Friday, September 25, 2009

ඔබේ පරිගනකයට නිවැරදිව Ubuntu ස්ථාපනය කරගනිමු.


ගොඩක් කාලෙකට පස්සෙ මම ආයෙත් technical post එකක් ලියන්නයි යන්නෙ. මේ මම ටික කාලෙකට කලින් වෙච්ච පොරොන්දුවක්. කැම්පස් එකේ ඇකඩමික් වැඩයි තව අපේ පොඩි එවුන්ගේ වැඩයි(ඒ කිව්වෙ අපේ jouniorsලාගේ) නිසා මේක ලියන එක දවසින් දවස කල් යමිනුයි තිබුනේ. අනිත් එක පහුගිය දවස් වල වයිරස් උණක් හැදිල ජීවිතේ එපා වෙලා හිටියෙ. දැන් යන්තම් හොඳයි. හරි හරි ඔන්න වල් පල් ඇති වැඩේට බහිමු.

ලිනක්ස් නවකයින්ට හොඳම මෙහෙයුම් පද්ධතියක්නේ උබුන්ටු. ඒත් සමහරු උබුන්ටු install කරගන්න හැටි හරියට දන්නෙ නෑ. මේක අමාරු දෙයක් නෙමෙයි මට තේරෙන විදිහට වින්ඩෝස් install කරනවටත් වඩා මේක ලේසියි. ඒක ඔප්පු කරන්නත් එක්ක උබුන්ටු පරිගනයක ස්ථාපනය කරගන්න විදිහ තමයි මේ කියන්න යන්නෙ.මුලින්ම තමන් සතුව Ubuntu CD/DVD එකක් හෝ Super Ubuntu DVD එකක් තියෙන්න ඕන.

ගොඩක් අයගේ hard disk එකේ ජනේලයක්(windows) හයි කරලා තියෙන්න පුළුවන්නේ :-> . එහෙම නම් මුලින්ම ඒ අය ලිනක්ස් ස්ථාපනය සඳහා partition එකක් නිදහස් කරගන්න ඕන. 10GB තිබ්බනම් ඉහටත් උඩින්. අපි මෙහෙම හිතමු තියෙන්නෙ 40GB partition 3ක් නම්. අවුලක් නෑ. එක partition එකක් free කරගන්න. Mycomputer right click කරලා Manage ගිහින් ඒකෙන් disk management යන්න. ඔබේ දෘඩ තැටිය දැනට partition වෙලා තියන හැටි එතනදි පෙන්නාවි. දැන් අර හිස් කර ගත්තු partition එක delete කරලා එතන 30GBක partition එකක් හදාගන්න. තව 10ක් ඉතිරිනේ partition නොකරපු space එක විදිහට ආන්න එතනට තමයි අපි උබුන්ටු දාන්න යන්නෙ. මුළු hard disk එකම erase කරලා ලිනක්ස් විතරක් දාන්න යන අය ඉන්නවනම්(මේ මම වගේ) මේ මුකුත් කරන්න ඕන නෑ කෙලින්ම ඊළඟ පියවරට යන්න පුළුවන්.

දැන් අදාල Ubuntu තැටිය පරිගනකයට ඇතුල් කරලා ක්‍රියාත්මක කරන්න. මතක ඇතුව first boot device එකට CD/DVD ROM එක දාලා තියන්න. දැන් පරිගනකය CD එකෙන් boot වෙමින් මේ වගේ screen එකක් පෙන්නාවි.

default select වෙලා තියන english ම තියෙන්න ඇරල enter කරන්න(කඩ්ඩ හොඳටම තේරෙන්න ඕන නෑ යංතං සංතං ඇති :D). එතකොට පහත window එක ඔයගොල්ලොන්ට ලැබේවි.

