Sunday, December 27, 2009

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් අල ගිය මුල ගිය තැන්


කාලයක් තිස්සේ මම බොහොම ආසාවෙන් හිටි දෙයක් තමයි මේ කරන්න යන්නේ. ලිනක්ස් ගැන ලිපි පෙලක් ලියන්න. අපේ ඉන්දරේ කාලෙකට කලින් මගේ පෝස්ට් එකකට ප්‍රතිචාරයක් දක්වමින් ඉල්ලුවා ලිනක්ස් අයිසිං කිරීම ගැන ලියන්න කියල. ඉතින් පුලු පුලුවන් විදිහට මම ලිපි 5කින් Ubuntu අයිසිං කිරීම ලිපි පෙළ ලිව්ව. ඒක කට්ටියට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනව. මේ ළඟදි අපේ බිංකුවා කීප පාරක්ම ඉල්ලා සිටියා ලිනක්ස් A to Z ලිපි පෙලක් ලියන්න කියල. ඒක නම් කරන්න බෑ මොකද මම ලිනක්ස් වල Z තියා ඒ අහලකටවත් දන්නෙ නෑrolleyes. ඒ කියල නිකන් ඉන්න බෑනේ මම දන්න ටික ලියන්නයි කල්පනාව. ලිනක්ස් වලදි වැදගත්ම වෙන දේ ලිනක්ස් commands ගැන තමයි මූලිකවම කතා කරන්න යන්නෙ.හරි ලිනක්ස් ගැන කතා කරන්න කලින් මුලින්ම ලිනක්ස් වල අතීතය පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියල හිතුනා. එක අතකට ඒක රසවත් ඒකයි razz.

හැම දෙයක්ම ආරම්භ වෙන්නෙ UNIX වලින්. අද තියන හැම මෙහෙයුම් පද්ධතියක්ම ආභාෂය අරගෙන තියෙන්නෙ UNIX වලින්. UNIX මුලින්ම නිකුත් වෙන්නෙ 1970 දී. ඒහි නම්‍යශීලී ගුණය නිසා UNIX ඉතා වේගයෙන් පැතිරී ගියා. නමුත් UNIX වානිජමය අරමුණු මූලික කරගෙන නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඉතා ඉහල මිලකින් යුතු උන නිසා මෙය සාමාන්‍ය ජනතාව අතර භාවිතයට ආවෙ නෑ.

1983 දී රිචඩ් ස්ටෝල්මන් විසින් GNU ව්‍යාපෘතිය ආරම්භ කරනවා. නිදහස් මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් කරන ස්ටෝල්මන්ගේ අරමුණ වෙන්නේ නොමිලේ ලබා දෙන UNIX වැනි මෙහෙයුම් පද්ධතියක් නිපදවීම. මෙතනදි UNIX වැනි උනාට ස්ටෝල්මන් නිර්මාණය කලේ UNIX නෙමෙයි. ඔහු ඒක GNU කියන නමේම අන්තර්ගත කලා. GNU කියන්නෙ GNU is Not UNIX කියන එක. එතන GNU කියනනෙ නැවත ඒ තේරුමමයි. මේ විදිහට recursive විදිහට අර්ථය දෙමින් මෙය UNIX නොවන බව ඔහු කිව්වා. 1984 දී ස්ටෝල්මන් විශ්මිත නිර්මාණයක් කලා ඒ GNU C compiler එක(GCC). අදටත් වඩා කාර්යක්ෂමම compiler එකක් විදිහට GCC සැලකෙනවා.


මඟහැරුනු යමක්

1990 වන විට ස්ටෝල්මන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් සඳහා අවශ්‍ය මෘදුකාංග සහ අනෙක් සියළුම කොටස් එකතු කරගෙන තිබුනත් GNU සඳහා තිබුනු Hurd නම් kernal එක සාර්ථක එකක් උනේ නෑ. මේ නිසා ඔහුට GNU සම්පූර්ණ කරගැනීමට නොහැකි වෙලයි තිබුනෙ.

