Showing posts with label කැම්පස් ආතල්. Show all posts
Showing posts with label කැම්පස් ආතල්. Show all posts

Friday, February 18, 2011

සරසවියේ නොමියෙන මතකය...


"2008 සැප්තැම්බර් 15 දින මුලින්ම කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නම් කෙම් බිමට පා තබා ඉන් දෑ අවුරුද්දකුත් සා මසකට පසු ඒ සොඳුරු ඉමෙන් සමුගෙන වෙන්වී යන 2007/2008 කණ්ඩායමේ මගේ දයාබර සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ සටහන තබමි"

(ඉහත නිසඳැස බවනෙ කවි පුවරුවෙන් උපුටා ගත්තක් බව සලකන්න)

දෛවයේ නියමය අනුව නුඹත් මාත් අපි සියල්ල ජීවිතයේ එක් මං සන්ධියක එකම තැනකට ආවෙමු. අපි සියල්ලන්ගේ පිනට ඒ තැන කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නැතිනම් UCSC ය නම් පින් බිම විය. එක කුස නූපන්නද අපි සහෝදරියන් සහෝදරයින් වීමු. ලබැඳියවුන් වීමු. ලංකාව පුරා සිට පැමිණ කොළඹ ගෙන්දගම් පොළවේ පය ගසා පවුලේ අය නෑදෑයින් කිසිවෙක් නැතිව ජීවත් වෙද්දී අපි එකිනෙකාගේ දුක සැප බෙදාගන්නට පුරුදු වුනෙමු. මෙතෙක් කල් අප සැම එක්ව කල කී දෑ බොහෝය මේ එයින් බිඳක් යලි මතකයට ගෙනෙන්නට දරන වෑයමයි.

එක පුටුවේ තුන් හතර දෙනා වාඩිවී පලු යනකම් බැනුම් ඇසූ කාලය අපිට තාමත් මතකය. චිත්තීගේ බලු කතාව, ලකයා "ටොමැක් එකේ කෑම රසායි" යනුවෙන් කෑගැසූ හැටි, සාදුගේ කාලීන බණ, හිරේගේ සමිතිය, රම්බෝගේ මගුල, එකී මෙකී නොකී තව බොහෝ දේ අපි අදටමත් සිනහ මුවින් මතක් කරන්නෙමු. අපේ activity day එක. ඒ අපේ කුළුඳුල් function එක. චිත්තීගේ පිළිගැනීමේ කතාව(ඒ කතාවෙන් උපුටා ගෙන ලියපු මේ කොටස ගත්තේ අපේ හූනා(කළණ)ගේ මූණු පොතෙන්)
"අයියලා අපිට බනිද්දී...
අපි හැදිලා නෑ කියල කියද්දි...
අපි සිටියා එකා වගේ එකටරැඳී...
...ඒ ගැන කොච්චර කිව්වත් මදී...
ඒ කාලෙ ගත්ත ආතල් මතක් වෙද්දී..
...පහුගිය අවුරුදු දෙකහමාර දිහා හැරිල බලද්දී...
තව ටික දවසකින් අපිට යන්න වෙනව කියල හිතෙද්දී...
කොච්චර වුනත් හිතට හරි මදී...
ඒ කාලෙ ගැන නම් කොච්චර කිව්වත් මදී..."
රම්බෝගෙ නාට්‍ය, කුමාර සන්නිය, රුවිතෙට යාම වැනි අංග බොහොමයක් නිතැතින්ම නරඹන්නන් සිනහ ගැන්වූවා. කාගෙත් අව්‍යාජ උත්සාහයක උපරිම ප්‍රතිපලය උනු moreආතල්இலவசம் අදටත් අපේ මතකයන් තුල සිටිමින් අපේ මුවට සිනහවක් එකතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම freshes meet, faculty meet දෙකේදිම දාස් ගණන් ඉන්න අනික් faculty සියල්ල පරදා පළවෙනි තැන ගන්න UCSC අපේ සුළු පිරිසට හැකි උනේ UCSC පවුලේ ශක්තිය පුද්ගලයන් ගණන ඉක්මවා ගිහිපු අපේ කම කියන හැඟීම නිසා වෙන්න ඇති.

සපත්තු දාල කමිසෙ යට කර එතෙක් කල් ආ නවක අපිට සාමාන්‍ය කැම්පස් සංස්කෘතියට එකතු වෙන්න ලැබුනෙ බකට් එකෙන් පස්සෙ. බකට් කොන්සට් එකෙන් පස්සෙ පිට්ටනියෙ වාඩිවෙලා අයිස්ක්‍රීම් කාලා නොහිතාපු විදිහට වතුර බෑග් ප්‍රහාරයකට ලක්වෙච්ච විදිහ. ඉන් පස්සෙ ඉතින් අයියලා එකා එකා උස්සන් ඇවිත් නාවලා යවන්නත් අමතක කලේ නෑ. පැය තුනක් විතර වතුරත් එක්ක දඟලලා වතුර බේරෙන ඇඳුම් පිටින් බස් එකේ ගිය හැටිත් අදටත් මතකයි.

ශ්‍රමදානය අපේ UCSC ය වෙනුවෙන් අපි කරපු පළවෙනි දේ. වෙනදට වැස්ස දවසට අඩිය තියන්න බැරි බවනෙ දකුණු පැත්තෙ අපි හදපු අළුත් පාර, ඇන උයනට එකතු කරපු අළුත් පච බංකු, බවන ඉස්සරහ ගල් ඇතුරුම 2007/2008 කණ්ඩායමේ අපි ගැන හැමදාම සාක්ෂි කියාවි.

අපිට අයියලා දීපු sports day එක තවත් සුන්දර මතකයක්. පැය ගණන් බොංගො ගහමින් සින්දු කියපු ඒ වගේ නිදහස කාලයක් ආයෙ එන්නෙ නෑ. UOC cricket team එකේ වතුර අදින අපේ ලකයට හිතේ හැටියට සෙල්ලම් කරන්න ලැබුනෙ එදාය. බැට් එකෙන් ගහල ඒ මදි වෙලා බැට් එකේ මිටෙනුත් ගහල අන්තිමට සෙරෙප්පුවෙනුත් පන්දුවට පහරදුන් අයුරු මතකය. පිටි පිඟානෙන් කාසිය හොයාගන්න ගිහිපු අයට වෙච්ච දේ කාටත් මතක ඇතිවාට සැක නැත. බම්බගේ මූණ වෙස් මූණක් වෙලා තිබුනු බව නම් මගේ මතකයේ පැහැදිලිව ඇත.


2008 දෙසැම්බර් 20 ඒ අපිව UCSC පවුලට නිල වශයෙන් පොඩි එවුන් නැත්තම් 1st years ලා විදියට එකතු කරගනිමින් අයියලා අක්කලා අපිට දීපු Welcome එක. බ්‍රයන් අයියා Hotel California සින්දුව කාපු හැටිත්, හර්ෂ අනුරාධ අයියා ලනුවකින් බහින්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් අපි තාමත් මතක් කරන්නෙ හිනා වෙවී. එදා සම්මාන දිනාගත්තු අපේ අය අතර කන්නා(ලහිරු) - දෙනගම සම්මානය වගේම තව ගොඩක් අය සම්මාන දිනා ගත්තා. Welcome එකේදි අපිට දීපු සිහිවටනයේ මේ අකුරු පෙළ සටහන් කර තිබුනා "අපව දෙටු කල අපේ කණිටුවන් නියත විවරණ ලද වගයි". ස්තූතියි අයියේ අක්කේ...

පිරිත. හැම අවුරුද්දකම UCSC යේ නිර්මාතෘ දිවංගත මහාචාර්ය වී.කේ. සමරනායක ගුරුතුමා සිහිකරලා පිරිත් පිංකමක් පැවැත්වෙනවා. මේකෙ බර දන්නේ පළමු වසර අය. කැටයම් පිරිච්ච තොරණක්, වියන සහ දෙපස කැටයම් දහස් ගණනකින් අලංකාර කරපු පිවිසුම් මාර්ගයක්, ගල් කැටයම් පවුරක අනුරුවක්, කොරවක් ගල් සහ සඳකඩ පහන වගේම සියුම් කැටයමින් පිරුණු නෙළුම් මලක හැඩය ගත් පිරිත් මණ්ඩපය මේ සියල්ල අලංකාරව නිම කරන්න අපේ කවුරුත් එක වගේ මහන්සි වුනා.
සති තුනකින් අපි ඉවර කරපු ඒ කාර්ය ඒ වගේ දෙතුන් ගුණයක ශ්‍රමය තිබුනත් වෙන කාටවත් කරන්න බෑ ඒ අපි ලඟ වෙන කවුරුවත් ලඟ නැති දෙයක් තිබුන නිසා. අපේ වැඩක් අපේ අය වෙනුවෙන් කැපවෙලා කරන්න කවුරුත් පහුබැස්සේ නෑ. නිදි නැති රෑ ගෙවපුවා ඕනෑතරම්. UCSC ය වෙනුවෙන් නුඹලා කරපු කැපවීම විශිෂ්ඨයි මගේ සහෝදර සහෝදරියනේ. ඒ කැපවීම නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිතක් කිව්වොත් පිරිත කව්රුත් මතක් කලේ UCSC යේ පිරිත. මාර්තු 28 වෙනිදා පැවැත්වුනු අපේ පිරිස සිරස ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පවා විකාශය කලා.



2009 සැප්තැම්බර් වෙනකොට අපි දෙවස වසරට පා තියනවත් එක්කම අපිට නංගිල මල්ලිලා කට්ටියකුත් UCSCයට ගොඩවුනා. සරසවිය නම් පොතේ අ යනු ආ යනු කියා දී අපි නුඹට පාර පෙන්වූ වග අපට විශ්වාසයි.


අපේ පොඩි එවුන් වෙනුවෙන් අපි සංවිධානය කරපු sport day එක. අපේ හැම function එකකටම වැටුනු ආශීර්වාද වැස්ස එදත් ඇද වැටෙන්න අමතක කරේ නෑ. කලින්දා හවස ඉඳන්ම එක සීරුවට වැස්ස වැටුනත්. stage ගහන්න වැටවල් බඳින්න තව දහසකුත් එකක් දේවල් වලට එක්කෝ නිකම්ම තෙමි තෙමි නැත්තම් ෂොපින් බෑගයක් ඔළුවෙ බැඳගෙන අපේ උන් එහෙ මෙහෙ දිව්වා. අන්තිමට රෑ එළි වෙනකම්ම වැහැපු වැස්ස නතර උනේ පස්සෙන්දා උදේ 5ට විතර. යන්තම් ඇති අපේ අයගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. අපේ ප. අයියාගේ ලස්සන කඳවුරු ගිනිමැලෙත් එක්ක පළමු වතාවට sport day එකේ මල්වෙඩි ඉහලට නැගුනා.

70 දශකෙන් පටන් ගෙන වර්තමානය වෙනකම් ගලාගෙන ආපු අපූරු Welcome එක කාටත් මතක ඇති. එල්ලෙගෙයි බට්ටිගෙයි ජීවන මේ ගමන සංසාරෙන් පටන් අරන්, කිරාගෙ ගඟ අද්දර දිගේ ඇවිත් අත්තගේ මල් පිට මල් වැටෙන දිගු මාවතට ගොඩ වෙලා බොහොම ලස්සන ගීත ගමනක් අපි ගෙනාවා. ගෙම්බා, මංගො, එල්ලේ, කොයිල්, කුණ්ඩු,සූටියා, පොත්තා, සීනා, කංකුන්(මම නම් ඕකෙ හිටියෙ නෑbiggrin) පරණ විකට ගීත පෙළකට කරපු නර්තනය කවුරුත් මතක් කලාලු. හුරේල ජිකාලගේ නාට්‍යත් සිරා කියල තමයි කට්ටිය කිව්වේ. වැදෙන්න ඕන තැන් වලටත් වැදුනලුනේ. අපිට බුදු සරණයි නාට්‍යත් නැගල ගියා. තම ගොඩක් දේවල් තිබුනා. වේදිකාවේ කාලය අතීතයෙන් වර්තමානයට වෙනස් වෙනකොට පසුතලයත් වෙනස් උනා කියන්නෙ. 2007/2008 අපේ සෙට් එකේ වැඩ තමයි.

