Sunday, January 10, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් ගැන ඔබ දැනගත යුතු දේ



ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් අල ගිය මුල ගිය තැන් - 1කොටස

Linux වල තව දුරටත් ඉදිරියට යන්න කලින් Linux ගැන පවතින මති මතාන්තර හා ඒවායේ සත්‍ය අසත්‍ය ස්භාවය ගැන ටිකක් ලියන්න හිතුනා. මොකද Linux ගැන ඉගෙන ගන්න කලින් Linux කියන්නේ මොකද්ද කියල හරියටම දැනගෙන ඉන්න එක වැදගත්. විභාගෙ කටේ තියාගෙනත් මගේ තියන බ්ලොග් අමාරුවටයි මේක ලිව්වෙ lol. හරි එහෙනම් ඕන් පටන් ගත්තා.

Linux වයිරස් වලින් තොරද?

මෙ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් කෙටිම පිළිතුර නම් නෑ කියන එක. ඒත් windows සමග සංසන්දනය කරාම Linux සඳහා වයිරස් බලපෑම නොගිනිය හැකි තරම් කුඩායි. ඒකට හේතුව මොකද්ද කියන එක අපි සලකල බලමු.

ඕනෑම පරිගනක වැඩසටහනක වැරදි(bugs,errors) තියෙන්න පුළුවන්. 100% ක් නිරවද්‍ය(error free) පරිගනක වැඩසටහනක් නෑ කියල තමයි සලකන්නෙ. මේ නිසා පරිගනක වැඩසටහන් වල කේතයන්ගේ(code) වල තියන දුර්වලතා නිසා ඒ හරහා ඒ වැඩසටන් වල ක්‍රියාකාරීත්වයට බාධා කල හැකි වයිරස් ලියන්න පුළුවන්.වින්ඩෝස් වලදී මෙසේ කේතයේ දුර්වල තැන් වලින් ඇතුල්වන පරිදි වයිරස ලිවිය හැකියි නමුත් Linux මතදී එය එපමණින්ම කල හැකි වන්නේ නැහැ. එයට හේතුව Linux මත විවිධ පරිශීලකයන්ට විවිධ ශක්‍යතා මට්ටම්(privilege levels) ලබා දීම නිසා. Linux පද්ධතිය පාලනය කිරීමට හෝ එයට යම් වෙනසක් කිරීමට හානිකර malware(වයිරස් වැටෙන්නේ malware යටතටයි) වැඩසටහන් වලට root privileges ලබා ගන්න වෙනවා. Linux පද්ධතියක් මත මෘදුකාංගයක් ස්ථාපනය කිරීම system setting එකක් වෙනස් කිරීම වැනි අවස්ථාවලදී ඔබෙන් root password එක විමසනවා ඔබ දැක ඇති. මේ නිසා සීමා සහිත privileges ඇති වැඩසටහනක් විදිහට ස්වයංක්‍රීය පරිගනක වැඩසටහනකට Linux පද්ධතියට බලපෑ හැකි වෙනස් කම් කල හැකි වන්නේ නැහැ.

Linux සඳහා වයිරස් ලියවෙන්නේ ඉතා අඩුවෙන් නැත්නම් නොලියවෙන තරම්. ඊට හේතුව එය නිදහස් වීමයි. අපි වින්ඩෝස් සැලකුවොත් එය මිලදී ගත යුතුයි. ඒ නිසයි එයට විශාල වශයෙන් වයිරස ලියවෙන්නේtwisted. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හැමෝටම ඕන වතුර සලකන්න. කව්රු හරි කෙනෙක් ලෝකයේ සියළු වතුර විශාල ටැංකි වලට එකතු කරලා මුදලට ලබාදෙන්න ගත්තොත්? ඔබ ඒ ටැංකියක සිදුරක් විදින්න පෙළඹෙනව නේද? නමුත් වතුර හැම තැනකම ඕන කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට තියනවනම් කාටවත් ඒකට හානි කරන්න ඕන නෑ.

ඒ කෙසේ වුනත් Linux සඳහා වයිරස ඉතා සුළු ප්‍රමාණයක් හරි ලියවෙනව නේද? කොහොමද ඒවගෙන් Linux වලට හානි නොවී තියෙන්නෙ?

අපි හිතමු Linux සහ වින්ඩෝස් සංස්කරණ දෙකක් එකම වෙලාවෙ නිදහස් වුනා කියල. Linux වල කේතය විවෘතයි ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේ නිසා ලොව පුරා මිලියන ගණනක් Linux වලට ආදරය කරන්නන් ක්‍රමලේඛකයන් Linux kernel එක බාගත කරගෙන භාවිතා කරනවා,පරීක්ෂා කරනවා. නමුත් වින්ඩෝස් වල කේතය පිටතට ලබා දෙන්නේ නෑ. ඒත් පරිශීලකයාට executable code එක ලැබෙනවා. මෙකෙන් නැවත source code එක ගන්න බැරිද? ඇත්තෙන්ම පුළුවන්. C වැනි භාෂාවකට පවා executable code එක නැවත හැරවිය හැකි tool දැනට තියනවා. ඒත් Microsoft සමාගම මෙලෙස නැවත වින්ඩෝස් කේතය ලබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් විදිහට නීති සකසලයි තියෙන්නෙsad. නීතිගරුක පුරවැසියෙක් විදිහට ඔබ එය නොකරන්න පුළුවන්. ඒත කවුද ඒක කරන්නෙ. වයිරස් ලියන්නන්, හැකර්වරුන් එලෙස නැවත කේතය ලබාගෙන එහි දුර්වල තැන් සොයාගෙන ඒවාට වයිරස් ලියනවාeek. දැන් කව්රු හරි මේ විදිහට Linux වලත් වරදක් සොයාගෙන එතනට වයිරසයක් ලියනවා කියමු. නමුත් Linux කේතය පරීක්ෂා කරන ලොව පුරා අයගෙන් බොහොමයක්ටද මේ දුර්වල තැන හමුවෙවා. එයින් කවුරු හරි එය report කරනව අදාල තැන් වලට(මේ වගේ http://www.kernel.org/pub/linux/docs/lkml/reporting-bugs.html) ක්‍රමලේඛන දැනුමක් ඇති අය මේ සඳහා patch ලියනවා. එයින් සාර්ථක වන ඒවා submit කරනවා. මේ patches අදාල දුර්වල තැනට ප්‍රතිකර්මයක්ද කියල kernel එක develop කරන අය තහවුරු කිරීමෙන් අනතුරුව ඉතාම ඉක්මනි ඒ security update එකක් වදිහට මුළු ලෝකයේම Linux පරිගනක වෙත නිකුත් කරනවා. මේ වන විට එම දොශ සහිත තැනට ලියූ වයිරසය අන්තර්ජාලයට මුසු කර තිබෙන්නට පුළුවන්. ඒත් එය පරිගනක වලට ආසාදනය වීමට පෙර අදාල patch එක ඔබේ පරිගනකට පැමිණ තිබේවිsmile. නමුත් විනිඩෝස් වැනි OS එකකදී එම සමාගමේ සීමිත ක්‍රමලේඛකයින් පිරිසක් ආරක්ෂාවේ සිදුර සොයාගෙන එයට patch එකක් ලියන කොට ඒයට ලියපු වයිරස් ලෝකය පුරාම පැතිරිලා ඉවරයි. ඉතින් මේ විදිහට අශ්වයා පැන යන්න කලින් ඉස්තාලය වහන එක Linux වල සුවිශේෂී දෙයක්.

මේ නිසා Linux is Virus Free යන්න බොහෝ විට පාවිච්චි වෙනවා. මෙම නිසාම ලෝකයේ සුපිරිම පරිගනක 500න් 90% පමණ ධාවනය වන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පදධති වලින්. පහත දැක්වෙන්නේ www.top500.org අඩවිටයන් ගත් තිරපිටපතක්.

ඔබට අවශ්‍ය සෑම දෙයක්ම Linux මත කල හැකිද?


ඔව් වෙනත් මෙහෙයුම් පද්ධති මත කල හැකි බොහෝමයක් දේවල් දෙවල් Linux මත ඉතා පහසුවෙන් වඩා ආරක්ෂාකාරී ලෙස කල හැකියි. ක්‍රමලේඛන කටයුතු සඳහා Linux වඩාත් උචිත බවයි මගේ හැඟීම. පාරදෘශ්‍ය භාවය නිසා මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් නිසා පරිගනක සම්බන්ධව ඉගනීමට Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති ඉතා උචිතයි. නමුත්, graphic designing සඳහා Linux මෙහෙයුම් පද්ධති සඳහා මාදුකාංග ඉතා අඩුයි. Flash, 3D max වැනි මෘදුකාංග සඳහා විකල්ප Linux සඳහා තවමත් නැති වීම ලොකු අඩු පාඩුවක්. එහෙත් විවිධ පරිශීලක අවශ්‍යතා උදෙසා සැකසුනු නිදහස් මෘදුකාංග ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අද ලෝකයේ තිබෙනවා.

Linux Geeksලා සඳහා පමණයිද?

