Monday, September 7, 2009

මඩොල් දූවට විනෝද චාරිකාවක්.....


අපේ ගාලු චාරිකාවෙ දෙවනි කොටසයි මේ ලියන්න යන්නෙ. දෙවනි දවසෙ අපි හිතාගෙන හිටියෙ මූලිකවම මඩොල් දූවෙ යන්නත් මුහුදෙ නාන්නත්. මොකද අපේ නුවර සගයො දෙන්නට මුහුදෙ නානකම් ඉවසුමක් නෑ. අපි මේ මඩොල් දූවෙ ගිහිපු මේ විස්තරේ අනාගතයෙ මඩොල් දූවට විනෝද චාරිකාවක් එන්න හිතාගෙන ඉන්න අයටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.

දෙවනි දවසෙ උදේම(ඒ කිව්වෙ 8ට විතර :D) අපි පිටත් උනා ගාල්ලෙන්. අපිට ප්‍රවාහන පහසුකම් දෙවනි දවස සඳහා සැපයුවෙ සිංහගිරි ව්‍යාපාර සාදර අනුග්‍රහයෙන් කියල මතක් නොකලොත් ඒක ලොකු අඩුවක්. එක එල්ලෙගෙ town ace වෑන් එක තමයි අපි ගමන යන්න පාවිච්චි කලේ. මම වාහනේට නගින කොට හිටියෙ එල්ලෙයි අත්තයි කිරයි විතරයි. සූටියාව ගන්න අපි උන්ගෙ ගෙදරට ගියා. ආරංචි උන විදිහට මිනිහා තුන් හතර පාරක් නාලා තව පැයක් විතර හැඩ උනාලු. කොහේ යන්නද කියල පස්සෙ කියන්නම්.අපිත් එක්ක ඊළඟට එකතු උනේ පොත්තා(හිරන්ත).ඌ පාරට ඇවිත් ඉඳලා හබරාදුව බස් ස්ටෑන්ඩ් එක ළඟිනුයි වාහනේට නැග්ගේ. ඊළඟට අපි අහංගම බූලීගෙ(රවීන්) ගියේ අහංගම බුලීගෙ ගෙදරට. මිනිහා මාර පොෂ් උනාට මොකද ගෙදරට යන පාර නම් අන්තිමයි. බුලීගෙ අම්මා හදල දීපු පළතුරු යුෂත් රස බලලා අපි මඩොල් දූවට යන්න පිටත් උනා.

අහංගම ඉඳලා කොග්ගලට යන්න ආපස්සට ගාල්ල පැත්තට එන්න ඕන. කොග්ගලට ලඟම ඉන්නෙ පොත්තා නිසා අපි පොත්තගෙන් ඇහුවා බෝට්ටු තොටුපලකට යන්න තැනක්. ඌ කියාපි මම නම් එහෙම තැනක් දන්නෙ නෑ බං. ඔය ඉස්සරහින් හරවපන් කියල. අපි හරවපු තැන තමයි ගාල්ල පැත්තෙ ඉඳල එනකොට කොග්ගල් ඔය හරහා යන පාලම පහු උනාම තියනවා අතහැරල දාපු පාසලක්. එතනින් තියන මඩොල් දූවට කියන බෝඩ් එක ගාවින් තමයි හරවන්න ඕන. අවම මුදලකින් හොඳම චාරිකාවක් යන්න නම් මේ අපි ගිහිපු තැනින්ම මඩොල් දූවෙ යන්න කියල ඉස්සරහට යන්න ඉන්න අයට මතක් කරන්න කැමතියි. එතනින් කෙලින්ම බෝට්ටු තොටුපලට යන්න පුළුවන්. එතන හිටපු කෙනාගෙන් අපි ඇහුවාම ඔහු කිව්වෙ මඩොල් දූවට යන්න රු600ක් සහ දූපත් 5ක චාරිකාවක් යාමට රු2000ක් බව. මීට කලින් කොග්ගල් ඔයේ දූපත් 5ක චාරිකාවක් ගැන අහල නොතිබුනත් අපි ඒක යන්න කල්පනා කලා. අපේ බෝට්ටු පදවන්නා උනේ නිශාන්ත අයියා.
කළු පාට පරණ දුම්රිය පාරට යටින් අපි චාරිකාව ආරම්භ කලා. මුලින්ම අපි ගියේ දුරම තැනට. ඒ කුරුඳු දූවට. කුරුඳු දූව කියන නමින්ම තේරෙනවනේ මේ දූපතේ පුරාම තියෙන්නෙ කුරුඳු. මේකෙ පවුල් හතරක් ජීවත් වෙනව. ඔවුන්ගෙ ආදායම් මාර්ගය වෙන්නෙ කුරුඳු. මේ දූපතේ තියන කුරුඳු ගස් අවුරුදු 100කට වඩා පරණයි කියල තමයි නිශාන්ත අයියා කියන්නෙ. කුරුඳු ගහක කඳ දැක්කහම අපිටත් ඒ කතාව ඇත්ත වෙන්න ඇති කියල හිතුන.
මේවට කවදාවත් පොහොර යොදල නෑ කියනවනේ. කුරුඳු කෝට්ට හැදුනහම කපා ගන්නයි තියෙන්නෙ. අපි ඉතිං මේ දූපතේ ගෙදරකට ගොඩඋනා. ඒ ගෙදර අයිතිකාර මාමා අපිව බොහොම සුහදව පිළිගත්තා. ඉන් පස්සෙ කුරුඳු කෝට්ටකින් පොත්ත ගලව ගන්න හැටිත් අපිට පෙන්නුව.
මෙච්චර ගාල්ලෙ ඉඳලත් කුරුඳු පොතු ගහන හැටි එදා තමයි දැක්කෙ. මුලින්ම කොළ පාට කුරුදු පොත්ත උපකරණයකින් සූරල ඉවත් කරනවා. ඉන් පස්සෙ තව උපකරණයකින් කෝට්ට පිරිමදින්නෙ පොත්ත බුරුල් වෙන්නලු. අන්තිමට පිහියක් වගේ උපකරණයකින් ලස්සනට මුලු පොත්තම ඉරෙන්නෙ එහෙම නැතුව ගලව ගන්නවා. ඒක මඳ අව්වෙ වේලුවාම තමයි අපි කෑම වලට දාන කුරුඳු පොතු ලැබෙන්නෙ. කට්ටිය අහල තියනවද කුරුඳු තේ. අපිට නම් කුරුඳු තේ සංග්‍රහයකුත් බුක්ති විඳින්න ලැබුනා.
පැණි රස නම් නෑ සීනි එහෙම දාන්නෙ නෑනෙ. හැබැයි ගුණයිලු. එතනින් පිටත් උන අපි දූපත වටේ රවුමකුත් ගැහුව. ඒ අතර හමුබුන එල්ලෙන ඇඳක පොඩි ඇලට් එකක් දාන්නත් අමතක කලේ නෑ.

