Tuesday, May 19, 2009

ලක් මවුනි ඉතින් ඔබ නිදහස්........



ඝාතකයා ඝාතනය වී ඇත. මුළු මහත් ශ්‍රී ලංකාවක් බලාපොරොත්තුවෙන් සිටි ඒ ආරංචිය අද මධ්‍යාහ්නයේදී අපට අහන්නට ලැබුනා. වසර 30කට ආසන්න කාලයක් මිනිසුන්ගේ ලේ රස බැලූ ඒ මලේච්ඡයාගේ සිරුර හමුදාව විසින් සොයා ගත්තා. ඇත්තෙන්ම ප්‍රභාකරන් මිය ගිය බව ඊයේ ආරංචි උනත් සමහරුන්ට ඒක විස්වාස කරන්න බැරි උනා. ඔය කිව්වට මිනිය පෙන්නුවෙ නෑනෙ උන් කිව්වෙ එහෙමයි. සමහර සිංහල මිනිස්සුන්ටත් රටේ ජයග්‍රහනයක් විඳගන්න බැරි වීම හරි පුදුමයි. ඇත්තෙන්ම උන් ඉපදිලා තියෙන්නෙ මේ ලංකාවෙද කියලත් හිතෙනවා.

අද පාරට බැහැපු තැන ඉඳල හැම තැනම දැක්කෙ ජාතික කොඩි. හැම ගෙදරකම කාර්යාලයකම වගේ ජාතික කොඩියක් ඔසවලා තිබුනා. හැම වාහනේකම වගේත් ජාතික කොඩිය. ඒ ජාතික කොඩියෙ වෙනසක් තියනව කියල මට හිතුන. ජාතික කොඩියෙ ඉන්න සිංහයා වෙනදට වඩා ගාම්භීර විදිහට අභිමානවත් විදිහට ඉන්නව කියල හිතුන. ජාතියක් රටක් වශයෙන් අපි ලැබූ ජයග්‍රහනයෙන් හිතේ තිබුනු අභිමානයේ ප්‍රතිබිම්බය වෙන්න ඇති මම ඒ දකින්න ඇත්තෙ.

මතකද අපේ ජනාධිපතිතුමා පත්වෙච්ච කාලය? ලංකාවෙන් 1/4ක් පමණ කොටි ග්‍රහනයෙයි තිබුනෙ. සාම කතා කියල කරපු විකාරයකින් ඒ භූමිය ඔවුන්ට නීත්‍යානුකූලව දිලයි තුබුනෙ. අපේ හමුදාව කඳවුරු වලට සීමා කලා. හැබැයි කොටි පෝෂණය උනා. ආයුධ එකතු කරගත්තා පිරිස් බලය මුදල් එකතු කරගත්තා. කර්නල් මුතාලිෆ් කර්නල් මිඩීන් වගේ හමුදාවෙ දක්ෂම නිළධාරීන් මරල දැම්ම මතකද? යුධ හමුදාවෙ බුද්ධි අංශ නිළධාරීන් 150ක් විතර ඝාතනය උනා. තව අවුරුදු 2ක් ඔය විරාමය තිබුනා නම් මොකද වෙන්නෙ. එහෙනම් සිංහල රටක් අද නෑ මතක තියා ගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙච්ච වෙලාවෙ දියසෙන් කුමාරය පහල උනා කියල සමහරු කිව්ව රට මේ උවදුරෙන් ගලව ගන්න. ඔහු කිව්ව ඒ කාර්යය කරන බව. මිනිස්සු ඒකටයි ඔහුව ජනාධිපති කලේ. ඇත්තෙම්ම ඔහු ඒ දේ කලා. නායකයින් ගණනාවකට කරන්න බැරි වෙච්ච දේ ඔහු කලා. කොහොමද ඒ.

නියම තැනට නියම පුද්ගලයා පත්කලා.යුධ හමුදාපති නාවික හමුදාපති ගුවන් හමුදාපති ඒ තනතුරු වලට සුදුසුම පුද්ගලයින්. ඒ සුසංයෝගය මේ ජයග්‍රහනයට එක් හේතුවත්. වෙනදා මේ හමුදාවන් ක්‍රියාත්මක උනේ හමුදාවන් තුනක් වගේ. ඒත් මේ පාර ඔවුන් එකට එකා වගේ ක්‍රියාත්මක උනා. පාබල සේනාංක වලට ඉදිරියට යන්න අසීරු ස්ථාන වලට ගුවන් ප්‍රහාර ඒල්ල කරල සහය දුන්නා. මුල්ලයාලි වෙල් යායෙදි කොටින්ට කොටු වෙන්න ගිය හමුදා කණ්ඩාමක් බේර ගන්න M.I.24 හෙලිකොප්ටර් නියමුවෙක් කරපු වික්‍රමය අපිට මතකයි. යානයට ගුවන් යානා නාශක අවි කිහිපයකින්ම ප්‍රහාර එල්ල උනත් අමාරුවේ වැටී හිටිපු සහෝදර සෙබළු දාල යන්න නියමුවා කැමති උනේ නෑ. යානයට උන්ඩ 21 වැදිල නියමු කුටියෙන් දුම් දානකම් ඔහු කොටි බංකර් වලට ප්‍රහාර එල්ල කරමින් පාබල සෙබළුන්ට බේරෙන්න අවස්ථාව හදල දුන්න. පාරක් මුලත්ව් කැලේ දිගු දුර ප්‍රහාරයකට ගිහිල්ල තුවාල ලබපු කමාන්ඩෝ සෙබළු කණ්ඩායමක් ආපහු ගන්න කොටි ප්‍රදේශයට ගිහිපු ගුවන් නියමුවො දෙන්න අපිට මතකයි. ඒ සහයෝගය තමයි අපේ ජයග්‍රහනයට හේතු උනේ. කොටින්ට ආයුධ සපයපු නැව් 10ක් මූදු බත් උනේ නිකම්ම නෙවෙයි. ඒ අපේ නාවික හමුදාවෙ විශිෂ්ඨත්වය.