සාමාන්‍යයෙන් Welcome එකෙන් පස්සේ campus එකේ බැච් එකක කරන දේවල් ඉවරයි. ඉන් පස්සේ තියෙන්නේ බුක්ති විඳින්නයි. කව්රුත් බොහොම අමාරුයි වැඩ වැඩියි කියන තුන් වෙන් වසරේ UCSC යේ කවදාවත් නෙකෙරිච්ච ඒත් අපි ගොඩක් කාලෙක ඉඳන් කරන්න ඕන කියල හිතන් හිටපු දෙයක් කරන්න අපි බැචාලා අත ගැහුවා. අපි සංවිධානය කලත් UCSC පවුලේ හැමෝගෙම සහයෝගයෙන් සැබෑ වුනු ඒ හීනෙ තමයි ifo++. ගොඩක් අය කරන්න බෑ කියපු දේ අපි කලා බොහොම ලස්සනට කලා. අපි කකුලෙ එල්ලිලා පහලට ඇද්ද උප කුලපතිතුමියටත් අපේ ශක්තිය පෙන්නලා අපි ඒ කාර්ය කලා. මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රදර්ශන අංග විශාල ගණනක්, පරිගණක කෞතුකාගාරයක්, පාසල් සිසුන්ට ගුරුවරුන්ට දේශන, මව්පුවරුවකට ආකෘතියට සැකසූ අධ්‍යාපන කලාපය සහ තවත් බොහෝ දේ ifo++ තුල තිබුනා. පාසල් සිසුන් 3000කට ආසන්න ගණනක් සාමාන්‍ය ජනයා 25000ක් පමණ ifo++ නැරඹුවා. UCSC මවට අපෙන් දුන් අවසන් ත්‍යාගය තමයි ඒ.

2011 පෙබරවාරි 11 එදා තමයි 2007/2008 අපේ අය ලියපු අන්තිම විභාග ප්‍රශ්න පත්‍රය පැවැතුවුනේ. එනම් UCSC ය තුල අපේ අය එකතු වෙන අන්තිම දවස වුනේ එදා. අවුරුදු දෙකහමාරකදි අපි ගොඩක් දුර ආවා. UCSC යට එනකොට අපි සමාජෙට පොඩි ළමයි. සොඳුරු සරසවියෙන් අපි ගොඩක් දේවල් එකතු කර ගත්තා. ජීවිතයට අත්දැකීම් අරගත්තා. විනෝද උනා. පිස්සු නැටුවා. ඒ කාලය ඉතින් ඉවරයි. බවනෙ සිංදු කියපු කාලෙ, පච බංකු වල කයිය ගහපු කාලෙ, කොමන් එකේ කැරම් ගහපු කාලෙ ඒ කාලය දැන් අපේ පිටි පස්සෙන්. ජීවිතේ එක මන්සන්ධියකදි හමුවුනු අපේ එවුන්ට දැන් වෙන් වෙලා යන්න වෙලා. අපි ගියත් අපි කල කී දේ අපේ මතකයන් UCSC ය පුරාම හැමදාමත් ජීවත් වේවි.

"සබඳ, නුඹත් මමත් එක මවගේ දරුවන් වීමු. UCSC ය අපගේ මව විය. ඇගේ ඇකයේ නුඹත් මමත් හිනැහුනු කාලය අහවරය. වෙන්ව ගියත් නුඹත් මමත් ගොඩනගා ගත් ඒ සෙනෙහසේ බැමි නොබිඳෙන බව නම් විස්වාසය. හමුවෙමු යම් දිනක ඒ සොඳුරු මතකය යලි අවදි කරන්නට. ආයුබෝවන් UCSC මවුනි......"

Monday, November 30, 2009

තන්තිරිමලයට දැනුම රැගෙන ගියෙමු....

බොහොම කාලෙකින් තමයි බ්ලොග් එකක් ලියන්න පුළුවන් උනේ. පහුගිය දවසේ ලංකාවෙ උතුරු භාගයට ගියා නෙව මේ ඒක ගැනයි කියන්න යන්නෙ. අපි UCSC එකේ Exploration Club කියල club එකක් පිහිටෙව්වනේ. මේකෙන් මූලිකවම කරන්නෙ ලංකාවෙ දුෂ්කර ප්‍රදේශ වල ගුරුවරු හිඟ පාසල් වලට ගිහිල්ල ඒ දරුවන්ට උගන්වන එක. මේ කටයුත්තට මූලික වෙලා වැඩ කරන්නෙ අපේ ලසිත අයිය නැත්තම් බ්ලොග් අවකාශයේ කට්ටිය අඳුරන්නෙ ආගන්තුකයා කියල. මෙතනදි අපේ අරමුණ අපෙන් රටට වෙන්න ඕන යම් සේවයක් ඉෂ්ඨ කිරීම. අපි අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලැබුවෙත් දැන් තව දුරටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නෙත් රටේ සල්ලි වලින්. ඒ කියන්නෙ දුප්පත් මිනිහෙක් බොන කහට උගුරක් ගානෙත් එකතු වන බදු සල්ලි වලින් තමයි අපි මේ ඉගන ගන්නෙ. මේ නිසා අපි ඇත්තටම මේ රටට , මිනිසුන්ට ණයයි. ඒ ණයෙන් ටිකක් හරි ගෙවන්න තමයි අපි මේ විදිහට දුෂ්කර ප්‍රදේශ වල දරුවන්ට අධ්‍යාපනය අතින් පුළුවන් උදව්වක් කරන්න උත්සාහ කරන්නෙ.

ඉතින් මේ විදිහට කරන වැඩමුළුවකට තන්තිරිමලේ යන්න ලෑස්ති උනේ පසුගිය සිකුරාදා දවසක(13). අපේ යන්න ලෑස්ත් වෙච්ච කොටසකටයි අපේ අයියල කොටසකටයි අපේ පොඩි එවුන්ටයි සිකුරාද Assignment වගයක් තිබුනු නිසා උදේ යන්න එකතු උනේ අට දෙනයි. මමයි බම්බා(තුෂාර), අත්තා(එරංග), ප්‍රසාද්(ලුකා) අපේ බැච් එකෙන් හිටියෙ ලසිත අයියත් තව අයියල තුන් දෙනෙකුත් හිටිය. ගමනට අපි යොදාගත්තෙ දුම්රිය. කලින් දවසෙ කට්ටිය බස් එකේ ගමනට යන වෙලාව කතා කර කර ඉන්කොට බස් ගමනට අකමැති මම කෝච්චියේ යමු කියල යෝජනා කලාbiggrin. ලංකාව දැන් දියුණුයි නේ අපි ටක් ගාල පච බංකුවෙම පහන් අයියගෙ ලැප දිග ඇරල ගියා දුම්රිය දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියට. හොයල බැලින්නන් කෝච්චිය පැය 3 1/2 කින් වගේ අනුරාධපුරේට යනව. ඒ පාර බස් එකේ පැය 6ක් විතර කොටන්න හිතාගෙන හිටපු අය එක පයින් ලෑස්ති උනා කෝච්චියේ යන්න. ඔන්න ඉතින් සිකුරාදා පාන්දරම අත්තයි මායි කොටුව දුම්රිය පොළට නිදිමතේ ආව. ලසිත අයිය කලින් දවසෙ කිව්වෙ උඹල දෙන්න අර කොළඹ කොටුව කියල බෝඩ් එකේ ටු යන්න යටින් ඉඳපන් කියල. ඒ උනාට කළුවරේ ටු යන්න හොයා ගන්න බැරි උනා නෙව. ඉතින් අපි ස්ටේෂන් එකට ගොඩ උනා එතකොට අයිය කෙනෙකුත් ඇවිත් ඉන්නව කකුලක් බිත්තියට ගහගෙන. කොහොම කොහොම හරි ලසිත අයිය එනකොට 5.30 විතර උනා. මේ අස්සෙ නිවේදනය කරනවා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියට සීමිත ටිකට් සංඛ්‍යාවක්ය තියෙන්නෙ සාමානය ටිකට් වලින් ඒකෙ යන්න බෑ කියල. ඉතිං ලසිත අයියා ආපු ගමන් පිටත් කරා ටිකට් පෝලිමට. අනික් ඒ වෙලාවෙයි දන්නෙ මේ අපි යන්න ඉන්න කෝච්චිය තමයි යාල්දේවී කියන්නෙ. දකුණේ හොඳ හිත අරගෙන උතුරට යන දුම්රිය.ලසිත අයිය පෝලිමේ ඉන්න අතරෙ මම ආයෙත් ගිහින් මතක් කලා අයියා intercity express එකට කියල ටිකට් ගන්න ඕන කියල. ටිකකින් බලනකොට අයිය ඉන්නවා හිටපු පෝලිමේ නෙවේ වෙන පෝලිමක. බලනකොට අපි යන කෝච්චියට ටිකට් දෙන්නෙ ඒ කවුන්ටරෙන් නෙවෙයි. ඔහොම පෝලිම් 3ක ගිහිල්ලයි අන්තිමට ටිකට් ටික ගත්තෙ. ටිකට් අරගෙන ඉවර වෙලා අපි දුවල ගියා කෝච්චියට seat නැතිවෙයි කියල. ඒත් නැගල බැලුවහම ඕන තරම් ඉඩ තියනවා. අපි ඉතින් අන්තිම පෙට්ටියේ ආසන දෙකක අතපය දිග ඇරලා වාඩි උනා. සාමාන්‍යයෙන් අපේ රටේ කෝච්චි පරක්කුයි කියලනේ කියන්නෙ. ඒවුනාට දැන් එහෙම නෑ. යාල්දේවිය හරියටම නියමිත වෙලාව වෙන 5.45ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් උනා.
දේවිලා ලැසි ගමනින් යනව කිව්වට මොකද මරදාන පහුවෙලා ටික දුරක් ගියාම යාල් දේවිය ලැසි ගමන පැත්තක තියල අධික වේගයෙන් ධාවනය වෙන්න ගත්තාrazz. නිදිමතේ හිටපු අපි නින්දට වැටුනු අතරේ යාල්දේවිය උතුර බලා ගමන් කලා. මේ කෝච්චිය නවත්තන්නේ නැවතුම් 4යිනේ අනුරාධපුරෙත් එක්ක. ඒ නිසා ගමන සෑහෙන ඉක්මන්. මහව හන්දියෙදි කොළඹ පැත්තට යන යාල් දේවිත් එක්ක මාරුවෙන්න විනාඩි 10ක් විතර නවත්තගෙන හිටපු එක ඇරෙන්න වෙන කිසිම තැනක පරක්කු උනේ නෑ.
අන්තිමට අපි අනුරාධපුරෙන් බහිනකොට වෙලාව 9.30 විතර. නියමිත වෙලාවට වඩා ටිකක් පරක්කු උනාට ඒ වෙලාව ප්‍රශංසනීයයි මොකද බස් එකේ කීයටවත් ඔය වෙලාවට එන්න බෑ. අපි බැස්සට කෝච්චියෙ ගමන මෙතනින් ඉවර නෑ ඒක වවුනියාවෙනුත් එහා තාන්ඩිකුලම වෙනකන් යනවා.