කුරුඳු දූවෙන් නික්මිලා අපි ඊළඟට යන්න පිටත් උනේ ආරණ්‍ය දූවට. ඒ යන අතර අපේ අත්තාට ඕන උනා බෝට්ටුව පදවන්න. නිශාන්ත අයියගෙන් සුක්කානම ඉල්ල ගත්තු අත්තා දැන් බෝට්ටුව පදිනවා.
ඉස්සරහ තියන දූපතක් පෙන්නලා නිශාන්ත අයියා කිව්වා අර දූපත එල්ලෙ යං කියල. ඒත් අපිට තේරුන විදහිට නම් බෝට්ටුව යන්නෙ නයා විදිහට. හිටපු ගමන් එක පැත්තට හැරෙනවා අපි කෑ ගහනකොට ආයෙ අනෙක් පැත්තට හැරෙනවා. ඒ විදිහට තමයි ගියේ. කොහොම හරි ආරණ්‍ය දූවට කිට්ටු වෙනකොට නිශාන්ත අයියා ආයෙ සුක්කානම් ඉල්ල ගත්තා.මොකද ඒ හරියෙ තියනවලු වතුරෙන් උඩට මතු නොවෙච්ච වතුර මට්ටමේ වගේ තියන ගල් කුළු.ඒ එකක් උඩින් බෝට්ටුව ගියොත් ඉවරයි. ඉතින් නිශාන්ත අයියා අපිව පරෙස්සමින් ආරණ්‍ය දූවට එක්කගෙන ගියා. මේ දූපතේ තියෙන්නෙ හාමුදුරුවරුනට භාවනා කරන්න හදපු කුටි සහ කුඩා පංසලක්. දූපතේ පරිසරය කොච්චර නිස්කලංක ද කියනව නම් ඇහෙන්නෙ කුරුල්ලන්ගෙ අනෙක් සත්තුන්ගෙ සද්ද විතරයි. අපි දූපතේ ඇවිදින අතර ස්වාමීන් වහන්සේ නමක් අපි ලඟන් ගියත් උන්වහන්සේ අපි ගැන පොඩි හරි අවධානයක් යොමු නොකර බිම බලාගෙන වැඩම කලා. අපි කට්ටියගෙ පැමිණීම භාවනායෝගීම ඉන්න ස්වාමීන් වහන්සේලාට කරදරයක් වෙන්න පුළුවන් කියල තේරුන නිසා අපි ඉක්මනට ආයෙ බෝට්ටුවට ආව.

ඊළඟට කොහාටද යන්නෙ? ඒ අපෙන් ප්‍රශ්නය නිශාන්ත අයියට. අපි ඊළඟට බහින්නෙ ගල් දූවට. හැබැයි කුරුළු දූව ළඟින් යනවා. නිශාන්ත අයියා එහෙම කිව්වෙ. කුරුළු දූවට බහින්න බැරි නිසා. කුරුළු දූව කියන්නෙ කුරුල්ලන්ටම වෙන් වෙච්ච දූපතක්. ඒකට කව්රුත් ගොඩ බහින්නෙ නෑ. අපි ගිහිපු වෙලාව දවල් නිසා ඒ වෙලාවට කුරුල්ලො නෑ කියලයි නිශාන්ත අයියා කිව්වෙ. ඒක නිසා ගහ කොලින් පිරිච්ච කුරුළු දූව ළඟින් යනගමන් බලාගෙන අපි ගල් දූව දිහාවට යාත්‍රා කරා. ආ කියන් අමතක උනානේ මේ ටිකේ අපේ රියදුරා උනේ පොත්තා. ඌට බෝට්ටු පදින්න දොළ දුකක් හැදුනනේ හිටපු ගමන්. පොඩි එකාගෙ ආසාවනේ ඔන්න ඌටත් දුන්නා බෝට්ටුව පදින්න. හැබැයි උගෙත් ගමන නයා තමයි.