මුලු රටේම මිනිස්සු බඩ ගැන නොසිතා රට ගැන හිතල දීපු සහයෝගයත් මේ ජයග්‍රනයට තව හේතුවක්. ආහාර වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කොච්චර ගණන් ගියත් මිනිස්සු යුද්ධයට සහය දුන්න. තවමත් අපේ සමහර නායකයො තේරුම් නොගන්න සත්‍ය ඒකයි.

මේ දේවල් සාර්ථකව සිද්ධ වෙද්දි අපේම සමහර සිංහල මිනිස්සු පෞද්ගලික වාසි වලට එක එක ප්‍රකාශ කලා. හමුදාව කිලිනොච්චි කියල මැදවච්චි යන්නේ අලිමංකඩ කියල පාමංකඩ යන්නේ. මන්ත්‍රී කෙනෙක් කියන එක්තරා හරකෙක් එහෙම කිව්ව. හමුදා සෙබළු ලේ දහඩිය අතපය ජීවිත කැපකරල ලබාගන්න ජයග්‍රහනයට ඒ නරුමය අපහාස කලේ එහෙමයි. ඕක කියපු එකා අහුවුනොත් මම ඕකගේ කටට වෙඩි තියනව එක් සෙබලෙක් කියල තිබුන. ඒ මිනිස්සුන්ට කොච්චර වේදනාවක් දැනෙන්න ඇත්ද? ඇයි ඔවුන් හමුදාවට ගිහිල්ල රුපියල් 25000 විතර පඩියකට ජීවිතේ පූජා කරන්නෙ. ඔය වගේ කතා කියපු එවුන්ට ඒවට දඬුවම් මේ ආත්මෙදිම ලැබේවි.

අන්තිමට කොටි පරාද වීගෙන යද්දි අමාරුව හැදිච්ච තව කොටසක් හිටිය. අර අන්තර්ජාතික ප්‍රජාව කියල කියන්නෙ.මෙච්චර කල් කොටි බෝම්බ වලින් සිය ගනන් මිනිස්සු මැරෙද්දි දෙමළ ලමයි කොටි හමුදාවට පැහැරගෙන යද්දි ඇහැක් ඇරල නොබලපු අය හඬා වැලපෙන්න ගත්ත. අන්තිම මොහොත වෙනකනුත් මහ කොටියව බේර ගන්න කියල එංගලන්තෙන් ඇමරිකාවෙන් ආපු පාහර සුද්දො කොච්චර උත්සාහ කලාද? මේ යක්කු අනුන්ගෙ ඇහේ තියන පොල් කෙන්ද හොයන්න එන්නෙ තමන්ගෙ ඇහේ තියන පොල් පරාලෙ දකින්නෙ නැතුව. අති නවීන තාක්ෂණය ඔක්කොම තියන ඇමරිකාව පහුගිය දවසෙ ඇෆ්ගනිස්තානෙ කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාරයක් එල්ල කරපු හැටි දැක්කනේ. සාමාන්‍ය මිනිස්සු 140ක් විතර මැරුන ඒකෙන්.පස්සෙ හිලරි ක්ලින්ටන් එහෙමත් අත්වැරදීමක් කියල අතපිහිද ගත්ත. ඔය මානව හිමිකම් කාරයො උන්නද මලාද දන්නෙ නෑ ඒ දවස් වල. අපේ ගුවන් හමුදාව අවුරුදු ගානක් පරණ යානා වලින් හරියටම ඉලක්කෙටම ප්‍රහාර එල්ල කරනව. වැරදිලාවත් අර වගේ සිවිල් වැසියො මැරුන නම් මෙහේ ඔක්කොම ටික යුධ අධිකරණෙට ගෙනිහිල්ල. සමහර වෙලාවට ආධාර දෙන්නෙ නෑ කියල ජනාධිපතිතුමා බය කරන්නත් හැදුව.මගේ ජනතාවට කන්න දෙන්න මම හඟාකන්නෙ නෑ. උඹලගෙ ආධාර උඹලම තියාගන්න. ඒ වගේ බලපෑම් වලට නැවෙන්නෙ නැතිව ජනාධිපති තුමා කරපු ක්‍රියාදාමය ප්‍රශන්සනීයයි. ඇමරිකාවෙන් බාධා කරත් ඔහු කොන්ද කෙලින් තියාගෙන වැඩ කලා. ඒ පෞරුෂය හමුදාවට වගේම රටටත් ලොකු ධෛර්යයක් උනා. කොටි සාමාන්‍ය මිනිස්සු යුධ මුක්ත කලාපෙ හිර කරගෙන හිටපු වෙලාවෙ ඇමරිකාවෙ යුධ විශේෂඥයො දෙන්නෙක් ඇවිත් බලල කිව්වලු මේ තත්වය උඩ මෙහෙයුමකින් මිනිස්සු බේරගන්න බෑ කියල. ඒත් අපේ යුධ හමුදාපතිතුමාගෙ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා වගේ අයගේ සැලැස්මෙන් ඔක්කොම මිනිස්සු බේරගත්ත. ඒ කියන්නෙ අපේ වීරයො ලෝකෙ ඉන්න විශිෂ්ඨම හමුදා වීරයෝ කියන ඒක නේද? සරත් ෆොන්සේකා මැතිතුමා මගේ පාසල වෙන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙ ආදිශිෂ්‍යයෙක් කියල මේ වෙලාවෙ මතක් කරන්නෙ බොහොම ආඩම්බරයෙන්.

