Friday, August 28, 2009

ගාල්ල වටේ අපේ විනෝද චාරිකාව.......


ගොඩක් කාලෙකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බුනා. වැඩිය නෑ සතියයි. ඉතින් මේ නිවාඩුවේ අපි තීරණය කලා අවුරුද්දකට විතර කලින් ඉඳන් යන්න හිතන් හිටපු විනෝද චාරිකාව යන්න. අපේ බෝඩිමේ ඉන්න උඩ රට සගයෝ දෙන්නට තිබුනා ගාලු එන්න ලොකු උවමනාවක්. ඉතින් තව අහල පහල අයත් එකතු කරගෙන ගාල්ලෙ වටේ රවුමක් යන්නයි අන්තිම තීරණය උනේ. අපේ trip එකේ පළවෙනි දවස ගැනයි කියන්න යන්නෙ. පින්තූර ටිකකුත් එකතු කරනවා. බලන්න කොහොමද කියල.

ඔන්න ඉතින් ගිය 22 ඉරිදා උදේ අත්තා(එරංග), කිරා(සමීර), එල්ලේ(කල්ප) තුන් දෙනා ගාල්ලට සම්ප්‍රාප්ත උනා. උන්ව එක්ක එන්න මමත් සූටියත් ගියා ගාල්ලට. බලනකොට මුන් ටිකක් කලින් ඇවිල්ලා. මාතර ඉඳන් අපිත් එක්ක සෙට් වෙන්න ආපු කැව්ලා(චමිත්) තාම මග. මග කිව්වෙ වල්ගම.
ඒ කියන්න ඌ එතකොට බස් එකට නැගලවත් නෑ. ඉතින් ඌ ගාල්ලට එනකම් අපි කොටුව පැත්තෙ රවුමක් ගහන්න ගියා. කොටුවෙ දවල් දොලහට විතර ඇවිදින්න ටිකක් අමාරුයි තමයි. ඒත් මූදු හුළඟ නිසා දැඩි අව් රශ්මිය වැඩිය දැනෙන්නෙ නෑ.
කොටු තාප්පෙ දිගේ ටිකක් ඇවිදලා වැල්ලටත් බැස්සා කියමුකෝ. අත්තාගෙන් වදේ නාමු කියල. වැලිමඩ පැත්තේ මූද නෑනෙ ඒ නිසාද කොහෙද මූහුද දැක්ක වෙලාවෙ ඉඳල මිනිහගෙ කතාව නාමු නාමු නාමු තමයි :D. පස්සෙන්දා මූදෙ නාන්න සැලසුම් කරලා තිබුන නිසා බොහොම අමාරුවෙන් අත්තාව එක්කරගෙන ආව ගොඩට. පරක්කු වෙලා අපු කැවුලාවත් වාහනේට නග්ගගෙන කට්ටියම ආවෙ අපේ ගෙදර දවල් කෑමට. ඒ කිව්වෙ උළුවිටිකෙට. දවල් කෑම නම් අම්මා මරුවට උයල තිබුනා. මම මාස ගානකට පස්සෙ කාපු රසම කෑම වේල තමයි ඒ. රතු කැකුළු බත්,මෑකරල්,කිරිහැන්ද කොළ මාළුව,මඤ්ඤොක්කා එහෙම එක්ක කට්ටිය හුස්ම ගන්න බැරි වෙනකම් කෑවා. කොච්චර කෑවත් මොකද අර කොහොම හරි බඩේ ඉඩ ලැබෙන ජාතිය තමයි අතුරුපසට තිබුනේ.දන්නවනේ රජතුමා ආව වගේ තමයි. කොහොම හරි බඩේ ඉඩ අරගෙන ඒවත් කෑව කියමුකෝ දැන් ඇවිද ගන්නත් අමාරු ගානයි. එහෙම කියල කොහොමද හවස සැලසුම කොට්ටව නාන්න. හවස දෙකට විතර අපි කොට්ටව යන්න පිටත් උනා.

කට්ටියව එක්ක ගෙන අපේ ගෙදර එද්දිට වඩා කොට්ටව යන්න පිටත් වෙද්දි වාහනේ වැඩිපුර බරයි වගේ. අපේ වාහනේ Nissan AD wagon කියන ජාතිය. දැකල ඇත්නම් දන්නව ඇති වාහනේ කොහොමත් ටිකක් පහතයි.
අනික මුන් ටික ඉස්මුරුත්තෙට කාලනේ. ඒක නිසා වලවල් එහෙම පරෙස්සමට බේරන්න සිද්ධ වුනා. ඔන්න ඉතින් අපි කරාපිටිය තලගහ හරහා වලහන්දූවෙන් උඩුගම පාරට වැටිලා ඉස්සරහට ආවා. යන අතරේ කිරා කියනවා මචං සිරාවටම මේ පැත්තත් අපේ පැත්ත වගේමයි කියලා. අපි කල්පට නිතරම දෙන නෝන්ඩියක් තමයි උඩුගම ඩොටේ කියන එක. පොරගෙ ගම උඩුගම. මිනිහා කියව කියව හිටියේ බලපං අපේ ගමට යන පාර පට්ටයි නේද කියල හැබැයි කිරාගෙ කතාවෙන් කල්පයගෙ කට වැහුන. මොකද කිරා නාවලපිටියෙ =)). ඔන්න කොට්ටව තටාකෙට යන අතුරු පාරටත් අවා කියමුකෝ මේක කැලේ මැද්දෙන් තියන පාරක්. බැලූ බැල්මට ගල් මතුවෙලා මඩ වලවල් පිරිලා.
ලොරියක සෙනඟ පටවගෙන මේකෙ ගියොත් වාහනේ යට ඇනගන්න තමයි වෙන්නෙ ඒ නිසා අපේ හෑල්ලුම සාමාජිකයා සූටියා :P ඇතුලු කීප දෙනෙක් බස්සලයි වාහනේ අර පාරෙ අරගෙන ගියේ. වැඩි දුරක් තිබුනෙ නැති නිසා අවුලක් උනේ නෑ.

