Monday, November 30, 2009

හිතවතෙකුගේ නික්ම යෑම


ජීවිතයේදී අපට හමුවන අය බොහෝය. ඒ සියලු දෙනා අතරින් අපගේ මිතුරන් හිතවතුන් වන අය අල්පය. ඒ අතරිනුත් අවංක හිතවතුන් අල්පය. මගේ ජීවිතයේ මට සිටි එවන් හිතවතෙක් පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ මිනිසෙකු නම් නොවේ අප නිවසේ ඇති කල බල්ලායි. සතෙක් උනත් ඌ සැබෑවටම අප පවුලේ හිතවතෙකු විය. උගේ සමුගැනීමට අප පවුලේ කාතුලත් දුකක් ඉතිරි කලේ ඒ නිසයි.

"ටිකී" ඒ අප ඌ හැඳින්වූ නමයි. ටිකී හොඳ වර්ගයක ඉහල මිලකට ගත් බලු පැටවක් නෙවෙයි. අපේ අම්මලාගෙ මහගෙවල් ළඟ විදේශිකයෙකුගෙ ගෙදරක් ඉස්සරහ පරණ කාර් එකක් තිබුනා. මේ කාරය යට තමයි ටිකීගේ අම්මා "රෝසි"(වටේ පිටේ අය ඌ හැඳින්නුවේ එහෙමයි) පැටවු දැම්මේ. අපේ ගෙදරට බලු පැටියෙක් ගෙනියන්න උවමනාව තිබුනු නිසා මමත් චූටි අම්මත්(පුංචි අම්මා) අර පරණ කාරෙක ගාවට ගිහින් බලු පැටියෙක් එළියට ගන්න කතා කලාම වෙන එකක් වත් ආවෙ නැති උනාට බෙල්ල වටේ සුදු ලොම් වයිරමක් එක්ක දුඹුරු පාට කනාටු බලු පැටියෙක් අමාරුවෙන් එළියට ආව. උගේ පිටේ සුලැඟිල්ල දාන්න පුළුවන් තරමේ ලොකු තුවාලයක්. ඌ ගෙදර ගෙනත් නාවලා බෙහෙත් කරලා සනීප කලා. ඌ තමයි ටිකී.

ටිකී ගේ ඇතුලේ තියාගෙන වඩාගෙන හුරතලේට හදපු බල්ලෙක් නෙමෙයි. ඌ හිටියේ එළියෙ නිදාගත්තෙ ගරාජයේ. ඒත් ගේ ඇතුලේ තියාගෙන වඩාගෙන ඉඹලා හදන බල්ලෙකුගෙ මම දැකලා නැති කෙලෙහිගුණයක් ටිකියගෙ තිබුනා. ඌට කන්න බොන්න දීපු නාවපු බෙහෙත් කරපු ගෙදර මිනිස්සු ගැන උගේ ලොකු ගෞරවයක් තිබුනා. ටිකියව අතගාල හුරතල් කලේ මමත් මල්ලිත් විතරයි. තාත්තා වෙලාවකට කකුලෙන් උගේ ඔළුව අත ගෑවා. වෙන වෙලාවට සැර කරත් අතගාල හුරතල් නොකරත් තමන්ට බත් එක හදලා දෙන්නෙ අම්මා කියල ඌ දැනගෙන හිටියා. මෑතක් වෙනකම්ම අම්මා වැඩට ගිහින් අවහම අම්මගේ සාරියෙ පැටලි පැටලි පස්සෙන් ඇවිද්දෙ ඒ බත් ටික දුන්නට ඌ දන්න විදිහට ස්තූති කරන්න වෙන්න ඇති. ටිකියා ශරීර පුමාණයෙන් කුඩා බල්ලෙකු උනාට ඌට හොඳ ශක්තිමත් බලලෙක්. වතාවත් බිම දිගේ දුවපු වඳරු නාම්බෙක් ටිකියා අල්ලලා මරලා තිබුනා. ඌ නිදාගත්තෙ අපේ කාරෙක යට. අපිට කලින් තිබුනු Nissan station wagon වර්ගෙයේ කාරෙක ගෙදර තියන කොට තමන්ගෙ වගෙයි ඌ ඒක ළඟ හිටියේ. ඒ නිසා තාත්තා නෑදෑයන්ට කියනවා මම නෙමෙයි වාහනේ අයිතිකාරයා ටිකිය කියල. ගෙදර අය කොහේ හරි ගිහින් ආවහම කටින් අමුතු ශබ්දයක් පිට කරන්න ටිකියා පුරුදු වෙලා හිටියා. ඒක ඌ යමක් කියන්න උත්සාහ කරනව වගේ අපි දැක්කෙ. තාත්ත වෙලාවකට කියන්නෙ මූට කතා කරන්න විතරයි බැරි කියලා. ඒ තරමට ඌ අභිනයෙන් උගේ ආදරේ අපිට පෙන්නුව. මම හරි මල්ලි හරි නම් කකුල් දෙකෙන් හිටගෙන ඇඟට පනින එකත් උගේ තව පිළිගැනීමේ ක්‍රමයක්. පවුලේ නෑදෑයෝ ඇවිත් සාලෙ කතා කර කර ඉන්න කොට ටිකියත් හිමීට ඇවිත් පාපිස්ස උඩින් වාඩි වෙනවා. ඒ වාඩි වෙන්නෙත් ඉස්සරහ කකුලක් අනෙක පිට දාගෙන උජාරුවට. මමත් මේ පවුලේ කෙනෙක් කියල පෙන්නන්න ඌට ඕන කලා.