දැන් අන්තිමට මස්වැද්ද උගේ සගයො ටිකත් එක්කම වල පල්ලට ගියානෙ. රටින් පැන්නයි කියපු චාල්ස් ඇන්තනිත් වෙඩි කෑව. අපේ නාවික හමුදාව එක කොටියෙකුටවත් රටින් පනින්න නොදීපු බව මේකෙන් තේරෙනව. තාමත් පිටරට ඉන්න දෙමල හැත්ත නහින්න හදනට මෙහේ දෙමල මිනිස්සු මරනව කියල. උන් දැන් බය වෙලා ඉන්නෙ ලංකාවෙ යුද්දෙ ඉවර නිසා දේශපාලන රැකවරණ යටතේ ඉන්න උන්ට ආපහු ලංකාවට එන්න වෙයි කියල. උන් දන්නෙ නෑ උන්ගෙ නෑදෑයො බේරගන්න ගිහිල්ල තමයි අපේ හමුදාවෙ සෙබළු මැරුනේ කියල. මිනිස්සුත් මරන්න ඕන නම් යුධ මුක්ත කලාපෙ වට කරලා මල්ටිබැරල් අවි 14 තියල පැය භාගයක් ගැහුව නම් ප්‍රභාකරනුයි ඔක්කොම ඉවරයි. එහෙනම් අපේ කොල්ලො මැරෙන්නෙත් නෑ. හමුදාවට බර අවි ඔක්කොගෙන්ම ගහල අඩිය අඟලට තලන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම නොකලෙ සාමාන්‍ය මිනිස්සු බේර ගන්න ඕන නිසා.

කොහොම හරි ලක් මව දැන් සම්පූර්ණයෙන්ම නිදහස්. මෙච්චර කාලයක් අපේ රටේ සංවර්ධනයට තිබිච්ච ලොකුම බාධාව ඉවරයි. දැන් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපේ කාලයේදීම තව යුද්ධයක් කරමු. ඒ යුද්දෙ තමයි රට සංවර්ධනය කිරීම. මේ රට දියුණු රටක් කරන්න අපිට පුළුවන් ඒ වෙනුවෙන් හැමෝම එකතු වෙලා වැඩ කරමු. මවුබිමට මේ ජයග්‍රනය ලබාදෙන්න තමන්ගේ ජීවිතය පූජා කල අතපය අහිමි කරගත් දාඩිය හෙලූ ඒ උතුම් මිනිසුන්ට මේ සටහන උපහාරයක්ම වේවා...........

මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදේවා
විරුවන් මළ රණ බිම මත්තේ....


Sunday, May 10, 2009

Ubuntu අයිසිං කිරීම (2 කොටස)-Compiz Fusion


මොකද්ද මේ Compiz Fusion කියන්නෙ. Compiz Fusion කියන්නෙ Compiz කියන composite window manager එකෙත් Beryl නම් ව්‍යාපෘතියේත් එකතුවක්. මේකෙන් කරන්නෙ පරිශීලකයාම භාවිතා කිරීමට පහසු විනෝදාත්මක කවුළුමය වටපිටාවක්(windowing environment) නිර්මාණය කරන එක. තවත් මේක ගැන කියනවනම් මේක open source ව්‍යාපෘතියක්. ඒ නිසා ඔබටත් මෙහි දියුණුවට දායකත්වය දැක්විය හැකියි.තවත් කිව යුත්තක් නම් Compiz Fusion යනු Compiz නොවේ. නමුත් Compiz Fusion හි හරය Compiz ය. Compiz වලට තවත් functionalities,pugins,tools සහ libries එක් කරයි Compiz Fusion නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ඇති විශේෂත්වයක් නම් අවම hardware අවශ්‍යතාවන්ගෙන් ඉතා විශිෂ්ඨ ත්‍රිමාන පරිසරයකි නිර්මාණය කිරීමයි. සාමාන්‍යයෙන් 64MB වීඩියෝ මතකයකත් මෙම මෘදුකාංගය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

Compiz Fusion install කර ගැනීම

මුලින්ම ඔබේ පරිගනකයේ graphic drivers ඇතුලත් කර ක්‍රියාත්මකව ඇත්දැයි බලන්න.

1.Applications-->Add/Remove Applications වලට යන්න.
2.Compiz යනුවෙන් සඳහන් කර search කරන්න.
3.ලැබෙන ප්‍රතිපල වලින් Advanced Desktop Effects Settings (ccsm) හා Compiz Fusion Icon ඉදිරියේ tick mark එක දමා Apply Changes Click කරන්න.
නැත්නම්

1.System-->Administration-->Synaptic Package Manager වෙත යන්න.
2.Compiz යනුවෙන් සඳහන් කර search කරන්න.
3.Compiz යන්න ඉදිරියෙන් tick කර Apply කරන්න.
දැන් Compiz Fusion ඔබේ පරිගනකයේ ස්ථාපිත වේවි. ඔබට System-->perparances-->Advanced Desktop Effect Settings වලට ගොස් ඔබට අවශ්‍ය plugins active කිරීම කල හැකියි.