ඊළඟට අපි ලං වුනේ ගල් දූවට. නමින්ම තේරෙනවනේ මේක ගල් වලින් හැදිච්ච දූපතක්. නිශාන්ත අයියා බෝට්ටුව බොහොම පරෙස්සමින් හිමීට ගල් දූව දිහාවට ලං කරා.
මේ හරියෙ වතුර යට ගල් කුළු සෑහෙන්න තියනවලු. සමහරක් තැනක වතුර නිකම්ම ඉහලට විසි වෙනවා දකින්න පුළුවන් ඒ අර වතුර මට්ටමේ තියන ගල් වල දිය රැලි වැදුනහමයි එහෙම වෙන්නෙ. කොච්චර ප්‍රවේසමෙන් හෙමින් බෝට්ටුව ගල් දූවට ලං කරත් දූපත ළඟටම යන කොට ගලක් දෙකක් බෝට්ටුවෙ අඩියෙ වැදිලා හීරීගෙන යන සද්දෙ අපට ඇහුනා. අන්තිමට දූපතේ ලොකු ගල් දෙකකට බෝට්ටුව හේත්තු කරල නිශාන්ත අයියා ඒ ගලක් උඩට බැහැල බෝට්ටුව අල්ල ගත්ත. මේ ඔයේ මැද හරිය නිසා මේ හරියෙ වතුර කැළඹිලි සහිතයි ගැඹුරුයි. ඒ නිසා අත ඇරියොත් බෝට්ටුව ගහගෙන යන නිසා නිශාන්ත අයියා බෝට්ටුව අල්ලගෙන එතනටම වෙලා හිටියා. ඇඟ කිලි පොලා යන කතාවකුත් නිශාන්ත අයියා කිව්වේ මේ අතරෙ. මල්ලිලා ඔය ගල් වල වටේටම කාවාඩි එල්ලිලා ඉන්නවා. ඒ නිසා ගල් උඩ යනකොට බලාගෙන වැටුනොත් කාවාඩි වලට පළලා යනවා. කෙලින්ම ඉස්පිරිතාලෙ තමයි. මේ කතාව අහලා අපි වතුරට එබිලා බැලුවා. ඇත්ත තමයි මේ ඉන්නෙ ගල් වටේටම වතුර මට්ටමේ දැති දැති පිහියක් වගේ. මේක දැකපු ගමන් බැහැලා හොඳට කකුල් දෙකෙන් හිටපු එවුන් පහත් වෙලා අත් දෙකත් බිමට තියා ගත්තා වැරදිලාවත් නොවැටෙන්න. කොහොම හරි කකුල් හතරෙන්ම ගලින් ගලට ගිහිල්ලා පින්තූර කීපයකුත් ගත්තා.

මේ පෝස්ට් එකේ නම මඩොල් දූවට ගමනක් නේ. කට්ටිය බලනව ඇති දැන් මඩොල් දූවට යන්නෙ නැද්ද කියල වෙන හතර වටේ ඇවිදින්නෙ. ගියා ගියා අන්තිමට ගියේ මඩොල් දූවට.අපි මඩොල් දූවට එනකොට කට්ටියක් ඉන්නවා ගොඩ දිහාව බලාගෙන. නිශාන්ත අයියා කිව්වා ඔයගොල්ලො වෙන තැනකින් ආවනම් ඕගොල්ලොන්ටත් වෙන්නෙ ඕක තමයි කියල. වෙන බෝට්ටු තොටුපලවල් වල මඩොල් දූවට විතරක් එන්න රුපියල් 1200ක් විතර ගන්නවා. ඒකත් මඩොල් දූවට ගෙනත් දාලා බෝට්ටුව යනවා ආයෙ පැයකින් වගේ එන්නම් කියල. මඩොල් දූවෙ ඇත්තටම පැයක් බලන්න දේවල් නෑ. ඒ මිනිස්සු ඉතින් අන්තිමට ගොඩ දිහා බලාගෙන ඉන්නවා බෝට්ටුව එනකම්. ඒත් නිශාන්ත අයියලාගේ බෝට්ටු සේවාව එහෙම නෑ. කොතනට ගියත් කට්ටිය ආපහු එනකම් ඔවුන් බෝට්ටුව තියාගෙන ඉන්නවා. ඕන වෙලාවක. ඒ නිසා ඔය කට්ටිය මඩොල් දූව බලන්න යනවනම් එහෙම මම කියපු මගසළකුණු වල විදිහට නිශාන්ත අයියලගේ බෝට්ටු තොටුපලටම යන්න. මම කලිනුත් කිව්වනේ මඩොල් දූවෙ බලන්න වැඩි දෙයක් නෑ කියල.
මඩොල් දූව කතාවෙ කියවෙන තරම් විශාල දූපතක් නෙමෙයි මේක. ළඳු කැලේ හරහා අඩි පාරවල් තියනවා. ගොඩ කරපු ළිඳකුත් සෙක්කු ගලකුත් විතරමයි මුළු දූපතටම තිබුනේ. මේ සෙක්කු ගල ඇතුලට කැමරා එක දාලා අපි ubuntu ඡායාරූපයකුත් ගත්තා.