අනුරාධපුරෙන් බහිනකොට සෑහෙන්න බඩගිනියි මොකද කොළඹින එනකොට අපි මුකුත් කාලා තිබුනේ නෑ. ස්ටේෂන් එක ගාවම තිබුනු "සිංහ කඩේ හෝටලෙන්" උදේ කෑම කාලා අඩුවත්(මුලින් බෙලද දෙන ප්‍රමානෙ කාල මදි උනොත් තව ටිකක් බෙදාගෙන කන එකට කැම්පස් එකේ කියන්නෙ අඩුව කනව කියල) කාලයි කට්ටිය කෑම ඉවර කලේ. අපි එලියට බහින්න ලෑස්ති වෙනකොට ලසිත අයියා දාහෙ කොළයක් අතේ තියාගෙන හිටියා බිල ගෙවන්න. අපි එළියට බැස්සාම "අයියෙ අයියෙ" කියල කඩේ ඇතුලෙන් කතා කරන සද්දයක් ඇහුනා. මේක ඇහුනාම අන්තිමට එලියට බැස්ස ලසිත අයිය ආපහු කඩේ ඇතුලට දිව්ව. බැලින්නම් සල්ලි අතේ තියාගෙන හිටියට එයාට බිල ගෙවන්න අමතක වෙලාlol. තව පොඩ්ඩෙන් ආයෙ පාරක් කන්න වෙනවා.smile

ඊළඟට කට්ටියම බෑග් උස්සගෙන බස් නැවතුමට ගියා. අධ්‍යාපන දෙපාර්තුවෙන් අවසර ගැනීමේදී යම් ප්‍රශ්නයක් වෙලා තිබුන නිසා ලසිත් අයියාත් අත්තත් ගියා දහයියාගමට අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට. කොහොමත් හොඳ වැඩක් කරන්න යනකොට සෑහෙන ප්‍රශ්න එනවනේ. ඉතුරු අපි හය දෙනා තන්තිරිමලේ බස් එකේ නැග්ගෙ ඉස්කෝල ඉවර වෙන වෙලාවට කලින් එවට ගිහින් ලමයි දැනුවත් කරන්න ඕන නිසා.දහයට විතර බස් එකට නැග්ගට ඒක පිටත් උනේ 11ට. මේ පාරෙ සීමිතට බස් ගානක් තමයි දුවන්නෙ. අපරාදෙ කියන්න බෑ බස් එක ඉක්මනට ගියා. ඒ අතර දෙතැනකදි වගේ හමුදා මුර පොළ වල බස් එක නතර කරලා සිවිල් ආරක්ෂක නිළධාරියෙක් බස් එකට නැගල පරීක්ෂා කලා. බස් එකේ යන ඒ පලාතෙ අය අතරේ අපි කැපිල පෙනෙන නිසාද කොහොද අපේ හැදුනුම්පත් පරීක්ෂා කලා. අන්තිමට පැය 2ක් විතර බස්එකේ ඉඳල මට ඇතිවෙලා තිබුනෙ යනවා යනවා කෙළවරක් නෑrolleyes. මුලින්ම හමුබුනු ඉස්කෝලෙ තම්බියාව ධර්මපාල විද්‍යාලය. එතන බැස්සෙ හර්ෂණ අයියත් මාත්.

ඉස්කෝලෙ ගේට්ටුව ලඟ බංකරයක්. ඒකෙ හිටපු සිවිල් ආරක්ෂකයෙක් අපේ හැඳුනුම්පත් පරීක්ෂා කලා. අපි ඉස්කෝලෙට ඇතුළු උනාම මුලින්ම දැක්කෙ බට වගයකුත් තව ලී වගයකුත් අරගෙන යමක් කරමින් ඉන්න ලමයි කට්ටියක්. අපිරිසිඳු කලිසමට උඩින් සුදු කමිසයට යට නොකර ඇඳපු කොල්ලෝ රංචුවක් තමයි මේ විදිහට මොකක්දෝ වැඩක් කරමින් හිටියෙ. කාර්යාලයක් පේන්න නැති නිසා අපි ඒ එක ලමයෙක්ගෙන් ඇහුව කොහේද ප්‍රන්සිපල්ගේ කාමරේ තියෙන්නෙ කියල. කැත්තකින් වැඩ කරමින් හිටපු කොල්ල ඒ කැත්තෙන්ම ගොඩනැගිල්ලක් පෙන්නන ගමන් ආන් අර කොනේම කියල කිව්වsad. අපි ඒ පැත්තට යන්න පිටත් වෙන කොටම පාසලේ විදුහල්පතිතුමා "ඔය ගොල්ලො නේද කොළඹ විශ්වවිද්‍යාලයෙන්" කියල කියාගෙන පන්ති කාමරයකින් එළියට ආව. අපිත් එක්ක විස්තර කතා කරල ඔහු අපිට සාමාන්‍ය පෙළ පන්තියට කතා කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්නෙ ලමයි 15යි. ඒකෙන් එදා 10ක් ඇවිත් හිටියා. ඔවුන්ට විද්‍යාව හෝ ගණිතය ගුරුවරයෙක් නෑ. ඒ විශයන් ඔවුන්ට උගන්වන්නෙ වෙනත් විශයකට ඉන්න ගුරුවරයෙක්eek. අපි ඔවුන්ගෙන් අමාරු පාඩම් මොනවද කියල ඇහුහම ගණිත විද්‍යාව විශය මාලා වල තියන පාඩම් වලින් බාගෙකට වඩා කියාගෙන ගියා. ඊට පාසලෙන් එලියට ආපු අපිට ඊළඟ බස් එකට තව පැයක් බලාගෙන ඉන්න උනා. අපි ඒ ගිහිපු බස් එකට ඊළඟට තියන ඉස්කොලෙ බින්නෑව විද්‍යාලයට පණිවිඩය කියන්න ගිහිපු බම්බත්(තුෂාර) ශෂික අයියත් ගොඩ උනා. ඔන්න ඉතිං බස් එක යනව. අපිත් ඉතිං ඉන්නව තන්තිරිමලේට බස් එක එනකම්. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනෙ තන්තිරිමලේ රජමහා විහාරෙ. තන්තිරිමලෙන් බස් එක නැවුත්තුවාම පංසල හොයාගන්න බරුවයැ කියල අපි හිටිය. එක පාරම කොන්ද අහනව මහත්තයල කොහේටද යන්නෙ කියල. අපි කිව්ව පන්සලට කියල. ඒ මිනිහ ඔළුවෙ අත ගහගෙන කියනව "මහත්තෙයො පන්සල දැන් හෝල්ට් 4කට විතර කලින් පහුඋනා" කියල. මල කෙළියයි කිව්වලු. අපි දඩිබිඩි ගාල බස් එකෙන් බැහැ ගත්ත. දැන් මොකද කරන්නෙ ආපහු යන්න තව පැයක් විතර බස් එකක් එනකම් ඉන්න කියලද? මේ පැත්තෙ බස් හෝල්ට් දෙකක් අතර කි.මී බාගෙක විතර දුරක් තියනව. බහින තැන කොන්දට නොකියා හිටී පණ්ඩිත කම මකත් කර කර කකුල් දෙක ගෙවෙන කම් ආවෙ නැතෑ පයින්. කොච්චර දුරද දන්නවද ඇහැටුල්ලො දෙන්නෙක් මැරිල ඉන්න දුර biggrin. මේ පාරෙ වාහනයක් යන්නෙ විනාඩි 20කට විතර පාරක්. ඒ වාහනේකට අහුවෙලා සර්පයක් මැරෙනව කියන්නෙ කොච්චර සර්පයො පාර මාරු වනෙව ඇත්ද? යන අතරෙ අපේ ජංගම දුරකතන දිහා බැලුවා සංඥා තියනවද කියල. මගේ එකට නම් නෑ. මොබිටෙල්ලා මේ හරිය care කරන්නෙ නැද්ද මන්දා. ශශික අයියා කියනවා. "ආ මට නම් සිග්නල් තියනවා. ම්ම්..... සිග්නල් එන්නේ... සෙට්...ටිකුල.ම් කියල තැනකින්".මලා ඒ කියන්නෙ අර යුධ සරණාගතයන්ගෙ කඳවුරු තියන පලාතෙ න්ද? ඒ කියන්නෙ අපි ඉන්නෙ ඉස්සර මුදා නොගත් ප්‍රදේශයකද? කියන්න එපායැ එන්න කලින්. තඩි බෑග් ඉහින් කනින් එල්ලගෙන දාඩිය පෙරාගෙන යන්තම් අපි පන්සලට ආවා.

තුන් වෙනි ඉස්කොලෙ විමලඥාණ විද්‍යාලය තියෙන්නෙ පන්සල ළඟමයි. ඒ ඉස්කොලෙට ගිහිපු සුමුදු අයියයි අපෙ ලුකයා(ප්‍රසාද්) මේ වෙනකොට පන්සලට ඇවිත් ඉන්න ඕන. අපි ඒ දෙන්නට කෝල් එකක් ගන්න හැදුවත් හරිගියේ නෑ. මොකද දුරකථනයට සංඥා නැති නිසා. ලේසියෙන්ම කිව්වොත් ෆෝන් එකට සිග්නල් නැති නිසා. නවතින තැන හොයා ගන්නත් එපායැ. වටපිට බලනකොට හාමුදුරු නමක් ආවාසගෙයි ඉස්සරහ පුටුවක වාඩිවෙලා ඉන්නව. පෙනුමට ලොකු හාමුදුරුවොවෙන්න ඕන. අපි ගිහින් හාමුදුරුවන්ට වැඳලා පැත්තකට උනා. ඊළඟට කතාව මෙන්න මෙහෙම

හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්වවිද්‍යාලයෙන්.
ලොකු හාමුදුරුවො - ඉතිං..
හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපේ දෙන්නෙක් කලින් ආවද මෙහෙ.
ලොකු හාමුදුරුවො - නෑ ආවෙ නෑ
(ඔය ගමන අපේ බම්බා විස්තර කරන්න ගත්තා)
බම්බා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්ව විද්‍යාලයෙන්. අපි වැඩමුළුවක් කරනවා මෙහේ ලමයින්ට. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනේ මේ පන්සලේ. අපේ දෙන්නෙක් දවාලෙ මෙහේ ආව.
ලොකු හාමුදුරුවො - ම්හු.. කව්රුත් ආවෙ නෑ.
(අපි තක්බීර් වෙලා මූණවල් බලා ගත්ත. දැන් මොකද කරන්නෙ මුන් දෙන්න කොහේ ගිහිල්ලද දන්නෙ නෑ. සිග්නල් නැතුව කෝල් එකක් දෙන්නත් බෑ. සංවිධායක ලසිත අයිය තාම අනුරාධපුරේ. අපි කල්පනා කර කර ඉන්නකොට හාමුදුරුවො අහනව)
ලොකු හාමුදුරුවො - ඉතිං ඔය ලමයි කොම්පියුටර් කරන අයද?
බම්බා - ඔව් හාමුදුරුවනේ අපි I.T කරන්නෙ......
ඔහොම විස්තරේ ආයෙ මුල ඉඳලා කියනව. මෙන් එක පාරටම හාමුදුරුවො හක හක ගාල හිනාවෙන්න ගත්ත. ඒ හිනාවෙන අතරෙ කියනව. ආව ආව අන්න කොනේ කාමරේ නිදි කියලlol. එතකොටයි අපිට තේරුනේ හාමුදුරුවො අපිට දීල තියෙන්නෙ බයිටක් කියල.

මේ අතරේ අධ්‍යාපන අමාත්‍යංශෙට අවසර ගන්න ගිය ලසිතට අයියට එහෙන් ලේසියෙන් අවසර දීලා නෑ. ඒගොල්ලො එතකොටත් අනුරාධපුර. අපිට දැන් පට්ට බඩගිනියි. මොනව කියල කන්නද? පලාතක හෝටලයක් නෑ. හොඳ වෙලාවට හාමුදුරවෝ ප්‍රශ්නේ විසඳුවා. මුළු ගමටම හවසට කඩේට ගේන්නේ පාන් රාත්තල් හතරලු. හාමුදුරුවෝ ඒ හතර ගෙන්නලා පොල්සම්බලකුත් එක්ක අපට කන්න දුන්නා.