Compiz Fusion plugins

ඉහත කවුළුවට ගිය විට ඔබට plugin විශාල ප්‍රමානයක් දැකිය හැකියි. මේ එයින් ප්‍රසිද්ධ කීපයක් ගැන විස්තර.

1. Desktop Cube
Ubuntu හි ඔබට workspaces කිහිපයක් පවත්වාගෙන යාමය හැකියි. මෙය Desktop කිහිපයක් තබා ගැනීමට සමානයි.එක් Desktop එකක අවශ්‍ය සියළුම windows තබාගෙන වැඩ කිරීම වෙනුවට ඒවා workspaces කිහිපයක් තබාගෙන පහසුවෙන් වැඩ කල හැකියි. gnome desktop එකේ දකුණුපස පහල(හො ඉහල) ඔබේ දැනට ඇති workspaces සංඛ්‍යාව පෙන්වන අතර right click කර preferences යාමෙන් workspaces ප්‍රමාණය වෙනස් කල හැකියි. මෙම desktop cube මගින් ඔබට එම workspaces cube එකක හතර පැත්ත ලෙස පෙන්වනවා.cube rotation නම් අයිතමයත් ක්‍රියාතමක කල විට මේ cube එක කරකැවිය හැකියි.(උඩ සහ යට හැර අනෙක් හතර පැත්ත).මේ සඳහා අවම workspaces 4ක් වත් අවශ්‍යයි. මේය සාමාන්‍යයෙන් Ctrl+Alt+LMB කර drag කිරීමෙයන් ලබාගත හැකියි. ඔබ drag කරන දිශාව අනුව cube එක බ්‍රමණය වේවි. මෙහි අලංකාරත්වය වන්නේ එක් workspace එකක වීඩියෝ එකක play වන අවස්ථාවක වුවද cube එක බ්‍රමණය වන අතර තුරදීද එම වීඩියෝ දර්ශනය play වීමයි. තවද cube reflection නම් අයිතමය ක්‍රියාත්මක කල විට cube එක mirror එකක් උඩ බ්‍රමණය වන ලෙස පෙනේවි.

2.Ring Switcher
මෙය තවත් ඉතා අලංකාර plugin එකක්.මෙයින් ඔබේ විවෘත කර ඇති කවුළු(එම workspace එක තුල) මුදුවක හැඩයට මාරු කිරීමේ හැකියාව ලබා දෙනවා. මෙය ක්‍රියාත්මක කර Windows key+Tab press කල විට දැනට විවෘත කර ඇති කවුළු මුදුවක හැඩයට පෙන්වන අතර (Windows key එක ඔබාගෙන සිටිය යුතුයි) Tab එක එබීමේදී එම කවුළු දක්ෂිණාවර්තව බ්‍රමණය වනවා. නැවත Windows key එක අතහරින විට පහලම තිබුනු කවුළුව ඉදිරියට ගෙන දක්වනවා. Shift Switcher
ද මේ ආසන්නම හැසිරීමක් දක්වන අතර එහිදී කවුළු තිරස් තලයක බ්‍රමණය කර පෙන්වනවා.

3.Aimations සහ Mininize Effects
ඔබ කවුළුවක් විවෘත කරන විට හෝ වසාදමන විට හෝ minimize කරන විට මොකද වෙන්නෙ. ඒක නිකම්ම වැහිල යනවද? ඒකට අලංකාර effect එකක් එක් කර ගැනීමට කැමතිද? මේම plugins දෙක මගින් එම කාර්ය කර ගත හැකියි.මුලින් Animations නම් plugin එක මුලින් activate කරන්න. ඊළඟට Minimize Effect active කර එය තුලට යන්න. එවිට Close Animation ,Open Animation, Minimize Animation ලෙස tabs දැකගත හැකියි. ඔබට කවුළුවක් වසන විට effect එකක් යෙදීමට උවමනා යයි සිතමු. Close Animation ටැබයට යන්න.එහි Animation Selection යටතේ විවිධ කවුළු වලට(Normal,Menu,tooltip ලෙස) යොදා ඇති effect පෙන්වනවා. සාමාන්‍ය කවුළු වලට effect එකක් දැමීමට නම්. එම පේල්ය තෝරා එතනම ඇති button වලින් edit තෝරා ලැබෙන කවුළුවේ ඇති close effect නම් drop down list එකෙන් ඔබට අවශ්‍ය effect එක තෝරන්න. උදාහරණයක් ලෙස ඔබ burn effect එක තේරුවා යයි සිතමු. ඔබ සාමාන්‍ය කවුළුවක් close කල විට එය ගින්නෙන් දැවී යන ආකාරයක් පෙන්වාවි. මේ අකාරයෙන් අනෙකුත් ඒවා සඳහාද වවිධ effect යෙදිය හැකියි.(ලාම්පුවෙන් මතුවන ලෙස. දියවී යන ලෙස)

3.Water effect
මෙය ඇක්ටිව් කර Shift+F9 එබීමෙන් තිරය මතට වර්ශාවක් පතිත වන ආකාරයේ effect එකක් දැකිය හැකියි.

