Sunday, August 8, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - Shell commands


Sunday, March 28, 2010 දිනේදි මම ලියපු "මොකද්ද මේ shell" කියන ලිපියෙන් පස්සෙ ආයෙ ඔන්න ගොඩක් කාලෙකින් "ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව" ලිපි පෙළට තව ලිපියක් එකතු කරන්නයි යන්නෙ.ඒව මේව අස්සෙ තුන වසරටත් ආව නොවැ. අළුත් නංගිල මල්ලිල කට්ටියකුත් ආව කැම්පස් එකට. ඒ අතර අපේ කාලෙත් ඉවර වේගනයි යන්නෙ. කාලයක් ලිපි පෙළ නොලියා හිටියාම කට්ටිය හිතුවද දන්නෙ නෑ ලියන එක නැවැත්තුව කියල. එහෙම වෙන්නෙ නෑ. මතකනෙ. Ubuntu අයිසිං කිරීමත් ලියල ඉවර කලා. biggrin එහෙනම් ලිපිය පටන් ගමු. මේකෙදි මම ගොඩක් සරල මට්ටමේ ඉඳල කියන්නයි බලාපොරොත්තු වෙන්නෙ.

අපිට සාමාන්‍යයෙන් Linux prompt එක දකින්න පුළුවන් වෙන්නෙ මෙහෙමනෙ. මේ මගේ machine එකේ prompt එක පෙන්නන හැටි.




$ - මේ ඩොලර් ලකුණ සාමාන්‍ය පරිශීලකයෙක් විදිහට ඉන්නකොටයි පෙන්නන්නෙ
# - ඔබ සුපිරි පරිශීලකයෙක්(super user) විදිහට ලොග් වෙලා නම් හෑෂ් ලකුණ දකින්න පුළුවන්.
මේ ඔබ දකින prompt එකේ කොටස් වෙන්නෙ මේව.

ඉස්සරහින්ම තියෙන්නෙ ඔබේ පරිශීලක නම. @ලකුණෙන් පස්සෙ ඔබේ පරිගනකයේ නම. ආයිත් : එකක් දාල ඊළඟට පෙන්නන්නෙ ඔබ වර්තමානයේ ඉන්න ගොනුව මෙතන ~ ලකුණෙන්(මේකට කියන්නෙ trilda කියල) නිරූපනය කරන්නෙ ඔබේ home directory එක. ඒ කියන්නෙ මම ඉන්නෙ /home/ravinda කියන තැන.


ඊළඟට බලමු විධානයන් ගැන. සාමාන්‍ය Linux command එකක ව්‍යූහය වෙන්නෙ මේහෙමයි.

විධානය -විකල්ප පරාමිතිය

මේක මෙහෙම කොහෙවත් කියල නෑ. සරලව පැහැදිලි වෙන්න මම හිතල තමයි ලිව්වෙ. ඒ නිසා නොගැලපෙන අවස්ථා තියනවනම් කලබල වෙන්න එපා. විධානය කියන්නෙ ප්‍රධාන විධානය. විකල්ප වලින් පුළුවන් අපිට ප්‍රධාන විධානය ටිකක් වෙනස් කරල ක්‍රියාකරව ගන්න. සමහරක් විට විධාන වලට පරාමිතියක්(parameter) දෙන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි අන්තිමට යෙදෙන්නෙ. එහෙනම් අපි විධාන එකින් එක බලමු. සරලම තැන ඉඳල බලමු. මොකද මුල සිට සරලවනේ. smile

pwd(print working directory)

මේ command එකෙන් පටන් ගත්තොත් හොඳයි කියල හිතුනා. prompt එකේ මේ command එක execute කලාම. ඒ වෙලාවෙ අපේ working directory එක මොකද්ද කියන එක full path එක print කරල පෙන්නනවා. අපිට සාමාන්‍ය prompt එකෙනුත් ඉන්න තැන මොකද්ද කියල පෙන්නනව තමයි. ඒත් මේ command එකෙන් root එකේ ඉඳලම full path එක ලැබෙන එක වාසියක්.





cd (change directory)

කාටත් Linux file hierarchy එක මතක ඇති කියල හිතකනවා. terminal එක ගත්තාම ඒකදි මේ file hierarchy එකේ එහෙ මෙහෙ යන එක දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නෙ nautilus එකේදි අපි shortcut එකක් පාවිච්චි කරල හරි folder එකෙන් folder එකට ගිහින් හරි අපිට ඕන තැනට යනවනේ. අන්න ඒක terminal එකේදි කරගන්න හැටි. මේකට මූලිකවම පාවිච්චි කරන්නෙ cd කියන command එක. cd කියල දීල එක්ට පරාමාතියක් විදිහට අපිට යන්න ඕන තැන path එක දුන්න නම් හරි. මෙතනදි අපි file structure එකේ දැන ඉන්න තැනට සාපේක්ෂව path එක දුන්න නම් ඇති. root එකේ ඉඳලම දුන්න කියල අවුලක් නෑ. නමුත් අවශ්‍යම නෑ.

home එකේ ඉඳලා /media/Multimedia කියන තැනට වෙනස් වෙන හැටි.