MINIX නම් මෙහෙයුම් පද්ධතිය 1987 දී Andrew S. Tanenbaum නම් මහාචාර්යවරයා විසින් එළිදක්වන ලද්දක්. මෙම මහාචාර්යවරයාගේ Operating Systems: Design and Implementation නම් පොත ලබා ගන්නා අයට පේලි 12000 පමන කේත සහිත MINIX මෙහෙයුම් පද්ධතියේ කේතය ලබාගත හැකි උනා. මෙහි source code එක විවෘත උනත් වෙනස් කිරීම හා නැවත බෙදා හැරීම කල හැකි උනේ නෑ. ඒ අනුව MINIX ස්ටෝල්මන්ගේ සංකල්පයටත් කලින් විවෘත කේත මෘදුකාංගයක් උනා. එකට ලොව පුරා පරිගනක විද්‍යාව සිසුන් අති බහුතරයක් සතුව Tanenbaum ගේ පොත තිබුනා. Linus Travolds එයින් කෙනෙක්.
1991 වෙනකොට Linus Benedict Torvalds සිටියේ Helsinki විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ. එවිට ඔහුගේ වයස 21යි. මේ කාලයේ Linus පසුව Linux Kernal එක බවට පත්වූ ව්‍යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය Linus විසින් විශ්ව විද්‍යාලයේ විශාල UNIX severs වෙත ඇතුළු වීම සඳහා යොදාගත් terminal emulator එකක් (වෙනත් පද්ධතියකට පිවිසීමට හැකි මෘදුකාංගයක්) . මේක දියුණු කලේ GNU C compiler එක මගින් MINIX මත ඉඳගෙන. අවසානයේදී Linux වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක kernal එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වෙනිදා ඔහු ඒ බව comp.os.minix නම් mailing group එකට නිවේදනය කලා.


මෙයට ලැබුනු ප්‍රතිචාර වලින් ධෛර්යමත් වූ Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කලා. ලොව පුරා ක්‍රමලේඛකයන් මේ වටා රොක් වුනා. ඔවුන් Linux බාගත කරගත්තා පරීක්ෂා කලා අඩුපාඩු නිවැරදි කලා අළුත් දේ එකතු කලා පසුව නැවත Linus වෙත ලබා දුන්නා.ඔක්තෝම්බර් 5 වෙනිදා Linux 0.02 නිකුත් වෙනවා. තවත් සති කීපයකින් 0.03 පිටවුනා. දෙසැම්බර් වෙනකොට Linux 0.10 වෙනකම් ඇවිත් තිබුනා. මේ විදිහට බොහොම ඉක්මනින් Linux දියුණු වෙමින් ඉදිරියට ගියා.

Linux නම ලැබුනේ කොහොමද?

Linus මුලින් අදහස් කරගෙන හිටියේ මේ kernal එකට නිදහස් අර්ථය එන්න "free" සහ UNIX ආභාෂය ලත් නිසා "x" අකුරත් එකතු කරල "freex" කියල නම් කරන්න. නමුත් Helsinki විශ්ව විද්‍යාලයේ FTP server එකේ ලිනක්ස් ගබඩා කරපු Ari Lemmke නම් Linus ගේ මිත්‍රයා ඒක Linux විදිහට වෙනස් කලා. මේ නම ජනප්‍රිය වීමත් එක්ක Linus ද එය ඒ ආකාරයට භාවිතා කරා.

Linux සුරතලා Tux
1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය(mascot) විදිහට Tux නම් පෙන්ගුයින් නම් කලා. නිදහස් හා විවෘත මෘදුකාංග ලෝකයේ බොහෝ වෙලාවට සංකේත ලෙස යොදාගැනෙන්නේ සතුන්.

මුලින් Linus විසින් Linux නිකුත් කලේ තමන්ගේම බලපත්‍රයක් යටතේ. ඒත් ඔහු පාවිච්චි කල සමහරක් මෘදුකාංග GNU ව්‍යාපෘතියේ GNU General Public License යටතේ ලියාපදිංචි කල ඒවා. උදාහරණයක් විදිහට Linux 0.01 හි GNU ලාගේ bash shell එක අන්තර්ගත උනා. පසුව 1992 දෙසැම්බර් වලදී Linux 0.99 GNU GPL යටතේ නිකුත් කලා. පසුව Linus කීවේ Linux GNU GPL යටතේ නිකුත් කිරීම තමන් කල හොඳම දෙයක් බවයි. මේ නිසා Linux kernal එක පාවිච්චි කරල මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන ඕන කෙනෙක් එය පිටකිරීමේදී source code එක ලබා දිය යුතු උනා. Linux අද වන විට මේ තත්වයට එන්න මෙය ඉතා ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි.