4.Paint Fire On the Screen
මෙය ඇක්ටිව් කර key stroke එකක් යෙදීමෙන් පසු එම keys ඔබාගෙන මවුස් drag කිරීම මගින් තිරය මත ගින්නෙන් පින්තාරු කල හැකියි.

5.Window Preview
එකම වෙලාවේ විවෘත කර ඇති window වල කුඩා thumbernil view එකක් taskbar එකේ එම කවුළුව උඩට මවුසට ගෙන යාමෙන් ලබා ගත හැකියි.
මෙවැනි plugins විශාල ප්‍රමාණයක් Compiz Fusion හි අඩංගු අතර ඒ සියල්ලම විසිතර කිරීම ප්‍රායෝගික නැත(දැන් මට පට්ට මහන්සිය. ටයිප් කර ඇඟිලි ද රිදේ). Compiz Fusion ස්ථාපිත කරගෙන ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් මෙහි ඇති තවත් විශාල effect සංඛ්‍යාවක් භාවිතා කරන අන්දම ඉගනගත හැක.

ඊළඟ කොටසින් emerald ගැන බලාපොරොත්තු වන්න.

Friday, May 8, 2009

කාලකණ්නි බස්



කාලකණ්නි කියන්නෙ කාලය කාදමන කියන එකටනේ. මේ කියන්නෙ කාලය කා දමන බස් ගැන.

ඊයෙ කැම්පස් එකේ උදේ ධර්ම දේශනාවක් භාවනා වැඩසටහනක් හා හවස භක්ති ගීත ගායනා වැඩසටහනක් සංවිධානය කරල තිබුන. මමත් ගීතයක් ගායනා කලා. ගිලෙම් ඔබේ ගුණ මූදේ කියන පණ්ඩිත් අමරදේව මහත්මයා ගායනා කරන ගීතය. මගේ උපරිමයෙන් මම ඒ සිංදුව කිව්වා ඒකෙන් සිංදුවට අසාධාරනයක් එහෙම උනානම් සමාවෙන්න ඕන. මේ වැඩසටහන ඉවර උනේ හවස 4.20ට විතර. මම දඩබඩ ගාලා සරම කමිසය මාරු කරලා අයිතිකාරයොන්ට දීල(සරම කමිසය දෙකම යාළුවොන්ගෙන් ණයට ගත්තෙ) ගෙදර යන්න පාරට බැස්ස. මම කලින් හිතාගෙන හිටියෙ සාගරිකා කෝච්චියට කොහොම හරි යනව කියල. ඒත් පාරට බහින කොටත් 4.40යිනේ. කෝච්චිය මරදානෙන් පිටත් වෙන්නෙත් 4.40ට. කොටුවට ගිහිල්ලත් අල්ලන්න බෑ වෙලාව මදි. ඊළඟට තියෙන්නෙ සමුද්‍ර දේවී කාර්යාල දුම්රිය. ඒක අළුත්ගමින් පස්සෙ මන්දගාමී. ඉතින් අකමැත්තෙන් හරි බස් එකේ යන්න කල්පනා කරලා. කැම්පස් එක ගාවින් නැග්ගොත් ඉතින් හිටගෙන අර කියමනට කියන්නෙ අල්ප "ද" යන්න වගේ කියල අන්න එහෙම තමයි යන්න වෙන්නෙ. මතක් වෙනකොටත් ඔළුව කැරකෙනව. එහෙනම් කොටුවට ගිහිල්ල වාඩිවෙන කියල ගියා කොටුවට. මාතර බස් වලට මාර පෝලිම බස් 3ක් වත් යනකම් බස් එකට ගොඩවෙන්න බෑ ඒ පෝලිමේ ඉඳල. ගාල්ල බස් පෝලිමේ සෙනඟ ටිකක් අඩුයි. ඒක නිසා මම ඒකට ගියා. ඔන්න එතකොටයි දැක්කෙ පහන් අයිය,දමිත් අයිය සහ අපේ තව senior අයිය කෙනෙක් මාතර බස් පෝලිමේ ඉන්නව. දැන් පහන් අයිය මට අඬගහනව මේකට වරෙන් කියල. ඒගොල්ලො නම් පෝලිමේ මුල හරියෙ එවෙලෙ පෝලිමට ගිහිල්ල ඒ බස්එකේ යන්න බැරි නිසා මම කිව්ව කමක් නෑ මම මේකෙ එන්නම් කියල. කොෙහාම හරි ගාලු බස්එකට නැගල.තවත් වරුවක් හිටියට පස්සෙ තමයි බස්එක පිටත් උනේ.වෙලාව 5.45යි. මතක තියාගන්න. ඔන්න ඉතින් බස් එක යනව මොරටුවට විතර යනකම් හැම හෝලට් එකක්ම වගේ නෑර නවත්තලා "අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල" කිය කිය සෙනඟ එකතු කරා.දැන් බස් එකේ සූ ගාලා සෙනග. හිටගෙන ඉන්න මිනිස්සුන්ට ඉන්න ඉරියව්ව වෙනස් කරල අනෙක් පැත්තට හැරෙන්නත් බෑ. ඔය අස්සෙ ඩයිවරයා බස් එක නවත්තල කියනව.foot board එකේ අය වැටෙයි ඒගොල්ලො පව් කියල තව කොහොම හරි පොඩ්ඩක් පස්සට යන්නලු. ආයෙ ඊළඟ හෝලට් එකේ නවත්තලා තව කීප දෙනෙක් නග්ග ගන්නවා. කොහොමින් කොහොමින් හරි බස් එක කළුවතරට එනකොට කීයද දන්නවද වෙලාව. 7.45යි. පැය දෙකක්. සීඝ්‍රගාමී කෝච්චයක නම් උපරිම විනාඩි 40යි මරදානෙ ඉඳලම කළුතරට. මොන දෙයියන්ට කියන්නද? ඒ අස්සෙ මගේ කොන්ද රිදෙන්න අරගත්තා. දුර ගමන් සේවා බස් වල තියනවනේ සැපපහසු ආසන එක පැත්තක සීට් 3යි අනෙක් පැත්තෙ 2යි විදිහට. වාඩිවෙලා ඉන්න එකත් ඒ විදිහටම ඉන්න ඕන පොඩ්ඩක් හරිබරි ගැහෙන්නවත් බෑ. දනිස් දෙක ඉස්සරහ සීට් එකේ වදිනවා. අන්තිමට මම ගාල්ලෙන් බස් එකේන් බහින කොට වෙලාව 9.35යි. ආසන්න වශයෙන් පැය 4ක් ගතවෙලා. මෙතන ඉඳලා උළුවිටිකෙට යන්නත් එපැයි. 9.30 බද්දෙගම බස් එකත් ගිහිල්ලා. මොනව කරන්නද ඉඳලා 10 බස් එකේ ගිහිල්ල ගෙදර යනකොට 10.30 විතර වෙලා. හොඳ ගනන්.

