Wednesday, May 29, 2013

අහෝ බුදු තෙමගුල ......









                 නෙක වරුණ විසිතුරු ඇඳුම් ඇඳ
                 කුඩා උන් පැළඳ වෙස් මුහුණු ඇවිදින
                 නලා පිඹිමින් කරන ගෝසා
                 නෙතට ගිනිකන විදුලි එළියෙන් පිරුනු මග තොට
                 ගෙදර පාළු කර දන්සැල් පෝලිම්වල නිවැස්සන්
                 හිම කිරම කඩල කජු වෙළෙන්දන්
                
                 අස්ථිර වූ අසාර වූ ජීවිතය
                 ඇල්ම අඩුකර වඩා ගුණදම්
                 පතා අමා මහ නිවන අවසන
                 දෙසූ සදහම් අමාමෑණී බුදු හිමි
                 තෙමගුලයි මේ මිනිසුනේ
                 තවත් එක සැණකෙළියක්ද අද එය
                

Sunday, February 3, 2013

කෝච්චිය සහ මම


මරදාන ELS(Electric Locomotive Shed) තුල M10 එකකට නැග
දුම්රිය නොහොත් අපේ සරල ව්‍යවහාරයෙන් කියනවා නම් කෝච්චිය කුඩාකල පටන්ම මා කුතුහලය ඇවිස්සූ මා ආසා කල අපූරු යන්ත්‍රයකි. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වන මාත් කෝච්චියක් අතර ඇති සම්බන්ධය ගැන බොහෝ දෙනා විමසයි. මා මෙන් කෝච්චියට සමීප එයට ආදරය කරන තවත් බොහෝ අය ඇති බව මම දනිතත් සමහරෙක් දන්නේ නැත. සරසවි දිවිය හමාර කර රැකියා දිවිය ඇරඹූ හෙයින් ලද සුළු අස්වැසිල්ලක මාත් කෝච්චියත් ගැන සටහනක් තබන්නට දරන වෑයමයි මේ.

ළදරු වයසේ පටන්ම යන්ත්‍ර සූත්‍ර ගැන අන් අයට වැඩි ඇල්මක් මට තිබුනු බව මතකය. පවුලේ වැඩිමල් දරුවා වන මට ඒ නිසාම කුඩා කල මවත් පියාත් දැඩිව ආදරය කලේය. ඒ ආද‌රයේ එක් ප්‍රථිපලයක් නම් මට ලැබුනු සෙල්ලම් බඩු ගොන්නයි. එයිනුත් අති බහුතරයක් කාර් ජීප් ලොරි ආදී වූ යන්ත්‍රවල අනුරූ විය. නමුත් මට ලැබෙන මේ සෙල්ලම් බඩුවත් වැඩි කාලයක් ආයු නොලැබූ බව තාත්තා අදත් මතක් කරයි. සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කර සෑහීමට පත් නොවන මා කරන්නේ එය කැබලි කිරීමයි. නැවත සවිකිරීමයි. නවීකරණය කිරීමට උත්සාහ කිරීමයි. එ නිසාම බොහෝ දරුවන් සාඩම්බරයෙන් සෙල්ලම් බඩු ගොන්නකට අයිතිය කියද්දී මට තිබුනේ අමතර කොටස් විශාල සංඛ්‍යාවක් පමණි.

Nissan Sunny B11 Station wagon මෝටර් රථයක්
බොහෝ දේවල් කැඩුවා සේම බොහෝ දේවල් අළුත් වැඩියා කිරීමට මට පුළුවන් කම තිබුනි. ගෙදර දොරේ යන්ත්‍ර සූත්‍ර ආදිය අතපත ගා හදන්නට ගාන මට තිබුනු ආසාව ඉවහල් විය. මට වයස 14ක් පමණ වන විට තාත්තා 12 ශ්‍රී 6568 දරන Nissan Sunny station wagon රථයක් මිලට ගත්තේය(පින්තූරයේ තියන වර්ගයේ එකක. මේ ඒක නෙමෙයි).   කාලයට සාපේක්ෂව පරණ මෝටර් රථයක් වූ එය නිරන්තරයෙන් දෝශ ගෙනදුන් අළුත්වැඩියා වලට බඳුන් වූවකි. කාරයේ අළුත් වැඩියාවන් වලට එන්නේ තාත්තාගේ මිත්‍රයෙකු වූ වාහන අළුත්වැඩියා කරන්නෙකි. ඔහුගේ නියම නම මම අදටත් නොදනිතත් ගාල්ලේ බොහෝ දෙනා ඔහු දන්නේ බේබි යන නමිනි. බේබි ඇවිත් කාරය හද්දී එතනට හොස්ස ඔබාගෙන කරන දේ බලා සිටීම මගේ පුරුද්දයි. පසු කලෙක මම සංගීත නාදයක් නිකුත්වන ඉලෙක්ට්‍රොනික පරිපථයක් සාදා එය මෝටර් රථයේ reverse light වලට යන විදුලියෙන් ක්‍රියාත්මක කලෙමි. එය කෙටි කලක් සාර්ථකට වැඩ කල බව මතකය. මගේ මේ මකබාස් වැඩ නිසා තාත්තාට කරදර වුනේ නැත කියන්නට බැරිය. සමහර විටක හිටිගමන් ඩෑෂ් බෝඩය යටින් මොකක් හෝ ෂෝට් වී දුම් නගින්නට ගනී. එවැනි විටක මට නැවත ප්‍රශ්නය නිරාකරණය කරන තුරු තම ගමන කල් දැමීමට තාත්තාට සිදුවේ. ඒ අතර වයස 15 පමණ වන විටම මෝටර් රථය පැදවීමට මට පුළුවන් වූ අතර එයට තාත්තාගෙන් පවා ලොකු උපදෙසක් ලැබුනේ නැතත් තාත්තා එලවනවා බලා සිට ලැබූ දැනුමෙන් මට මෝටර් රථ පැදවීමට හැකි විය. නැතහොත් ඒ හැකියාව මගේ ඇඟේ තිබෙන්නට ඇත.

මෝටර් රථයක තිරිංග පද්ධතිය වැඩකරන්නේ කොහොමද, එන්ජිමේ පිස්ටන් හි ignition plug වලට විදුලිය ලැබෙන ආකාරය, සිසිලන පද්ධතියේ ක්‍රියාකාරිත්වය, කාබියුරේටරය අවශ්‍ය වනේ ඇයි ආදිය ගැන ප්‍රමාණවත් දැනුමක් මට ලැබුනේ නිතර ලෙඩවූ අපේ මෝටර් රථය නිසයි. බොහෝ දෙනා මෝටර් රථයක් සතුව තිබුනත් එය පැදවුවත් එහි ක්‍රියාකාරීවය දන්නේ නැත. ලෙඩක් ආවිට ගරාජයකට ගොස් එය සාදාගැනීම ඔවුන්ට ප්‍රමාණවත් වේ. මම අයත් වූයේ ඒ කොට්ඨාශයට නොවේ.

දුම්රිය මෝටර් රථයක් මෙන් නොව ඊට සංකීර්ණ යන්ත්‍රයකි. මේ සුවිශාල එන්ජිම වැඩ කරන්නේ කොහොමද? මෙච්චර දිග දුම්රියක තිරිංග එක තැනක සිට ක්‍රියාකරවන්නේ කෙසේද? මෝටර් රථයක නම් ගියර් 4ක් සාමාන්‍යයෙන් තිබේ. දුම්රියේ ගියර් කීයක් ඇද්ද( දුම්රිය එන්ජිමක ගියර් නැති බව ඒ කාලයේ මම දැන නොසිටියෙමි) ආදී දහසකුත් ප්‍රශ්න මගේ සිතේ තිබුනි. ඒ වගේම බස් එකට වඩා කෝච්චියම මම ප්‍රිය කලෙමි. එයට මේ යයි හේතුවක් දිය නොහැක.

2007 හෝ 2008 දී මගේ කුතුහලයට පිළිතුරු ලැබෙන්නට පටන් ගන්නේ අළුත් මිතුරෙක් හමුවීමත් සමගයි. ඒ සඳරුවන් කුඩාහෙට්ටි නොහොත් සඳා. මට තරම්ම වගේම මටත් වඩා එනම් අන්තයටම කෝච්චි පිස්සුව තදවූ සෙට් එකක් ඇති බව දැනගන්නේ ඒ සෙට් එකට මා එකතු කරගන්නේත් සඳාය. කෝච්චි හදන රස්සාව නොකරත් ඇන්ජින් වල අන්තිම නට් එක බෝල්ට් එක තෙක් දන්නා සඳා, ටජා, විදුර, චරියා සහ කෝච්චි සෙට් එකේ අයගෙන මම කෝච්චි ගැන බොහෝ දේ ඉගන ගත්තෙමි. මූණු පොතේ අපේ තැන රේල් හන්දියයි. ඊට අමතරව ලොකු දැනුමක් ගෙහාන්ගේ බ්ලොගය හරහාද ලැබුනු බව නොකියා බැරිය.

කුඩා වාහනයක් තිරිංග ක්‍රියාත්මක කිරීමට ද්‍රවයක්(break oil) භාවිතා කරයි. ඒත් දුම්රියට ඒක කරන්නට බැරිය. එකක් මුළු දුම්රියේම break බට පිරවීමට oil බවුසරයක් පමණ අවශ්‍ය වීමයි. අනෙක් සුළු කාන්දුවක් වුවහොත් ටොන් ගණනක් බර යකඩ ගොඩක් නවත්වාගන්නට නොහැකිම මළ කෙලියක් වන නිසාය. එකී නොකී ප්‍රශ්න නිසා දුම්රිය තිරිංග සඳහා යොදාගන්නේ පරිසරයේ පහසුවෙන්ම සොයාගත හැකි දේය. එනම් වාතයයි. තිරිංග නල තුල වාතය සම්පීඩනය කර හෝ ඉවත් කර(vacuum) යන ක්‍රම දෙකෙන් එකක් දුම්රිය තිරිංග සඳහා යොදා ගනී.

දුම්රිය එන්ජිමක එන්ජිම සහ රෝද අතර ඍජු සම්බන්ධයක් නැත. මෙයට හේතුව නම් සම්ස්ථ දුම්රිය වැඩි විශාල ස්කන්ධයක් සඳහා වාහනයක මෙන් ක්ලච් උපරණයක් හරහා බලය ලබාදිය හැකි නොවීමයි. කලච් එකක් නිර්මාණයක කලද එය කැඩී යාමේ අවදානම ඉහල අතර නැත්තම් එක ගමන් වරායකට පසු ගෙවීම නිසා ක්ලච් ප්ලේට් මාරු කිරීමට සිදුවේ. මේ නිසා වෙනත් උපක්‍රමයක් එන්ජිමේ සිට රෝද වලට ශක්තිය සංසරණය කිරීමට යොදාගනී. ඩීසල් විදුලි(diesel electric) එන්ජින් වල එන්ජිම මගින් බලවත් විදුලි උත්පාදන යන්ත්‍රයක්(generator) කරකවා උපදින විදුලය  බොගියේ(රෝද කට්ටලයක්) ඇති ජවසම්පන්න මෝටර වලට(traction motors) වලට ලබාදේ. විදුලි මෝටරයක ඇදීමේ හෝ තල්ලු කිරීමේ හැකියාව(torque එක) ඉහලය. මේ නිසා ටොන් ගණනක දුම්රියක් ගමන් කරවීමට මෙම උපක්‍රමයට හැක. ලංකාවේ බහුතරයක්ම එන්ජින්( හරි වචනය locomotive ) මෙම උපක්‍රමය යොදාගන්නා ඒවාය. අනෙක් ප්‍රධාන වර්ගය ඩීසල් ද්‍රව (diesel hydrolic) ය. එහිදී එන්ජිම හා රෝද සම්බන්ධ ඇක්සලය අතර ශක්ති පරිවර්තනය කරන්නේ torque converter නම් උපකරණයකිනි. බොහෝ අය නොදැන සිටියාට auto gear වාහන වල ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේත් torque converter එකකි. මෙම උපකරණය ඇතුලේ ශක්තිය සංසරණය කිරීමට යොදාගන්නේ ද්‍රවයකි. ලංකාවේ ඇති diesel hydrolic එන්ජින් නම් W1, W2(දැන් ධාවනයේ නැත), W3 සහ S8 බලවේග කට්ටල වැනි ඒවායි.