මෙතන මුළු path එකම දෙන්නෙ නැතුව මගේ home එකේ ඉඳල ඉතිරි path දුන්නහමත් ප්‍රමාණවත්.


cd .. --> දැනට ඉන්න තැන ඉඳල එක ගොනුවක් ඉහලට යන්න මේ විධානය පාවිච්චි කරන්න පුළුවන්.

eg:
ravinda@ravinda-desktop:~/Documents/abc$cd ..
ravinda@ravinda-desktop:~/Documents$

cd - --> ක්ෂණිකව පියවරක් ආපස්සට යන්න මේ විධානයෙන් පුළුවන්

eg:
ravinda@ravinda-desktop:~$cd /usr/lib
ravinda@ravinda-desktop:/usr/lib$cd -
ravinda@ravinda-desktop:~$

තව අමතර කරුණු කීපයක් කියන්නම්. කිසිම path එකක් නොදී අපි cd කියල විතරක් enter කලොත් අපිව අරගෙන යන්නෙ අපේ home එකට. ඒ කියන්නෙ cd ~ කියල දෙන එන අවශ්‍ය නෑ cd විතරක් දෙන්න. තව දෙයක් තමයි path එකක් දෙනකොට අපි type කරගෙන යනවනම් යම් folder එකක(වෙන විධානයකදි නම් file එකක පවා) නමෙන් කොටසක් type කරල tab එක press කලාම ඒ අපි type කරපු කොටස ඇතුලත් නම් එක නම් තියෙන්නෙ ඉතිරි කොටස පුරවල දෙනවා. හැබැයි ඒ කොටස ඇතුලත්(අපි Do කියල type කරානම් home එකේදි Document , Download කියල folder දෙකක් තියනවා) අයිතම දෙකක් හරි වැඩිය හරි තියනවනම් එහෙම පුරවන්නෙ නෑ. අපි ආයෙ tab එක press කලොත් ඒ කියන්නෙ දෙපාරක් tab එක press කලාම ඒ අදාල කොටස ඇතුලත් අයිතම ඔක්කොම අපිට පෙන්නනවා.

ls (list directory contents)

අපිට මේ විධානය පාවිච්චි කරල යම් folder එකක තියන දේවල් බලාගන්න පුළුවන්. මේ විධානය යෙදීමෙදි list කරගන්න ඕන directory එකේ path එක පරාමිතිය විදිහට දෙන්න ඕන.

මෙතනදි මම path එකක් දිල නැති නිසා default ඒ වෙලාවෙ working directory එක තමයි list කරල තියෙන්නෙ. මේ content එක පෙන්නනද්දි පාට කීපයක් පාවිච්චි කරනවා. මෙතන නිල් පාටින් පෙනනන්නෙ folders. executables තව පාටකිනුත් , archives වෙනත් පාටකිනුත් වගේ විවිධ පාටවලින් මෙතනදි පෙනනන්නෙ.

ls -l --> මේ l කියන option එක පාවිච්චි කලාම ලැබෙන්නෙ long listing format එක.
මෙතන අපිට අන්තර්ගතය විස්තර සහිතව පෙනන්නවා. මෙතන එක එක columns වලින් කියවෙන්නෙ මෙන්න මේ දේවල්.

1- file permissions , Linux වල file permissions ගැන මම කලින් සඳහන් කලා මතක ඇති. ඒ ගැන වැඩිදුර පස්සෙ කතා කරමු. දැනට මේ පළවෙනි තිරුවෙ පෙන්නන්නේ ඒ ඒ අයිතමයට තියන permissions. ඒකෙ මුලින්ම d අකුරත් තියනවනම් ඒ අයිතමය directory එකක්(folder එකක්) - තියනව කියන්නේ ඒක directory නොවන ඒව. l අකුර තියනවනම් ඒක link එකක් නැත්තම් shortcut එකක් කියලත් කියන්න පුළුවන්.

2- number of links , අදාල අයිතමයට තියන links ගාන තමයි දෙවනි තීරුවෙන් පෙන්නන්නෙ.

3- ගොනුවේ හරි file එකේ හරි owner කව්ද කියල තමයි මේ තීරුවෙන් පෙන්නන්නේ.

4- ඒ ගොනුව අයිති group එකේ නම.

5- file එකේ size එක තමයි මෙතන පෙන්නන්නෙ.

6- අන්තිමට file එක modify කරපු දිනය සහ වේලාව මෙතන දක්වනවා.

7- මේ ගොනුවේ නම.

ls -a --> a කියන option එක යෙදුවාම අපිට hidden files නුත් අඩංගු කරල ප්‍රතිඵල පෙන්නනවා. ලිනක්ස් වල hidden file කියන්නෙ මුලට . එකක් තියන ඒව. ඒව සාමාන්‍ය විදිහට පෙන්නන්නෙ නෑ. බලාගන්න ඕන නම් nautilus එකේ ctrl+h press කරන්න. එතකොට hidden file තියනවනම් පෙන්නාවි.

මෙතන මම යෙදුවෙ ls -al කියල. එතකොට hidden files නුත් ඇතුලත්ව long list format එකට ප්‍රථිපලය ලැබනවා. තව දෙයක් මෙතන මුලින්ම තියන . සහ .. කියන දෙක මොනවද දන්නවද? මෙතන . කියල පෙන්නන්නෙ current directory එක(/home) .. කියන්නෙ ඒකෙ parent directory එක(root).

mkdir (make directory)

මේ විධානය පාවිච්චි කරන්නෙ folder එකක්(directory) හදන්න. මෙතනදි අපි පරාමිතිය විදිහට දෙන්න ඕන අපිට folder එක හදන්න ඕන නම අදාල path එකත් එක්ක.

ravinda@ravinda-desktop:~$mkdir ucsc --> මගේ home එකේ මම ucsc කියල folder එකක් හැදුවා.

ravinda@ravinda-desktop:~$mkdir /Desktop/ucsc --> Desktop එකේ ucsc කියල folder එකක් හැදුවා.

