Monday, September 7, 2009

මඩොල් දූවට විනෝද චාරිකාවක්.....


අපේ ගාලු චාරිකාවෙ දෙවනි කොටසයි මේ ලියන්න යන්නෙ. දෙවනි දවසෙ අපි හිතාගෙන හිටියෙ මූලිකවම මඩොල් දූවෙ යන්නත් මුහුදෙ නාන්නත්. මොකද අපේ නුවර සගයො දෙන්නට මුහුදෙ නානකම් ඉවසුමක් නෑ. අපි මේ මඩොල් දූවෙ ගිහිපු මේ විස්තරේ අනාගතයෙ මඩොල් දූවට විනෝද චාරිකාවක් එන්න හිතාගෙන ඉන්න අයටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.

දෙවනි දවසෙ උදේම(ඒ කිව්වෙ 8ට විතර :D) අපි පිටත් උනා ගාල්ලෙන්. අපිට ප්‍රවාහන පහසුකම් දෙවනි දවස සඳහා සැපයුවෙ සිංහගිරි ව්‍යාපාර සාදර අනුග්‍රහයෙන් කියල මතක් නොකලොත් ඒක ලොකු අඩුවක්. එක එල්ලෙගෙ town ace වෑන් එක තමයි අපි ගමන යන්න පාවිච්චි කලේ. මම වාහනේට නගින කොට හිටියෙ එල්ලෙයි අත්තයි කිරයි විතරයි. සූටියාව ගන්න අපි උන්ගෙ ගෙදරට ගියා. ආරංචි උන විදිහට මිනිහා තුන් හතර පාරක් නාලා තව පැයක් විතර හැඩ උනාලු. කොහේ යන්නද කියල පස්සෙ කියන්නම්.අපිත් එක්ක ඊළඟට එකතු උනේ පොත්තා(හිරන්ත).ඌ පාරට ඇවිත් ඉඳලා හබරාදුව බස් ස්ටෑන්ඩ් එක ළඟිනුයි වාහනේට නැග්ගේ. ඊළඟට අපි අහංගම බූලීගෙ(රවීන්) ගියේ අහංගම බුලීගෙ ගෙදරට. මිනිහා මාර පොෂ් උනාට මොකද ගෙදරට යන පාර නම් අන්තිමයි. බුලීගෙ අම්මා හදල දීපු පළතුරු යුෂත් රස බලලා අපි මඩොල් දූවට යන්න පිටත් උනා.