Ubuntu install වෙනකම් පොඩි game එකක් එහෙම ගහන්න කැමති නම් පළවෙනි option එක තෝරන්න නැත්නම් දෙවනි එක තෝරගන්න. පළවෙනි එක තෝරපු අය පහල පින්තූරෙ වගේ සාමාන්‍ය ubuntu desktop එකකට ඒවි.මේ OS එක live CD එකෙන් boot වෙලයි තියෙන්නෙ. සාමාන්‍ය ubuntu ස්ථාපිත මැෂින් එකක කරන ඕන දෙයක් මේකෙත් කරන්න පුළුවන්. හැබැයි ටිකක් හිමීට වැඩ මොකද තනිකරම RAM එකෙන් වැඩ කරන නිසා.

දැන් ඔය install කියන icon එක තෝරන්න. දැන් ලැබෙන window එක තමයි අර මුල් menu එකෙන් install ubuntu තෝරපු අයට desktop එකට එන්නෙම නැතුව ලැබෙන්නෙ.
default එන විදිහටම English තියෙන්න ඇරල forward click කරන්න. පස්සෙ ඕන නම් සිංහලට මාරු කරගන්න බැරියැ. දැන පල්ලෙහා image එකේ වගේ window එකක් ලැබේවි.
Region සහ City දෙක රූපයේ විදිහට තෝරලා Forward යන්න.
මෙහේ සාමාන්‍යයෙන් තියෙන්නෙ USA layout එක තියන keyboard නේ. ආයෙ Fordward කරන්න. එපා වෙනවා නේද මොන්ටිසෝරි වැඩක් වගේනේ. :D
මෙතනින් මතක ඇතුව Specify partitions manually කියන අවසාන option එක තෝරල forward කරන්න.
දැන් තමයි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මෙතන ඔබේ hard disk එක දැනට partition වෙලා තියන විදිහ සහ ඒවායේ විස්තර පෙන්නනවා.ලිනක්ස් OS එකක් install කරද්දි මූලිකවට swap area එකත් root partition එකත් හදා ගන්න ඕන. අපි කලින් ඉතිරි කරලා තියපු 10GBක free space කොටස තෝරන්න. (අළුත්ම hard එකක් පාවිච්චි කරන අය මුලින්ම /dev/sda තෝරල create new partition කියන තැන click කරන්න.)දැන් new partition කියන button එක click කරන්න. එතකොට පහත පින්තූරෙ වගෙ එකක් ලැබේවි.
swap එකේ size එක සාමාන්‍යයෙන් RAM එක වගේ දෙගුණයක් දෙන්න කියලයි කියන්නෙ. ඒත් 2GB වගේ RAM තියන අය ඒ වගේ දෙගුණයක් දෙන්න එපා. උපරිම 1000MB swap එකට දුන්නම ඇති. පහල use as කියන තැනින් swap area කියන එක තෝරල OK කරන්න.
ඊළඟට ඉතිරි free space එක තෝරල ආයෙ new partition ගිහින් අවම 8GB වගේ වෙන්න ext3 partition එකක් හදා ගන්න. මේක use as කියන තැනට / දෙන්න ඒ කියන්නෙ root. කැමති නම් /home එක වෙනම හදල දෙන්නත් පුළුවන්. එතකොට ආයෙ linux install කරන්න උනොත් තිබ්ච්ච data වලට හානියක් වෙන්නෙ නෑ. මම කලින් කිව්ව වගේ ඔය ගොල්ලො වින්ඩෝස් වල 30GB විතර partition එකක් delete කරල linux වලට partition හැදුව නම් තව සෑහෙන ප්‍රමාණයක් free space විදිහට ඉතිරි ඇතිනේ. ඒක තියෙන්න අරින්න පස්සෙ ඒක වින්ඩෝස් වලින් ntfs වලට format කරගන්න. අනිත් දේ තමයි දැන් මෙතන අළුත් partiton පෙන්නුවට තාම hard එකේ partition හැදිල නෑ. preview එකක් විතරයි පෙන්නන්නෙ. තව ඉස්සරහදි උබුන්ටු install කරන්න දුන්නහම තමයි මේව disk එකට save කරන්නෙ. දැන් partiton හදල ඉවර නම් forward යන්න.
දැන් ලැබෙන window එකේදි නම username එක passward එක එහෙම දීල forward යන්න. auto login දෙන්න එපා. එක භයානකයි එතකොට ඕන කෙනෙකුට machine එකට log වෙන්න පුළුවන්.
අන්තිමට අපි දීපු ඔක්කොම තොරතුරු සාරාංශ කරල නිවැරදිද කියල අහනව install කරන්න කලින් මෙතනින් install කියල දුන්නම අර partition එහෙම හැදිල OS එක install වෙනව.
මේක install වෙන්න යන වෙලාව machine එකේ processer speed එක RAM එක මත වෙනස් වෙනව. Core2Do වගේ එකක නම් විනාඩි 12කින් විතරත් install වෙනව. අර මුලින් live cd එකෙන් machine එක boot කරගෙන install කරපු අයටනම් OS එක install වෙනකම් game එකක් ගහන්නත් පුළුවනි.
install වෙලා ඉවර උනහම restart කරන්න කියල massage එකක් ඒවි. එතකොට restart click කරන්න. CD තැටිය ඉවත් කරන්න කියල machine එක restart වේවි. ඔන්න ඔයගොල්ලෝ Ubuntu නිවැරදිව ස්ථාපනය කරගෙන ඉවරයි. වින්ඩෝස් install කරනව තරම් අමාරු නෑ නේද. මේ පෝස්ට් එක ටිකක් විතර අච්චාරුවක් වගේද මන්දා :D. පිළිවෙලටම ලියන්න තරම් වෙලාවක්නෑ. ඒකට සමාවෙන්න. අර්බුදයක් තියනවනම් comment එකක් දාල යන්නකෝ.