මේක තමයි විවාදයට තුඩු දෙන මාතෘකාව. Linux user friendly නෑ. Software එකක් install කරන්න ගියාම එපා වෙනවා. මේව Linux වලට නැගෙන චෝදනා වලින් කීපයක්. මම දකින විදිහට ලොකුම දේ තමයි ගොඩක් අය වින්ඩෝස් පාවිච්චි කරලා Linux වලට ආවහම ඒ පරිසරයම නොලැබීම නිසා තමයි මෙහෙම කියන්නෙ. ඔව් Linux වල සමහර දේවල් ටිකක් අමාරුයි මොකද Linux වල පරිසරය වින්ඩෝස් වල වගේ abstract නෑ. ඇත්තටම වෙන්නෙ මොකද්ද කියල අපිට දකින්න පුළුවන්. ඒත් සමහර අය ඒකට අකමැතියි තමන්ට ඕන දේ කිව්වහම ඒක කරල දෙනවනම් ඒච්චරයි වෙන්න ඕන. ඒත් Linux වල වැඩකරන අය මේ OS එකක සැඟවුනු යථාර්තය දකිනවා. කොහොමද OS එකක් වැඩ කරන්නේ. කොහොමද මෘදුකාංගයක් වැඩ කරන්නේ. ඒ නිසා Linux වල වැඩ කරන කෙනෙක් ඉබේම Geek කෙනෙක් වෙනවා. ඒක නරක දෙයක් නෙමෙයිනේ?razz ඔබට වැඩි දුරටත් ඉගන ගැනීමට ආස නම් ඒ සඳහා අවස්ථාව Linux තුල තියනවා වගේම එය ලැබෙන්නෙ නොමිලේ....surprised

Tuesday, January 5, 2010

මෙගා බයිට් 300ට height quality චිත්‍රපට


Assignment, Viva ,විභාග උණුසුම අස්සේ පොඩි පෝස්ට් එකක් ලියන්න ඕන කියල හිතුනා. ලිනක්ස් ගැන ඊළඟ ලිපිය දාන්න තව ටිකක් කල්යාවි. හිමීට පිළිවෙලට හදන්න එපැයි.

ෆිල්ම් බාන කට්ටියට මරු සයිට් එකක් අහු උනා. දැන් ටිකක් කල් මේක හම්බෙලා සමහරවිට ඕගොල්ලො දන්නවත් ඇති මේක ගැන. මේක blog එකක්. www.300mbmovie.com .සාමාන්‍යයෙන් හොඳ quality චිත්‍රපටියක් avi format එකේ 700MB විතර වෙනවනේ. ඒත් මේ සයිට් එකේ තියෙන්නෙ mkv format එකට හරවපු movies. මේවගෙ size එක ආසන්න වශයෙන් 300MB වෙනවා. ඊට වැඩි ඒවත් තියනව ඒ තවත් quality එක වැඩි ඒව. film එක තියෙන්නෙ කොටස් විදිහට. Rapidshare සහ Hostfile වල තමයි download කරගන්න දීල තියෙන්නෙ. Free file share කරන තැන්වල බාන්න ගියාම තියන කට්ට ඉතින් මෙතනදිත් කන්න වෙනවාconfused. Hostfile site එකේ නම් එකක් බාලා ඊළඟ එක බාන්න පැය 1/2ක් ඉන්න කියනවා. ඒ උනාට ඒච්චර චාටර් වෙන්න ඕන නෑ connection එක disconnect කරලා ආයෙ connect කරන්න. IP එක වෙනස් උනාම ආයෙ ටක් ගාල බාගන්න පුළුවන්. කොටස් විදිහට දීල තියන ඕකකොම බාගෙන extract කරන කොට ලස්සනට එක file එකක් හැදේවි. ලිනක්ස් වලනම් මෙහෙම කරන්න(7zip තියෙන්න ඕන). මුලින්ම බාපු file තියන තැනට යන්න. මුල file එක TWT.part1.rar නම්. මෙහෙම දෙන්න.

$ unrar e TWT.part1.rar

එච්චරයි කොටස් කීපයක් තියනව නම් ඔක්කොම එකතු වෙලා තනි mkv ගොනුව හැදේවි. අපේ බිල් අයියගේ OS එකේ නම් මෙහෙම වෙනවද දන්න නෑ. ජනේලයක් තියන කෙනෙක් උත්සාහ කරල comment එකක් දාන්න. එහෙනම් උත්සාහ කරල බලන්න(මේ command එක කොහොමත් වැඩ කරන්නෙ නෑ ජනේලෙන් මුල් file එක extract කරල බලන්න ඔක්කොම එකතු වෙලා එක file එකක් එනවද කියල). දැන් මට බඩගිනියි කැම්පස් එකට ගිහින් බවනෙන්(කැන්ටිම) බඩට මොනව හරි දාගන්න ඕන. ගිහින් එන්නම්. biggrin

Sunday, December 27, 2009

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් අල ගිය මුල ගිය තැන්


කාලයක් තිස්සේ මම බොහොම ආසාවෙන් හිටි දෙයක් තමයි මේ කරන්න යන්නේ. ලිනක්ස් ගැන ලිපි පෙලක් ලියන්න. අපේ ඉන්දරේ කාලෙකට කලින් මගේ පෝස්ට් එකකට ප්‍රතිචාරයක් දක්වමින් ඉල්ලුවා ලිනක්ස් අයිසිං කිරීම ගැන ලියන්න කියල. ඉතින් පුලු පුලුවන් විදිහට මම ලිපි 5කින් Ubuntu අයිසිං කිරීම ලිපි පෙළ ලිව්ව. ඒක කට්ටියට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනව. මේ ළඟදි අපේ බිංකුවා කීප පාරක්ම ඉල්ලා සිටියා ලිනක්ස් A to Z ලිපි පෙලක් ලියන්න කියල. ඒක නම් කරන්න බෑ මොකද මම ලිනක්ස් වල Z තියා ඒ අහලකටවත් දන්නෙ නෑrolleyes. ඒ කියල නිකන් ඉන්න බෑනේ මම දන්න ටික ලියන්නයි කල්පනාව. ලිනක්ස් වලදි වැදගත්ම වෙන දේ ලිනක්ස් commands ගැන තමයි මූලිකවම කතා කරන්න යන්නෙ.හරි ලිනක්ස් ගැන කතා කරන්න කලින් මුලින්ම ලිනක්ස් වල අතීතය පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියල හිතුනා. එක අතකට ඒක රසවත් ඒකයි razz.

හැම දෙයක්ම ආරම්භ වෙන්නෙ UNIX වලින්. අද තියන හැම මෙහෙයුම් පද්ධතියක්ම ආභාෂය අරගෙන තියෙන්නෙ UNIX වලින්. UNIX මුලින්ම නිකුත් වෙන්නෙ 1970 දී. ඒහි නම්‍යශීලී ගුණය නිසා UNIX ඉතා වේගයෙන් පැතිරී ගියා. නමුත් UNIX වානිජමය අරමුණු මූලික කරගෙන නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඉතා ඉහල මිලකින් යුතු උන නිසා මෙය සාමාන්‍ය ජනතාව අතර භාවිතයට ආවෙ නෑ.

1983 දී රිචඩ් ස්ටෝල්මන් විසින් GNU ව්‍යාපෘතිය ආරම්භ කරනවා. නිදහස් මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් කරන ස්ටෝල්මන්ගේ අරමුණ වෙන්නේ නොමිලේ ලබා දෙන UNIX වැනි මෙහෙයුම් පද්ධතියක් නිපදවීම. මෙතනදි UNIX වැනි උනාට ස්ටෝල්මන් නිර්මාණය කලේ UNIX නෙමෙයි. ඔහු ඒක GNU කියන නමේම අන්තර්ගත කලා. GNU කියන්නෙ GNU is Not UNIX කියන එක. එතන GNU කියනනෙ නැවත ඒ තේරුමමයි. මේ විදිහට recursive විදිහට අර්ථය දෙමින් මෙය UNIX නොවන බව ඔහු කිව්වා. 1984 දී ස්ටෝල්මන් විශ්මිත නිර්මාණයක් කලා ඒ GNU C compiler එක(GCC). අදටත් වඩා කාර්යක්ෂමම compiler එකක් විදිහට GCC සැලකෙනවා.


මඟහැරුනු යමක්

1990 වන විට ස්ටෝල්මන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් සඳහා අවශ්‍ය මෘදුකාංග සහ අනෙක් සියළුම කොටස් එකතු කරගෙන තිබුනත් GNU සඳහා තිබුනු Hurd නම් kernal එක සාර්ථක එකක් උනේ නෑ. මේ නිසා ඔහුට GNU සම්පූර්ණ කරගැනීමට නොහැකි වෙලයි තිබුනෙ.

MINIX නම් මෙහෙයුම් පද්ධතිය 1987 දී Andrew S. Tanenbaum නම් මහාචාර්යවරයා විසින් එළිදක්වන ලද්දක්. මෙම මහාචාර්යවරයාගේ Operating Systems: Design and Implementation නම් පොත ලබා ගන්නා අයට පේලි 12000 පමන කේත සහිත MINIX මෙහෙයුම් පද්ධතියේ කේතය ලබාගත හැකි උනා. මෙහි source code එක විවෘත උනත් වෙනස් කිරීම හා නැවත බෙදා හැරීම කල හැකි උනේ නෑ. ඒ අනුව MINIX ස්ටෝල්මන්ගේ සංකල්පයටත් කලින් විවෘත කේත මෘදුකාංගයක් උනා. එකට ලොව පුරා පරිගනක විද්‍යාව සිසුන් අති බහුතරයක් සතුව Tanenbaum ගේ පොත තිබුනා. Linus Travolds එයින් කෙනෙක්.
1991 වෙනකොට Linus Benedict Torvalds සිටියේ Helsinki විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ. එවිට ඔහුගේ වයස 21යි. මේ කාලයේ Linus පසුව Linux Kernal එක බවට පත්වූ ව්‍යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය Linus විසින් විශ්ව විද්‍යාලයේ විශාල UNIX severs වෙත ඇතුළු වීම සඳහා යොදාගත් terminal emulator එකක් (වෙනත් පද්ධතියකට පිවිසීමට හැකි මෘදුකාංගයක්) . මේක දියුණු කලේ GNU C compiler එක මගින් MINIX මත ඉඳගෙන. අවසානයේදී Linux වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක kernal එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වෙනිදා ඔහු ඒ බව comp.os.minix නම් mailing group එකට නිවේදනය කලා.


