Tuesday, March 31, 2009

මැදියම් රෑ බෝම්බ ප්‍රහාර

ගිය සතියෙ වෙච්ච ආතල් සිද්ධි කීපයකුයි මේ කියන්න යන්නෙ.

පහුගිය දවස් වල අපේ පිරිත පැවැත්වුනා කියල මම කලින් කිව්වනේ. ඒ දවස් වල ඉතින් යමරෙට වැඩ. හවස 8 වෙනකම් කැම්පස් එකේ වැඩ.(අපේ කැම්පස් එකේ 8න් පස්සෙ ඉන්න බෑ.අධි ආරක්ෂක කලාපය නිසා.පට්ට චාටර්)පාරෙ දෙපැත්තෙ වියනෙ එහෙම කැටයම් කැපුවෙ කැම්පස් එකේ තියාගෙන. තව පිරිත් මණ්ඩප්පෙ වැඩ කලේ කිරුළපන හොස්ටල් එකේ(පිරිමි).ඉතින් ගොඩක් දවසට කැම්පස් එකේ ඉඳන් බෝඩිමට ඇවිත් කාලා කොහුවල ඉඳන් කිරුළපනට පයින්ම යනවා. ඊට පස්සෙ එළි වෙනකම් හොස්ටල් එකේ වැඩ.

මේ හොස්ටල් එකේ ලමයි 34ක් ඉන්නවා. ඉතින් එතකොට ආතල් තැනක් තමා කොල්ලො සෙට් එකක් ඉන්න කොට.අපේ බ්ලොග් ලියන චතුරංග(බොට්ටා) , කසුන්(පල්) එහෙමත් ඉන්නේ හොස්ටල් එකේ තමයි. රෑට එළවෙන 3 , 4 වෙනකම් වැඩනේ. එච්චර වෙලා ඇහැරගෙන ඉන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. සමහරක් කට්ටිය රෑ 12 - 1 වෙනකොට හිමීට ඇඳන් වලට යනවා. වැඩ කරන අය වැඩ කරගෙන යනවා.

ඔන්න රෑ 3ට විතර පටන් ගන්නවා නින්ජා ප්‍රහාර අර නිදාගෙන ඉන්න කට්ටියට. බහුලවම පාවිච්චි කරල පහර දීමේ ක්‍රමයක් තමයි රතිඤ්ඤා. හොස්ටල් එකේ කාමරයක හය දෙනෙක් විතර නිදා ගන්නවා. ගොඩක් කට්ටිය නිදාගෙන ඉන්න කාමරයක් බලලා රතිඤ්ඤෙ පත්තු කරලා දාලා දොර වහනවා. ඉතින් රතිඤ්ඤෙ පත්තු වෙන්නෙ බෝම්බයක් වගේ සද්දෙන් නිදාගෙන ඉන්න අය අඩි දෙක තුනක් උඩට වීසි වෙලා තමයි ඇහැරෙන්නේ. මේ ඒ සිද්ධියක වීඩියෝ එකක්. මුලින කැමරාව ඉලක්ක කරලා කාමරේ තියලයි රතිඤ්ඤෙ දාන්නෙ.මුල් වීඩියෝ එකේ ඉන්නෙ අපේ තරංග(N.පලා) පොර උඩ ගිහිල්ල ඇහැරෙන්නේ. දෙවනි එකේ ඉන්නේ රොෂාන්(කැන්දු) මිනිහ නම් රතිඤ්ඤෙ පිපිරිලා ටික වෙලාවකිනුයි ඇහැරෙන්නේ.




ඒ දවස් වල ඉතින් හොස්ටල් එක පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ල වගේ කොයිවෙලේ පත්තු වෙනවද දන්නෙ නෑ. රතිඤ්ඤා නැත්නම් තව දේවල් තියනවා කරන්න. ඇඟ පුරා බයින්ඩර් ගම් ගෑම එකක්. තව දැලි ලාම්පුතෙල් කවලම් කරලා හදා ගත්තු මිශ්‍රණයක් මූනේ ගෑමත් කරනවා. නිදා ගන්න එක අන්තිම භයානකයි ඒ දවස් වල. මටත් දවසක් ඩිංගක් නින්ද ගිය වෙලාවක කොමාන්ඩෝ බටයෙක් වගේ මූනෙ ඉරි ඇඳලා පොටෝ ගහල තිබුනා.

සමහරුන්ට මේව ඇහුවහම හිතෙන්න පුළුවනි මේ මොන විකාර වැඩද කියල. ඒත් කොම්පියුටර් ටියුට් ලෙක්චර් වලටම මැදි වෙලා ගෙවෙන ජීවිතේ ඒකාකාරී බව මග ඇරලා විනෝදයක් ගන්න මේ ආතල් උපකාරී වෙනවා.