එහෙනම් මේ ලිපියට ඇති වගේ නේද? මුකුත්ම නොදන්න අයට වගේ මේ ටික සෑහෙන්න වැදගත් වෙයි කියල හිතනවා. එහෙනම් තව commands එක්ක හම්බෙමු. ලිපිය ගැන අදහසක් විවේචනයක් ලියල යන්නත් අමතක කරන්න එපා.

Sunday, July 25, 2010

තොරතුරු තාක්ෂණ දැනුම බෙදා දීමට දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට ගිය ගමන



ඔන්න ඉතින් ආයෙ කාලෙකට පස්සෙ බ්ලොග් කෙරුවාවට බහින්නයි යන්නෙ.ලියන්න බැරිවෙන්න හේතුව ආයෙ අයෙ මන්තරේ වගේ ලියන්න ඕන නෑනෙ නේද Assignments, Exam තමයි හේතුව. ඔන්න ඉතින් දෙයියනේ කියල ගිය සිකුරාදා STAT වලින් සමාසිකයේ මහා සංග්‍රාමය හෙවත් විභාගෙ ඉවර උනා. වරදක් නෑ දෙයියනේ කියල ඔක්කොම වගේ අවුලක් නැතුව ලියා ගත්තා. ඒ අතරෙ සතියෙන් පාඩම් කරපුවා, දවස් දෙකෙන් පාඩම් කරපුවා එහෙමත් තිබුනා confused.

මේ ලියන්න යන්නෙ ඒව ගැන නෙමේ. විභාගෙට කලින්ම CompSoc එකට(කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක තාක්ෂණ සංගමය) ආරාධනාවක් ඇවිත් තිබුනා දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලෙන් ICT සහ GIT කියන විශයන් වෙනුවෙන් දවස් තුනක වැඩමුළුවක් පවත්වන්න කියල. වැඩමුළුවක් කිරීම ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නොතිබුනත් අපිට ප්‍රශ්නයක් උනේ කාලය මොකද විභාගෙ කාලය තුලදි අපිට වැඩමුළුවට සූදානම් වෙන්න බෑ. ඔවුන් වැඩමුළුව ඉල්ලන්නෙ 19,20,21 කියන දවස් වල. අන්තිමේදී තරමක් අසීරු කටයුත්තක් උනත් අපි එකඟ වුනා ඒ දවස් වල වැඩමුළුව කරන්න. මෙහෙම එකඟ උනත් අන්තිම මොහොම වෙනකම්ම තරමක් අවිනිශ්චිත භාවයක් ගමන ගැන තිබුනා. මොකද කොළඹ ඉඳල දෙහිඅත්තකණ්ඩියට යන්න ගමන් පහසුකම් මොකද කරන්නෙ. පොදු ප්‍රවාහන සේවයක අපේ දවස් තුනකට ඇඳුම්, Laptop, සපත්තු ඔක්කොම උස්සගෙන යන්නෙ කොහොමද? අනිත් අතට අපේ සංගමයෙ අරමුදලේ පහුගිය ගුරුවරු පුහුණු කිරීමේ වැඩමුළුවෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුනෙ රුපියල් 1000කට අඩු ගානක්. මේ වෙලාවෙ අපිට උදව්වට ආවෙ Microsoft Student Champ එක. ඒ හරහා ඔවුන් අපිට ගමනාගමය පහසුකම් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දක්වන්න එකඟ වුනා. ඒ අනුව හැමදාමත් CompSoc එකේ ගමන් බිමන් වලට යන හේමන්ත අයියාගේ Nissan Caravan වෑන් රථයේ අපි ගිය ඉරිදා(18) පිටත් උනා දෙහිඅත්තකණ්ඩියට යන්න. අපේ ගමන් මාර්ගය උනේ පොළොන්නරුවට ගිහින් එතනින් දෙහිඅත්තකණ්ඩියට. උදේ 10ට විතර කොළඹින් පිටත් වෙච්ච අපි දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට එනකොට හවස 6 විතර වෙලා. ගුරුවරු එක්ක කතා බහ කරලා ලමයි ප්‍රමාණය කොච්චරද ගන්න පුළුවන් පන්ති කාමර පහසුකම් මොනවද කියල දැනගෙන අපි ගියේ අපිට නවතින්න සූදානම් කරල තිබුන මහවැලි සංචාරක බංගලාවට.