අද උදේ පහන් අයියා online ඉන්නව දැකල මම චැටක් දැම්ම.මෙන්න බලන්න.

(16:10:34) ravindasenarath@gmail.com/Home: මාතර එකේ ඇවිල්ලත් අන්තිමට 10 බස් එකේනෙ යන්න උනේ
(16:10:42) ravindasenarath@gmail.com/Home: 9.30 මිස් උනාද?
(16:12:54) පහන් අයියා: ????????
(16:13:11) ravindasenarath@gmail.com/Home: ගාල්ලට එනකොට වෙලාව කීයද?
(16:13:12) පහන් අයියා: හ්ම්
(16:13:16) පහන් අයියා: උඹත් 10 නේද ගියේ
(16:13:29) ravindasenarath@gmail.com/Home: ඕගොල්ලො මට කලින් ආවනේ
(16:13:34) පහන් අයියා: මහ චාටර් බස් එකක් බං ඒක
(16:14:17) ravindasenarath@gmail.com/Home: හෆෝයි මම නම් ඊයෙ කාපු කට්ට මතක තියනකං බස් එකේ ගෙදර එනේනෙ නෑ
(16:15:56) ravindasenarath@gmail.com/Home: 5.15ට සමුදූ දේවී එකේ නැග්ග නම් 8.30-8.45 වෙනකොට ගාල්ලෙ.
(16:16:10) පහන් අයියා: සිරාවට බං
(16:16:34) පහන් අයියා: 5.45ට බම්බා ඇවිත් නගින්න තිබ්බ
(16:17:10) පහන් අයියා: මටත් ඊයේ එපා උනා බං


කලින් ඇවිල්ලත් මිනිහත් අන්තිමට ගෙදර ගිහිල්ල තියෙන්නෙ මම ගිහිපු බස් එකේමයි. මම අද දුම්රිය දෙපාර්තමෙන්තුවේ සයිට් එකට ගිහිල්ල බැළුව හවසට ගාල්ල මාතර යන කොච්චි ඒව ගාල්ලට එන වෙලාවත් එක්ක. ඔන්න බලන්න.
5.25ට පිටත් වෙන මන්දගාමී කොච්චියත් 9.10ට ගාල්ලට එනව. අපි සීඝ්‍රගාමී බස්එකේ 5.45ට කොටුවෙන් පිටත් වෙලා ඊට තවත් පැය භාගෙකට පස්සෙ ගාල්ලට එනව. කොහොමද කාලකණ්නි කම?

Tuesday, May 5, 2009

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ


සති කීපයකින් බ්ලොග් එක ලියන්න උනේ නෑ. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි තියන වැඩ කන්දරාව නිසා වෙලාවක් නෑ. කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිල. ඒ කිව්වෙ අධ්‍යයන වැඩ. Algorithm කියල තියනව subject එකක්. අපට තියන subject වලින් මම කැමතිම එක. ජාව එහෙම සම්බන්ධ නිසා programming තියන කොට කරන්න ආසයි. පළවෙනි පාර lecture එකේදි අහන කොට නම් මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ. Assignment දීල code ලියන කොට අපූරුවට තේරෙනව. ආයෙ තියනව DBMS දන්නවනේ DataBase Management Systems ඒකත් එච්චරම අවුලක් නෑ. ER Diagram අඳින්න තව SQL එහෙම තියෙන්නෙ.අනෙක් subject දෙකේ නම් lecture ගිහිල්ල ගොඩක් වෙලාවට කරන්නෙ නිදාගන්න එක තමයි. අනේ හිතල නිදා ගන්නෙ නෑ. lecture එකට ගිහිල්ල විනාඩි 15ක් විතර යනකොට දන්නෙම නැතුව නින්ද යනව. lecture විතරක් තියනවනම් අවුලක් නෑ. විභාගෙ කට උඩට එනකම් ඉන්න පුළුවන්. කොහෙද මේ Assignment දෙනවනේ පෝලිමට. අද වෙනකොට Assignment 4ක් තියනව. Algo take home එකයි, DBMS සහ S.E group assignment 2යි. ලබන සතියෙ maths inclass එකයි. හෆෝයි එපා වෙනව.ඒ අස්සෙ මේ දවස් වල කට්ටිය වෙසක් එකට කැම්පස් එකේ කූඩු හදනව. තව භක්ති ගීත එහෙමත් තියනව. මටත් තියනව ගීතයක් කියන්න. මේකත් මේ algo assignment එක කරන ගමන් කොටල දාන්නෙ මොනව හරි ලියන්න ඕන නිසා. Ubuntu අයිසිං කිරීම 2කොටස ලියන්නත් ඕන. ඉක්මනටම ලියන්න උත්සාහ කරන්නම්. එහෙනම් නවතිනවා. හැමෝටම තෙරුවන් සරණයි.

