Sunday, December 27, 2009

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් අල ගිය මුල ගිය තැන්


කාලයක් තිස්සේ මම බොහොම ආසාවෙන් හිටි දෙයක් තමයි මේ කරන්න යන්නේ. ලිනක්ස් ගැන ලිපි පෙලක් ලියන්න. අපේ ඉන්දරේ කාලෙකට කලින් මගේ පෝස්ට් එකකට ප්‍රතිචාරයක් දක්වමින් ඉල්ලුවා ලිනක්ස් අයිසිං කිරීම ගැන ලියන්න කියල. ඉතින් පුලු පුලුවන් විදිහට මම ලිපි 5කින් Ubuntu අයිසිං කිරීම ලිපි පෙළ ලිව්ව. ඒක කට්ටියට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනව. මේ ළඟදි අපේ බිංකුවා කීප පාරක්ම ඉල්ලා සිටියා ලිනක්ස් A to Z ලිපි පෙලක් ලියන්න කියල. ඒක නම් කරන්න බෑ මොකද මම ලිනක්ස් වල Z තියා ඒ අහලකටවත් දන්නෙ නෑrolleyes. ඒ කියල නිකන් ඉන්න බෑනේ මම දන්න ටික ලියන්නයි කල්පනාව. ලිනක්ස් වලදි වැදගත්ම වෙන දේ ලිනක්ස් commands ගැන තමයි මූලිකවම කතා කරන්න යන්නෙ.හරි ලිනක්ස් ගැන කතා කරන්න කලින් මුලින්ම ලිනක්ස් වල අතීතය පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියල හිතුනා. එක අතකට ඒක රසවත් ඒකයි razz.

හැම දෙයක්ම ආරම්භ වෙන්නෙ UNIX වලින්. අද තියන හැම මෙහෙයුම් පද්ධතියක්ම ආභාෂය අරගෙන තියෙන්නෙ UNIX වලින්. UNIX මුලින්ම නිකුත් වෙන්නෙ 1970 දී. ඒහි නම්‍යශීලී ගුණය නිසා UNIX ඉතා වේගයෙන් පැතිරී ගියා. නමුත් UNIX වානිජමය අරමුණු මූලික කරගෙන නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඉතා ඉහල මිලකින් යුතු උන නිසා මෙය සාමාන්‍ය ජනතාව අතර භාවිතයට ආවෙ නෑ.

1983 දී රිචඩ් ස්ටෝල්මන් විසින් GNU ව්‍යාපෘතිය ආරම්භ කරනවා. නිදහස් මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් කරන ස්ටෝල්මන්ගේ අරමුණ වෙන්නේ නොමිලේ ලබා දෙන UNIX වැනි මෙහෙයුම් පද්ධතියක් නිපදවීම. මෙතනදි UNIX වැනි උනාට ස්ටෝල්මන් නිර්මාණය කලේ UNIX නෙමෙයි. ඔහු ඒක GNU කියන නමේම අන්තර්ගත කලා. GNU කියන්නෙ GNU is Not UNIX කියන එක. එතන GNU කියනනෙ නැවත ඒ තේරුමමයි. මේ විදිහට recursive විදිහට අර්ථය දෙමින් මෙය UNIX නොවන බව ඔහු කිව්වා. 1984 දී ස්ටෝල්මන් විශ්මිත නිර්මාණයක් කලා ඒ GNU C compiler එක(GCC). අදටත් වඩා කාර්යක්ෂමම compiler එකක් විදිහට GCC සැලකෙනවා.


මඟහැරුනු යමක්

1990 වන විට ස්ටෝල්මන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් සඳහා අවශ්‍ය මෘදුකාංග සහ අනෙක් සියළුම කොටස් එකතු කරගෙන තිබුනත් GNU සඳහා තිබුනු Hurd නම් kernal එක සාර්ථක එකක් උනේ නෑ. මේ නිසා ඔහුට GNU සම්පූර්ණ කරගැනීමට නොහැකි වෙලයි තිබුනෙ.

MINIX නම් මෙහෙයුම් පද්ධතිය 1987 දී Andrew S. Tanenbaum නම් මහාචාර්යවරයා විසින් එළිදක්වන ලද්දක්. මෙම මහාචාර්යවරයාගේ Operating Systems: Design and Implementation නම් පොත ලබා ගන්නා අයට පේලි 12000 පමන කේත සහිත MINIX මෙහෙයුම් පද්ධතියේ කේතය ලබාගත හැකි උනා. මෙහි source code එක විවෘත උනත් වෙනස් කිරීම හා නැවත බෙදා හැරීම කල හැකි උනේ නෑ. ඒ අනුව MINIX ස්ටෝල්මන්ගේ සංකල්පයටත් කලින් විවෘත කේත මෘදුකාංගයක් උනා. එකට ලොව පුරා පරිගනක විද්‍යාව සිසුන් අති බහුතරයක් සතුව Tanenbaum ගේ පොත තිබුනා. Linus Travolds එයින් කෙනෙක්.
1991 වෙනකොට Linus Benedict Torvalds සිටියේ Helsinki විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ. එවිට ඔහුගේ වයස 21යි. මේ කාලයේ Linus පසුව Linux Kernal එක බවට පත්වූ ව්‍යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය Linus විසින් විශ්ව විද්‍යාලයේ විශාල UNIX severs වෙත ඇතුළු වීම සඳහා යොදාගත් terminal emulator එකක් (වෙනත් පද්ධතියකට පිවිසීමට හැකි මෘදුකාංගයක්) . මේක දියුණු කලේ GNU C compiler එක මගින් MINIX මත ඉඳගෙන. අවසානයේදී Linux වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක kernal එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වෙනිදා ඔහු ඒ බව comp.os.minix නම් mailing group එකට නිවේදනය කලා.


