Sunday, July 25, 2010

තොරතුරු තාක්ෂණ දැනුම බෙදා දීමට දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට ගිය ගමන



ඔන්න ඉතින් ආයෙ කාලෙකට පස්සෙ බ්ලොග් කෙරුවාවට බහින්නයි යන්නෙ.ලියන්න බැරිවෙන්න හේතුව ආයෙ අයෙ මන්තරේ වගේ ලියන්න ඕන නෑනෙ නේද Assignments, Exam තමයි හේතුව. ඔන්න ඉතින් දෙයියනේ කියල ගිය සිකුරාදා STAT වලින් සමාසිකයේ මහා සංග්‍රාමය හෙවත් විභාගෙ ඉවර උනා. වරදක් නෑ දෙයියනේ කියල ඔක්කොම වගේ අවුලක් නැතුව ලියා ගත්තා. ඒ අතරෙ සතියෙන් පාඩම් කරපුවා, දවස් දෙකෙන් පාඩම් කරපුවා එහෙමත් තිබුනා confused.

මේ ලියන්න යන්නෙ ඒව ගැන නෙමේ. විභාගෙට කලින්ම CompSoc එකට(කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක තාක්ෂණ සංගමය) ආරාධනාවක් ඇවිත් තිබුනා දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලෙන් ICT සහ GIT කියන විශයන් වෙනුවෙන් දවස් තුනක වැඩමුළුවක් පවත්වන්න කියල. වැඩමුළුවක් කිරීම ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නොතිබුනත් අපිට ප්‍රශ්නයක් උනේ කාලය මොකද විභාගෙ කාලය තුලදි අපිට වැඩමුළුවට සූදානම් වෙන්න බෑ. ඔවුන් වැඩමුළුව ඉල්ලන්නෙ 19,20,21 කියන දවස් වල. අන්තිමේදී තරමක් අසීරු කටයුත්තක් උනත් අපි එකඟ වුනා ඒ දවස් වල වැඩමුළුව කරන්න. මෙහෙම එකඟ උනත් අන්තිම මොහොම වෙනකම්ම තරමක් අවිනිශ්චිත භාවයක් ගමන ගැන තිබුනා. මොකද කොළඹ ඉඳල දෙහිඅත්තකණ්ඩියට යන්න ගමන් පහසුකම් මොකද කරන්නෙ. පොදු ප්‍රවාහන සේවයක අපේ දවස් තුනකට ඇඳුම්, Laptop, සපත්තු ඔක්කොම උස්සගෙන යන්නෙ කොහොමද? අනිත් අතට අපේ සංගමයෙ අරමුදලේ පහුගිය ගුරුවරු පුහුණු කිරීමේ වැඩමුළුවෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුනෙ රුපියල් 1000කට අඩු ගානක්. මේ වෙලාවෙ අපිට උදව්වට ආවෙ Microsoft Student Champ එක. ඒ හරහා ඔවුන් අපිට ගමනාගමය පහසුකම් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දක්වන්න එකඟ වුනා. ඒ අනුව හැමදාමත් CompSoc එකේ ගමන් බිමන් වලට යන හේමන්ත අයියාගේ Nissan Caravan වෑන් රථයේ අපි ගිය ඉරිදා(18) පිටත් උනා දෙහිඅත්තකණ්ඩියට යන්න. අපේ ගමන් මාර්ගය උනේ පොළොන්නරුවට ගිහින් එතනින් දෙහිඅත්තකණ්ඩියට. උදේ 10ට විතර කොළඹින් පිටත් වෙච්ච අපි දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට එනකොට හවස 6 විතර වෙලා. ගුරුවරු එක්ක කතා බහ කරලා ලමයි ප්‍රමාණය කොච්චරද ගන්න පුළුවන් පන්ති කාමර පහසුකම් මොනවද කියල දැනගෙන අපි ගියේ අපිට නවතින්න සූදානම් කරල තිබුන මහවැලි සංචාරක බංගලාවට.