මෙවැනි අපූරු යාන්ත්‍රික කරුණු ගැන සොයා දැන ගැනීම මට නම් ඉතා තෘප්තිකර කටයුත්තකි. දුම්රිය ගැන පමණක් නොව ABS break system, power steering වැඩ කරන හැටි, power break( මා ඉහත කී station wagon රථයේ power break නොහොත් safety break නොතිබුනි. තිරිංග යෙදීමේදී සෑහෙන බලයක් කකුලෙන් පෙඩලයට දිය යුතු වේ, තාත්තා පසුව එය විකුණා මිලට ගත් Nissan AD wagon රථයේ safety break තිබුනෙ. පාදයෙන් දෙන බලය එන්ජිමෙන් සම්පීඩනය කල වාතය යොදාගෙන විශාල ලෙස දියුණු කරන නිසා ඇඟිලි කිහිපයකින් බ්රේක් පැඩයල පැගීම ප්‍රමාණවත්ය), hybrid මෝටර් රථයක ක්‍රියාකාරීත්වය ආදිය අන්තර්ජාලය ආශ්‍රයෙන් මම ඉගෙන ගත්තෙමි.

ඉඳන් දුම්රියත් මාත් අතර ඇති සම්බන්ධය මෙවැන්නකි. නිරන්තර කෝච්චි ගමනත් මූණු පොතේ පලවන දුම්රිය පින්තූර නිසාත් "උඹ කෝච්චියක් බැඳ ගනින්" කීයූ අය ඕනෑ තරම්ය. සමහරුන් තමන් තුප්පහි වැඩ කර ඉන් සන්තෝෂ වන ගමන් "මොකක්ද මේ උඹ කෝච්චි ගැන හොය හොය කරන විකාරෙ" මගෙන් අසයි. විවිධ අයට විවිධ විනෝදාංශ තියනවා මෙන් මෙය මගේ විනෝදාංශයයි. ඉන් කාටවත් කරදරයක්ද නැත. අදත් හෙටත් මම කෝච්චියේ යමි. එන්ජිමට එබී බලමි. එහි ඇති යම් කොටසක ක්‍රියාකාරීත්වය ඉගන ගන්නට උත්සාහ කරමි. එයින් සන්තෝෂ වෙමි. කෝච්චිය මගේ ජීවිතයට සමීප ඒ නිසයි.

Sunday, December 16, 2012

ලෝක විනාසය




2012 දෙසැම්බර් 21ට බොහෝ පෙර
සිදුවිය ලෝක විනාසය

සියලු සතුන්ට හිමිවූ මේ පොලව
උන්ගෙන් උදුරා ගත් දින
සිදුවිය ලෝක විනාසය

බල තණ්හාවෙන් පීඩිතව
එකිනෙකා මරාගන්නට පටන්ගත්දා
සිදුවිය ලෝක විනාසය

තමන්ට ඇති පමණට ගෙන
සතුටු වනු වෙනුවට
සියල්ල බදාගන්නට වියරුව හැදුන දා
සිදුවිය ලෝක විනාසය

දයා කරුණා ගුණය, ආදරය සෙනෙහස
අමතක කල දා
සිදුවිය ලෝක විනාසය

ඉඳන්
හොර මැර කම්, දූෂණ මෙකී නොකී
දහසකුත් එකක් ජඩ කම් වලින් පිරුනු
මේ ලෝකයේ තවත් මෙනවා නම්
විනාස වෙන්නද?

Saturday, May 21, 2011

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - Shell commands 2.

රායිට් ඔන්න Shell commands දෙවන කොටස ලියන්නයි යන්නෙ. පළවෙනි කොටස අවුරුද්දකට විතර කලින් නෙව ලියවුනේ. මතක නැති අය බලපු නැති අය බලල එන්න. ඔන්න ලනුව.

rmdir (remove directory) - මේ විධානය පාවිච්චි කරන්නෙ හිස් folder එකක් මකන්න. මතක තියාගන්න හිස් නොවන folder එකක් මේ විදිහට මකන්න බෑ. ඒකට යොදාගන්නෙ rm කියන විධානය ඒක ඉස්සරහට හම්බවේවි.

cp (copy) - folder එකක් හරි file එකක් හරි එක තැනක ඉඳල තව තැනකට පිටපත් කරන්න මේ විධානය යොදාගන්නවා. මේ විධානෙත් cp තනියම පාවිච්චි කරන්න පුළුවන් තනි file එකක් හරි archive කරපු(zip,tar,tar.bz වගේ) ගොනු පිටපත් කරන්න විතරයි. ඇතුලත තව file හරි folder හරි තියන folder එකක් මේ විධානෙන් copy කරන්න උත්සාහ කලොත් මේ error එක ලැබේවි.
cp: omitting directory SOMEDIRECTORY

ඉතින් අපි කොහොමද හිස් නොවන folder එකක් copy කරගන්නෙ. ඒකට -r කියන පරාමිතියත් එක්ක cp විධානය යොදන්න ඕන. මේ වගේ
ravinda@ravinda-laptop:~$ cp -r /opt/abc ~/Documents

මේ කියන්නෙ /opt වල තියන abc කියන folder එක ඒකෙ අන්තර්ගතයත් එක්ක home එකේ Documents වලට copy කරන්න කියල. ~ සලකුණ පහුගිය සටහනේ විස්තර කලා මතක ඇතිනේ. මේත් එක්කම තවත් වැදගත් වෙන අවස්ථා කීපයක් මතක් කරන්නම්. මේ විධානය බලන්න.


ravinda@ravinda-laptop:~/Documents$ cp -r /home/ravinda/Documents/abc ../Downloads

මේ විධානයේ පාවිච්චි කරල තියන .. කියන එකෙන් අදහස් කරන්නෙ වර්ථමානයේ terminal එකේ අපි ඉන්න folder එකට(අපි මෙතනම pwd ගැහුවොත් පෙන්නන තැන තමයි අපි ඉන්නෙ මතක ඇතිනේ) folder hierarchy එකේ එක පියවරක් ඉහිලින් තියන ගොනුව කියන එක. මේ උදාහරණයේ අපි ඉන්නේ /Documents තියන තැන නිසා .. කිව්වාම අදහස් වෙන්නේ ~ නැත්තම් මගේ home folder එක. ඉතින් මෙතනදි abc කියන ගොනුව copy වෙන්නෙ home/Downloads කියන තැනට. මේ විදිහට path එක දක්වනවට කියනවා relative path කියල මොකද එතනදි අපි දැනට ඉන්න තැනට සාපේක්ෂව තමා path එක ප්‍රකාශ කරන්නෙ. මෙහෙම කරාම තියන වාසිය තමයි අදාල file hierarchy එක තියනවනම් ඔනෑම තැනකද(වෙන පරිගනකයක උනත්) මේ path එක වලංගුයි. හැබැයි අනිත් විහිහ ඒ කියන්නෙ absolute path විදිහට path එක ප්‍රකාශ කරාම ඒක ඒ පරිගනකය මත විතරයි නිවැරදි වෙන්නෙ.

ravinda@ravinda-laptop:~/Documents$ cp -r /home/ravinda/Documents/abc .

මෙතනදි abc copy වෙන්නෙ current folder එකට ඒ කියන්නේ ~/Document වලට. පැහැදිලි ඇති කියල හිතනවා. ලටපගන්න නම් එපා. :)

mv (move) - මේ විධානය dual purpose. නමෙන්ම කියවෙන විදිහට මෙයා file move කරන්න යොදාගන්නව වගේම file rename කරන්නත් යොදාගන්නවා. මේකෙ නම් අර omitting directory ප්‍රශ්නෙ නෑ. හිස් නොවන ගොනු උනත් move කරන්න පුළුවන්.

ravinda@ravinda-laptop:~/Documents$ mv abc ../Downloads

ආයෙ කියන්න දෙයක් නෑනෙ පැහැදිලි ඇති මම හිතන්නෙ. දැන් මෙන්න මෙහෙමයි rename කරන්න මේ විධානය යොදාගන්නෙ. මගේ home එකේ තියන abc කියන file එක xyz කියල rename කරනවා කියල හිතමු.

ravinda@ravinda - laptop :~$ mv abc xyz

folder එකක් rename කරන්නෙත් ඒ විදිහටම තමයි. මම root එකේ ඉඳන් මගේ Document වල තියන Linux කියන folder එක GNULinux කියල rename කරනව නම්

ravinda@ravinda - laptop :/$ mv /home/ravinda/Documents/Linux /home/ravinda/Documents/GNULinux

cat - file එකක අන්තර්ගතය එක පාරම screen එකට මුදා හැරීමයි මේ විධානයෙන් කරන්නෙ. මේකෙන් file read කරන්නත් පුළුවනි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ එකවර මුදාහරින එක. ඒ කියන්නෙ file එක කොච්චර ලොකු උනත් මෙයා ඒ ඔක්කොම එක ප්‍රවාහයට තිරයට යවනවා. ඉතින් දිග file එකක් cat කරොත් අපිට බලාගන්න පුළුවන් ඒකෙ අග ටික විතරයි. මොකද තිරයේ ඉඩ ප්‍රමාණය අනුව ඉතුරු ටික උඩට යනවනේ. මේ නිසා මේ විධානය ගොඩක් පාවිච්චි කරන්නෙ file read කරන්න නෙමෙයි. pipe කියන අංගය හරහා තවත් විධානයකට file එකක අන්තර්ගතය යවන්න මේක ගොඩක් වෙලාවට යොදාගන්නවා. pipe ගැන අපි පස්සෙ කතා කරමු. මම example.cpp කියල සරල c++ file එකක් cat කලේ මෙහෙමයි.

ravinda@ravinda-laptop:~/Documents$ cat example.cpp #include using namespace std; int main (){ cout << "Hello World" << endl; } ravinda@ravinda-laptop:~/Documents$

more - cat වලින් file එකක් කියවන්න සාර්ථකව යොදාගන්න බැරි නිසා ඒ කාර්ය කරන්න පුළුවන් විධානයක් තමයි more මේකෙන් වරකට screen එකට සරිලන ප්‍රමාණය බැගින් file එකක අන්තර්ගතය මුදා හරිනවා. අපිට පුළුවන් space button එක press කරලා ඊළග screen එකට යන්න.

ravinda@ravinda-laptop:~$ more example.cpp

ls - පහුගිය සටහනෙන් මේ list ගැන කිව්වත් මේකෙ වැදගත් යෙදීම් කිහිපයක් ගැන කියන එක අතපසු උනා. ඒ ටික මේකෙ ලියන්නයි හිතුවේ.

