Monday, August 10, 2009

Ubuntu අයිසිං කිරීම(4 කොටස)-Cairo Dock

මේ ලියන්නෙ Ubuntu අයිසිං කිරීම ලිපි පෙලේ අවසාන ලිපිය. Cairo Dock කියෙන්නෙ ඩෙස්ක්ටොප් එක සඳහා නිර්මාණය කරපු animated application launch bar එකක්. මේක නිර්මාණය කරල තියෙන්නෙ Mac OS X වලින් ගත්තු අදහසකින්. අපි නිතර පාවිච්චි කරන මෘදුකාංග යොමු(shortcuts) සහ තවත් කුඩා applets රඳවා තබා ගන්න පුළුවන් bar එකක්. මේක සාමාන්‍ය task bar එකකට වැඩිය ගොඩක් අලංකාරයි. ඒ වගේම cairo dock එකේ ඇති icons අසලට මව්සය ගෙනයන විට හා ඒ මත click කල විට විවිධ ඇනිමේට් වීම් ද දකින්න පුළුවන්. මෙය gnome, kde හා xfc යන desktop environment වල ක්‍රියාත්මක වෙනවා.

මෙහෙමයි install කරගන්නෙ.

terminal එකේ පහත පරිදි ඇතුලත් කරන්න.

Cairo dock repository එක ඔබේ source list එකට ඇතුලත් කිරීමට
gksudo gedit /etc/apt/sources.list

විවෘත වන file එකේ අගට සුදුසු repository එක add කරන්න.
deb http://repository.cairo-dock.org/ubuntu jaunty cairo-dock # For Ubuntu 9.04
deb http://repository.cairo-dock.org/ubuntu intrepid cairo-dock # For Ubuntu 8.10
deb http://repository.cairo-dock.org/ubuntu hardy cairo-dock # For ubuntu 8.04

repository එක නිශ්චය කරගැනීමේ signed GPG key එක සඳහා
wget -q http://repository.cairo-dock.org/cairo-dock.gpg -O- | sudo apt-key add -

දැන් cairo dock ඇතුලත් කිරීම සඳහා පහත command දෙක පිළිවෙලින් ඇතුලත් කරන්න
sudo apt-get update
sudo apt-get install cairo-dock cairo-dock-plug-ins

මෙහෙයුම් පද්ධතිය ආරම්භ වන විට cairo dock launch කර ගැනීමට System --> Preperenses --> Startup applications වලට cairo dock ලෙස command එක ඇතුලත් කරන්න.(manually ක්‍රියාත්මක කිරීමට run හි cairo-dock ලෙස ඇතුලත් කරන්න)මෙහි dock එක සඳහා විවිධ themes විශාල ප්‍රමාණයක් ඇතුලත් අතර කැමති theme එකක් යෙදීමට dock එකේ right click කර manage themes වලින් අවශ්‍ය theme එක select කරන්න.

ඔන්න මගේ desktop එකේ තිර පිටපත් කීපයකුතු දැම්මා. බලන්න ලස්සනද කියලා.