දැන් ඉතින් මම කලින් ලිව්ව post වල විදිහට කැමති විදිහට ubuntu හැඩ කරගන්න එකයි තියෙන්නෙ.


Monday, September 7, 2009

මඩොල් දූවට විනෝද චාරිකාවක්.....


අපේ ගාලු චාරිකාවෙ දෙවනි කොටසයි මේ ලියන්න යන්නෙ. දෙවනි දවසෙ අපි හිතාගෙන හිටියෙ මූලිකවම මඩොල් දූවෙ යන්නත් මුහුදෙ නාන්නත්. මොකද අපේ නුවර සගයො දෙන්නට මුහුදෙ නානකම් ඉවසුමක් නෑ. අපි මේ මඩොල් දූවෙ ගිහිපු මේ විස්තරේ අනාගතයෙ මඩොල් දූවට විනෝද චාරිකාවක් එන්න හිතාගෙන ඉන්න අයටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.

දෙවනි දවසෙ උදේම(ඒ කිව්වෙ 8ට විතර :D) අපි පිටත් උනා ගාල්ලෙන්. අපිට ප්‍රවාහන පහසුකම් දෙවනි දවස සඳහා සැපයුවෙ සිංහගිරි ව්‍යාපාර සාදර අනුග්‍රහයෙන් කියල මතක් නොකලොත් ඒක ලොකු අඩුවක්. එක එල්ලෙගෙ town ace වෑන් එක තමයි අපි ගමන යන්න පාවිච්චි කලේ. මම වාහනේට නගින කොට හිටියෙ එල්ලෙයි අත්තයි කිරයි විතරයි. සූටියාව ගන්න අපි උන්ගෙ ගෙදරට ගියා. ආරංචි උන විදිහට මිනිහා තුන් හතර පාරක් නාලා තව පැයක් විතර හැඩ උනාලු. කොහේ යන්නද කියල පස්සෙ කියන්නම්.අපිත් එක්ක ඊළඟට එකතු උනේ පොත්තා(හිරන්ත).ඌ පාරට ඇවිත් ඉඳලා හබරාදුව බස් ස්ටෑන්ඩ් එක ළඟිනුයි වාහනේට නැග්ගේ. ඊළඟට අපි අහංගම බූලීගෙ(රවීන්) ගියේ අහංගම බුලීගෙ ගෙදරට. මිනිහා මාර පොෂ් උනාට මොකද ගෙදරට යන පාර නම් අන්තිමයි. බුලීගෙ අම්මා හදල දීපු පළතුරු යුෂත් රස බලලා අපි මඩොල් දූවට යන්න පිටත් උනා.