* ls filename - යම් file එකක් අදාල directory ය තුල තියනවද කියල බලාගන්න මේ විදිහට ls විධානය යොදාගැනීමෙන් පුළුවන්. හැබැයි මෙතනදි අදාල extention එකක් එක්කම file name එක දෙන්න වෙනවා. අදාල ගොනුවේ ඒ file එක තියනවනම් ඒ නමින්ම result එකත් නැත්නම් No such file or directory යනුවෙනුත් output එක දේවි.

උදා- abc කියන file එක තිබෙන විට
ravinda@ravinda-laptop:~$ ls abc.txt abc.txt

file එක නොමැති නම්
ravinda@ravinda-laptop:~$ ls abc.txt ls: cannot access abc.txt: No such file or directory

*ls *.xxx - යම් extension එකක් සහිත file සියල්ල search කරගන්න මේ විදිහට පුවවන්.

උදා- අදාල ගොනුවේ ඇති txt file සියල්ල බලා ගැනීමට
ravinda@ravinda-laptop:~$ ls *.txt
abc.txt doc.txt

*ls -lt - සියළු file වල විස්තර දින පිළිවෙලට පෙළගස්වා පෙන්වන්න

*ls -lrt - file වල විස්තර දිනය අනුව විරුද්ධ පිළිවෙලට(කලින්ම දිනය සහිත ගොනුව මුලින්ම) පෙන්වන්න.

*ls -d directory - අදාල නම සහිත directory එක තිබේදැයි බලන්න.

*ls -p - මේකත් ටිකක් වැදගත් එකක්. මෙතනදි result වල නම් අගට meaning characters යොදල පෙන්නන්නෙ. ඒ කියන්නෙ directory යක් නම් අගට / ලකුණ යොදනවා.

උදා-
ravinda@ravinda-laptop:~$ ls -p
algo/ Documents/ Music/ Public/
algo.tar.gz Downloads/ NetBeansProjects/ sges-v3/
Desktop/ examples.desktop Pictures/ Videos/

*ls -R - මේ විදිහට sub directory වල තියන files නුත් පෙන්නන්න list කරන්න පුළුවන්.

දැන් නම් මේකට ඇති වගේ. අනික මාස ගානක් තිස්සෙනේ ලියන්නෙ. cryptography ගැන ලිපියක් ලියන්න හිතිලයි තියෙන්නෙ ඒත් වෙලාව තමා අවුල. බලමුකෝ. එහෙනම් ආයෙ හමුවෙමු. ආයුබෝවන්.

Wednesday, April 6, 2011

වසන්තය...


වැටෙයි පිණි බිඳු අතු පත් අගින්
බලයි තුරුලිය පණ ගසා වටපිට
මියුරු විහඟ නද ඇසෙයි සැමතැන
තෙමුණු පොළව නගයි නැවුම් පුසුඹ
පැමිණ ඇත වසන්තය
සනසාලමින් ජීවිතය....

Saturday, March 5, 2011

හෙළ බස වනු රිසි පතල දැන ගමු ගැන සුබස...,


ආයුබෝවන් හැමෝටම.... කලකට පස්සේ ලැබුනු ඉස්පාසුවේ බොහොම වැදගත් දෙයක් ගැන සටහනක් තියන්නයි හදන්නෙ.

අන්තර්ජාලයේ සිංහල යුනිකේත භාවිතය ගොඩක් අයට ප්‍රශ්න ඇති කරන කාරණයක්. සිංහල යතුරු ලියනය කරන්න දන්නෙ නෑ අක්ෂර වින්‍යාසය විස්වාස නෑ ඉංග්‍රීසි වචන සිංහලටත් සිංහල වචන ඉංග්‍රීසිටයත් පරිවර්තනය කර ගැනීම ගැටළුවක් ඔය වගේ දේවල්. පහුගිය දවසෙ මාත් අපේ කැම්පස් එකේ පරිගනක විද්‍යාගාරෙ වැඩකරන කොට ඒ පරිගනකයෙ වෙබ් බ්‍රව්සරයෙ ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරන add on එක ඇතුලත් කරල තිබුනෙ නෑ. ඉතින් මම සාමාන්‍යයෙන් භාවිතා කරන Sinhalatips මේකට ස්ථාපනය කරන්න උත්සාහ කලා. ඒත් Mozilla add ons එකතුවෙ sinhalatips සොයාගන්න මට බැරි උනා. add on එක යාවත්කාලීන නොකිරීම නිසා ඉවත් කරලද දන්නෙ නෑ. සමහර විට මතක ඇති මුලින්ම ගොඩක් අය පාවිච්චි කරපු add on එක තමයි EnSiTip මේකත් යාවත්කාලීන නොකිරීම නිසා දැන් mozilla addon එකතුවෙ නෑ ඉන් පස්සෙයි මම නම් Sinhalatips පාවිච්චි කලේ. ඉතින් ඒකත් නැති නිසා වෙන add on එකක් මම හොයන කොට "ඉඟිය" කියන addon එක ගැන මට මතක් කලේ අපේ ලුකා(ප්‍රසාද්) සහෝදරයා. ඉඟිය හොයාගෙන යනකොට මට හම්බුනේ කලින් දැකල පුරුදු වෙබ් අඩවියක්. කලින් හැම පාරම යන්තම් බැළුව මිසක් හොඳට හොයල බලන්න වෙලාවක් උනේ නෑ. මේ වතාවෙ මම අවධානයෙන් බැළුවා. එතකොටයි දැනගත්තේ මේක බොහොමයක් දේවල් ගොඩක් වටින දේවල් අඩංගු වෙබ් අඩවියක් කියල. ඉතින් ඉඟිය බාගෙන මගේ කාර්ය කරගෙන නවතින්නෙ නැතුව ඉඟිය සහ තව බොහෝ දේවල් ඇතුලත් මේ අපූරු වෙබ් අඩවිය ගැනත් සටහනක් ලියල තියන්න හිතුවා.

ඉතින් මොකද්ද මේ වෙබ් අඩවිය. ඒ තමයි "සුබස"(http://www.subasa.lk). සුබස කියන්නේ, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ඒ කියන්නෙ UCSC එකේ භාෂා තාක්ෂණ පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් කියල කියන්නෙ බොහොම ආඩම්බරයෙන්. සුබස කියන්නෙ මොකක්ද කියන එක සුබසෙ හැඳින්වීම ඒ වෙබ් අඩවියෙන්ම මම උපුට ගත්තා.

"ආයුබෝවන්

මෙය සිංහල භාෂාව සඳහා සබැඳි සේවා සපයන වෙබ් අඩවියකි. පරිගණකයෙහි සිංහල භාෂාවෙන් කටයුතු කිරීම පහසු කිරීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙයි. මෙහි සබැඳි යතුරු පුවරුව සහ ශබ්දිම යතුරු පුවරුව සිංහල යතුරු ලියනය කිරීමට අපහසු ඔබට මහත් අස්වැසිල්ලකි. සිංහලෙන් යතුරු ලියනය කළ ලියවිලිවල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීමට මෙහි අකුරු විනිස පිරික්සුව ඔබට උපකාරී වනු ඇත. එසේ ම යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් යතුරු ලියනය කළ ලියවිලි යුනිකෝඩ් බවට පරිවර්තනය කරන මෘදුකාංගයක්, වෙබ් පිටුවල ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගයක් සහ පැරණි සාහිත්‍ය කෘති නොමිලේ ලබා දෙන සේවාවක් මෙම අඩවියෙන් ලබා දෙන අන්තර්ජාල සේවාවන්ට අයත් වේ. "

ඉතින් මෙන්න මේ සේවාවන් ගැන ටිකක් සවිස්තරව පැහැදිලි කරන්නයි මගේ බලාපොරොත්තුව.

සුබස ඉඟිය

ඉඟිය කියන්නේ Mozilla Firefox හා Mozilla Thunderbird කියන මෘදුකාංගත් එක්ක භාවිතා කරන්න පුළුවන් සිංහල <--> ඉංග්‍රීසි පරිවර්තක add on වර්ගයේ මෘදුකාංගයක්. හැබැයි ඉඟිය මෙතෙක් තිබුනු ඒ ආකාරයේ අනෙත් add on වලට වඩා දියුණු මෘදුකාංගයක්. සාමාන්‍ය විදිහටම ඉංග්‍රීසි වචනයක් උඩට mouse pointer එක ගෙනයාමෙන් ඒ වචනයේ සිංහල තේරුමත් සිංහල වචනයක් උඩට mouse pointer එක ගෙනයාමෙන් එහි ඉංග්‍රීසි වචනයක් අපට ලබා ගන්න පුළුවන්. තව අපූරු දෙය තමයි යම් ඉංග්‍රීසි හෝ සිංහල වචනයක් උඩ double click කලාම ලැබෙන අනෙක් භාශාවේ සමාන වචනයක් උඩ click කිරීමෙන් පිටුවේ ඒ වචනය අනෙක් භාෂාවේ සමාන වචනයෙන් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්.
Collision නම් වචනයෙහි තේරුම ඇති සිංහල වචන
එයින් ගැටුම නම් වචනය උඩ click කල විට

තාක්ෂණික පැත්ත ගැන යම් අවබෝධයක් තියනවනම් JavaScript කියන scripting language එක පාවිච්චි කරල තමයි මේ වගේ දේවල් කරන්නෙ. ඉතින් මේ ගැන තවත් තොරතුරු සුබස හි ඉඟිය පිටුවෙන් දැන ගන්න පුළුවන්.

ඉඟිය ස්ථාපනය කරගන්නෙ මෙහෙමයි. මේ සබැඳියෙන් add on එක බාගත කරගන්න. ඉන් පස්සේ ඒ බාගත කරපු file එක උඩ right click කරලා ලිනක්ස් වල නම් open with another application වලින් Firefox තෝරලත් වින්ඩෝස් වල open with-->Firefox තෝරලත්
ඉන්පස්සේ Firefox වලින් එන install add on window එකෙන් install තේරීමෙන් මේක ස්ථාපනය කරගන්න පුළුවන්. ස්ථාපනය වෙනකොට දකින්න පුළුවන් en-si වචන ශබ්දකෝෂයත් ස්ථාපනය වෙනවා. ඒ කියන්නෙ පරණ EnSiTip වල දියුණු කරන ලද වචන මාලාවම තමයි ඉඟියත් පාවිච්චි කරන්න. EnSiTip නිර්මාණය කලෙත් මේ UCSC භාෂා තාක්ෂණ පර්යේෂණ ආයතනයෙන්ම තමයි.

යතුරු පුවරු

සිංහල යුනිකේත යතුරු ලියනය කිරීම අපහසු අයට අපූරු උපකාරයක් තමයි මේ.මේ යටතේ දෙආකාරයක යතුරු පුවරු වෙබ් අඩවියේ තියනවා. ඒ තමයි සබැඳි යතුරු පුවරුව සහ ශබ්දිම යතුරු පුවරුව(phonetic keyboard).


මේකෙ සිංහල අකුරු ආකාරයෙන්ම යතුරු දකවල තියන එක තමයි සැබැඳි කියල කියන්නෙ. වචනයක් ලියනකොට අපිට මුලින්ම ලියන්න අවශ්‍ය වෙන අකුරු සියල්ලම අපිට මුලින් පෙන්නනව මේ විදිහට.
මෙතනින් අපි මුලින් අපිට ඕන අකුර තේරුවාම ඒ අකුරෙ පිල්ලන් සහිත අවස්ථා ඔක්කොම දකුණු පැත්තෙන් පෙන්නනවා. එතනින් අපිට අවශ්‍ය පිල්ලම් සහිත ආකාරය තෝරන්නයි තියෙන්නෙ.