මෙයට ලැබුනු ප්‍රතිචාර වලින් ධෛර්යමත් වූ Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කලා. ලොව පුරා ක්‍රමලේඛකයන් මේ වටා රොක් වුනා. ඔවුන් Linux බාගත කරගත්තා පරීක්ෂා කලා අඩුපාඩු නිවැරදි කලා අළුත් දේ එකතු කලා පසුව නැවත Linus වෙත ලබා දුන්නා.ඔක්තෝම්බර් 5 වෙනිදා Linux 0.02 නිකුත් වෙනවා. තවත් සති කීපයකින් 0.03 පිටවුනා. දෙසැම්බර් වෙනකොට Linux 0.10 වෙනකම් ඇවිත් තිබුනා. මේ විදිහට බොහොම ඉක්මනින් Linux දියුණු වෙමින් ඉදිරියට ගියා.

Linux නම ලැබුනේ කොහොමද?

Linus මුලින් අදහස් කරගෙන හිටියේ මේ kernal එකට නිදහස් අර්ථය එන්න "free" සහ UNIX ආභාෂය ලත් නිසා "x" අකුරත් එකතු කරල "freex" කියල නම් කරන්න. නමුත් Helsinki විශ්ව විද්‍යාලයේ FTP server එකේ ලිනක්ස් ගබඩා කරපු Ari Lemmke නම් Linus ගේ මිත්‍රයා ඒක Linux විදිහට වෙනස් කලා. මේ නම ජනප්‍රිය වීමත් එක්ක Linus ද එය ඒ ආකාරයට භාවිතා කරා.

Linux සුරතලා Tux
1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය(mascot) විදිහට Tux නම් පෙන්ගුයින් නම් කලා. නිදහස් හා විවෘත මෘදුකාංග ලෝකයේ බොහෝ වෙලාවට සංකේත ලෙස යොදාගැනෙන්නේ සතුන්.

මුලින් Linus විසින් Linux නිකුත් කලේ තමන්ගේම බලපත්‍රයක් යටතේ. ඒත් ඔහු පාවිච්චි කල සමහරක් මෘදුකාංග GNU ව්‍යාපෘතියේ GNU General Public License යටතේ ලියාපදිංචි කල ඒවා. උදාහරණයක් විදිහට Linux 0.01 හි GNU ලාගේ bash shell එක අන්තර්ගත උනා. පසුව 1992 දෙසැම්බර් වලදී Linux 0.99 GNU GPL යටතේ නිකුත් කලා. පසුව Linus කීවේ Linux GNU GPL යටතේ නිකුත් කිරීම තමන් කල හොඳම දෙයක් බවයි. මේ නිසා Linux kernal එක පාවිච්චි කරල මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන ඕන කෙනෙක් එය පිටකිරීමේදී source code එක ලබා දිය යුතු උනා. Linux අද වන විට මේ තත්වයට එන්න මෙය ඉතා ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි.

Linux අද

Linux සතු නම්‍යශීලී සුමට ගුණය නිසා පරිගනක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම Linux අද පැතිරිලා. එය Super computer වල සිට අතේ ගෙන යන කුඩා පරිගනක(palmtops) දක්වා සෑම උපාංගයකටම ඇතුලත් වෙලා ඉවරයි. දැනට ලෝකයේ තියන වේගවත්ම සුපිරි පරිගනක 100න් 95ක් පමණ ධාවනය වෙන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති. Linux වල හැකියාව එයින්ම මැනගත හැකියි. ඒ වගේම 50MB තරමට කුඩා වූ Damn small Linux හා 100MB වූ Puppy Linux වැනි මෙහෙයුම් පද්ධතිද තිබෙනවා. දශක දෙකක් පුරා පරිගනක ලෝකයේ රැඳී සිටිමින් ඕනෑම ආකාරයේ ආක්‍රමණයකට තමන් සූදානම් බව Linux ඔප්පු කර තිබෙනවා.

මේ සෑම දෙයකටම ආරම්භකයා වූ Linus අදටත් සරල මිනිසෙක්. ඔහු බිල් ගේට්ස් වගේ ධනවතෙක් නෙමෙයි. ඒත් අද ලෝකයේ සිටින ජනප්‍රියම ක්‍රමලේඛකයා ඔහුයි. පරිගනක පරිශීලකයන් අතර බිල් ගේට්ස්ට වඩා ඉහල තැනක Linus ඉන්නවා කිව්වොත් නිවැරදියි. ඒ තම අසහාය නිර්මාණය ඩොලර් ගණනකට තක්සේරු නොකර එය සමස්ත ලෝකයාගේම හිත සුව පිණිස නිදහස් කරන්නට ඔහු තීරණය කල නිසයි.