අහංගම ඉඳලා කොග්ගලට යන්න ආපස්සට ගාල්ල පැත්තට එන්න ඕන. කොග්ගලට ලඟම ඉන්නෙ පොත්තා නිසා අපි පොත්තගෙන් ඇහුවා බෝට්ටු තොටුපලකට යන්න තැනක්. ඌ කියාපි මම නම් එහෙම තැනක් දන්නෙ නෑ බං. ඔය ඉස්සරහින් හරවපන් කියල. අපි හරවපු තැන තමයි ගාල්ල පැත්තෙ ඉඳල එනකොට කොග්ගල් ඔය හරහා යන පාලම පහු උනාම තියනවා අතහැරල දාපු පාසලක්. එතනින් තියන මඩොල් දූවට කියන බෝඩ් එක ගාවින් තමයි හරවන්න ඕන. අවම මුදලකින් හොඳම චාරිකාවක් යන්න නම් මේ අපි ගිහිපු තැනින්ම මඩොල් දූවෙ යන්න කියල ඉස්සරහට යන්න ඉන්න අයට මතක් කරන්න කැමතියි. එතනින් කෙලින්ම බෝට්ටු තොටුපලට යන්න පුළුවන්. එතන හිටපු කෙනාගෙන් අපි ඇහුවාම ඔහු කිව්වෙ මඩොල් දූවට යන්න රු600ක් සහ දූපත් 5ක චාරිකාවක් යාමට රු2000ක් බව. මීට කලින් කොග්ගල් ඔයේ දූපත් 5ක චාරිකාවක් ගැන අහල නොතිබුනත් අපි ඒක යන්න කල්පනා කලා. අපේ බෝට්ටු පදවන්නා උනේ නිශාන්ත අයියා.
කළු පාට පරණ දුම්රිය පාරට යටින් අපි චාරිකාව ආරම්භ කලා. මුලින්ම අපි ගියේ දුරම තැනට. ඒ කුරුඳු දූවට. කුරුඳු දූව කියන නමින්ම තේරෙනවනේ මේ දූපතේ පුරාම තියෙන්නෙ කුරුඳු. මේකෙ පවුල් හතරක් ජීවත් වෙනව. ඔවුන්ගෙ ආදායම් මාර්ගය වෙන්නෙ කුරුඳු. මේ දූපතේ තියන කුරුඳු ගස් අවුරුදු 100කට වඩා පරණයි කියල තමයි නිශාන්ත අයියා කියන්නෙ. කුරුඳු ගහක කඳ දැක්කහම අපිටත් ඒ කතාව ඇත්ත වෙන්න ඇති කියල හිතුන.
මේවට කවදාවත් පොහොර යොදල නෑ කියනවනේ. කුරුඳු කෝට්ට හැදුනහම කපා ගන්නයි තියෙන්නෙ. අපි ඉතිං මේ දූපතේ ගෙදරකට ගොඩඋනා. ඒ ගෙදර අයිතිකාර මාමා අපිව බොහොම සුහදව පිළිගත්තා. ඉන් පස්සෙ කුරුඳු කෝට්ටකින් පොත්ත ගලව ගන්න හැටිත් අපිට පෙන්නුව.
මෙච්චර ගාල්ලෙ ඉඳලත් කුරුඳු පොතු ගහන හැටි එදා තමයි දැක්කෙ. මුලින්ම කොළ පාට කුරුදු පොත්ත උපකරණයකින් සූරල ඉවත් කරනවා. ඉන් පස්සෙ තව උපකරණයකින් කෝට්ට පිරිමදින්නෙ පොත්ත බුරුල් වෙන්නලු. අන්තිමට පිහියක් වගේ උපකරණයකින් ලස්සනට මුලු පොත්තම ඉරෙන්නෙ එහෙම නැතුව ගලව ගන්නවා. ඒක මඳ අව්වෙ වේලුවාම තමයි අපි කෑම වලට දාන කුරුඳු පොතු ලැබෙන්නෙ. කට්ටිය අහල තියනවද කුරුඳු තේ. අපිට නම් කුරුඳු තේ සංග්‍රහයකුත් බුක්ති විඳින්න ලැබුනා.
පැණි රස නම් නෑ සීනි එහෙම දාන්නෙ නෑනෙ. හැබැයි ගුණයිලු. එතනින් පිටත් උන අපි දූපත වටේ රවුමකුත් ගැහුව. ඒ අතර හමුබුන එල්ලෙන ඇඳක පොඩි ඇලට් එකක් දාන්නත් අමතක කලේ නෑ.

කුරුඳු දූවෙන් නික්මිලා අපි ඊළඟට යන්න පිටත් උනේ ආරණ්‍ය දූවට. ඒ යන අතර අපේ අත්තාට ඕන උනා බෝට්ටුව පදවන්න. නිශාන්ත අයියගෙන් සුක්කානම ඉල්ල ගත්තු අත්තා දැන් බෝට්ටුව පදිනවා.
ඉස්සරහ තියන දූපතක් පෙන්නලා නිශාන්ත අයියා කිව්වා අර දූපත එල්ලෙ යං කියල. ඒත් අපිට තේරුන විදහිට නම් බෝට්ටුව යන්නෙ නයා විදිහට. හිටපු ගමන් එක පැත්තට හැරෙනවා අපි කෑ ගහනකොට ආයෙ අනෙක් පැත්තට හැරෙනවා. ඒ විදිහට තමයි ගියේ. කොහොම හරි ආරණ්‍ය දූවට කිට්ටු වෙනකොට නිශාන්ත අයියා ආයෙ සුක්කානම් ඉල්ල ගත්තා.මොකද ඒ හරියෙ තියනවලු වතුරෙන් උඩට මතු නොවෙච්ච වතුර මට්ටමේ වගේ තියන ගල් කුළු.ඒ එකක් උඩින් බෝට්ටුව ගියොත් ඉවරයි. ඉතින් නිශාන්ත අයියා අපිව පරෙස්සමින් ආරණ්‍ය දූවට එක්කගෙන ගියා. මේ දූපතේ තියෙන්නෙ හාමුදුරුවරුනට භාවනා කරන්න හදපු කුටි සහ කුඩා පංසලක්. දූපතේ පරිසරය කොච්චර නිස්කලංක ද කියනව නම් ඇහෙන්නෙ කුරුල්ලන්ගෙ අනෙක් සත්තුන්ගෙ සද්ද විතරයි. අපි දූපතේ ඇවිදින අතර ස්වාමීන් වහන්සේ නමක් අපි ලඟන් ගියත් උන්වහන්සේ අපි ගැන පොඩි හරි අවධානයක් යොමු නොකර බිම බලාගෙන වැඩම කලා. අපි කට්ටියගෙ පැමිණීම භාවනායෝගීම ඉන්න ස්වාමීන් වහන්සේලාට කරදරයක් වෙන්න පුළුවන් කියල තේරුන නිසා අපි ඉක්මනට ආයෙ බෝට්ටුවට ආව.