ශබ්දිම යතුරු පුවරුව

මේ කියන්නෙ හැමෝටම හුරු පුරුදු UCSC Real time Unicode Converter ආකාරයේ යතුරු පුවරුවක්. සිංහල වචන ඉංග්‍රීසියෙන් ශබ්ද වෙන විදිහට ටයිප් කරල අදාල සිංහල යුනිකේත වචනය අරගන්න පුළුවන්. මේ ගැන නම් හැමෝම වගේ දන්න නිසා කියන්න දෙයක් නෑ වැඩිය.

යුනිකේත පරිවර්තක

යුනිකේත නොවන ඒ කියන්නෙ කපුටා, මානෙල් වගේ ෆොන්ට් භාවිතා කරල ලියපු දේවල් යුනිකේත වලට හරව ගන්න පරිවර්ත තුනක් සුබසේ ඔබට ලබා දීල තියනවා. පහත තියෙන්නේ ඒ පරිවර්තක ඒවාට ලනුවත් එක්ක.
DLමානෙල්-->යුනිකේත
කපුටා-->යුනිකේත
FMඅභය-->යුනිකේත

මීට අමතරව මෙහි off line මෘදුකාංගයත් මෙතනින් බාගන්න පුළුවන්.

අකුරු විනිස පිරික්සුම

සිංහල වචන වල නිවැරදි බව බලන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ. මේකෙ තියන දත්ත එකතුවකින් තමයි නිවැරදි බව බලන්නෙ. ඒත් මේක නම් එච්චර නිවැරදිව වැඩ කරන බවක් මට පෙනුනේ නැහැ. ඔයාලත් ටිකක් බලන්න.

ඉතින් තවත් පොත්ගුල, වීඩියෝ, සම්පත් වගේ තවත් දේවල් මේ වෙබ් අඩවියේ තියනවා. ඒවත් පාවිච්චි කරල බලන්න උවමනා අය.

තවත් කිය යුතු දෙයක් තමයි සුබස මේ වෙබ් අඩවිය e ස්වාභිමානී සම්මාන උළෙලේදී ත්‍යාගයක් පවා දිනාගනු ලැබුවා.

එහෙනම් හමුවෙමු ආයෙ වෙලාවක් ලැබුනාම තවත් සටහනකින් හමුවෙමු. එතකන් ආයුබෝවන්.

Friday, February 18, 2011

සරසවියේ නොමියෙන මතකය...


"2008 සැප්තැම්බර් 15 දින මුලින්ම කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නම් කෙම් බිමට පා තබා ඉන් දෑ අවුරුද්දකුත් සා මසකට පසු ඒ සොඳුරු ඉමෙන් සමුගෙන වෙන්වී යන 2007/2008 කණ්ඩායමේ මගේ දයාබර සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ සටහන තබමි"

(ඉහත නිසඳැස බවනෙ කවි පුවරුවෙන් උපුටා ගත්තක් බව සලකන්න)

දෛවයේ නියමය අනුව නුඹත් මාත් අපි සියල්ල ජීවිතයේ එක් මං සන්ධියක එකම තැනකට ආවෙමු. අපි සියල්ලන්ගේ පිනට ඒ තැන කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නැතිනම් UCSC ය නම් පින් බිම විය. එක කුස නූපන්නද අපි සහෝදරියන් සහෝදරයින් වීමු. ලබැඳියවුන් වීමු. ලංකාව පුරා සිට පැමිණ කොළඹ ගෙන්දගම් පොළවේ පය ගසා පවුලේ අය නෑදෑයින් කිසිවෙක් නැතිව ජීවත් වෙද්දී අපි එකිනෙකාගේ දුක සැප බෙදාගන්නට පුරුදු වුනෙමු. මෙතෙක් කල් අප සැම එක්ව කල කී දෑ බොහෝය මේ එයින් බිඳක් යලි මතකයට ගෙනෙන්නට දරන වෑයමයි.

එක පුටුවේ තුන් හතර දෙනා වාඩිවී පලු යනකම් බැනුම් ඇසූ කාලය අපිට තාමත් මතකය. චිත්තීගේ බලු කතාව, ලකයා "ටොමැක් එකේ කෑම රසායි" යනුවෙන් කෑගැසූ හැටි, සාදුගේ කාලීන බණ, හිරේගේ සමිතිය, රම්බෝගේ මගුල, එකී මෙකී නොකී තව බොහෝ දේ අපි අදටමත් සිනහ මුවින් මතක් කරන්නෙමු. අපේ activity day එක. ඒ අපේ කුළුඳුල් function එක. චිත්තීගේ පිළිගැනීමේ කතාව(ඒ කතාවෙන් උපුටා ගෙන ලියපු මේ කොටස ගත්තේ අපේ හූනා(කළණ)ගේ මූණු පොතෙන්)
"අයියලා අපිට බනිද්දී...
අපි හැදිලා නෑ කියල කියද්දි...
අපි සිටියා එකා වගේ එකටරැඳී...
...ඒ ගැන කොච්චර කිව්වත් මදී...
ඒ කාලෙ ගත්ත ආතල් මතක් වෙද්දී..
...පහුගිය අවුරුදු දෙකහමාර දිහා හැරිල බලද්දී...
තව ටික දවසකින් අපිට යන්න වෙනව කියල හිතෙද්දී...
කොච්චර වුනත් හිතට හරි මදී...
ඒ කාලෙ ගැන නම් කොච්චර කිව්වත් මදී..."
රම්බෝගෙ නාට්‍ය, කුමාර සන්නිය, රුවිතෙට යාම වැනි අංග බොහොමයක් නිතැතින්ම නරඹන්නන් සිනහ ගැන්වූවා. කාගෙත් අව්‍යාජ උත්සාහයක උපරිම ප්‍රතිපලය උනු moreආතල්இலவசம் අදටත් අපේ මතකයන් තුල සිටිමින් අපේ මුවට සිනහවක් එකතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම freshes meet, faculty meet දෙකේදිම දාස් ගණන් ඉන්න අනික් faculty සියල්ල පරදා පළවෙනි තැන ගන්න UCSC අපේ සුළු පිරිසට හැකි උනේ UCSC පවුලේ ශක්තිය පුද්ගලයන් ගණන ඉක්මවා ගිහිපු අපේ කම කියන හැඟීම නිසා වෙන්න ඇති.

සපත්තු දාල කමිසෙ යට කර එතෙක් කල් ආ නවක අපිට සාමාන්‍ය කැම්පස් සංස්කෘතියට එකතු වෙන්න ලැබුනෙ බකට් එකෙන් පස්සෙ. බකට් කොන්සට් එකෙන් පස්සෙ පිට්ටනියෙ වාඩිවෙලා අයිස්ක්‍රීම් කාලා නොහිතාපු විදිහට වතුර බෑග් ප්‍රහාරයකට ලක්වෙච්ච විදිහ. ඉන් පස්සෙ ඉතින් අයියලා එකා එකා උස්සන් ඇවිත් නාවලා යවන්නත් අමතක කලේ නෑ. පැය තුනක් විතර වතුරත් එක්ක දඟලලා වතුර බේරෙන ඇඳුම් පිටින් බස් එකේ ගිය හැටිත් අදටත් මතකයි.

ශ්‍රමදානය අපේ UCSC ය වෙනුවෙන් අපි කරපු පළවෙනි දේ. වෙනදට වැස්ස දවසට අඩිය තියන්න බැරි බවනෙ දකුණු පැත්තෙ අපි හදපු අළුත් පාර, ඇන උයනට එකතු කරපු අළුත් පච බංකු, බවන ඉස්සරහ ගල් ඇතුරුම 2007/2008 කණ්ඩායමේ අපි ගැන හැමදාම සාක්ෂි කියාවි.

අපිට අයියලා දීපු sports day එක තවත් සුන්දර මතකයක්. පැය ගණන් බොංගො ගහමින් සින්දු කියපු ඒ වගේ නිදහස කාලයක් ආයෙ එන්නෙ නෑ. UOC cricket team එකේ වතුර අදින අපේ ලකයට හිතේ හැටියට සෙල්ලම් කරන්න ලැබුනෙ එදාය. බැට් එකෙන් ගහල ඒ මදි වෙලා බැට් එකේ මිටෙනුත් ගහල අන්තිමට සෙරෙප්පුවෙනුත් පන්දුවට පහරදුන් අයුරු මතකය. පිටි පිඟානෙන් කාසිය හොයාගන්න ගිහිපු අයට වෙච්ච දේ කාටත් මතක ඇතිවාට සැක නැත. බම්බගේ මූණ වෙස් මූණක් වෙලා තිබුනු බව නම් මගේ මතකයේ පැහැදිලිව ඇත.


2008 දෙසැම්බර් 20 ඒ අපිව UCSC පවුලට නිල වශයෙන් පොඩි එවුන් නැත්තම් 1st years ලා විදියට එකතු කරගනිමින් අයියලා අක්කලා අපිට දීපු Welcome එක. බ්‍රයන් අයියා Hotel California සින්දුව කාපු හැටිත්, හර්ෂ අනුරාධ අයියා ලනුවකින් බහින්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් අපි තාමත් මතක් කරන්නෙ හිනා වෙවී. එදා සම්මාන දිනාගත්තු අපේ අය අතර කන්නා(ලහිරු) - දෙනගම සම්මානය වගේම තව ගොඩක් අය සම්මාන දිනා ගත්තා. Welcome එකේදි අපිට දීපු සිහිවටනයේ මේ අකුරු පෙළ සටහන් කර තිබුනා "අපව දෙටු කල අපේ කණිටුවන් නියත විවරණ ලද වගයි". ස්තූතියි අයියේ අක්කේ...

පිරිත. හැම අවුරුද්දකම UCSC යේ නිර්මාතෘ දිවංගත මහාචාර්ය වී.කේ. සමරනායක ගුරුතුමා සිහිකරලා පිරිත් පිංකමක් පැවැත්වෙනවා. මේකෙ බර දන්නේ පළමු වසර අය. කැටයම් පිරිච්ච තොරණක්, වියන සහ දෙපස කැටයම් දහස් ගණනකින් අලංකාර කරපු පිවිසුම් මාර්ගයක්, ගල් කැටයම් පවුරක අනුරුවක්, කොරවක් ගල් සහ සඳකඩ පහන වගේම සියුම් කැටයමින් පිරුණු නෙළුම් මලක හැඩය ගත් පිරිත් මණ්ඩපය මේ සියල්ල අලංකාරව නිම කරන්න අපේ කවුරුත් එක වගේ මහන්සි වුනා.
සති තුනකින් අපි ඉවර කරපු ඒ කාර්ය ඒ වගේ දෙතුන් ගුණයක ශ්‍රමය තිබුනත් වෙන කාටවත් කරන්න බෑ ඒ අපි ලඟ වෙන කවුරුවත් ලඟ නැති දෙයක් තිබුන නිසා. අපේ වැඩක් අපේ අය වෙනුවෙන් කැපවෙලා කරන්න කවුරුත් පහුබැස්සේ නෑ. නිදි නැති රෑ ගෙවපුවා ඕනෑතරම්. UCSC ය වෙනුවෙන් නුඹලා කරපු කැපවීම විශිෂ්ඨයි මගේ සහෝදර සහෝදරියනේ. ඒ කැපවීම නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිතක් කිව්වොත් පිරිත කව්රුත් මතක් කලේ UCSC යේ පිරිත. මාර්තු 28 වෙනිදා පැවැත්වුනු අපේ පිරිස සිරස ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පවා විකාශය කලා.