Linux අද

Linux සතු නම්‍යශීලී සුමට ගුණය නිසා පරිගනක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම Linux අද පැතිරිලා. එය Super computer වල සිට අතේ ගෙන යන කුඩා පරිගනක(palmtops) දක්වා සෑම උපාංගයකටම ඇතුලත් වෙලා ඉවරයි. දැනට ලෝකයේ තියන වේගවත්ම සුපිරි පරිගනක 100න් 95ක් පමණ ධාවනය වෙන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති. Linux වල හැකියාව එයින්ම මැනගත හැකියි. ඒ වගේම 50MB තරමට කුඩා වූ Damn small Linux හා 100MB වූ Puppy Linux වැනි මෙහෙයුම් පද්ධතිද තිබෙනවා. දශක දෙකක් පුරා පරිගනක ලෝකයේ රැඳී සිටිමින් ඕනෑම ආකාරයේ ආක්‍රමණයකට තමන් සූදානම් බව Linux ඔප්පු කර තිබෙනවා.

මේ සෑම දෙයකටම ආරම්භකයා වූ Linus අදටත් සරල මිනිසෙක්. ඔහු බිල් ගේට්ස් වගේ ධනවතෙක් නෙමෙයි. ඒත් අද ලෝකයේ සිටින ජනප්‍රියම ක්‍රමලේඛකයා ඔහුයි. පරිගනක පරිශීලකයන් අතර බිල් ගේට්ස්ට වඩා ඉහල තැනක Linus ඉන්නවා කිව්වොත් නිවැරදියි. ඒ තම අසහාය නිර්මාණය ඩොලර් ගණනකට තක්සේරු නොකර එය සමස්ත ලෝකයාගේම හිත සුව පිණිස නිදහස් කරන්නට ඔහු තීරණය කල නිසයි.

Friday, December 4, 2009

පිපෙන්නට හිරු කිරණ නොලැබ කැලේ පිපී කැලේටම පරවී යන තන්තිරිමලේ මල් කැකුළු

කලින් ලිපියෙ මම කිව්වෙ අපි තන්තිරිමලේට ආපු හැටි. දැන් කියපන්න ඒහෙදි අපි දැකපු දේ ගැන සංවේදී කතාව. සෙනසුරාදා අපි උදේම අවදි වෙලා ඇඳ පැළඳ ගත්තෙ 9 වැඩමුළුව පටන් ගන්න. කලින් තීරණය කරන් හිටියෙ උගන්වන නිසා formal අඳින්න උනත් රබර් සෙරෙප්පු දෙක දාල කහ පාට වෙච්ච සුදු නිල ඇඳුම ඇඳගෙන ඉස්කෝලෙ එන මේ දරුවො ඉස්සරහ ඒක ඕන නෑ කියල හිතුන නිසා කට්ටියම පුරුදු විදිහට කලිසමට උඩින් කමිසය දාල රබර් දෙක දාගෙන(කැම්පස් යන විදිහ) තමයි වැඩමුළුව කරන්න ලෑස්ති උනේ. මේකෙන් අපහසුතාවයට පත්උනේ මම මොකද මම රබර් දෙකක් ගෙනාවෙ නෑ. ඉතින් මොනව කරන්නද මම සපත්තු දෙක දැම්ම.
සාමාන්‍යයෙන් වැඩමුළුවක් පටන් ගන්න වෙලාව 8 උනත් අපිට මෙහේ ඒක පටන් ගන්න උනේ 9ට. ඒකට හේතුව තමයි තම්බියාව ධර්මපාල සහ බින්නෑව ඉස්කෝල වල ලමයින්ට විමලඥාණ ලොකු ඉස්කෝලෙට එන්න තියන පළවෙනි බස්එක ඒ කියන්නෙ උදේට අනුරාධපුරෙන් තන්තිරිමලේට එන පළවෙනි බස්එක විමලඥාණ විදුහල ලඟට එන්නෙ 8.50ට විතර. ඒ ලමයි එනකම් අපට ඉන්න සිද්ධ උනා.