හවස කොළඹින් පිටත් වෙච්ච අපේ ඉතුරු කට්ටිය රතුකුරුසේ වාහනයකින් පන්සලට එනකොට රෑ 9 විතර ඇති. අපි පස්සෙන්දට උගන්නන්න තියන දේවල් බල බල ඉඳලා වැටිච්ච වැටිච්ච තැන් වලට නිදාගත්තේ පහුවෙනිදා වැඩමුළුව පවන් ගන්න අදහසින්. ඒත් පහුවෙනිදා අපි දැක්කෙ අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. ඒක වෙනම ලිපියකින් කියන්නම් . මොකද ඒක කැම්පස් ආතල් ලේබල් එක අයතට නොවැටිය යුතු නිසා. ආපහු හමුවෙමු කැලේ පිපී කැලේම පරවී යන තන්තිරිමලේ දරුවන් ගැන කියවෙන ලිපියකින්.

Monday, September 7, 2009

මඩොල් දූවට විනෝද චාරිකාවක්.....


අපේ ගාලු චාරිකාවෙ දෙවනි කොටසයි මේ ලියන්න යන්නෙ. දෙවනි දවසෙ අපි හිතාගෙන හිටියෙ මූලිකවම මඩොල් දූවෙ යන්නත් මුහුදෙ නාන්නත්. මොකද අපේ නුවර සගයො දෙන්නට මුහුදෙ නානකම් ඉවසුමක් නෑ. අපි මේ මඩොල් දූවෙ ගිහිපු මේ විස්තරේ අනාගතයෙ මඩොල් දූවට විනෝද චාරිකාවක් එන්න හිතාගෙන ඉන්න අයටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.

දෙවනි දවසෙ උදේම(ඒ කිව්වෙ 8ට විතර :D) අපි පිටත් උනා ගාල්ලෙන්. අපිට ප්‍රවාහන පහසුකම් දෙවනි දවස සඳහා සැපයුවෙ සිංහගිරි ව්‍යාපාර සාදර අනුග්‍රහයෙන් කියල මතක් නොකලොත් ඒක ලොකු අඩුවක්. එක එල්ලෙගෙ town ace වෑන් එක තමයි අපි ගමන යන්න පාවිච්චි කලේ. මම වාහනේට නගින කොට හිටියෙ එල්ලෙයි අත්තයි කිරයි විතරයි. සූටියාව ගන්න අපි උන්ගෙ ගෙදරට ගියා. ආරංචි උන විදිහට මිනිහා තුන් හතර පාරක් නාලා තව පැයක් විතර හැඩ උනාලු. කොහේ යන්නද කියල පස්සෙ කියන්නම්.අපිත් එක්ක ඊළඟට එකතු උනේ පොත්තා(හිරන්ත).ඌ පාරට ඇවිත් ඉඳලා හබරාදුව බස් ස්ටෑන්ඩ් එක ළඟිනුයි වාහනේට නැග්ගේ. ඊළඟට අපි අහංගම බූලීගෙ(රවීන්) ගියේ අහංගම බුලීගෙ ගෙදරට. මිනිහා මාර පොෂ් උනාට මොකද ගෙදරට යන පාර නම් අන්තිමයි. බුලීගෙ අම්මා හදල දීපු පළතුරු යුෂත් රස බලලා අපි මඩොල් දූවට යන්න පිටත් උනා.

අහංගම ඉඳලා කොග්ගලට යන්න ආපස්සට ගාල්ල පැත්තට එන්න ඕන. කොග්ගලට ලඟම ඉන්නෙ පොත්තා නිසා අපි පොත්තගෙන් ඇහුවා බෝට්ටු තොටුපලකට යන්න තැනක්. ඌ කියාපි මම නම් එහෙම තැනක් දන්නෙ නෑ බං. ඔය ඉස්සරහින් හරවපන් කියල. අපි හරවපු තැන තමයි ගාල්ල පැත්තෙ ඉඳල එනකොට කොග්ගල් ඔය හරහා යන පාලම පහු උනාම තියනවා අතහැරල දාපු පාසලක්. එතනින් තියන මඩොල් දූවට කියන බෝඩ් එක ගාවින් තමයි හරවන්න ඕන. අවම මුදලකින් හොඳම චාරිකාවක් යන්න නම් මේ අපි ගිහිපු තැනින්ම මඩොල් දූවෙ යන්න කියල ඉස්සරහට යන්න ඉන්න අයට මතක් කරන්න කැමතියි. එතනින් කෙලින්ම බෝට්ටු තොටුපලට යන්න පුළුවන්. එතන හිටපු කෙනාගෙන් අපි ඇහුවාම ඔහු කිව්වෙ මඩොල් දූවට යන්න රු600ක් සහ දූපත් 5ක චාරිකාවක් යාමට රු2000ක් බව. මීට කලින් කොග්ගල් ඔයේ දූපත් 5ක චාරිකාවක් ගැන අහල නොතිබුනත් අපි ඒක යන්න කල්පනා කලා. අපේ බෝට්ටු පදවන්නා උනේ නිශාන්ත අයියා.
කළු පාට පරණ දුම්රිය පාරට යටින් අපි චාරිකාව ආරම්භ කලා. මුලින්ම අපි ගියේ දුරම තැනට. ඒ කුරුඳු දූවට. කුරුඳු දූව කියන නමින්ම තේරෙනවනේ මේ දූපතේ පුරාම තියෙන්නෙ කුරුඳු. මේකෙ පවුල් හතරක් ජීවත් වෙනව. ඔවුන්ගෙ ආදායම් මාර්ගය වෙන්නෙ කුරුඳු. මේ දූපතේ තියන කුරුඳු ගස් අවුරුදු 100කට වඩා පරණයි කියල තමයි නිශාන්ත අයියා කියන්නෙ. කුරුඳු ගහක කඳ දැක්කහම අපිටත් ඒ කතාව ඇත්ත වෙන්න ඇති කියල හිතුන.
මේවට කවදාවත් පොහොර යොදල නෑ කියනවනේ. කුරුඳු කෝට්ට හැදුනහම කපා ගන්නයි තියෙන්නෙ. අපි ඉතිං මේ දූපතේ ගෙදරකට ගොඩඋනා. ඒ ගෙදර අයිතිකාර මාමා අපිව බොහොම සුහදව පිළිගත්තා. ඉන් පස්සෙ කුරුඳු කෝට්ටකින් පොත්ත ගලව ගන්න හැටිත් අපිට පෙන්නුව.
මෙච්චර ගාල්ලෙ ඉඳලත් කුරුඳු පොතු ගහන හැටි එදා තමයි දැක්කෙ. මුලින්ම කොළ පාට කුරුදු පොත්ත උපකරණයකින් සූරල ඉවත් කරනවා. ඉන් පස්සෙ තව උපකරණයකින් කෝට්ට පිරිමදින්නෙ පොත්ත බුරුල් වෙන්නලු. අන්තිමට පිහියක් වගේ උපකරණයකින් ලස්සනට මුලු පොත්තම ඉරෙන්නෙ එහෙම නැතුව ගලව ගන්නවා. ඒක මඳ අව්වෙ වේලුවාම තමයි අපි කෑම වලට දාන කුරුඳු පොතු ලැබෙන්නෙ. කට්ටිය අහල තියනවද කුරුඳු තේ. අපිට නම් කුරුඳු තේ සංග්‍රහයකුත් බුක්ති විඳින්න ලැබුනා.
පැණි රස නම් නෑ සීනි එහෙම දාන්නෙ නෑනෙ. හැබැයි ගුණයිලු. එතනින් පිටත් උන අපි දූපත වටේ රවුමකුත් ගැහුව. ඒ අතර හමුබුන එල්ලෙන ඇඳක පොඩි ඇලට් එකක් දාන්නත් අමතක කලේ නෑ.

කුරුඳු දූවෙන් නික්මිලා අපි ඊළඟට යන්න පිටත් උනේ ආරණ්‍ය දූවට. ඒ යන අතර අපේ අත්තාට ඕන උනා බෝට්ටුව පදවන්න. නිශාන්ත අයියගෙන් සුක්කානම ඉල්ල ගත්තු අත්තා දැන් බෝට්ටුව පදිනවා.
ඉස්සරහ තියන දූපතක් පෙන්නලා නිශාන්ත අයියා කිව්වා අර දූපත එල්ලෙ යං කියල. ඒත් අපිට තේරුන විදහිට නම් බෝට්ටුව යන්නෙ නයා විදිහට. හිටපු ගමන් එක පැත්තට හැරෙනවා අපි කෑ ගහනකොට ආයෙ අනෙක් පැත්තට හැරෙනවා. ඒ විදිහට තමයි ගියේ. කොහොම හරි ආරණ්‍ය දූවට කිට්ටු වෙනකොට නිශාන්ත අයියා ආයෙ සුක්කානම් ඉල්ල ගත්තා.මොකද ඒ හරියෙ තියනවලු වතුරෙන් උඩට මතු නොවෙච්ච වතුර මට්ටමේ වගේ තියන ගල් කුළු.ඒ එකක් උඩින් බෝට්ටුව ගියොත් ඉවරයි. ඉතින් නිශාන්ත අයියා අපිව පරෙස්සමින් ආරණ්‍ය දූවට එක්කගෙන ගියා. මේ දූපතේ තියෙන්නෙ හාමුදුරුවරුනට භාවනා කරන්න හදපු කුටි සහ කුඩා පංසලක්. දූපතේ පරිසරය කොච්චර නිස්කලංක ද කියනව නම් ඇහෙන්නෙ කුරුල්ලන්ගෙ අනෙක් සත්තුන්ගෙ සද්ද විතරයි. අපි දූපතේ ඇවිදින අතර ස්වාමීන් වහන්සේ නමක් අපි ලඟන් ගියත් උන්වහන්සේ අපි ගැන පොඩි හරි අවධානයක් යොමු නොකර බිම බලාගෙන වැඩම කලා. අපි කට්ටියගෙ පැමිණීම භාවනායෝගීම ඉන්න ස්වාමීන් වහන්සේලාට කරදරයක් වෙන්න පුළුවන් කියල තේරුන නිසා අපි ඉක්මනට ආයෙ බෝට්ටුවට ආව.

ඊළඟට කොහාටද යන්නෙ? ඒ අපෙන් ප්‍රශ්නය නිශාන්ත අයියට. අපි ඊළඟට බහින්නෙ ගල් දූවට. හැබැයි කුරුළු දූව ළඟින් යනවා. නිශාන්ත අයියා එහෙම කිව්වෙ. කුරුළු දූවට බහින්න බැරි නිසා. කුරුළු දූව කියන්නෙ කුරුල්ලන්ටම වෙන් වෙච්ච දූපතක්. ඒකට කව්රුත් ගොඩ බහින්නෙ නෑ. අපි ගිහිපු වෙලාව දවල් නිසා ඒ වෙලාවට කුරුල්ලො නෑ කියලයි නිශාන්ත අයියා කිව්වෙ. ඒක නිසා ගහ කොලින් පිරිච්ච කුරුළු දූව ළඟින් යනගමන් බලාගෙන අපි ගල් දූව දිහාවට යාත්‍රා කරා. ආ කියන් අමතක උනානේ මේ ටිකේ අපේ රියදුරා උනේ පොත්තා. ඌට බෝට්ටු පදින්න දොළ දුකක් හැදුනනේ හිටපු ගමන්. පොඩි එකාගෙ ආසාවනේ ඔන්න ඌටත් දුන්නා බෝට්ටුව පදින්න. හැබැයි උගෙත් ගමන නයා තමයි.