අපි කලින් හිටපු බෙලිගහ හන්දියේ රජයේ නිල නිවාස වලින් අයින් වෙලා දැන් ඉන්න උළුවිටිකේට ආවට පස්සෙ ටිකියා නිදැල්ලේ ලිහලයි හිටියේ. ඒ ඒ දවස් වල මෙ පැත්තෙ බල්ලො නොහිටපු නිසා. ටිකියත් ගෙදරට වෙලා හිටියා. ඌට ඕන වෙලාවට එළියට ගියත් ඉක්මනට ආපහු ආවා. ඒත් එක දවසක් උගේ වම් පැත්ත පිටිපස්සෙ කකුලේ තුවාලයක් ඇවිත් තිබුනා. දොස්තර ගාවට එක්ක ගිහින් බෙහෙත් දැම්මත් ඒක හොඳ උනේ නෑ. අන්තිමට දොස්තර උගේ කකුල කපන්න තීරණය කලා. මේ නිසා අන්තිමට ටිකියා කකුල් තුනේ ආබාධිත බල්ලෙක් උනා. ඒ ඔපරේෂන් එකෙන් පස්සෙ දවස් තුනක් විතර යනකම් මම ඌට බත් කැව්වෙ අතින්. භාජනේට කෑම දාල ළඟින් තිබ්බට ඌ කෑවෙ නෑ. ඒත් අතට ටික ටික අරන් හොම්බ ලඟට දුන්නාම ඌ ඒක කෑවා. කකුල සුව උනත් මේ වෙනකොට ටිකියා වයසයි. ඒ නිසා අපි ඌව දම්වැලේම තියන්න හිතුවා. මොකද එළියට ගියහම වෙන බල්ලො හපයි කියල. ඌට නිදහසේ ඇවිදිල ඉන්න දෙන්න ඕන කම් තිබුනත් ගෙදර පිටි පස්සෙ තාප්පයක් නොතිබුන නිසා ඒක කරන්න පුළුවන් කමක් තබුනේ නෑ.

මීට සතියකට උඩින් මම ගෙදර ආපු වෙලාවෙ ටිකියා සනීප නැතුව හිටියෙ. ඌ කෑම කෑවෙ නෑ. වෙන් එකක් තියා මම ගෙදර එනකොට අමාරුවෙන් හරි වලිගය වන වන ඉන්න තැනින් නැගිටින ටිකියා වාහනේ යටින් එළියට ආවෙ නෑ. මේ නිසා පස්සෙස්දාම මම ඌව දොස්තර ගාවට අරගෙන ගියා. ඔහු කිව්වේ උණක් හැදිලා තියන බව. ඇඟේ ලේ අඩු වෙලා කියලත් කිව්ව. බෙහෙත් බිව්වත් ටිකියා නිරෝගී බවත් පෙන්නුවෙ නෑ. ගිය ඉරිදා මම කොළඹ එනකම් ඌ මගේ අතිනුයි බත් කෑවෙ. ඒත් බොහොම ටිකක්. සතියෙ මැද තාත්තා ආයෙත් බල්ලාව දොස්තර ගාවට එක්ක ගිහින් තිබුනා. ඒ පාර කියල තිබුනේ ඌට වකුගඩු අමාරුවක් තියනව කියල.