මෙයට ලැබුනු ප්‍රතිචාර වලින් ධෛර්යමත් වූ Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කලා. ලොව පුරා ක්‍රමලේඛකයන් මේ වටා රොක් වුනා. ඔවුන් Linux බාගත කරගත්තා පරීක්ෂා කලා අඩුපාඩු නිවැරදි කලා අළුත් දේ එකතු කලා පසුව නැවත Linus වෙත ලබා දුන්නා.ඔක්තෝම්බර් 5 වෙනිදා Linux 0.02 නිකුත් වෙනවා. තවත් සති කීපයකින් 0.03 පිටවුනා. දෙසැම්බර් වෙනකොට Linux 0.10 වෙනකම් ඇවිත් තිබුනා. මේ විදිහට බොහොම ඉක්මනින් Linux දියුණු වෙමින් ඉදිරියට ගියා.

Linux නම ලැබුනේ කොහොමද?

Linus මුලින් අදහස් කරගෙන හිටියේ මේ kernal එකට නිදහස් අර්ථය එන්න "free" සහ UNIX ආභාෂය ලත් නිසා "x" අකුරත් එකතු කරල "freex" කියල නම් කරන්න. නමුත් Helsinki විශ්ව විද්‍යාලයේ FTP server එකේ ලිනක්ස් ගබඩා කරපු Ari Lemmke නම් Linus ගේ මිත්‍රයා ඒක Linux විදිහට වෙනස් කලා. මේ නම ජනප්‍රිය වීමත් එක්ක Linus ද එය ඒ ආකාරයට භාවිතා කරා.

Linux සුරතලා Tux
1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය(mascot) විදිහට Tux නම් පෙන්ගුයින් නම් කලා. නිදහස් හා විවෘත මෘදුකාංග ලෝකයේ බොහෝ වෙලාවට සංකේත ලෙස යොදාගැනෙන්නේ සතුන්.

මුලින් Linus විසින් Linux නිකුත් කලේ තමන්ගේම බලපත්‍රයක් යටතේ. ඒත් ඔහු පාවිච්චි කල සමහරක් මෘදුකාංග GNU ව්‍යාපෘතියේ GNU General Public License යටතේ ලියාපදිංචි කල ඒවා. උදාහරණයක් විදිහට Linux 0.01 හි GNU ලාගේ bash shell එක අන්තර්ගත උනා. පසුව 1992 දෙසැම්බර් වලදී Linux 0.99 GNU GPL යටතේ නිකුත් කලා. පසුව Linus කීවේ Linux GNU GPL යටතේ නිකුත් කිරීම තමන් කල හොඳම දෙයක් බවයි. මේ නිසා Linux kernal එක පාවිච්චි කරල මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන ඕන කෙනෙක් එය පිටකිරීමේදී source code එක ලබා දිය යුතු උනා. Linux අද වන විට මේ තත්වයට එන්න මෙය ඉතා ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි.

Linux අද

Linux සතු නම්‍යශීලී සුමට ගුණය නිසා පරිගනක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම Linux අද පැතිරිලා. එය Super computer වල සිට අතේ ගෙන යන කුඩා පරිගනක(palmtops) දක්වා සෑම උපාංගයකටම ඇතුලත් වෙලා ඉවරයි. දැනට ලෝකයේ තියන වේගවත්ම සුපිරි පරිගනක 100න් 95ක් පමණ ධාවනය වෙන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති. Linux වල හැකියාව එයින්ම මැනගත හැකියි. ඒ වගේම 50MB තරමට කුඩා වූ Damn small Linux හා 100MB වූ Puppy Linux වැනි මෙහෙයුම් පද්ධතිද තිබෙනවා. දශක දෙකක් පුරා පරිගනක ලෝකයේ රැඳී සිටිමින් ඕනෑම ආකාරයේ ආක්‍රමණයකට තමන් සූදානම් බව Linux ඔප්පු කර තිබෙනවා.

මේ සෑම දෙයකටම ආරම්භකයා වූ Linus අදටත් සරල මිනිසෙක්. ඔහු බිල් ගේට්ස් වගේ ධනවතෙක් නෙමෙයි. ඒත් අද ලෝකයේ සිටින ජනප්‍රියම ක්‍රමලේඛකයා ඔහුයි. පරිගනක පරිශීලකයන් අතර බිල් ගේට්ස්ට වඩා ඉහල තැනක Linus ඉන්නවා කිව්වොත් නිවැරදියි. ඒ තම අසහාය නිර්මාණය ඩොලර් ගණනකට තක්සේරු නොකර එය සමස්ත ලෝකයාගේම හිත සුව පිණිස නිදහස් කරන්නට ඔහු තීරණය කල නිසයි.

Friday, December 4, 2009

පිපෙන්නට හිරු කිරණ නොලැබ කැලේ පිපී කැලේටම පරවී යන තන්තිරිමලේ මල් කැකුළු

කලින් ලිපියෙ මම කිව්වෙ අපි තන්තිරිමලේට ආපු හැටි. දැන් කියපන්න ඒහෙදි අපි දැකපු දේ ගැන සංවේදී කතාව. සෙනසුරාදා අපි උදේම අවදි වෙලා ඇඳ පැළඳ ගත්තෙ 9 වැඩමුළුව පටන් ගන්න. කලින් තීරණය කරන් හිටියෙ උගන්වන නිසා formal අඳින්න උනත් රබර් සෙරෙප්පු දෙක දාල කහ පාට වෙච්ච සුදු නිල ඇඳුම ඇඳගෙන ඉස්කෝලෙ එන මේ දරුවො ඉස්සරහ ඒක ඕන නෑ කියල හිතුන නිසා කට්ටියම පුරුදු විදිහට කලිසමට උඩින් කමිසය දාල රබර් දෙක දාගෙන(කැම්පස් යන විදිහ) තමයි වැඩමුළුව කරන්න ලෑස්ති උනේ. මේකෙන් අපහසුතාවයට පත්උනේ මම මොකද මම රබර් දෙකක් ගෙනාවෙ නෑ. ඉතින් මොනව කරන්නද මම සපත්තු දෙක දැම්ම.
සාමාන්‍යයෙන් වැඩමුළුවක් පටන් ගන්න වෙලාව 8 උනත් අපිට මෙහේ ඒක පටන් ගන්න උනේ 9ට. ඒකට හේතුව තමයි තම්බියාව ධර්මපාල සහ බින්නෑව ඉස්කෝල වල ලමයින්ට විමලඥාණ ලොකු ඉස්කෝලෙට එන්න තියන පළවෙනි බස්එක ඒ කියන්නෙ උදේට අනුරාධපුරෙන් තන්තිරිමලේට එන පළවෙනි බස්එක විමලඥාණ විදුහල ලඟට එන්නෙ 8.50ට විතර. ඒ ලමයි එනකම් අපට ඉන්න සිද්ධ උනා.

අපි 8.30ට විතර විමලඥාණ ඉස්කෝලෙට යනකොටත් විදුහල්පතිතුමා සහ තවත් ගුරුවරු කීපදෙනෙක් ඇවිල්ල අපිට විදුහලේ ප්‍රධාන ශාලාවත් තවත් පන්ති කාමර දෙකක් පිළියෙල කරල තිබුනා.
අපිට අනුග්‍රහය දකවපු ශ්‍රී ලංකා රතු කුරුස සංගමයෙ බැනර් කීපයකුත් එල්ලා අපි වැඩේ පටන් ගන්න සූදානම් උනත් පළවෙනි බස් එක එතකනුත් ඇවිත් තිබුනේ නෑ. වැඩිය ප්‍රමාද වෙන එක හොඳ නැති නිසා අපි ඒ ලමයි එනකන් වැඩමුළුව පටන් ගන්නයි සූදානම් උනේ. විමලඥාණ විදුහලේ විදුහල්පතිතුමා හා ගුරුවරු කීපදෙනෙක් සහභාගි වෙච්ච රුස්වීමෙදි අපිට ලමයිනට අඳුන්වලා දීල අපිට වැඩමුළුව පටන් ගන්න අවසර දුන්නා.
විදුහල්පතිතුමා පිළිගැනීමේ කතාව කරමින්

මුලින්ම හැමෝම ඉස්සරහ අපේ Exploration Club එකේ අරමුණ පැහැදිලි කරමින් කතා කලේ ලසිත අයියා. ඊට පස්සෙ ලමයි කණ්ඩායම් 4කට වෙන්කලේ ඉගැන්වීමේ පහසුවට. කොටසකට ජ්‍යාමිතියක් කොටසකට කුලකත් කොටසකට වීජීය සමීකරණත් අනේක් කොටසට සංඛ්‍යාත් කරන්න තමයි අදහස් කලේ. අදාල කොටස් ඉගැන්වීමෙන් පසුව කණ්ඩායම් මාරු කරල නැවත උගන්වන්නයි තීරණය උනේ.