දැන් නම් මේක දිග වැඩියි වගේ ඒ නිසා ඉක්මනට ඉවර කරනවා. අපි දවල්ට කෑවේ සූටියාගෙ පවුලගෙ ඒ කියන්නෙ කෙකරි(නිරාශා) ගෙ ගෙදරින්. හවස ගියා පොල්හේනෙ නාන්න. ඒ යන ගමන් වල්ගමින් කැව්ලාවත් සෙට් කර ගත්තා. මිනිහා නැතුව මාතර මොකුත් කරන්න බෑනෙ ඉතින්. ආ අපේ නුවර කට්ටිය හිතේ හැටියට මුහුදෙ නෑව.
වැඩිය නෑ පැය 3 1/2ක් විතර.අන්තිමට ගියේ අපේ බැච් එකේ කුඩාම සාමාජිකාවකගේ ගෙදර. ඒ කොයිල්ගේ(ආලෝකා) ගෙදර. අපරාදේ කියන්න බෑ අපි එන නිසා කෑම බීම ගොඩක් ගෙනල්ලා තිබුනා. අපිත් ඉතින් ඒව අපතේ යන්න ඇරියේ නෑ. මේසෙට තියපු හැම පිඟානක්ම ඉවර කලා.

එහෙනම් ඉතින් මේ දිගම දිග පෝස්ට් එක ඉවර කරන්නයි හදන්නෙ. කොහොම හරි කියන්න ඕන මැක්සා ට්‍රිප් එක.

Friday, August 28, 2009

ගාල්ල වටේ අපේ විනෝද චාරිකාව.......


ගොඩක් කාලෙකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බුනා. වැඩිය නෑ සතියයි. ඉතින් මේ නිවාඩුවේ අපි තීරණය කලා අවුරුද්දකට විතර කලින් ඉඳන් යන්න හිතන් හිටපු විනෝද චාරිකාව යන්න. අපේ බෝඩිමේ ඉන්න උඩ රට සගයෝ දෙන්නට තිබුනා ගාලු එන්න ලොකු උවමනාවක්. ඉතින් තව අහල පහල අයත් එකතු කරගෙන ගාල්ලෙ වටේ රවුමක් යන්නයි අන්තිම තීරණය උනේ. අපේ trip එකේ පළවෙනි දවස ගැනයි කියන්න යන්නෙ. පින්තූර ටිකකුත් එකතු කරනවා. බලන්න කොහොමද කියල.

ඔන්න ඉතින් ගිය 22 ඉරිදා උදේ අත්තා(එරංග), කිරා(සමීර), එල්ලේ(කල්ප) තුන් දෙනා ගාල්ලට සම්ප්‍රාප්ත උනා. උන්ව එක්ක එන්න මමත් සූටියත් ගියා ගාල්ලට. බලනකොට මුන් ටිකක් කලින් ඇවිල්ලා. මාතර ඉඳන් අපිත් එක්ක සෙට් වෙන්න ආපු කැව්ලා(චමිත්) තාම මග. මග කිව්වෙ වල්ගම.
ඒ කියන්න ඌ එතකොට බස් එකට නැගලවත් නෑ. ඉතින් ඌ ගාල්ලට එනකම් අපි කොටුව පැත්තෙ රවුමක් ගහන්න ගියා. කොටුවෙ දවල් දොලහට විතර ඇවිදින්න ටිකක් අමාරුයි තමයි. ඒත් මූදු හුළඟ නිසා දැඩි අව් රශ්මිය වැඩිය දැනෙන්නෙ නෑ.
කොටු තාප්පෙ දිගේ ටිකක් ඇවිදලා වැල්ලටත් බැස්සා කියමුකෝ. අත්තාගෙන් වදේ නාමු කියල. වැලිමඩ පැත්තේ මූද නෑනෙ ඒ නිසාද කොහෙද මූහුද දැක්ක වෙලාවෙ ඉඳල මිනිහගෙ කතාව නාමු නාමු නාමු තමයි :D. පස්සෙන්දා මූදෙ නාන්න සැලසුම් කරලා තිබුන නිසා බොහොම අමාරුවෙන් අත්තාව එක්කරගෙන ආව ගොඩට. පරක්කු වෙලා අපු කැවුලාවත් වාහනේට නග්ගගෙන කට්ටියම ආවෙ අපේ ගෙදර දවල් කෑමට. ඒ කිව්වෙ උළුවිටිකෙට. දවල් කෑම නම් අම්මා මරුවට උයල තිබුනා. මම මාස ගානකට පස්සෙ කාපු රසම කෑම වේල තමයි ඒ. රතු කැකුළු බත්,මෑකරල්,කිරිහැන්ද කොළ මාළුව,මඤ්ඤොක්කා එහෙම එක්ක කට්ටිය හුස්ම ගන්න බැරි වෙනකම් කෑවා. කොච්චර කෑවත් මොකද අර කොහොම හරි බඩේ ඉඩ ලැබෙන ජාතිය තමයි අතුරුපසට තිබුනේ.දන්නවනේ රජතුමා ආව වගේ තමයි. කොහොම හරි බඩේ ඉඩ අරගෙන ඒවත් කෑව කියමුකෝ දැන් ඇවිද ගන්නත් අමාරු ගානයි. එහෙම කියල කොහොමද හවස සැලසුම කොට්ටව නාන්න. හවස දෙකට විතර අපි කොට්ටව යන්න පිටත් උනා.

