Sunday, March 28, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - මොකද්ද මේ Shell


ඉතින් ලිනක්ස් ගැන ලිපි පෙලේ තව ලිපියක් ලියන්නයි මේ සූදානම. මුලින් මේ ලිපි පෙල ගැන ගොඩක් අය උනන්දුවෙන් හිටියත් අන්තිම ලිපි දෙකට වැඩි ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා මටත් කම්මැලි හිතිලයි තිබුනේ ආයෙ ලියන්න. මේ දවස් වල කැම්පස් එකේ වැඩත් වැඩි නිසා ඊළඟ ලිපිය ලියන එක දවසින් දවස කල් යමිනුයි තිබුනේ. වැඩිපුර දවසක නිවාඩුවකුත් එක්ක ගෙදර ආවහම හිතුවා මේක ලියල දානව කියල.

හරි Shell කිව්වහම මොකද්ද මුලින්ම මතක් වෙන්නේ Shell scripting, Shell commands එහෙම නේද? මොකද්ද මේ shell එක කියන්නේ. මේ රූප සටහන බලන්නකෝ.
Kernel එක කියන්නේ Linux වල තියන වැදගත්ම දේ. ඇත්තටම මෙහෙයුම් පද්ධතිය කියන්නෙ මේ kernel එකට. අනෙක් මෘදුකාංග ක්‍රියා කරන්නේ මේ kernel එක හරහා දෘඩාංග සහය ලබා ගනිමින්. මේ kernel එකට විචිත්‍රක අතුරු මුහුණත (GUI) වගේම සාමාන්‍ය ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් එක්ක ලැබෙන මෘදුකාංග අයිති වෙන්නේ නෑ. ඒව ලැබෙන්නෙ GNU(GNU is Not Unix) කියන ව්‍යාපෘතියෙන්. මේ දෙක ඒ කියන්නේ Linux kernel එක සහ GNU මෘදුකාංග එකතු වෙලයි GNU/Linux මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වෙන්නෙ. ඒ අතුරු කතාවක්. ඉතින් පරිගනකයේ දෘඩාග හසුරුවන්නේ මේ kernel එකනේ. kernel එක එක්ක ගනුදෙනු කරන කෙනා තමයි shell කියන්නේ. ඉතින් අපිට මෙහෙයුම් පද්ධතියෙන් යම් දෙයක් කරගන්න ඕන නම් මේ shell ට කියල තමයි කරගන්න වෙන්නේ. මෙයාට කියනව Command line interpreter කෙනෙක් කියලත්. Interpreter කියන්නේ පරිවර්තකයා නැත්තම් තෝල්කයා කියන එකනේ. පරිගනකය දන්නෙ machine language එක ඒ කියන්නේ 010010101110 වගේ දෙකේ පාදයෙන් නැත්නම් binary වලින් කියන දේවල් විතරයි. අපිට ඒව තේරෙන්නෙ නෑනෙ අපි තෝරගත්තු විධාන වලින් කෙරෙන්න ඕන දේ shell එකට කිව්වහම එයා ඒක kernel එක හරහා පරිගනකයට කියල අදාල වැඩේ කරල දෙනවා.
shell කීපයක් ලිනක්ස් මත භාවිතා වෙනවා. Bourne shell කියන්නේ දැනට Linux මත බහුලවම භාවිතර වෙන shell එකෙ මේක. අනික් ඒවට වඩා හොඳ shell එකක් විදිහට bourne shell නැත්තම් bash shell එක හඳුන්වනවා. තව C shell, sh shell වගේ shell කීපයක්ම තියනවා. prompt එකේ echo $SHELL කියල දුන්නම දැනට run වෙන shell එක මොකද්ද කියල දැන ගන්න පුළුවන්. මේ shell එක බොහොම powerful දෙයක්.(windows command prompt එක වගේ කසි කබලක් නෙමේ) ගොඩක් ක්‍රමලෙඛකයන් තාමත් GUI එක භාවිතා නොකර shell එකේ තමයි තමන්ගේ කටයුතු කරන්නෙ. GUI එකේ කරන සමහර දේවල් ඊට ගොඩක් ඉක්මනට shell එකේ කරගන්න පුළුවන්. ඒ වගේම GUI එකේ කරන්න බැරි shell එකේ පමණක් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා. මේ නිසා Linux ඉගන ගන්න නම් shell එක ගැන දැන ගැනීම ඉතාම වැදගත්.