මම හිටියෙ ජ්‍යාමිතිය උගන්නපු කණ්ඩායමේ. මට බාරවෙලා තිබුනෙ නිර්මාණ උගන්නන්න. ඔන්න කට්ටියම තම තමන්ගෙ කණිඩායම් වලට උගන්නන්න පටන් ගත්තා.
ජ්‍යාමිතිය පන්තිය
ලහිරු සමග අස්රන් අයියා වීජීය සමීකරණය පංතියේ

ඒත් බස් එක ඒ වෙලාව වෙනකනුත් ඇවිත් තිබුනෙ නෑ. වෙලාවටම ධාරානිපාත වරුසාවකුත් පටන් ගත්තා. බින්නෑව ඉස්කෝලෙ ලමයි කොටසක් ටැක්ටරයකින්ද කොහෙද ප්‍රවාහන පහසුකම් සපයගෙන ඇවිත් තිබුනත් තම්බියාව ධර්මපාල ඉස්කෝලෙ ලමයි කව්රුත් ඇවිත් තිබුනෙ නෑ. පළවෙනි බස් එක නැති වීමත් වර්ෂාවත් ඔවුන්ට වැඩමුළුවෙ පළවෙනි දවස අහිමි කලා. අපි මෙහම උගන්නගෙන යද්දි තේරුන දෙයක් තමයි කණ්ඩායමේ කොටසක් ලමයින්ට කියල දෙන දේ තරමක් හෙමින් උනත් තේරුම් ගියත් තව කීප දෙනෙක්ට කියල දෙන දේ තේරෙන්නෙ නෑ. පස්සෙ හිමීට බලද්දි ඒක්කො සරල සමීකරණ, පොදු සාධක ගැන අවබෝධයක් නෑ.ඒ විතරක් නෙමෙයි ගුණ කිරීම අඩු කිරීම බැරි ලමයිනුත් හිටියා. මේ පාසල් වල ගණිතයට ගුරුවරු ඉන්නේ ඉතාම අල්ප වශයෙන්. සාමාන්‍ය පෙළට නම් ඇත්තෙම නෑ. ඒක නිසා දුර්වල ලමයා හැලිලම යනව ඇති. ඒත් අපිට ඒ ලමයි අත ඇරල දාන්න පුළුවන් කමක් නෑ. අපි ඒ දුර්වල ලමයි අනිත් අයට නොදැනෙන්න වෙන් කරල වෙනම කණ්ඩායමකට දැම්ම. ඒ ලමයිව සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් කිරීම අසීරු ඉලක්කයක් උනත් අපි ඔවුන්ට ජීවිතයට අත්‍යවශ්‍යම වන ගණිත කර්ම උගන්වන්න උත්සාහ කරා.
පාට රටහුණු කෑලි වලින් ගණන් කරන්න උගන්වමින්

කණ්ඩායමකට පාඩමක් කරන හර්ෂණ අයියා

අපේ අය මේ ලමයිනට උගන්වපු තිළිණ අයියා ප්‍රමුඛ කණ්ඩායමට කිව්වෙ Special task force එක කියල.
විශ්වාස නැද්ද මේ වීඩියෝ එක බලන්න

මම උගන්වපු කණ්ඩායම් හිටපු එක් පිරිමි ලමයෙක් ඉතාම ඉක්මනින් කියන දේ අල්ල ගත්තා. ඔහුට හොඳ හිතීමේ හැකියාවක් තිබුනා. ගුරුවරු ඉන්න හොඳ පාසලකට ගියා නම් ඔහු අනිවාර්යෙන් විශිෂඨ ප්‍රතිඵලයක් දානව. දෙවන වර විභාගය ගන්න ලමයිනුත් තරමක මට්ටමක හිටියා. ඉතිරි අය සහ ගැහුණු ලමයි දෙන්නා තරමක් හිමිනුයි කියන දේ අල්ල ගත්තේ. ඒ මේ ලමයින්ට අපි උගන්වන දේ තේරුම් ගන්න පුදුම උවමනාවක් තිබුන. රූප සටහනක් කළු ලෑල්ලෙ ඇන්දම ඔවුන් වෙන කොහේවත් බලන්නෙ නෑ ඒ රූපය දිහා මිසක්. ඔළුව කසමින් ඔවුන් ගණිත ගැටළු විසඳන්න උත්සාහ කලා. මම උගන්වපු කණ්ඩායමේ එක ගැහැණු ලමයෙක් ගාන විසඳන්න උත්සාහ කරල හෙම්බත් වෙච්ච මුහුණින් "තේරෙන්නෙ නෑ අයියා" කියනව මට තාම මතකයි. තව කළු කෙසඟ කොලු ගැටයෙක් ඔහු පැන්සල රූපය මත තිය තිය පුළුවන් තරම් උත්සාහ කරනවා. මල්ලි තේරෙන්නෙ නැද්ද කියල ඇහුවහම හිනා වෙලා "නෑ" කියනව. ඇත්තටම ඒක ඔවුන්ගෙ වැරුද්දක් නෙමෙයි. අපිට සිද්ධ උනා සම්පූර්ණ ගණිත විශය මාලාවම දවස් දෙකකින් උගන්වන්න. හරි නම් අවුරුදු දෙකකින් ඉගන ගන්න ඕන දේවල්. ඒත් ගණිත ගුරුවරයෙක් නැතිවෙන්න මේ දරුවො කරල තියන පව මොකද්ද?
ශශික අයියා යමක් කියා දෙමින්


අපි මේ වැඩමුළුව කරපු විමලඥාණ විද්‍යාලය පලාතේ ලොකුම ඉස්කෝලෙ. මේ පාසලෙත් සාමාන්‍ය පෙලට ගණිතයට ගුරුවරයෙක් නෑ. ලමයින්ට ගණිතය තරමක් හරි උගන්වල තියෙන්නෙ ඔවුන්ට ඉන්න එකම විද්‍යාව ගුරුවරයා. ඔහුත් ලඟදි පත්වෙලා ආපු තරුණ ගුරුවරයෙක්.
සා.පෙ ළමයින්ට විද්‍යාව ගණිතය විෂය දෙකටම සිටින එකම ගුරුවරයා

හොඳම කතාව තමයි තන්තිරිමලේ ඉඳල පැය දෙකක බස් ගමනකින් එහා තියන අනුරාධපුර පාසල් වල ගණිත විද්‍යාව ගුරුවරු අතිරික්තයක් ඉන්න එක. උදේ ඇවිල්ල හවස යන්නවත් මේ පාසල් වලට ඒ වැඩිපුර ඉන්න තැන් වලින් ගුරුවරු දෙන්න බැරි ඇයි. රටට අනාගතයක් හදන්න ඉන්න දක්ෂ දරුවො ටිකක් කැලේටම යට කරලා දාන්න හදන්නෙ ඇයි. අධ්‍යාපන කාර්යාල වලට වෙලා තිස් හතලිස්දාහ පඩි අරගෙන පුටු රත් කරන අධ්‍යාපන නිළධාරීන් මොනවද කරන්නෙ. මේ තත්වය මෙහෙම තියාගෙන වැඩමුළුවට අවසර ගන්න අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට ගිහිපු අපේ අයව එතනදි පැය 3ක් රස්තියාදු කරල අවසර දෙන්න බෑ කියල බොහොම ලොකු පාට් එකකුත් දාල තිබුනෙ.

දවස් තුනක් තිස්සේ අපි මේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගය සමත් කරවන්න පුළුවන් උපරිම උත්සාහ කරත් . අපි හිතාගෙන ආපු තරමටම හොඳට ඒක කරන්න පුළුවන් උනේ නෑ. අවුරුදු දෙකක දේවල් දවස් දෙකකින් උගන්වන එක කරන්න බෑ. ඒ නිසා අපි තීරණය කලේ ලබන අවුරුද්දෙ ඉඳල වාරයකට එක වැඩමුළුව වෙන්නෙ තන්තිරිමලේ පවත්වන්න. ඒතකොට වඩා සාර්ථක ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වේවි කියල අපි හිතනවා.

අපිට මේ කාරියයේදි නවාතැන් පහසුකම් සපයලා ආහාර පිළියෙල කරල දීල ලොකු සහයෝගයක් දීපු තන්තිරිමලය රජමහා විහාරයේ නායක හාමුදුරුවන්ට විශේෂයෙන් ස්තූති කරන්න ඕන. ඒ වගේම ලොකු කැපකිරීමක් කරලා මේ වැඩමුළුව සාර්ථක කරගන්න උදව් උනු අපේ UCSC එකේ තෙවන දෙවන පළමුවන වසර වල අයට බොහොම ස්තූතියි. අපිට මේ දේ කරලා පෞද්ගලිකව ලැබුනු කිසිම දෙයක් නෑ. ලැබුනා නම් මේ අසරණ ලමයින්ගේ අනාගතයට යම් උදව්වක් කලා කියල ලැබෙන සතුට විතරයි. නමුත් ඒ සතුට අපට බොහෝම වටිනවා. ඉස්සරහටත් මොන අමාරුකම් තිබුනත් අපි මේ වගේ දේවල් කරනවා. ඉතින් මේ සටහන කියවපු ඔබත් මේ දරුවන්ට යම් උදව්වක් කරන්න කියන එකයි මගේ ඉල්ලීම.
මේ සද්කාර්යට එකතු උනු අපේ කට්ටිය

Wednesday, December 2, 2009

Pen එකෙන් අධිවේගී operating system ස්ථාපනය


විනාඩි 4කින් OS එකක් install කරල තියනවද? මම ගිය සතියෙ මගේ යාළුවෙක්ගෙ laptop පරිගනකයට ubuntu 9.04 ස්ථාපනය කලා විනාඩි 4න්. මේ විනාඩි 4 කිව්වෙ ස්ථාපනය වෙන්න යන වෙලාව විතරයි හොඳඳ නම ගම පුරවන වෙලාව ගණන් නොගෙන. මොකද්ද දන්නවද මේ වේගයට හේතුව OS එක install කරන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන CD හෝ DVD තැටිය වෙනුවට මම පාවිච්චි කලේ මගේ USB Pen drive එක. ගින්දර වගේ වේගවත්.(මේක මාසෙකෙට විතර කලින් මම අන්තර්ජාලයෙන් හොයාගෙන කලත් හරි ගියේ නෑ. ආයෙ කරල බලන්න හේතුව උනේ අපේ කජ්ජා(තරිඳු) ගේ මතක් කිරීම) මෙහෙමයි කලේ.

