ථාපනය කරගෙන ඉන්න එපැයි. මම කලින් උබන්ටු ස්ථාපනය කරගන්න හැටි ලිපියක් ලිව්වත් තාක්ෂණික විස්තර ඇතුලත් කලේ නෑ ඒකට. මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන එක අමාරු දෙයක් නෙමෙයි. Facebook account එකක් හදනව තරම් ලේසියි biggrin. වැදගත් දේ කරන්නෙ මොකද්ද කියල දැනගෙන ඒ දේවල් කරන එක. මේ සටහනේ මම පියවරෙන් පියවර විස්තර කරන්නෙ නෑ. මම කලින් සවිස්තර සටහනක් මේ ගැන ලිව්වා. ඒ නිසා අවශ්‍ය අය ඒ සටහනත් මේකත් එක්කම බලන්න. මෙන්න ඒකට ලනුව.

මුලින්ම කරන්න ඕන මොකද්ද?
තමන් ස්ථාපනය කරගන්න යන ලිනක්ස් OS එක මොකක් උනත් මුලින්ම අපි බලන්න ඕනෙ අපේ hard disk එකේ කොතනටද අපි මේ OS එක ස්ථාපනය කරගන්නෙ කියල. මෙතනදි වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියනව.
  1. අළුත්ම නැත්නම් සම්පූර්ණයෙන් format කල hard disk එකකට OS එක ස්ථාපනය කිරීම.
  2. වෙනත් OS එකක් දැනටමත් ස්ථාපනය කරල තියන Hard disk එකකට OS එක ස්ථාපනය කිරීම.
මෙතනදි දැනගන්න ඕන දේවල් ගැන ටිකක් බලමු.

අළුත්ම නැත්නම් සම්පූර්ණයෙන් format කල hard disk එකකට OS එක ස්ථාපනය කිරීම.

පරිගනකයේ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමේදී මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය ඉඩ ප්‍රමාණයට partition එකක් හදල ඒකෙ OS එකත් තමන්ට අවශ්‍ය අනෙක් දත්ත, චිත්‍රපට සිංදු වගේ වෙන partition එකකට හෝ කීපයකට දාගන්න එක ඇඟට ගුණයි. මොකද OS එකේ මොකක් හරි ප්‍රශ්නයක් ගිහිල්ල OS එක ආයෙ ස්ථාපනය කරන්න උනොත් ඒ partition එකේ තියන අපේ අනිත් දත්තත් නැති වෙලා යන නිසා. අනිත් දේ මෙහෙයුම් පද්ධති කීපයක් ස්ථාපනය කර ගන්නව නම් ඒ ඒ OS එකට වෙන වෙනම partition තිබීම අවශ්‍යයි. මේ නිසා අළුත් hard disk එකක්කට OS එක ස්ථාපනය කිරීමෙදි මුලින්ම ඒ දෙවල් ගැන හිතල partition හදල තියන එක වැදගත්.

මෙතනදි තව සැලකිය යුතු දෙයක් තමයි අපි ලිනක්ස් OS සහ වින්ඩෝස් කියන OS දෙකම ස්ථාපනය කරන්න යනව නම් අපි මුලින් වින්ඩෝස් ස්ථාපනය කරල ඉන්න ඕන. (මගේ පරණ පෝස්ට් එකක් තිබුනා මේ ගැන වෙලාව තියනව නම් කියවල එන්න. මෙන්න ලනුව)
ඇයි ඒ?
පරිගනකයේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න hard disk එකේ මෙහෙයුම පද්ධතිය තියන තැන හොයල දෙන්නෙ boot loader කියන කුඩා වැඩසටහනින්. සාමාන්‍යයෙන් boot loader එකෙන් කරන්නෙ පරිගනකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සොයල දෙන එක. වින්ඩෝස් වල boot loader එක හඳුනගන්නෙ වින්ඩෝස් වර්ගයේ මෙහෙයුම් පද්ධති විතරයි(මේ ලෝකෙ තියෙන්න පුළුවන් වින්ඩෝස් විතරයි කියල ඒ අය හිතන නිසා වෙන්න ඇති) මේ නිසා ලිනක්ස් ස්ථාපනය කරපු පරිගනකයක දෙවන වතාවට වින්ඩෝස් ස්ථාපනයක කලොත් වින්ඩෝස් වලින් පරිගනකයේ ලිනක්ස් ස්ථාපනය හඳුනා නොගෙන boot loader එක ලියනව. මේ නිසා ඉන් පස්සෙ කලින් ස්ථාපනය කර තිබුන ලිනක්ස් ස්ථාපනය boot කරන්න පුළුවන් වෙන්නේ නෑ. මෙහෙම වුන වෙලාවක කරන්න පුළුවන් දේ තමයි live CD එකකින්(Live Pen එකකින් උනත් කමක් නෑ biggrin) boot කරල terminal එක පාවිච්චි කරල grub එක ආය install කරන එක.(9.04 වලදි මෙහෙම, 9.10 වලදි මෙහෙම)

