Friday, December 4, 2009

පිපෙන්නට හිරු කිරණ නොලැබ කැලේ පිපී කැලේටම පරවී යන තන්තිරිමලේ මල් කැකුළු

කලින් ලිපියෙ මම කිව්වෙ අපි තන්තිරිමලේට ආපු හැටි. දැන් කියපන්න ඒහෙදි අපි දැකපු දේ ගැන සංවේදී කතාව. සෙනසුරාදා අපි උදේම අවදි වෙලා ඇඳ පැළඳ ගත්තෙ 9 වැඩමුළුව පටන් ගන්න. කලින් තීරණය කරන් හිටියෙ උගන්වන නිසා formal අඳින්න උනත් රබර් සෙරෙප්පු දෙක දාල කහ පාට වෙච්ච සුදු නිල ඇඳුම ඇඳගෙන ඉස්කෝලෙ එන මේ දරුවො ඉස්සරහ ඒක ඕන නෑ කියල හිතුන නිසා කට්ටියම පුරුදු විදිහට කලිසමට උඩින් කමිසය දාල රබර් දෙක දාගෙන(කැම්පස් යන විදිහ) තමයි වැඩමුළුව කරන්න ලෑස්ති උනේ. මේකෙන් අපහසුතාවයට පත්උනේ මම මොකද මම රබර් දෙකක් ගෙනාවෙ නෑ. ඉතින් මොනව කරන්නද මම සපත්තු දෙක දැම්ම.
සාමාන්‍යයෙන් වැඩමුළුවක් පටන් ගන්න වෙලාව 8 උනත් අපිට මෙහේ ඒක පටන් ගන්න උනේ 9ට. ඒකට හේතුව තමයි තම්බියාව ධර්මපාල සහ බින්නෑව ඉස්කෝල වල ලමයින්ට විමලඥාණ ලොකු ඉස්කෝලෙට එන්න තියන පළවෙනි බස්එක ඒ කියන්නෙ උදේට අනුරාධපුරෙන් තන්තිරිමලේට එන පළවෙනි බස්එක විමලඥාණ විදුහල ලඟට එන්නෙ 8.50ට විතර. ඒ ලමයි එනකම් අපට ඉන්න සිද්ධ උනා.

අපි 8.30ට විතර විමලඥාණ ඉස්කෝලෙට යනකොටත් විදුහල්පතිතුමා සහ තවත් ගුරුවරු කීපදෙනෙක් ඇවිල්ල අපිට විදුහලේ ප්‍රධාන ශාලාවත් තවත් පන්ති කාමර දෙකක් පිළියෙල කරල තිබුනා.
අපිට අනුග්‍රහය දකවපු ශ්‍රී ලංකා රතු කුරුස සංගමයෙ බැනර් කීපයකුත් එල්ලා අපි වැඩේ පටන් ගන්න සූදානම් උනත් පළවෙනි බස් එක එතකනුත් ඇවිත් තිබුනේ නෑ. වැඩිය ප්‍රමාද වෙන එක හොඳ නැති නිසා අපි ඒ ලමයි එනකන් වැඩමුළුව පටන් ගන්නයි සූදානම් උනේ. විමලඥාණ විදුහලේ විදුහල්පතිතුමා හා ගුරුවරු කීපදෙනෙක් සහභාගි වෙච්ච රුස්වීමෙදි අපිට ලමයිනට අඳුන්වලා දීල අපිට වැඩමුළුව පටන් ගන්න අවසර දුන්නා.
විදුහල්පතිතුමා පිළිගැනීමේ කතාව කරමින්

මුලින්ම හැමෝම ඉස්සරහ අපේ Exploration Club එකේ අරමුණ පැහැදිලි කරමින් කතා කලේ ලසිත අයියා. ඊට පස්සෙ ලමයි කණ්ඩායම් 4කට වෙන්කලේ ඉගැන්වීමේ පහසුවට. කොටසකට ජ්‍යාමිතියක් කොටසකට කුලකත් කොටසකට වීජීය සමීකරණත් අනේක් කොටසට සංඛ්‍යාත් කරන්න තමයි අදහස් කලේ. අදාල කොටස් ඉගැන්වීමෙන් පසුව කණ්ඩායම් මාරු කරල නැවත උගන්වන්නයි තීරණය උනේ.