Sunday, April 26, 2009

සුභ මංගලම්


මම මේක ලියනවද නොලියනවද කියල කීප පාරක් කල්පනා කරලයි මේ ලියන්නෙ. මේක ලියල මට විසුමක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ. ඔන්න ඕන බම්බුවක් වෙච්චාවෙ කියල ලිව්ව.

අපේ බැච් එකේ 7වෙනි කපල් එක ගිය සතියෙ ගොඩ ගියා. ගොඩ ගියා කියල කැම්පස් භාෂාවෙන් කියන්නෙ කෙල්ලෙක් සහ කොල්ලෙක් යාළු වීම නැත්නම් පෙම්වතුන් වීම. මේ අළුත්ම කපල් එක තමයි සාරංග(කල්ලා) සහ නිලූෂි(මැගී). කැම්පස් එකේ ගොඩ ගියාම විශේෂ චාරිත්‍ර එහෙම තියනව ඉෂ්‍ඨ කරන්න. කොල්ලට කෙල්ල ගාව දණගහල ප්‍රේමය ඉල්ලා සිටින්න එහෙම වෙනව. තව දිව්රුම් දෙන්න එහෙමත් වෙනව. නියම කරපු දේවල්ම කියල නෑ එවෙලෙ කට්ටියගෙ ඔළුවට එන දේවල් අරුන් දෙන්නට කියල කරවනව. වද දෙනව හිංසා කරනව එහෙම නෙමෙයි අපේම එවුන් ආතල් එකටයි කරන්නෙ. මේ කියන ඒව අළුත් කපල් එක කරන්න ඕන.
ඔය පිටිපස්සෙන් තියෙන්නෙ පාමසෝලයා A.K කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගහ.

ඔය ප්‍රශ්න ඇහිලි අනම් මනම් වලින් පස්සෙ තමයි බකට් එක තියෙන්නෙ සාමාන්‍යයෙන් බකට් කරන්නෙ කොල්ල විතරයි. තව බකට් වෙන්න කොල්ල නිකම්ම ඇවිදගෙන යන්නෙ නෑ. පෙලක් අය නට නට යනව. සමහරෙක් අය කරපිටින් යනව. එහෙම අරගෙන යන්නෙ M.C එක ගාව තියන ටැප් එක ලඟට. M.C එක කිව්වෙ Majestic City එහෙම නෙමෙයි අපි M.C කියන්නෙ Medical Centre එකට. දැන් ඉතිං මනමාලයව ටැප් එක ගාව වාඩි කරල ස්නානය කරවනව. හික්ස්. නිකම්ම වතුරෙන්ම විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට විශේෂ ද්‍රව්‍ය කවලම් කරල හදා ගත්තු මිශ්‍රනයකුත් පාවිච්චි කරනව. මේ වෙලාවට ඉතිං මනමාලයට විරෝධය දැක්වීම තහනම්. බකට් එකෙන් පස්සෙ ඉතිං මනමාලය කොච්චර ලස්සනද සුවඳද කියල කියන්න ඕන නෑනෙ. මිනිහව බස්එකේ යන්න පුළුවන් මට්ටමට ගන්න අඩුම තරමේ පැය 1/2ක් වත් නාවන්න වෙනව. අපේ සූටියා බකට් වෙච්ච වෙලාවෙ මමයි තව දෙන්නෙකුයි තමයි ඌව පිරිසිඳු කලේ ඒක නිසා මම දන්නව තියන අමාරුව. ඔන්න ඉතිං අළුත් කපල් එක කැම්පස් එකේ නිල වශයෙන් පිළිගන්නව දැන්. මේක මෙහෙම කියනවට වඩා ආතල් සීන් එකක්. එහෙමම කියන්න අමාරුයි තේරුම් ගන්න පිංතූර කීපයක් දාන්නම්.
ඔන්න දැන් කල්ලා මාව කන්න ලෑස්ති උනොත් එහෙම ඕගොල්ලො මාව බේරගන්න ඕන. හොඳද?



Thursday, April 23, 2009

උණු උණුවේ අරගන්න අළුත්ම එක


ඕන්න ආවා අළුත්ම එක මේ දැන් ආවා. උණු උණුවේ අරගන්න අළුත්ම එක

ලෝකය පුරා ඉන්න Ubuntu පාවිච්චි කරන නිදහස් පරිගනක පරිශීලකයන් බොහොම දෙනෙක් බලාපොරොත්තුවෙන් බලන් ඉඳපු දවසක් තමයි අද. වසරකට සංස්කරණ 2ක් නිකුත් කරන Ubuntu නිදහස් සහ විවෘත මෙහෙයුම් පද්ධතියේ අළුත්ම සංස්කරණය Ubuntu 9.04 නොහොත් ජේත්තුකාර හාවා අද දින ලෝකයේ ඕනෑම කෙනෙකුට නොමිලේ බාගත කර ගැනීම සඳහා නිදහස් කරනු ලැබුවා.

