Sunday, January 25, 2009

ඇයි මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී

මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමීද? තමන්ට ලාභයක් නෑත්තම් වාසියක් නැත්තම් ඒ දේට සහභාගි නොවී මග අරින මිනිස්සු කොච්චර ඉන්නවද?
මේ ගීතය මං පොඩි කාලෙ අහපු එකක්. අද කාලෙ FM නාලිකා වලින් ගෝසාවල් කරච්චල් ඇරෙන්න මේ වගේ දේවල් අහන්න ලැබෙන්නෙ නෑනෙ.

ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
මුත්තා - ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද?
මුත්තා - මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකි දේ නොම තේරෙයි මට
මුත්තා - පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සියවූ අඹ ගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ළමයා - ඒ යුතුකම හොඳහැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

ගායනය - රෝහණ වීරසිංහ
අනූෂා නානායක්කාර

සංවාදයක් වගේ ගායනා වෙන මේ ගීතය අපිට අපූරු පාඩමක් කියල දෙනව නේද? ළමයා දකිනව මුත්ත පොළව හාරනව මොකටද ඒ, අඹ ඇටයක්හිටවන්න.ඔහුට නැගෙන ප්‍රශ්නය මුත්ත වයසයි අඹ ඇටේ ගහක් වෙලා ගෙඩි හටගන්න කල් මුත්තා ජීවත් වෙන එක්ක නැහැ ඇයි ඔහු තමන්ට යමක් නොලැබෙන දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්නෙ. මුත්ත ළමයට අපූරුවට කියල දෙනව කාරනය. තමන්ගෙන් සමාජයට ඉෂ්ඨ වෙන්න ඕන යුතුකමයි ඔහු ඉටු කරන්නෙ. අතීතයේ අපේ මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම් ඉෂ්ඨ කලා.ඒ නිසයි අපි අද ජීවත් වෙලා ඉන්නෙ.ඒ වගේ අපෙන්
පසුව එන පරම්පරාවකට යුතුකම් ඉෂ්ඨ කර තැබීම තමයි අපේ යුතුකම වෙන්නෙ.

අද සමාජයේ මේවගේ ගීත අහන්න නොලැබෙන් එක කනගාටුවට කාරණයක්. අනුන් ගැන හිතන හැමෝම වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන අය ගොඩක් අඩුයි. ඊටත් වඩා බයානක දේ තමයි තමන්ට වාසියක් ලාභයක් වෙනව නම් ඔනෑම ජරා වැඩක් කරන්න මිනිස්සු පුරුදු වෙලා. තව පිරිසක් වෙනුවෙන් කැපවෙන පිරිසක් විදිහට අපිට අද දකින්න පුළුවන් හොඳම උදාහරණය තමයි රණවිරුවන්.අපිට, රටේ ඊළඟ පරම්පරාවට සාමකාමී රටක් ලබා දෙන්න ඔවුන් අද දවසේ තමන්ගේ ජීවිත පූජා කරනවා.ඒ මිනිස්සු උතුම් වෙන්නේ ඒ නිසයි.

විශ්ව විද්‍යාල ජීවිතේදිත් අපිට මේ දේ පුරුදු කරනව.උඹල උඹල ගැන නෙමේ කැම්පස් එකේදි බැජ් එකක් විදිහට හිතපල්ලා.බැජ් එක ගැන හිතල වැඩ කරපල්ලා.අපිට ජ්‍යෙෂ්ඨ අයියල අපිට කියල දුන්නෙ එහෙමයි.අද ඔනම සතුටකදී , දුකකදී, කරදරයකදී තව පිරිසක් තමන් එක්ක ඉන්නව නේද කියල
විශාල ශක්තියක් අපිට තියනව.

හැමෝම තමන් ගැන විතරක් නැතුව අනිත් අය ගැන වගේම රට ජාතිය ගැනත් කල්පනා කරල වැඩ කරනවනම් මේ පුංචි ලංකාව මීට වඩා ලස්සන තැනක් වේවි. එසේ වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.