අහංගම ඉඳලා කොග්ගලට යන්න ආපස්සට ගාල්ල පැත්තට එන්න ඕන. කොග්ගලට ලඟම ඉන්නෙ පොත්තා නිසා අපි පොත්තගෙන් ඇහුවා බෝට්ටු තොටුපලකට යන්න තැනක්. ඌ කියාපි මම නම් එහෙම තැනක් දන්නෙ නෑ බං. ඔය ඉස්සරහින් හරවපන් කියල. අපි හරවපු තැන තමයි ගාල්ල පැත්තෙ ඉඳල එනකොට කොග්ගල් ඔය හරහා යන පාලම පහු උනාම තියනවා අතහැරල දාපු පාසලක්. එතනින් තියන මඩොල් දූවට කියන බෝඩ් එක ගාවින් තමයි හරවන්න ඕන. අවම මුදලකින් හොඳම චාරිකාවක් යන්න නම් මේ අපි ගිහිපු තැනින්ම මඩොල් දූවෙ යන්න කියල ඉස්සරහට යන්න ඉන්න අයට මතක් කරන්න කැමතියි. එතනින් කෙලින්ම බෝට්ටු තොටුපලට යන්න පුළුවන්. එතන හිටපු කෙනාගෙන් අපි ඇහුවාම ඔහු කිව්වෙ මඩොල් දූවට යන්න රු600ක් සහ දූපත් 5ක චාරිකාවක් යාමට රු2000ක් බව. මීට කලින් කොග්ගල් ඔයේ දූපත් 5ක චාරිකාවක් ගැන අහල නොතිබුනත් අපි ඒක යන්න කල්පනා කලා. අපේ බෝට්ටු පදවන්නා උනේ නිශාන්ත අයියා.
කළු පාට පරණ දුම්රිය පාරට යටින් අපි චාරිකාව ආරම්භ කලා. මුලින්ම අපි ගියේ දුරම තැනට. ඒ කුරුඳු දූවට. කුරුඳු දූව කියන නමින්ම තේරෙනවනේ මේ දූපතේ පුරාම තියෙන්නෙ කුරුඳු. මේකෙ පවුල් හතරක් ජීවත් වෙනව. ඔවුන්ගෙ ආදායම් මාර්ගය වෙන්නෙ කුරුඳු. මේ දූපතේ තියන කුරුඳු ගස් අවුරුදු 100කට වඩා පරණයි කියල තමයි නිශාන්ත අයියා කියන්නෙ. කුරුඳු ගහක කඳ දැක්කහම අපිටත් ඒ කතාව ඇත්ත වෙන්න ඇති කියල හිතුන.
මේවට කවදාවත් පොහොර යොදල නෑ කියනවනේ. කුරුඳු කෝට්ට හැදුනහම කපා ගන්නයි තියෙන්නෙ. අපි ඉතිං මේ දූපතේ ගෙදරකට ගොඩඋනා. ඒ ගෙදර අයිතිකාර මාමා අපිව බොහොම සුහදව පිළිගත්තා. ඉන් පස්සෙ කුරුඳු කෝට්ටකින් පොත්ත ගලව ගන්න හැටිත් අපිට පෙන්නුව.
මෙච්චර ගාල්ලෙ ඉඳලත් කුරුඳු පොතු ගහන හැටි එදා තමයි දැක්කෙ. මුලින්ම කොළ පාට කුරුදු පොත්ත උපකරණයකින් සූරල ඉවත් කරනවා. ඉන් පස්සෙ තව උපකරණයකින් කෝට්ට පිරිමදින්නෙ පොත්ත බුරුල් වෙන්නලු. අන්තිමට පිහියක් වගේ උපකරණයකින් ලස්සනට මුලු පොත්තම ඉරෙන්නෙ එහෙම නැතුව ගලව ගන්නවා. ඒක මඳ අව්වෙ වේලුවාම තමයි අපි කෑම වලට දාන කුරුඳු පොතු ලැබෙන්නෙ. කට්ටිය අහල තියනවද කුරුඳු තේ. අපිට නම් කුරුඳු තේ සංග්‍රහයකුත් බුක්ති විඳින්න ලැබුනා.
පැණි රස නම් නෑ සීනි එහෙම දාන්නෙ නෑනෙ. හැබැයි ගුණයිලු. එතනින් පිටත් උන අපි දූපත වටේ රවුමකුත් ගැහුව. ඒ අතර හමුබුන එල්ලෙන ඇඳක පොඩි ඇලට් එකක් දාන්නත් අමතක කලේ නෑ.