අපි 8.30ට විතර විමලඥාණ ඉස්කෝලෙට යනකොටත් විදුහල්පතිතුමා සහ තවත් ගුරුවරු කීපදෙනෙක් ඇවිල්ල අපිට විදුහලේ ප්‍රධාන ශාලාවත් තවත් පන්ති කාමර දෙකක් පිළියෙල කරල තිබුනා.
අපිට අනුග්‍රහය දකවපු ශ්‍රී ලංකා රතු කුරුස සංගමයෙ බැනර් කීපයකුත් එල්ලා අපි වැඩේ පටන් ගන්න සූදානම් උනත් පළවෙනි බස් එක එතකනුත් ඇවිත් තිබුනේ නෑ. වැඩිය ප්‍රමාද වෙන එක හොඳ නැති නිසා අපි ඒ ලමයි එනකන් වැඩමුළුව පටන් ගන්නයි සූදානම් උනේ. විමලඥාණ විදුහලේ විදුහල්පතිතුමා හා ගුරුවරු කීපදෙනෙක් සහභාගි වෙච්ච රුස්වීමෙදි අපිට ලමයිනට අඳුන්වලා දීල අපිට වැඩමුළුව පටන් ගන්න අවසර දුන්නා.
විදුහල්පතිතුමා පිළිගැනීමේ කතාව කරමින්

මුලින්ම හැමෝම ඉස්සරහ අපේ Exploration Club එකේ අරමුණ පැහැදිලි කරමින් කතා කලේ ලසිත අයියා. ඊට පස්සෙ ලමයි කණ්ඩායම් 4කට වෙන්කලේ ඉගැන්වීමේ පහසුවට. කොටසකට ජ්‍යාමිතියක් කොටසකට කුලකත් කොටසකට වීජීය සමීකරණත් අනේක් කොටසට සංඛ්‍යාත් කරන්න තමයි අදහස් කලේ. අදාල කොටස් ඉගැන්වීමෙන් පසුව කණ්ඩායම් මාරු කරල නැවත උගන්වන්නයි තීරණය උනේ.

මම හිටියෙ ජ්‍යාමිතිය උගන්නපු කණ්ඩායමේ. මට බාරවෙලා තිබුනෙ නිර්මාණ උගන්නන්න. ඔන්න කට්ටියම තම තමන්ගෙ කණිඩායම් වලට උගන්නන්න පටන් ගත්තා.
ජ්‍යාමිතිය පන්තිය
ලහිරු සමග අස්රන් අයියා වීජීය සමීකරණය පංතියේ

ඒත් බස් එක ඒ වෙලාව වෙනකනුත් ඇවිත් තිබුනෙ නෑ. වෙලාවටම ධාරානිපාත වරුසාවකුත් පටන් ගත්තා. බින්නෑව ඉස්කෝලෙ ලමයි කොටසක් ටැක්ටරයකින්ද කොහෙද ප්‍රවාහන පහසුකම් සපයගෙන ඇවිත් තිබුනත් තම්බියාව ධර්මපාල ඉස්කෝලෙ ලමයි කව්රුත් ඇවිත් තිබුනෙ නෑ. පළවෙනි බස් එක නැති වීමත් වර්ෂාවත් ඔවුන්ට වැඩමුළුවෙ පළවෙනි දවස අහිමි කලා. අපි මෙහම උගන්නගෙන යද්දි තේරුන දෙයක් තමයි කණ්ඩායමේ කොටසක් ලමයින්ට කියල දෙන දේ තරමක් හෙමින් උනත් තේරුම් ගියත් තව කීප දෙනෙක්ට කියල දෙන දේ තේරෙන්නෙ නෑ. පස්සෙ හිමීට බලද්දි ඒක්කො සරල සමීකරණ, පොදු සාධක ගැන අවබෝධයක් නෑ.ඒ විතරක් නෙමෙයි ගුණ කිරීම අඩු කිරීම බැරි ලමයිනුත් හිටියා. මේ පාසල් වල ගණිතයට ගුරුවරු ඉන්නේ ඉතාම අල්ප වශයෙන්. සාමාන්‍ය පෙළට නම් ඇත්තෙම නෑ. ඒක නිසා දුර්වල ලමයා හැලිලම යනව ඇති. ඒත් අපිට ඒ ලමයි අත ඇරල දාන්න පුළුවන් කමක් නෑ. අපි ඒ දුර්වල ලමයි අනිත් අයට නොදැනෙන්න වෙන් කරල වෙනම කණ්ඩායමකට දැම්ම. ඒ ලමයිව සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් කිරීම අසීරු ඉලක්කයක් උනත් අපි ඔවුන්ට ජීවිතයට අත්‍යවශ්‍යම වන ගණිත කර්ම උගන්වන්න උත්සාහ කරා.
පාට රටහුණු කෑලි වලින් ගණන් කරන්න උගන්වමින්