2009 සැප්තැම්බර් වෙනකොට අපි දෙවස වසරට පා තියනවත් එක්කම අපිට නංගිල මල්ලිලා කට්ටියකුත් UCSCයට ගොඩවුනා. සරසවිය නම් පොතේ අ යනු ආ යනු කියා දී අපි නුඹට පාර පෙන්වූ වග අපට විශ්වාසයි.


අපේ පොඩි එවුන් වෙනුවෙන් අපි සංවිධානය කරපු sport day එක. අපේ හැම function එකකටම වැටුනු ආශීර්වාද වැස්ස එදත් ඇද වැටෙන්න අමතක කරේ නෑ. කලින්දා හවස ඉඳන්ම එක සීරුවට වැස්ස වැටුනත්. stage ගහන්න වැටවල් බඳින්න තව දහසකුත් එකක් දේවල් වලට එක්කෝ නිකම්ම තෙමි තෙමි නැත්තම් ෂොපින් බෑගයක් ඔළුවෙ බැඳගෙන අපේ උන් එහෙ මෙහෙ දිව්වා. අන්තිමට රෑ එළි වෙනකම්ම වැහැපු වැස්ස නතර උනේ පස්සෙන්දා උදේ 5ට විතර. යන්තම් ඇති අපේ අයගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. අපේ ප. අයියාගේ ලස්සන කඳවුරු ගිනිමැලෙත් එක්ක පළමු වතාවට sport day එකේ මල්වෙඩි ඉහලට නැගුනා.

70 දශකෙන් පටන් ගෙන වර්තමානය වෙනකම් ගලාගෙන ආපු අපූරු Welcome එක කාටත් මතක ඇති. එල්ලෙගෙයි බට්ටිගෙයි ජීවන මේ ගමන සංසාරෙන් පටන් අරන්, කිරාගෙ ගඟ අද්දර දිගේ ඇවිත් අත්තගේ මල් පිට මල් වැටෙන දිගු මාවතට ගොඩ වෙලා බොහොම ලස්සන ගීත ගමනක් අපි ගෙනාවා. ගෙම්බා, මංගො, එල්ලේ, කොයිල්, කුණ්ඩු,සූටියා, පොත්තා, සීනා, කංකුන්(මම නම් ඕකෙ හිටියෙ නෑbiggrin) පරණ විකට ගීත පෙළකට කරපු නර්තනය කවුරුත් මතක් කලාලු. හුරේල ජිකාලගේ නාට්‍යත් සිරා කියල තමයි කට්ටිය කිව්වේ. වැදෙන්න ඕන තැන් වලටත් වැදුනලුනේ. අපිට බුදු සරණයි නාට්‍යත් නැගල ගියා. තම ගොඩක් දේවල් තිබුනා. වේදිකාවේ කාලය අතීතයෙන් වර්තමානයට වෙනස් වෙනකොට පසුතලයත් වෙනස් උනා කියන්නෙ. 2007/2008 අපේ සෙට් එකේ වැඩ තමයි.

සාමාන්‍යයෙන් Welcome එකෙන් පස්සේ campus එකේ බැච් එකක කරන දේවල් ඉවරයි. ඉන් පස්සේ තියෙන්නේ බුක්ති විඳින්නයි. කව්රුත් බොහොම අමාරුයි වැඩ වැඩියි කියන තුන් වෙන් වසරේ UCSC යේ කවදාවත් නෙකෙරිච්ච ඒත් අපි ගොඩක් කාලෙක ඉඳන් කරන්න ඕන කියල හිතන් හිටපු දෙයක් කරන්න අපි බැචාලා අත ගැහුවා. අපි සංවිධානය කලත් UCSC පවුලේ හැමෝගෙම සහයෝගයෙන් සැබෑ වුනු ඒ හීනෙ තමයි ifo++. ගොඩක් අය කරන්න බෑ කියපු දේ අපි කලා බොහොම ලස්සනට කලා. අපි කකුලෙ එල්ලිලා පහලට ඇද්ද උප කුලපතිතුමියටත් අපේ ශක්තිය පෙන්නලා අපි ඒ කාර්ය කලා. මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රදර්ශන අංග විශාල ගණනක්, පරිගණක කෞතුකාගාරයක්, පාසල් සිසුන්ට ගුරුවරුන්ට දේශන, මව්පුවරුවකට ආකෘතියට සැකසූ අධ්‍යාපන කලාපය සහ තවත් බොහෝ දේ ifo++ තුල තිබුනා. පාසල් සිසුන් 3000කට ආසන්න ගණනක් සාමාන්‍ය ජනයා 25000ක් පමණ ifo++ නැරඹුවා. UCSC මවට අපෙන් දුන් අවසන් ත්‍යාගය තමයි ඒ.

2011 පෙබරවාරි 11 එදා තමයි 2007/2008 අපේ අය ලියපු අන්තිම විභාග ප්‍රශ්න පත්‍රය පැවැතුවුනේ. එනම් UCSC ය තුල අපේ අය එකතු වෙන අන්තිම දවස වුනේ එදා. අවුරුදු දෙකහමාරකදි අපි ගොඩක් දුර ආවා. UCSC යට එනකොට අපි සමාජෙට පොඩි ළමයි. සොඳුරු සරසවියෙන් අපි ගොඩක් දේවල් එකතු කර ගත්තා. ජීවිතයට අත්දැකීම් අරගත්තා. විනෝද උනා. පිස්සු නැටුවා. ඒ කාලය ඉතින් ඉවරයි. බවනෙ සිංදු කියපු කාලෙ, පච බංකු වල කයිය ගහපු කාලෙ, කොමන් එකේ කැරම් ගහපු කාලෙ ඒ කාලය දැන් අපේ පිටි පස්සෙන්. ජීවිතේ එක මන්සන්ධියකදි හමුවුනු අපේ එවුන්ට දැන් වෙන් වෙලා යන්න වෙලා. අපි ගියත් අපි කල කී දේ අපේ මතකයන් UCSC ය පුරාම හැමදාමත් ජීවත් වේවි.

"සබඳ, නුඹත් මමත් එක මවගේ දරුවන් වීමු. UCSC ය අපගේ මව විය. ඇගේ ඇකයේ නුඹත් මමත් හිනැහුනු කාලය අහවරය. වෙන්ව ගියත් නුඹත් මමත් ගොඩනගා ගත් ඒ සෙනෙහසේ බැමි නොබිඳෙන බව නම් විස්වාසය. හමුවෙමු යම් දිනක ඒ සොඳුරු මතකය යලි අවදි කරන්නට. ආයුබෝවන් UCSC මවුනි......"

Monday, December 13, 2010

ආ ගිය විත්ති...කලකට පස්සේ


කලකින් පස්සෙ උනත් ඉතින් මේ සූදානම සටහනක්ම ලියන්න නම් නෙමේ. කලකින් කිසිම දෙයක් ලියන්න බැරි උනාට කනගාටුව හෙම ප්‍රකාශ කරලා බොහොම ඉක්මනට අනම් මනම් ටිකක් ලියන්නයි හදන්නෙ.

ජීවිතයට සොඳුරු අත්දැකීමක් එකතු කරපු අපේ ආදරණීය සරසවියේ දැන් ඉතින් අපි සැඳෑ සමය තමයි ගෙවන්නෙ. තව මාසයකින් දෙකකින් අකමැත්තෙන් උනත් අපි ඒ මතකයන් විතරක් අරගෙන මෙතනින් යන්න ඕන. ඉතිරි මාස හය ගෙවෙන්නේ පුහුණු කාලය. දැනටමත් ගොඩක් අයට සම්මුඛ පරීක්ෂණ ඇවිත් පෙලක් අය තේරිලත් ඉවරයි.

3rd year එකේ නම් ඔළුව උස්සන්නවත් බෑ කියල ඉස්සර අයියල කිව්ව කතාවෙ ඇත්ත නැත්ත දැන් නම් හොඳටෝම තේරෙනවා. මේ මාසෙ ඉවර වෙනකොට ව්‍යාපෘතිය සම්පූර්ණ වෙන්න ඕන. ඉන් පස්සෙ විභාගෙ. ඊට කලින් තව ඇගයීම් කිහිපයකුත්. ම්ම්....sad

ifo++ නුත් කලා ඉතින්. ලොකු වැඩක්. අපිට තිබුනු හීනයක්. හැමෝම මහන්සි උනා. විශ්ව විද්‍යාලෙ ලොකු තැන අපිට කරන්න පුළුවන් බාධා ඔක්කොම කලා. ඒ හැම දෙයක්ම මැද අපි ප්‍රදර්ශනේ කලා. ගොඩක් අය ආවා. බ්ලොග් කරුවන්ගෙන් මට හම්බුනේ ඉන්දරේ විතරයි. තව අය ආවද දන්නෙ නෑ. ifo ගැන සවිස්තර සටහනක් ඉස්සරහල පල වේවී. ටික ටික ලියාගෙන යනවා තව ඉවර නෑ.

යාළුවෙක් එක්ක පොඩි වැඩකට සෙට් උනා. ♫...ගී පැදුර...♫ කියන බ්ලොග් එක ලියන්න. බ්ලොග් ලියන්න වෙලාව නෑ තමයි. ඒත් සිංදුවක් ලියන්න වැඩි වෙලාවක් යන්නෙ නෑනෙ. මට නම් විනාඩි පහකට වඩා යන්නෙ නෑ. මම බොහොම ආදරේ කරන විඳින සිංහල සරල ගීත මම ගී පැදුරට ලියනවා. ගීතයක සංගීතයේ පද වැලේ මිහිර විඳින්න ආස ඇත්තන්ට ඇවිත් බලන්න කියල ආරාධනා කරනවා. ආ මේ බ්ලොගයෙ අයිති කාරයා තමයි අපේ අල්ලපු බෝඩිමේ ඉන්න රසිකයා.

ලිනක්ස් ගැන සටහන් පෙළ දකින්න ආසාවෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ ඒක නැවැත්තුවා නෙමෙයි. ලියන්න වෙලාවක් නැති වෙලයි ඉන්නෙ. අනිවාර්යෙන් ඒක ලියනවා ආයෙ වෙලාවක් ලැබුන ගමන්.

ජීවිතේ වෙන්නෙ මොනවද කියල කියන්න කාටවත් බෑ. හැබැයි මොනව උනත් හිතට එකඟව කරන දේ හරියට කරන එකයි මගේ ක්‍රමේ. ඒක කොතනට මාව අරන් යයිද කියල මම දන්නෙ නෑ. මොනව උනත් මොනව ලැබුනත් නොලැබුනත් මම ඒක පිළිගන්න ලෑස්තියි. තතු දත්තෝ තේරුම් ගත්වා. wink

ප.ලි - උඩින්ම තියන පින්තූරය ගැන කියන්න බැරි උනානේ. අපි පරිගනක විද්‍යා සංගමෙන් පහුගිය දවසෙ හොරණ ශ්‍රීපාලී විද්‍යාලයට ගියා දෘඩාංග ගැන වැඩමුළුවක් කරන්න. ඒක ඉවර වෙලා ආපහු හොරණට එන්න බස්නැවතුමේ ඉන්න ගමන් මම ඡායාරූපයක් ගත්තා අපි තුන් දෙනාවම අහුවෙන්න. වාසනාවට වගේ තුන් දෙනාම ඉන්නවා. ඒත් අපේ නරියා(සුපුන්) ඇස් දෙක පියාගෙනනනේ..මැද ඉන්නේ පාලි(කණිෂ්ක).