ආ අපේ හොස්ටල් එකේ කට්ටියත් මේ ගමන්ම මතක් කරන්නම්. බම්බා ,වම්බොට්ටා ,කැව්ලා ,බිටා ,මරු ,කොයියා ,ගෙම්බා ,පල් ,බෝසා ,ගලයා ,පතන් ,සීනා ,කල්ලා ,කාකා ,කයියා ,ඇලිසා ,කරිප්පු ,මාරිස් ,තටයා ,මොකා ,නකා ,පලා ,කෙවින් ,ජෙරී ,පාල , පට්ටයා, බාසා,ලුකා ,කිත්තා ,කැන්දු ,නළුවා.

Sunday, March 29, 2009

අපේ දහඩිය මහන්සියෙන් ගොඩනැගුනු ඒ සොඳුරු රාත්‍රිය


කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ එහෙම නැත්නම් UCSC එකේ අපේ පළමු වසර ශිෂ්‍යයන් සංවිධානය කරපු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඉතා සාර්ථකව පැවැත්වුනා.

අදට මාසටයට කලින් ඉඳල අපේ බැච් එකේ අය ලෙක්චර්ස් කට් කරගෙන රූ නිදි මරාගෙන දරාපු මහන්සියේ ප්‍රථිපලය තමයි ඊයේ රාත්‍රියේ එළි දැක්වුනේ. වැඩේ ලස්සන දැක්කහම විඳපු අමාරුකම් කරදර ඔක්කොම අමතක වෙලා පුදුම සංතෝසයක් හිතට දැනුනේ. වැඩේ ඉවර වෙනකම් අපිවත් හිතුවේ නෑ මෙච්චර ලස්සන නිමාවක් එයි කියල. පිරිතට වැඩම කරපු ගංගාරාම විහාරයේ ගලබඩ ඥානිස්සර පොඩි හාමුදුරුවො ඉල්ලීමක් කලා මේ පාර වෙසක් එකට අපි හදපු පිරිත් මණ්ඩපයයි අනෙක් සැරසිලි ගංගාරාම විහාරයේ ප්‍රදර්ශනය කරන්න කියලා.

ලොකුම දේ තමයි අපි එක බැච් එකක් විදිහට මේක කරපු එක කියලයි මම හිතන්නේ. අපේ ශක්තිය එකමුතුව තමයි මේ නිර්මාණ වලින් පේන්නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන්නේ පොඩ්ඩ වැරදිච්ච ගමන් බයිසිකල් චේන් පොලු මුගුරු ගන්න පෙළපාලි යන දියව් දියව් කියල ඉල්ලන පිරිසක් කියලයි සමාජය හිතාගෙන ඉන්නේ. ඒක එහෙම නෑ කියල අපි පෙන්නුවා.මේ අපේ පිරිතේ සැරසිලි වලින් ටිකක්.


Tuesday, March 17, 2009

රාත්තල් 600ක් බර ගෝරිල්ලා



මගේ ලැප්ටොප් පරිගනකයේ උබන්ටු වින්ඩෝස් dual boot තිබුන බව මම කලින් කියල ඇතිනේ. මම වින්ඩෝස් පාවිච්චි කරන්නේ නම් නෑ. ඒ උනාට කැම්පස් එකේදි සමහර වෙලාවට අපේ එවුන් ලැප් එක ඉල්ලනවා photoshop වලින් වගේ වැඩක් කරගන්න(මේ දවස් වල විශේෂයෙන්ම). මගේ වින්ඩෝස් එකේ මොකක් හෝ අවුලක් තිබුනා. වින්ඩෝස් වලින් boot වෙනවා වැඩ කරන්නත් පුළුවනි ඒත් stuck වෙන්න බලනවා. ලොකුම අවුල තමයි shut down කරන්න බැරි වෙන එක. වින්ඩෝස් වලින් හරියට shut down නොකරහම ලිනක්ස් වලින් ඒ NTFS partition mount කරන්න බැරි වෙනවා. මේ කරදරේට මම යොදපු පිළියම හරිම සරලයි. ඒක තමයි බේතකටවත් වින්ඩෝස් boot නොකර ඉන්න එක. ඒත් අපේ එවුන්ට හදිසියකට වත් ලැප් එක දෙන්න බැරි නිසා මම හිතුවා වින්ඩෝස් ආපහු දාන්න. තව මට partition හරියට හදාගන්න උවමනාවකුත් තිබුනා.