අපේ නවාතැන තිබුනෙ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දුරින්. අපරාදෙ කියන්න බෑ තැන නම් ඉස්තරම්. මේ තැන අපි වෙනුවෙන් ලෑස්ති කරල විය හියදම් දරල තියෙන්නෙ මහවැලි අධිකාරිය. වැඩමුළුව පස්සෙන්දා පටන් ගන්න ඕන නිසා අපි කලින්දා රෑ එළි වෙනකම්ම කලේ ඒකට හොඳ සැලැස්මක් හදන එක.
ලමයි 100ක් 150ක් එකට අරගෙන උගන්නන එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එතකොට කොටසක් පාඩමින් පිට යනවා. ආම්බාන් කරන්නත් අමාරුයි biggrin. ඉතින් අපි 10 සහ 11 වසර කණ්ඩායම් දෙකකටත් 12 වසර කණ්ඩායම් හතරකටත් බෙදුවා. ඉන් පස්සෙ උගන්නන පාඩම් අපි කට්ටිය බෙදා ගත්තා. එතකොට පැය 2කින් පාඩම ඉවර කරලා තව කණ්ඩායමක් එක්ක මාරුවෙන්න ඕන. එහෙමයි සැලසුම හැදුවේ. මේව කරන කොට ඉතින් රෑ වෙනවනේ නිදි මත හැදෙනවා. ඉතින් මෙතන බලාකියාගන්න ආනන්ද අයියා අපිට කහට එහෙම හදලා තියලයි ගියේ. ඕක ඉතින් සීනි දාල අපිට හදල දුන්නෙ අපේ අසංක(සාදු razz) තමයි. ඔය තේ හදන හැටි කියල දුන්නෙ මාතර පැත්තෙ වොඩ්කි කියල බවලත් කෙනෙක් කියනවනේ.
පස්සෙන්දත් උනා කියමුකෝ. ඉස්කෝලෙට ගිහින් පොඩි රැස්වීමක් තියල හෙම අපි ලමයින්ට අඳුන්වල දීල ඔන්න ඉතින් වැඩ මුළුව පටන් ගත්තා.
පළවෙනි දවසෙ මට උගන්නන්න තිබුනෙ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන පාඩම් කීපයක එකතුව. වැඩේ ටිකක් අමාරු කියල තේරුනේ සමහර ලමයි ජීවිතේට පරිගනකයක් අල්ලලාවත් නෑ. IT period එකත් කට් කරලා. ඉතින් ගොඩක් දේවල් අ යන්නෙ ඉඳලම කියල දෙන්න උනා. ඒ මට තේරුන දෙයක් තමයි ලමයි ගොඩක් ආසාවෙන් උනන්දුවෙන් කියන දේවල් අහගෙන හිටියා. කෑගැහුවේ කරදර කලේ නෑ. ඉතින් අපිත් අපේ උපරිමයෙන් ඔව්න්ට පාඩම් ටික දේවල් කියල දුන්නා.

මගේ ඉන්ටර්නෙට් සහ ඊ මේල් පාඩම
චතුරංග(හුරේ) ඉගැන්නුවේ Computer Hardware
Logic gates උගන්නපු මෝදිත(පෝමලා)
නුවන් මල්ලිගෙන් logical expressions
අසංක සහ අනිල් Networking කියාදෙමින්
ඔෂාන් 10,11ට පාඩමක් කරමින්
චතුරංග Visual Basic
කළිඳුගෙන්
තව පොඩ්ඩෙන් අමතක වෙනව අපේ කේෂාන් සහෝදරයත් VB කලා නෙව
මේ ඉන්නෙ අපි කස්ටියම කැමරාව timing කරලයි මේ photo එක ගත්තෙ

ඉතින් ඔහොම ඉස්කෝලෙ ඉවර වෙනකම් ලමයින්ට ඉගැන්නුවා කියමුකෝ. ඉස්කෝලෙ ඉවර උනාම තව රාජකාරික් තිබුනා. ඒ ඉස්කෝලෙ I.T ගුරුවරුන්ට web designing තව workshop එකක් කලා.ඒක ඉවර වෙනකොට රෑ 8 විතර.
ඔන්න ඔහොමයි ඉතින් වැඩ සටහන ගියේ. පලවෙනි දවසෙ තමයි අපිට දැන ගන්න ලැබුනෙ තුන්වෙනි දවස ඒ කියන්නෙ 21 අපිට 10 සහ 11 ලමයි ගන්න බෑ මොකද ඒ අයට විභාගෙ යෙදිල තියන නිසා එදා. ඒ නිසා දෙවනි දවසෙ සැලැස්ම සකස් කරන එක සෑහෙන අමාරු වැඩක් උනා. අන්තිමට flash වගේ ප්‍රශ්න අඩුවෙන් එන කොටස් ඉවත් කරලයි. සැලැස්ම හදා ගත්තෙ. ඉතින් දෙවනි දවසෙන් අපි 10 සහ 11 වසර වලට උගන්නන එක අවසන් කලා. පස්සෙ ආරංචි උන හැටියද O/L කොල්ලො කෙල්ලො විභාගය කල් දාල ඒ කියන්නෙ ඒ අයට කලාපෙ පේපර් එන නැතිව වෙනම පේපර් එකක් දීල වැඩමුළුවෙ තුන් වෙනි දවසත් ඒ අයට දෙන්න කියල විදුහල්පතිතුමාගෙන් ඉල්ලුවලු. කොහොම උනත් ඒක නම් කරන්න උනේ නෑ.