කට්ටියව එක්ක ගෙන අපේ ගෙදර එද්දිට වඩා කොට්ටව යන්න පිටත් වෙද්දි වාහනේ වැඩිපුර බරයි වගේ. අපේ වාහනේ Nissan AD wagon කියන ජාතිය. දැකල ඇත්නම් දන්නව ඇති වාහනේ කොහොමත් ටිකක් පහතයි.
අනික මුන් ටික ඉස්මුරුත්තෙට කාලනේ. ඒක නිසා වලවල් එහෙම පරෙස්සමට බේරන්න සිද්ධ වුනා. ඔන්න ඉතින් අපි කරාපිටිය තලගහ හරහා වලහන්දූවෙන් උඩුගම පාරට වැටිලා ඉස්සරහට ආවා. යන අතරේ කිරා කියනවා මචං සිරාවටම මේ පැත්තත් අපේ පැත්ත වගේමයි කියලා. අපි කල්පට නිතරම දෙන නෝන්ඩියක් තමයි උඩුගම ඩොටේ කියන එක. පොරගෙ ගම උඩුගම. මිනිහා කියව කියව හිටියේ බලපං අපේ ගමට යන පාර පට්ටයි නේද කියල හැබැයි කිරාගෙ කතාවෙන් කල්පයගෙ කට වැහුන. මොකද කිරා නාවලපිටියෙ =)). ඔන්න කොට්ටව තටාකෙට යන අතුරු පාරටත් අවා කියමුකෝ මේක කැලේ මැද්දෙන් තියන පාරක්. බැලූ බැල්මට ගල් මතුවෙලා මඩ වලවල් පිරිලා.
ලොරියක සෙනඟ පටවගෙන මේකෙ ගියොත් වාහනේ යට ඇනගන්න තමයි වෙන්නෙ ඒ නිසා අපේ හෑල්ලුම සාමාජිකයා සූටියා :P ඇතුලු කීප දෙනෙක් බස්සලයි වාහනේ අර පාරෙ අරගෙන ගියේ. වැඩි දුරක් තිබුනෙ නැති නිසා අවුලක් උනේ නෑ.

මේ තටාකේ කොට්ටව කැලේ මැද්දෙන් එක ස්භාවික වතුර පාරකින් තමයි පෝෂණය වෙන්නෙ. මුලින් මෙතන තිබිල තියෙන්නෙ ස්භාවිකවම හැදිච්ච පොකුණක් දැන් ඒක ටයිල් කරලා swimming pool එකක් වගේ හදල තියෙන්නෙ. එක පැත්තකින් වතුර පිරෙන ගමන් අනිත් පැත්තෙන් වතුර ඉවත් වෙන නිසා පිරිසිඳුයි. නාන්න කලින් කට්ටිය දඩ මස් වේලක් බුක්ති විඳින්න ලෑස්ති උනත් අධික මිල නිසා ඒක හරි ගියේ නෑ. මම නම් නෑනෙ ඔය පව් වැඩ වලට. කට්ටියම ඔන්න බැහැලා පීනන්න පටන් ගත්තා. පීනන්න බැරි අය පීනන්න පුරුදු වෙනවා. අනෙක් අය තරඟෙට පීනනවා.
ඔය අස්සේ කිරා පීනන අතර pool එකේ ගැට්ටේ නහය වද්දගෙන තුවාලත් කර ගත්තා. ඌටනේ හොඳටම පීනන්න පුළුවන්. ක්‍රම 5කට පීනතෑකි. ඒ ක්‍රම අතර බලු ක්‍රමෙත් තියනවා. ඌ ඒ විදිහට පීනලත් පෙන්නුවා. දැකල තියනවද බල්ලො පීනන හැටි. අත් උඩට එන්නෙ නැති නිසා සද්ද නැතුව පීනන්න පුළුවන්. කොහොම හරි කට්ටිය ගොඩට එනකොට 5 පහුවෙලා. ආ සූටියා pool එකේ පළළ පැත්තෙන් බාගයක් පීන ගත්තා. ඉතුරු බාගෙ ආයෙ දවසක.