සිකුරාදා රෑ මම ගෙදර ආවෙ ටිකියට සනීප ඇති කියල හිතාගෙන. ඒත් ගේට්ටුවෙන් ඇතුලට එනකොට දම්වැල ඇදගෙන කාරෙක යටින් ටිකියා එළියට එන සද්දෙ නෑහුන නිසා ඒක එහෙම නෑ කියල මට තේරුනා. ඒ වෙනුවට ඉස්තෝප්පුවේ එළපු රෙදි කෑලි කිපයක් උඩ ටිකියා හාන්සි වෙලා හිටියා. අපේ මල්ල ඌ ළඟට වෙලා බලගෙන හිටියා. ටිකී කියල මම කතා කලත් ඌට ඉන්න විදිහටම ඇහැ හරවල බලනව මිසක් ඔළුව උස්සන්න වත් ශක්තියක් තිබුනේ නෑ. මම ඇඳුම් මාරු කරගෙන ආපහු ටිකියා ළඟට ඇවිත් හිටියත් ඌ හුස්ම ගන්නව ඇරෙන්න වෙන කිසිම චලනයක් කලේ නෑ. ඌට තියන අමාරුව ඌ කොහොම කියන්නද? ඌ ඉන්නේ සෑහෙන වේදනාවකින් කියලනම් මට තේරුනා. එවෙලෙම දොස්තර ගාවට ගෙනියන්න සූදානම් උනත් අම්මා කිව්වේ මේ වෙලාවෙ ඌව හොල්ලන එකත් ඌට වේදනා ඇති ඒ නිසා එහෙම ඉන්න දෙන්න කියල. බඩ ගින්නක් නොත්බුනත් අම්මගේ වදේට මම බත් ටිකක් කාලා එළියට බැසේසෙ ආපහු ටිකියට කොහොමද බලන්න. ඒ වෙනකොට තමන් විඳිමින් හිටපු වේදනාවන් සියල්ලෙන්ම නිදහස් වෙලා ටිකියා ජීවිතේ අතහැරල ගිහින් තිබුනා. මම ඒ බව අම්මටත් තාත්තටත් කිව්වහම ඔවුන් අත්දෙක මුහුණට තියා ගත්තෙ කොච්චර දැනගෙන හිටියත් ඌ මියගිය බව ඇහුවහම දැනුනු දුක නිසා වෙන්න ඇති. මම අහගෙන අම්මා මල්ලිට කියනවා පුතේ ටිකියා නැතිවෙලා කියල. මැරිලා කියන වචනය කියන්න ඇයට ශක්තියක් තිබුනේ නෑ. මොකද ඌ අපේ පවුලේම කෙනෙක් වෙච්ච නිසා. මල්ලි හයියෙන්ම අඬන්න ගත්තා. අම්මාගෙත් තාත්තාගෙත් ඇස්වල කඳුලු.මගේ ඇසුත් නොදැනීම කඳුලු වලින් පිරුනා මට හිටපු සෙනෙහෙවන්තම මිතුරෙක් වෙනුවෙන්.

තමන්ගේ යාළුවගේ සහෝදරයගෙ ජීවිතය වටින්නෙ නැති මිනිස්සු ඉන්න මේ සමාජෙ මේ සතා ගුණ යහපත් කම් හොඳින්ම දැනගෙන හිටියා. තමන්ගෙ වාසියට මුනිච්චාවට බොරු යාළුකම් පවත්වන යාළුවො ඉන්න කාලෙක ඌ මට ඉතාම හිතවත් මිතුරෙක් උනා. ආදරණීය ටිකී අවුරුදු 13 විතර උඹ අපි වෙනුවෙනු කල දේවල් වලට බොහොම පිං. ඊළඟ ආත්මයේදි තිරිසන් බවින් නිදහස් වලා මිනිසත් බව ලැබී අපි අතරේම ඉපදියන්.......