Wednesday, August 5, 2009

විභාගෙ ඉවරයි දැන් ආයෙ නිදහස්



ගොඩක් කාලෙකට පස්සේ අදයි ලියන්න ඉඩක් ලැබුනේ. අම්මෝ මැරිල ඉපදුනා වගේ. විභාග නම් ආයෙ එපා. :D අපේ කට්ටිය ඒ කිව්වෙ බොට්ටා, ඇකා, එහෙමත් පහුගිය කාලෙ නිශ්ශබ්ද ඔය නිසා තමයි. අද තමයි යන්තන් අන්තිම subject එක ඉවර උනේ. ඒ තමයි data structures and algorithm. මේ සමාසිකයට තිබිච්ච විෂයන්ගෙන් මම ආසම එක. කොහොමත් මේ මාසෙකට විතර පස්සෙනෙ ආයෙ බ්ලොග් කෙරුවාවට බැස්සෙ. මෙච්චර කාලයක් මැරුනට විෂයන් 10ක් විතර තිබුනේ නෑ. ඔක්කොම subject 4යි තිබුනෙ. හැබැයි ඒ හතර ඇති 40කට විතර. ඒ වගේ වැඩ කිරිල්ලක් A/L වලටත් කලේ නැද්ද කොහෙද? උදේට කැම්පස් දුවනවා ගිහින් කුප්පියකට සෙට් වෙනවා. හවසට බෝඩිමට ඇවිත් ආයෙ tute වලට ඔළුව ඔබා ගන්නවා. ඉතින් රෑ 2 විතර වෙනකම් වැඩ. හැබැයි 11 විතර පහු වෙනකොට ටික ටික නිදිමත එනවා. ඊට පස්සෙ පැය බාගෙන් බාගෙට තේ තමයි. අපේ සූටියා හදනවා කෝපි එකක් ඒක බිව්වහමනම් ආයෙ පැය දෙක තුනකට නිදිමත එන්නේ නෑ. අපි කියන්නේ සූටියාගෙ බෙහෙත් ප්ලේන්ටිය කියල. හික්. ඔන්න 12 පහුවෙන කොට එක එකා නිදා ගන්න පටන් ගන්නවා. මෙට්ටෙට ගිහිල්ල පිළිවෙලකට එහෙම නෙමෙයි. ඔන්න පුටුවෙ වාඩි වෙලා ඉන්නවා නේද නිදිමත වැඩි උනහම එහෙමම බිමින් හාන්සි වෙනව ටිකකින් ගොරව ගොරව නිදි. වෙලාවක බෝඩිම විසාලා මහනුවර තුන්බිය ඇතිවෙච්ච කාලෙ වගේ. ඇයි මුන් ටික වැටිච්ච වැටිච්ච තැන් වල බුදිනේ.

එක අතකින් අපේම වැරුද්ද. ලෙක්චර්ස් කට් කරපුවාගෙ ලෙක්චර්ස් ගිහින් බුදිය ගත්තුවගේ ප්‍රතිඵල තමයි. හැබැයි කැම්පස් එකේ තියෙන්නෙ එකෙක් වත් අත අරින්නෙ නෑ. දවස් ගනන් නිදි මරාගෙන කොහොම හරි අදිනවා. ගිරව දාල හරි ලියනවා(software engineering වගේ ගොඩ දාන්න නම් හොඳ ගිරවෙක් ඉන්න ඕන ). බැච් එකේ කාටවත් හැලෙන්න දෙනෙනෙත් නෑ. පුලුවන් එකා අනිත් එවුන්ට කියල දෙනවා(කුප්පි දානවා). මමත් algo කුප්පියක් දැම්මා. උන් ටික හොඳට ලිව්ව කියල කිව්වම ඒ වගේ සතුටක් තවත් කොහෙද?

ලියන්න බැරි උනාට පහුගිය කාලෙ පුලු පුලුවන් විදිහට බ්ලොග් ටික කියෙව්වා. හැමදාම නම් කියවන්න උනේ නෑ. කමෙන්ට් එකක් දාන්න බැරි උනත් කියවලා හරි ගියා. ඉස්සර හට ලියන්න කියල පෝස්ට් කීපයක් හිතේ තියාගෙනයි ඉන්නෙ. ඒවගෙන් බහුතරය සුපුරුදු පරිදි FOSS වේවි. මම ආස subject එකනේ. :D Ubuntu අයිසිං කිරීම තව එක ලිපියකින් ඉවරයි. ඊට පස්සෙ අළුතින් ubuntu වලට එන අයට උදව්වෙන ලිපි ටිකක් ලියන්නයි අදහස.

ම්...තව මොනවද? මේක දැන් නිකන් අච්චාරුවක් වගේ වෙලාද කොහෙද. ආ අපේ අළුත් බැච් එක එනවනේ. ඒ කියන්නේ අපි senior වෙනව කියන එක. ඒ වැඩ කටයුතුත් ඉස්සරහට කරන්න වෙයි. එහෙනම් ගිහින් එන්නම් ඉක්මනටම ආයේ තව සටහනකින් හමුවෙමු. එතකන් ආයුබෝවන් =D>

Saturday, July 11, 2009

අනාගතය



පුරුදු බවක් දැනුනි වර්තමානයෙහි
සිතුනි එය අතීතයෙහි සිදුවී ඇති බව
ඔව් එය සිදුවී ඇත
අතීතය වර්තමානයෙහි පුනරූපනය වෙමින් පවතී
අතීතය දනිමි
එසේ නම් අනාගතයද එයම විය යුතුය
නැතහොත් අනාගතය වෙනස් කල යුතුය
ඔව්
අඳුරු අතීතය මෙන් නොවන ලෙස අනාගතය වෙනස් කල යුතුය
නමුත් අදත් ඒ අතීතයම පුරුදු ලෙසින් ගලා ගියේය
අතීත වැරදි එලෙසින්ම නැවත දැන දැනම සිදුවේ
ඉතින් අනාගතය වෙනස් කල හැකි වේද?