මම පාවිච්චි කලේ Unetbootin කියන මෘදුකාංගය. මෙතනින් බාගන්න පුළුවන්. ඒතකොට executable ගොනුවක් ඔබට ලැබේවි. මුලින්ම මේ විධානය දීලා ගොනුවේ permission වෙනස් කරගන්න.

$sudo chmod 777 unetbootin777

මෙතන chmod කියන විධානයෙන් කරන්නෙ ඒ ගොනුවට access දීල තියන විදිහ වෙනස් කිරීම. linux වල පරිශීලකයන් කොටස් 3ක් විදිහට සලකනවා. ඒ root, group සහ other විදිහට. ඒ තුන් දෙනාටම 7 කියන permission එක දෙන්න කියලයි විධානයෙන් කියන්නෙ. ඒ 7 එන්නෙ මේ විදිහට.
permission අවස්ථා තුනක් තියනව. read, write, execute කියල. මේ එක් එක් අවස්ථාව ලැබීම හෝ නොලැබීම binary විදිහට නිරූපනය කලොත්

read write execute
1 1 1

මෙතනදි අවස්ථා තුනටම අවසර දීල. එතකොට ලැබෙන 111 කියන binary සංඛ්‍යාව decimal කලොත් 7 නේද? තව උදාහරණයක් බලන්න. read සඳහා විතරක් අවසර දෙන අවසථාවක්.

read write execute
1 0 0

එතකොට එන්නෙ 4 කියන සංඛ්‍යාව. මේ විදිහට හැම file එකකටම permission set කරන්න chmod වලින් පුළුවන්. හරි දැන් permission හැදුවනේ . දැන් run කරමු.

./unetbootin-linux-377

එතකොට මේ window එක ලැබේවි.
මේකෙන් අවශ්‍ය මෙහෙයුම් පද්ධතියත්(distribution කියන තැන) අදාල iso file එකත් ලබා දීල ok කලාම හරි. drive කියන තැනට ඔබේ pen එක තෝරල දෙන්න.

මෙතන ඔබේ pen එක sdb1 කියල කියන්නෙ ඇයි කියල දන්නවද? linux වලදි පරිගනකයට සම්බන්ධ කරන storage media "sd" කියන අකුරු දෙකත් තව අකුරකිනුත් තමයි හඳුන ගන්නෙ. පහත විධානය දීල බලන්න.

$ls /dev

මෙතනදි ඔබේ පරිගණකයේ ඇති devices සඳහන් ගොනුව list කරල ඔබට පෙන්නනවා. ls කියන්නේ list කියන එක.
මෙතන sda කියන්නෙ මගේ hard disk එක. ඒකෙ partition sda1,sda2 විදිහට පෙන්නනවා. ඊළඟට sdb කියල අඳුර ගන්නෙ මගේ pen එක. ඒක sdb1 කියන තනි partition එකක් විදහට තියෙන්නෙ.

ආපහු අපේ කතාවට එමු. දැන් iso එක pen එකට extract වේවි. ඒ වගේම pen එකට boot loader එකකුත් install වෙනවා. දැන් සාමාන්‍ය විදිහට පරිගනකය restart කරල BIOS වලට ගිහින් boot sequance එකේ මුලට USB HDD කියන එක දෙන්න. නැවත පරිගනකය පණගැන්වීමෙදි ඔබ bootable බවට පත් කරපු pen එක සම්බන්ධ කරල තිබ්බහම සාමාන්‍ය විදිහට live CD එකක් වගේ(ලිනක්ස් නම්) boot වේවි. bootloader එකෙන් පළවෙනි option එක තෝරන්න අමතක කරන්න එපා. මෙහෙම pen එක bootable කලා කියල කිසි ප්‍රශ්නයක් නෑ. තමන්ගෙ සාමාන්‍ය දත්ත තියාගන්න පුළුවන් pen එකේ කිසි අවුලක් නෑ. දැන් මම හැම තැනම අරන් යන මගේ පෞද්ගලික් pen එක ubuntu 9.04 වලින් bootable කරලයි තියෙන්නෙ. කව්රු හරි දාල දෙන්න ඇහුවද විනාඩි 5න් දැම්ම. ඔයගොල්ලොත් බලන්න කොහොමද වේගෙ කියල......

Monday, November 30, 2009

තන්තිරිමලයට දැනුම රැගෙන ගියෙමු....

බොහොම කාලෙකින් තමයි බ්ලොග් එකක් ලියන්න පුළුවන් උනේ. පහුගිය දවසේ ලංකාවෙ උතුරු භාගයට ගියා නෙව මේ ඒක ගැනයි කියන්න යන්නෙ. අපි UCSC එකේ Exploration Club කියල club එකක් පිහිටෙව්වනේ. මේකෙන් මූලිකවම කරන්නෙ ලංකාවෙ දුෂ්කර ප්‍රදේශ වල ගුරුවරු හිඟ පාසල් වලට ගිහිල්ල ඒ දරුවන්ට උගන්වන එක. මේ කටයුත්තට මූලික වෙලා වැඩ කරන්නෙ අපේ ලසිත අයිය නැත්තම් බ්ලොග් අවකාශයේ කට්ටිය අඳුරන්නෙ ආගන්තුකයා කියල. මෙතනදි අපේ අරමුණ අපෙන් රටට වෙන්න ඕන යම් සේවයක් ඉෂ්ඨ කිරීම. අපි අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලැබුවෙත් දැන් තව දුරටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නෙත් රටේ සල්ලි වලින්. ඒ කියන්නෙ දුප්පත් මිනිහෙක් බොන කහට උගුරක් ගානෙත් එකතු වන බදු සල්ලි වලින් තමයි අපි මේ ඉගන ගන්නෙ. මේ නිසා අපි ඇත්තටම මේ රටට , මිනිසුන්ට ණයයි. ඒ ණයෙන් ටිකක් හරි ගෙවන්න තමයි අපි මේ විදිහට දුෂ්කර ප්‍රදේශ වල දරුවන්ට අධ්‍යාපනය අතින් පුළුවන් උදව්වක් කරන්න උත්සාහ කරන්නෙ.