කුරුඳු දූවෙන් නික්මිලා අපි ඊළඟට යන්න පිටත් උනේ ආරණ්‍ය දූවට. ඒ යන අතර අපේ අත්තාට ඕන උනා බෝට්ටුව පදවන්න. නිශාන්ත අයියගෙන් සුක්කානම ඉල්ල ගත්තු අත්තා දැන් බෝට්ටුව පදිනවා.
ඉස්සරහ තියන දූපතක් පෙන්නලා නිශාන්ත අයියා කිව්වා අර දූපත එල්ලෙ යං කියල. ඒත් අපිට තේරුන විදහිට නම් බෝට්ටුව යන්නෙ නයා විදිහට. හිටපු ගමන් එක පැත්තට හැරෙනවා අපි කෑ ගහනකොට ආයෙ අනෙක් පැත්තට හැරෙනවා. ඒ විදිහට තමයි ගියේ. කොහොම හරි ආරණ්‍ය දූවට කිට්ටු වෙනකොට නිශාන්ත අයියා ආයෙ සුක්කානම් ඉල්ල ගත්තා.මොකද ඒ හරියෙ තියනවලු වතුරෙන් උඩට මතු නොවෙච්ච වතුර මට්ටමේ වගේ තියන ගල් කුළු.ඒ එකක් උඩින් බෝට්ටුව ගියොත් ඉවරයි. ඉතින් නිශාන්ත අයියා අපිව පරෙස්සමින් ආරණ්‍ය දූවට එක්කගෙන ගියා. මේ දූපතේ තියෙන්නෙ හාමුදුරුවරුනට භාවනා කරන්න හදපු කුටි සහ කුඩා පංසලක්. දූපතේ පරිසරය කොච්චර නිස්කලංක ද කියනව නම් ඇහෙන්නෙ කුරුල්ලන්ගෙ අනෙක් සත්තුන්ගෙ සද්ද විතරයි. අපි දූපතේ ඇවිදින අතර ස්වාමීන් වහන්සේ නමක් අපි ලඟන් ගියත් උන්වහන්සේ අපි ගැන පොඩි හරි අවධානයක් යොමු නොකර බිම බලාගෙන වැඩම කලා. අපි කට්ටියගෙ පැමිණීම භාවනායෝගීම ඉන්න ස්වාමීන් වහන්සේලාට කරදරයක් වෙන්න පුළුවන් කියල තේරුන නිසා අපි ඉක්මනට ආයෙ බෝට්ටුවට ආව.

