Thursday, May 27, 2010

ආගිය විස්තර : පශ්චාත්තාපය : Roswell සහ ජීවිතය

ආගිය විස්තර :

ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්නයි යන්නෙ. පහුගිය ටිකේ සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් තිබුනෙම නෑ. ලිනක්ස් ගැන සටහන් පෙළ නැවැත්තුව කියල හිතන්න එපා. කාර්ය බහුලකම නිසායි ලිපියක් ලියන්න බැරි උනේ. ඒ වගේව පොඩි විරාමයක් ගත්තොත් හොඳයි කියලත් හිතුනා. ඕන නම් ඊළඟ ලිපිය ගැන අදහසක් දෙන්නම් කෝ. ලිනක්ස් Shell Command ගැනයි ඊළඟ ලිපිය. ඉතින් එතනින් ගියාම පහුගිය කාලෙ භක්ති ගීත කිව්වා. භක්ති ගීත කියනව කියල අපේ assignments එහෙම cancel කරනව කියලද. පිස්සුද? Assignment 3ක් තියාගෙන තමයි වාදක මණ්ඩලෙයි සින්දු කියපු අපියි පුහුණුවීම් එහෙම කලේ. අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන එක, Assignment තුනක් ඇති මිනිහෙක් භක්ති ගීත කීය කියල සංශෝදනය කලොත් මොකද?
මේන් භක්ති ගීත කියපු දෙවන වසර අපේ කට්ටිය. නම් නොකිව්වොත් තරහ වෙයිද දන්නෙ නෑනෙ. ඔන්න වමේ ඉඳලා. ඉස්සරහම ඉන්න දෙහි ගෙඩි දෙකක් වත් උස නැති කෙල්ල කටූ ඊළඟට කිංකිණි, චිං චිං, සූදු, බට්ටී, බඩී ආයෙ කොල්ලොන්ගෙන් මුලින්ම මාට්ටු හෙවත් සයිකො, කොයියා, සාදු, පොක්සන්, මම සහ වෑන්ටි සර්.
මේ වැඩේ සංවිධානය කල අයත් අමතක කරල බෑනෙ. අපේ J.J. මකා හෙවත් නදීර තමයි මූලික වෙලා වැඩකලේ. වෙලාවට වැඩක් නොකලට(8ට වරෙන් කිව්වාම 10ට විතර ආවට) අපේ මෂියර්(තරිඳු)ත් මේකට සෑහෙන උදව් කලා.


පශ්චාත්තාපය :



මම මේ සම්මජ්ජාතියෙ දැකපු පතරංගම Assignment එක පහුගිය දවස් වල Introduction to programming Languages කියන එකට පහුගිය දවස්වල හම්බ උනා. ක්‍රමලේඛනය ගැන යම් දැනුමක් තියන අය දන්නවා ඇතිනේ code එකක් ලියලා එක් compile කරනකොට code එකේ වැරදි තියනවනම් පෙන්නව. ආන්න ඒ දේ කරන්න අවශ්‍ය වෙන Lexical analyzer, parse tree සහ symbol table කියන දේවල් C හෝ C++ වලින් implement කරන්නයි තිබුනේ. මුලින් ලේසියි කියල හිතුවට පස්සෙ කරන්න ගියාම මේක පට්ට අමාරුයි. ඇඬෙනවා. theory තේරුම් ගැනීමේ දෝශයි ඇත්තටම තිබුනේ. Lectures cut වුන ඒවගෙ පාඩුව එතකොට තමයි තේරුනේ. මට නම් symbol table එක ලියන්න උනේම නෑ. parse tree එකත් හරියට ලිව්වා කියල හිතුවට අන්තිමට segmentation fault එකක් එනවා කොහෙන්ද කියල හිතාගන්න බෑ. කොහොමින් කොහොමින් හරි මාරක රේඛාවට විනාඩි 20ක් විතර තියල මම කරපු කොටස submit කලා. මේ කැම්පස් ජීවිතේ coding කරන්න දීපු assignment එකක් බාගෙට submit කලාමයි ඔය. සෑහෙන්න පසුතැවෙනවා ඒ ගැන. තව මම හිතාගත්තු දෙයක් තියනවා. දැකල තියනවද සමහර compilation errors පෙන්නන තැන නෙමෙයි තියෙන්නෙ සමහර විට විකාර errors දෙනවා. ඒ වගේ වෙලාවට කේන්ති යනව නේද? මම නම් ආයෙ එහෙම කේන්ති ගන්නෙ නෑ ආයෙ. මොකද compiler එකකින් 1/4 ක් ලියන්න අපිට මෙච්චර අමාරු උනානම් ඔක්කොම ලියන එක කොච්චර අමාරු ඇද්ද?