ඊළඟට ආවෙ ගාලු කොටුවට. හවසට තමයි කොටුව ලස්සනම. කොටුව පන්සල ගාවින් පටන් අරගෙන ඉස්සරහ පැත්තට එනකොට රෑ වෙලා. මොකද ඉතින් දකින දකින එකේ පින්තූර ගන්නත් එපැයි. අනික අත්තට නියම කලාකාමී අදහස් තියෙන්නෙ. උඹ ඔහොම ඉඳපන් උඹ අර පැත්ත බලාගෙන ඉඳපන් ඔය විදහට කට්ටිය විනාඩි 10ක් විකර කට්ටිය සෙට් කරලා තමයි මෑන් photo එක ගන්නේ.
රෑ 8 විතර වෙලා තිබ්බ නිසා කට්ටියම ආව සූටියාගෙ ගෙදරට. ඒ බෙලිගහ හන්දියෙ. රෑට එහෙන් කාල. කට්ටියම කල්පගෙ ගෙදර ගියා. එහේ තමයි රෑ නවාතැන්. මම නම් ගෙදර ගියා මොකද නිවාඩු තියන ටික දවසෙත් ගෙදර නැති උනාම අම්මගෙ තාත්තගෙ හිතට හරි නැති නිසා. ඔන්න අපේ trip එකේ පළවෙනි දවස ඉවර උනා. මඩොල් දූව ගිහිපු හැටි එක්ක ඊළඟ post එකෙන් හම්බෙමු.

Saturday, August 15, 2009

සැබෑ තිරිසනා කවුද...???


මිනිසුනේ නුඹලාට නොපෙනේද මේ කඳුළු
අයාගත් දෑසින්
කඳුලින් පිරුනු දෙනෙතින්
මේ යදින්නේ ජීවිතය නොවේද?
උත්තරීතර මිනිසත් බවට උරුමකම් කියා
ප්‍රකට කරන ඒ උත්තරීතර බවේ ලක්ෂණද මේ?
ඔව් ඉතින් උඹලා කන්නේ හරක් මස් නොවෙයි නේ
උජාරුවට beef කියාවි
හරිම රසයි,ගුණයි එහෙම නේද?
සිතන්න සතෙකුගේ ලේ රස බැලීමට කලින්
උඹ එතන හිටියනම්
උඹට කොහොම හිතේවිද?
උඹ කැමතිද තව කෙනෙක් උඹේ ලේ මස් රස බලනවට
ශරීරයෙන් විස්සෙන් පංගුවක් වත් නැති
දිව පිනවන්න
තවත් සතෙකුගෙ ජීවිතයක් පලිද?
සිතන්න මදක්
සැබෑ තිරිසනා කවුද...???

Monday, August 10, 2009

Ubuntu අයිසිං කිරීම(4 කොටස)-Cairo Dock

මේ ලියන්නෙ Ubuntu අයිසිං කිරීම ලිපි පෙලේ අවසාන ලිපිය. Cairo Dock කියෙන්නෙ ඩෙස්ක්ටොප් එක සඳහා නිර්මාණය කරපු animated application launch bar එකක්. මේක නිර්මාණය කරල තියෙන්නෙ Mac OS X වලින් ගත්තු අදහසකින්. අපි නිතර පාවිච්චි කරන මෘදුකාංග යොමු(shortcuts) සහ තවත් කුඩා applets රඳවා තබා ගන්න පුළුවන් bar එකක්. මේක සාමාන්‍ය task bar එකකට වැඩිය ගොඩක් අලංකාරයි. ඒ වගේම cairo dock එකේ ඇති icons අසලට මව්සය ගෙනයන විට හා ඒ මත click කල විට විවිධ ඇනිමේට් වීම් ද දකින්න පුළුවන්. මෙය gnome, kde හා xfc යන desktop environment වල ක්‍රියාත්මක වෙනවා.

මෙහෙමයි install කරගන්නෙ.

terminal එකේ පහත පරිදි ඇතුලත් කරන්න.

Cairo dock repository එක ඔබේ source list එකට ඇතුලත් කිරීමට
gksudo gedit /etc/apt/sources.list

විවෘත වන file එකේ අගට සුදුසු repository එක add කරන්න.
deb http://repository.cairo-dock.org/ubuntu jaunty cairo-dock # For Ubuntu 9.04
deb http://repository.cairo-dock.org/ubuntu intrepid cairo-dock # For Ubuntu 8.10
deb http://repository.cairo-dock.org/ubuntu hardy cairo-dock # For ubuntu 8.04

repository එක නිශ්චය කරගැනීමේ signed GPG key එක සඳහා
wget -q http://repository.cairo-dock.org/cairo-dock.gpg -O- | sudo apt-key add -

දැන් cairo dock ඇතුලත් කිරීම සඳහා පහත command දෙක පිළිවෙලින් ඇතුලත් කරන්න
sudo apt-get update
sudo apt-get install cairo-dock cairo-dock-plug-ins

මෙහෙයුම් පද්ධතිය ආරම්භ වන විට cairo dock launch කර ගැනීමට System --> Preperenses --> Startup applications වලට cairo dock ලෙස command එක ඇතුලත් කරන්න.(manually ක්‍රියාත්මක කිරීමට run හි cairo-dock ලෙස ඇතුලත් කරන්න)මෙහි dock එක සඳහා විවිධ themes විශාල ප්‍රමාණයක් ඇතුලත් අතර කැමති theme එකක් යෙදීමට dock එකේ right click කර manage themes වලින් අවශ්‍ය theme එක select කරන්න.

ඔන්න මගේ desktop එකේ තිර පිටපත් කීපයකුතු දැම්මා. බලන්න ලස්සනද කියලා.

