Monday, November 30, 2009

තන්තිරිමලයට දැනුම රැගෙන ගියෙමු....

බොහොම කාලෙකින් තමයි බ්ලොග් එකක් ලියන්න පුළුවන් උනේ. පහුගිය දවසේ ලංකාවෙ උතුරු භාගයට ගියා නෙව මේ ඒක ගැනයි කියන්න යන්නෙ. අපි UCSC එකේ Exploration Club කියල club එකක් පිහිටෙව්වනේ. මේකෙන් මූලිකවම කරන්නෙ ලංකාවෙ දුෂ්කර ප්‍රදේශ වල ගුරුවරු හිඟ පාසල් වලට ගිහිල්ල ඒ දරුවන්ට උගන්වන එක. මේ කටයුත්තට මූලික වෙලා වැඩ කරන්නෙ අපේ ලසිත අයිය නැත්තම් බ්ලොග් අවකාශයේ කට්ටිය අඳුරන්නෙ ආගන්තුකයා කියල. මෙතනදි අපේ අරමුණ අපෙන් රටට වෙන්න ඕන යම් සේවයක් ඉෂ්ඨ කිරීම. අපි අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලැබුවෙත් දැන් තව දුරටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නෙත් රටේ සල්ලි වලින්. ඒ කියන්නෙ දුප්පත් මිනිහෙක් බොන කහට උගුරක් ගානෙත් එකතු වන බදු සල්ලි වලින් තමයි අපි මේ ඉගන ගන්නෙ. මේ නිසා අපි ඇත්තටම මේ රටට , මිනිසුන්ට ණයයි. ඒ ණයෙන් ටිකක් හරි ගෙවන්න තමයි අපි මේ විදිහට දුෂ්කර ප්‍රදේශ වල දරුවන්ට අධ්‍යාපනය අතින් පුළුවන් උදව්වක් කරන්න උත්සාහ කරන්නෙ.