ඊළඟට අපි ලං වුනේ ගල් දූවට. නමින්ම තේරෙනවනේ මේක ගල් වලින් හැදිච්ච දූපතක්. නිශාන්ත අයියා බෝට්ටුව බොහොම පරෙස්සමින් හිමීට ගල් දූව දිහාවට ලං කරා.
මේ හරියෙ වතුර යට ගල් කුළු සෑහෙන්න තියනවලු. සමහරක් තැනක වතුර නිකම්ම ඉහලට විසි වෙනවා දකින්න පුළුවන් ඒ අර වතුර මට්ටමේ තියන ගල් වල දිය රැලි වැදුනහමයි එහෙම වෙන්නෙ. කොච්චර ප්‍රවේසමෙන් හෙමින් බෝට්ටුව ගල් දූවට ලං කරත් දූපත ළඟටම යන කොට ගලක් දෙකක් බෝට්ටුවෙ අඩියෙ වැදිලා හීරීගෙන යන සද්දෙ අපට ඇහුනා. අන්තිමට දූපතේ ලොකු ගල් දෙකකට බෝට්ටුව හේත්තු කරල නිශාන්ත අයියා ඒ ගලක් උඩට බැහැල බෝට්ටුව අල්ල ගත්ත. මේ ඔයේ මැද හරිය නිසා මේ හරියෙ වතුර කැළඹිලි සහිතයි ගැඹුරුයි. ඒ නිසා අත ඇරියොත් බෝට්ටුව ගහගෙන යන නිසා නිශාන්ත අයියා බෝට්ටුව අල්ලගෙන එතනටම වෙලා හිටියා. ඇඟ කිලි පොලා යන කතාවකුත් නිශාන්ත අයියා කිව්වේ මේ අතරෙ. මල්ලිලා ඔය ගල් වල වටේටම කාවාඩි එල්ලිලා ඉන්නවා. ඒ නිසා ගල් උඩ යනකොට බලාගෙන වැටුනොත් කාවාඩි වලට පළලා යනවා. කෙලින්ම ඉස්පිරිතාලෙ තමයි. මේ කතාව අහලා අපි වතුරට එබිලා බැලුවා. ඇත්ත තමයි මේ ඉන්නෙ ගල් වටේටම වතුර මට්ටමේ දැති දැති පිහියක් වගේ. මේක දැකපු ගමන් බැහැලා හොඳට කකුල් දෙකෙන් හිටපු එවුන් පහත් වෙලා අත් දෙකත් බිමට තියා ගත්තා වැරදිලාවත් නොවැටෙන්න. කොහොම හරි කකුල් හතරෙන්ම ගලින් ගලට ගිහිල්ලා පින්තූර කීපයකුත් ගත්තා.

මේ පෝස්ට් එකේ නම මඩොල් දූවට ගමනක් නේ. කට්ටිය බලනව ඇති දැන් මඩොල් දූවට යන්නෙ නැද්ද කියල වෙන හතර වටේ ඇවිදින්නෙ. ගියා ගියා අන්තිමට ගියේ මඩොල් දූවට.අපි මඩොල් දූවට එනකොට කට්ටියක් ඉන්නවා ගොඩ දිහාව බලාගෙන. නිශාන්ත අයියා කිව්වා ඔයගොල්ලො වෙන තැනකින් ආවනම් ඕගොල්ලොන්ටත් වෙන්නෙ ඕක තමයි කියල. වෙන බෝට්ටු තොටුපලවල් වල මඩොල් දූවට විතරක් එන්න රුපියල් 1200ක් විතර ගන්නවා. ඒකත් මඩොල් දූවට ගෙනත් දාලා බෝට්ටුව යනවා ආයෙ පැයකින් වගේ එන්නම් කියල. මඩොල් දූවෙ ඇත්තටම පැයක් බලන්න දේවල් නෑ. ඒ මිනිස්සු ඉතින් අන්තිමට ගොඩ දිහා බලාගෙන ඉන්නවා බෝට්ටුව එනකම්. ඒත් නිශාන්ත අයියලාගේ බෝට්ටු සේවාව එහෙම නෑ. කොතනට ගියත් කට්ටිය ආපහු එනකම් ඔවුන් බෝට්ටුව තියාගෙන ඉන්නවා. ඕන වෙලාවක. ඒ නිසා ඔය කට්ටිය මඩොල් දූව බලන්න යනවනම් එහෙම මම කියපු මගසළකුණු වල විදිහට නිශාන්ත අයියලගේ බෝට්ටු තොටුපලටම යන්න. මම කලිනුත් කිව්වනේ මඩොල් දූවෙ බලන්න වැඩි දෙයක් නෑ කියල.
මඩොල් දූව කතාවෙ කියවෙන තරම් විශාල දූපතක් නෙමෙයි මේක. ළඳු කැලේ හරහා අඩි පාරවල් තියනවා. ගොඩ කරපු ළිඳකුත් සෙක්කු ගලකුත් විතරමයි මුළු දූපතටම තිබුනේ. මේ සෙක්කු ගල ඇතුලට කැමරා එක දාලා අපි ubuntu ඡායාරූපයකුත් ගත්තා.

දැන් නම් මේක දිග වැඩියි වගේ ඒ නිසා ඉක්මනට ඉවර කරනවා. අපි දවල්ට කෑවේ සූටියාගෙ පවුලගෙ ඒ කියන්නෙ කෙකරි(නිරාශා) ගෙ ගෙදරින්. හවස ගියා පොල්හේනෙ නාන්න. ඒ යන ගමන් වල්ගමින් කැව්ලාවත් සෙට් කර ගත්තා. මිනිහා නැතුව මාතර මොකුත් කරන්න බෑනෙ ඉතින්. ආ අපේ නුවර කට්ටිය හිතේ හැටියට මුහුදෙ නෑව.
වැඩිය නෑ පැය 3 1/2ක් විතර.අන්තිමට ගියේ අපේ බැච් එකේ කුඩාම සාමාජිකාවකගේ ගෙදර. ඒ කොයිල්ගේ(ආලෝකා) ගෙදර. අපරාදේ කියන්න බෑ අපි එන නිසා කෑම බීම ගොඩක් ගෙනල්ලා තිබුනා. අපිත් ඉතින් ඒව අපතේ යන්න ඇරියේ නෑ. මේසෙට තියපු හැම පිඟානක්ම ඉවර කලා.

එහෙනම් ඉතින් මේ දිගම දිග පෝස්ට් එක ඉවර කරන්නයි හදන්නෙ. කොහොම හරි කියන්න ඕන මැක්සා ට්‍රිප් එක.

Friday, August 28, 2009

ගාල්ල වටේ අපේ විනෝද චාරිකාව.......


ගොඩක් කාලෙකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බුනා. වැඩිය නෑ සතියයි. ඉතින් මේ නිවාඩුවේ අපි තීරණය කලා අවුරුද්දකට විතර කලින් ඉඳන් යන්න හිතන් හිටපු විනෝද චාරිකාව යන්න. අපේ බෝඩිමේ ඉන්න උඩ රට සගයෝ දෙන්නට තිබුනා ගාලු එන්න ලොකු උවමනාවක්. ඉතින් තව අහල පහල අයත් එකතු කරගෙන ගාල්ලෙ වටේ රවුමක් යන්නයි අන්තිම තීරණය උනේ. අපේ trip එකේ පළවෙනි දවස ගැනයි කියන්න යන්නෙ. පින්තූර ටිකකුත් එකතු කරනවා. බලන්න කොහොමද කියල.

ඔන්න ඉතින් ගිය 22 ඉරිදා උදේ අත්තා(එරංග), කිරා(සමීර), එල්ලේ(කල්ප) තුන් දෙනා ගාල්ලට සම්ප්‍රාප්ත උනා. උන්ව එක්ක එන්න මමත් සූටියත් ගියා ගාල්ලට. බලනකොට මුන් ටිකක් කලින් ඇවිල්ලා. මාතර ඉඳන් අපිත් එක්ක සෙට් වෙන්න ආපු කැව්ලා(චමිත්) තාම මග. මග කිව්වෙ වල්ගම.
ඒ කියන්න ඌ එතකොට බස් එකට නැගලවත් නෑ. ඉතින් ඌ ගාල්ලට එනකම් අපි කොටුව පැත්තෙ රවුමක් ගහන්න ගියා. කොටුවෙ දවල් දොලහට විතර ඇවිදින්න ටිකක් අමාරුයි තමයි. ඒත් මූදු හුළඟ නිසා දැඩි අව් රශ්මිය වැඩිය දැනෙන්නෙ නෑ.
කොටු තාප්පෙ දිගේ ටිකක් ඇවිදලා වැල්ලටත් බැස්සා කියමුකෝ. අත්තාගෙන් වදේ නාමු කියල. වැලිමඩ පැත්තේ මූද නෑනෙ ඒ නිසාද කොහෙද මූහුද දැක්ක වෙලාවෙ ඉඳල මිනිහගෙ කතාව නාමු නාමු නාමු තමයි :D. පස්සෙන්දා මූදෙ නාන්න සැලසුම් කරලා තිබුන නිසා බොහොම අමාරුවෙන් අත්තාව එක්කරගෙන ආව ගොඩට. පරක්කු වෙලා අපු කැවුලාවත් වාහනේට නග්ගගෙන කට්ටියම ආවෙ අපේ ගෙදර දවල් කෑමට. ඒ කිව්වෙ උළුවිටිකෙට. දවල් කෑම නම් අම්මා මරුවට උයල තිබුනා. මම මාස ගානකට පස්සෙ කාපු රසම කෑම වේල තමයි ඒ. රතු කැකුළු බත්,මෑකරල්,කිරිහැන්ද කොළ මාළුව,මඤ්ඤොක්කා එහෙම එක්ක කට්ටිය හුස්ම ගන්න බැරි වෙනකම් කෑවා. කොච්චර කෑවත් මොකද අර කොහොම හරි බඩේ ඉඩ ලැබෙන ජාතිය තමයි අතුරුපසට තිබුනේ.දන්නවනේ රජතුමා ආව වගේ තමයි. කොහොම හරි බඩේ ඉඩ අරගෙන ඒවත් කෑව කියමුකෝ දැන් ඇවිද ගන්නත් අමාරු ගානයි. එහෙම කියල කොහොමද හවස සැලසුම කොට්ටව නාන්න. හවස දෙකට විතර අපි කොට්ටව යන්න පිටත් උනා.

කට්ටියව එක්ක ගෙන අපේ ගෙදර එද්දිට වඩා කොට්ටව යන්න පිටත් වෙද්දි වාහනේ වැඩිපුර බරයි වගේ. අපේ වාහනේ Nissan AD wagon කියන ජාතිය. දැකල ඇත්නම් දන්නව ඇති වාහනේ කොහොමත් ටිකක් පහතයි.
අනික මුන් ටික ඉස්මුරුත්තෙට කාලනේ. ඒක නිසා වලවල් එහෙම පරෙස්සමට බේරන්න සිද්ධ වුනා. ඔන්න ඉතින් අපි කරාපිටිය තලගහ හරහා වලහන්දූවෙන් උඩුගම පාරට වැටිලා ඉස්සරහට ආවා. යන අතරේ කිරා කියනවා මචං සිරාවටම මේ පැත්තත් අපේ පැත්ත වගේමයි කියලා. අපි කල්පට නිතරම දෙන නෝන්ඩියක් තමයි උඩුගම ඩොටේ කියන එක. පොරගෙ ගම උඩුගම. මිනිහා කියව කියව හිටියේ බලපං අපේ ගමට යන පාර පට්ටයි නේද කියල හැබැයි කිරාගෙ කතාවෙන් කල්පයගෙ කට වැහුන. මොකද කිරා නාවලපිටියෙ =)). ඔන්න කොට්ටව තටාකෙට යන අතුරු පාරටත් අවා කියමුකෝ මේක කැලේ මැද්දෙන් තියන පාරක්. බැලූ බැල්මට ගල් මතුවෙලා මඩ වලවල් පිරිලා.
ලොරියක සෙනඟ පටවගෙන මේකෙ ගියොත් වාහනේ යට ඇනගන්න තමයි වෙන්නෙ ඒ නිසා අපේ හෑල්ලුම සාමාජිකයා සූටියා :P ඇතුලු කීප දෙනෙක් බස්සලයි වාහනේ අර පාරෙ අරගෙන ගියේ. වැඩි දුරක් තිබුනෙ නැති නිසා අවුලක් උනේ නෑ.