ලිනක්ස් තියන මැෂින් එකකට වින්ඩෝස් දැම්මාම ලිනක්ස් වල grub එක(පරිගනකයේ ස්ථාපිතව ඇති OS පෙන්නලා boot කල යුතු OS එක තේරිය හැකි තැන) වින්ඩෝස් වලින් මකල දානවා. මම මේ ගැන forum වල හෙව්වාම එකක තිබුනා මෙහෙම."වින්ඩෝස් කියන්නේ තමන් ඉන්න කාමරයේ තව කාටවත් ඉන්න බෑ කියලා හිතන රාත්තල් 600ක් බර ගෝරිල්ලෙක්". අනිවාර්යෙන්ම ඒ කතාව හරි. පරිගනකයට වින්ඩෝස් දාන්න ගියාම ඌ හිතන්නේ ඒකෙ ඉන්න පුළුවන් ඌට විතරයි කියල. ඒකට ලිනක්ස්, වෙන OS නුත් ආරක්ෂා කරල තමයි ලිනක්ස් ස්ථාපනය වෙන්නෙ.

ඉතින් මාත් වින්ඩෝස් දාන්න ගියාම වින්ඩෝස් මගේ grub එක මැකුවා. මම ඒකට ලෑස්ති වෙලයි හිටියේ. grub එක නැවත යොදන්න ක්‍රම ඕන තරම් තියනවා. මමත් grub එක reinstall කර ගත්තා. ඒත් මොකක් හරි තැනක වරදක් උනා. grub එක නම් හරි නමුත් උබන්ටු boot කරන්න ගියාම කියනවා module එකක් සොයාගන්න බෑ කියලා. ඒක විසඳගන්න උත්සාහ කරත් පුළුවන් උනේ නෑ.අන්තිමේ මට ආයෙත් උබන්ටු ස්ථාපනය කරන්න උනා. ඔය නම් අන්තිම පාරටයි ගෝරිල්ලා(වින්ඩෝස්) ස්ථාපනය කරේ. ආයෙ නම් දෙයියන්නාන්සේ කිව්වත් ගෝරිල්ලෙක් නිසා මගේ උබන්ටු එක අවුල් කරගන්නෙ නෑ.

Tuesday, March 10, 2009

නිදුකාණනේ



කිත්සිරි ජයසේකර ගායනා කරන මේ ගීතටය සංගීත නිර්මාණය කරල තියෙන්නෙ නදීක ගුරුගේ. මේ ගීතයේ රූප රචනය විදිහට භාවිතා කරල තියෙන්නෙ graphic designing මෘදුකාංගයක් භාවිතා කරල චිත්‍රයක් අඳින එක. adobe photoshop හරි adobe illustrator වෙන්න ඕන මම හිතන්නෙ. බොහොම අපූරු නිර්මාණයක්. ඔයගොල්ලොත් බලන්නකෝ.

Saturday, March 7, 2009

කොහොමද බෑම

මම මගේ කලින් post එකේ ලිව්වා imageshack වලින් torrent බාන විදිහ. මම නම් දැන් ඒ විදිහටමයි බාන්නෙ. හරිම ලේසියි. හැබැයි අඩු download speed එකක් තියන අයට imageshach වල ඉඳල බාගන්න ටිකක් අමාරුයි. ඩයලොග් , මොබිටෙල් හෝ එයාර්ටෙල් HSDPA සම්බන්ධතාවයක් තිබුනත් 700MB වගේ avi file එකක් බාන්න පැය 1 1/2 කට ආසන්න කාලයක් යනව. ඒ වෙලාවත් වැඩියි වගේ නම් download accelerator එකක් දාලා බාගන්න පුළුවනි. මට පොඩි අවුලක් ආවා Linux වලට download accelerator එකක් හොයාගන්න බැරි වීම නිසා(හරි වචනේ download manager ද මන්දා). හැබැයි Linux වලදි download speed එක windows වලදිට වඩා වැඩියි.ඒත් download accelerator එකක් file එක කොටස් කීපයක් ලෙස සමාන්තරගතව බාන නිසා ඉක්මනට බෑවෙනව. කොහොම හරි හොයාගත්තා ක්‍රමයක්. තවත් ගිනි නරියා addon එකක්. නම Downthemall(මේ ගැන මට කිව්වෙ කැම්පස් එකේ බැචෙක් ලංකා(හිකා)). මෙතනින් බාගන්න. බලන්නකො හොඳද කියල. මම නම් imageshack වලින් බාන්න පාවිච්චි කරන්නෙ අපේ කැම්පස් එකේ wifi සම්බන්ධතාවය මේ තිර පිටපත්වල බලන්න වේගය කොහොමද කියල. බලල හපෝයි කියල හූල්ලන්න නම් එපා ඔන්න ?