Saturday, June 27, 2009

ගිනිනරියා අළුත් වීම

ඔන්න ගිනි නරියා 3.5 නිකුත් වෙන්න කිට්ටුයි. ගිනි නරියා කියනකොට හැමෝම දන්නවනේ Mozilla Firefox. දෙවන බ්‍රව්සර් යුද්ධයේ IEගෙ ප්‍රතිවාදියා. Firefox 3.0 සංස්කරණය නිකුත් වෙච්ච වෙලාවෙ පැය 24ක් ඇතුලත ලක්ෂ 83ක් පමණ පිරිසක් ඒක බාගත කරලා වාර්තාවක් පිහිටෙව්වා මතක ඇතිනේ. ඒකෙන් පස්සෙ එන අළුත්ම සංස්කරණය Firefox 3.5 ඒ පරණ වාර්තාව අළුත් කරන පාටකුයි දැනට පේන්න තියෙන්නෙ.

දැනෙට මේකෙ release candidate 3 නිකුත් වෙලා තියනව. ඕන කෙනෙකුට පුළුවන් ඒක download කරගෙන ගුණදොස් විචාරන්න. මුලින්ම කියන්න එපැයි Firefox නිර්මාපකයෝ කියන කතාව.



නව සංස්කරණයේ දියුණු කර ඇති ලක්ෂණ.
  1. Firefox සංස්කරණයන්හි වේගවත්ම සංස්කරණය මෙයයි. මේ සඳහා TraceMonkey javascript rendering engine එක උපයෝගි කර ගන්නවා.
  2. Private browsing mode මෙකෙදි අපේ අනන්‍යතාව හංගනවා වගේම අපේ දත්ත ආරක්ෂා කරල දෙනව. අපි යන sites browser එකේ සටහන් වෙන්නෙ නෑ වගේම cookies වැටෙන්නෙත් නෑ.
  3. Geko layout engine එක දියුණු කරල තියනව. මේ මගින් වෙබ් පිටු ඉක්මනින් render කරල දෙනව.
  4. මීට කලින් සංස්කරණයන්ට වඩා ස්ථායීලු(windows උඩදි Firefox crash වෙනව දැකල ඇතිනෙ) කලින් tab ගොඩක් විවෘත කලාම ඇතිවෙන memory අවුල නිරාකරණය කරල කියල හිතන්න පුළුවන්.
  5. සිංහල භාෂාව ඇතුලුව ලෝකයේ භාෂා 70ක් පමණ සහය දැක්වීම.
  6. අළුත් technologies මැනැවින් සහය දැක්වීම.(HTML5-video,CSS,SVG etc.)
එහෙනම් අපිත් අතට ලැබෙනකම්ම ඉන්නෙ නැතුව RC එක බාගෙන දාල අඩුපාඩු bugs එහෙම තියනවනම් report කරමු නේද? සාමාන්‍යයෙන් අපේ කට්ටියගෙ පුරුද්ද නිකම්ම අරගෙන පස්සෙ අඩුපාඩු කියවන එකනෙ(Linux ගැනත් එහෙමයි). එහෙම පිනාල නොවී අපිත් ඒ කර්තව්‍යට දායකත්වයක් දුන්නනම් නේද වටින්නෙ.

වින්ඩෝස් වලට නම් බාගෙන නිකම්ම ස්ථාපිත කරගන්න පුළුවනි(user friendly :D).Linux වලට නම් terminal එකට යන්න වෙනව.දැනට තියන 3.0 එක තියෙද්දිම 3.5 දාන්න පුළුවන් අවුලක් නැතුව.
  • දැනට තියන firefox එක open කරගන්න. මෙතන click කරල public key එක අරගෙන text file එකක් විදිහට save කර ගන්න.
  • System > Administration > Software Sources ගිහින් Third-Party Software වලට පහත පේලිය ඇතුල් කරන්න.
deb http://ppa.launchpad.net/fta/ppa/ubuntu jaunty main(හාවා සඳහා)
  • Authentication tab එකට ගිහින් කලින් save කරපු text file එක import කරන්න.
  • දැන් System > Administration > Synaptic Package Manager වෙත යන්න. reload button එක click කරන්නත් අමතක කරන්න එපා.
  • firefox 3.5 විදිහට සෙව්මක් දාලා select කරල apply කරන්න.
  • දැන් Applications-->Internet වල Shiretoko web browser කියල තියෙන්නෙ firefox 3.5 තමයි.