ඉතින් මේ විදිහට කරන වැඩමුළුවකට තන්තිරිමලේ යන්න ලෑස්ති උනේ පසුගිය සිකුරාදා දවසක(13). අපේ යන්න ලෑස්ත් වෙච්ච කොටසකටයි අපේ අයියල කොටසකටයි අපේ පොඩි එවුන්ටයි සිකුරාද Assignment වගයක් තිබුනු නිසා උදේ යන්න එකතු උනේ අට දෙනයි. මමයි බම්බා(තුෂාර), අත්තා(එරංග), ප්‍රසාද්(ලුකා) අපේ බැච් එකෙන් හිටියෙ ලසිත අයියත් තව අයියල තුන් දෙනෙකුත් හිටිය. ගමනට අපි යොදාගත්තෙ දුම්රිය. කලින් දවසෙ කට්ටිය බස් එකේ ගමනට යන වෙලාව කතා කර කර ඉන්කොට බස් ගමනට අකමැති මම කෝච්චියේ යමු කියල යෝජනා කලාbiggrin. ලංකාව දැන් දියුණුයි නේ අපි ටක් ගාල පච බංකුවෙම පහන් අයියගෙ ලැප දිග ඇරල ගියා දුම්රිය දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියට. හොයල බැලින්නන් කෝච්චිය පැය 3 1/2 කින් වගේ අනුරාධපුරේට යනව. ඒ පාර බස් එකේ පැය 6ක් විතර කොටන්න හිතාගෙන හිටපු අය එක පයින් ලෑස්ති උනා කෝච්චියේ යන්න. ඔන්න ඉතින් සිකුරාදා පාන්දරම අත්තයි මායි කොටුව දුම්රිය පොළට නිදිමතේ ආව. ලසිත අයිය කලින් දවසෙ කිව්වෙ උඹල දෙන්න අර කොළඹ කොටුව කියල බෝඩ් එකේ ටු යන්න යටින් ඉඳපන් කියල. ඒ උනාට කළුවරේ ටු යන්න හොයා ගන්න බැරි උනා නෙව. ඉතින් අපි ස්ටේෂන් එකට ගොඩ උනා එතකොට අයිය කෙනෙකුත් ඇවිත් ඉන්නව කකුලක් බිත්තියට ගහගෙන. කොහොම කොහොම හරි ලසිත අයිය එනකොට 5.30 විතර උනා. මේ අස්සෙ නිවේදනය කරනවා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියට සීමිත ටිකට් සංඛ්‍යාවක්ය තියෙන්නෙ සාමානය ටිකට් වලින් ඒකෙ යන්න බෑ කියල. ඉතිං ලසිත අයියා ආපු ගමන් පිටත් කරා ටිකට් පෝලිමට. අනික් ඒ වෙලාවෙයි දන්නෙ මේ අපි යන්න ඉන්න කෝච්චිය තමයි යාල්දේවී කියන්නෙ. දකුණේ හොඳ හිත අරගෙන උතුරට යන දුම්රිය.ලසිත අයිය පෝලිමේ ඉන්න අතරෙ මම ආයෙත් ගිහින් මතක් කලා අයියා intercity express එකට කියල ටිකට් ගන්න ඕන කියල. ටිකකින් බලනකොට අයිය ඉන්නවා හිටපු පෝලිමේ නෙවේ වෙන පෝලිමක. බලනකොට අපි යන කෝච්චියට ටිකට් දෙන්නෙ ඒ කවුන්ටරෙන් නෙවෙයි. ඔහොම පෝලිම් 3ක ගිහිල්ලයි අන්තිමට ටිකට් ටික ගත්තෙ. ටිකට් අරගෙන ඉවර වෙලා අපි දුවල ගියා කෝච්චියට seat නැතිවෙයි කියල. ඒත් නැගල බැලුවහම ඕන තරම් ඉඩ තියනවා. අපි ඉතින් අන්තිම පෙට්ටියේ ආසන දෙකක අතපය දිග ඇරලා වාඩි උනා. සාමාන්‍යයෙන් අපේ රටේ කෝච්චි පරක්කුයි කියලනේ කියන්නෙ. ඒවුනාට දැන් එහෙම නෑ. යාල්දේවිය හරියටම නියමිත වෙලාව වෙන 5.45ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් උනා.
දේවිලා ලැසි ගමනින් යනව කිව්වට මොකද මරදාන පහුවෙලා ටික දුරක් ගියාම යාල් දේවිය ලැසි ගමන පැත්තක තියල අධික වේගයෙන් ධාවනය වෙන්න ගත්තාrazz. නිදිමතේ හිටපු අපි නින්දට වැටුනු අතරේ යාල්දේවිය උතුර බලා ගමන් කලා. මේ කෝච්චිය නවත්තන්නේ නැවතුම් 4යිනේ අනුරාධපුරෙත් එක්ක. ඒ නිසා ගමන සෑහෙන ඉක්මන්. මහව හන්දියෙදි කොළඹ පැත්තට යන යාල් දේවිත් එක්ක මාරුවෙන්න විනාඩි 10ක් විතර නවත්තගෙන හිටපු එක ඇරෙන්න වෙන කිසිම තැනක පරක්කු උනේ නෑ.
අන්තිමට අපි අනුරාධපුරෙන් බහිනකොට වෙලාව 9.30 විතර. නියමිත වෙලාවට වඩා ටිකක් පරක්කු උනාට ඒ වෙලාව ප්‍රශංසනීයයි මොකද බස් එකේ කීයටවත් ඔය වෙලාවට එන්න බෑ. අපි බැස්සට කෝච්චියෙ ගමන මෙතනින් ඉවර නෑ ඒක වවුනියාවෙනුත් එහා තාන්ඩිකුලම වෙනකන් යනවා.

අනුරාධපුරෙන් බහිනකොට සෑහෙන්න බඩගිනියි මොකද කොළඹින එනකොට අපි මුකුත් කාලා තිබුනේ නෑ. ස්ටේෂන් එක ගාවම තිබුනු "සිංහ කඩේ හෝටලෙන්" උදේ කෑම කාලා අඩුවත්(මුලින් බෙලද දෙන ප්‍රමානෙ කාල මදි උනොත් තව ටිකක් බෙදාගෙන කන එකට කැම්පස් එකේ කියන්නෙ අඩුව කනව කියල) කාලයි කට්ටිය කෑම ඉවර කලේ. අපි එලියට බහින්න ලෑස්ති වෙනකොට ලසිත අයියා දාහෙ කොළයක් අතේ තියාගෙන හිටියා බිල ගෙවන්න. අපි එළියට බැස්සාම "අයියෙ අයියෙ" කියල කඩේ ඇතුලෙන් කතා කරන සද්දයක් ඇහුනා. මේක ඇහුනාම අන්තිමට එලියට බැස්ස ලසිත අයිය ආපහු කඩේ ඇතුලට දිව්ව. බැලින්නම් සල්ලි අතේ තියාගෙන හිටියට එයාට බිල ගෙවන්න අමතක වෙලාlol. තව පොඩ්ඩෙන් ආයෙ පාරක් කන්න වෙනවා.smile

ඊළඟට කට්ටියම බෑග් උස්සගෙන බස් නැවතුමට ගියා. අධ්‍යාපන දෙපාර්තුවෙන් අවසර ගැනීමේදී යම් ප්‍රශ්නයක් වෙලා තිබුන නිසා ලසිත් අයියාත් අත්තත් ගියා දහයියාගමට අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට. කොහොමත් හොඳ වැඩක් කරන්න යනකොට සෑහෙන ප්‍රශ්න එනවනේ. ඉතුරු අපි හය දෙනා තන්තිරිමලේ බස් එකේ නැග්ගෙ ඉස්කෝල ඉවර වෙන වෙලාවට කලින් එවට ගිහින් ලමයි දැනුවත් කරන්න ඕන නිසා.දහයට විතර බස් එකට නැග්ගට ඒක පිටත් උනේ 11ට. මේ පාරෙ සීමිතට බස් ගානක් තමයි දුවන්නෙ. අපරාදෙ කියන්න බෑ බස් එක ඉක්මනට ගියා. ඒ අතර දෙතැනකදි වගේ හමුදා මුර පොළ වල බස් එක නතර කරලා සිවිල් ආරක්ෂක නිළධාරියෙක් බස් එකට නැගල පරීක්ෂා කලා. බස් එකේ යන ඒ පලාතෙ අය අතරේ අපි කැපිල පෙනෙන නිසාද කොහොද අපේ හැදුනුම්පත් පරීක්ෂා කලා. අන්තිමට පැය 2ක් විතර බස්එකේ ඉඳල මට ඇතිවෙලා තිබුනෙ යනවා යනවා කෙළවරක් නෑrolleyes. මුලින්ම හමුබුනු ඉස්කෝලෙ තම්බියාව ධර්මපාල විද්‍යාලය. එතන බැස්සෙ හර්ෂණ අයියත් මාත්.

ඉස්කෝලෙ ගේට්ටුව ලඟ බංකරයක්. ඒකෙ හිටපු සිවිල් ආරක්ෂකයෙක් අපේ හැඳුනුම්පත් පරීක්ෂා කලා. අපි ඉස්කෝලෙට ඇතුළු උනාම මුලින්ම දැක්කෙ බට වගයකුත් තව ලී වගයකුත් අරගෙන යමක් කරමින් ඉන්න ලමයි කට්ටියක්. අපිරිසිඳු කලිසමට උඩින් සුදු කමිසයට යට නොකර ඇඳපු කොල්ලෝ රංචුවක් තමයි මේ විදිහට මොකක්දෝ වැඩක් කරමින් හිටියෙ. කාර්යාලයක් පේන්න නැති නිසා අපි ඒ එක ලමයෙක්ගෙන් ඇහුව කොහේද ප්‍රන්සිපල්ගේ කාමරේ තියෙන්නෙ කියල. කැත්තකින් වැඩ කරමින් හිටපු කොල්ල ඒ කැත්තෙන්ම ගොඩනැගිල්ලක් පෙන්නන ගමන් ආන් අර කොනේම කියල කිව්වsad. අපි ඒ පැත්තට යන්න පිටත් වෙන කොටම පාසලේ විදුහල්පතිතුමා "ඔය ගොල්ලො නේද කොළඹ විශ්වවිද්‍යාලයෙන්" කියල කියාගෙන පන්ති කාමරයකින් එළියට ආව. අපිත් එක්ක විස්තර කතා කරල ඔහු අපිට සාමාන්‍ය පෙළ පන්තියට කතා කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්නෙ ලමයි 15යි. ඒකෙන් එදා 10ක් ඇවිත් හිටියා. ඔවුන්ට විද්‍යාව හෝ ගණිතය ගුරුවරයෙක් නෑ. ඒ විශයන් ඔවුන්ට උගන්වන්නෙ වෙනත් විශයකට ඉන්න ගුරුවරයෙක්eek. අපි ඔවුන්ගෙන් අමාරු පාඩම් මොනවද කියල ඇහුහම ගණිත විද්‍යාව විශය මාලා වල තියන පාඩම් වලින් බාගෙකට වඩා කියාගෙන ගියා. ඊට පාසලෙන් එලියට ආපු අපිට ඊළඟ බස් එකට තව පැයක් බලාගෙන ඉන්න උනා. අපි ඒ ගිහිපු බස් එකට ඊළඟට තියන ඉස්කොලෙ බින්නෑව විද්‍යාලයට පණිවිඩය කියන්න ගිහිපු බම්බත්(තුෂාර) ශෂික අයියත් ගොඩ උනා. ඔන්න ඉතිං බස් එක යනව. අපිත් ඉතිං ඉන්නව තන්තිරිමලේට බස් එක එනකම්. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනෙ තන්තිරිමලේ රජමහා විහාරෙ. තන්තිරිමලෙන් බස් එක නැවුත්තුවාම පංසල හොයාගන්න බරුවයැ කියල අපි හිටිය. එක පාරම කොන්ද අහනව මහත්තයල කොහේටද යන්නෙ කියල. අපි කිව්ව පන්සලට කියල. ඒ මිනිහ ඔළුවෙ අත ගහගෙන කියනව "මහත්තෙයො පන්සල දැන් හෝල්ට් 4කට විතර කලින් පහුඋනා" කියල. මල කෙළියයි කිව්වලු. අපි දඩිබිඩි ගාල බස් එකෙන් බැහැ ගත්ත. දැන් මොකද කරන්නෙ ආපහු යන්න තව පැයක් විතර බස් එකක් එනකම් ඉන්න කියලද? මේ පැත්තෙ බස් හෝල්ට් දෙකක් අතර කි.මී බාගෙක විතර දුරක් තියනව. බහින තැන කොන්දට නොකියා හිටී පණ්ඩිත කම මකත් කර කර කකුල් දෙක ගෙවෙන කම් ආවෙ නැතෑ පයින්. කොච්චර දුරද දන්නවද ඇහැටුල්ලො දෙන්නෙක් මැරිල ඉන්න දුර biggrin. මේ පාරෙ වාහනයක් යන්නෙ විනාඩි 20කට විතර පාරක්. ඒ වාහනේකට අහුවෙලා සර්පයක් මැරෙනව කියන්නෙ කොච්චර සර්පයො පාර මාරු වනෙව ඇත්ද? යන අතරෙ අපේ ජංගම දුරකතන දිහා බැලුවා සංඥා තියනවද කියල. මගේ එකට නම් නෑ. මොබිටෙල්ලා මේ හරිය care කරන්නෙ නැද්ද මන්දා. ශශික අයියා කියනවා. "ආ මට නම් සිග්නල් තියනවා. ම්ම්..... සිග්නල් එන්නේ... සෙට්...ටිකුල.ම් කියල තැනකින්".මලා ඒ කියන්නෙ අර යුධ සරණාගතයන්ගෙ කඳවුරු තියන පලාතෙ න්ද? ඒ කියන්නෙ අපි ඉන්නෙ ඉස්සර මුදා නොගත් ප්‍රදේශයකද? කියන්න එපායැ එන්න කලින්. තඩි බෑග් ඉහින් කනින් එල්ලගෙන දාඩිය පෙරාගෙන යන්තම් අපි පන්සලට ආවා.