ඒත් ලිනක්ස් වලදි එහෙම අවුලක් නෑ. ලිනක්ස් වල බොහෝ වේලාවට පාවිච්චි කරන්නෙ Grub කියන boot loader එක. Grub install වෙනකොට පරිගනකයේ ස්ථාපනය කරල තියන අනෙක් මෙහෙයුම් පද්ධතිත් හොයල ආරම්භයේදී අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය තෝරගෙන boot කරන්න අවස්ථාව ලබා දෙනව.අපි හිතමු grub වැඩසටහනේ දෝශයක් නිසා මොකක් හරි මෙහෙයුම් පද්ධතියක් grub menu එකට ඇතුලත් කරගත්තෙ නෑ කියල. අපිට manually අදාල විස්තර grub configuration file එකට ඇතුලත් කරගන්න පුළුවන්. Linux වල විවෘත භාවයේ වාසිය ඒකයි. ඒ නිසා වින්ඩෝස් ලිනක්ස් දෙකම ස්ථාපනය කරන්න යනව නම් මුලින් වින්ඩෝස් ස්ථාපනය කරල පස්සෙ ලිනක්ස් ස්ථාපනය කරන එක පහසුයි.

වෙනත් OS එකක් දැනටමත් ස්ථාපනය කරල තියන Hard disk එකකට OS එක ස්ථාපනය කිරීම.

මෙතනදි ප්‍රශ්නය තමයි අපි අළුත් OS එක ස්ථාපනය කරන්න hard disk එකෙන් ඉඩක් ලබා ගැනීම. සාමාන්‍යයෙන් අපි hard disk එක පිරෙන්නම partition හදලනෙ තියෙන්නෙ. ඒ නිසා අපිට තියන partition එකක් මකල එතැන ලිනක්ස් partition එක හදන්න වෙනවා. සාමාන්‍යයෙන් ලිනක්ස් වලට 8GB වගේ ඉඩක් තිබුනාම ඇති. අවම ගාන 4GB උනත් මෘදුකාංග ස්ථාපනයත් ගැන හිතල 8ක් තියන එක හොඳයි. හොඳයි අපි හිතමු අපි ලඟ තියෙන්නෙ 40GB වගේ පතරංග partition එකක් කියල දැන් මොකද කරන්නෙ. කරන්න දෙයක් නෑ. අපිට ඕන වෙන්නෙ 8GB උනාට ඒ partition එක හදන්න මුලින් අර ලොකු partition එකම මකන්න වෙනව පස්සෙ ආයෙ ඉතුරු වෙන කොටස පස්සෙ අපිට අවශ්‍ය file system එකක් දාල පාවිච්චි කරන්න පුළුවන්. මේ නිසා මුලින් අදාල partition එකේ දත්ත අයින් කරගන්න ඕන(එතකොට ඒ partition එක හොයාගන්නත් ලේසියි). ඉන් පස්සෙ ඒ partition එකේ size එකත් මතක තියාගන්න. partition එක කීවෙනි එකද කියල මතක තියාගත්තත් අවුලක් නෑ.

හරි දැන් ආයෙත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය දිහාවට හැරෙමු. මම මේ සටහන ලිනක්ස් වලට පොදුවේ ලියන්න උත්සාහ කරනව ඒත් උදාහරණ දෙන්න වෙන්නෙ Ubuntu ආශ්‍රයෙන්. Installation Process එකේ මුලින් තියන දේවල් කියවල තේරුම් ගන්න පුළුවන් සරල දේවල්. රට මොකද්ද වේලා කලාපය මොකද්ද කියන ඒව වගේ. සරල පියවරවල් මම මේ සටහනේ මග ඇරල ගියාට අවශ්‍ය අයට මගේ මේ පරණ සටහනෙන් සවිස්තරව ඒ පියවරවල් බලාගන්න පුළුවන්. Linux ස්ථාපනයෙදි එන වැදගත් තැනත් තමයි prepare partitions කියන තැන.