Wednesday, June 17, 2009

බෝඩිමේ ජීවිතේ



අදත් මුලින්ම හැමදාම කියන මන්තරේම තමයි කියන්න තියෙන්නෙ. කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනේ වැඩ වැඩි හින්දා. තව මාසෙකින් විභාගෙ දැන් මේ දවස් වල දිගටම assignment. ලබන සතියෙත් 2ක් තියනවා submit කරන්න. කැම්පස් ගියාමත් එකක් කියලයැ ලොරියක වැඩනේ. බාහිර වැඩත් තොගයක් බදාගෙන කරනවනේ. අපි කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයෙන් ස්වදේශීය සේවයේ ගුවන් විදුලි වැඩසටහනක් කරනවා. ඒකෙ නම ඉන්ටනෙට් සම්පත් භාවිතය. මේකෙ අපේ පළමු වසර වෙනුවෙන් සම්බන්ධීකරණය කරන්නෙ මම. පහුගිය දවස් වල ඒකෙ පොඩි වැඩ වගයකට එහෙ මෙහෙ දිව්ව. ඒ නිසා හැමදාම බෝඩිමට එනකොට රෑ වෙලා. කතාවෙන් කතාවෙන් කියන්න ගිය දේත් අමතක උනා. අපේ බෝඩිම ගැනයි කියන්න යන්නෙ. අපි නම් කියන්නෙ අපේ ආතල් බෝඩිම.

බෝඩිමේ ඉන්නෙ 5දෙනයි. මම කල්ප(එල්ලෙ), එරංග(අත්තා),අයේෂ්(සූටියා) සහ සමීර(කිරා). අපේ බෝඩිම තියෙන්නෙ කොහුවල ඒ කියන්නෙ 120 බස් පාරෙ. කොහුවල කිව්වට කොහුවලට ටිකක් මෙහා දන්න අය ඉන්නව නම් අපි බහින හෝල්ට් එකට කියන්නෙ බ්ර්නාඩ් කියල. ඒ නම කියන්නෙ එතන තියන බර්නාඩ් කියන රෙදි සාප්පුව නිසා. 120 බස් එකනම් ඉතින් පහසුවෙන් යන්න එන්න පුළුවන් බස් එක කියල දන්නෝ දනිති. ඒ කිව්වෙ උදේට සහ හවසට ඇතිවෙන තුරු තෙරපෙන්න පුළුවනි.

අපි ඉන්නෙ ගෙදරක පැත්තෙ කොටසක. කාමර දෙකයි සාලෙයි. මාසෙකට මොනරු 12ක් අයිතිකාරයට දෙන්න ඕන. හැබැයි අපරාදෙ කියන්න බෑ නිස්කලංක තැන. සාමාන්‍ය මිදුලකුත් තියනවා. නිවාඩු වෙලාවට අපි මේ මිදුලෙ ක්‍රිකට් ගහනවා. නීති කොච්චර තදද කියනවනම් මෙතන වැඩිම ලකුණු වාර්තාව ලකුණු විසි ගණනක්. කොච්චර උනත් අපේ බෝඩිම් වල ඉන්න කොල්ලොන්ගෙන් එහෙම හරි සෙල්ලම් කරන්න පුළුවන් ඉඩක් තියෙන්නෙ අපිට විතරයි.

බොඩිමේ සගයෝ මම කලින් කිව්වනේ. අපි කන්නේ උයාගෙන. කඩේ කෑම කාලම එපා වෙලා තමයි උයන්න ගත්තෙ. කැන්ටිමේ කෑමත් දැන් කාලම එපා වෙලා. හැමදාම එකම රහ. මොන විදිහට එහෙම උයනවද මන්දා. දැන් අපි කරන්නෙ උදේට දවල්ට යන්තන් වේල පිරිමහගෙන රෑට ඒ දෙකම අල්ලලා මැක්සා කෑමක් කනවා. අපි පස් දෙනා සාමාන්‍යයෙන් හුන්ඩු 7 1/2 ක බත් කනවා. පොඩ්ඩයි නේද? අපේ හොඳම කෝකියා තමයි කිරා. ඊළඟට අත්තා. සූටියාටත් සාමාන්‍යයේ උයන්න පුළුවන් එල්ලෙටයි මටයි තමයි පොල් සම්බලකට එහා දෙයක් බැරි. අපි ඉතින් පොල් ගෑමෙන් මිරිකීමෙන් ලූණු සුද්ධ කිරීමෙන් උයන අයට උපරිම සහය දෙනවා.