එහෙනම් ගිහින් එන්නම් ආයුබෝ..........smile

Thursday, October 21, 2010

Ideas Free and Open - අදහස් නිදහස්ව හා විවෘතව ##UCSC Proudly Presents ifo++##

ifo++ නැත්නම් Ideas free and open කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය(UCSC) විසින් පළමු වරට සංවිධාන කරනු ලබන තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනයයි. විවිධාකාර ප්‍රදර්ශන අතර ඔබට නවමු අත්දැකීමක් සමග ifo++ ඔක්තෝම්බර් 28,29 සහ 30 යන දිනවල කොලඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතන භූමි පරිශ්‍රයේදී පැවැත්වෙනවා ඇති.

මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට අපිට අරමුණු වෙන්නේ UCSC යේ පරිගනක අධ්‍යාපනයට වසර 25ක් මේ වන විට සපිරීම(1985-2010). අපේ ආයතනය University of Colombo School of Computing නමින් ආරම්භ වෙලා තවම වෙන්නේ වසර 8ක් විතරයි ඒත් 1985දී සංඛ්‍යාන හා පරිගනක විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට තමයි අප පරිගනක අධ්‍යාපනය ආරම්භ වෙන්නේ. ඒ එකල විද්‍යා පීඨයේ පීඨාධිපතිවූ විද්‍යාජෝති වී.කේ. සමරනායක මැතිතුමාගේ මැදිහත් වීමෙන්. මේ කාලයේ තමයි පළමු වර්ට Mini computer වර්ගයේ පරිගනකයක් සමරනායක මැතිතුමා විසින් ලංකාවට රැගෙන එන්නේ. පසුව ජපානයේ JICA ආයතනයේ ව්‍යාපෘතියක් මහාචාර්ය සමරනායක මැතිතුමාගේ විසින ශ්‍රී ලංකාවට ලබා ගැනීමෙන් විද්‍යාගාර දේශන ශාලා සහ නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත ගොඩනැගිලි පරිශ්‍රිය ඉදිකිරීනු ලැබ 2002 කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය ආරම්භ වෙනවා.

එසේ ආරම්භ වූ අප ආයතනයේ පළමු අධ්‍යක්ෂකවරයා වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන මහාචාර්ය සමරනායක මැතිතුමායි. එවන් වූ අභිමානනීය ඉතිහාසයක් අනුස්මරණය කිරීම සහ ලංකාවේ පළමුවෙන් පරිගනක අධ්‍යාපනය ආරම්භ කල ආයතනය ලෙසින් තොරතුරු තාක්ෂණයේ තුන් කාලයම ශ්‍රී ලාංකික ජනතාවට පෙන්වා දීම අප අරමුණයි.

මෙම ප්‍රදර්ශනයට පහත සඳහන් අංගයන් ඇතුලත් වෙනවා ඇති.

  • Research Projects
අප ආයතනයේ සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ සිසුන් විසින් කරන ලද පර්යේෂණ වලට අදාල ප්‍රදර්ශන භාණ්ඩ මේ යටතේ ඔබට දැක බලා ගත හැකියි.
Download:
FLVMP4
Download:

  • Innovative Projects
UCSC ය නැමැති පින් බිමෙන් තම නැණස පාදාගත් UCSC හි සිසුන් අතින් නිර්මාණය වූ සුවිශේෂ මෘදුකාංග සහ අනෙක් නිර්මාණ දැක ගත හැකි දුර්ලභ අවස්ථාවකි මේ. Virtual Reality, Augmented Reality, Mobile computing, Image processing වැනි ක්ෂේත්‍ර වලට අදාල ව්‍යාපෘති මේ යටතේ ප්‍රදර්ශනය වෙනවා ඇති.
Download:
FLVMP43GP

  • Robotics Room
අප Robotics Lab හි නිර්මාණය කල හා එහි පර්යේෂණ වලට අදාල වූ රොබෝවරු සහ Robotic සම්බන්ධ බොහෝ දේ මෙහි අඩංගුයි.
Download:
FLVMP43GP

  • ICT Education Zone
සුවිසල් පරිගනකයක System Unit එක තුල ඇවිද යන්න. සාමාන්‍ය පාසල් දරුවන්ගේ හා අනෙක් අයගේ පරිගනක ආශ්‍රිත දැනුම ඉහල දැමීම සඳහාම විශේෂයෙන් මෙම කලාපය නිර්මාණය වනවා. පරිගනක ආශ්‍රිත දෘඩාංග, නව තාක්ෂණයන් මෙහිදී සරලව පහදා දෙනවා ඇති.
  • Computer Museum
මහාචාර්ය සමරනායකයන් මෙරටට ගෙන ආ පළමු පර්ගනකයේ සිට පරිගනකයේ පරිනාමය UCSC ය සතුව ඇති අතිශ්‍ය දුර්ලභ පරිගනක සමග ඔබට දැකගත හැකියි.

  • ICT seminar series - පාසල් සිසුන් ගුරුවරුන් සඳහා

වෙනත් ප්‍රදර්ශන මෙන් නොව අප ප්‍රදර්ශණය වඩා ක්‍රියාකාරී කරමින් පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ටම සැකසූ වැඩමුළු පෙලක් සෑම දිනකම උදේ 9 සිට සවස 5 තෙක් පැවැත්වෙනවා ඇති. පාසල් ICT විෂය මාලාව ආශ්‍රය කරගෙනයි අප මෙහි අන්තර්ගතය සකසා තිබෙන්නේ.
  • Advanced Computer Science seminars
වඩා ගැඹුරු මට්ටමේ කරුණු අඩංගු කර මෙම වැඩමුළු මාලාවට ඒ සඳහා උනන්දුවක් ඇති අයට සහභාගී විය හැකියි.
  • Game Zone
පරිගණක ක්‍රීඩා වලට සහභාගී වීමට කැමති නම්. xbox ක්‍රීඩා කිරීමේ අවස්ථාව සමග.
  • Lots of other entertainment activities
IT quiz සහ Y FM DJ සමග තවත් දේ

නවතම තොරතුරු සඳහා සම්බන්ධ වන්න

පිවිසෙන්න ifo++ නිල වෙබ් අඩවියට
www.ifo.ucsc.lk

Sunday, August 29, 2010

දෑ අවුරුද්දකදි..


අවුරුදු දෙකකට කලින්
ජීවිතේ අළුත් ඉමකට පා තියල
කැම්පස් ජීවිතේ පටන් ගන්නකොට
උඹට මතකද
හැම ඉරිදම අපේ කෙල්ලො කොල්ලො
පහලවක් විස්සක්
එකිනෙකාට මුහුණ දාපු ආසන දෙකේ
ගුලිවෙලා වාඩි වෙලා
හිටගෙන උන්නු උන්ව කකුල් උඩ වාඩි කරගෙන
සින්දු කිය කිය කොළඹ ගිය හැටි,
දෑ අවුරුද්දකදි
ජීවිත වෙනස් වෙලා කාර්යබහුල වෙලා
හිතවත්කම් වෙනස් නොවුනත්
අර පන්ති මේ පන්ති project, exam
අපේ උන් දුරස් කරලා
මොනව උනත් වෙනදා වගේම
සෙනඟ පුරවගෙන
උඹ යනවා
හරියට මොනදේ උනත්
අපේ ජීවිතත් ගලාගෙන යන්න වගේ

Sunday, August 8, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - Shell commands


Sunday, March 28, 2010 දිනේදි මම ලියපු "මොකද්ද මේ shell" කියන ලිපියෙන් පස්සෙ ආයෙ ඔන්න ගොඩක් කාලෙකින් "ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව" ලිපි පෙළට තව ලිපියක් එකතු කරන්නයි යන්නෙ.ඒව මේව අස්සෙ තුන වසරටත් ආව නොවැ. අළුත් නංගිල මල්ලිල කට්ටියකුත් ආව කැම්පස් එකට. ඒ අතර අපේ කාලෙත් ඉවර වේගනයි යන්නෙ. කාලයක් ලිපි පෙළ නොලියා හිටියාම කට්ටිය හිතුවද දන්නෙ නෑ ලියන එක නැවැත්තුව කියල. එහෙම වෙන්නෙ නෑ. මතකනෙ. Ubuntu අයිසිං කිරීමත් ලියල ඉවර කලා. biggrin එහෙනම් ලිපිය පටන් ගමු. මේකෙදි මම ගොඩක් සරල මට්ටමේ ඉඳල කියන්නයි බලාපොරොත්තු වෙන්නෙ.

අපිට සාමාන්‍යයෙන් Linux prompt එක දකින්න පුළුවන් වෙන්නෙ මෙහෙමනෙ. මේ මගේ machine එකේ prompt එක පෙන්නන හැටි.




$ - මේ ඩොලර් ලකුණ සාමාන්‍ය පරිශීලකයෙක් විදිහට ඉන්නකොටයි පෙන්නන්නෙ
# - ඔබ සුපිරි පරිශීලකයෙක්(super user) විදිහට ලොග් වෙලා නම් හෑෂ් ලකුණ දකින්න පුළුවන්.
මේ ඔබ දකින prompt එකේ කොටස් වෙන්නෙ මේව.

ඉස්සරහින්ම තියෙන්නෙ ඔබේ පරිශීලක නම. @ලකුණෙන් පස්සෙ ඔබේ පරිගනකයේ නම. ආයිත් : එකක් දාල ඊළඟට පෙන්නන්නෙ ඔබ වර්තමානයේ ඉන්න ගොනුව මෙතන ~ ලකුණෙන්(මේකට කියන්නෙ trilda කියල) නිරූපනය කරන්නෙ ඔබේ home directory එක. ඒ කියන්නෙ මම ඉන්නෙ /home/ravinda කියන තැන.


ඊළඟට බලමු විධානයන් ගැන. සාමාන්‍ය Linux command එකක ව්‍යූහය වෙන්නෙ මේහෙමයි.

විධානය -විකල්ප පරාමිතිය

මේක මෙහෙම කොහෙවත් කියල නෑ. සරලව පැහැදිලි වෙන්න මම හිතල තමයි ලිව්වෙ. ඒ නිසා නොගැලපෙන අවස්ථා තියනවනම් කලබල වෙන්න එපා. විධානය කියන්නෙ ප්‍රධාන විධානය. විකල්ප වලින් පුළුවන් අපිට ප්‍රධාන විධානය ටිකක් වෙනස් කරල ක්‍රියාකරව ගන්න. සමහරක් විට විධාන වලට පරාමිතියක්(parameter) දෙන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි අන්තිමට යෙදෙන්නෙ. එහෙනම් අපි විධාන එකින් එක බලමු. සරලම තැන ඉඳල බලමු. මොකද මුල සිට සරලවනේ. smile

pwd(print working directory)

මේ command එකෙන් පටන් ගත්තොත් හොඳයි කියල හිතුනා. prompt එකේ මේ command එක execute කලාම. ඒ වෙලාවෙ අපේ working directory එක මොකද්ද කියන එක full path එක print කරල පෙන්නනවා. අපිට සාමාන්‍ය prompt එකෙනුත් ඉන්න තැන මොකද්ද කියල පෙන්නනව තමයි. ඒත් මේ command එකෙන් root එකේ ඉඳලම full path එක ලැබෙන එක වාසියක්.





cd (change directory)

කාටත් Linux file hierarchy එක මතක ඇති කියල හිතකනවා. terminal එක ගත්තාම ඒකදි මේ file hierarchy එකේ එහෙ මෙහෙ යන එක දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නෙ nautilus එකේදි අපි shortcut එකක් පාවිච්චි කරල හරි folder එකෙන් folder එකට ගිහින් හරි අපිට ඕන තැනට යනවනේ. අන්න ඒක terminal එකේදි කරගන්න හැටි. මේකට මූලිකවම පාවිච්චි කරන්නෙ cd කියන command එක. cd කියල දීල එක්ට පරාමාතියක් විදිහට අපිට යන්න ඕන තැන path එක දුන්න නම් හරි. මෙතනදි අපි file structure එකේ දැන ඉන්න තැනට සාපේක්ෂව path එක දුන්න නම් ඇති. root එකේ ඉඳලම දුන්න කියල අවුලක් නෑ. නමුත් අවශ්‍යම නෑ.

home එකේ ඉඳලා /media/Multimedia කියන තැනට වෙනස් වෙන හැටි.