Friday, February 27, 2009

Torrent බාන්න ලේසි ක්‍රමයක්



අපි ගොඩක් වෙලාවට අළුත් film එකක් බාගන්නේ software එකක් හොයා ගන්නේ Torrent හරහානේ. ඒ සෘජු බාගනීමක් කරගන්න නැති නිසා. ඒත් Torrent වලින් film එකක් එහෙම බාන්න ගියාම එපා වෙන්නෙ සෑහෙන වෙලාවක් යන නිසා. ඒ සම්පූර්ණ වෙලාවම පරිගනකය ක්‍රියාත්මකව තියෙන්නත් ඕන. සමහර Torrent files දවස් ගානක් යනව download වෙන්න.

Imageshack කියන්නෙ මේකට විසඳුමක්. මේක image hosting වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියේ නොමිලේ ලියා පදිංචි වෙන්න පුළුවනි. නොමිලේ ලබා දෙන ගිනුමකට 5GB ඉඩක් ඔවුන් ලබා දෙනව. ඒකෙ image drive කියන තැනට ගිහිල්ල අපිට අපේ torrent file එක මැෂින් එකෙන් ලබා දෙන්න හරි නැත්නම් torrent file එකේ link එක දෙන්න හරි පුළුවන්. එතකොට ඒ file එක ඔවුන්ගේ දෘඩ තැටියකට download වෙනවා. මෙතනදි ඉහල වේගයකින් download වීම වෙනව. සාමාන්‍යයෙන් 80KB(s) වගේ(අපි site එකේ බලනකොටනම් 350KB(s) වගේ වේගයනුත් දකින්න පුළුවන්). අපිට torrent එක download වෙන්න දාලා පස්සේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට imageshack එකේ ඉඳල direct download විදිහට අදාල file එක බාගන්න පුළුවන්.

ඒත් මේ වෙබ් අඩවියට torrent file එක එකතු කරන එක ටිකක් අමාරුයි. මොකද site එකෙන් host කරන්නෙ යම් කිසි සීමිත torrent ගණනකට විතරයි. බොහෝ වෙලාවට අපි torrent එක start කරන්න ගියාම කියනව ඔවුන්ගේ download pool එක full නිසා ටික වෙලාවකින් උත්සාහ කරන්න කියල. මේ නිසා torrent එක add වෙනකම් ඒ පිටුව refresh කරමින් ඉන්න වෙනව. මේකට පිළියමක් විදිහට ගිනි නරියට addon එකක් තියනව ReloadEvery කියල. මේකෙන් කරන්නෙ යම් පිටුවක් ඉබේ refresh කිරීමයි. මේ addon එක ඇතුලත් කරලා pool එකේ ඉඩ නෑ ටිකකින් උත්සාහ කරන්න කියන පිටුවෙ right click කරල ReloadEvery තෝරලා එකෙන් ReloadEvery 5s වගේ එකක් තොරලා ඊළඟට එම menu එකේම Enable තෝරන්න. එතකොට පිටුව තත් 5කට වරක් Reload වෙනව. ඕන නම් custom තෝරලා එතනින් තත්1න් Reload වෙන්න හදන්නත් පුළුවන්. ඊට පස්සේ ඕක Reload වෙවී තිබිලා pool එකේ ඉඩක් ආපු ගමන් torrent එක add වෙනවා. මේ තියෙන්නේ මගේ දැන් download වෙන එකක තිර පිටපත.


මට නම් මේ ක්‍රමයට පහසුයි. ඉහල වේගයකින් බාගත කරගන්න පුළුවන් අයට මේ ක්‍රමයට torrent බෑම ලේසියි කියලයි මම හිතන්නෙ.

Monday, February 23, 2009

සියලු දෙනා වෙත දැනුම් දෙන වගයි



සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ පළමු වසර සිසුන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මෙවර කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ 6වැනි ශිෂ්‍ය සමූහය විසින් මාර්තු 28 වන දිනදී මහාචාර්ය වී.කේ.සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම පිංකම මෙවර සංවිධානය කරෙන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ආදි කතෘ දිවංගත මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමා අනුස්මරණය කිරීම පිණිස මෙන්ම රට දැය වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වූ හා දැනට සේවයේ නියුතු සියලු රණ විරුවන්ට ආශිර්වාද කිරීම සඳහායි. මෙම මහඟු පිංකමට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු.

ස්තූතියි....