අපේ නවාතැන තිබුනෙ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දුරින්. අපරාදෙ කියන්න බෑ තැන නම් ඉස්තරම්. මේ තැන අපි වෙනුවෙන් ලෑස්ති කරල විය හියදම් දරල තියෙන්නෙ මහවැලි අධිකාරිය. වැඩමුළුව පස්සෙන්දා පටන් ගන්න ඕන නිසා අපි කලින්දා රෑ එළි වෙනකම්ම කලේ ඒකට හොඳ සැලැස්මක් හදන එක.
ලමයි 100ක් 150ක් එකට අරගෙන උගන්නන එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එතකොට කොටසක් පාඩමින් පිට යනවා. ආම්බාන් කරන්නත් අමාරුයි biggrin. ඉතින් අපි 10 සහ 11 වසර කණ්ඩායම් දෙකකටත් 12 වසර කණ්ඩායම් හතරකටත් බෙදුවා. ඉන් පස්සෙ උගන්නන පාඩම් අපි කට්ටිය බෙදා ගත්තා. එතකොට පැය 2කින් පාඩම ඉවර කරලා තව කණ්ඩායමක් එක්ක මාරුවෙන්න ඕන. එහෙමයි සැලසුම හැදුවේ. මේව කරන කොට ඉතින් රෑ වෙනවනේ නිදි මත හැදෙනවා. ඉතින් මෙතන බලාකියාගන්න ආනන්ද අයියා අපිට කහට එහෙම හදලා තියලයි ගියේ. ඕක ඉතින් සීනි දාල අපිට හදල දුන්නෙ අපේ අසංක(සාදු razz) තමයි. ඔය තේ හදන හැටි කියල දුන්නෙ මාතර පැත්තෙ වොඩ්කි කියල බවලත් කෙනෙක් කියනවනේ.
පස්සෙන්දත් උනා කියමුකෝ. ඉස්කෝලෙට ගිහින් පොඩි රැස්වීමක් තියල හෙම අපි ලමයින්ට අඳුන්වල දීල ඔන්න ඉතින් වැඩ මුළුව පටන් ගත්තා.
පළවෙනි දවසෙ මට උගන්නන්න තිබුනෙ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන පාඩම් කීපයක එකතුව. වැඩේ ටිකක් අමාරු කියල තේරුනේ සමහර ලමයි ජීවිතේට පරිගනකයක් අල්ලලාවත් නෑ. IT period එකත් කට් කරලා. ඉතින් ගොඩක් දේවල් අ යන්නෙ ඉඳලම කියල දෙන්න උනා. ඒ මට තේරුන දෙයක් තමයි ලමයි ගොඩක් ආසාවෙන් උනන්දුවෙන් කියන දේවල් අහගෙන හිටියා. කෑගැහුවේ කරදර කලේ නෑ. ඉතින් අපිත් අපේ උපරිමයෙන් ඔව්න්ට පාඩම් ටික දේවල් කියල දුන්නා.

මගේ ඉන්ටර්නෙට් සහ ඊ මේල් පාඩම
චතුරංග(හුරේ) ඉගැන්නුවේ Computer Hardware
Logic gates උගන්නපු මෝදිත(පෝමලා)
නුවන් මල්ලිගෙන් logical expressions
අසංක සහ අනිල් Networking කියාදෙමින්
ඔෂාන් 10,11ට පාඩමක් කරමින්
චතුරංග Visual Basic
කළිඳුගෙන්
තව පොඩ්ඩෙන් අමතක වෙනව අපේ කේෂාන් සහෝදරයත් VB කලා නෙව
මේ ඉන්නෙ අපි කස්ටියම කැමරාව timing කරලයි මේ photo එක ගත්තෙ

ඉතින් ඔහොම ඉස්කෝලෙ ඉවර වෙනකම් ලමයින්ට ඉගැන්නුවා කියමුකෝ. ඉස්කෝලෙ ඉවර උනාම තව රාජකාරික් තිබුනා. ඒ ඉස්කෝලෙ I.T ගුරුවරුන්ට web designing තව workshop එකක් කලා.ඒක ඉවර වෙනකොට රෑ 8 විතර.
ඔන්න ඔහොමයි ඉතින් වැඩ සටහන ගියේ. පලවෙනි දවසෙ තමයි අපිට දැන ගන්න ලැබුනෙ තුන්වෙනි දවස ඒ කියන්නෙ 21 අපිට 10 සහ 11 ලමයි ගන්න බෑ මොකද ඒ අයට විභාගෙ යෙදිල තියන නිසා එදා. ඒ නිසා දෙවනි දවසෙ සැලැස්ම සකස් කරන එක සෑහෙන අමාරු වැඩක් උනා. අන්තිමට flash වගේ ප්‍රශ්න අඩුවෙන් එන කොටස් ඉවත් කරලයි. සැලැස්ම හදා ගත්තෙ. ඉතින් දෙවනි දවසෙන් අපි 10 සහ 11 වසර වලට උගන්නන එක අවසන් කලා. පස්සෙ ආරංචි උන හැටියද O/L කොල්ලො කෙල්ලො විභාගය කල් දාල ඒ කියන්නෙ ඒ අයට කලාපෙ පේපර් එන නැතිව වෙනම පේපර් එකක් දීල වැඩමුළුවෙ තුන් වෙනි දවසත් ඒ අයට දෙන්න කියල විදුහල්පතිතුමාගෙන් ඉල්ලුවලු. කොහොම උනත් ඒක නම් කරන්න උනේ නෑ.