මෙතන මුළු path එකම දෙන්නෙ නැතුව මගේ home එකේ ඉඳල ඉතිරි path දුන්නහමත් ප්‍රමාණවත්.


cd .. --> දැනට ඉන්න තැන ඉඳල එක ගොනුවක් ඉහලට යන්න මේ විධානය පාවිච්චි කරන්න පුළුවන්.

eg:
ravinda@ravinda-desktop:~/Documents/abc$cd ..
ravinda@ravinda-desktop:~/Documents$

cd - --> ක්ෂණිකව පියවරක් ආපස්සට යන්න මේ විධානයෙන් පුළුවන්

eg:
ravinda@ravinda-desktop:~$cd /usr/lib
ravinda@ravinda-desktop:/usr/lib$cd -
ravinda@ravinda-desktop:~$

තව අමතර කරුණු කීපයක් කියන්නම්. කිසිම path එකක් නොදී අපි cd කියල විතරක් enter කලොත් අපිව අරගෙන යන්නෙ අපේ home එකට. ඒ කියන්නෙ cd ~ කියල දෙන එන අවශ්‍ය නෑ cd විතරක් දෙන්න. තව දෙයක් තමයි path එකක් දෙනකොට අපි type කරගෙන යනවනම් යම් folder එකක(වෙන විධානයකදි නම් file එකක පවා) නමෙන් කොටසක් type කරල tab එක press කලාම ඒ අපි type කරපු කොටස ඇතුලත් නම් එක නම් තියෙන්නෙ ඉතිරි කොටස පුරවල දෙනවා. හැබැයි ඒ කොටස ඇතුලත්(අපි Do කියල type කරානම් home එකේදි Document , Download කියල folder දෙකක් තියනවා) අයිතම දෙකක් හරි වැඩිය හරි තියනවනම් එහෙම පුරවන්නෙ නෑ. අපි ආයෙ tab එක press කලොත් ඒ කියන්නෙ දෙපාරක් tab එක press කලාම ඒ අදාල කොටස ඇතුලත් අයිතම ඔක්කොම අපිට පෙන්නනවා.

ls (list directory contents)

අපිට මේ විධානය පාවිච්චි කරල යම් folder එකක තියන දේවල් බලාගන්න පුළුවන්. මේ විධානය යෙදීමෙදි list කරගන්න ඕන directory එකේ path එක පරාමිතිය විදිහට දෙන්න ඕන.

මෙතනදි මම path එකක් දිල නැති නිසා default ඒ වෙලාවෙ working directory එක තමයි list කරල තියෙන්නෙ. මේ content එක පෙන්නනද්දි පාට කීපයක් පාවිච්චි කරනවා. මෙතන නිල් පාටින් පෙනනන්නෙ folders. executables තව පාටකිනුත් , archives වෙනත් පාටකිනුත් වගේ විවිධ පාටවලින් මෙතනදි පෙනනන්නෙ.

ls -l --> මේ l කියන option එක පාවිච්චි කලාම ලැබෙන්නෙ long listing format එක.
මෙතන අපිට අන්තර්ගතය විස්තර සහිතව පෙනන්නවා. මෙතන එක එක columns වලින් කියවෙන්නෙ මෙන්න මේ දේවල්.

1- file permissions , Linux වල file permissions ගැන මම කලින් සඳහන් කලා මතක ඇති. ඒ ගැන වැඩිදුර පස්සෙ කතා කරමු. දැනට මේ පළවෙනි තිරුවෙ පෙන්නන්නේ ඒ ඒ අයිතමයට තියන permissions. ඒකෙ මුලින්ම d අකුරත් තියනවනම් ඒ අයිතමය directory එකක්(folder එකක්) - තියනව කියන්නේ ඒක directory නොවන ඒව. l අකුර තියනවනම් ඒක link එකක් නැත්තම් shortcut එකක් කියලත් කියන්න පුළුවන්.

2- number of links , අදාල අයිතමයට තියන links ගාන තමයි දෙවනි තීරුවෙන් පෙන්නන්නෙ.

3- ගොනුවේ හරි file එකේ හරි owner කව්ද කියල තමයි මේ තීරුවෙන් පෙන්නන්නේ.

4- ඒ ගොනුව අයිති group එකේ නම.

5- file එකේ size එක තමයි මෙතන පෙන්නන්නෙ.

6- අන්තිමට file එක modify කරපු දිනය සහ වේලාව මෙතන දක්වනවා.

7- මේ ගොනුවේ නම.

ls -a --> a කියන option එක යෙදුවාම අපිට hidden files නුත් අඩංගු කරල ප්‍රතිඵල පෙන්නනවා. ලිනක්ස් වල hidden file කියන්නෙ මුලට . එකක් තියන ඒව. ඒව සාමාන්‍ය විදිහට පෙන්නන්නෙ නෑ. බලාගන්න ඕන නම් nautilus එකේ ctrl+h press කරන්න. එතකොට hidden file තියනවනම් පෙන්නාවි.

මෙතන මම යෙදුවෙ ls -al කියල. එතකොට hidden files නුත් ඇතුලත්ව long list format එකට ප්‍රථිපලය ලැබනවා. තව දෙයක් මෙතන මුලින්ම තියන . සහ .. කියන දෙක මොනවද දන්නවද? මෙතන . කියල පෙන්නන්නෙ current directory එක(/home) .. කියන්නෙ ඒකෙ parent directory එක(root).

mkdir (make directory)

මේ විධානය පාවිච්චි කරන්නෙ folder එකක්(directory) හදන්න. මෙතනදි අපි පරාමිතිය විදිහට දෙන්න ඕන අපිට folder එක හදන්න ඕන නම අදාල path එකත් එක්ක.

ravinda@ravinda-desktop:~$mkdir ucsc --> මගේ home එකේ මම ucsc කියල folder එකක් හැදුවා.

ravinda@ravinda-desktop:~$mkdir /Desktop/ucsc --> Desktop එකේ ucsc කියල folder එකක් හැදුවා.

එහෙනම් මේ ලිපියට ඇති වගේ නේද? මුකුත්ම නොදන්න අයට වගේ මේ ටික සෑහෙන්න වැදගත් වෙයි කියල හිතනවා. එහෙනම් තව commands එක්ක හම්බෙමු. ලිපිය ගැන අදහසක් විවේචනයක් ලියල යන්නත් අමතක කරන්න එපා.

Sunday, July 25, 2010

තොරතුරු තාක්ෂණ දැනුම බෙදා දීමට දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට ගිය ගමන



ඔන්න ඉතින් ආයෙ කාලෙකට පස්සෙ බ්ලොග් කෙරුවාවට බහින්නයි යන්නෙ.ලියන්න බැරිවෙන්න හේතුව ආයෙ අයෙ මන්තරේ වගේ ලියන්න ඕන නෑනෙ නේද Assignments, Exam තමයි හේතුව. ඔන්න ඉතින් දෙයියනේ කියල ගිය සිකුරාදා STAT වලින් සමාසිකයේ මහා සංග්‍රාමය හෙවත් විභාගෙ ඉවර උනා. වරදක් නෑ දෙයියනේ කියල ඔක්කොම වගේ අවුලක් නැතුව ලියා ගත්තා. ඒ අතරෙ සතියෙන් පාඩම් කරපුවා, දවස් දෙකෙන් පාඩම් කරපුවා එහෙමත් තිබුනා confused.

මේ ලියන්න යන්නෙ ඒව ගැන නෙමේ. විභාගෙට කලින්ම CompSoc එකට(කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක තාක්ෂණ සංගමය) ආරාධනාවක් ඇවිත් තිබුනා දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලෙන් ICT සහ GIT කියන විශයන් වෙනුවෙන් දවස් තුනක වැඩමුළුවක් පවත්වන්න කියල. වැඩමුළුවක් කිරීම ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නොතිබුනත් අපිට ප්‍රශ්නයක් උනේ කාලය මොකද විභාගෙ කාලය තුලදි අපිට වැඩමුළුවට සූදානම් වෙන්න බෑ. ඔවුන් වැඩමුළුව ඉල්ලන්නෙ 19,20,21 කියන දවස් වල. අන්තිමේදී තරමක් අසීරු කටයුත්තක් උනත් අපි එකඟ වුනා ඒ දවස් වල වැඩමුළුව කරන්න. මෙහෙම එකඟ උනත් අන්තිම මොහොම වෙනකම්ම තරමක් අවිනිශ්චිත භාවයක් ගමන ගැන තිබුනා. මොකද කොළඹ ඉඳල දෙහිඅත්තකණ්ඩියට යන්න ගමන් පහසුකම් මොකද කරන්නෙ. පොදු ප්‍රවාහන සේවයක අපේ දවස් තුනකට ඇඳුම්, Laptop, සපත්තු ඔක්කොම උස්සගෙන යන්නෙ කොහොමද? අනිත් අතට අපේ සංගමයෙ අරමුදලේ පහුගිය ගුරුවරු පුහුණු කිරීමේ වැඩමුළුවෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුනෙ රුපියල් 1000කට අඩු ගානක්. මේ වෙලාවෙ අපිට උදව්වට ආවෙ Microsoft Student Champ එක. ඒ හරහා ඔවුන් අපිට ගමනාගමය පහසුකම් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දක්වන්න එකඟ වුනා. ඒ අනුව හැමදාමත් CompSoc එකේ ගමන් බිමන් වලට යන හේමන්ත අයියාගේ Nissan Caravan වෑන් රථයේ අපි ගිය ඉරිදා(18) පිටත් උනා දෙහිඅත්තකණ්ඩියට යන්න. අපේ ගමන් මාර්ගය උනේ පොළොන්නරුවට ගිහින් එතනින් දෙහිඅත්තකණ්ඩියට. උදේ 10ට විතර කොළඹින් පිටත් වෙච්ච අපි දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට එනකොට හවස 6 විතර වෙලා. ගුරුවරු එක්ක කතා බහ කරලා ලමයි ප්‍රමාණය කොච්චරද ගන්න පුළුවන් පන්ති කාමර පහසුකම් මොනවද කියල දැනගෙන අපි ගියේ අපිට නවතින්න සූදානම් කරල තිබුන මහවැලි සංචාරක බංගලාවට.