විදුහල්පතිතුමා ගුරුමණ්ඩලයේ කොටසක් සමග අපි කට්ටිය

තුන්වෙනි දවස වෙනකොට අපිට තිබුනෙ A/L GIT වල ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම. ඊට අමතරව කලාපෙ ගුරුවරු එකතු කරල දවසක වැඩමුළුවක් ගුරුවරුන්ටත් සංවිධානය කරල තිබුනා. ඒකෙ අපි ප්‍රධාන වශයෙන් කියල දුන්නෙ උබන්ටු OS එක install කරගෙන පාවිච්චි කරන විදිහත් joomla පාවිච්චි කරල web site එකක් හදාගන්න විදිහත්. මේ දවස බදාදනේ. ඒ කියන්නෙ අපි CompSoc එකෙන් සතිපතා කරන "ඉන්ටර්නෙට් සම්පත් භාවිතය" ගුවන් විදුලි වැඩසටහන විකාශය වෙන දවස. වැඩසටහන නිවේදනය කරන ගුවන්විදුලියෙ ජයසිංහ අයියා කලින් දවසෙ මට කතා කරලා කිව්වා අපි සජීවීම පාසලේ ඉඳල දුරකතන මාර්ගයෙන් වැඩසටහනට සම්බන්ධ වෙමු කියල. ඒ අනුව මමත් පාසලේ විදුහල්පතිතුමත් උසස් පෙළ ශිෂ්‍යාවකුත් වැඩසටහනට සජීවීව කතා කලා. අපූරු වැඩේ කියන්නෙ ඊට ටික වෙලාවකට පස්සෙ හැමදාම මේ වැඩසටහන අහන අතුල අබේරත්න කියල ඒ කිට්ටුව සිරිපුර කියන ප්‍රදේශයේ ඉන්න මහත්මයෙක් වැඩසටහනින් දැනගෙන අපි දෙහිඅත්තකණ්ඩියෙ ඉන්නව කියල ආව ඉස්කෝලෙට. ඒ මහත්මයත් ස්වෙච්ඡාවෙන් පරිගනක අධ්‍යාපනය ලමයින්ට දෙන කෙනෙක්. මේ වැඩමුළුව ගැන මේ මහත්මයා අපිට බොහොම ස්තූතිවන්ත වුනා. පස්සෙ විදුහල්පතිතුමාගෙ අවසරය ඇතුව මේ මහත්මයත් සම්බන්ධ වුනා වැඩමුළුවට. ඉතින් තුන්වෙනි දවසෙ වැඩමුළුව අවසන් කරපු එක තමයි කරන්න වුන අමාරුම දේ. මොකද ඒ දවස් තුනට මේ ලමයි අපේම නංගිලා මල්ලිලා වෙලා හිටියා. අන්තිමට සිංදුවක් දෙකක් කියලා පොඩි විනෝදයක් දීලයි වැඩේ ඉවර කලේ. මේ ලමයි ටික කොච්චර අපිත් එක්ක එකතු වෙලාද කියනවනම් අන්තිම last final සින්දුම තුනක් විතර කියන්න වුනාlol.

මේ වැඩමුළුවෙදි මම සහ අපේ අය උගන්නනවට අමතරව තව දෙයක් මේ ලමයින්ට දෙන්න උත්සාහ කලා. ඒ තමයි මේ ලමයි ගොඩක් අයට අනාගතේ ගැන ඉලක්කයක් තිබුනේ නෑ. ඉගනගෙන මොකද කරන්නෙ කියල ඒ අය දැනගෙන හිටයෙ නෑ. විශ්ව විද්‍යාලයට යනව කියල අධිෂ්ඨානයක් ඔවුන්ට ඇතිකරගන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඒත් ඔවුන්ට හීනයක් තිබ්බා. ඒකයි පන්ති වල උගන්නන කොට ආපු චිට් වල තිබුනෙ "අයියෙ කැම්පස් එක ගැන කතාවක් කියන්න කියල". අපි ඔවුනට පෙන්නල දුන්න කැම්පස් එක කියන්නෙ මොන වගේ තැනක්ද කියල. සුන්දර විශ්ව විද්‍යාල ජීවිතෙන් අත්දැකීම් කීපයක් ඔවුන් එක්ක බෙදාගත්තාම ඔවුන් බොහොම සංවේදී විදිහට ඒව අහගෙන හිටිය. හොඳට ඉගන ගෙන අම්ම තාත්ත තමන් වෙනුවෙන් කරපු කැපකිරීම් වෙනුවෙන් යමක් ආපහු දෙන්න කියල කිව්වාම ඔවුන් ඇහැ අගට ආපු පුංචි කඳුලකුත් එක්ක ඒව අහගෙන හිටියා. අපි ඔවුන්ගෙන් ගනිපු feedbacks කියෙවුවාම අපිට තේරුනේ අපි ඔවුන්ට දෙන්න උත්සාහ කරපු පණිවිඩේ හිතුවටත් වඩා හොඳට ඔවුන් අතරට ගිහින් තියනවා. ගොඩක් අය කියල තිබුනා GIT විභාගෙ ලියන්න නෙමෙයි හිටියේ ඒත් මේ පාර අනිවාර්යෙන් ලියනව කියල. අපි ඔවුන්ගෙ විශ්ව විද්‍යාල සිහිනයට ජීවයක් දුන්න කියල ගොඩක් අය ලියල තිබුනා. මේව කියවනකොට අපේ වෑයමේ සාර්ථක බව දැකල අපේ ඇස් වලටත් කඳුලක් ආව ඇත්තටම.

අන්තිමට අපේ නවාතැනේ අපිට කෑම බීම සකස් කරල දීපු ආනන්ද අයියත් දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ විදුහල්පතිතුමා විශේෂයෙන් මේ වැඩමුළුවට ප්‍රධාන වෙලා කටයුතු කරපු නදීකා ශ්‍රීපාලී ගුරුතුමියත් මතක් කරන්න ඕන. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ වෑන් රථයේ රියදුරු නැත්තම් අපේ අය කියන විදිහට අපේ මැනේජර් හේමන්ත අයියත් මතක් කරන්නම ඕන.
මේ සද්කාර්යට දායක වුන UCSC එකේ අපේ කට්ටිය

Thursday, May 27, 2010

ආගිය විස්තර : පශ්චාත්තාපය : Roswell සහ ජීවිතය

ආගිය විස්තර :

ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්නයි යන්නෙ. පහුගිය ටිකේ සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් තිබුනෙම නෑ. ලිනක්ස් ගැන සටහන් පෙළ නැවැත්තුව කියල හිතන්න එපා. කාර්ය බහුලකම නිසායි ලිපියක් ලියන්න බැරි උනේ. ඒ වගේව පොඩි විරාමයක් ගත්තොත් හොඳයි කියලත් හිතුනා. ඕන නම් ඊළඟ ලිපිය ගැන අදහසක් දෙන්නම් කෝ. ලිනක්ස් Shell Command ගැනයි ඊළඟ ලිපිය. ඉතින් එතනින් ගියාම පහුගිය කාලෙ භක්ති ගීත කිව්වා. භක්ති ගීත කියනව කියල අපේ assignments එහෙම cancel කරනව කියලද. පිස්සුද? Assignment 3ක් තියාගෙන තමයි වාදක මණ්ඩලෙයි සින්දු කියපු අපියි පුහුණුවීම් එහෙම කලේ. අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන එක, Assignment තුනක් ඇති මිනිහෙක් භක්ති ගීත කීය කියල සංශෝදනය කලොත් මොකද?
මේන් භක්ති ගීත කියපු දෙවන වසර අපේ කට්ටිය. නම් නොකිව්වොත් තරහ වෙයිද දන්නෙ නෑනෙ. ඔන්න වමේ ඉඳලා. ඉස්සරහම ඉන්න දෙහි ගෙඩි දෙකක් වත් උස නැති කෙල්ල කටූ ඊළඟට කිංකිණි, චිං චිං, සූදු, බට්ටී, බඩී ආයෙ කොල්ලොන්ගෙන් මුලින්ම මාට්ටු හෙවත් සයිකො, කොයියා, සාදු, පොක්සන්, මම සහ වෑන්ටි සර්.
මේ වැඩේ සංවිධානය කල අයත් අමතක කරල බෑනෙ. අපේ J.J. මකා හෙවත් නදීර තමයි මූලික වෙලා වැඩකලේ. වෙලාවට වැඩක් නොකලට(8ට වරෙන් කිව්වාම 10ට විතර ආවට) අපේ මෂියර්(තරිඳු)ත් මේකට සෑහෙන උදව් කලා.


පශ්චාත්තාපය :



මම මේ සම්මජ්ජාතියෙ දැකපු පතරංගම Assignment එක පහුගිය දවස් වල Introduction to programming Languages කියන එකට පහුගිය දවස්වල හම්බ උනා. ක්‍රමලේඛනය ගැන යම් දැනුමක් තියන අය දන්නවා ඇතිනේ code එකක් ලියලා එක් compile කරනකොට code එකේ වැරදි තියනවනම් පෙන්නව. ආන්න ඒ දේ කරන්න අවශ්‍ය වෙන Lexical analyzer, parse tree සහ symbol table කියන දේවල් C හෝ C++ වලින් implement කරන්නයි තිබුනේ. මුලින් ලේසියි කියල හිතුවට පස්සෙ කරන්න ගියාම මේක පට්ට අමාරුයි. ඇඬෙනවා. theory තේරුම් ගැනීමේ දෝශයි ඇත්තටම තිබුනේ. Lectures cut වුන ඒවගෙ පාඩුව එතකොට තමයි තේරුනේ. මට නම් symbol table එක ලියන්න උනේම නෑ. parse tree එකත් හරියට ලිව්වා කියල හිතුවට අන්තිමට segmentation fault එකක් එනවා කොහෙන්ද කියල හිතාගන්න බෑ. කොහොමින් කොහොමින් හරි මාරක රේඛාවට විනාඩි 20ක් විතර තියල මම කරපු කොටස submit කලා. මේ කැම්පස් ජීවිතේ coding කරන්න දීපු assignment එකක් බාගෙට submit කලාමයි ඔය. සෑහෙන්න පසුතැවෙනවා ඒ ගැන. තව මම හිතාගත්තු දෙයක් තියනවා. දැකල තියනවද සමහර compilation errors පෙන්නන තැන නෙමෙයි තියෙන්නෙ සමහර විට විකාර errors දෙනවා. ඒ වගේ වෙලාවට කේන්ති යනව නේද? මම නම් ආයෙ එහෙම කේන්ති ගන්නෙ නෑ ආයෙ. මොකද compiler එකකින් 1/4 ක් ලියන්න අපිට මෙච්චර අමාරු උනානම් ඔක්කොම ලියන එක කොච්චර අමාරු ඇද්ද?


Roswell :