ඉතින් අපි කොහොමද මේ shell එක බලා ගන්නෙ. GUI එකක් නැතුව අපි මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගත්තොත් අපි කෙලින්ම යන්නෙ මේ shell එකට තමයි. අපි සාමාන්‍ය GUI එකක් සහිත Linux ස්ථාපිතයක ඉන්නව නම් alt+ctrl+F2(F2 ඉඳල F6 වෙනකම් ඕන function key එකක් පාවිච්චි කරන්න) යතුරු එකවර එබුවහම අපිට GUI එකෙන් ඉවත් කරල shell එකට අරගෙන යනවා. මළ කෙළියයි දැන් ආපහු GUI එකට එන්නෙ කොහොමද? බය වෙන්න එපා atl+ctrl+F7 වලින් ආයෙ GUI එකට එන්න පුළුවන්. ඒත් නැතුව GUI එකේම ඉඳගෙන shell එක එක්ක වැඩ කරන්න බැරිද? පුළුවන් ඒකට තමයි terminal කියන මෘදුකාංගය තියෙන්නේ.

Terminal

Ubuntu වල නම් Application-->Accessories-->Terminal කියන තැන මේක තියනවා. එහෙම නැත්නම් alt+F2 ඔබලා එන Run Application එකේ gnome-termianl කියල දුන්නහමත් මේක ගන්න පුළුවන්. GUI එකක් මතදි අපිට මේ terminal එක පාවිච්චි කරල shell commands execute කරන්න පුළුවන්.

Shell commands

shell එකෙන් අපි කියන දේ කරලා දෙනව කිව්වට ඉතින් ඒකත් කියන විදිහක් තියනවා. ඒ කියන්නේ නියමිත විධාන තියනවා. ඒවගෙන් තමයි අපි අපිට අවශ්‍ය දේ කියන්න ඕන. ඊළඟ සටහනේ ඉඳල shell commands ගැන කතා කරමු.

ඉතින් මේ සටහන හමාර කරන්නයි යන්නේ. ගැටළුවක් අදහසක් තියනව නම් අහන්න අමතක කරන්න එපා. අඩුපාඩුවක් දැක්කනම් ඒක පෙන්නල දෙන එකත් අගය කරනවා. ඒ නැති උනත් ප්‍රතිචාරයක් සටහන් කරලා යනවනම් ඒක මට ධෛර්යක්.

Friday, March 12, 2010

එක් ප්‍රාර්ථනාවක්.......


මහ පොළව ඉරි තැලී ඇත
ගහ කොළ වේලී ගොස්ය
මුළු ලොවම වියලී ගොසිනි
මේ දිගු නියඟයෙන්
....
දකිනු රිසිය නිල් තුරුලතා
අසනු කැමතිය සුමියුරු කුරුළු ගී නද
විඳිනු රිසිය තෙමුනු පොළවේ නැවුම් පුසුඹ
සනසන්න ජීවිතය
මේ වේලුනු පොළව තෙමාලමින්
දැන්වත්
වැහැපන් සොඳුරු වැස්ස.....