Roswell :

ජාතික රූපවාහිනියේ ගිහිපු Roswell TV series එක බැලුවද? මම A/L කාලේ බලපු රූපවාහිනී වැඩසහටන් දෙකෙන් එකක් තමයි Roswell. අනික මොකද්ද දන්නවද? X files. Roswell කියන්නෙ මනුෂ්‍ය DNA මගින් නිර්මාණය කල ශරීර වල ජීවත් වන Max , Isabel සහ Michel කියන පිටසක්වල ජීවීන් වටා ගෙතෙන කතාවක්. මේ කතාවට Max ගේ පෙම්වතිය විදිහට Liz නුත්(කතාවෙ ප්‍රධාන වෙන්නෙ මේ දෙන්නා) Michel ගේ පෙම්වතිය විදිහට Maria ත් Isabel ගේ මුල් පෙම්වතා Alex සහ පසුව සැමියා Jessyත් පලාතේ sheriff වන Jim සහ ඔහුගේ පුත් Kyle ප්‍රධාන චරිත විදිහට එකතු වෙනවා. ආදරය තාස්‍රය එක්ක ජීවිත කාලයක් ගලාගෙන යන කතාවක් තමයි Roswell. මේකෙ series 2ක් රූපවාහිනියේ පෙන්නුවත් 3 වෙනි එක පෙන්නුවේ නෑ. මන්දා ඒ ඇයි කියල. මට මේ ලඟදි අපේ බට්ටි ලඟ තිබිල 3වෙනි කොටස හම්බුනා. ඉතින් subtitle නුත් වැඩි අපහසුවක් නැතුව ලැබුනා. මම ඉඩ තියන තියන වෙලාවට බොහොම ආසාවෙන් මේක බලලා ඉවර කලා. කතාවෙ අවසානය ඔවුන් ඉවර කරන්නෙ happy ending එකක් විදිහට උනාට මට නම් එහෙම දැනෙන්නෙ නෑ. කතාව ඉවර වෙන්නෙ Max එක්ක විවාහ වෙන Liz මගුල් ඇඳුමින් Roswell වලින් ඉවතට යන අනෙත් අය ඉන්න රථයට ගොඩ වෙලා කියනවා. I am Liz Parker and I am Happy කියල. මේ කට්ටිය අන්තිමට Roswell අතඇරල යනවා මොකට ඔවුන්ට දිගින් දිගටම විඳින්න වෙන කරදර නිසා. මේ යන කොට ඔවුන් ගොඩක් තමන් ආදරය කරන අය අතඇරලයි යන්නේ. Alex මිය යනවා, Max සහ Isabel ඔවුන් හදා ගත්තු දෙමව්පියන්, Kyle තමන්ගෙ තාත්තා Jim, Isabel තමන්ගේ සැමියා Jessy මේ වගේ ගොඩක් අය ඔවුන් දාලයි යන්නේ. කාලෙක් ඉඳල ඔවුන් ඔවුන්ගේ ජීවිත එක්ක ජීවත් වීම සඳහා ගැටුනත් ඔවුන්ට කවදාවත් ඒක ජයග්‍රහණය කරන්න ලැබෙන්නෙ නෑ. අපි හැමෝගෙම ජීවිතත් ඒ වගේ නේද? අපිටත් කවදාහරි දවසක අපි ආදරේ කරන අයත් ආස කරන දේවලුත් හැමදෙයක්ම දාල යන්න වෙනව නේද? ඒකයි ලෝක ස්භාවය. ඒත් අපි අනෙක් අයට, ලෝකයට යමක් කරල තිබුනොත් ඒක අපිට ඉතිරි වේවි.