තුන් වෙනි ඉස්කොලෙ විමලඥාණ විද්‍යාලය තියෙන්නෙ පන්සල ළඟමයි. ඒ ඉස්කොලෙට ගිහිපු සුමුදු අයියයි අපෙ ලුකයා(ප්‍රසාද්) මේ වෙනකොට පන්සලට ඇවිත් ඉන්න ඕන. අපි ඒ දෙන්නට කෝල් එකක් ගන්න හැදුවත් හරිගියේ නෑ. මොකද දුරකථනයට සංඥා නැති නිසා. ලේසියෙන්ම කිව්වොත් ෆෝන් එකට සිග්නල් නැති නිසා. නවතින තැන හොයා ගන්නත් එපායැ. වටපිට බලනකොට හාමුදුරු නමක් ආවාසගෙයි ඉස්සරහ පුටුවක වාඩිවෙලා ඉන්නව. පෙනුමට ලොකු හාමුදුරුවොවෙන්න ඕන. අපි ගිහින් හාමුදුරුවන්ට වැඳලා පැත්තකට උනා. ඊළඟට කතාව මෙන්න මෙහෙම

හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්වවිද්‍යාලයෙන්.
ලොකු හාමුදුරුවො - ඉතිං..
හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපේ දෙන්නෙක් කලින් ආවද මෙහෙ.
ලොකු හාමුදුරුවො - නෑ ආවෙ නෑ
(ඔය ගමන අපේ බම්බා විස්තර කරන්න ගත්තා)
බම්බා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්ව විද්‍යාලයෙන්. අපි වැඩමුළුවක් කරනවා මෙහේ ලමයින්ට. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනේ මේ පන්සලේ. අපේ දෙන්නෙක් දවාලෙ මෙහේ ආව.
ලොකු හාමුදුරුවො - ම්හු.. කව්රුත් ආවෙ නෑ.
(අපි තක්බීර් වෙලා මූණවල් බලා ගත්ත. දැන් මොකද කරන්නෙ මුන් දෙන්න කොහේ ගිහිල්ලද දන්නෙ නෑ. සිග්නල් නැතුව කෝල් එකක් දෙන්නත් බෑ. සංවිධායක ලසිත අයිය තාම අනුරාධපුරේ. අපි කල්පනා කර කර ඉන්නකොට හාමුදුරුවො අහනව)
ලොකු හාමුදුරුවො - ඉතිං ඔය ලමයි කොම්පියුටර් කරන අයද?
බම්බා - ඔව් හාමුදුරුවනේ අපි I.T කරන්නෙ......
ඔහොම විස්තරේ ආයෙ මුල ඉඳලා කියනව. මෙන් එක පාරටම හාමුදුරුවො හක හක ගාල හිනාවෙන්න ගත්ත. ඒ හිනාවෙන අතරෙ කියනව. ආව ආව අන්න කොනේ කාමරේ නිදි කියලlol. එතකොටයි අපිට තේරුනේ හාමුදුරුවො අපිට දීල තියෙන්නෙ බයිටක් කියල.

මේ අතරේ අධ්‍යාපන අමාත්‍යංශෙට අවසර ගන්න ගිය ලසිතට අයියට එහෙන් ලේසියෙන් අවසර දීලා නෑ. ඒගොල්ලො එතකොටත් අනුරාධපුර. අපිට දැන් පට්ට බඩගිනියි. මොනව කියල කන්නද? පලාතක හෝටලයක් නෑ. හොඳ වෙලාවට හාමුදුරවෝ ප්‍රශ්නේ විසඳුවා. මුළු ගමටම හවසට කඩේට ගේන්නේ පාන් රාත්තල් හතරලු. හාමුදුරුවෝ ඒ හතර ගෙන්නලා පොල්සම්බලකුත් එක්ක අපට කන්න දුන්නා.

හවස කොළඹින් පිටත් වෙච්ච අපේ ඉතුරු කට්ටිය රතුකුරුසේ වාහනයකින් පන්සලට එනකොට රෑ 9 විතර ඇති. අපි පස්සෙන්දට උගන්නන්න තියන දේවල් බල බල ඉඳලා වැටිච්ච වැටිච්ච තැන් වලට නිදාගත්තේ පහුවෙනිදා වැඩමුළුව පවන් ගන්න අදහසින්. ඒත් පහුවෙනිදා අපි දැක්කෙ අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. ඒක වෙනම ලිපියකින් කියන්නම් . මොකද ඒක කැම්පස් ආතල් ලේබල් එක අයතට නොවැටිය යුතු නිසා. ආපහු හමුවෙමු කැලේ පිපී කැලේම පරවී යන තන්තිරිමලේ දරුවන් ගැන කියවෙන ලිපියකින්.

හිතවතෙකුගේ නික්ම යෑම


ජීවිතයේදී අපට හමුවන අය බොහෝය. ඒ සියලු දෙනා අතරින් අපගේ මිතුරන් හිතවතුන් වන අය අල්පය. ඒ අතරිනුත් අවංක හිතවතුන් අල්පය. මගේ ජීවිතයේ මට සිටි එවන් හිතවතෙක් පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ මිනිසෙකු නම් නොවේ අප නිවසේ ඇති කල බල්ලායි. සතෙක් උනත් ඌ සැබෑවටම අප පවුලේ හිතවතෙකු විය. උගේ සමුගැනීමට අප පවුලේ කාතුලත් දුකක් ඉතිරි කලේ ඒ නිසයි.

"ටිකී" ඒ අප ඌ හැඳින්වූ නමයි. ටිකී හොඳ වර්ගයක ඉහල මිලකට ගත් බලු පැටවක් නෙවෙයි. අපේ අම්මලාගෙ මහගෙවල් ළඟ විදේශිකයෙකුගෙ ගෙදරක් ඉස්සරහ පරණ කාර් එකක් තිබුනා. මේ කාරය යට තමයි ටිකීගේ අම්මා "රෝසි"(වටේ පිටේ අය ඌ හැඳින්නුවේ එහෙමයි) පැටවු දැම්මේ. අපේ ගෙදරට බලු පැටියෙක් ගෙනියන්න උවමනාව තිබුනු නිසා මමත් චූටි අම්මත්(පුංචි අම්මා) අර පරණ කාරෙක ගාවට ගිහින් බලු පැටියෙක් එළියට ගන්න කතා කලාම වෙන එකක් වත් ආවෙ නැති උනාට බෙල්ල වටේ සුදු ලොම් වයිරමක් එක්ක දුඹුරු පාට කනාටු බලු පැටියෙක් අමාරුවෙන් එළියට ආව. උගේ පිටේ සුලැඟිල්ල දාන්න පුළුවන් තරමේ ලොකු තුවාලයක්. ඌ ගෙදර ගෙනත් නාවලා බෙහෙත් කරලා සනීප කලා. ඌ තමයි ටිකී.