මම හිටියෙ ජ්‍යාමිතිය උගන්නපු කණ්ඩායමේ. මට බාරවෙලා තිබුනෙ නිර්මාණ උගන්නන්න. ඔන්න කට්ටියම තම තමන්ගෙ කණිඩායම් වලට උගන්නන්න පටන් ගත්තා.
ජ්‍යාමිතිය පන්තිය
ලහිරු සමග අස්රන් අයියා වීජීය සමීකරණය පංතියේ

ඒත් බස් එක ඒ වෙලාව වෙනකනුත් ඇවිත් තිබුනෙ නෑ. වෙලාවටම ධාරානිපාත වරුසාවකුත් පටන් ගත්තා. බින්නෑව ඉස්කෝලෙ ලමයි කොටසක් ටැක්ටරයකින්ද කොහෙද ප්‍රවාහන පහසුකම් සපයගෙන ඇවිත් තිබුනත් තම්බියාව ධර්මපාල ඉස්කෝලෙ ලමයි කව්රුත් ඇවිත් තිබුනෙ නෑ. පළවෙනි බස් එක නැති වීමත් වර්ෂාවත් ඔවුන්ට වැඩමුළුවෙ පළවෙනි දවස අහිමි කලා. අපි මෙහම උගන්නගෙන යද්දි තේරුන දෙයක් තමයි කණ්ඩායමේ කොටසක් ලමයින්ට කියල දෙන දේ තරමක් හෙමින් උනත් තේරුම් ගියත් තව කීප දෙනෙක්ට කියල දෙන දේ තේරෙන්නෙ නෑ. පස්සෙ හිමීට බලද්දි ඒක්කො සරල සමීකරණ, පොදු සාධක ගැන අවබෝධයක් නෑ.ඒ විතරක් නෙමෙයි ගුණ කිරීම අඩු කිරීම බැරි ලමයිනුත් හිටියා. මේ පාසල් වල ගණිතයට ගුරුවරු ඉන්නේ ඉතාම අල්ප වශයෙන්. සාමාන්‍ය පෙළට නම් ඇත්තෙම නෑ. ඒක නිසා දුර්වල ලමයා හැලිලම යනව ඇති. ඒත් අපිට ඒ ලමයි අත ඇරල දාන්න පුළුවන් කමක් නෑ. අපි ඒ දුර්වල ලමයි අනිත් අයට නොදැනෙන්න වෙන් කරල වෙනම කණ්ඩායමකට දැම්ම. ඒ ලමයිව සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් කිරීම අසීරු ඉලක්කයක් උනත් අපි ඔවුන්ට ජීවිතයට අත්‍යවශ්‍යම වන ගණිත කර්ම උගන්වන්න උත්සාහ කරා.
පාට රටහුණු කෑලි වලින් ගණන් කරන්න උගන්වමින්

කණ්ඩායමකට පාඩමක් කරන හර්ෂණ අයියා

අපේ අය මේ ලමයිනට උගන්වපු තිළිණ අයියා ප්‍රමුඛ කණ්ඩායමට කිව්වෙ Special task force එක කියල.
video
විශ්වාස නැද්ද මේ වීඩියෝ එක බලන්න

මම උගන්වපු කණ්ඩායම් හිටපු එක් පිරිමි ලමයෙක් ඉතාම ඉක්මනින් කියන දේ අල්ල ගත්තා. ඔහුට හොඳ හිතීමේ හැකියාවක් තිබුනා. ගුරුවරු ඉන්න හොඳ පාසලකට ගියා නම් ඔහු අනිවාර්යෙන් විශිෂඨ ප්‍රතිඵලයක් දානව. දෙවන වර විභාගය ගන්න ලමයිනුත් තරමක මට්ටමක හිටියා. ඉතිරි අය සහ ගැහුණු ලමයි දෙන්නා තරමක් හිමිනුයි කියන දේ අල්ල ගත්තේ. ඒ මේ ලමයින්ට අපි උගන්වන දේ තේරුම් ගන්න පුදුම උවමනාවක් තිබුන. රූප සටහනක් කළු ලෑල්ලෙ ඇන්දම ඔවුන් වෙන කොහේවත් බලන්නෙ නෑ ඒ රූපය දිහා මිසක්. ඔළුව කසමින් ඔවුන් ගණිත ගැටළු විසඳන්න උත්සාහ කලා. මම උගන්වපු කණ්ඩායමේ එක ගැහැණු ලමයෙක් ගාන විසඳන්න උත්සාහ කරල හෙම්බත් වෙච්ච මුහුණින් "තේරෙන්නෙ නෑ අයියා" කියනව මට තාම මතකයි. තව කළු කෙසඟ කොලු ගැටයෙක් ඔහු පැන්සල රූපය මත තිය තිය පුළුවන් තරම් උත්සාහ කරනවා. මල්ලි තේරෙන්නෙ නැද්ද කියල ඇහුවහම හිනා වෙලා "නෑ" කියනව. ඇත්තටම ඒක ඔවුන්ගෙ වැරුද්දක් නෙමෙයි. අපිට සිද්ධ උනා සම්පූර්ණ ගණිත විශය මාලාවම දවස් දෙකකින් උගන්වන්න. හරි නම් අවුරුදු දෙකකින් ඉගන ගන්න ඕන දේවල්. ඒත් ගණිත ගුරුවරයෙක් නැතිවෙන්න මේ දරුවො කරල තියන පව මොකද්ද?
ශශික අයියා යමක් කියා දෙමින්