මේ තටාකේ කොට්ටව කැලේ මැද්දෙන් එක ස්භාවික වතුර පාරකින් තමයි පෝෂණය වෙන්නෙ. මුලින් මෙතන තිබිල තියෙන්නෙ ස්භාවිකවම හැදිච්ච පොකුණක් දැන් ඒක ටයිල් කරලා swimming pool එකක් වගේ හදල තියෙන්නෙ. එක පැත්තකින් වතුර පිරෙන ගමන් අනිත් පැත්තෙන් වතුර ඉවත් වෙන නිසා පිරිසිඳුයි. නාන්න කලින් කට්ටිය දඩ මස් වේලක් බුක්ති විඳින්න ලෑස්ති උනත් අධික මිල නිසා ඒක හරි ගියේ නෑ. මම නම් නෑනෙ ඔය පව් වැඩ වලට. කට්ටියම ඔන්න බැහැලා පීනන්න පටන් ගත්තා. පීනන්න බැරි අය පීනන්න පුරුදු වෙනවා. අනෙක් අය තරඟෙට පීනනවා.
ඔය අස්සේ කිරා පීනන අතර pool එකේ ගැට්ටේ නහය වද්දගෙන තුවාලත් කර ගත්තා. ඌටනේ හොඳටම පීනන්න පුළුවන්. ක්‍රම 5කට පීනතෑකි. ඒ ක්‍රම අතර බලු ක්‍රමෙත් තියනවා. ඌ ඒ විදිහට පීනලත් පෙන්නුවා. දැකල තියනවද බල්ලො පීනන හැටි. අත් උඩට එන්නෙ නැති නිසා සද්ද නැතුව පීනන්න පුළුවන්. කොහොම හරි කට්ටිය ගොඩට එනකොට 5 පහුවෙලා. ආ සූටියා pool එකේ පළළ පැත්තෙන් බාගයක් පීන ගත්තා. ඉතුරු බාගෙ ආයෙ දවසක.

ඊළඟට ආවෙ ගාලු කොටුවට. හවසට තමයි කොටුව ලස්සනම. කොටුව පන්සල ගාවින් පටන් අරගෙන ඉස්සරහ පැත්තට එනකොට රෑ වෙලා. මොකද ඉතින් දකින දකින එකේ පින්තූර ගන්නත් එපැයි. අනික අත්තට නියම කලාකාමී අදහස් තියෙන්නෙ. උඹ ඔහොම ඉඳපන් උඹ අර පැත්ත බලාගෙන ඉඳපන් ඔය විදහට කට්ටිය විනාඩි 10ක් විකර කට්ටිය සෙට් කරලා තමයි මෑන් photo එක ගන්නේ.
රෑ 8 විතර වෙලා තිබ්බ නිසා කට්ටියම ආව සූටියාගෙ ගෙදරට. ඒ බෙලිගහ හන්දියෙ. රෑට එහෙන් කාල. කට්ටියම කල්පගෙ ගෙදර ගියා. එහේ තමයි රෑ නවාතැන්. මම නම් ගෙදර ගියා මොකද නිවාඩු තියන ටික දවසෙත් ගෙදර නැති උනාම අම්මගෙ තාත්තගෙ හිතට හරි නැති නිසා. ඔන්න අපේ trip එකේ පළවෙනි දවස ඉවර උනා. මඩොල් දූව ගිහිපු හැටි එක්ක ඊළඟ post එකෙන් හම්බෙමු.

Wednesday, August 5, 2009

විභාගෙ ඉවරයි දැන් ආයෙ නිදහස්



ගොඩක් කාලෙකට පස්සේ අදයි ලියන්න ඉඩක් ලැබුනේ. අම්මෝ මැරිල ඉපදුනා වගේ. විභාග නම් ආයෙ එපා. :D අපේ කට්ටිය ඒ කිව්වෙ බොට්ටා, ඇකා, එහෙමත් පහුගිය කාලෙ නිශ්ශබ්ද ඔය නිසා තමයි. අද තමයි යන්තන් අන්තිම subject එක ඉවර උනේ. ඒ තමයි data structures and algorithm. මේ සමාසිකයට තිබිච්ච විෂයන්ගෙන් මම ආසම එක. කොහොමත් මේ මාසෙකට විතර පස්සෙනෙ ආයෙ බ්ලොග් කෙරුවාවට බැස්සෙ. මෙච්චර කාලයක් මැරුනට විෂයන් 10ක් විතර තිබුනේ නෑ. ඔක්කොම subject 4යි තිබුනෙ. හැබැයි ඒ හතර ඇති 40කට විතර. ඒ වගේ වැඩ කිරිල්ලක් A/L වලටත් කලේ නැද්ද කොහෙද? උදේට කැම්පස් දුවනවා ගිහින් කුප්පියකට සෙට් වෙනවා. හවසට බෝඩිමට ඇවිත් ආයෙ tute වලට ඔළුව ඔබා ගන්නවා. ඉතින් රෑ 2 විතර වෙනකම් වැඩ. හැබැයි 11 විතර පහු වෙනකොට ටික ටික නිදිමත එනවා. ඊට පස්සෙ පැය බාගෙන් බාගෙට තේ තමයි. අපේ සූටියා හදනවා කෝපි එකක් ඒක බිව්වහමනම් ආයෙ පැය දෙක තුනකට නිදිමත එන්නේ නෑ. අපි කියන්නේ සූටියාගෙ බෙහෙත් ප්ලේන්ටිය කියල. හික්. ඔන්න 12 පහුවෙන කොට එක එකා නිදා ගන්න පටන් ගන්නවා. මෙට්ටෙට ගිහිල්ල පිළිවෙලකට එහෙම නෙමෙයි. ඔන්න පුටුවෙ වාඩි වෙලා ඉන්නවා නේද නිදිමත වැඩි උනහම එහෙමම බිමින් හාන්සි වෙනව ටිකකින් ගොරව ගොරව නිදි. වෙලාවක බෝඩිම විසාලා මහනුවර තුන්බිය ඇතිවෙච්ච කාලෙ වගේ. ඇයි මුන් ටික වැටිච්ච වැටිච්ච තැන් වල බුදිනේ.

එක අතකින් අපේම වැරුද්ද. ලෙක්චර්ස් කට් කරපුවාගෙ ලෙක්චර්ස් ගිහින් බුදිය ගත්තුවගේ ප්‍රතිඵල තමයි. හැබැයි කැම්පස් එකේ තියෙන්නෙ එකෙක් වත් අත අරින්නෙ නෑ. දවස් ගනන් නිදි මරාගෙන කොහොම හරි අදිනවා. ගිරව දාල හරි ලියනවා(software engineering වගේ ගොඩ දාන්න නම් හොඳ ගිරවෙක් ඉන්න ඕන ). බැච් එකේ කාටවත් හැලෙන්න දෙනෙනෙත් නෑ. පුලුවන් එකා අනිත් එවුන්ට කියල දෙනවා(කුප්පි දානවා). මමත් algo කුප්පියක් දැම්මා. උන් ටික හොඳට ලිව්ව කියල කිව්වම ඒ වගේ සතුටක් තවත් කොහෙද?

ලියන්න බැරි උනාට පහුගිය කාලෙ පුලු පුලුවන් විදිහට බ්ලොග් ටික කියෙව්වා. හැමදාම නම් කියවන්න උනේ නෑ. කමෙන්ට් එකක් දාන්න බැරි උනත් කියවලා හරි ගියා. ඉස්සර හට ලියන්න කියල පෝස්ට් කීපයක් හිතේ තියාගෙනයි ඉන්නෙ. ඒවගෙන් බහුතරය සුපුරුදු පරිදි FOSS වේවි. මම ආස subject එකනේ. :D Ubuntu අයිසිං කිරීම තව එක ලිපියකින් ඉවරයි. ඊට පස්සෙ අළුතින් ubuntu වලට එන අයට උදව්වෙන ලිපි ටිකක් ලියන්නයි අදහස.

ම්...තව මොනවද? මේක දැන් නිකන් අච්චාරුවක් වගේ වෙලාද කොහෙද. ආ අපේ අළුත් බැච් එක එනවනේ. ඒ කියන්නේ අපි senior වෙනව කියන එක. ඒ වැඩ කටයුතුත් ඉස්සරහට කරන්න වෙයි. එහෙනම් ගිහින් එන්නම් ඉක්මනටම ආයේ තව සටහනකින් හමුවෙමු. එතකන් ආයුබෝවන් =D>

Wednesday, June 17, 2009

බෝඩිමේ ජීවිතේ



අදත් මුලින්ම හැමදාම කියන මන්තරේම තමයි කියන්න තියෙන්නෙ. කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනේ වැඩ වැඩි හින්දා. තව මාසෙකින් විභාගෙ දැන් මේ දවස් වල දිගටම assignment. ලබන සතියෙත් 2ක් තියනවා submit කරන්න. කැම්පස් ගියාමත් එකක් කියලයැ ලොරියක වැඩනේ. බාහිර වැඩත් තොගයක් බදාගෙන කරනවනේ. අපි කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයෙන් ස්වදේශීය සේවයේ ගුවන් විදුලි වැඩසටහනක් කරනවා. ඒකෙ නම ඉන්ටනෙට් සම්පත් භාවිතය. මේකෙ අපේ පළමු වසර වෙනුවෙන් සම්බන්ධීකරණය කරන්නෙ මම. පහුගිය දවස් වල ඒකෙ පොඩි වැඩ වගයකට එහෙ මෙහෙ දිව්ව. ඒ නිසා හැමදාම බෝඩිමට එනකොට රෑ වෙලා. කතාවෙන් කතාවෙන් කියන්න ගිය දේත් අමතක උනා. අපේ බෝඩිම ගැනයි කියන්න යන්නෙ. අපි නම් කියන්නෙ අපේ ආතල් බෝඩිම.

බෝඩිමේ ඉන්නෙ 5දෙනයි. මම කල්ප(එල්ලෙ), එරංග(අත්තා),අයේෂ්(සූටියා) සහ සමීර(කිරා). අපේ බෝඩිම තියෙන්නෙ කොහුවල ඒ කියන්නෙ 120 බස් පාරෙ. කොහුවල කිව්වට කොහුවලට ටිකක් මෙහා දන්න අය ඉන්නව නම් අපි බහින හෝල්ට් එකට කියන්නෙ බ්ර්නාඩ් කියල. ඒ නම කියන්නෙ එතන තියන බර්නාඩ් කියන රෙදි සාප්පුව නිසා. 120 බස් එකනම් ඉතින් පහසුවෙන් යන්න එන්න පුළුවන් බස් එක කියල දන්නෝ දනිති. ඒ කිව්වෙ උදේට සහ හවසට ඇතිවෙන තුරු තෙරපෙන්න පුළුවනි.

අපි ඉන්නෙ ගෙදරක පැත්තෙ කොටසක. කාමර දෙකයි සාලෙයි. මාසෙකට මොනරු 12ක් අයිතිකාරයට දෙන්න ඕන. හැබැයි අපරාදෙ කියන්න බෑ නිස්කලංක තැන. සාමාන්‍ය මිදුලකුත් තියනවා. නිවාඩු වෙලාවට අපි මේ මිදුලෙ ක්‍රිකට් ගහනවා. නීති කොච්චර තදද කියනවනම් මෙතන වැඩිම ලකුණු වාර්තාව ලකුණු විසි ගණනක්. කොච්චර උනත් අපේ බෝඩිම් වල ඉන්න කොල්ලොන්ගෙන් එහෙම හරි සෙල්ලම් කරන්න පුළුවන් ඉඩක් තියෙන්නෙ අපිට විතරයි.