එහෙනම් ගිහින් එන්නම් ආයෙ හමුවෙමු.

Saturday, April 24, 2010

ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කළ ඒ පින්බර රාත්‍රිය



අප්‍රේල් 22 රෑ කියන්නෙ මම හිතින් අවුරුද්දක් ආපස්සට ගිහිපු දවසක්. 22 ඒ කියන්නේ පෙරේදා තමයි UCSC එකේ වාර්ශික පිරිත් සජ්ඡායනය පැවැත්වුනේ. ඒක සුපුරුදු පරිදි සංවිධානය කලේ පළමු වසර වෙනුවෙන් අපේ නංගිලා මල්ලිලා. මේ පාර පිරිතෙ අරමුණු වලින් ප්‍රධාන දේ උනේ ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා වන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ආදි කතෘ මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමාව අනුස්මරණය කිරීම. අද ලංකාවෙ කිසිම වැඩකට නැත් දින (වැලන්ටයින් - කොහේදෝ රටක පූජකයෙක් දිවි නහගත්තු දවස) සමරද්දී රටට සුවිශේෂී මෙහෙවරක් කරපු සමරනායක සර් වගේ අය අමතක කරලා. ඒ අය අනුස්මරණය කරන්න ඒ උතුම් චරිත වලින් ගන්න ඕන දේවල් රටේ දරුවන්ට කියල දෙන්න අපේ අය අමතක කරලා. ඒත් සමරනායක සර් ගොඩනගපු මේ UCSC පින්බිමේ අපේ ජීවිත ගොඩනගා ගත්තු අපි එහෙම කරන්න සුදානම් නෑ. හැම අවුරුද්දකම මේ වගේ අසිරිමත් පිරිත් පිංකමක් සංවිධානය වෙන්නේ ඒ උතුම් යුග පුරුෂයාට ආචාර කරන්න. මේ පාර තවත් අරමුණු වෙච්ච දෙයක් උනේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අංශයට වසර 25ක් සපිරීම. 1985 තමයි පරිගනක විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කොළඹ විශ්ව විද්‍යාලය තුල ආරම්භ වෙන්නේ. ඒ වගේම 30 වසරක කුරිරු තස්ත්‍රවාදය අවසන් කිරීමේදී ජීවිත පුජා කරපු, ආබාධිත උනු සහ ඒ වෙනුවෙන් දහඩිය හෙලපු සියලු රණ විරුවන්ට පිං අනුමෝදන් කිරීමත් අපේ අරමුණක් උනා.

මේ පිංකම කොච්චර ලස්සනද කියල බලන්න මේ පිංතූර වලින්.
චෛත්‍යයක හැඩය ගත්තු පිරිත් මණ්ඩප්පය

කැටයම් වලින් අලංකාර කල ශ්‍රවණාගාරය

ආයුබෝවන්

මකර තොරණින් පිවිසුම් මාර්ගයට

කැටයම් දහස් ගණනකින් අලංකාර කල පිවිසුම් මාර්ගය

පරිගනක විද්‍යාව කලාට චිත්‍ර අඳින්නත් පුළුවනි


ප්‍රවෘත්ති විකාශයන් වල UCSC එක ගැන සඳහන් වෙනව අහල තියනවද? "කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්" එහෙම කියල. නෑනේද? ඒත් අපේ බෞද්ධ හින්දු කතෝලික ඔක්කොම ලමයි එකතු වෙලා කරපු මේ පිංකම දෙරණ ප්‍රවෘත්ති විකාශය ප්‍රචාරය කලා මේ විදිහට.