විදුහල්පතිතුමා ගුරුමණ්ඩලයේ කොටසක් සමග අපි කට්ටිය

තුන්වෙනි දවස වෙනකොට අපිට තිබුනෙ A/L GIT වල ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම. ඊට අමතරව කලාපෙ ගුරුවරු එකතු කරල දවසක වැඩමුළුවක් ගුරුවරුන්ටත් සංවිධානය කරල තිබුනා. ඒකෙ අපි ප්‍රධාන වශයෙන් කියල දුන්නෙ උබන්ටු OS එක install කරගෙන පාවිච්චි කරන විදිහත් joomla පාවිච්චි කරල web site එකක් හදාගන්න විදිහත්. මේ දවස බදාදනේ. ඒ කියන්නෙ අපි CompSoc එකෙන් සතිපතා කරන "ඉන්ටර්නෙට් සම්පත් භාවිතය" ගුවන් විදුලි වැඩසටහන විකාශය වෙන දවස. වැඩසටහන නිවේදනය කරන ගුවන්විදුලියෙ ජයසිංහ අයියා කලින් දවසෙ මට කතා කරලා කිව්වා අපි සජීවීම පාසලේ ඉඳල දුරකතන මාර්ගයෙන් වැඩසටහනට සම්බන්ධ වෙමු කියල. ඒ අනුව මමත් පාසලේ විදුහල්පතිතුමත් උසස් පෙළ ශිෂ්‍යාවකුත් වැඩසටහනට සජීවීව කතා කලා. අපූරු වැඩේ කියන්නෙ ඊට ටික වෙලාවකට පස්සෙ හැමදාම මේ වැඩසටහන අහන අතුල අබේරත්න කියල ඒ කිට්ටුව සිරිපුර කියන ප්‍රදේශයේ ඉන්න මහත්මයෙක් වැඩසටහනින් දැනගෙන අපි දෙහිඅත්තකණ්ඩියෙ ඉන්නව කියල ආව ඉස්කෝලෙට. ඒ මහත්මයත් ස්වෙච්ඡාවෙන් පරිගනක අධ්‍යාපනය ලමයින්ට දෙන කෙනෙක්. මේ වැඩමුළුව ගැන මේ මහත්මයා අපිට බොහොම ස්තූතිවන්ත වුනා. පස්සෙ විදුහල්පතිතුමාගෙ අවසරය ඇතුව මේ මහත්මයත් සම්බන්ධ වුනා වැඩමුළුවට. ඉතින් තුන්වෙනි දවසෙ වැඩමුළුව අවසන් කරපු එක තමයි කරන්න වුන අමාරුම දේ. මොකද ඒ දවස් තුනට මේ ලමයි අපේම නංගිලා මල්ලිලා වෙලා හිටියා. අන්තිමට සිංදුවක් දෙකක් කියලා පොඩි විනෝදයක් දීලයි වැඩේ ඉවර කලේ. මේ ලමයි ටික කොච්චර අපිත් එක්ක එකතු වෙලාද කියනවනම් අන්තිම last final සින්දුම තුනක් විතර කියන්න වුනාlol.