Ubuntu සංස්කරණ වලට නම් තබනු ලබන්නේ සතුන් අධාරයෙන්. මීට කලින් තිබුනු Ubuntu 8.10 හි නම උනේ නිර්භීත එළුවා(Intrepid Ibex) යන්නයි. මේ අනුව මෙම අළුත්ම සංස්කරණයේ නම වන්නේ ජේත්තුකාර හාවා යන්නයි(Junty Jackalope).

මෙම නවතම සංසකරණයේ වැඩි දියුණු කිරීම් කිහිපයක් කර ඇති බව පැවසෙනවා.
  1. boot performance - පරිගනකය boot වීම සඳහා ගතවන කාලය අළුත් සංස්කරණය තුල 20%කින් පමණ අඩුකර ඇති බව කියැවෙනවා.
  2. Desktop Applications අන්තර්ජාල පහසුකම් සමග සම්මිශ්‍රණය කිරීම. - මේ මගින් උදාහරණයක් ලෙස open office වලින් online වචන වල තේරුම සෙවීම හා පරිවර්තන සඳහා සහාය දක්වන බව කියනවා.
  3. Better hardware support - hardware තවත් වැඩි ප්‍රමාණයක් සමඟ හොඳින් ක්‍රියාකල හැකි ලෙස Ubuntu 9.04 හි kernel එක සවිගන්වා ඇති බව කියනවා. මෙහිදි Nvidia graphic card වල drivers සඳහා අළුත් සංස්කරණය වඩා හොඳින් සහය දක්වයි කියල හිතන්න පුළුවන්.
  4. ext4 සහය - පෙරනිමියෙන්ම දෘඩ තැටි ආකෘතීකරණය සඳහා ext4 නම් අළුත් ආකෘතීකරණ ක්‍රමය ජේත්තුකාර හාවා සමග එනවා. මේකෙදි එක් partition එකක් තියන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය ටෙරා බයිට් 16ක්. මේ ගිගා බයිට් එහෙම නෙමෙයි හොඳේ ටෙරා බයිට්. ගිගා බයිට් 1024 =ටෙරා බයිට් 1 ක් . දන්නවනේ. ඉතිං හිතා ගන්නකෝ.

ඉතින් තව බලන් ඉන්නෙ නැතුව දුවල ගිහින් බා ගන්න මෙන්න ලනුව.

Saturday, April 11, 2009

වයිරසයක් කල හදියක්


මේ දවස් වල අවරුදු නිවාඩුවට ගෙදරට වෙලානෙ ඉන්නෙ. මගෙ ගෙදර පරිගනකය වින්ඩෝස් උබුන්ටු dual boot තමයි තියෙන්නෙ. මොකද මගෙ නංගියි මල්ලියිත් මේක පාවිච්චි කරන නිසා තමයි මෙකෙ OS දෙකම ස්ථාපනය කරල තිබුනෙ. මේ පාර මම ගෙදර ආවෙ මාසෙකට වඩා කාලෙකින්.මම නම් වැඩ කරන්නෙ ලිනක්ස් වලනේ. ඉතින් මම පරිගනකයෙ වැඩ කර කර ඉන්න අතරෙ සිංදුවක් අහන්න කියල හිතල සිංදු ගබඩා කරල තිබුන partition එක mount කරල විවෘත කරල බැලුව. මම සිංදු සහ පින්තූර දාල තිබුනෙ ntfs වලින් හදපු multimedia කියල වෙනම partition එකක. ම්ම්.... ගායකයන්ගෙ නම් වලින් folders නම් තියනව. ඒත් ඒවයෙ ඇතුලෙ සිංදු නැහැ.thumbs.db සහ desktop.ini කියන file දෙක විතරක් ඉතිරි වෙලා හැම folder එකකම. ඉඳල හිටල folder එකක සිංදුවක් දෙකක් ඉතිරි වෙලා තියනව. දයාන් විතාරණගෙ නම් සිංදු ඔක්කොම තියනව. අනේ දෙයියනේ මම අවුරුදු 10ක් විතර එකතු කරපු සිංදු. අමරදේවයන්ගෙ සුනිල් එදිරිසිංහයන්ගෙ කරුණාරත්න දිවුල්ගනේගෙ එහෙම ඉතා පැරණි ගීතත් මම එකතු කරල තිබ්බා. ඔක්කොම ටික මැකිල. ඊළඟට මම මගෙ පින්තූර එකතුව බැලුව. ඒකටත් ආනිසංසෙමයි. folders විතරයි. හින්දි සිංදු වල DAT file විතරක් තියනව. දරුණු වයිරසයක් වෙන්න ඇති. මම නැති ටිකේ මලයා game එහෙම යාළුවොන්ගෙන් ඉල්ලන් ඇවිත් දාන්න ඇතිනේ.

මේ වයිරස් කරදරේ හැමදාම කරන්න බෑ. ගත්තා GParted මෘදුකාංගය. තේරුව /dev/sda1(වින්ඩෝස් තිබුන partition එක)right click කලා format to ext3 දුන්න. වයිරස් කරදරේ ඉවරයි.