මම මුලින්ම කිව්වනේ එදා මගේ හිත අවුරුද්දක් අතීතෙට ගියා කියල. ඒ අපි පළමු වසර සිසුන් විදිහට ඉද්දී මේ වගේම කරපු පිරිත මතක් වෙලා. මාස ගණනක ශ්‍රමය, දවස් ගණනක් නිදි මරපු අමාරුව එක මොහොතකින් නැති වෙලා හිත පිරුනෙ අපේ නිර්මාණයේ ලස්සන දැක්කාම. ඒ වගේ ආත්ම තෘප්තියක් ලබන්න බොහොම අමාරුයි. ඒ දේ ලබන්න මට පුළුවන් උනා. අපේ නංගිලා මල්ලිලාට පුළුවන් උනා.
නංගි මල්ලි උඹලාගෙ අයියලා අක්කලා හැටියට අපිට උඹලා ගැන බොහෝම ආඩම්බරයි. අපි උඹලාට අපිට වඳින්න පුදන්න කිව්වෙ නෑ. උඹලව කඩේ යැව්වෙ නෑ. ඒත් අපේ වගකීමක් විදිහට උඹලට ජීවත් වෙන්න කියල දුන්නා. එකා වගේ වැඩ කරන හැටි කියල දුන්නා. අභියෝග වලට මුහුණ දෙන හැටි කියල දුන්නා. උඹල ඒ දේවල් උඹලගෙ හිතට අරගෙන තියන බව දැක්කාම අපිට බොහොම සන්තෝසයි. ඉතින් ඉස්සරහටත් මේ විදිහට අපි ඔක්කොටම අපේ උපරිමයෙන් UCSC එකටත් රටටත් අපේ යුතුකම ඉටුකරමු.

Thursday, April 22, 2010

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කරමු.

දැනුම්දීමයි


ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා යන විරුදාවලියෙන් හඳුන්වන‍
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනෙයේ ආදි කතෘ
මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමා
අනුස්මරණය කරනු වස්
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ
පළමු වසර සිසුන් සංවිධානය කරන
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම ‍දේශනය
අප්‍රේල් මස 22 වන දින
අප අධ්‍යයනායතනයේ
මහාචාර්ය වී.කේ.සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී
පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වර්තමානයේඇති තැනට
ඔසවා තබන්නට මෙතුමා කල මහඟු සේවයට
කෘත ගුණ සලකණු වස්
ඔබටත් මේ පිං කමට සහභාගි වන ලෙස ආරාධනා කරමු.
තවද
මෙම පිංකම
http://www.ucsc.cmb.ac.lk/ucsctv/
යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ අන්තර්ජාල රූපවාහිනී සේවාවක් ලෙස
රාත්‍රී 8.30 සිට විසිරුවා හරුනු ඇත.

Tuesday, April 13, 2010

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු


බක් මාසෙ මතක නැති උනාට
කැලැන්ඩරේ අප්‍රේල් මාසෙ ඇවිත්
ගේ මිදුලෙ අඹ ගහේ කොවුලා සින්දු නොකිව්වට
ටීවී රේඩියෝ වල කොවුලො තරඟෙට කෑ ගහනව
එරබදු ගහක් පේන තෙක්මානෙක නෑ
මල් පිපිලද කියල බලන්න රතට රතේ
රබන් ගහන්න දන්නෙත් නෑ ගහන්න රබන් ඇත්තෙත් නෑ දැන්
කාරි නෑ රබන් පද mp3 එක play කරමු
වල කජ්ජ ගහන්න ඉරි පනින්න දැන් ඉන්න එවුන් දන්න එකක්යැ
facebook එක් barn buddy වත් ගහමු
මාස ගණන් පේෂල් දාල චීත්තෙ හැට්ටෙ නුහුරුවට ඇඳපු ගෑනු
අවුරුදු කුමාරි වෙන්න sms ඉල්ලනවා
බහු ජාතික සමාගම් අවුරුද්දට අනුග්‍රහය දක්වන්න පොරකනවා
හ්ම්
ගතට හිතට නොදැනුනාට රූපවාහිනියෙ අයිය කෙනෙක්
සරමක් කාරිය ඇඳගෙන ඇවිත් කියනවා

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු

බලාපොරොත්තුව....