ඊළඟට කොහාටද යන්නෙ? ඒ අපෙන් ප්‍රශ්නය නිශාන්ත අයියට. අපි ඊළඟට බහින්නෙ ගල් දූවට. හැබැයි කුරුළු දූව ළඟින් යනවා. නිශාන්ත අයියා එහෙම කිව්වෙ. කුරුළු දූවට බහින්න බැරි නිසා. කුරුළු දූව කියන්නෙ කුරුල්ලන්ටම වෙන් වෙච්ච දූපතක්. ඒකට කව්රුත් ගොඩ බහින්නෙ නෑ. අපි ගිහිපු වෙලාව දවල් නිසා ඒ වෙලාවට කුරුල්ලො නෑ කියලයි නිශාන්ත අයියා කිව්වෙ. ඒක නිසා ගහ කොලින් පිරිච්ච කුරුළු දූව ළඟින් යනගමන් බලාගෙන අපි ගල් දූව දිහාවට යාත්‍රා කරා. ආ කියන් අමතක උනානේ මේ ටිකේ අපේ රියදුරා උනේ පොත්තා. ඌට බෝට්ටු පදින්න දොළ දුකක් හැදුනනේ හිටපු ගමන්. පොඩි එකාගෙ ආසාවනේ ඔන්න ඌටත් දුන්නා බෝට්ටුව පදින්න. හැබැයි උගෙත් ගමන නයා තමයි.

ඊළඟට අපි ලං වුනේ ගල් දූවට. නමින්ම තේරෙනවනේ මේක ගල් වලින් හැදිච්ච දූපතක්. නිශාන්ත අයියා බෝට්ටුව බොහොම පරෙස්සමින් හිමීට ගල් දූව දිහාවට ලං කරා.
මේ හරියෙ වතුර යට ගල් කුළු සෑහෙන්න තියනවලු. සමහරක් තැනක වතුර නිකම්ම ඉහලට විසි වෙනවා දකින්න පුළුවන් ඒ අර වතුර මට්ටමේ තියන ගල් වල දිය රැලි වැදුනහමයි එහෙම වෙන්නෙ. කොච්චර ප්‍රවේසමෙන් හෙමින් බෝට්ටුව ගල් දූවට ලං කරත් දූපත ළඟටම යන කොට ගලක් දෙකක් බෝට්ටුවෙ අඩියෙ වැදිලා හීරීගෙන යන සද්දෙ අපට ඇහුනා. අන්තිමට දූපතේ ලොකු ගල් දෙකකට බෝට්ටුව හේත්තු කරල නිශාන්ත අයියා ඒ ගලක් උඩට බැහැල බෝට්ටුව අල්ල ගත්ත. මේ ඔයේ මැද හරිය නිසා මේ හරියෙ වතුර කැළඹිලි සහිතයි ගැඹුරුයි. ඒ නිසා අත ඇරියොත් බෝට්ටුව ගහගෙන යන නිසා නිශාන්ත අයියා බෝට්ටුව අල්ලගෙන එතනටම වෙලා හිටියා. ඇඟ කිලි පොලා යන කතාවකුත් නිශාන්ත අයියා කිව්වේ මේ අතරෙ. මල්ලිලා ඔය ගල් වල වටේටම කාවාඩි එල්ලිලා ඉන්නවා. ඒ නිසා ගල් උඩ යනකොට බලාගෙන වැටුනොත් කාවාඩි වලට පළලා යනවා. කෙලින්ම ඉස්පිරිතාලෙ තමයි. මේ කතාව අහලා අපි වතුරට එබිලා බැලුවා. ඇත්ත තමයි මේ ඉන්නෙ ගල් වටේටම වතුර මට්ටමේ දැති දැති පිහියක් වගේ. මේක දැකපු ගමන් බැහැලා හොඳට කකුල් දෙකෙන් හිටපු එවුන් පහත් වෙලා අත් දෙකත් බිමට තියා ගත්තා වැරදිලාවත් නොවැටෙන්න. කොහොම හරි කකුල් හතරෙන්ම ගලින් ගලට ගිහිල්ලා පින්තූර කීපයකුත් ගත්තා.