ජාතික රූපවාහිනියේ ගිහිපු Roswell TV series එක බැලුවද? මම A/L කාලේ බලපු රූපවාහිනී වැඩසහටන් දෙකෙන් එකක් තමයි Roswell. අනික මොකද්ද දන්නවද? X files. Roswell කියන්නෙ මනුෂ්‍ය DNA මගින් නිර්මාණය කල ශරීර වල ජීවත් වන Max , Isabel සහ Michel කියන පිටසක්වල ජීවීන් වටා ගෙතෙන කතාවක්. මේ කතාවට Max ගේ පෙම්වතිය විදිහට Liz නුත්(කතාවෙ ප්‍රධාන වෙන්නෙ මේ දෙන්නා) Michel ගේ පෙම්වතිය විදිහට Maria ත් Isabel ගේ මුල් පෙම්වතා Alex සහ පසුව සැමියා Jessyත් පලාතේ sheriff වන Jim සහ ඔහුගේ පුත් Kyle ප්‍රධාන චරිත විදිහට එකතු වෙනවා. ආදරය තාස්‍රය එක්ක ජීවිත කාලයක් ගලාගෙන යන කතාවක් තමයි Roswell. මේකෙ series 2ක් රූපවාහිනියේ පෙන්නුවත් 3 වෙනි එක පෙන්නුවේ නෑ. මන්දා ඒ ඇයි කියල. මට මේ ලඟදි අපේ බට්ටි ලඟ තිබිල 3වෙනි කොටස හම්බුනා. ඉතින් subtitle නුත් වැඩි අපහසුවක් නැතුව ලැබුනා. මම ඉඩ තියන තියන වෙලාවට බොහොම ආසාවෙන් මේක බලලා ඉවර කලා. කතාවෙ අවසානය ඔවුන් ඉවර කරන්නෙ happy ending එකක් විදිහට උනාට මට නම් එහෙම දැනෙන්නෙ නෑ. කතාව ඉවර වෙන්නෙ Max එක්ක විවාහ වෙන Liz මගුල් ඇඳුමින් Roswell වලින් ඉවතට යන අනෙත් අය ඉන්න රථයට ගොඩ වෙලා කියනවා. I am Liz Parker and I am Happy කියල. මේ කට්ටිය අන්තිමට Roswell අතඇරල යනවා මොකට ඔවුන්ට දිගින් දිගටම විඳින්න වෙන කරදර නිසා. මේ යන කොට ඔවුන් ගොඩක් තමන් ආදරය කරන අය අතඇරලයි යන්නේ. Alex මිය යනවා, Max සහ Isabel ඔවුන් හදා ගත්තු දෙමව්පියන්, Kyle තමන්ගෙ තාත්තා Jim, Isabel තමන්ගේ සැමියා Jessy මේ වගේ ගොඩක් අය ඔවුන් දාලයි යන්නේ. කාලෙක් ඉඳල ඔවුන් ඔවුන්ගේ ජීවිත එක්ක ජීවත් වීම සඳහා ගැටුනත් ඔවුන්ට කවදාවත් ඒක ජයග්‍රහණය කරන්න ලැබෙන්නෙ නෑ. අපි හැමෝගෙම ජීවිතත් ඒ වගේ නේද? අපිටත් කවදාහරි දවසක අපි ආදරේ කරන අයත් ආස කරන දේවලුත් හැමදෙයක්ම දාල යන්න වෙනව නේද? ඒකයි ලෝක ස්භාවය. ඒත් අපි අනෙක් අයට, ලෝකයට යමක් කරල තිබුනොත් ඒක අපිට ඉතිරි වේවි.

එහෙනම් ගිහින් එන්නම් ආයෙ හමුවෙමු.

Saturday, April 24, 2010

ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කළ ඒ පින්බර රාත්‍රිය



අප්‍රේල් 22 රෑ කියන්නෙ මම හිතින් අවුරුද්දක් ආපස්සට ගිහිපු දවසක්. 22 ඒ කියන්නේ පෙරේදා තමයි UCSC එකේ වාර්ශික පිරිත් සජ්ඡායනය පැවැත්වුනේ. ඒක සුපුරුදු පරිදි සංවිධානය කලේ පළමු වසර වෙනුවෙන් අපේ නංගිලා මල්ලිලා. මේ පාර පිරිතෙ අරමුණු වලින් ප්‍රධාන දේ උනේ ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා වන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ආදි කතෘ මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමාව අනුස්මරණය කිරීම. අද ලංකාවෙ කිසිම වැඩකට නැත් දින (වැලන්ටයින් - කොහේදෝ රටක පූජකයෙක් දිවි නහගත්තු දවස) සමරද්දී රටට සුවිශේෂී මෙහෙවරක් කරපු සමරනායක සර් වගේ අය අමතක කරලා. ඒ අය අනුස්මරණය කරන්න ඒ උතුම් චරිත වලින් ගන්න ඕන දේවල් රටේ දරුවන්ට කියල දෙන්න අපේ අය අමතක කරලා. ඒත් සමරනායක සර් ගොඩනගපු මේ UCSC පින්බිමේ අපේ ජීවිත ගොඩනගා ගත්තු අපි එහෙම කරන්න සුදානම් නෑ. හැම අවුරුද්දකම මේ වගේ අසිරිමත් පිරිත් පිංකමක් සංවිධානය වෙන්නේ ඒ උතුම් යුග පුරුෂයාට ආචාර කරන්න. මේ පාර තවත් අරමුණු වෙච්ච දෙයක් උනේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අංශයට වසර 25ක් සපිරීම. 1985 තමයි පරිගනක විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කොළඹ විශ්ව විද්‍යාලය තුල ආරම්භ වෙන්නේ. ඒ වගේම 30 වසරක කුරිරු තස්ත්‍රවාදය අවසන් කිරීමේදී ජීවිත පුජා කරපු, ආබාධිත උනු සහ ඒ වෙනුවෙන් දහඩිය හෙලපු සියලු රණ විරුවන්ට පිං අනුමෝදන් කිරීමත් අපේ අරමුණක් උනා.

මේ පිංකම කොච්චර ලස්සනද කියල බලන්න මේ පිංතූර වලින්.
චෛත්‍යයක හැඩය ගත්තු පිරිත් මණ්ඩප්පය

කැටයම් වලින් අලංකාර කල ශ්‍රවණාගාරය

ආයුබෝවන්

මකර තොරණින් පිවිසුම් මාර්ගයට

කැටයම් දහස් ගණනකින් අලංකාර කල පිවිසුම් මාර්ගය

පරිගනක විද්‍යාව කලාට චිත්‍ර අඳින්නත් පුළුවනි


ප්‍රවෘත්ති විකාශයන් වල UCSC එක ගැන සඳහන් වෙනව අහල තියනවද? "කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්" එහෙම කියල. නෑනේද? ඒත් අපේ බෞද්ධ හින්දු කතෝලික ඔක්කොම ලමයි එකතු වෙලා කරපු මේ පිංකම දෙරණ ප්‍රවෘත්ති විකාශය ප්‍රචාරය කලා මේ විදිහට.