ඈත ක්ෂිතිජයේ පුංචි තරුවක් වගේ
උඹ පේන්නෙ මට
ඒත් මහාමේරුව වගේ බරයි උඹ මට
හරි සුන්දරයි
ඇත්තම නොවුනත්
කවද හරි දවසක
කකුල් දෙක ලඟ පොලවෙ ගහපු වීදුරුවක් වගේ
උඹ සිසීකඩ වෙලායන්න පුළුවන් කියල මම දන්නවා
එදාට ගොඩක් රිදේවි මට
ඒකත් මම හොඳටම දන්නවා අත්දැකීමෙන්
කොහොම උනත් මට උඹ ඕන
මොකද
මම ජීවත් වෙනවා කියල හිතෙන්නෙ උඹ නිසා
උඹ තුල ඉන්න ඇය නිසා....

Sunday, March 28, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - මොකද්ද මේ Shell


ඉතින් ලිනක්ස් ගැන ලිපි පෙලේ තව ලිපියක් ලියන්නයි මේ සූදානම. මුලින් මේ ලිපි පෙල ගැන ගොඩක් අය උනන්දුවෙන් හිටියත් අන්තිම ලිපි දෙකට වැඩි ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා මටත් කම්මැලි හිතිලයි තිබුනේ ආයෙ ලියන්න. මේ දවස් වල කැම්පස් එකේ වැඩත් වැඩි නිසා ඊළඟ ලිපිය ලියන එක දවසින් දවස කල් යමිනුයි තිබුනේ. වැඩිපුර දවසක නිවාඩුවකුත් එක්ක ගෙදර ආවහම හිතුවා මේක ලියල දානව කියල.

හරි Shell කිව්වහම මොකද්ද මුලින්ම මතක් වෙන්නේ Shell scripting, Shell commands එහෙම නේද? මොකද්ද මේ shell එක කියන්නේ. මේ රූප සටහන බලන්නකෝ.
Kernel එක කියන්නේ Linux වල තියන වැදගත්ම දේ. ඇත්තටම මෙහෙයුම් පද්ධතිය කියන්නෙ මේ kernel එකට. අනෙක් මෘදුකාංග ක්‍රියා කරන්නේ මේ kernel එක හරහා දෘඩාංග සහය ලබා ගනිමින්. මේ kernel එකට විචිත්‍රක අතුරු මුහුණත (GUI) වගේම සාමාන්‍ය ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් එක්ක ලැබෙන මෘදුකාංග අයිති වෙන්නේ නෑ. ඒව ලැබෙන්නෙ GNU(GNU is Not Unix) කියන ව්‍යාපෘතියෙන්. මේ දෙක ඒ කියන්නේ Linux kernel එක සහ GNU මෘදුකාංග එකතු වෙලයි GNU/Linux මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වෙන්නෙ. ඒ අතුරු කතාවක්. ඉතින් පරිගනකයේ දෘඩාග හසුරුවන්නේ මේ kernel එකනේ. kernel එක එක්ක ගනුදෙනු කරන කෙනා තමයි shell කියන්නේ. ඉතින් අපිට මෙහෙයුම් පද්ධතියෙන් යම් දෙයක් කරගන්න ඕන නම් මේ shell ට කියල තමයි කරගන්න වෙන්නේ. මෙයාට කියනව Command line interpreter කෙනෙක් කියලත්. Interpreter කියන්නේ පරිවර්තකයා නැත්තම් තෝල්කයා කියන එකනේ. පරිගනකය දන්නෙ machine language එක ඒ කියන්නේ 010010101110 වගේ දෙකේ පාදයෙන් නැත්නම් binary වලින් කියන දේවල් විතරයි. අපිට ඒව තේරෙන්නෙ නෑනෙ අපි තෝරගත්තු විධාන වලින් කෙරෙන්න ඕන දේ shell එකට කිව්වහම එයා ඒක kernel එක හරහා පරිගනකයට කියල අදාල වැඩේ කරල දෙනවා.
shell කීපයක් ලිනක්ස් මත භාවිතා වෙනවා. Bourne shell කියන්නේ දැනට Linux මත බහුලවම භාවිතර වෙන shell එකෙ මේක. අනික් ඒවට වඩා හොඳ shell එකක් විදිහට bourne shell නැත්තම් bash shell එක හඳුන්වනවා. තව C shell, sh shell වගේ shell කීපයක්ම තියනවා. prompt එකේ echo $SHELL කියල දුන්නම දැනට run වෙන shell එක මොකද්ද කියල දැන ගන්න පුළුවන්. මේ shell එක බොහොම powerful දෙයක්.(windows command prompt එක වගේ කසි කබලක් නෙමේ) ගොඩක් ක්‍රමලෙඛකයන් තාමත් GUI එක භාවිතා නොකර shell එකේ තමයි තමන්ගේ කටයුතු කරන්නෙ. GUI එකේ කරන සමහර දේවල් ඊට ගොඩක් ඉක්මනට shell එකේ කරගන්න පුළුවන්. ඒ වගේම GUI එකේ කරන්න බැරි shell එකේ පමණක් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා. මේ නිසා Linux ඉගන ගන්න නම් shell එක ගැන දැන ගැනීම ඉතාම වැදගත්.