අපේ නවාතැන තිබුනෙ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දුරින්. අපරාදෙ කියන්න බෑ තැන නම් ඉස්තරම්. මේ තැන අපි වෙනුවෙන් ලෑස්ති කරල විය හියදම් දරල තියෙන්නෙ මහවැලි අධිකාරිය. වැඩමුළුව පස්සෙන්දා පටන් ගන්න ඕන නිසා අපි කලින්දා රෑ එළි වෙනකම්ම කලේ ඒකට හොඳ සැලැස්මක් හදන එක.
ලමයි 100ක් 150ක් එකට අරගෙන උගන්නන එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එතකොට කොටසක් පාඩමින් පිට යනවා. ආම්බාන් කරන්නත් අමාරුයි biggrin. ඉතින් අපි 10 සහ 11 වසර කණ්ඩායම් දෙකකටත් 12 වසර කණ්ඩායම් හතරකටත් බෙදුවා. ඉන් පස්සෙ උගන්නන පාඩම් අපි කට්ටිය බෙදා ගත්තා. එතකොට පැය 2කින් පාඩම ඉවර කරලා තව කණ්ඩායමක් එක්ක මාරුවෙන්න ඕන. එහෙමයි සැලසුම හැදුවේ. මේව කරන කොට ඉතින් රෑ වෙනවනේ නිදි මත හැදෙනවා. ඉතින් මෙතන බලාකියාගන්න ආනන්ද අයියා අපිට කහට එහෙම හදලා තියලයි ගියේ. ඕක ඉතින් සීනි දාල අපිට හදල දුන්නෙ අපේ අසංක(සාදු razz) තමයි. ඔය තේ හදන හැටි කියල දුන්නෙ මාතර පැත්තෙ වොඩ්කි කියල බවලත් කෙනෙක් කියනවනේ.
පස්සෙන්දත් උනා කියමුකෝ. ඉස්කෝලෙට ගිහින් පොඩි රැස්වීමක් තියල හෙම අපි ලමයින්ට අඳුන්වල දීල ඔන්න ඉතින් වැඩ මුළුව පටන් ගත්තා.
පළවෙනි දවසෙ මට උගන්නන්න තිබුනෙ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන පාඩම් කීපයක එකතුව. වැඩේ ටිකක් අමාරු කියල තේරුනේ සමහර ලමයි ජීවිතේට පරිගනකයක් අල්ලලාවත් නෑ. IT period එකත් කට් කරලා. ඉතින් ගොඩක් දේවල් අ යන්නෙ ඉඳලම කියල දෙන්න උනා. ඒ මට තේරුන දෙයක් තමයි ලමයි ගොඩක් ආසාවෙන් උනන්දුවෙන් කියන දේවල් අහගෙන හිටියා. කෑගැහුවේ කරදර කලේ නෑ. ඉතින් අපිත් අපේ උපරිමයෙන් ඔව්න්ට පාඩම් ටික දේවල් කියල දුන්නා.

මගේ ඉන්ටර්නෙට් සහ ඊ මේල් පාඩම
චතුරංග(හුරේ) ඉගැන්නුවේ Computer Hardware
Logic gates උගන්නපු මෝදිත(පෝමලා)
නුවන් මල්ලිගෙන් logical expressions
අසංක සහ අනිල් Networking කියාදෙමින්
ඔෂාන් 10,11ට පාඩමක් කරමින්
චතුරංග Visual Basic
කළිඳුගෙන්
තව පොඩ්ඩෙන් අමතක වෙනව අපේ කේෂාන් සහෝදරයත් VB කලා නෙව
මේ ඉන්නෙ අපි කස්ටියම කැමරාව timing කරලයි මේ photo එක ගත්තෙ

ඉතින් ඔහොම ඉස්කෝලෙ ඉවර වෙනකම් ලමයින්ට ඉගැන්නුවා කියමුකෝ. ඉස්කෝලෙ ඉවර උනාම තව රාජකාරික් තිබුනා. ඒ ඉස්කෝලෙ I.T ගුරුවරුන්ට web designing තව workshop එකක් කලා.ඒක ඉවර වෙනකොට රෑ 8 විතර.
ඔන්න ඔහොමයි ඉතින් වැඩ සටහන ගියේ. පලවෙනි දවසෙ තමයි අපිට දැන ගන්න ලැබුනෙ තුන්වෙනි දවස ඒ කියන්නෙ 21 අපිට 10 සහ 11 ලමයි ගන්න බෑ මොකද ඒ අයට විභාගෙ යෙදිල තියන නිසා එදා. ඒ නිසා දෙවනි දවසෙ සැලැස්ම සකස් කරන එක සෑහෙන අමාරු වැඩක් උනා. අන්තිමට flash වගේ ප්‍රශ්න අඩුවෙන් එන කොටස් ඉවත් කරලයි. සැලැස්ම හදා ගත්තෙ. ඉතින් දෙවනි දවසෙන් අපි 10 සහ 11 වසර වලට උගන්නන එක අවසන් කලා. පස්සෙ ආරංචි උන හැටියද O/L කොල්ලො කෙල්ලො විභාගය කල් දාල ඒ කියන්නෙ ඒ අයට කලාපෙ පේපර් එන නැතිව වෙනම පේපර් එකක් දීල වැඩමුළුවෙ තුන් වෙනි දවසත් ඒ අයට දෙන්න කියල විදුහල්පතිතුමාගෙන් ඉල්ලුවලු. කොහොම උනත් ඒක නම් කරන්න උනේ නෑ.


විදුහල්පතිතුමා ගුරුමණ්ඩලයේ කොටසක් සමග අපි කට්ටිය

තුන්වෙනි දවස වෙනකොට අපිට තිබුනෙ A/L GIT වල ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම. ඊට අමතරව කලාපෙ ගුරුවරු එකතු කරල දවසක වැඩමුළුවක් ගුරුවරුන්ටත් සංවිධානය කරල තිබුනා. ඒකෙ අපි ප්‍රධාන වශයෙන් කියල දුන්නෙ උබන්ටු OS එක install කරගෙන පාවිච්චි කරන විදිහත් joomla පාවිච්චි කරල web site එකක් හදාගන්න විදිහත්. මේ දවස බදාදනේ. ඒ කියන්නෙ අපි CompSoc එකෙන් සතිපතා කරන "ඉන්ටර්නෙට් සම්පත් භාවිතය" ගුවන් විදුලි වැඩසටහන විකාශය වෙන දවස. වැඩසටහන නිවේදනය කරන ගුවන්විදුලියෙ ජයසිංහ අයියා කලින් දවසෙ මට කතා කරලා කිව්වා අපි සජීවීම පාසලේ ඉඳල දුරකතන මාර්ගයෙන් වැඩසටහනට සම්බන්ධ වෙමු කියල. ඒ අනුව මමත් පාසලේ විදුහල්පතිතුමත් උසස් පෙළ ශිෂ්‍යාවකුත් වැඩසටහනට සජීවීව කතා කලා. අපූරු වැඩේ කියන්නෙ ඊට ටික වෙලාවකට පස්සෙ හැමදාම මේ වැඩසටහන අහන අතුල අබේරත්න කියල ඒ කිට්ටුව සිරිපුර කියන ප්‍රදේශයේ ඉන්න මහත්මයෙක් වැඩසටහනින් දැනගෙන අපි දෙහිඅත්තකණ්ඩියෙ ඉන්නව කියල ආව ඉස්කෝලෙට. ඒ මහත්මයත් ස්වෙච්ඡාවෙන් පරිගනක අධ්‍යාපනය ලමයින්ට දෙන කෙනෙක්. මේ වැඩමුළුව ගැන මේ මහත්මයා අපිට බොහොම ස්තූතිවන්ත වුනා. පස්සෙ විදුහල්පතිතුමාගෙ අවසරය ඇතුව මේ මහත්මයත් සම්බන්ධ වුනා වැඩමුළුවට. ඉතින් තුන්වෙනි දවසෙ වැඩමුළුව අවසන් කරපු එක තමයි කරන්න වුන අමාරුම දේ. මොකද ඒ දවස් තුනට මේ ලමයි අපේම නංගිලා මල්ලිලා වෙලා හිටියා. අන්තිමට සිංදුවක් දෙකක් කියලා පොඩි විනෝදයක් දීලයි වැඩේ ඉවර කලේ. මේ ලමයි ටික කොච්චර අපිත් එක්ක එකතු වෙලාද කියනවනම් අන්තිම last final සින්දුම තුනක් විතර කියන්න වුනාlol.

මේ වැඩමුළුවෙදි මම සහ අපේ අය උගන්නනවට අමතරව තව දෙයක් මේ ලමයින්ට දෙන්න උත්සාහ කලා. ඒ තමයි මේ ලමයි ගොඩක් අයට අනාගතේ ගැන ඉලක්කයක් තිබුනේ නෑ. ඉගනගෙන මොකද කරන්නෙ කියල ඒ අය දැනගෙන හිටයෙ නෑ. විශ්ව විද්‍යාලයට යනව කියල අධිෂ්ඨානයක් ඔවුන්ට ඇතිකරගන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඒත් ඔවුන්ට හීනයක් තිබ්බා. ඒකයි පන්ති වල උගන්නන කොට ආපු චිට් වල තිබුනෙ "අයියෙ කැම්පස් එක ගැන කතාවක් කියන්න කියල". අපි ඔවුනට පෙන්නල දුන්න කැම්පස් එක කියන්නෙ මොන වගේ තැනක්ද කියල. සුන්දර විශ්ව විද්‍යාල ජීවිතෙන් අත්දැකීම් කීපයක් ඔවුන් එක්ක බෙදාගත්තාම ඔවුන් බොහොම සංවේදී විදිහට ඒව අහගෙන හිටිය. හොඳට ඉගන ගෙන අම්ම තාත්ත තමන් වෙනුවෙන් කරපු කැපකිරීම් වෙනුවෙන් යමක් ආපහු දෙන්න කියල කිව්වාම ඔවුන් ඇහැ අගට ආපු පුංචි කඳුලකුත් එක්ක ඒව අහගෙන හිටියා. අපි ඔවුන්ගෙන් ගනිපු feedbacks කියෙවුවාම අපිට තේරුනේ අපි ඔවුන්ට දෙන්න උත්සාහ කරපු පණිවිඩේ හිතුවටත් වඩා හොඳට ඔවුන් අතරට ගිහින් තියනවා. ගොඩක් අය කියල තිබුනා GIT විභාගෙ ලියන්න නෙමෙයි හිටියේ ඒත් මේ පාර අනිවාර්යෙන් ලියනව කියල. අපි ඔවුන්ගෙ විශ්ව විද්‍යාල සිහිනයට ජීවයක් දුන්න කියල ගොඩක් අය ලියල තිබුනා. මේව කියවනකොට අපේ වෑයමේ සාර්ථක බව දැකල අපේ ඇස් වලටත් කඳුලක් ආව ඇත්තටම.

අන්තිමට අපේ නවාතැනේ අපිට කෑම බීම සකස් කරල දීපු ආනන්ද අයියත් දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ විදුහල්පතිතුමා විශේෂයෙන් මේ වැඩමුළුවට ප්‍රධාන වෙලා කටයුතු කරපු නදීකා ශ්‍රීපාලී ගුරුතුමියත් මතක් කරන්න ඕන. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ වෑන් රථයේ රියදුරු නැත්තම් අපේ අය කියන විදිහට අපේ මැනේජර් හේමන්ත අයියත් මතක් කරන්නම ඕන.
මේ සද්කාර්යට දායක වුන UCSC එකේ අපේ කට්ටිය