Wednesday, August 5, 2009

විභාගෙ ඉවරයි දැන් ආයෙ නිදහස්



ගොඩක් කාලෙකට පස්සේ අදයි ලියන්න ඉඩක් ලැබුනේ. අම්මෝ මැරිල ඉපදුනා වගේ. විභාග නම් ආයෙ එපා. :D අපේ කට්ටිය ඒ කිව්වෙ බොට්ටා, ඇකා, එහෙමත් පහුගිය කාලෙ නිශ්ශබ්ද ඔය නිසා තමයි. අද තමයි යන්තන් අන්තිම subject එක ඉවර උනේ. ඒ තමයි data structures and algorithm. මේ සමාසිකයට තිබිච්ච විෂයන්ගෙන් මම ආසම එක. කොහොමත් මේ මාසෙකට විතර පස්සෙනෙ ආයෙ බ්ලොග් කෙරුවාවට බැස්සෙ. මෙච්චර කාලයක් මැරුනට විෂයන් 10ක් විතර තිබුනේ නෑ. ඔක්කොම subject 4යි තිබුනෙ. හැබැයි ඒ හතර ඇති 40කට විතර. ඒ වගේ වැඩ කිරිල්ලක් A/L වලටත් කලේ නැද්ද කොහෙද? උදේට කැම්පස් දුවනවා ගිහින් කුප්පියකට සෙට් වෙනවා. හවසට බෝඩිමට ඇවිත් ආයෙ tute වලට ඔළුව ඔබා ගන්නවා. ඉතින් රෑ 2 විතර වෙනකම් වැඩ. හැබැයි 11 විතර පහු වෙනකොට ටික ටික නිදිමත එනවා. ඊට පස්සෙ පැය බාගෙන් බාගෙට තේ තමයි. අපේ සූටියා හදනවා කෝපි එකක් ඒක බිව්වහමනම් ආයෙ පැය දෙක තුනකට නිදිමත එන්නේ නෑ. අපි කියන්නේ සූටියාගෙ බෙහෙත් ප්ලේන්ටිය කියල. හික්. ඔන්න 12 පහුවෙන කොට එක එකා නිදා ගන්න පටන් ගන්නවා. මෙට්ටෙට ගිහිල්ල පිළිවෙලකට එහෙම නෙමෙයි. ඔන්න පුටුවෙ වාඩි වෙලා ඉන්නවා නේද නිදිමත වැඩි උනහම එහෙමම බිමින් හාන්සි වෙනව ටිකකින් ගොරව ගොරව නිදි. වෙලාවක බෝඩිම විසාලා මහනුවර තුන්බිය ඇතිවෙච්ච කාලෙ වගේ. ඇයි මුන් ටික වැටිච්ච වැටිච්ච තැන් වල බුදිනේ.

එක අතකින් අපේම වැරුද්ද. ලෙක්චර්ස් කට් කරපුවාගෙ ලෙක්චර්ස් ගිහින් බුදිය ගත්තුවගේ ප්‍රතිඵල තමයි. හැබැයි කැම්පස් එකේ තියෙන්නෙ එකෙක් වත් අත අරින්නෙ නෑ. දවස් ගනන් නිදි මරාගෙන කොහොම හරි අදිනවා. ගිරව දාල හරි ලියනවා(software engineering වගේ ගොඩ දාන්න නම් හොඳ ගිරවෙක් ඉන්න ඕන ). බැච් එකේ කාටවත් හැලෙන්න දෙනෙනෙත් නෑ. පුලුවන් එකා අනිත් එවුන්ට කියල දෙනවා(කුප්පි දානවා). මමත් algo කුප්පියක් දැම්මා. උන් ටික හොඳට ලිව්ව කියල කිව්වම ඒ වගේ සතුටක් තවත් කොහෙද?

ලියන්න බැරි උනාට පහුගිය කාලෙ පුලු පුලුවන් විදිහට බ්ලොග් ටික කියෙව්වා. හැමදාම නම් කියවන්න උනේ නෑ. කමෙන්ට් එකක් දාන්න බැරි උනත් කියවලා හරි ගියා. ඉස්සර හට ලියන්න කියල පෝස්ට් කීපයක් හිතේ තියාගෙනයි ඉන්නෙ. ඒවගෙන් බහුතරය සුපුරුදු පරිදි FOSS වේවි. මම ආස subject එකනේ. :D Ubuntu අයිසිං කිරීම තව එක ලිපියකින් ඉවරයි. ඊට පස්සෙ අළුතින් ubuntu වලට එන අයට උදව්වෙන ලිපි ටිකක් ලියන්නයි අදහස.