ඊළඟට කොහාටද යන්නෙ? ඒ අපෙන් ප්‍රශ්නය නිශාන්ත අයියට. අපි ඊළඟට බහින්නෙ ගල් දූවට. හැබැයි කුරුළු දූව ළඟින් යනවා. නිශාන්ත අයියා එහෙම කිව්වෙ. කුරුළු දූවට බහින්න බැරි නිසා. කුරුළු දූව කියන්නෙ කුරුල්ලන්ටම වෙන් වෙච්ච දූපතක්. ඒකට කව්රුත් ගොඩ බහින්නෙ නෑ. අපි ගිහිපු වෙලාව දවල් නිසා ඒ වෙලාවට කුරුල්ලො නෑ කියලයි නිශාන්ත අයියා කිව්වෙ. ඒක නිසා ගහ කොලින් පිරිච්ච කුරුළු දූව ළඟින් යනගමන් බලාගෙන අපි ගල් දූව දිහාවට යාත්‍රා කරා. ආ කියන් අමතක උනානේ මේ ටිකේ අපේ රියදුරා උනේ පොත්තා. ඌට බෝට්ටු පදින්න දොළ දුකක් හැදුනනේ හිටපු ගමන්. පොඩි එකාගෙ ආසාවනේ ඔන්න ඌටත් දුන්නා බෝට්ටුව පදින්න. හැබැයි උගෙත් ගමන නයා තමයි.

ඊළඟට අපි ලං වුනේ ගල් දූවට. නමින්ම තේරෙනවනේ මේක ගල් වලින් හැදිච්ච දූපතක්. නිශාන්ත අයියා බෝට්ටුව බොහොම පරෙස්සමින් හිමීට ගල් දූව දිහාවට ලං කරා.
මේ හරියෙ වතුර යට ගල් කුළු සෑහෙන්න තියනවලු. සමහරක් තැනක වතුර නිකම්ම ඉහලට විසි වෙනවා දකින්න පුළුවන් ඒ අර වතුර මට්ටමේ තියන ගල් වල දිය රැලි වැදුනහමයි එහෙම වෙන්නෙ. කොච්චර ප්‍රවේසමෙන් හෙමින් බෝට්ටුව ගල් දූවට ලං කරත් දූපත ළඟටම යන කොට ගලක් දෙකක් බෝට්ටුවෙ අඩියෙ වැදිලා හීරීගෙන යන සද්දෙ අපට ඇහුනා. අන්තිමට දූපතේ ලොකු ගල් දෙකකට බෝට්ටුව හේත්තු කරල නිශාන්ත අයියා ඒ ගලක් උඩට බැහැල බෝට්ටුව අල්ල ගත්ත. මේ ඔයේ මැද හරිය නිසා මේ හරියෙ වතුර කැළඹිලි සහිතයි ගැඹුරුයි. ඒ නිසා අත ඇරියොත් බෝට්ටුව ගහගෙන යන නිසා නිශාන්ත අයියා බෝට්ටුව අල්ලගෙන එතනටම වෙලා හිටියා. ඇඟ කිලි පොලා යන කතාවකුත් නිශාන්ත අයියා කිව්වේ මේ අතරෙ. මල්ලිලා ඔය ගල් වල වටේටම කාවාඩි එල්ලිලා ඉන්නවා. ඒ නිසා ගල් උඩ යනකොට බලාගෙන වැටුනොත් කාවාඩි වලට පළලා යනවා. කෙලින්ම ඉස්පිරිතාලෙ තමයි. මේ කතාව අහලා අපි වතුරට එබිලා බැලුවා. ඇත්ත තමයි මේ ඉන්නෙ ගල් වටේටම වතුර මට්ටමේ දැති දැති පිහියක් වගේ. මේක දැකපු ගමන් බැහැලා හොඳට කකුල් දෙකෙන් හිටපු එවුන් පහත් වෙලා අත් දෙකත් බිමට තියා ගත්තා වැරදිලාවත් නොවැටෙන්න. කොහොම හරි කකුල් හතරෙන්ම ගලින් ගලට ගිහිල්ලා පින්තූර කීපයකුත් ගත්තා.