ඉතින් මේ විදිහට කරන වැඩමුළුවකට තන්තිරිමලේ යන්න ලෑස්ති උනේ පසුගිය සිකුරාදා දවසක(13). අපේ යන්න ලෑස්ත් වෙච්ච කොටසකටයි අපේ අයියල කොටසකටයි අපේ පොඩි එවුන්ටයි සිකුරාද Assignment වගයක් තිබුනු නිසා උදේ යන්න එකතු උනේ අට දෙනයි. මමයි බම්බා(තුෂාර), අත්තා(එරංග), ප්‍රසාද්(ලුකා) අපේ බැච් එකෙන් හිටියෙ ලසිත අයියත් තව අයියල තුන් දෙනෙකුත් හිටිය. ගමනට අපි යොදාගත්තෙ දුම්රිය. කලින් දවසෙ කට්ටිය බස් එකේ ගමනට යන වෙලාව කතා කර කර ඉන්කොට බස් ගමනට අකමැති මම කෝච්චියේ යමු කියල යෝජනා කලාbiggrin. ලංකාව දැන් දියුණුයි නේ අපි ටක් ගාල පච බංකුවෙම පහන් අයියගෙ ලැප දිග ඇරල ගියා දුම්රිය දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියට. හොයල බැලින්නන් කෝච්චිය පැය 3 1/2 කින් වගේ අනුරාධපුරේට යනව. ඒ පාර බස් එකේ පැය 6ක් විතර කොටන්න හිතාගෙන හිටපු අය එක පයින් ලෑස්ති උනා කෝච්චියේ යන්න. ඔන්න ඉතින් සිකුරාදා පාන්දරම අත්තයි මායි කොටුව දුම්රිය පොළට නිදිමතේ ආව. ලසිත අයිය කලින් දවසෙ කිව්වෙ උඹල දෙන්න අර කොළඹ කොටුව කියල බෝඩ් එකේ ටු යන්න යටින් ඉඳපන් කියල. ඒ උනාට කළුවරේ ටු යන්න හොයා ගන්න බැරි උනා නෙව. ඉතින් අපි ස්ටේෂන් එකට ගොඩ උනා එතකොට අයිය කෙනෙකුත් ඇවිත් ඉන්නව කකුලක් බිත්තියට ගහගෙන. කොහොම කොහොම හරි ලසිත අයිය එනකොට 5.30 විතර උනා. මේ අස්සෙ නිවේදනය කරනවා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියට සීමිත ටිකට් සංඛ්‍යාවක්ය තියෙන්නෙ සාමානය ටිකට් වලින් ඒකෙ යන්න බෑ කියල. ඉතිං ලසිත අයියා ආපු ගමන් පිටත් කරා ටිකට් පෝලිමට. අනික් ඒ වෙලාවෙයි දන්නෙ මේ අපි යන්න ඉන්න කෝච්චිය තමයි යාල්දේවී කියන්නෙ. දකුණේ හොඳ හිත අරගෙන උතුරට යන දුම්රිය.ලසිත අයිය පෝලිමේ ඉන්න අතරෙ මම ආයෙත් ගිහින් මතක් කලා අයියා intercity express එකට කියල ටිකට් ගන්න ඕන කියල. ටිකකින් බලනකොට අයිය ඉන්නවා හිටපු පෝලිමේ නෙවේ වෙන පෝලිමක. බලනකොට අපි යන කෝච්චියට ටිකට් දෙන්නෙ ඒ කවුන්ටරෙන් නෙවෙයි. ඔහොම පෝලිම් 3ක ගිහිල්ලයි අන්තිමට ටිකට් ටික ගත්තෙ. ටිකට් අරගෙන ඉවර වෙලා අපි දුවල ගියා කෝච්චියට seat නැතිවෙයි කියල. ඒත් නැගල බැලුවහම ඕන තරම් ඉඩ තියනවා. අපි ඉතින් අන්තිම පෙට්ටියේ ආසන දෙකක අතපය දිග ඇරලා වාඩි උනා. සාමාන්‍යයෙන් අපේ රටේ කෝච්චි පරක්කුයි කියලනේ කියන්නෙ. ඒවුනාට දැන් එහෙම නෑ. යාල්දේවිය හරියටම නියමිත වෙලාව වෙන 5.45ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් උනා.
දේවිලා ලැසි ගමනින් යනව කිව්වට මොකද මරදාන පහුවෙලා ටික දුරක් ගියාම යාල් දේවිය ලැසි ගමන පැත්තක තියල අධික වේගයෙන් ධාවනය වෙන්න ගත්තාrazz. නිදිමතේ හිටපු අපි නින්දට වැටුනු අතරේ යාල්දේවිය උතුර බලා ගමන් කලා. මේ කෝච්චිය නවත්තන්නේ නැවතුම් 4යිනේ අනුරාධපුරෙත් එක්ක. ඒ නිසා ගමන සෑහෙන ඉක්මන්. මහව හන්දියෙදි කොළඹ පැත්තට යන යාල් දේවිත් එක්ක මාරුවෙන්න විනාඩි 10ක් විතර නවත්තගෙන හිටපු එක ඇරෙන්න වෙන කිසිම තැනක පරක්කු උනේ නෑ.
අන්තිමට අපි අනුරාධපුරෙන් බහිනකොට වෙලාව 9.30 විතර. නියමිත වෙලාවට වඩා ටිකක් පරක්කු උනාට ඒ වෙලාව ප්‍රශංසනීයයි මොකද බස් එකේ කීයටවත් ඔය වෙලාවට එන්න බෑ. අපි බැස්සට කෝච්චියෙ ගමන මෙතනින් ඉවර නෑ ඒක වවුනියාවෙනුත් එහා තාන්ඩිකුලම වෙනකන් යනවා.

අනුරාධපුරෙන් බහිනකොට සෑහෙන්න බඩගිනියි මොකද කොළඹින එනකොට අපි මුකුත් කාලා තිබුනේ නෑ. ස්ටේෂන් එක ගාවම තිබුනු "සිංහ කඩේ හෝටලෙන්" උදේ කෑම කාලා අඩුවත්(මුලින් බෙලද දෙන ප්‍රමානෙ කාල මදි උනොත් තව ටිකක් බෙදාගෙන කන එකට කැම්පස් එකේ කියන්නෙ අඩුව කනව කියල) කාලයි කට්ටිය කෑම ඉවර කලේ. අපි එලියට බහින්න ලෑස්ති වෙනකොට ලසිත අයියා දාහෙ කොළයක් අතේ තියාගෙන හිටියා බිල ගෙවන්න. අපි එළියට බැස්සාම "අයියෙ අයියෙ" කියල කඩේ ඇතුලෙන් කතා කරන සද්දයක් ඇහුනා. මේක ඇහුනාම අන්තිමට එලියට බැස්ස ලසිත අයිය ආපහු කඩේ ඇතුලට දිව්ව. බැලින්නම් සල්ලි අතේ තියාගෙන හිටියට එයාට බිල ගෙවන්න අමතක වෙලාlol. තව පොඩ්ඩෙන් ආයෙ පාරක් කන්න වෙනවා.smile