කණ්ඩායමකට පාඩමක් කරන හර්ෂණ අයියා

අපේ අය මේ ලමයිනට උගන්වපු තිළිණ අයියා ප්‍රමුඛ කණ්ඩායමට කිව්වෙ Special task force එක කියල.
විශ්වාස නැද්ද මේ වීඩියෝ එක බලන්න

මම උගන්වපු කණ්ඩායම් හිටපු එක් පිරිමි ලමයෙක් ඉතාම ඉක්මනින් කියන දේ අල්ල ගත්තා. ඔහුට හොඳ හිතීමේ හැකියාවක් තිබුනා. ගුරුවරු ඉන්න හොඳ පාසලකට ගියා නම් ඔහු අනිවාර්යෙන් විශිෂඨ ප්‍රතිඵලයක් දානව. දෙවන වර විභාගය ගන්න ලමයිනුත් තරමක මට්ටමක හිටියා. ඉතිරි අය සහ ගැහුණු ලමයි දෙන්නා තරමක් හිමිනුයි කියන දේ අල්ල ගත්තේ. ඒ මේ ලමයින්ට අපි උගන්වන දේ තේරුම් ගන්න පුදුම උවමනාවක් තිබුන. රූප සටහනක් කළු ලෑල්ලෙ ඇන්දම ඔවුන් වෙන කොහේවත් බලන්නෙ නෑ ඒ රූපය දිහා මිසක්. ඔළුව කසමින් ඔවුන් ගණිත ගැටළු විසඳන්න උත්සාහ කලා. මම උගන්වපු කණ්ඩායමේ එක ගැහැණු ලමයෙක් ගාන විසඳන්න උත්සාහ කරල හෙම්බත් වෙච්ච මුහුණින් "තේරෙන්නෙ නෑ අයියා" කියනව මට තාම මතකයි. තව කළු කෙසඟ කොලු ගැටයෙක් ඔහු පැන්සල රූපය මත තිය තිය පුළුවන් තරම් උත්සාහ කරනවා. මල්ලි තේරෙන්නෙ නැද්ද කියල ඇහුවහම හිනා වෙලා "නෑ" කියනව. ඇත්තටම ඒක ඔවුන්ගෙ වැරුද්දක් නෙමෙයි. අපිට සිද්ධ උනා සම්පූර්ණ ගණිත විශය මාලාවම දවස් දෙකකින් උගන්වන්න. හරි නම් අවුරුදු දෙකකින් ඉගන ගන්න ඕන දේවල්. ඒත් ගණිත ගුරුවරයෙක් නැතිවෙන්න මේ දරුවො කරල තියන පව මොකද්ද?
ශශික අයියා යමක් කියා දෙමින්


අපි මේ වැඩමුළුව කරපු විමලඥාණ විද්‍යාලය පලාතේ ලොකුම ඉස්කෝලෙ. මේ පාසලෙත් සාමාන්‍ය පෙලට ගණිතයට ගුරුවරයෙක් නෑ. ලමයින්ට ගණිතය තරමක් හරි උගන්වල තියෙන්නෙ ඔවුන්ට ඉන්න එකම විද්‍යාව ගුරුවරයා. ඔහුත් ලඟදි පත්වෙලා ආපු තරුණ ගුරුවරයෙක්.
සා.පෙ ළමයින්ට විද්‍යාව ගණිතය විෂය දෙකටම සිටින එකම ගුරුවරයා