Wednesday, March 3, 2010

සීතල නුවර එළියේ වැවක් ලඟ කූඩාරමක රැයක්

අපේ බෝඩිමේ සෙට් එක පහුගිය දවසෙ පොඩි ට්‍රප් එකක් ගියානෙ. මාස හයක් මැරිලා මැරිලා කොම්පියුටර් එක්ක හැප්පිලා එපා වෙලා හිටි අපි ආතල් එකක් ගන්නයි මේක සෙට් කලේ. කට්ටියට මතකද මන්දා මම අපේ බෝඩිම ගැන කලින් පෝස්ට් එකක් ලියද්දි කිව්වේ අපේ බෝඩිමේ පහක් ඉන්නව කියලනේ. දැන් 10 ඉන්නවා. අළුතෙන් අපු පස් දෙනා තමයි ඇකා(චරිත්), කැන්දු(රොෂාන්), තලන්නා(ධනුෂ්ක), ගෙම්බා(තරිඳු) සහ සීනා(අමිත). දැන් හිතන්න එපා පහක් හිටපු තැන දහයකට ඉන්න පුළුවන්ද කියල. බෑ . අපි කලින් හිටියේ ගෙදර පැත්තෙ කාමර තුනක කෑල්ලකනේ. ලොකු ගෙදර හිටපු අය ගියා. ඉතින් අපි තව පහක් සෙට් කරගෙන අර ලොකු කෑල්ල ගත්තා. අප්පා සාගරේ වගේ සාලෙකුයි කාමර 3යි කෑම කාමරයයි විසාල කුස්සියකුයි. කියල වැඩක් නෑ. අපේ සද්දෙ අහල පහල අයට උහුලන්න පුලුවන්ද දන්නෙ නෑ. දන්නවනේ කොල්ලො 10 දෙනෙක් පිස්සු නටන්න ගියාම. හරි හරි ට්‍රිප් එක ගැනනේ කියන්න ගියේ. මේ ඉන්නෙ බෝඩිමෙන් පිටත් වෙච්ච කට්ටිය. මගදි තව අය එකතු උනා. ආ ඔතන ඉන්නවා අපේ බෝඩිමේ නෙවෙන කෙනෙක් කොයියා. පොරගෙ බෝඩිම නාරාහේන්පිට උනාට වැඩිපුර ඉන්නේ අපේ එකේ.
කට්ටිය වමේ ඉඳල අත්තා, ඇකා, මම , කැන්දු, එල්ලෙ, කොයියා වාඩි වෙලා ඉන්නේ සූටියා.

කැම්පස් එක ගාවට ගිහින් රත්නපුර බස් එකට ගොඩවෙලා අපි මුලින්ම ගියේ රත්නපුර ගෙම්බලාගෙ ගෙදර. රත්නපුර බස් නැවතුමෙත් පැයක් විතර රස්තියාදු වෙලා(ගෙම්බා වෙලාවටම වැඩ කරන නිසා) තව බස් එකකත් නැගල ගිහින් බැස්ස කියමුකෝ. දැන් මෙන්න යනවා මහ කැලේ පාරක පාරෙ අලි නාවන වලවල් ඒ මදිවට අංශක 60 විතර ආනතයි කන්ද. හප්පා ගෙම්බගෙ ගෙදරට යනකොට හොඳ පණ ගිහින්. අපි කාල ඉවර වෙනකොට මාතර ඉඳල ඇඹිලිපිටිය හරහා ආපු සීනත් අපිට සෙට් උනා. ගෙම්බගෙ අම්මට පින් සිද්ධ වෙන්න ඉස්මුරුත්තාවටම කාල අපි ගියා ඒ ළඟ තියන ඇල්ලක නාන්න. අපි යනකොටම වහින්න ලෑස්ති කරල තිවුන නිසා අපිට තේරුනා වැඩි වෙලා නම් නාන්න වෙන්නෙ නෑ කියල. ඡායාරූප එහෙම අරගෙන ඉවර වෙලා යන්තම් වතුරට බැස්සා විතරයි වහින්න ගත්තා.

ඒ එක්කම ක්ෂණිකයෙන් ඇලේ වතුර පාර වැඩි වෙනවා අපිට තේරුනා. එන පොට හරියන්නෙ නෑ. අපි දඩ බඩ ගාලා ගොඩ උනා. මොකද උඩහට කලින් වැහැලනම් විනාඩි කීපයක් ඇතුලත වතුර පාර සෑහෙන්න වැඩිවෙනව කියල ගෙම්බ කියපු නිසා. අනේ හිතේ හැටියට නාන්න හිටිය මදෑ. ගිහින් නාන කාමරෙන් නාගත්ත වෙන මොනව කරන්නද?රෑ අපි ගෙමබලගෙ ට්‍රක් එකේ ගියා මැණක් පතලක් බලන්න.