ඊළඟට කට්ටියම බෑග් උස්සගෙන බස් නැවතුමට ගියා. අධ්‍යාපන දෙපාර්තුවෙන් අවසර ගැනීමේදී යම් ප්‍රශ්නයක් වෙලා තිබුන නිසා ලසිත් අයියාත් අත්තත් ගියා දහයියාගමට අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට. කොහොමත් හොඳ වැඩක් කරන්න යනකොට සෑහෙන ප්‍රශ්න එනවනේ. ඉතුරු අපි හය දෙනා තන්තිරිමලේ බස් එකේ නැග්ගෙ ඉස්කෝල ඉවර වෙන වෙලාවට කලින් එවට ගිහින් ලමයි දැනුවත් කරන්න ඕන නිසා.දහයට විතර බස් එකට නැග්ගට ඒක පිටත් උනේ 11ට. මේ පාරෙ සීමිතට බස් ගානක් තමයි දුවන්නෙ. අපරාදෙ කියන්න බෑ බස් එක ඉක්මනට ගියා. ඒ අතර දෙතැනකදි වගේ හමුදා මුර පොළ වල බස් එක නතර කරලා සිවිල් ආරක්ෂක නිළධාරියෙක් බස් එකට නැගල පරීක්ෂා කලා. බස් එකේ යන ඒ පලාතෙ අය අතරේ අපි කැපිල පෙනෙන නිසාද කොහොද අපේ හැදුනුම්පත් පරීක්ෂා කලා. අන්තිමට පැය 2ක් විතර බස්එකේ ඉඳල මට ඇතිවෙලා තිබුනෙ යනවා යනවා කෙළවරක් නෑrolleyes. මුලින්ම හමුබුනු ඉස්කෝලෙ තම්බියාව ධර්මපාල විද්‍යාලය. එතන බැස්සෙ හර්ෂණ අයියත් මාත්.