හොඳම කතාව තමයි තන්තිරිමලේ ඉඳල පැය දෙකක බස් ගමනකින් එහා තියන අනුරාධපුර පාසල් වල ගණිත විද්‍යාව ගුරුවරු අතිරික්තයක් ඉන්න එක. උදේ ඇවිල්ල හවස යන්නවත් මේ පාසල් වලට ඒ වැඩිපුර ඉන්න තැන් වලින් ගුරුවරු දෙන්න බැරි ඇයි. රටට අනාගතයක් හදන්න ඉන්න දක්ෂ දරුවො ටිකක් කැලේටම යට කරලා දාන්න හදන්නෙ ඇයි. අධ්‍යාපන කාර්යාල වලට වෙලා තිස් හතලිස්දාහ පඩි අරගෙන පුටු රත් කරන අධ්‍යාපන නිළධාරීන් මොනවද කරන්නෙ. මේ තත්වය මෙහෙම තියාගෙන වැඩමුළුවට අවසර ගන්න අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට ගිහිපු අපේ අයව එතනදි පැය 3ක් රස්තියාදු කරල අවසර දෙන්න බෑ කියල බොහොම ලොකු පාට් එකකුත් දාල තිබුනෙ.

දවස් තුනක් තිස්සේ අපි මේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගය සමත් කරවන්න පුළුවන් උපරිම උත්සාහ කරත් . අපි හිතාගෙන ආපු තරමටම හොඳට ඒක කරන්න පුළුවන් උනේ නෑ. අවුරුදු දෙකක දේවල් දවස් දෙකකින් උගන්වන එක කරන්න බෑ. ඒ නිසා අපි තීරණය කලේ ලබන අවුරුද්දෙ ඉඳල වාරයකට එක වැඩමුළුව වෙන්නෙ තන්තිරිමලේ පවත්වන්න. ඒතකොට වඩා සාර්ථක ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වේවි කියල අපි හිතනවා.

අපිට මේ කාරියයේදි නවාතැන් පහසුකම් සපයලා ආහාර පිළියෙල කරල දීල ලොකු සහයෝගයක් දීපු තන්තිරිමලය රජමහා විහාරයේ නායක හාමුදුරුවන්ට විශේෂයෙන් ස්තූති කරන්න ඕන. ඒ වගේම ලොකු කැපකිරීමක් කරලා මේ වැඩමුළුව සාර්ථක කරගන්න උදව් උනු අපේ UCSC එකේ තෙවන දෙවන පළමුවන වසර වල අයට බොහොම ස්තූතියි. අපිට මේ දේ කරලා පෞද්ගලිකව ලැබුනු කිසිම දෙයක් නෑ. ලැබුනා නම් මේ අසරණ ලමයින්ගේ අනාගතයට යම් උදව්වක් කලා කියල ලැබෙන සතුට විතරයි. නමුත් ඒ සතුට අපට බොහෝම වටිනවා. ඉස්සරහටත් මොන අමාරුකම් තිබුනත් අපි මේ වගේ දේවල් කරනවා. ඉතින් මේ සටහන කියවපු ඔබත් මේ දරුවන්ට යම් උදව්වක් කරන්න කියන එකයි මගේ ඉල්ලීම.
මේ සද්කාර්යට එකතු උනු අපේ කට්ටිය

Wednesday, December 2, 2009

Pen එකෙන් අධිවේගී operating system ස්ථාපනය


විනාඩි 4කින් OS එකක් install කරල තියනවද? මම ගිය සතියෙ මගේ යාළුවෙක්ගෙ laptop පරිගනකයට ubuntu 9.04 ස්ථාපනය කලා විනාඩි 4න්. මේ විනාඩි 4 කිව්වෙ ස්ථාපනය වෙන්න යන වෙලාව විතරයි හොඳඳ නම ගම පුරවන වෙලාව ගණන් නොගෙන. මොකද්ද දන්නවද මේ වේගයට හේතුව OS එක install කරන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන CD හෝ DVD තැටිය වෙනුවට මම පාවිච්චි කලේ මගේ USB Pen drive එක. ගින්දර වගේ වේගවත්.(මේක මාසෙකෙට විතර කලින් මම අන්තර්ජාලයෙන් හොයාගෙන කලත් හරි ගියේ නෑ. ආයෙ කරල බලන්න හේතුව උනේ අපේ කජ්ජා(තරිඳු) ගේ මතක් කිරීම) මෙහෙමයි කලේ.