ඉතින් අපි කොහොමද මේ shell එක බලා ගන්නෙ. GUI එකක් නැතුව අපි මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගත්තොත් අපි කෙලින්ම යන්නෙ මේ shell එකට තමයි. අපි සාමාන්‍ය GUI එකක් සහිත Linux ස්ථාපිතයක ඉන්නව නම් alt+ctrl+F2(F2 ඉඳල F6 වෙනකම් ඕන function key එකක් පාවිච්චි කරන්න) යතුරු එකවර එබුවහම අපිට GUI එකෙන් ඉවත් කරල shell එකට අරගෙන යනවා. මළ කෙළියයි දැන් ආපහු GUI එකට එන්නෙ කොහොමද? බය වෙන්න එපා atl+ctrl+F7 වලින් ආයෙ GUI එකට එන්න පුළුවන්. ඒත් නැතුව GUI එකේම ඉඳගෙන shell එක එක්ක වැඩ කරන්න බැරිද? පුළුවන් ඒකට තමයි terminal කියන මෘදුකාංගය තියෙන්නේ.

Terminal

Ubuntu වල නම් Application-->Accessories-->Terminal කියන තැන මේක තියනවා. එහෙම නැත්නම් alt+F2 ඔබලා එන Run Application එකේ gnome-termianl කියල දුන්නහමත් මේක ගන්න පුළුවන්. GUI එකක් මතදි අපිට මේ terminal එක පාවිච්චි කරල shell commands execute කරන්න පුළුවන්.

Shell commands

shell එකෙන් අපි කියන දේ කරලා දෙනව කිව්වට ඉතින් ඒකත් කියන විදිහක් තියනවා. ඒ කියන්නේ නියමිත විධාන තියනවා. ඒවගෙන් තමයි අපි අපිට අවශ්‍ය දේ කියන්න ඕන. ඊළඟ සටහනේ ඉඳල shell commands ගැන කතා කරමු.

ඉතින් මේ සටහන හමාර කරන්නයි යන්නේ. ගැටළුවක් අදහසක් තියනව නම් අහන්න අමතක කරන්න එපා. අඩුපාඩුවක් දැක්කනම් ඒක පෙන්නල දෙන එකත් අගය කරනවා. ඒ නැති උනත් ප්‍රතිචාරයක් සටහන් කරලා යනවනම් ඒක මට ධෛර්යක්.

Friday, March 12, 2010

එක් ප්‍රාර්ථනාවක්.......


මහ පොළව ඉරි තැලී ඇත
ගහ කොළ වේලී ගොස්ය
මුළු ලොවම වියලී ගොසිනි
මේ දිගු නියඟයෙන්
....
දකිනු රිසිය නිල් තුරුලතා
අසනු කැමතිය සුමියුරු කුරුළු ගී නද
විඳිනු රිසිය තෙමුනු පොළවේ නැවුම් පුසුඹ
සනසන්න ජීවිතය
මේ වේලුනු පොළව තෙමාලමින්
දැන්වත්
වැහැපන් සොඳුරු වැස්ස.....