මේ තියෙන්නෙ පතල. පතලෙ ඉඳල අඩි 25ක් විතර එහායින් ගඟ. සාමාන්‍යයෙන් පතලේ ඉඳලා අඩි 50ක් විතර හැම පැත්තටම දෝනාවල් යනවලු. ඒ කියන්නෙ ගඟ යටිනුත් දෝනාව යනවා. අපේ නම් ඇඟ හීතල උනා. ඒ වුනාට කසි අව්ලක් නැති වෙන්න මුක්කු ගහල ශක්තිමත්ව තමයි දෝනාව කපනව කියන්නේ. අපි ආවෙ හවස එතකොට වැඩ නවත්තලා. මෝටර් නැවැත්තුවාම පතලෙ වතුර පිරෙනවා. ඊළඟට රතනපුර මහ සමන් දේවාලෙ වැඳ පුදාගෙන අපි ආයෙ ගෙම්බගෙ ගෙදර ආවා. මේ ගෙම්බගෙ අම්මා තාත්තා එක්ක අපි කට්ටිය.

පස්සෙන්දා බදුල්ල බස් එකකට ගොඩවෙච්ච අපි කට්ටිය ගියේ බණ්ඩාරවෙලට. අපි ඒ පැත්තට යනකොට සීනා අනිත් පැත්තට යන බස් එකක නැගලා කොළඹ ගියා. වහාම ක්‍රියාත්මක වන පරිදි තමා හමුවෙන්න කියල උගේ පවුල නියෝගයක් පනවල කියලයි කට්ටිය නම් කිව්වේ. අපි බණ්ඩාරවෙලට ගිහින් එතනින් වැලිමඩට ගියා. එතනින් නුවර එළියට. අන්තිමට නුවර එළියට එනකොට හවස 3 විතර. අපි ලොකුම බලාපොරොත්තුවකින් හිටපු අත්දැකීම කූඩාරමක් ගහගෙන රෑ ඉන්න අවශ්‍ය දේවල් අරගත්තා. අපේ කට්ටිය කුකුලෙක් එහෙමත් අර ගත්තෙ බාබකිව් දාන්නනේ. රෑ කෑමට පාන් බටර් එක්ක. ලාම්පුතෙල් බෝතලයක් එහෙමත් අරගෙන අපි පට්ටිපොල බස් එකට නැග්ගා. අපි කෑම්ප් එක ගහන්න ලෑස්ති කලේ කන්දෙ ඇළ රක්ෂිතය කියන තැන. මෙතන වැවක් තියනවා.
ඔය දකුණු අත පැත්තෙන් පේන ගොඩැල්ලේ තමයි අපි කූඩාරම ගැහුවේ. ඊට කලින් පොඩි බෝට්ටු සවාරියක් යන්නත් අමතක කලේ නෑ.
අප්පට සිරි තව පොඩ්ඩෙන් අමතක වෙනවා. වැලිමඩ පුස්සත්(සමන්) අපිට සෙට් උනා මගදි. ඔය දකුණු පැත්තෙ කොනේම ඉන්නෙ ඌ. කූඩාරම ගහන තැනට අපි යනකොට කළුවර වැටෙනවා. කට්ටියක් ගිනිමැලේට දර එකතු කරන්න යවලා අපි කුලියට ගත්තු කූඩාරම් දෙක අටව ගන්න ට්‍රයි කලා. දැන් කළුවරේ මේක හරියට පේන්නෙත් නෑ. මීට කලින් කූඩරම් ගහල තියන එකක්යැ මොකෝ. මල කෙලියයි කියන්නෙ දැන් මේක ගහගන්න බෑ. eek රෑට මේ හීතලේ එළියෙ නිදාගන්න කියලද අපි ඉතින් කූඩාරම කුලියට දීපු ටෝනි අයියවම අඩ ගහගෙන කූඩාරම අටව ගත්තා. අපරාදෙ කියන්න බෑ මාරයි. පොඩි බෑග් එකක අකුලල දාල තිබුනට එක කූඩාරමක 4කට 5කට නිදාගන්න පුළුවන්.