බොඩිමේ සගයෝ මම කලින් කිව්වනේ. අපි කන්නේ උයාගෙන. කඩේ කෑම කාලම එපා වෙලා තමයි උයන්න ගත්තෙ. කැන්ටිමේ කෑමත් දැන් කාලම එපා වෙලා. හැමදාම එකම රහ. මොන විදිහට එහෙම උයනවද මන්දා. දැන් අපි කරන්නෙ උදේට දවල්ට යන්තන් වේල පිරිමහගෙන රෑට ඒ දෙකම අල්ලලා මැක්සා කෑමක් කනවා. අපි පස් දෙනා සාමාන්‍යයෙන් හුන්ඩු 7 1/2 ක බත් කනවා. පොඩ්ඩයි නේද? අපේ හොඳම කෝකියා තමයි කිරා. ඊළඟට අත්තා. සූටියාටත් සාමාන්‍යයේ උයන්න පුළුවන් එල්ලෙටයි මටයි තමයි පොල් සම්බලකට එහා දෙයක් බැරි. අපි ඉතින් පොල් ගෑමෙන් මිරිකීමෙන් ලූණු සුද්ධ කිරීමෙන් උයන අයට උපරිම සහය දෙනවා.

අපෙන් එල්ලෙයි මායි ඇර අනෙක් අය පවුල් වෙච්ච අය ඒ කියන්නෙ කසාද බැඳපු අය නෙමේ. බෝඩිමේ වැඩියෙන්ම මල් කඩන්න අත්තා දවසකට අවම පැය 6ක් මල් කඩනවා. ෆෝන් එක කනේ තියන් ඉන්න එකට අපි කෑ ගහලා යන්තම් දැන් හෙඩ් ෆෝන් සෙට් එකක් අරගෙන කනේ ගහගෙන ඉන්නවා. සූටියා මල් කඩන්නෙ රෑ 12 න් පස්සෙ. දන්නවනෙ හේතුව "උපහාර".

අනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දන්නවනේ "හිතේ තියන දේ කියන තැන " බ්ලොග් එක ලියන චරිත්(ඇකා). ඇකා ඉන්නෙත් අපේ බෝඩිම කිට්ටුව.ඌත් වැඩිපුර ඉන්නෙ අපේ බෝඩිමේ තමයි. උපන් දින පාටි, ගොඩ පාටි එහෙම වරද්දන්නෙ නෑ. හොඳට කාලා සින්දු කියලා නියම ආතල් එකක් එදාට ගන්නවා. වටේ පිටේ මිනිස්සු නම් එදාට කන් වහගෙන ඉන්නව ඇත්තේ.

කට්ටියම නිදා ගන්නෙ මෙට්ට 3ක් එකතු කරලා බිම. ඇඳන් 2ක් තිබුනත් ඒව ගලවලා පැත්තකින් තියලයි තියෙන්නෙ.(ආ ඇඳන් තිබිච්ච කාලෙ සූටියා ඇදක් කඩාගෙන වැටුනෙත් නෑ :D) කට්ටියටම අපරාදෙ කියන්න බෑ වැටුන ගමන් පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා. උදේට නැගිට්ට ගන්න අමාරුම කිරයි එල්ලෙයි තමයි. කිරා හැමදාම උදේ 6ට phone එකේ alarm එක තියලයි තියෙන්නෙ. හැබැයි උගේ එලාම් එකට ඌට ඇහැරෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ඒකට ඇහැරෙන්නෙ මට. ඇයි හත්ඉලව්වේ අර මගුල විනාඩි දෙකෙන් දෙකට වදිනකොට ඇහැරෙන්නෙ නැද්ද. මම ඉතින් ඒක off කරලා ආයෙ බුදිය ගන්නවා. කට්ටියටම උදේට තේ හදන්නෙ මම. සූටියත් උදේ වයිෆ් කෝල් එකක් දුන්න ගමන් දඩ බඩ ගාල නැගිටලා ලෑස්ති වෙලා දුවනවා. නැත්තම් ඉතින් ලෙඩේනෙ. අපිට ඉතින් කාගෙන් නීතිද? මායි කිරයි බොහෝ වෙලාවට බෝඩිමෙන් එලියට බහින කොට 7.30 වෙලා. 8ට ලෙක්චර්ස්. අනේ ඉතින් උදේ වාහන තදබදේ 120සේ හිරවලා 8ට විතර කැම්පස් එකට සේන්දු වෙනවා. ඔන්න අපේ බෝඩිම් ජීවිතේ.

Sunday, April 26, 2009

සුභ මංගලම්


මම මේක ලියනවද නොලියනවද කියල කීප පාරක් කල්පනා කරලයි මේ ලියන්නෙ. මේක ලියල මට විසුමක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ. ඔන්න ඕන බම්බුවක් වෙච්චාවෙ කියල ලිව්ව.

අපේ බැච් එකේ 7වෙනි කපල් එක ගිය සතියෙ ගොඩ ගියා. ගොඩ ගියා කියල කැම්පස් භාෂාවෙන් කියන්නෙ කෙල්ලෙක් සහ කොල්ලෙක් යාළු වීම නැත්නම් පෙම්වතුන් වීම. මේ අළුත්ම කපල් එක තමයි සාරංග(කල්ලා) සහ නිලූෂි(මැගී). කැම්පස් එකේ ගොඩ ගියාම විශේෂ චාරිත්‍ර එහෙම තියනව ඉෂ්‍ඨ කරන්න. කොල්ලට කෙල්ල ගාව දණගහල ප්‍රේමය ඉල්ලා සිටින්න එහෙම වෙනව. තව දිව්රුම් දෙන්න එහෙමත් වෙනව. නියම කරපු දේවල්ම කියල නෑ එවෙලෙ කට්ටියගෙ ඔළුවට එන දේවල් අරුන් දෙන්නට කියල කරවනව. වද දෙනව හිංසා කරනව එහෙම නෙමෙයි අපේම එවුන් ආතල් එකටයි කරන්නෙ. මේ කියන ඒව අළුත් කපල් එක කරන්න ඕන.
ඔය පිටිපස්සෙන් තියෙන්නෙ පාමසෝලයා A.K කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගහ.

ඔය ප්‍රශ්න ඇහිලි අනම් මනම් වලින් පස්සෙ තමයි බකට් එක තියෙන්නෙ සාමාන්‍යයෙන් බකට් කරන්නෙ කොල්ල විතරයි. තව බකට් වෙන්න කොල්ල නිකම්ම ඇවිදගෙන යන්නෙ නෑ. පෙලක් අය නට නට යනව. සමහරෙක් අය කරපිටින් යනව. එහෙම අරගෙන යන්නෙ M.C එක ගාව තියන ටැප් එක ලඟට. M.C එක කිව්වෙ Majestic City එහෙම නෙමෙයි අපි M.C කියන්නෙ Medical Centre එකට. දැන් ඉතිං මනමාලයව ටැප් එක ගාව වාඩි කරල ස්නානය කරවනව. හික්ස්. නිකම්ම වතුරෙන්ම විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට විශේෂ ද්‍රව්‍ය කවලම් කරල හදා ගත්තු මිශ්‍රනයකුත් පාවිච්චි කරනව. මේ වෙලාවට ඉතිං මනමාලයට විරෝධය දැක්වීම තහනම්. බකට් එකෙන් පස්සෙ ඉතිං මනමාලය කොච්චර ලස්සනද සුවඳද කියල කියන්න ඕන නෑනෙ. මිනිහව බස්එකේ යන්න පුළුවන් මට්ටමට ගන්න අඩුම තරමේ පැය 1/2ක් වත් නාවන්න වෙනව. අපේ සූටියා බකට් වෙච්ච වෙලාවෙ මමයි තව දෙන්නෙකුයි තමයි ඌව පිරිසිඳු කලේ ඒක නිසා මම දන්නව තියන අමාරුව. ඔන්න ඉතිං අළුත් කපල් එක කැම්පස් එකේ නිල වශයෙන් පිළිගන්නව දැන්. මේක මෙහෙම කියනවට වඩා ආතල් සීන් එකක්. එහෙමම කියන්න අමාරුයි තේරුම් ගන්න පිංතූර කීපයක් දාන්නම්.
ඔන්න දැන් කල්ලා මාව කන්න ලෑස්ති උනොත් එහෙම ඕගොල්ලො මාව බේරගන්න ඕන. හොඳද?



Tuesday, March 31, 2009

මැදියම් රෑ බෝම්බ ප්‍රහාර

ගිය සතියෙ වෙච්ච ආතල් සිද්ධි කීපයකුයි මේ කියන්න යන්නෙ.

පහුගිය දවස් වල අපේ පිරිත පැවැත්වුනා කියල මම කලින් කිව්වනේ. ඒ දවස් වල ඉතින් යමරෙට වැඩ. හවස 8 වෙනකම් කැම්පස් එකේ වැඩ.(අපේ කැම්පස් එකේ 8න් පස්සෙ ඉන්න බෑ.අධි ආරක්ෂක කලාපය නිසා.පට්ට චාටර්)පාරෙ දෙපැත්තෙ වියනෙ එහෙම කැටයම් කැපුවෙ කැම්පස් එකේ තියාගෙන. තව පිරිත් මණ්ඩප්පෙ වැඩ කලේ කිරුළපන හොස්ටල් එකේ(පිරිමි).ඉතින් ගොඩක් දවසට කැම්පස් එකේ ඉඳන් බෝඩිමට ඇවිත් කාලා කොහුවල ඉඳන් කිරුළපනට පයින්ම යනවා. ඊට පස්සෙ එළි වෙනකම් හොස්ටල් එකේ වැඩ.

මේ හොස්ටල් එකේ ලමයි 34ක් ඉන්නවා. ඉතින් එතකොට ආතල් තැනක් තමා කොල්ලො සෙට් එකක් ඉන්න කොට.අපේ බ්ලොග් ලියන චතුරංග(බොට්ටා) , කසුන්(පල්) එහෙමත් ඉන්නේ හොස්ටල් එකේ තමයි. රෑට එළවෙන 3 , 4 වෙනකම් වැඩනේ. එච්චර වෙලා ඇහැරගෙන ඉන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. සමහරක් කට්ටිය රෑ 12 - 1 වෙනකොට හිමීට ඇඳන් වලට යනවා. වැඩ කරන අය වැඩ කරගෙන යනවා.

ඔන්න රෑ 3ට විතර පටන් ගන්නවා නින්ජා ප්‍රහාර අර නිදාගෙන ඉන්න කට්ටියට. බහුලවම පාවිච්චි කරල පහර දීමේ ක්‍රමයක් තමයි රතිඤ්ඤා. හොස්ටල් එකේ කාමරයක හය දෙනෙක් විතර නිදා ගන්නවා. ගොඩක් කට්ටිය නිදාගෙන ඉන්න කාමරයක් බලලා රතිඤ්ඤෙ පත්තු කරලා දාලා දොර වහනවා. ඉතින් රතිඤ්ඤෙ පත්තු වෙන්නෙ බෝම්බයක් වගේ සද්දෙන් නිදාගෙන ඉන්න අය අඩි දෙක තුනක් උඩට වීසි වෙලා තමයි ඇහැරෙන්නේ. මේ ඒ සිද්ධියක වීඩියෝ එකක්. මුලින කැමරාව ඉලක්ක කරලා කාමරේ තියලයි රතිඤ්ඤෙ දාන්නෙ.මුල් වීඩියෝ එකේ ඉන්නෙ අපේ තරංග(N.පලා) පොර උඩ ගිහිල්ල ඇහැරෙන්නේ. දෙවනි එකේ ඉන්නේ රොෂාන්(කැන්දු) මිනිහ නම් රතිඤ්ඤෙ පිපිරිලා ටික වෙලාවකිනුයි ඇහැරෙන්නේ.




ඒ දවස් වල ඉතින් හොස්ටල් එක පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ල වගේ කොයිවෙලේ පත්තු වෙනවද දන්නෙ නෑ. රතිඤ්ඤා නැත්නම් තව දේවල් තියනවා කරන්න. ඇඟ පුරා බයින්ඩර් ගම් ගෑම එකක්. තව දැලි ලාම්පුතෙල් කවලම් කරලා හදා ගත්තු මිශ්‍රණයක් මූනේ ගෑමත් කරනවා. නිදා ගන්න එක අන්තිම භයානකයි ඒ දවස් වල. මටත් දවසක් ඩිංගක් නින්ද ගිය වෙලාවක කොමාන්ඩෝ බටයෙක් වගේ මූනෙ ඉරි ඇඳලා පොටෝ ගහල තිබුනා.