ඉස්කෝලෙ ගේට්ටුව ලඟ බංකරයක්. ඒකෙ හිටපු සිවිල් ආරක්ෂකයෙක් අපේ හැඳුනුම්පත් පරීක්ෂා කලා. අපි ඉස්කෝලෙට ඇතුළු උනාම මුලින්ම දැක්කෙ බට වගයකුත් තව ලී වගයකුත් අරගෙන යමක් කරමින් ඉන්න ලමයි කට්ටියක්. අපිරිසිඳු කලිසමට උඩින් සුදු කමිසයට යට නොකර ඇඳපු කොල්ලෝ රංචුවක් තමයි මේ විදිහට මොකක්දෝ වැඩක් කරමින් හිටියෙ. කාර්යාලයක් පේන්න නැති නිසා අපි ඒ එක ලමයෙක්ගෙන් ඇහුව කොහේද ප්‍රන්සිපල්ගේ කාමරේ තියෙන්නෙ කියල. කැත්තකින් වැඩ කරමින් හිටපු කොල්ල ඒ කැත්තෙන්ම ගොඩනැගිල්ලක් පෙන්නන ගමන් ආන් අර කොනේම කියල කිව්වsad. අපි ඒ පැත්තට යන්න පිටත් වෙන කොටම පාසලේ විදුහල්පතිතුමා "ඔය ගොල්ලො නේද කොළඹ විශ්වවිද්‍යාලයෙන්" කියල කියාගෙන පන්ති කාමරයකින් එළියට ආව. අපිත් එක්ක විස්තර කතා කරල ඔහු අපිට සාමාන්‍ය පෙළ පන්තියට කතා කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්නෙ ලමයි 15යි. ඒකෙන් එදා 10ක් ඇවිත් හිටියා. ඔවුන්ට විද්‍යාව හෝ ගණිතය ගුරුවරයෙක් නෑ. ඒ විශයන් ඔවුන්ට උගන්වන්නෙ වෙනත් විශයකට ඉන්න ගුරුවරයෙක්eek. අපි ඔවුන්ගෙන් අමාරු පාඩම් මොනවද කියල ඇහුහම ගණිත විද්‍යාව විශය මාලා වල තියන පාඩම් වලින් බාගෙකට වඩා කියාගෙන ගියා. ඊට පාසලෙන් එලියට ආපු අපිට ඊළඟ බස් එකට තව පැයක් බලාගෙන ඉන්න උනා. අපි ඒ ගිහිපු බස් එකට ඊළඟට තියන ඉස්කොලෙ බින්නෑව විද්‍යාලයට පණිවිඩය කියන්න ගිහිපු බම්බත්(තුෂාර) ශෂික අයියත් ගොඩ උනා. ඔන්න ඉතිං බස් එක යනව. අපිත් ඉතිං ඉන්නව තන්තිරිමලේට බස් එක එනකම්. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනෙ තන්තිරිමලේ රජමහා විහාරෙ. තන්තිරිමලෙන් බස් එක නැවුත්තුවාම පංසල හොයාගන්න බරුවයැ කියල අපි හිටිය. එක පාරම කොන්ද අහනව මහත්තයල කොහේටද යන්නෙ කියල. අපි කිව්ව පන්සලට කියල. ඒ මිනිහ ඔළුවෙ අත ගහගෙන කියනව "මහත්තෙයො පන්සල දැන් හෝල්ට් 4කට විතර කලින් පහුඋනා" කියල. මල කෙළියයි කිව්වලු. අපි දඩිබිඩි ගාල බස් එකෙන් බැහැ ගත්ත. දැන් මොකද කරන්නෙ ආපහු යන්න තව පැයක් විතර බස් එකක් එනකම් ඉන්න කියලද? මේ පැත්තෙ බස් හෝල්ට් දෙකක් අතර කි.මී බාගෙක විතර දුරක් තියනව. බහින තැන කොන්දට නොකියා හිටී පණ්ඩිත කම මකත් කර කර කකුල් දෙක ගෙවෙන කම් ආවෙ නැතෑ පයින්. කොච්චර දුරද දන්නවද ඇහැටුල්ලො දෙන්නෙක් මැරිල ඉන්න දුර biggrin. මේ පාරෙ වාහනයක් යන්නෙ විනාඩි 20කට විතර පාරක්. ඒ වාහනේකට අහුවෙලා සර්පයක් මැරෙනව කියන්නෙ කොච්චර සර්පයො පාර මාරු වනෙව ඇත්ද? යන අතරෙ අපේ ජංගම දුරකතන දිහා බැලුවා සංඥා තියනවද කියල. මගේ එකට නම් නෑ. මොබිටෙල්ලා මේ හරිය care කරන්නෙ නැද්ද මන්දා. ශශික අයියා කියනවා. "ආ මට නම් සිග්නල් තියනවා. ම්ම්..... සිග්නල් එන්නේ... සෙට්...ටිකුල.ම් කියල තැනකින්".මලා ඒ කියන්නෙ අර යුධ සරණාගතයන්ගෙ කඳවුරු තියන පලාතෙ න්ද? ඒ කියන්නෙ අපි ඉන්නෙ ඉස්සර මුදා නොගත් ප්‍රදේශයකද? කියන්න එපායැ එන්න කලින්. තඩි බෑග් ඉහින් කනින් එල්ලගෙන දාඩිය පෙරාගෙන යන්තම් අපි පන්සලට ආවා.