මෙතනදි තමයි අපි Linux ස්ථාපනය කල යුතු partition මොනවද කියල දෙන්නේ. අපි මෙතනදි partition දෙකක් අවම වශයෙන් හදල දෙන්න වෙනවා. ඒව තමයි
  • swap partition එක
  • root partition එක
මේ partition වර්ග මොනවද කියල දැනගන්න එකත් වටිනව.

Swap partition

මොකක් හරි වැඩසහනක් වැඩ කරනකොට ඒ කියන්නෙ process එකක් execute වෙනකොට ඒ program එක තියෙන්නෙ පරිගනකයේ RAM එකේ. ඒත් සම්පූර්ණ වැඩසටහනම RAM එකට එකවර ගැනීම සිද්ධ වෙන්නෙ නෑ. මොකද ඒක Memory wastage එකක් වෙන නිසා. මේ නිසා වෙන්නෙ paging කියන උපක්‍රමය හරහා ඒ අවස්ථාවට අවශ්‍ය code දේවල් විතරක් RAM එකට ගන්න එක.(paging ගැන මෙතන වැඩිපුර කතා කරන එක අමාරුයි. දැනුම පිපාසාව ඇත්තෝ google ගෙන් අංජනමක් බලත්වා...) ඉතින් අපේ වැඩකරන වැඩසහන් වලට අවශ්‍ය ඉඩ ලබා ගන්න kernel එක කරන්නෙ අඩුවෙන් පාවිච්චි වෙන pages swap area එකට යවලා ඒ ලැබෙන ඉඩ අර අවශ්‍ය වැඩසහනට දෙන එක. මෙන්න මේ swap area එක කියන්නෙ පරිගනකයේ hard disk එකෙන්ම කොටසක්. මේකට virtual memory කියලත් කියනව. මේ විදිහට swap එක සහ paging තාක්ෂණය භාවිතා කරල kernel එකට පුළුවන් පරිගනකය සතු සැබෑ physical memory එකට වඩා වැඩි ප්‍රමාණයක් තියන බවට පෙන්නන්න සහ ඒ පෙන්නන මතකය වැඩසහන් වලට ලබා දෙන්නත් kernel එකට පුළුවනි.

root partition

root එක (/) කියන්නෙ Linux වල file hierarchy එකේ උඩින්ම ඉන්න කෙනා. Linux වල ගොනු සැකැස්ම එන්නෙ ගහක් විහිදට root එකෙන් පටන් ගෙන පහලට Linux තුල ඇති සෑම ගොනුවත්ම මේ ගහට අත්තක් විහිදට එකතු වෙනවා.
තවත් partition එකක් උනත් එකතු වෙන්නෙ මේක ඇතුලම තමයි. network එකේ තවත් පරිගනකයක hard disk එකක් උනත් මේක ඇතුලට mount කරන්න පුළුවන්. දැනටමත් මේ සටහන දිග වැඩි නිසා Linux file hierarchy එක ගැන වෙනම ලිපියකින් කතා කරමු.

ආයේ ස්ථාපනය කිරීම ගැන කතා කලොත් swap එක RAM එක වගේ දෙගුණයක් තියන්න කියල තමයි කියන්නෙ. මම කලින් කියපු 8GB ඕන වෙන්නෙ root එකට. අපට ඕන නම් home එක වෙනම partition එකක් විදිහට හදන්නත් පුළුවන්. එතනදි වාසිය වෙන්නෙ home එක තමයි පරිගනකය වැඩ කරනකොට නිතරම write වෙන්නෙ root එක නිතරම write වෙන්නෙ නෑ. මේ නිසා වෙනම partition එකක තිබීමෙන් home එකට write වෙන වේගය වැඩි වෙනවා. තවත් වාසියක් තමයි වෙන වෙනම partition වලට විවිධ file system පාවිච්චි කරන්න පුළුවනි. උදාහරණයක් විදිහට root එකට ext 3 ත් home එකට ext 4 ඕන නම් පාවිච්චි කරන්න පුළුවන්. තව වාසියක් තමයි හදිසියේ වත් root එක corrupt උනත් home එකේ තියන දත්ත ආරක්ෂා වෙනවා.

මේ සඳහන් කල දේවල් තමයි Linux ස්ථාපනයේදි අවබෝධයෙන් සිටිය යුතු දේවල්. මේ සටහන ටිකක් දිග වැඩි උන නිසා මෙතනින් නවත්වනවා. මට මගහැරුණු දෙයක් වෙතොත් මකත් කරන්නත් අපහැදිලි දෙයක් වෙතොත් එකත් සඳහන් කරල යන්න අමතක කරන්න එපා.