මේ අතරෙ ගිනිමැලෙත් ගැහුවා. මේක ගහගත්තට පස්සෙ තමයි. අත පය ටිකක් රත් කරගත්තෙ. නැත්තම් ගල් වෙලා වගේ හිටියෙ. නුවර එළියෙනේ. දැන් ඔන්න කට්ටිය අර ගෙනාපු කුකුළව කොටුවක ගහගෙන ඌට දස වද දෙනවා. හෆොයි මැරිලා වත් ඌ විඳින වද ඉවර නොවෙච්ච හැටි. මම නම් ඕවට නෑ. බටර් එක්ක පාන් කෑල්ලක් කෑව මම. මට ඒ ඇති. කෑම ගැන එච්චර වද වෙන මිනිහෙක් නෙමේ මම. ඊට පස්සෙ ඉතින් රෑ 2 විතර වෙනකම් ආගිය කතා සින්දු තමයි.

ඔන්න 2 විතර වෙනකොට අපිව අයිස් වෙන තරමට හීතලයි. ඇරත් වැවක් ලඟනේ. ගිනි මැලේ එහෙම නිවල කූඩාරම් දෙකට රිංගුවා නිදාගන්න කියල. මොන නිදාගන්නවද. වෙව්ලනවා. නින්ද යාගෙන එනකොට වැරදිලාවත් කකුල කූඩාරම් රෙද්දෙ වැදුනොත් උඩ ගිහින් ඇහැරෙනවා.
යන්තම් නින්දයි නොනින්දයි අතරේ උදේ වෙනකම් ගත කරත්තා. උදෙත් මාරම හීතලයි. ආයෙ ගිනිමැලේ ගහගෙන කූඩාරම අකුලලා අස්පස් කලා. මෙතන වටපිටාවෙ කලින් කූඩාරම් ගහන් හිටපු අය කුණුටික ඔක්කොම කැලේට විසි කරලා ගිහින් තිබුනට අපි එහෙම කලේ නෑ. අපි නොහිටපු ගානට පොඩි කොළ කෑල්ල පවා අයින් කරලා පිරිසිඳු කරලයි ආවෙ. ආ කියන්න අමතක උනානේ මේ කෑම්ප් වැඩේදී අපිට ගොඩක් උදව් කලේ අත්තගෙ නෑවෙන අයියා කෙනෙක්. උදේ ඒ අයියගෙ ගෙදර ගිහින් තමයි දත කට මැදලා උදේට කරන වැඩ කටයුතු එහෙම කරගෙන උදේට කෑවේ. මේ ඒ අයියා අක්කා එක්ක අපි.

එතනින් අපි ගියේ වැලිමඩ අත්තාගෙ ගෙදරට.එහෙට යනකොට හවස් වෙලා. දවල්ට කාලා අපි ගියා දිය ඇල්ලක් බලලා නාලා එන්න. හවස් ජාමෙ කැලේ මැද්දෙ දිය ඇල්ල බලන්න යනකොට පාර වැරදුන නිසා අපිට දිය ඇල්ල කිලෝමීටරයක් විතර දුරින් බලලා ආපහු එන්න උනා. ආ නාන්නනේ හිටියේ කලින් රත්නපුරදිත් නාන්න බැරි වෙච්ච නිසා අපි හිටියේ පැය කීපයක් නාන්න. ඒ උනාට වතුර බැහැපු ගමන් කට්ටිය දුවගෙන යන්නෙ ගොඩට. මොකද දන්නවද? මේ හරිය වැලිමඩ උනාට ඇලේ වතුර එන්නෙ නුවර එළියෙ ඉඳන්. වතුර අයිස් වගේ. මොනව කරන්නද වෙව්ල වෙව්ල පැය බාගයක් විතර වතුර ගහගෙන දඟලලා එන්න පිටත් උනා. අපිට කෑම උයල දීල සංග්‍රහ කරපු අත්තගෙ අම්මා තාත්තා අක්කාවත් මතක් කරන්න ඕන. වැලිමඩ ඉඳන් කොළඹට ගමන ලේසි නෑ කියල දන්නව ඇතිනේ. රෑ 10.30 බස් එකේ නැගපු අපි අඩ නින්දේ කොළඹට එනකොට 7.30යි. ඔන්න අපේ ට්‍රිප් එක ඉවරයි.