මම පාවිච්චි කලේ Unetbootin කියන මෘදුකාංගය. මෙතනින් බාගන්න පුළුවන්. ඒතකොට executable ගොනුවක් ඔබට ලැබේවි. මුලින්ම මේ විධානය දීලා ගොනුවේ permission වෙනස් කරගන්න.

$sudo chmod 777 unetbootin777

මෙතන chmod කියන විධානයෙන් කරන්නෙ ඒ ගොනුවට access දීල තියන විදිහ වෙනස් කිරීම. linux වල පරිශීලකයන් කොටස් 3ක් විදිහට සලකනවා. ඒ root, group සහ other විදිහට. ඒ තුන් දෙනාටම 7 කියන permission එක දෙන්න කියලයි විධානයෙන් කියන්නෙ. ඒ 7 එන්නෙ මේ විදිහට.
permission අවස්ථා තුනක් තියනව. read, write, execute කියල. මේ එක් එක් අවස්ථාව ලැබීම හෝ නොලැබීම binary විදිහට නිරූපනය කලොත්

read write execute
1 1 1

මෙතනදි අවස්ථා තුනටම අවසර දීල. එතකොට ලැබෙන 111 කියන binary සංඛ්‍යාව decimal කලොත් 7 නේද? තව උදාහරණයක් බලන්න. read සඳහා විතරක් අවසර දෙන අවසථාවක්.

read write execute
1 0 0

එතකොට එන්නෙ 4 කියන සංඛ්‍යාව. මේ විදිහට හැම file එකකටම permission set කරන්න chmod වලින් පුළුවන්. හරි දැන් permission හැදුවනේ . දැන් run කරමු.

./unetbootin-linux-377

එතකොට මේ window එක ලැබේවි.
මේකෙන් අවශ්‍ය මෙහෙයුම් පද්ධතියත්(distribution කියන තැන) අදාල iso file එකත් ලබා දීල ok කලාම හරි. drive කියන තැනට ඔබේ pen එක තෝරල දෙන්න.

මෙතන ඔබේ pen එක sdb1 කියල කියන්නෙ ඇයි කියල දන්නවද? linux වලදි පරිගනකයට සම්බන්ධ කරන storage media "sd" කියන අකුරු දෙකත් තව අකුරකිනුත් තමයි හඳුන ගන්නෙ. පහත විධානය දීල බලන්න.

$ls /dev

මෙතනදි ඔබේ පරිගණකයේ ඇති devices සඳහන් ගොනුව list කරල ඔබට පෙන්නනවා. ls කියන්නේ list කියන එක.
මෙතන sda කියන්නෙ මගේ hard disk එක. ඒකෙ partition sda1,sda2 විදිහට පෙන්නනවා. ඊළඟට sdb කියල අඳුර ගන්නෙ මගේ pen එක. ඒක sdb1 කියන තනි partition එකක් විදහට තියෙන්නෙ.

ආපහු අපේ කතාවට එමු. දැන් iso එක pen එකට extract වේවි. ඒ වගේම pen එකට boot loader එකකුත් install වෙනවා. දැන් සාමාන්‍ය විදිහට පරිගනකය restart කරල BIOS වලට ගිහින් boot sequance එකේ මුලට USB HDD කියන එක දෙන්න. නැවත පරිගනකය පණගැන්වීමෙදි ඔබ bootable බවට පත් කරපු pen එක සම්බන්ධ කරල තිබ්බහම සාමාන්‍ය විදිහට live CD එකක් වගේ(ලිනක්ස් නම්) boot වේවි. bootloader එකෙන් පළවෙනි option එක තෝරන්න අමතක කරන්න එපා. මෙහෙම pen එක bootable කලා කියල කිසි ප්‍රශ්නයක් නෑ. තමන්ගෙ සාමාන්‍ය දත්ත තියාගන්න පුළුවන් pen එකේ කිසි අවුලක් නෑ. දැන් මම හැම තැනම අරන් යන මගේ පෞද්ගලික් pen එක ubuntu 9.04 වලින් bootable කරලයි තියෙන්නෙ. කව්රු හරි දාල දෙන්න ඇහුවද විනාඩි 5න් දැම්ම. ඔයගොල්ලොත් බලන්න කොහොමද වේගෙ කියල......