මේ තටාකේ කොට්ටව කැලේ මැද්දෙන් එක ස්භාවික වතුර පාරකින් තමයි පෝෂණය වෙන්නෙ. මුලින් මෙතන තිබිල තියෙන්නෙ ස්භාවිකවම හැදිච්ච පොකුණක් දැන් ඒක ටයිල් කරලා swimming pool එකක් වගේ හදල තියෙන්නෙ. එක පැත්තකින් වතුර පිරෙන ගමන් අනිත් පැත්තෙන් වතුර ඉවත් වෙන නිසා පිරිසිඳුයි. නාන්න කලින් කට්ටිය දඩ මස් වේලක් බුක්ති විඳින්න ලෑස්ති උනත් අධික මිල නිසා ඒක හරි ගියේ නෑ. මම නම් නෑනෙ ඔය පව් වැඩ වලට. කට්ටියම ඔන්න බැහැලා පීනන්න පටන් ගත්තා. පීනන්න බැරි අය පීනන්න පුරුදු වෙනවා. අනෙක් අය තරඟෙට පීනනවා.
ඔය අස්සේ කිරා පීනන අතර pool එකේ ගැට්ටේ නහය වද්දගෙන තුවාලත් කර ගත්තා. ඌටනේ හොඳටම පීනන්න පුළුවන්. ක්‍රම 5කට පීනතෑකි. ඒ ක්‍රම අතර බලු ක්‍රමෙත් තියනවා. ඌ ඒ විදිහට පීනලත් පෙන්නුවා. දැකල තියනවද බල්ලො පීනන හැටි. අත් උඩට එන්නෙ නැති නිසා සද්ද නැතුව පීනන්න පුළුවන්. කොහොම හරි කට්ටිය ගොඩට එනකොට 5 පහුවෙලා. ආ සූටියා pool එකේ පළළ පැත්තෙන් බාගයක් පීන ගත්තා. ඉතුරු බාගෙ ආයෙ දවසක.

ඊළඟට ආවෙ ගාලු කොටුවට. හවසට තමයි කොටුව ලස්සනම. කොටුව පන්සල ගාවින් පටන් අරගෙන ඉස්සරහ පැත්තට එනකොට රෑ වෙලා. මොකද ඉතින් දකින දකින එකේ පින්තූර ගන්නත් එපැයි. අනික අත්තට නියම කලාකාමී අදහස් තියෙන්නෙ. උඹ ඔහොම ඉඳපන් උඹ අර පැත්ත බලාගෙන ඉඳපන් ඔය විදහට කට්ටිය විනාඩි 10ක් විකර කට්ටිය සෙට් කරලා තමයි මෑන් photo එක ගන්නේ.
රෑ 8 විතර වෙලා තිබ්බ නිසා කට්ටියම ආව සූටියාගෙ ගෙදරට. ඒ බෙලිගහ හන්දියෙ. රෑට එහෙන් කාල. කට්ටියම කල්පගෙ ගෙදර ගියා. එහේ තමයි රෑ නවාතැන්. මම නම් ගෙදර ගියා මොකද නිවාඩු තියන ටික දවසෙත් ගෙදර නැති උනාම අම්මගෙ තාත්තගෙ හිතට හරි නැති නිසා. ඔන්න අපේ trip එකේ පළවෙනි දවස ඉවර උනා. මඩොල් දූව ගිහිපු හැටි එක්ක ඊළඟ post එකෙන් හම්බෙමු.

6 comments:

  1. මරු ට්‍රිප මචෝ..ස්තූති අපිවත් එකතුකර ගත්තට!

    ReplyDelete
  2. මමත් කොට්ටව නාල තියෙනව 1992 අවුරුද්දෙ විතර, එතකොටනම් ටයිල් කරල තිබුනෙ නෑ

    ReplyDelete
  3. @ඉන්දික
    ස්තූතියි මචං ප්‍රතිචාරයට.

    @Beautiful Sri Lanka
    අප්පා එතකොට මට වයස අවුරුදු 4යි. ඒ කාලෙ එතනට යන්න කැලේ මැදින් යන්න වෙන්න ඇති නේද?

    ReplyDelete
  4. මමත් පවුලේ සාමාජිකයින් සහ ඥාති පිරිවරත් එක්ක ගියා මාර දුර රවුමක්. කෙටියෙන් කිව්වොත් අම්බලන්ගොඩ -> දඹුල්ල -> මින්නේරිය -> මැදිරිගිරිය -> පොළොන්නරුව -> ත්‍රිකුණාමලය -> කින්නියා -> නිලාවේලි -> අනුරාධපුර -> අම්බලන්ගොඩ.

    ගමන දුර නිසා මාර ගති. හැබැයි කොල්ලො සෙට් වෙලා යන ගමනක තියෙන ආතල් එක නං නෑ.

    ReplyDelete
  5. අඩෝ බසෝ.. අපිවත් එක්කං පලයංකෝ....

    ReplyDelete
  6. @කේෂාන්
    වරෙන් වරෙන් කට්ටිය සෙට් කරගෙන වරෙන්. අනිවා එක්ක යනවා.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.