මේ පෝස්ට් එකේ නම මඩොල් දූවට ගමනක් නේ. කට්ටිය බලනව ඇති දැන් මඩොල් දූවට යන්නෙ නැද්ද කියල වෙන හතර වටේ ඇවිදින්නෙ. ගියා ගියා අන්තිමට ගියේ මඩොල් දූවට.අපි මඩොල් දූවට එනකොට කට්ටියක් ඉන්නවා ගොඩ දිහාව බලාගෙන. නිශාන්ත අයියා කිව්වා ඔයගොල්ලො වෙන තැනකින් ආවනම් ඕගොල්ලොන්ටත් වෙන්නෙ ඕක තමයි කියල. වෙන බෝට්ටු තොටුපලවල් වල මඩොල් දූවට විතරක් එන්න රුපියල් 1200ක් විතර ගන්නවා. ඒකත් මඩොල් දූවට ගෙනත් දාලා බෝට්ටුව යනවා ආයෙ පැයකින් වගේ එන්නම් කියල. මඩොල් දූවෙ ඇත්තටම පැයක් බලන්න දේවල් නෑ. ඒ මිනිස්සු ඉතින් අන්තිමට ගොඩ දිහා බලාගෙන ඉන්නවා බෝට්ටුව එනකම්. ඒත් නිශාන්ත අයියලාගේ බෝට්ටු සේවාව එහෙම නෑ. කොතනට ගියත් කට්ටිය ආපහු එනකම් ඔවුන් බෝට්ටුව තියාගෙන ඉන්නවා. ඕන වෙලාවක. ඒ නිසා ඔය කට්ටිය මඩොල් දූව බලන්න යනවනම් එහෙම මම කියපු මගසළකුණු වල විදිහට නිශාන්ත අයියලගේ බෝට්ටු තොටුපලටම යන්න. මම කලිනුත් කිව්වනේ මඩොල් දූවෙ බලන්න වැඩි දෙයක් නෑ කියල.
මඩොල් දූව කතාවෙ කියවෙන තරම් විශාල දූපතක් නෙමෙයි මේක. ළඳු කැලේ හරහා අඩි පාරවල් තියනවා. ගොඩ කරපු ළිඳකුත් සෙක්කු ගලකුත් විතරමයි මුළු දූපතටම තිබුනේ. මේ සෙක්කු ගල ඇතුලට කැමරා එක දාලා අපි ubuntu ඡායාරූපයකුත් ගත්තා.

දැන් නම් මේක දිග වැඩියි වගේ ඒ නිසා ඉක්මනට ඉවර කරනවා. අපි දවල්ට කෑවේ සූටියාගෙ පවුලගෙ ඒ කියන්නෙ කෙකරි(නිරාශා) ගෙ ගෙදරින්. හවස ගියා පොල්හේනෙ නාන්න. ඒ යන ගමන් වල්ගමින් කැව්ලාවත් සෙට් කර ගත්තා. මිනිහා නැතුව මාතර මොකුත් කරන්න බෑනෙ ඉතින්. ආ අපේ නුවර කට්ටිය හිතේ හැටියට මුහුදෙ නෑව.
වැඩිය නෑ පැය 3 1/2ක් විතර.අන්තිමට ගියේ අපේ බැච් එකේ කුඩාම සාමාජිකාවකගේ ගෙදර. ඒ කොයිල්ගේ(ආලෝකා) ගෙදර. අපරාදේ කියන්න බෑ අපි එන නිසා කෑම බීම ගොඩක් ගෙනල්ලා තිබුනා. අපිත් ඉතින් ඒව අපතේ යන්න ඇරියේ නෑ. මේසෙට තියපු හැම පිඟානක්ම ඉවර කලා.

එහෙනම් ඉතින් මේ දිගම දිග පෝස්ට් එක ඉවර කරන්නයි හදන්නෙ. කොහොම හරි කියන්න ඕන මැක්සා ට්‍රිප් එක.