මම මුලින්ම කිව්වනේ එදා මගේ හිත අවුරුද්දක් අතීතෙට ගියා කියල. ඒ අපි පළමු වසර සිසුන් විදිහට ඉද්දී මේ වගේම කරපු පිරිත මතක් වෙලා. මාස ගණනක ශ්‍රමය, දවස් ගණනක් නිදි මරපු අමාරුව එක මොහොතකින් නැති වෙලා හිත පිරුනෙ අපේ නිර්මාණයේ ලස්සන දැක්කාම. ඒ වගේ ආත්ම තෘප්තියක් ලබන්න බොහොම අමාරුයි. ඒ දේ ලබන්න මට පුළුවන් උනා. අපේ නංගිලා මල්ලිලාට පුළුවන් උනා.
නංගි මල්ලි උඹලාගෙ අයියලා අක්කලා හැටියට අපිට උඹලා ගැන බොහෝම ආඩම්බරයි. අපි උඹලාට අපිට වඳින්න පුදන්න කිව්වෙ නෑ. උඹලව කඩේ යැව්වෙ නෑ. ඒත් අපේ වගකීමක් විදිහට උඹලට ජීවත් වෙන්න කියල දුන්නා. එකා වගේ වැඩ කරන හැටි කියල දුන්නා. අභියෝග වලට මුහුණ දෙන හැටි කියල දුන්නා. උඹල ඒ දේවල් උඹලගෙ හිතට අරගෙන තියන බව දැක්කාම අපිට බොහොම සන්තෝසයි. ඉතින් ඉස්සරහටත් මේ විදිහට අපි ඔක්කොටම අපේ උපරිමයෙන් UCSC එකටත් රටටත් අපේ යුතුකම ඉටුකරමු.

Thursday, April 22, 2010

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කරමු.

දැනුම්දීමයි


ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා යන විරුදාවලියෙන් හඳුන්වන‍
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනෙයේ ආදි කතෘ
මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමා
අනුස්මරණය කරනු වස්
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ
පළමු වසර සිසුන් සංවිධානය කරන
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම ‍දේශනය
අප්‍රේල් මස 22 වන දින
අප අධ්‍යයනායතනයේ
මහාචාර්ය වී.කේ.සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී
පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වර්තමානයේඇති තැනට
ඔසවා තබන්නට මෙතුමා කල මහඟු සේවයට
කෘත ගුණ සලකණු වස්
ඔබටත් මේ පිං කමට සහභාගි වන ලෙස ආරාධනා කරමු.
තවද
මෙම පිංකම
http://www.ucsc.cmb.ac.lk/ucsctv/
යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ අන්තර්ජාල රූපවාහිනී සේවාවක් ලෙස
රාත්‍රී 8.30 සිට විසිරුවා හරුනු ඇත.

Tuesday, April 13, 2010

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු


බක් මාසෙ මතක නැති උනාට
කැලැන්ඩරේ අප්‍රේල් මාසෙ ඇවිත්
ගේ මිදුලෙ අඹ ගහේ කොවුලා සින්දු නොකිව්වට
ටීවී රේඩියෝ වල කොවුලො තරඟෙට කෑ ගහනව
එරබදු ගහක් පේන තෙක්මානෙක නෑ
මල් පිපිලද කියල බලන්න රතට රතේ
රබන් ගහන්න දන්නෙත් නෑ ගහන්න රබන් ඇත්තෙත් නෑ දැන්
කාරි නෑ රබන් පද mp3 එක play කරමු
වල කජ්ජ ගහන්න ඉරි පනින්න දැන් ඉන්න එවුන් දන්න එකක්යැ
facebook එක් barn buddy වත් ගහමු
මාස ගණන් පේෂල් දාල චීත්තෙ හැට්ටෙ නුහුරුවට ඇඳපු ගෑනු
අවුරුදු කුමාරි වෙන්න sms ඉල්ලනවා
බහු ජාතික සමාගම් අවුරුද්දට අනුග්‍රහය දක්වන්න පොරකනවා
හ්ම්
ගතට හිතට නොදැනුනාට රූපවාහිනියෙ අයිය කෙනෙක්
සරමක් කාරිය ඇඳගෙන ඇවිත් කියනවා

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු

බලාපොරොත්තුව....


ඈත ක්ෂිතිජයේ පුංචි තරුවක් වගේ
උඹ පේන්නෙ මට
ඒත් මහාමේරුව වගේ බරයි උඹ මට
හරි සුන්දරයි
ඇත්තම නොවුනත්
කවද හරි දවසක
කකුල් දෙක ලඟ පොලවෙ ගහපු වීදුරුවක් වගේ
උඹ සිසීකඩ වෙලායන්න පුළුවන් කියල මම දන්නවා
එදාට ගොඩක් රිදේවි මට
ඒකත් මම හොඳටම දන්නවා අත්දැකීමෙන්
කොහොම උනත් මට උඹ ඕන
මොකද
මම ජීවත් වෙනවා කියල හිතෙන්නෙ උඹ නිසා
උඹ තුල ඉන්න ඇය නිසා....