තුන් වෙනි ඉස්කොලෙ විමලඥාණ විද්‍යාලය තියෙන්නෙ පන්සල ළඟමයි. ඒ ඉස්කොලෙට ගිහිපු සුමුදු අයියයි අපෙ ලුකයා(ප්‍රසාද්) මේ වෙනකොට පන්සලට ඇවිත් ඉන්න ඕන. අපි ඒ දෙන්නට කෝල් එකක් ගන්න හැදුවත් හරිගියේ නෑ. මොකද දුරකථනයට සංඥා නැති නිසා. ලේසියෙන්ම කිව්වොත් ෆෝන් එකට සිග්නල් නැති නිසා. නවතින තැන හොයා ගන්නත් එපායැ. වටපිට බලනකොට හාමුදුරු නමක් ආවාසගෙයි ඉස්සරහ පුටුවක වාඩිවෙලා ඉන්නව. පෙනුමට ලොකු හාමුදුරුවොවෙන්න ඕන. අපි ගිහින් හාමුදුරුවන්ට වැඳලා පැත්තකට උනා. ඊළඟට කතාව මෙන්න මෙහෙම

හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්වවිද්‍යාලයෙන්.
ලොකු හාමුදුරුවො - ඉතිං..
හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපේ දෙන්නෙක් කලින් ආවද මෙහෙ.
ලොකු හාමුදුරුවො - නෑ ආවෙ නෑ
(ඔය ගමන අපේ බම්බා විස්තර කරන්න ගත්තා)
බම්බා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්ව විද්‍යාලයෙන්. අපි වැඩමුළුවක් කරනවා මෙහේ ලමයින්ට. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනේ මේ පන්සලේ. අපේ දෙන්නෙක් දවාලෙ මෙහේ ආව.
ලොකු හාමුදුරුවො - ම්හු.. කව්රුත් ආවෙ නෑ.
(අපි තක්බීර් වෙලා මූණවල් බලා ගත්ත. දැන් මොකද කරන්නෙ මුන් දෙන්න කොහේ ගිහිල්ලද දන්නෙ නෑ. සිග්නල් නැතුව කෝල් එකක් දෙන්නත් බෑ. සංවිධායක ලසිත අයිය තාම අනුරාධපුරේ. අපි කල්පනා කර කර ඉන්නකොට හාමුදුරුවො අහනව)
ලොකු හාමුදුරුවො - ඉතිං ඔය ලමයි කොම්පියුටර් කරන අයද?
බම්බා - ඔව් හාමුදුරුවනේ අපි I.T කරන්නෙ......
ඔහොම විස්තරේ ආයෙ මුල ඉඳලා කියනව. මෙන් එක පාරටම හාමුදුරුවො හක හක ගාල හිනාවෙන්න ගත්ත. ඒ හිනාවෙන අතරෙ කියනව. ආව ආව අන්න කොනේ කාමරේ නිදි කියලlol. එතකොටයි අපිට තේරුනේ හාමුදුරුවො අපිට දීල තියෙන්නෙ බයිටක් කියල.

මේ අතරේ අධ්‍යාපන අමාත්‍යංශෙට අවසර ගන්න ගිය ලසිතට අයියට එහෙන් ලේසියෙන් අවසර දීලා නෑ. ඒගොල්ලො එතකොටත් අනුරාධපුර. අපිට දැන් පට්ට බඩගිනියි. මොනව කියල කන්නද? පලාතක හෝටලයක් නෑ. හොඳ වෙලාවට හාමුදුරවෝ ප්‍රශ්නේ විසඳුවා. මුළු ගමටම හවසට කඩේට ගේන්නේ පාන් රාත්තල් හතරලු. හාමුදුරුවෝ ඒ හතර ගෙන්නලා පොල්සම්බලකුත් එක්ක අපට කන්න දුන්නා.

හවස කොළඹින් පිටත් වෙච්ච අපේ ඉතුරු කට්ටිය රතුකුරුසේ වාහනයකින් පන්සලට එනකොට රෑ 9 විතර ඇති. අපි පස්සෙන්දට උගන්නන්න තියන දේවල් බල බල ඉඳලා වැටිච්ච වැටිච්ච තැන් වලට නිදාගත්තේ පහුවෙනිදා වැඩමුළුව පවන් ගන්න අදහසින්. ඒත් පහුවෙනිදා අපි දැක්කෙ අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. ඒක වෙනම ලිපියකින් කියන්නම් . මොකද ඒක කැම්පස් ආතල් ලේබල් එක අයතට නොවැටිය යුතු නිසා. ආපහු හමුවෙමු කැලේ පිපී කැලේම පරවී යන තන්තිරිමලේ දරුවන් ගැන කියවෙන ලිපියකින්.