අපි මේ වැඩමුළුව කරපු විමලඥාණ විද්‍යාලය පලාතේ ලොකුම ඉස්කෝලෙ. මේ පාසලෙත් සාමාන්‍ය පෙලට ගණිතයට ගුරුවරයෙක් නෑ. ලමයින්ට ගණිතය තරමක් හරි උගන්වල තියෙන්නෙ ඔවුන්ට ඉන්න එකම විද්‍යාව ගුරුවරයා. ඔහුත් ලඟදි පත්වෙලා ආපු තරුණ ගුරුවරයෙක්.
සා.පෙ ළමයින්ට විද්‍යාව ගණිතය විෂය දෙකටම සිටින එකම ගුරුවරයා

හොඳම කතාව තමයි තන්තිරිමලේ ඉඳල පැය දෙකක බස් ගමනකින් එහා තියන අනුරාධපුර පාසල් වල ගණිත විද්‍යාව ගුරුවරු අතිරික්තයක් ඉන්න එක. උදේ ඇවිල්ල හවස යන්නවත් මේ පාසල් වලට ඒ වැඩිපුර ඉන්න තැන් වලින් ගුරුවරු දෙන්න බැරි ඇයි. රටට අනාගතයක් හදන්න ඉන්න දක්ෂ දරුවො ටිකක් කැලේටම යට කරලා දාන්න හදන්නෙ ඇයි. අධ්‍යාපන කාර්යාල වලට වෙලා තිස් හතලිස්දාහ පඩි අරගෙන පුටු රත් කරන අධ්‍යාපන නිළධාරීන් මොනවද කරන්නෙ. මේ තත්වය මෙහෙම තියාගෙන වැඩමුළුවට අවසර ගන්න අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට ගිහිපු අපේ අයව එතනදි පැය 3ක් රස්තියාදු කරල අවසර දෙන්න බෑ කියල බොහොම ලොකු පාට් එකකුත් දාල තිබුනෙ.

දවස් තුනක් තිස්සේ අපි මේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගය සමත් කරවන්න පුළුවන් උපරිම උත්සාහ කරත් . අපි හිතාගෙන ආපු තරමටම හොඳට ඒක කරන්න පුළුවන් උනේ නෑ. අවුරුදු දෙකක දේවල් දවස් දෙකකින් උගන්වන එක කරන්න බෑ. ඒ නිසා අපි තීරණය කලේ ලබන අවුරුද්දෙ ඉඳල වාරයකට එක වැඩමුළුව වෙන්නෙ තන්තිරිමලේ පවත්වන්න. ඒතකොට වඩා සාර්ථක ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වේවි කියල අපි හිතනවා.

අපිට මේ කාරියයේදි නවාතැන් පහසුකම් සපයලා ආහාර පිළියෙල කරල දීල ලොකු සහයෝගයක් දීපු තන්තිරිමලය රජමහා විහාරයේ නායක හාමුදුරුවන්ට විශේෂයෙන් ස්තූති කරන්න ඕන. ඒ වගේම ලොකු කැපකිරීමක් කරලා මේ වැඩමුළුව සාර්ථක කරගන්න උදව් උනු අපේ UCSC එකේ තෙවන දෙවන පළමුවන වසර වල අයට බොහොම ස්තූතියි. අපිට මේ දේ කරලා පෞද්ගලිකව ලැබුනු කිසිම දෙයක් නෑ. ලැබුනා නම් මේ අසරණ ලමයින්ගේ අනාගතයට යම් උදව්වක් කලා කියල ලැබෙන සතුට විතරයි. නමුත් ඒ සතුට අපට බොහෝම වටිනවා. ඉස්සරහටත් මොන අමාරුකම් තිබුනත් අපි මේ වගේ දේවල් කරනවා. ඉතින් මේ සටහන කියවපු ඔබත් මේ දරුවන්ට යම් උදව්වක් කරන්න කියන එකයි මගේ ඉල්ලීම.
මේ සද්කාර්යට එකතු උනු අපේ කට්ටිය