අපෙන් එල්ලෙයි මායි ඇර අනෙක් අය පවුල් වෙච්ච අය ඒ කියන්නෙ කසාද බැඳපු අය නෙමේ. බෝඩිමේ වැඩියෙන්ම මල් කඩන්න අත්තා දවසකට අවම පැය 6ක් මල් කඩනවා. ෆෝන් එක කනේ තියන් ඉන්න එකට අපි කෑ ගහලා යන්තම් දැන් හෙඩ් ෆෝන් සෙට් එකක් අරගෙන කනේ ගහගෙන ඉන්නවා. සූටියා මල් කඩන්නෙ රෑ 12 න් පස්සෙ. දන්නවනෙ හේතුව "උපහාර".

අනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දන්නවනේ "හිතේ තියන දේ කියන තැන " බ්ලොග් එක ලියන චරිත්(ඇකා). ඇකා ඉන්නෙත් අපේ බෝඩිම කිට්ටුව.ඌත් වැඩිපුර ඉන්නෙ අපේ බෝඩිමේ තමයි. උපන් දින පාටි, ගොඩ පාටි එහෙම වරද්දන්නෙ නෑ. හොඳට කාලා සින්දු කියලා නියම ආතල් එකක් එදාට ගන්නවා. වටේ පිටේ මිනිස්සු නම් එදාට කන් වහගෙන ඉන්නව ඇත්තේ.

කට්ටියම නිදා ගන්නෙ මෙට්ට 3ක් එකතු කරලා බිම. ඇඳන් 2ක් තිබුනත් ඒව ගලවලා පැත්තකින් තියලයි තියෙන්නෙ.(ආ ඇඳන් තිබිච්ච කාලෙ සූටියා ඇදක් කඩාගෙන වැටුනෙත් නෑ :D) කට්ටියටම අපරාදෙ කියන්න බෑ වැටුන ගමන් පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා. උදේට නැගිට්ට ගන්න අමාරුම කිරයි එල්ලෙයි තමයි. කිරා හැමදාම උදේ 6ට phone එකේ alarm එක තියලයි තියෙන්නෙ. හැබැයි උගේ එලාම් එකට ඌට ඇහැරෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ඒකට ඇහැරෙන්නෙ මට. ඇයි හත්ඉලව්වේ අර මගුල විනාඩි දෙකෙන් දෙකට වදිනකොට ඇහැරෙන්නෙ නැද්ද. මම ඉතින් ඒක off කරලා ආයෙ බුදිය ගන්නවා. කට්ටියටම උදේට තේ හදන්නෙ මම. සූටියත් උදේ වයිෆ් කෝල් එකක් දුන්න ගමන් දඩ බඩ ගාල නැගිටලා ලෑස්ති වෙලා දුවනවා. නැත්තම් ඉතින් ලෙඩේනෙ. අපිට ඉතින් කාගෙන් නීතිද? මායි කිරයි බොහෝ වෙලාවට බෝඩිමෙන් එලියට බහින කොට 7.30 වෙලා. 8ට ලෙක්චර්ස්. අනේ ඉතින් උදේ වාහන තදබදේ 120සේ හිරවලා 8ට විතර කැම්පස් එකට සේන්දු වෙනවා. ඔන්න අපේ බෝඩිම් ජීවිතේ.

Sunday, May 31, 2009

Ubuntu අයිසිං කිරීම (3කොටස)-Screenlets

මේක නම් මාත් ලගක් වෙනකම්ම දැනගෙන හිටපු නැති මෘදුකාංගයක්. මට මේ ගැන කිව්වෙ පහන් අයියා. පස්සෙ පහන් අයිය මට කිව්ව මගේ Ubuntu අයිසිං කිරීම ලිපි පෙළ යටත් මේක ලියන්න එයාට වෙලාවක් නෑ කියල. මේන් එහෙනම් ලිව්ව.