මේ වැඩමුළුවෙදි මම සහ අපේ අය උගන්නනවට අමතරව තව දෙයක් මේ ලමයින්ට දෙන්න උත්සාහ කලා. ඒ තමයි මේ ලමයි ගොඩක් අයට අනාගතේ ගැන ඉලක්කයක් තිබුනේ නෑ. ඉගනගෙන මොකද කරන්නෙ කියල ඒ අය දැනගෙන හිටයෙ නෑ. විශ්ව විද්‍යාලයට යනව කියල අධිෂ්ඨානයක් ඔවුන්ට ඇතිකරගන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඒත් ඔවුන්ට හීනයක් තිබ්බා. ඒකයි පන්ති වල උගන්නන කොට ආපු චිට් වල තිබුනෙ "අයියෙ කැම්පස් එක ගැන කතාවක් කියන්න කියල". අපි ඔවුනට පෙන්නල දුන්න කැම්පස් එක කියන්නෙ මොන වගේ තැනක්ද කියල. සුන්දර විශ්ව විද්‍යාල ජීවිතෙන් අත්දැකීම් කීපයක් ඔවුන් එක්ක බෙදාගත්තාම ඔවුන් බොහොම සංවේදී විදිහට ඒව අහගෙන හිටිය. හොඳට ඉගන ගෙන අම්ම තාත්ත තමන් වෙනුවෙන් කරපු කැපකිරීම් වෙනුවෙන් යමක් ආපහු දෙන්න කියල කිව්වාම ඔවුන් ඇහැ අගට ආපු පුංචි කඳුලකුත් එක්ක ඒව අහගෙන හිටියා. අපි ඔවුන්ගෙන් ගනිපු feedbacks කියෙවුවාම අපිට තේරුනේ අපි ඔවුන්ට දෙන්න උත්සාහ කරපු පණිවිඩේ හිතුවටත් වඩා හොඳට ඔවුන් අතරට ගිහින් තියනවා. ගොඩක් අය කියල තිබුනා GIT විභාගෙ ලියන්න නෙමෙයි හිටියේ ඒත් මේ පාර අනිවාර්යෙන් ලියනව කියල. අපි ඔවුන්ගෙ විශ්ව විද්‍යාල සිහිනයට ජීවයක් දුන්න කියල ගොඩක් අය ලියල තිබුනා. මේව කියවනකොට අපේ වෑයමේ සාර්ථක බව දැකල අපේ ඇස් වලටත් කඳුලක් ආව ඇත්තටම.

අන්තිමට අපේ නවාතැනේ අපිට කෑම බීම සකස් කරල දීපු ආනන්ද අයියත් දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ විදුහල්පතිතුමා විශේෂයෙන් මේ වැඩමුළුවට ප්‍රධාන වෙලා කටයුතු කරපු නදීකා ශ්‍රීපාලී ගුරුතුමියත් මතක් කරන්න ඕන. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ වෑන් රථයේ රියදුරු නැත්තම් අපේ අය කියන විදිහට අපේ මැනේජර් හේමන්ත අයියත් මතක් කරන්නම ඕන.
මේ සද්කාර්යට දායක වුන UCSC එකේ අපේ කට්ටිය

16 comments:

  1. සිරා වැඩක් මචං ඉස්කෝලෙ තත්වය ගැන දන්නෙ ගිය උඹලානේ නැති තැනට ඇති දේ දෙන එක පිනට වඩා සමාජ මෙහෙවරක් කියන එකයි වැදගත්..

    ReplyDelete
  2. සිරා සිරා! ඉස්කෝලේ හිමිජ්ජා වගේ හිටිය සුසියා මාර වැඩකාරයෙක් වෙලා නෙව. (දැං ඉතින් පෞද්ගලික ද්වේශ සහගත එකක් කියලා මේක මකන්න එපා)

    අර චීන කියමනක් තියෙන්නේ "අඳුරට සාප කරන්නේ නැතුව එක ඉටි පහනක් හරි දල්වන්න කියලා" මේ සහෝදරයින් කරලා තියෙන්නේ දැල්වුනු ඉටිපන්දමක් දීලා එතනින් නවතින්නේ නැතුව ඒ එළියෙන් තව ඉටිපන්දම් සොයාගන්න උනන්දුව ඇති කරපු එක. GIT ප්‍රතිඵල ආවම මේ නංගිලා මල්ලිලා ගැන විපරම් කරලා බලන්න. කොල්ලෙක්ව කෙල්ලෙක්ව විභාගයකින් ගොඩදාලා දුන්නම ඇති වෙන සතුට මම ඉතින් සරසවි සිසුනට ආයෙ මතක් කරලා දෙන්න ඕන නෑනේ. ඒ දැනගෙන මේ බ්ලොගයෙත් ලියන්න අපිටත් කියවලා සතුටු වෙන්න.

    ආයෙමත් කියන්නේ වැඩේ නම් පංකාදුයි!

    ReplyDelete
  3. වැ‍ඩේ නියමයි.

    ReplyDelete
  4. ඉතාමත් අගය කල යුතු සහ අපේ විශ්වවිද්යාල තුලින් විය යුතු දෙයක්...
    එකිනෙකා මරා ගන්න වැය කරන හයිය මේ වගේ වැඩකට යොදවනවනම් පංකාදුයි!