ටිකී ගේ ඇතුලේ තියාගෙන වඩාගෙන හුරතලේට හදපු බල්ලෙක් නෙමෙයි. ඌ හිටියේ එළියෙ නිදාගත්තෙ ගරාජයේ. ඒත් ගේ ඇතුලේ තියාගෙන වඩාගෙන ඉඹලා හදන බල්ලෙකුගෙ මම දැකලා නැති කෙලෙහිගුණයක් ටිකියගෙ තිබුනා. ඌට කන්න බොන්න දීපු නාවපු බෙහෙත් කරපු ගෙදර මිනිස්සු ගැන උගේ ලොකු ගෞරවයක් තිබුනා. ටිකියව අතගාල හුරතල් කලේ මමත් මල්ලිත් විතරයි. තාත්තා වෙලාවකට කකුලෙන් උගේ ඔළුව අත ගෑවා. වෙන වෙලාවට සැර කරත් අතගාල හුරතල් නොකරත් තමන්ට බත් එක හදලා දෙන්නෙ අම්මා කියල ඌ දැනගෙන හිටියා. මෑතක් වෙනකම්ම අම්මා වැඩට ගිහින් අවහම අම්මගේ සාරියෙ පැටලි පැටලි පස්සෙන් ඇවිද්දෙ ඒ බත් ටික දුන්නට ඌ දන්න විදිහට ස්තූති කරන්න වෙන්න ඇති. ටිකියා ශරීර පුමාණයෙන් කුඩා බල්ලෙකු උනාට ඌට හොඳ ශක්තිමත් බලලෙක්. වතාවත් බිම දිගේ දුවපු වඳරු නාම්බෙක් ටිකියා අල්ලලා මරලා තිබුනා. ඌ නිදාගත්තෙ අපේ කාරෙක යට. අපිට කලින් තිබුනු Nissan station wagon වර්ගෙයේ කාරෙක ගෙදර තියන කොට තමන්ගෙ වගෙයි ඌ ඒක ළඟ හිටියේ. ඒ නිසා තාත්තා නෑදෑයන්ට කියනවා මම නෙමෙයි වාහනේ අයිතිකාරයා ටිකිය කියල. ගෙදර අය කොහේ හරි ගිහින් ආවහම කටින් අමුතු ශබ්දයක් පිට කරන්න ටිකියා පුරුදු වෙලා හිටියා. ඒක ඌ යමක් කියන්න උත්සාහ කරනව වගේ අපි දැක්කෙ. තාත්ත වෙලාවකට කියන්නෙ මූට කතා කරන්න විතරයි බැරි කියලා. ඒ තරමට ඌ අභිනයෙන් උගේ ආදරේ අපිට පෙන්නුව. මම හරි මල්ලි හරි නම් කකුල් දෙකෙන් හිටගෙන ඇඟට පනින එකත් උගේ තව පිළිගැනීමේ ක්‍රමයක්. පවුලේ නෑදෑයෝ ඇවිත් සාලෙ කතා කර කර ඉන්න කොට ටිකියත් හිමීට ඇවිත් පාපිස්ස උඩින් වාඩි වෙනවා. ඒ වාඩි වෙන්නෙත් ඉස්සරහ කකුලක් අනෙක පිට දාගෙන උජාරුවට. මමත් මේ පවුලේ කෙනෙක් කියල පෙන්නන්න ඌට ඕන කලා.

අපි කලින් හිටපු බෙලිගහ හන්දියේ රජයේ නිල නිවාස වලින් අයින් වෙලා දැන් ඉන්න උළුවිටිකේට ආවට පස්සෙ ටිකියා නිදැල්ලේ ලිහලයි හිටියේ. ඒ ඒ දවස් වල මෙ පැත්තෙ බල්ලො නොහිටපු නිසා. ටිකියත් ගෙදරට වෙලා හිටියා. ඌට ඕන වෙලාවට එළියට ගියත් ඉක්මනට ආපහු ආවා. ඒත් එක දවසක් උගේ වම් පැත්ත පිටිපස්සෙ කකුලේ තුවාලයක් ඇවිත් තිබුනා. දොස්තර ගාවට එක්ක ගිහින් බෙහෙත් දැම්මත් ඒක හොඳ උනේ නෑ. අන්තිමට දොස්තර උගේ කකුල කපන්න තීරණය කලා. මේ නිසා අන්තිමට ටිකියා කකුල් තුනේ ආබාධිත බල්ලෙක් උනා. ඒ ඔපරේෂන් එකෙන් පස්සෙ දවස් තුනක් විතර යනකම් මම ඌට බත් කැව්වෙ අතින්. භාජනේට කෑම දාල ළඟින් තිබ්බට ඌ කෑවෙ නෑ. ඒත් අතට ටික ටික අරන් හොම්බ ලඟට දුන්නාම ඌ ඒක කෑවා. කකුල සුව උනත් මේ වෙනකොට ටිකියා වයසයි. ඒ නිසා අපි ඌව දම්වැලේම තියන්න හිතුවා. මොකද එළියට ගියහම වෙන බල්ලො හපයි කියල. ඌට නිදහසේ ඇවිදිල ඉන්න දෙන්න ඕන කම් තිබුනත් ගෙදර පිටි පස්සෙ තාප්පයක් නොතිබුන නිසා ඒක කරන්න පුළුවන් කමක් තබුනේ නෑ.

මීට සතියකට උඩින් මම ගෙදර ආපු වෙලාවෙ ටිකියා සනීප නැතුව හිටියෙ. ඌ කෑම කෑවෙ නෑ. වෙන් එකක් තියා මම ගෙදර එනකොට අමාරුවෙන් හරි වලිගය වන වන ඉන්න තැනින් නැගිටින ටිකියා වාහනේ යටින් එළියට ආවෙ නෑ. මේ නිසා පස්සෙස්දාම මම ඌව දොස්තර ගාවට අරගෙන ගියා. ඔහු කිව්වේ උණක් හැදිලා තියන බව. ඇඟේ ලේ අඩු වෙලා කියලත් කිව්ව. බෙහෙත් බිව්වත් ටිකියා නිරෝගී බවත් පෙන්නුවෙ නෑ. ගිය ඉරිදා මම කොළඹ එනකම් ඌ මගේ අතිනුයි බත් කෑවෙ. ඒත් බොහොම ටිකක්. සතියෙ මැද තාත්තා ආයෙත් බල්ලාව දොස්තර ගාවට එක්ක ගිහින් තිබුනා. ඒ පාර කියල තිබුනේ ඌට වකුගඩු අමාරුවක් තියනව කියල.

සිකුරාදා රෑ මම ගෙදර ආවෙ ටිකියට සනීප ඇති කියල හිතාගෙන. ඒත් ගේට්ටුවෙන් ඇතුලට එනකොට දම්වැල ඇදගෙන කාරෙක යටින් ටිකියා එළියට එන සද්දෙ නෑහුන නිසා ඒක එහෙම නෑ කියල මට තේරුනා. ඒ වෙනුවට ඉස්තෝප්පුවේ එළපු රෙදි කෑලි කිපයක් උඩ ටිකියා හාන්සි වෙලා හිටියා. අපේ මල්ල ඌ ළඟට වෙලා බලගෙන හිටියා. ටිකී කියල මම කතා කලත් ඌට ඉන්න විදිහටම ඇහැ හරවල බලනව මිසක් ඔළුව උස්සන්න වත් ශක්තියක් තිබුනේ නෑ. මම ඇඳුම් මාරු කරගෙන ආපහු ටිකියා ළඟට ඇවිත් හිටියත් ඌ හුස්ම ගන්නව ඇරෙන්න වෙන කිසිම චලනයක් කලේ නෑ. ඌට තියන අමාරුව ඌ කොහොම කියන්නද? ඌ ඉන්නේ සෑහෙන වේදනාවකින් කියලනම් මට තේරුනා. එවෙලෙම දොස්තර ගාවට ගෙනියන්න සූදානම් උනත් අම්මා කිව්වේ මේ වෙලාවෙ ඌව හොල්ලන එකත් ඌට වේදනා ඇති ඒ නිසා එහෙම ඉන්න දෙන්න කියල. බඩ ගින්නක් නොත්බුනත් අම්මගේ වදේට මම බත් ටිකක් කාලා එළියට බැසේසෙ ආපහු ටිකියට කොහොමද බලන්න. ඒ වෙනකොට තමන් විඳිමින් හිටපු වේදනාවන් සියල්ලෙන්ම නිදහස් වෙලා ටිකියා ජීවිතේ අතහැරල ගිහින් තිබුනා. මම ඒ බව අම්මටත් තාත්තටත් කිව්වහම ඔවුන් අත්දෙක මුහුණට තියා ගත්තෙ කොච්චර දැනගෙන හිටියත් ඌ මියගිය බව ඇහුවහම දැනුනු දුක නිසා වෙන්න ඇති. මම අහගෙන අම්මා මල්ලිට කියනවා පුතේ ටිකියා නැතිවෙලා කියල. මැරිලා කියන වචනය කියන්න ඇයට ශක්තියක් තිබුනේ නෑ. මොකද ඌ අපේ පවුලේම කෙනෙක් වෙච්ච නිසා. මල්ලි හයියෙන්ම අඬන්න ගත්තා. අම්මාගෙත් තාත්තාගෙත් ඇස්වල කඳුලු.මගේ ඇසුත් නොදැනීම කඳුලු වලින් පිරුනා මට හිටපු සෙනෙහෙවන්තම මිතුරෙක් වෙනුවෙන්.

තමන්ගේ යාළුවගේ සහෝදරයගෙ ජීවිතය වටින්නෙ නැති මිනිස්සු ඉන්න මේ සමාජෙ මේ සතා ගුණ යහපත් කම් හොඳින්ම දැනගෙන හිටියා. තමන්ගෙ වාසියට මුනිච්චාවට බොරු යාළුකම් පවත්වන යාළුවො ඉන්න කාලෙක ඌ මට ඉතාම හිතවත් මිතුරෙක් උනා. ආදරණීය ටිකී අවුරුදු 13 විතර උඹ අපි වෙනුවෙනු කල දේවල් වලට බොහොම පිං. ඊළඟ ආත්මයේදි තිරිසන් බවින් නිදහස් වලා මිනිසත් බව ලැබී අපි අතරේම ඉපදියන්.......