මේක අපිට ඩෙස්ක්ටොප් එකේ පැත්තකින් දාන්න පුළුවන් ඔරලෝසු,දින දර්ශන,CPU meter වගේ අඩංගු මෘදුකාංගක්(widget framework).නම Screenlets. අර Vista වල ඔරලෝසුව එහෙම තියන එක වගේ කිව්වනම් තේරේවි. හැබැයි මේක දැම්ම කියල Vista වල වගේ load වෙන්න වරුවක් යන්නෙ නෑ. මේකෙ අඩංගු වෙන්නෙ සරල කුඩා applications. ඒ වගේම ලස්සනයි.

මෙහෙමයි ස්ථාපනය කරගන්නෙ. පහත ක්‍රම 3න් ඕනෑම එකකින් මේක ස්ථාපනය කරගන්න පුළුවන්.

1.Application--->Add/Remove applications ගිහිල්ල screenlets කියල search කරල screenlets අයිතමය ඉස්සරහින් tick එකක් දාල apply click කරන්න.
2.terminal එක අරගෙන මෙහෙම type කරන්න.
sudo apt-get install screenlets

3.
System--->Administration-->Synaptic Package Manager ගිහිල්ල screenlets කියල search කරල screenlets අයිතමය ඉස්සරහින් tick එකක් දාල apply click කරන්න

දැන් Application--->Accessories-->Screenlets විදිහට Screenlets Manager එක ගන්න පුළුවන්. මේකෙ විශාල Screenlets ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.
Desktop එකට දාන්න ඕන Screenlets තෝරල Launch/Add click කරන්න නැත්නම් අදාල Screenlets උඩ doulble click කරල කරන්න. සාමාන්‍යයෙන් එතකොට ඒ Screenlets එක screen එකේ වම් පැත්තෙ ඉහලින් තමයි එන්නෙ. මේක Desktop එකේ ඔබට කැමති තැනකට ඇදල දාන්න පුළුවන්. අවශ්‍ය තැනට ගෙනිච්චට පස්සෙ ඒ Screenlets එක උඩ right click කරල lock option එක තේරීමෙන් ඒක එතන ස්ථාවරව රඳවල තියන්න පුළුවන්. තව Screenlets එක window වලට උඩිත් තියනවද යටින් තියනවද කියන එකත් තෝරන්න පුළුවන්. අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියනව. Screenlets manager එකේ දැන් ඇතුලත් කරපු Screenlets එක තෝරල Auto start at login කියන තැන tick එක යොදන්න ඕන නැත්නම් ඊලඟ පාර පරිගනකය on කලාම කලින් පාර දාපු Screenlets තියන එකක් නෑ. ඕනනම් තවත් Screenlets බාගත කරල ඇතුලත් කරන්න පුළුවන්. ඉතින් තම තමුන්ගෙ කැමැත්ත අනුව Screenlets දාගෙන ඔබේ Ubuntu මූලික තිරය ලස්සන කරගැනීම ඔබට බාරයි.මේ මගේ මූලික තිරයෙ තිරපිටපතක්.

Tuesday, May 26, 2009

කඩ්ඩෙන් කෙටීම

මට හිතුන නිකමට වගේ කඩ්ඩෙනුත් බ්ලොග් එකක් ලියන්න. කඩ්ඩත් ටිකක් පොලිෂ් කරගන්න එපැයි. කීයක් හරි හොයාගන්නත් බලනව.ලනුව http://ravindasdiary.blogspot.com/. වෙලාවක් තියනව නම් ඇවිත් බලල යන්න. අද උදේ assignment එකක් තිබුන Maths. හිතුව තරම් අමාරු උනේ නෑ ඒ කියන්නෙ ලේසියි. ඊට පස්සෙ හවස් වෙනකම්ම කලේ කැරම් ගහපු එක හවස 3න් පස්සෙ ක්‍රිකට් ගැහුව. ආයෙ බෝඩිමට ඇවිත් පොඩි සාජ්ජයක් දැම්ම අපේ එරංගගේ(අත්තා) උපන් දිනේ ඊයෙ. දැන් සිංදු කියල කියල උගුරත් රිදෙනවා.අපොයි හොඳටම නිදිමතයි. එහෙනම් අදට ඇති.