මේ පෝස්ට් එකේ නම මඩොල් දූවට ගමනක් නේ. කට්ටිය බලනව ඇති දැන් මඩොල් දූවට යන්නෙ නැද්ද කියල වෙන හතර වටේ ඇවිදින්නෙ. ගියා ගියා අන්තිමට ගියේ මඩොල් දූවට.අපි මඩොල් දූවට එනකොට කට්ටියක් ඉන්නවා ගොඩ දිහාව බලාගෙන. නිශාන්ත අයියා කිව්වා ඔයගොල්ලො වෙන තැනකින් ආවනම් ඕගොල්ලොන්ටත් වෙන්නෙ ඕක තමයි කියල. වෙන බෝට්ටු තොටුපලවල් වල මඩොල් දූවට විතරක් එන්න රුපියල් 1200ක් විතර ගන්නවා. ඒකත් මඩොල් දූවට ගෙනත් දාලා බෝට්ටුව යනවා ආයෙ පැයකින් වගේ එන්නම් කියල. මඩොල් දූවෙ ඇත්තටම පැයක් බලන්න දේවල් නෑ. ඒ මිනිස්සු ඉතින් අන්තිමට ගොඩ දිහා බලාගෙන ඉන්නවා බෝට්ටුව එනකම්. ඒත් නිශාන්ත අයියලාගේ බෝට්ටු සේවාව එහෙම නෑ. කොතනට ගියත් කට්ටිය ආපහු එනකම් ඔවුන් බෝට්ටුව තියාගෙන ඉන්නවා. ඕන වෙලාවක. ඒ නිසා ඔය කට්ටිය මඩොල් දූව බලන්න යනවනම් එහෙම මම කියපු මගසළකුණු වල විදිහට නිශාන්ත අයියලගේ බෝට්ටු තොටුපලටම යන්න. මම කලිනුත් කිව්වනේ මඩොල් දූවෙ බලන්න වැඩි දෙයක් නෑ කියල.
මඩොල් දූව කතාවෙ කියවෙන තරම් විශාල දූපතක් නෙමෙයි මේක. ළඳු කැලේ හරහා අඩි පාරවල් තියනවා. ගොඩ කරපු ළිඳකුත් සෙක්කු ගලකුත් විතරමයි මුළු දූපතටම තිබුනේ. මේ සෙක්කු ගල ඇතුලට කැමරා එක දාලා අපි ubuntu ඡායාරූපයකුත් ගත්තා.

දැන් නම් මේක දිග වැඩියි වගේ ඒ නිසා ඉක්මනට ඉවර කරනවා. අපි දවල්ට කෑවේ සූටියාගෙ පවුලගෙ ඒ කියන්නෙ කෙකරි(නිරාශා) ගෙ ගෙදරින්. හවස ගියා පොල්හේනෙ නාන්න. ඒ යන ගමන් වල්ගමින් කැව්ලාවත් සෙට් කර ගත්තා. මිනිහා නැතුව මාතර මොකුත් කරන්න බෑනෙ ඉතින්. ආ අපේ නුවර කට්ටිය හිතේ හැටියට මුහුදෙ නෑව.
වැඩිය නෑ පැය 3 1/2ක් විතර.අන්තිමට ගියේ අපේ බැච් එකේ කුඩාම සාමාජිකාවකගේ ගෙදර. ඒ කොයිල්ගේ(ආලෝකා) ගෙදර. අපරාදේ කියන්න බෑ අපි එන නිසා කෑම බීම ගොඩක් ගෙනල්ලා තිබුනා. අපිත් ඉතින් ඒව අපතේ යන්න ඇරියේ නෑ. මේසෙට තියපු හැම පිඟානක්ම ඉවර කලා.

එහෙනම් ඉතින් මේ දිගම දිග පෝස්ට් එක ඉවර කරන්නයි හදන්නෙ. කොහොම හරි කියන්න ඕන මැක්සා ට්‍රිප් එක.