ම්...තව මොනවද? මේක දැන් නිකන් අච්චාරුවක් වගේ වෙලාද කොහෙද. ආ අපේ අළුත් බැච් එක එනවනේ. ඒ කියන්නේ අපි senior වෙනව කියන එක. ඒ වැඩ කටයුතුත් ඉස්සරහට කරන්න වෙයි. එහෙනම් ගිහින් එන්නම් ඉක්මනටම ආයේ තව සටහනකින් හමුවෙමු. එතකන් ආයුබෝවන් =D>

Saturday, July 11, 2009

අනාගතය



පුරුදු බවක් දැනුනි වර්තමානයෙහි
සිතුනි එය අතීතයෙහි සිදුවී ඇති බව
ඔව් එය සිදුවී ඇත
අතීතය වර්තමානයෙහි පුනරූපනය වෙමින් පවතී
අතීතය දනිමි
එසේ නම් අනාගතයද එයම විය යුතුය
නැතහොත් අනාගතය වෙනස් කල යුතුය
ඔව්
අඳුරු අතීතය මෙන් නොවන ලෙස අනාගතය වෙනස් කල යුතුය
නමුත් අදත් ඒ අතීතයම පුරුදු ලෙසින් ගලා ගියේය
අතීත වැරදි එලෙසින්ම නැවත දැන දැනම සිදුවේ
ඉතින් අනාගතය වෙනස් කල හැකි වේද?

Saturday, June 27, 2009

ගිනිනරියා අළුත් වීම

ඔන්න ගිනි නරියා 3.5 නිකුත් වෙන්න කිට්ටුයි. ගිනි නරියා කියනකොට හැමෝම දන්නවනේ Mozilla Firefox. දෙවන බ්‍රව්සර් යුද්ධයේ IEගෙ ප්‍රතිවාදියා. Firefox 3.0 සංස්කරණය නිකුත් වෙච්ච වෙලාවෙ පැය 24ක් ඇතුලත ලක්ෂ 83ක් පමණ පිරිසක් ඒක බාගත කරලා වාර්තාවක් පිහිටෙව්වා මතක ඇතිනේ. ඒකෙන් පස්සෙ එන අළුත්ම සංස්කරණය Firefox 3.5 ඒ පරණ වාර්තාව අළුත් කරන පාටකුයි දැනට පේන්න තියෙන්නෙ.

දැනෙට මේකෙ release candidate 3 නිකුත් වෙලා තියනව. ඕන කෙනෙකුට පුළුවන් ඒක download කරගෙන ගුණදොස් විචාරන්න. මුලින්ම කියන්න එපැයි Firefox නිර්මාපකයෝ කියන කතාව.



නව සංස්කරණයේ දියුණු කර ඇති ලක්ෂණ.
  1. Firefox සංස්කරණයන්හි වේගවත්ම සංස්කරණය මෙයයි. මේ සඳහා TraceMonkey javascript rendering engine එක උපයෝගි කර ගන්නවා.
  2. Private browsing mode මෙකෙදි අපේ අනන්‍යතාව හංගනවා වගේම අපේ දත්ත ආරක්ෂා කරල දෙනව. අපි යන sites browser එකේ සටහන් වෙන්නෙ නෑ වගේම cookies වැටෙන්නෙත් නෑ.
  3. Geko layout engine එක දියුණු කරල තියනව. මේ මගින් වෙබ් පිටු ඉක්මනින් render කරල දෙනව.
  4. මීට කලින් සංස්කරණයන්ට වඩා ස්ථායීලු(windows උඩදි Firefox crash වෙනව දැකල ඇතිනෙ) කලින් tab ගොඩක් විවෘත කලාම ඇතිවෙන memory අවුල නිරාකරණය කරල කියල හිතන්න පුළුවන්.
  5. සිංහල භාෂාව ඇතුලුව ලෝකයේ භාෂා 70ක් පමණ සහය දැක්වීම.
  6. අළුත් technologies මැනැවින් සහය දැක්වීම.(HTML5-video,CSS,SVG etc.)
එහෙනම් අපිත් අතට ලැබෙනකම්ම ඉන්නෙ නැතුව RC එක බාගෙන දාල අඩුපාඩු bugs එහෙම තියනවනම් report කරමු නේද? සාමාන්‍යයෙන් අපේ කට්ටියගෙ පුරුද්ද නිකම්ම අරගෙන පස්සෙ අඩුපාඩු කියවන එකනෙ(Linux ගැනත් එහෙමයි). එහෙම පිනාල නොවී අපිත් ඒ කර්තව්‍යට දායකත්වයක් දුන්නනම් නේද වටින්නෙ.

වින්ඩෝස් වලට නම් බාගෙන නිකම්ම ස්ථාපිත කරගන්න පුළුවනි(user friendly :D).Linux වලට නම් terminal එකට යන්න වෙනව.දැනට තියන 3.0 එක තියෙද්දිම 3.5 දාන්න පුළුවන් අවුලක් නැතුව.
  • දැනට තියන firefox එක open කරගන්න. මෙතන click කරල public key එක අරගෙන text file එකක් විදිහට save කර ගන්න.
  • System > Administration > Software Sources ගිහින් Third-Party Software වලට පහත පේලිය ඇතුල් කරන්න.
deb http://ppa.launchpad.net/fta/ppa/ubuntu jaunty main(හාවා සඳහා)
  • Authentication tab එකට ගිහින් කලින් save කරපු text file එක import කරන්න.
  • දැන් System > Administration > Synaptic Package Manager වෙත යන්න. reload button එක click කරන්නත් අමතක කරන්න එපා.
  • firefox 3.5 විදිහට සෙව්මක් දාලා select කරල apply කරන්න.
  • දැන් Applications-->Internet වල Shiretoko web browser කියල තියෙන්නෙ firefox 3.5 තමයි.