    ReplyDelete
  5. ඔබලාගේ සේවාව ඉතාම ප්‍රසංශනීයයි.

    ReplyDelete
  6. Excellent!
    Really great work done with a great effort!! :)

    ReplyDelete
  7. නියමෙටම නියමයි....
    ඔබ සියළු දෙනාටම ජයෙන් ජය අත්වේවා...

    ReplyDelete
  8. හොඳයි හොඳයි දෙහි අත්තකණ්ඩියේ විතරක් නෙවෙයි උඹලට ඉඩතියෙන් වෙලාවල් වලට දුෂ්කර පාසල් වලට ගිහින් මේ වගේ වැඩසටහන් කරනවනම් තමා හොඳ මචන් ළමයින්ට නෙවෙයි තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ටයි මේ දැනුම දෙන්න ඕන..මොකද වැඩි පිරිසක් ගහන්නෙ බයිලා..හේතුව විද්‍යාපීඨ වල දේශන ඒ අයට පුමාණවත් නැති එක

    ReplyDelete
  9. ඔබ සියලු දෙනාටම තව තවත් මෙවන් දේ කිරීමට හැකිවේවා..

    ReplyDelete
  10. බොහොම ස්තූතියි කට්ටියටම ප්‍රතිචාර වලට. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියනවනේ. අපි කරන්නෙ අපේ යුතුකම.

    මේ දෙහිඅත්තකණ්ඩිය වගේ ප්‍රදේශ දුෂ්කරයි කිව්වට දුෂ්කරම නෑ ඇත්තටම.ප්‍රශ්නෙකට තියෙන්නෙ නගරයෙන් දුර එකයි. ගමනාගමනය බොහොම අමාරුයි. පොදු ප්‍රවාහන මාධ්‍ය බොහොම අඩුවෙන් තියෙන්නෙ.
    ඊට අමතරව අනෙක් පහසුකම් ඔක්කොම වගේ තියනවා. මොබිටෙල් 3G සංඥා පවා තියනවා මේ ප්‍රදේශයට(ඩයලොග් නම් නෑ) වැඩේ තියෙන්නෙ මේ පැත්තේ දරුවෝ දුෂ්කරයි කියන එක හිතට අරගෙන අර කියලා කියලා එහෙමම වෙනවා වගේ. සීමිත පහසුකම් තිබුනත් අන්තර්ජාලය පරිගනක පාවිච්චි කරන්න ඔවුන්ට උවමනාවක් නෑ. වැඩක් නෑ වගේ කියල හිතනවා. අපි අන්න ඒ ආකල්පය වෙනස් කරන්න ගොඩක් උත්සාහ කලා.

    @තිසර ප්‍රියංකර
    ඔව් ඔව් අපි ඒ දේ කරන්න නිතරම උත්සාහ කරනවා. පහුගිය මාසෙ කොළඹ IT ගුරුවරු 200කට අපි වැඩමුළුවක් කලා. දෙහිඅත්තකණ්ඩියෙත් අපි කලාපෙ ගුරුවරුන්ට එන්න කියල අන්තිම දවසෙ වැඩමුළුවක් කලා.

    ReplyDelete
  11. මෙන් න මෙවට තමයි වැඩ කියන්නේ.මගෙනුත් සුභ පැතුම්....

    ReplyDelete
  12. නියම වැඩක් පුළුවන්නම් දිගටම කරපල්ලා....පිං අත්වෙනවා
    මරුවා

    ReplyDelete
  13. නියමයි මචං...අපි කාගෙනුත් වෙන්න ඕන යුතුකමක්..මිනිස්සු හැටියට අපි කරන්න ඕන ඒදණ්ඩෙන් එගොඩවෙලා තව එකෙක් ඒවි කියලා ඉරිසියාවෙන් ඒදණ්ඩඩ පයින් ගහලා වතුරට දමන එක නෙවි..තව දහස් ගාණකට එතරවෙන්න පුළුවන් විදියේ පාළමක් හදන එක..ඒ බැරිනම් අඩුම ගානේ එතෙනට තව දණඩක් හරි ගෙනැත් දමන එක...ඉතින් උඹලා ඒ යුතුකම ඉටුකරන්න ගනිපු සාර්ථක උත්සාහයට මගෙන් සුභ පැතුම්!!!!
    මේ වගේ සත්කාරයන් දිගට ම කරගෙන යන්න උඹලට ශක්තිය ධෛර්ය්‍ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...!!!
    ජයවේවා!!!

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.