සමහරුන්ට මේව ඇහුවහම හිතෙන්න පුළුවනි මේ මොන විකාර වැඩද කියල. ඒත් කොම්පියුටර් ටියුට් ලෙක්චර් වලටම මැදි වෙලා ගෙවෙන ජීවිතේ ඒකාකාරී බව මග ඇරලා විනෝදයක් ගන්න මේ ආතල් උපකාරී වෙනවා.

ආ අපේ හොස්ටල් එකේ කට්ටියත් මේ ගමන්ම මතක් කරන්නම්. බම්බා ,වම්බොට්ටා ,කැව්ලා ,බිටා ,මරු ,කොයියා ,ගෙම්බා ,පල් ,බෝසා ,ගලයා ,පතන් ,සීනා ,කල්ලා ,කාකා ,කයියා ,ඇලිසා ,කරිප්පු ,මාරිස් ,තටයා ,මොකා ,නකා ,පලා ,කෙවින් ,ජෙරී ,පාල , පට්ටයා, බාසා,ලුකා ,කිත්තා ,කැන්දු ,නළුවා.

Friday, January 16, 2009

කාලය මැව් වෙනසක අරුමේ.............

කාලයත් එක්ක ජීවිතය වෙනස් වෙන හැටි හරි පුදුමාකාරයි. මීට මාසයකට කලින් අපි බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච ආතල් ගන්නම සෙට් වෙච්ච කොටසක්. හැමදාම බොහොම ආසාවෙන් කැම්පස් ගියේ යාළුවොත් එක්ක මොකක් හරි ජොලියකට සෙට් වෙන්න. හවසට කට්ටිය එකතුවෙලා ක්‍රිකට් වගේ සෙල්ලම් කරනවා. හවස් උනා කියල කැම්පස් එකෙන් යන්නෙ නෑ රූ 7 , 7.30 වෙනකම් බවනට(අපේ කැන්ටිම)වෙලා කදේ දානවා. අපේම එවුනට කෝල් කරලා අලගු දෙනවා. පුදුම නිදහසක් ඒ දවස් වල තිබ්බේ.

ඒත් දැන් ඒ දවස් වල වල බැහැපු,ආතල් ගනිපු එවුන් පොත් වලම එල්ලිලා. උදේම කැම්පස් යන්නේ කුප්පියක් ASSIGNMENT එකක් නම් විතරයි. ඒක ඉවර වෙච්ච ගමන් දුවනවා බෝඩිමට ආයෙ ටියුට් එකක් පෙරල ගන්නවා එක්කෝ PASSPAPER එකක් කරනවා. හැමොගෙම මූනු වල මහා බරපතල බවක් හැංගිලා.

විභාගය ලංවෙලා ඒකයි මේ. අපිට ලබන සතියෙ පළමු සමාසිකය විභාගය. හැමෝම දැන් අධ්‍යන වැඩ වලට මහන්සි වෙනවා. දවසම කුප්පි, ටියුට් , PASSPAPER මතින් ගෙවිලා යනව. ඒ වගේම විභාගය ඉවර වෙලා ආයෙ ආතල් ගන්න එන නිවාඩුවත් හිතේ කොනක තියනවා.................

මේක ලියල ඉවර වෙනකොට උදේ 2.51යි වෙලාව. SAD ASSIGNMENT එකක් කරකර ඉඳල දැන් තමයි නිදා ගන්න හදන්නෙ.හෙට උදේට නැගිටලා ආයෙ වැඩ.

Saturday, January 10, 2009

ගෙදර යාම

ගිය සතියෙත් ගෙදර යන්න බැරිවුනා. කැම්පස් එකේ වැඩ නිසා. විභාගෙ ළඟ නිසා වැඩ යමරෙට. මේ දවස් වල බෙල්ල ගාවට හිර වෙලා ඉන්නේ. ඒ අස්සෙ ඇගයීම්(ASSIGNMENT) දෙනවා පෝලිමට ඊයේ එනම් සිකුරාදා තිබුනා ඇගයීම් 4ක්. TAKE HOME 2ක් SUBMIT කරන්නයි IN CLAS 2ක්. ඉතින් මරණවා වගේ තමයි. පහුගිය දවස් තුනටම පැය 10 කට වඩා නිදා ගත්තෙ නෑ. ඉතින් වැඩ තිබුනත් පොඩි BREAK එකකට ගෙදර ගිහින් දවසක් හොදට නිදා ගෙන රසට කාලා එන්න හිතුවා. LINUX ASSIGNMENT එක ඉවර වුනේ 4ට විතර යන්න ලෑස්ති වෙනකොට අපේ අය රණවිරුවන් වෙනුවෙන් බැනරයක් එල්ලන්න ලෑස්ති වෙනවා. ඒකටත් සම්මාදම් උනා. ඊට පස්සෙයි එලියට බැස්සෙ. වෙලාව 4.15 විතර ඇති.

සිකුරාදා නිසා මේ වෙලාවටත් බස් එකේ යාම සුබ නෑ. ඒ සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් තියනවා. ඉස්සර රැග් කාලෙ අපේ ගාල්ල මාතර යන 20ක් විතර යන්නෙ එක බස් එකේ. එතන දික්වැල්ලට යන හාදයෙකුත් ඉන්නවා. ඉතින් කට්ටිය බස් ගණන් කර කර ඉන්නවා තංගල්ල බස් එකක් එනකම්. බස් එකක් ආවා කියමුකෝ සිකුරාදට නියම සෙනග. බස් එකෙත් එක පැත්තක ආසන තුනයි අනෙක් පැත්තෙ 2යි නේ ඉතින් මැද යන්තම් එක්කෙනෙකුට හිටගෙන ඉන්න ඉඩ තියනවා. ඒ වුනාට මොරටුව හරියට යනකොට කොන්දොස්තර මහත්මයා මගීන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා මැදින් තව පේලියක් හදන්න කියලා. ඒක උනේ නැත්නම් ඔහුම මැදිහත් වෙලා දෙවැනි පේලිය හදනවා.ඊට පස්සෙ බස් එක හරියට අර මරන්න හරක් අරන් යන වාහනයක් වගේ. බහින කම්ම හිටී විදිහට ඉන්න ඕන. වැරදිලාවත් කකුල ඉස්සුවොත් ආපහු තියල හමාරයි. ඔය තත්වය උඩත් බස් එක හැම තැනම නවත්ත නවත්ත පැය 3 1/2 ක් විතර ගාල්ලට යනවා. ඒ ඇවිල්ලා බහින කොට ඇඟේ පතේ අමාරු ඔළුවේ කැක්කුම හොඳ ගානට. ආ අමතක උනානේ කැමති වුනත් නැතත් බස් රථයේ වාදනට වෙන සුමිහිරි ගීත ටිකත් අහන් යන්න එපැයි.

ඔය නිසා දැන් මම ගෙදර යනකොට වැඩිපුරම යන්නේ දුම්රියේ. ලොකු කරදරයක් මගදි නොවුනොත් පැය 2 1/2 න් කෝච්චිය ගාල්ලෙ. කන්දොස්කිරියාවල් නෑ. කූඩුවෙ දාපු චිකන් බ්‍රොයිලර්ලා වගේ හිර වෙන්න ඔන නෑ. ඉතින් ඊයෙත් මමයි චමිත්(කැම්පස් එකේ කැවුලා) කියල යාළුවෙකුයි නැග්ගා සාගරිකා දුම්රියට. ආසන නම් නෑ සිකුරාදනේ. මගදි අපි දෙන්නා කලේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය නෑ කියල දොරක් ළඟින් වාඩි උනා.ඒකත් FOOTBORD එකේ යනවා වගේම ආතල් කෝච්චිය කොළඹින්ම විනාඩි 15 ක් විතර පරක්කුයි ඒත් රාත්‍රී 7.30 ට ගාල්ල දුම්රිය ස්ථානයට සේන්දුවුනා.

ඔන්න මම ගෙදර......................

Tuesday, January 6, 2009

විරහ ගීතය

මගෙ Linux ලෝකයේ තනිවූ මෙමා
Windows හමුවේ නැත හිස නමා
යම් දිනක Windows ගන්නෙමි නමා
මට දුක හිතෙන්නේ Bill ගැන තමා

මේක මගේ තරිඳු(මෂියර් කියලයි කැම්පස් එකේ දන්නෙ) කියල යාළුවෙක් මූනු පොතේ දාල තිබුන සිංදුවක්. උගෙ අදහස මම ලියන එක හරිද මන්දා.බුද්ධිමය දේපල පනත යටතේ නඩු දායිද දන්නෑ මට. කමක් නෑ කවුද ලිව්වෙ කියල කිවුවනෙ.

Sunday, December 14, 2008

අපේ Assignment කෙරුවාව

හෙට ලිනක්ස් Assignment එක. අද අපේ බෝඩිමට තව කොල්ලො දෙන්නෙක් ඇවිත් ලිනක්ස් කුප්පියක් දාගන්න. මම ලිනක්ස් ටිකක් අත පත ගාන නිසා මට පොඩි දැනීමක් ඒ ගැන තියනවා. අද ඉතින් නිදා ගැනීමක් නෑ හැමෝම නිදා ගන්නකම්. උන්ට කුප්පිය දාන්නත් මට commands සේරම මතක නෑනේ. ලෙක්චර්ස් ගියාට මොකුත් ලියා ගන්නෙත් නෑනේ. කෙල්ලෙක්ට කතාකරලයි ඒ ටික අහ ගත්තෙ. කොහොම හරි උදේට Assignment නුත් ලියනවා. ඔන්න ඔහොමයි අපේ වැඩ.

Tuesday, December 9, 2008

අපේ ශ්‍රමදානය

UCSC පළමු වසර ශිෂ්‍යයින් කරන ශ්‍රමදානය මේ පාර 6 වෙනි Batch එක විදිහට අපි කලා. මේක අද නෙමෙයි කලේ ගිය නොවැම්බර් 29 වෙනිදා. UCSC එක කියන්නෙ අපිට දැන් ගෙදර වගේ. එතනට අපෙන් වෙන්න ඕන වගකීමක් ඉෂ්ඨ කලා කියලයි මට හිතෙන්නෙ.

කැන්ටිම එහා පැත්තෙන් යන පාර වැහි දාට එක මඩ වගුරක්. එකෙ වලවල් වලට ගල්, සිමෙන්ති කෑලි දාලා තලලා ඊට උඩින් පස් දාලා ආපහු චිප් ගලුත් දැම්මා. ඒකට මාර කට්ටක් කන්න උනා.(තැලීමේ යාන්ත්‍රණයෙදි මගෙ කනත් තුවාල උනා )කොහොම හරි වැඩේ කොලිටියට ඉවර කලා. වැඩේ ඉවර වෙනකොට අපේ එකෙක් කියනවා "මෙක දැක්කම බඩ පිරෙනව බන්" කියල. ඒ වගේ සන්තෝසයක් වෙන කොහොම ලබන්නද?

Medical Center එක ගාව තියන උද්‍යානයත් තණකොළ කපලා අළුත් පච බංකු කීපයක් දැම්මා(ඒ උද්‍යානය හදල තියෙන්නෙ අපෙ ජේ‍යෂ්ඨ අයියලා). තව වැඩ ගොඩක් කලා. මේ වැඩේට Batch එකම හවුල් උනා කවුරුත් වැඩ කලා අන්තිමට අපේ මහන්සියේ ප්‍රතිඵල දැක්කාම අපි මෙහෙම දෙයක් UCSC එක වෙනුවෙන් කලා කියල මාර සතුටක් දැනුනෙ.

කැම්පස් ගිහින් පිල් කීපයකට බෙදිලා ගුටි කෙළ ගන්නවට වඩා මේවගේ දෙයක් කරන එක කොච්චර හොඳද? ඇඟේ අමරුවයි හිතේ අමාරුවයි වෙනුවට ඇඟේ අමාරුවත් අමතක වෙන සතුටක් හිතට ඉතුරු වේවි.